Sri Lanka Brief
පුවත්සිංහරාජය සහ හොෆ්මන් කියැවීම – පාඨලී චම්පික රණවක

සිංහරාජය සහ හොෆ්මන් කියැවීම – පාඨලී චම්පික රණවක

by

සිංහරාජය පෙනෙන මානයේ ජීවත් වන්නේ බෞද්ධයෝය. ඔවුන් මේ වනය වන්දනා කරති. වනයට එරෙහි අපරාධ පාපයක් යැයි විශ්වාස කරති. සත්ව ඝාතනය හා මස් මාංශ අනුභවය පන්සිල් පද වලට එරෙහි යැයි ඔවුන් අදහති. මේ ගැමියන්ගේ ආකල්ප මට බල කළේ වනය තුළ නොව එය පෙනෙන මානයේ මගේ වන කඳවුර ඉදිකර වනය නිරීක්ෂණය කරන්නටය..” (ජේ.ආර් බේකර් – 1936 – Geographical (Journal)

සිංහරාජය හා එය හරහා ලංකාගමට තනන පාර පිළිබඳව සංවාදයක් ඇතිවෙමින් තිබිණි. ජනාධිපති ගෝඨාභය එහි ගොස් වනයට හානියක් නොවන ලෙස මාර්ගය නිම කරන්නැයි නියෝග කළේය. වනය හරහා මාර්ගය තනමින් සිටියේ හමුදාව නිසා බොහෝ දෙනෙක් එම විරෝධය පෑමෙන් වැලකී සිටියහ. වඩා වැදගත් වන්නේ සිංහරාජ ලෝක උරුම වනය ඒ ආකාරයෙන්ම රැක ගැනීමද, නැත්නම් ලංකාගම ජීවත්වන ජනතාවට රටේ සෙසු ජනතාවට මෙන් අධ්‍යාපනයට, සෞඛ්‍යයට ඇති අයිතිය ලබාදීමද? යන්න විවාදයට ලක්වී ඇත.

සිංහරාජය පිළිබඳව දශක ගණනකට පෙරද සංවාදයක් ඇතිවිය. ඒ ලංකාවේ සමාජවාදී ඉදිරි ගමන සඳහා සිංහරාජයේ රූස්ස ගස් කපා තුනී ලෑලි හා දැව අවශ්‍යතා සපයා ගැනීමට ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් සමගි පෙරමුණු ආණ්ඩුව ක්‍රියා කිරීම නිසාය. රුමේනියානු ආධාරවලින් යාන්ත්‍රික වූ සාලාව දැව කර්මාන්ත ශාලාව සඳහා කැනේඩියානු ආධාර යටතේ ගස් කපා ප්‍රවාහනය සඳහා යන්ත්‍ර හා දුම්රිය පහසුකම් ලැබිණි. බූස්ස දැව සංකීර්ණයද එලෙසම ක්‍රියාත්මක විය.

එවකට සමාජවාදීන්ගේ මතය වූයේ ගහකොල, සතාසීපාවා ඇත්තේ මානවයාගේ ප්‍රයෝජනයට බැවින් සිංහරාජය කපා වනය දූෂණය කිරීම ප්‍රගතශීලී වැඩක් බවය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා දැව සංස්ථාව ඒ සඳහා පෙරමුණේම සිටියහ. විරෝධතා පැණනැගුණු විට පැවසුවේ තෝරාගත් ගස් පමණක් ඉවත් කරන බවත් දශක දෙකක් ඇතුළත වනය යළි ප්‍රකෘතිමත් වන බවත්ය.

සිංහරාජය ගලවා ගැනීමට පෙරමුණ ගන්නේ ස්විස් ජාතික විදේශිකයෙකි. ඔහු නමින් තිලෝ හොෆ්මන් (Thilo Hoffmann) විය. ඔහු එවකට වනජීවී හා පරිසර සංරක්ෂණ සමාජයේ (WNPS) හි සභාපති වරයාද විය. ඔහු විසින් 1972 වර්ෂයේදී සිංහරාජය අවට හා ඇතුළත සිදුකරන ලද පරීක්ෂණ වලින් තවත් බොහෝ දෙනෙකුගේ සහායෙන් සිංහරාජය පිළිබඳ විධිමත් ලියැවිල්ලක් සකස් විය. සරලව ගතහොත්,

සිංහරාජය ලංකාවේ ඉතුරුව ඇති විශාලතම වැසි වනාන්තරය වන අතර, අඩුම තරමින් වසර දශ ලක්ෂ 100 ක් පමණ කාලයක සිට පරිනාමය වී ඇත.

එය සුවිශේෂී ජීව විවිධත්වයකින් හා සුවිසල් ජාන ධාරිතාවයකින් යුතු අධි සංවේදී පරිසර පද්ධතියකි.

දැව කර්මාන්තය මගින් මේ ලෝක උරුමය සදහට නැසී යාමේ අනතුර ඇතිව ඇත

වනය විනාශ කළහොත් එය හරහා ඇතුළත ගංගාවල සෝදා පාළුව හා ගංවතුර මගින් ජනතාවද සිදුවිය හැකි හානිය බරපතලය.

හොෆ්මන් හා පිරිස දේශීයව මෙන්ම විදේශීයවද, විශේෂයෙන් කැනඩාවේද ගෙනගිය අරගලය හේතුවෙන් සිරිමාවෝ පාලනය ජෝර්ජ් රාජපක්ෂ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු කමිටුවක්ද පත්කළ අතර, එය වසර ගණනක් ඇදී ගියේය. (1972-1976) මේ වාර්තාව කියවා බැලීම නූතන රාජපක්ෂ පරපුරටද බොහෝ ප්‍රයෝජනවත් විය හැකිය.

කෙසේ වෙතත්, සිංහරාජය ගලවා ගත්තේ යැංකි ඩිකීනමින් ප්‍රචලිත ජේ.ආර්. ජයවර්ධන මහතාට හොෆ්මන් හමුවීමෙන් පසුවය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කඹ ඇදීම නිසා නව පනතක් (ජාතික උරුම) ගෙනැවිත් එය ජාතික උරුමයක් ලෙස ගැසට් කරනු ලැබීය. (1988) මාගේ මතය නිවැරදි නම් බොහෝ පමා කරනු ලැබූ එය පාර්ලිමේන්තුවට ගෙන ආවේ මා පරිසර ඇමතිවරයාව සිටි අවධියේදීය (2007). පරිසර ඇමති හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් සිංහරාජය අවට ප්‍රදේශයන්ද රක්ෂිත බවට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ නමුත්, එයද මේ වනතෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නැති බව දැනගන්නට ලැබේ. සිංහරාජය දැන් ලෝක උරුමයකි. රටේ පවතින පාරිසරික පනතින්ද වැඩි දුරටත් ආරක්ෂා වී තිබේ. අඩුම තරමින් පරිසර අධ්‍යයනයක් හෝ නොකර, විධායක නියෝග වලින් හමුදාව යොදා පාරවල් තැනීම එකී ලෝක උරුමයට කරන අපරාධයකි. එමෙන්ම මේ විධායක තීරණයෙන් උද්දාමයට පත්වූවන් විසින් රට පුරා අභයභූමි හා රක්ෂිත වැනසීම දැනටමත් ආරම්භ කර තිබේ. සිංහරාය හා පරිසර සංරක්ෂණය පිළිබඳව කැපවී සිටිනවා යැයි රටට පෙන්වා පසුගිය ජනාධිපතිවරණයේදී කාබන් ෆ්‍රීමැතිවරණ ව්‍යාපාර දියත් කර ඒවාට ආවැඩූ බොහෝ ආචාර්ය මහාචාර්යවරුන් හා වරියන්ද දැන් නිහඬය. මිහිඳු මහ රහතන් වහන්සේ වදාල පරිදි රජවරු හා පාලකයින් යනු මහ පොලොවේ භාරකරුවන් මිස අයිතිකරුවන් නොවන බව අඩුතරමින් පාලිතයන් හා ජනතාව තේරුම් ගත යුතුව ඇත.

(තිලෝ හොෆ්මන් ගැන The Faithful Foreigner නමින් ඩග්ලස් රණසිංහ මහතා විසින් ලියන ලද කෘතිය කියැවීමෙන් විදේශිකයෙකුට සිංහරාජය ගලවා ගැනීමට තිබූ කැක්කුම රටට නැත්තේ ඇයි දැයි වටහා ගත හැකිය)

(FB)

Back to Top