Sunday, October 25, 2020

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය: විධායක ජනපති ක්‍රමය ගැන මහින්ද, මෛත්‍රී, ජීඑල් සහ විමල් එදා සහ අද

සරෝජ් පතිරණ/ බීබීසී සිංහල.

1978 දී ජනාධිපති ජේආර් ජයවර්ධන විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හඳුන්වා දෙනු ලැබූ අවස්ථාවේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සියලු විරුද්ධ පක්ෂ එයට දැඩි විරෝධය පළ කළහ.

එය ‘ඒකාධිපති ව්‍යවස්ථාවක්’ ලෙසින් විග්‍රහ කළ ඔවුහු, තමන් බලයට පත් වූ විට එය අහෝසි කරන බවට එවක් පටන් සපථ කරමින් සිටියහ.

විපක්ෂනායිකා සිරිමාවෝ බණ්ඩාරනායක ඇතුළු අනුර බණ්ඩාරනායක සහ මහින්ද රාජපක්ෂ වැනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් මෙන්ම එන් එම් පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, දිනේෂ් ගුණවර්ධන වැනි සමසමාජ, කොමියුනිස්ට් පක්ෂවල සහ මහජන එක්සත් පෙරමුණේ නායකයන් ද එදා එයට එරෙහිව උද්ඝෝෂණ දියත් කළ නමුත් තමන්ට ලැබී තිබුණු හයෙන් පහේ බලය උපයෝගී කරගනිමින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පහසුවෙන් නව ව්‍යවස්ථාව සම්මත කරගත්තේය.

නව සමසමාජ පක්ෂයේ නායකයා වූ වාසුදේව නානායක්කාර එදා විධායක ජනාධිපති ක්‍රමය දැඩිව විවේචනය කළ තවත් ‘වාමාංශික’ දේශපාලන නායකයෙකි.

ජේආර් ජයවර්ධන
ඡායාරූප මූලාශ්‍රය,JR JAYAWARDENE CENTRE විධායක ජනපති ක්‍රමයේ නිර්මාතෘ ජනාධිපති ජේආර් ජයවර්ධන

නිහාල් ගලප්පත්ති, විමල් වීරවංශ වැනි ජනතා විමුක්ති පෙරමුණේ තරුණ දේශපාලනඥයින් ද පසු කලෙක විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රබල විවේචකයෝ වූහ. නිහාල් ගලප්පත්ති 1994 දී ජනාධිපතිවරණයෙන් ඉවත්වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ලිඛිත සහතිකයක් දීමෙන් අනතුරුවය.

20 වෙනි සංශෝධනය

ජනතා ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ලද පාර්ලිමේන්තුවේ බලතල බරපතල ලෙසින් සීමා කරමින්, ජනතා ඡන්දයෙන් පත්වූ විධායක ජනාධිපතිවරයාට අසීමිත බලතල පැවරෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පසුගියදා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.

ඉන් අනතුරුව රාජපක්ෂ ආණ්ඩුව විසින් එය ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත්කරන ලදි.

“ඒකාධිපති පාලනයකට මග පාදන්නක්” සහ “ප්‍රජාතන්ත්‍රවාදී අවකාශ අසුරා දමන්නක්” ලෙසින් ආණ්ඩුව ඉදිරිපත් කළ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත දෙස්, විදෙස් හෙලා දැකීමට ලක්වෙමින් පවතී.

විනිසුරුවන් ද නියෝජනය වන ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර සංවිධානයක් වන ජාත්‍යන්තර නීති විශාරදයින්ගේ කොමිසම (ICJ) නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ , පාර්ලිමේන්තුවේ බලතල සීමා කරමින් ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබාදීමට යෝජනා කරන 20 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබිය යුතු බවය.

ඒ අතර ආණ්ඩුවේම විවිධ පාර්ශව 20 වෙනි සංශෝධන කෙටුම්පත විවේචනයට ලක්කරන අතර, එම කෙටුම්පත සකස් කළේ කවුරුන් විසින් දැයි නොදන්නා බව අලි සබ්රි, මහාචාර්ය ජී එල් පීරිස් සහ විමල් වීරවංශ වැනි අමාත්‍යවරුන් ද සඳහන් කොට තිබිණ.

මන්ත්‍රීවරු 26 ක්

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 223 දෙනා (ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු තවමත් පත්කර නැත) අතරින් 26 දෙනෙකුම හාත්පසින්ම එකිනෙකට වෙනස් 17 වෙනි, 18 වෙනි සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් සිය ඡන්දය භාවිත කර තිබීම විශේෂත්වයකි.

ඒ අතරින් 23 දෙනෙකු 19 වෙනි සංශෝධනයට වෙනස්වූ 20 වෙනි සංශෝධනය වෙනුවෙන් ද ඡන්දය භාවිත කරනු ඇතැයි අපේක්ෂා කරේ.

වෙරිටේ රිසර්ච් ආයතනය 17,18 සහ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන තුනේ පවතින සමානතා සහ විෂමතා පහත දැක්වෙන පරිදි ගොනුකොට තිබිණ.

කඩවුන පොරොන්දු

තමන් බලයට පත්වුවහොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන ජනාධිපතිවරු බොහෝ අවස්ථාවල ප්‍රතිඥා දුන්හ.

ඒ අතරින් දෙදෙනකුම වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ය. ඒ අතින් ගත් කළ හිටපු විධායක ජනාධිපතිවරුන් දෙදෙනෙකු මෙසේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටය.

මෛත්‍රී, චන්ද්‍රිකා සහ මහින්ද
මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්ෂ යන ජනාධිපතිවරුන් තිදෙනාම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දී තිබේ (GETTY IMAGES)

එහෙත් 1978 සිට 1994 දක්වා විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රබල විවේචකයන් වූ අගමැති මහින්ද රාජපක්ෂ සහ දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ හා වාසුදේව නානායක්කාර වැනි අමාත්‍යවරුන් මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීවරයා ද වර්තමානයේ පෙනී සිටින්නේ විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරුණු 19 වෙනි සංශෝධනයට පවා එරෙහි ස්ථාවරයකය.

පහත දැක්වෙන්නේ ඒ අතරින් පිරිසක් විධායක ජනපති ක්‍රමය පිළිබඳ අතීතයේ දී පාර්ලිමේන්තුවේ දී සහ ප්‍රසිද්ධියේ දැක් වූ අදහස්ය.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ හය වන විධායක ජනාධිපතිවරයා වූ සහ වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන පෙලේ නායකයෙකු ලෙසින්, විපක්ෂනායකවරයා ලෙසින්, අගමැතිවරයා ලෙසින් සහ ජනාධිපති ධුරය හොබවද්දී පවා විධායක ජනපති ධුරය අහෝසි කරන බවට බොහෝ වතාවල ප්‍රතිඥා දී තිබේ.

“විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා කරමින්, රට මුහුණදෙන අනෙක් ගැටලුවලට විසඳුම් ලබාදෙන ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙන්නෙමි. එතෙක්, විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකියන ආකාරයේ අන්තර්වාර ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි.”

-මහින්ද චින්තන (ඉංග්‍රීසි), පිටුව 97, 2005, අගමැති (ජනපති අපේක්ෂක)

මහින්ද සහ චන්ද්‍රිකා
ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

“ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට වඩාත්ම අහිතකර සහ විනාශකාරී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවක් ලෙස පිළිගනිමින්, 2005 දී ආරම්භ වන 6 වෙනි විධායක ජනාධිපතිවරයාගේ ධුර කාලය නිමාවීමට ප්‍රථම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෙයින් එකඟවනු ලැබේ.”

“පක්ෂයක් ලෙස අපි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් කැප වී සිටින්නෙමු. අවසාන මොහොත දක්වා අපි මෙය අහෝසි කිරීමට උත්සහ කරන්නෙමු.”

“පාර්ලිමේන්තුවට ලබා දී තිබෙන ජනවරමට ගරු කරමින්, පාර්ලිමේන්තුවට සහ අධිකරණයට වගකියන භාරකරුවෙක් (Trusteeship) බවට විධායක ජනපති ධුරය පත්කරන්නෙමි.”

-මහින්ද චින්තන, 2010, පිටුව 38

මෛත්‍රීපාල සිරිසේන

මෛත්‍රීපාල සිරිසේන
ඡායාරූප මූලාශ්‍රය,MFA.GOV.LK

මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති, මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අවමගුල් උත්සවයේදී

“දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට අලුතෙන් කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් හඳුන්වා දෙමි. එහිදී ජනාධිපතිවරයා නීතිය ඉදිරියේ අන් පුරවැසියන් හා සමානව සලකනු ඇත.”

2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් තමා ජයග්‍රහණය කළ හොත්, දින සියයක් ඇතුළත විධායක ජනපති ක්‍රමය අහෝසි කරන නමුත් පළාත් සභා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවරා තිබෙන විධායක බලතල දිගටම ජනාධිපති පදවිය සතු වන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන 2014 දෙසැම්බර් 05 වෙනි දින බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

17 වෙනි සංශෝධනය

ඉහතින් ද සඳහන් කළ පරිදි 18 සංශෝධනය වෙනුවෙන් සිය ඡන්දය භාවිත කළ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 26 දෙනෙකු විධායක ජනාධිපති පදවියේ බලතල සීමාකරමින් වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයේ බලය වැඩි කළ 17 වෙනි සංශෝධනය වෙනුවෙන් පෙනී සිටීම ද විශේෂත්වයකි.

විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ බොහෝ තනතුරුවලට සහ ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කිරීම පිණිස විශේෂ ව්‍යවස්ථා සභාවක් මුලින්ම පිහිටුවනු ලැබුවේ 17 වෙනි සංශෝධනය මගිනි.

එමගින් අගවිනිසුරු, ඉහළ අධිකරණවල විනිසුරන්, නීතිපති, පොලිස්පති ඇතුළු තනතුරුවලට පත්කිරීම සඳහා එතෙක් ජනාධිපතිවරයා සතුව තිබූ අභිමතානුසාරී බලය ද ඉවත් කෙරිණ.

17 වන ව්‍යවස්ථා සංශෝධනය: පාර්ලිමේන්තු විවාදය

පහත දැක්වෙන්නේ 17 වෙනි සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වූ 2001 සැප් 24 දින වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැක් වූ අදහස්ය. (හැන්සාඩ් වාර්තා ඇසුරෙනි.)

විමල් වීරවංශ

එවක ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්වරයා වූ විමල් වීරවංශ, විධායක ජනපති ධුරයේ බලතල සීමා කෙරුණ 17 වෙනි සංශෝධනය සම්මත කරගැනීම පිණිස දැඩි උත්සහයක් දැරූ මන්ත්‍රීවරයෙකි.

2001 සැප්තැම්බර් 24 වෙනි දින පාර්ලිමේන්තුව අමතා අදහස් දක්වමින්, 17 වෙනි සංශෝධනය සම්මත කරගැනීම විමල් වීරවංශ මන්ත්‍රීවරයා හඳුන්වා දුන්නේ “අසිරිමත් අවස්ථාවක්” ලෙසිනි.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා

“මේ ඒකාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රට මත පටෙව්වාට පස්සේ ඉතිහාසයේ පළමුවැනි වතාවට අ අපේ රටේ සියලු දේශපාලන පක්ෂ විවිධ පදනම්වල ඉඳගෙන හරි කළ ඉල්ලීම්වල බලපෑමේ ප්‍රතිඵලයක් හැටියට අද මේ රට පාලනය කරන පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට, ඒ වගේම විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂයට, විපක්ෂයේ සිටින, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අප හැමෝටම එකඟවෙන්න පුළුවන් ප්‍රතිසංස්කරණයක් අද පාර්ලිමේන්තුවට අරගෙන එන්න පුළුවන්කම ලැබී තිබෙනවා.”

-විමල් වීරවංශ, පාර්ලිමේන්තුවේ දී (හැන්සාඩ්)

මන්ත්‍රීවරු 210 කගේ ඡන්දයෙන් 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කෙරුණු අතර, විරුද්ධව කිසිවෙකුත් ඡන්දය දී නොතිබිණ. ජාතික හෙළ උරුමයේ චම්පික රණවක මන්ත්‍රීවරයා මධ්‍යස්ථව සිටියේය. මන්ත්‍රීවරුන් 13 දෙනෙක් ඡන්ද විමසීමට සහභාගි නොවූහ.

මහාචාර්ය ජීඑල් පීරිස්

පාලක පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් දිගු කලක් මුළුල්ලේ විධායක ජනපති ක්‍රමය දැඩි විවේචනයට ලක් කළ පුද්ගලයෙකි.

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පක්ෂ නායකයන් සියලු දෙනාම කලක් විධායක ජනපති ක්‍රමයේ දැඩි විවේචකයෝ වූහ
පොදුජන පෙරමුණ ආණ්ඩුවේ පක්ෂ නායකයන් සියලු දෙනාම කලක් විධායක ජනපති ක්‍රමයේ දැඩි විවේචකයෝ වූහ, ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

ශ්‍රී ලංකාවේ පළමු වතාවට ව්‍යවස්ථා සම්පාදන කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවමින් ප්‍රධාන රාජ්‍ය ආයතන නිර්දේශපාලනීකරණය කිරීමේ ක්‍රියාදාමයට මුල පුරනු ලැබුවේ මහාචාර්ය ජීඑල් පීරිස් විසින් බව අද පුවත්පත සමඟ අදහස් දක්වමින් නීතිඥ ජගත් ලියනාරච්චි පෙන්වා දී තිබුණි.

කෙසේ වුවත් දැඩි විවේචනයට ලක් වී තිබෙන 20 වෙනි ව්‍යවස්ථා කෙටුම්පත සම්පාදනය කළ කැබිනට් අනු කමිටුවේ සභාපතිවරයා වූ මහාචාර්ය ජීඑල් පීරිස්, එය යළි සලකා බැලීම පිණිස අගමැති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද කමිටුවේ ද සභාපතිවරයාය.

BBC Sinhala

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...