Sri Lanka Brief
පුවත්විවරණ20 සංශෝධනයෙන් අධිකරණයයි ව්‍යවස්ථාදායකයයි දෙකම ගෝටා යටතට – මංගල සමරවීර

20 සංශෝධනයෙන් අධිකරණයයි ව්‍යවස්ථාදායකයයි දෙකම ගෝටා යටතට – මංගල සමරවීර

by

“තුවක්කු සහ යුද ටැංකි ගත් මිනිසුන් විසින් හමුදා බලය හා බලහත්කාරය තුළින් මෙහෙයවන ලද රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවල ප්‍රතිඵලයක් ලෙස විසි වෙනි සියවසේදී බොහෝ ප්‍රජාතන්ත්‍රවාදයන් මරණයට පත්විය. ආජන්ටිනාව, චිලී, පාකිස්තානය, තායිලන්තය, ඝානා යන රටවල ප්‍රජාතන්ත්‍රවාදය මෙලෙස මිය ගියේය.

අද, ජනරාල්වරුන් අතින් නොව තමන් බලයට ගෙන ආ ක්‍රියාවලියට උඩු යටිකුරු කරන ඡන්දයෙන් තේරී පත් වූ නායකයන් අතින් ප්‍රජාතන්ත්‍රයක් මිය යාමට ඉඩ ඇත.

සැබැවින්ම, දැක ගත නොහැකි තරම් සියුම් පියවරවලින් බොහෝ ප්‍රජාතන්ත්‍රයන් සෙමෙන් විනාශ වී යන අතර, ප්‍රජාතන්ත්‍රවාදී පසුබෑම ඇරඹෙන්නේ ඡන්ද පෙට්ටියෙනි.

ඒකාධිපතිවාදය කරා මැතිවරණ හරහා වූ මාර්ගයේ පරස්පර විරෝධය වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකයන් ප්‍රජාතන්ත්‍රවාදය උඩු යටිකුරු මරා දැමීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදයේ ආයතනම ක්‍රම ක්‍රමයෙන්, සූක්ෂම ලෙස හා නිත්‍යානුකූලව පවා සහතික කිරීමයි.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සහ ආයතන උඩු යටිකුරු කිරීම හා සෙමෙන් ගෙල මිරිකා මරා දැමීම දැන් ජනාධිපති ගෝඨාභය විසින් වේගවත්ව කරනු ලැබ ඇති අතර ඔහු අපේක්ෂා කරන තුනෙන් දෙකේ බහුතරය ලැබුණහොත් එහි මළගම සිදු කිරීමට ඉඩ ඇත.”

උක්ත ප්‍රකාශය පසුගිය අගෝස්තු 5 වෙනිදා පැවැත්වූ මහ මැතිවරණයට දින කිහිපයකට ඉහතදී “රැඩිකල් මැද මාවත” හඳුන්වා දෙමින් මා විසින් කරන ලද ප්‍රකාශයෙන් උපුටා ගන්නා ලද්දකි.

ඒකාධිපතිත්වය කරා

මෙකී ප්‍රකාශය මෙතරම් ඉක්මණින් සමාජය තුළ ඔප්පු කොට සනාථ කරනු ඇතැයි කිසිසේත් නොසිතුව නමුත් බලයට පත්වී එක් මාසයක් ඉක්ම යන්නට මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ රටේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ගුණයන් සුණුවිසුණු කරමින් ඒකාධිපතිත්වයක් කරා යන ගමන අරඹා ඇත.

ඒ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් 2015 දී යහපාලන ආණ්ඩුව විසින් සම්මත කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කොට යළිවතාවක් අධි බලැති විධායකයක් නිර්මාණය කර ඒකාධිපති පාලනයකට මග හෙළි පෙහෙළි කරන 20 වෙනි ව්‍යවස්ථා සංශෝදනයක් ඉදිරිපත් කිරීම හරහාය.

2020 මහ මැතිවරණයට පෙරාතුව ව්‍යවස්ථාවේ අහිතකර කරුණු ඉවත්කරනවා යැයි ජනතාවට කී වත්මන් පාලකයන් ඒ වෙනුවට ජනතාවගේ නිදහස, මානව හා නීතිමය අයිතීන් කප්පාදු කර පුද්ගල කේන්ද්‍රීය අත්තනෝමතික බලයක් සඳහා මුලගල් තබා ඇති බව යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලිය.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදුන් 1978 ජේ.ආර්. ජයවර්ධන ජනපතිගේ ව්‍යවස්ථාව ‘අධිරාජ්‍යවාදී ව්‍යවස්ථාවක්’ යැයි උද්ඝෝෂණය කරමින් විරෝධය පෑ මහින්ද රාජපක්ෂ මහතා ද ඇතුළු පිරිසම එක් පවුලක බලය තහවුරු කිරීම සඳහා යළිත් වරක් මේ රටට ඒකාධිපති පාලනයක් ගෙන එන්නට ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර තිබේ.

මෙය රට සංවර්ධනය කර ජනතාවට ප්‍රතිලාභ සැලස්වීමට නොව සියලු බලතල කේන්ද්‍ර කරගත් ඒකාධිපති පාලකයෙක් බිහි කිරීම සඳහා බව ඉතා පැහැදිලිය.

ප්‍රජාතන්ත්‍රවාදය හා මානව නිදහස අගයන සියලු රටවල පාලන තන්ත්‍රයේ බල තුලනයක් පවත්වාගැනීම සඳහා විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ශිෂ්ඨ සම්පන්න අයුරින් බලතල වෙන් කිරීමක් සිදු කෙරේ.

ශ්‍රී ලංකාවේ 1978 ව්‍යවස්ථාවේ එම බලය වෙන්කිරීමේ ලක්ෂණ නොතිබූ හෙයින් විධායකය සතුව තිබූ අත්තනෝමතික බලය සීමා කිරීම පිණිස 19 වන ආණ්ඩුක්‍රම සංශෝධන මගින් ස්වාධීන කොමිසන් සභා පිහිටුවා එහි සාමාජිකත්වයට හා උත්තරීතර අධිකරණයට ද සාමජිකයන් හා විනිසුරුවන් පත්කිරීමට විධායකයට තිබූ අත්තනෝමතික බලය සීමා කරන ලදී.

1978 ව්‍යවස්ථාව මුළුමනින්ම වෙනස් කරනතාක් එයට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් දීම සඳහා ගෙන එන ලද 19 වන සංශෝධනයට එදා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225 න් 215 දෙනෙකු සිය දෑත් ඔසවා එකඟතාවය පළ කළහ.

විරුද්ධව ඡන්දය දුන්නේ එක් මන්ත්‍රීවරයෙක් පමණි. අවාසනාවකට 1978 ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් 19ට සහාය දුන් මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමම දැන් යළිත් වරක් රටට අධිපතිවාදී ජනපතිවරයෙක් බිහි කිරීම සඳහා ඉදිරිපත්ව සිටියි.

පොදු පෙරමුණු රජයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලු විධයක ජනපති ක්‍රමයට එරෙහි දේශපාලන පක්ෂ හා බලවේග මෙම අවස්ථාවේදී රට වෙනුවෙන් තීරණය ගැනීමට ඉදිරිපත්විය යුතුය.

ඥාති සංග්‍රහය හා ආඥාදායකත්වය කරා යන නව සංශෝධනයෙන් ජනපතිවරණය හා පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පත්වන රටේ ද්විත්ව ජනවරම යටතේ පත්වන ව්‍යවස්ථාදායකය මෙන්ම අධිකරණය ද හෑල්ලුවට හා තර්ජනයට ලක් වේ.

ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු ලෙස සලකනු ලබන ව්‍යවස්ථාදායකය හා අධිකරණය, විධායකය විසින් සමතලා කරමින් අධිකරණ සේවා කොමිසන් සභාව ඇතුළු ස්වාධීන කොමිසන් සභාවලට සාමාජිකයන් පත්කිරීම පමණක් නොව ඉවත් කිරීමේ බලය ද ජනපති සතුව තබාගෙන ඇත.

තමන් ඉවත් කිරීමේ බලය ජනපති සතුව තිබෙන බැවින් ජනාධිපතිවරයාගේ තෘප්තිය පරිදි රාජකාරි ඉටු කිරීමට අධිකරණ සේවා කොමසමේ සාමාජිකයන්, මැතිවරණ කොමිසන් සභාවේ සාමාජිකයන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම් ඇතුළු ස්වාධීන කොමිසන් සභාවල නියෝජිතයන්ට සිදුවන විට එවන් ආයතනවලින් අපේක්ෂා කරනු ලබන ස්වාධීනත්වය, යුක්තිය හා සාධාරණය ඉටුවනු ඇතැයි ජනතාවට කිසිසේත් බලාපොරොත්තු විය නොහැක.

මේ නිසා අසාධාරණයට පත්වන රාජ්‍ය සේවකයන් හා මහ ජනතාවට මෙම ආයතන කෙරෙහි තිබෙන විශ්වාසය බිඳවැටීම නොවැළක්විය හැක.

මහජනතාවට විශේෂයෙන් රාජ්‍ය සේවකයන්ට අධිකරණ ක්‍රියාවලියෙන් බැහැරව ආයතනික රාමුව හරහා සාධාරණය අපේක්ෂා කළ නොහැකිය.

පෞද්ගලික අංශයේ සේවකයෙකු වූවද නිකරුණේ සේවයෙන් පහ කළවිට එයට එරෙහි සාධාරණය හා යුක්තිය ඉටුකරන මෙන් ඉල්ලා කම්කරු උසාවියට හෝ අධිකරණය වෙත යෑමට නීතියේ ප්‍රතිපාදන සලසා ඇත.

එහෙත් විසි වැනි සංශෝධනයෙන් බිහි වන අධි බලැති විධායක ජනපති විසින් සේවයෙන් පහ කරනු ලබන අධිකරණ සේවා කොමිසම ඇතුළු ස්වාධීන කොමිසම් සභාවල සාමාජිකයන්ට යුක්තිය හා සාධරණය ඉටුකරවා ගැනීමට අවස්ථාවක් හෝ නොමැතිව ජනතාව ඉදිරියේ වැරදිකරුවන් සේ හුවා දැක්වීමේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දීමට සිදුවනු ඇත.

ස්වාධීන කොමිසම් සභාවලට සාමාජිකයන් පත්කිරීමේ හා ඉවත් කිරීමේ බලය සිය අතට ගත් ජනපති විගණන කොමිසන් සභාව හා රාජ්‍ය ප්‍රසම්පාදන කොමිසන් සභාවද අහෝසි කරන අතර මැතිවරණ කොමිසන් සභාවේ ස්වාධීනත්වයට ද සීමාවන් පනවා තිබෙන බැවින් ඉදිරියේ දී රාජ්‍ය නිලධාරීන් වෙත නියෝග නිකුත් කිරීමට මැතිවරණ කොමිසමට තිබෙන බලය අහෝසි කිරීමෙන් දූෂිත රාජ්‍ය නිලධාරීන් හරහා මැතිවරණ සමයේ අකටයුතු තම සිතැඟි පරිදී මෙහෙයවීමෙන් මැතිවරණයේ ස්වාධීනභාවය ද සැකයට භාජනය වනු ඇත.

මෙසේ සියලු පාලන බලය එක් පුද්ගලයෙක් හරහා පවුලක් කේන්ද්‍රීය පවත්වාගෙන යාමේදී මන්ත්‍රීවරුන්ගෙන් එල්ලවන විරෝධය සමනය කළ හැකි අයුරින් ඇමති මණ්ඩලය පත්කිරීම සඳහා මෙතෙක් පැවති සීමාවන් ඉවත් කර තම සිතැඟි පරිදි ඇමතිවරු පත් කිරීමට බලය ලබාගෙන තිබේ.

රටට ආර්ථිකයට ඵලදායි නොවන විශාල ඇමති මණ්ඩලයක් නඩත්තු කිරීම බදු ගෙවන ජනතාවට විශාල බරක් බවට පසු කාලවල මුලු රටේම විරෝධතා පැන නැගිණි.

ජනතාව ඡන්දය දීමෙන් නොව තමන් විසින් මන්ත්‍රීකම උපයා ගත්තා යැයි ද ඒ සඳහා තමන්ට අමාත්‍ය ධූරයකින් වන්දිය ලබාදිය යුතු යැයි සිතන මන්ත්‍රීවරු සිටින මේ පාර්ලිමේන්තුවේ ඇමතිකම් වැඩි කල ද එම ධූරයට අදාළව ක්‍රියාත්මක වීමේ බලය ඔවුන්ට ලබා නොදුන් අත්දැකීම් සහිත ඉතිහාසයක් මහින්ද රාජපක්ෂ රජය සමයේ පැවතුණි.

එම යුගය යළි පණ ගැන්වීමේ අරමුණින් ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමට තිබෙන බාධකය මෙම නව සංශෝධනය මගින් ඉවත් කිරීමට යෝජනා වී තිබේ. කොපමණ අමාත්‍යවරුන් සිටියද මහා පරිමාණ මුදල් වියදම් කරන ව්‍යාපෘති සියල්ල පවුලේ සාමාජිකයන් හරහා ක්‍රියාත්මක කළ පැරණි යුගය යළි ස්ථාපිත වනු ඇත.

උදාහරණයක් ලෙස පාසල්වල භෞතික අවශ්‍යතා සැපයීම අධ්‍යාපන අමාත්‍යාංශ විෂය යටතේ පැවතිය ද පසුගිය කාලයේ පාසල් තාක්ෂණ පීඨ ඉදිකිරීම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය හරහා සිදු කෙරුණු අතර එම ගොඩනැගිලි අමාත්‍ය මණ්ඩල අනුමැතියක් යටතේ රුපියල් මිලියන 65ට ඇස්තමේන්තු කරන ලද පිරිවැයටම තෝරාගත් කොන්ත්‍රාත්කරුවන් හරහා ඉදිකරණ ලදී.

2010 වසරේ මිලියන 65 ක වියදමින් ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ඉදිකරන ලද එවන් තාක්ෂණික පීට වසර 10 ට පසුව අද ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා රුපියල් මිලියන 40ක් හෝ වැය වන්නේ නැති බව ගණන් බලා ඇත.

දේශීය ආර්ථිකය නංවනවා, කෘෂි ආර්ථිකය නංවනවා යැයි මැතිවරණ සමයේ මාධ්‍ය සංදර්ශන පැවත්වූ මෙම රජය, ඒ සියල්ල අමතක කොට තුනෙන් දෙකේ බලයේ වාසිය ගෙන තම පවුලේ බලය තහවුරු කිරීමට පමණක් කටයුතු කරන බව රජයේ ප්‍රධානීන්ගේ ක්‍රියාකරකම් හරහා ඔප්පු වෙමින් තිබේ.

මේ සමස්තය සලකා බැලීමේ දී 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යළි වතාවක් අධි බලැති විධායක ජනාධිපතිධූරයක් හරහා ගොඩනැගීමට වෙර දරන බලහත්කාරී රාජ්‍ය පාලන ක්‍රමවේදය රටට අහිතකර බවත්, ඒ තුළින් රටේ ආර්ථිකය පමණක් නොව සමාජ දේශපාලන සියලු ක්ෂේත්‍රයන් ආපස්සට ඇඳගෙන යාමක් සිදුවන බවත් පෙන්වා දිය යුතුය.

එම නිසා මේ රටේ සැබෑ දේශප්‍රේමීන්, විද්වතුන් සහ අනාගත දූදරුවන්ගේ යහපත අපේක්ෂා කරන සියලු පුරවැසියන් අධිෂ්ඨානයෙන් යුතුව පුළුල් මහජන පෙරමුණකට එක්ව මෙම විනාශකාරී ගමන වැළැක්විය යුතු.

Back to Top