Sri Lanka Brief
පුවත්ශ්‍රී ලංකාවේ අතුරුදන් වීම්: අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ අරගලය සහ බාධා හිරිහැර – රුකී ප්‍රනාන්දු

ශ්‍රී ලංකාවේ අතුරුදන් වීම්: අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ අරගලය සහ බාධා හිරිහැර – රුකී ප්‍රනාන්දු

by

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූ වින්දිතයන් පිළිබඳ අන්තර්ජාතික දිනය ලෙස අගෝස්තු 30 වැනි දා ප්‍රකාශයට පත්කර ඇත. iමෙම දිනය සැමරීම උදෙසා අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල ඒකරාශී වූහ. මධ්‍යම පළාතේ දිගන දී අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් කතෝලික දේවස්ථාන පරිශ්‍රයක් තුළ පොළක් සංවිධානය කළහ. උතුරු පළාත පුරා විසිරී සිටි අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් ඒකරාශී වී උතුරු පළාතේ යාපනය ප්‍රදේශයේ දී විරෝධතා පාගමනක යෙදුනාහ. නැගෙනහිර පළාත පුරා විසිරී සිටි අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් ඒකරාශී වී නැගෙනහිර පළාතේ මඩකලපුව නගරය හරහා විරෝධතා පාගමනක් සංවිධානය කළහ. අගෝස්තු 29 වැනි දින, උතුරු පළාතේ වවුනියාවේ දී අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් ඒකරාශී වී ආගමික වතාවත්වල නියැලුණහ. අගෝස්තු 28 වැනි දින, බස්නාහිර පළාතේ කොළඹ දී අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල් සමහරක සාමාජිකයන් ඒකරාශී වී විරෝධතාවක් සංවිධානය කර තිබුණේ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් සහ වෙනත් බරපතල අපරාධ සම්බන්ධයෙන් සාර්ථකව පරීක්ෂණ මෙහෙයවා ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරියෙකු ද ඇතුළු පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සඳහා මූලික වූ නමුත් දැන් අත්අඩංගුවට පත්ව රඳවා තබාගෙන සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයාට සහයෝගය පළකරමිනි.

උතුරද දකුණද

උතුරු සහ නැගෙනහිර පළාත්වල යාපනය, වවුනියා සහ මඩකලපුව යන නගරවල පැවති සැමරුම් උත්සව හෝ විරෝධතා සඳහා සහභාගී වූ බොහෝ අය දමිළ ජාතික අතුරුදන් වූවන්ගේ පවුල්වල අය වුණු අතර, මධ්‍යම පළාතේ දිගන දී පැවැත්වුණු සැමරුමට සහභාගී වූවෝ අතුරුදන් වූ සිංහල ජාතිකයන්ගේ පවුල්වල සාමාජිකයෝ වූහ.

(යුක්තිය නොව) සත්‍යය තහවුරු කිරීම සඳහා පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවන ලද ස්ථිර රාජ්‍ය ආයතනය වන අතුරුදන් වූවන් සඳහා වූ කාර්යාලය විසින් සියලු ජනවර්ගවලට අයත් අතුරුදන් වූ සහ අතුරුදන් කළ පුද්ගලයන් සිටින බව පිළිගත් අතර, ඔවුන් අදාළ දිනය සැමරුවේ අතුරුදන් වූවන්ගේ ගැටළු ගැන කටයුතු කරන සංවිධාන සමග සාකච්ඡාවක් පවත්වමිනි ii.

කොළඹ සිටින සමහර රාජ්‍ය තාන්ත්‍රිකයෝ සහ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ නේවාසික සම්බන්ධීකාරකවරයා ට්විටර් පණිවිඩ හරහා තමන් සැලකිලිමත් වන දෑ සහ සිය අදහස් සහ බෙදාගත්හ. iii එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට ලක් වූ වින්දිතයන් පිළිබඳ අන්තර්ජාතික දිනය ලෙස අගෝස්තු 30 වැනි දා සැමරීමට අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවට මහින්ද රාජපක්ෂ රජය පක්ෂ පාර්ශවයක් වුවත්, ආණ්ඩුව විසින් එවැනි සැමරුමක් සිදු කිරීම පිළිබඳව කිසිදු ප්‍රවෘත්තියක් මා දුටුවේ නැත.

30 වැනි දා සමග නිශ්චිත ලෙසින්ම සම්බන්ධ නොවූවත්, අතුරුදන් වූ පුද්ගලයෙකුගේ මවකගේ අත්දැකීම් විදහා දක්වන “පාංශු” චිත්‍රපටය දිවයින පුරා සිනමාහල්වල අගෝස්තු 21 වැනි දින සිට ප්‍රදර්ශනය කිරීම මේ වසරේ ශ්‍රී ලංකාවේ වූ විශේෂ අවස්ථාවකි. iv බොහෝ සිනමාහල්වල එම චිත්‍රපටයේ තිරගත කිරීම්වලින් පසුව ඒ පිළිබඳ සංවාද ද පැවැත්විණි. මෙම තිරගත කිරීම් සහ සංවාද සැප්තැම්බර් මාසය පුරාවට ද අඛණ්ඩව පැවැත්වෙනු ඇත.

බිත්තියක් නැති ලංකාව

අදාළ දිනයේ වැදගත්කම සනිටුහන් කිරීම පිණිස අතුරුදන් වූවන්ගේ දරුවන් විසින් බිත්ති මත සිතුවම් ඇඳීමට සැලසුමක් තිබුණ ද, එය සංවිධානය කිරීමට වෙහෙසුණු අතුරුදන් වූ පුද්ගලයෙකුගේ බිරිඳ විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු නොයෙකුත් ආයතන සහ පුද්ගලයන් වෙතින් එම සිතුවම් ඇඳීම සඳහා බිත්තියක් ලබා දෙන ලෙස ඉල්ලීම් කළ ද, ඒවා කිසිවක් අනුමත නොවූ නිසා එම උත්සාහය ද ව්‍යර්ථ විය. සමහර ආගමික නායකයන් සහ පාසල් විදුහල්පතිවරු සිය අනුකම්පාව ප්‍රකාශ කළද, ඔවුන්ගේ ආයතනවල බිත්ති ඒ සඳහා ලබාදීමට බිය වූහ. එම සිතුවම් කුමනාකාර වේදැ’යි කෙනෙක් මගෙන් අසා සිටි විට මගේ පිළිතුර වූයේ ළමයින්ගේ කලා නිර්මාණකරණ නිදහස අවහිර කිරීමට හෝ ඒ පිළිබඳව අනාවැකි කීමට හැකියාවක් මා සතුව නොමැති බවයි.

එනිසා ඔවුන් මුහුණ දෙන කරදර (ප්‍රතිහිංසාවන්)

30 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ සහ පැවැත්වූ බොහෝ අවස්ථාවන්ට සීමාවන් ඇති වූ අතර, තර්ජනගර්ජන එල්ල විය. දිගන දී අදාළ අවස්ථාව සඳහා සත්කාරකත්වය දැක්වූ පූජකතුමාගෙන් බුද්ධි අංශ නියෝජිතයන් විසින් විවිධ ප්‍රශ්න විචාරා තිබුණු අතර, එහිදී එල්ටීටීඊ සාමාජිකයන්ගේ ඡායාරූප ප්‍රදර්ශනය කෙරේ ද යන්න ද එල්ල වූ එක් පැනයක් විය. යාපනයේ පැවති විරෝධතාවට සහභාගී වීම සඳහා ගිය අතුරුදන් වූවන්ගේ පවුල්වල සමහර අයට එහි නොයන ලෙස පවසා තිබුණු අතර, එල්ල වූ නොයෙක් බිය ගැන්නවීම් හේතුවෙන් සමහර බස් රථ හිමියන් අදාළ මගීන් ප්‍රවාහනය කිරීමෙන් වැළකුණහ.

පොලිස් බොරු

නමුත් මේ සියල්ලටම වඩා නරකම සහ වඩාත් බරපතල බාධා එල්ල වූයේ මඩකලපුවේ දී ය. එහිදී අදාළ විරෝධතා පාගමන කෙසේ හෝ නැවැත්වීමේ අප්‍රතිහත අරමුණින් පොලීසිය විසින් මහේස්ත්‍රාත්වරයා නොමඟ යවා හෝ අධිකරණ නියෝගයක් ලබාගැනීමට උත්සාහ දරා තිබුණු බවක් පෙනෙන්නට තිබුණි. කතෝලික දේවස්ථාන භූමියක මේ පවුල් ඒකරාශී වී සිටි අතර, අතුරුදන් වූ කතෝලික දේවගැතිවරයාගේ ඡායාරූප අත දරාගෙන දියෝකීසය භාර ප්‍රධාන දේවගැති තැන සහ කතෝලික කන්‍යා සොයුරියන් ද ඔවුන් සමග එහි විය. කෙසේ වුවත්, මඩකලපුව පොලීසිය විසින් අධිකරණ නියෝගය ලබාගත්තේ යම් පුද්ගලයෙකුට එරෙහිව ද, එම පුද්ගලයා එම ස්ථානයේ විරෝධතාව සඳහා එක්ව සිටියේ නැත. එක් අවස්ථාවක දී, පොලීසිය කතෝලික දේවස්ථාන පරිශ්‍රයට ඇතුළු වී, එහි එක් ගේට්ටුවක් අගුළු දැමූයේ එහි රැස්ව සිටි පවුල්වල ඉතා වයස්ගත කාන්තා සාමාජිකයන් සහ සහයෝගය දැක්වීම සඳහා එහි පැමිණ සිටි අතලොස්සක පිරිස මහමඟට පිවිසීම වැළැක්වීම සඳහා ය. නමුත් විරෝධතාකරුවන් ගේට්ටුව විවෘත කරගැනීමට සමත් වූ අතර, ඔවුන්ව නැවැත්වීමට උත්සාහ දැරූ පොලීසියට විරෝධය පාමින් එතැන් සිට කිලෝමීටර් දෙකකට ආසන්න දුරකින් පිහිටි ගාන්ධි උද්‍යානයට ගිනියම් අව්වේම පාගමනින් ගියහ. එක් කාන්තාවක් කියා සිටියේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් “කරන් යන්ඩකෝ, මං බලාගන්නං”v ලෙස පවසමින්, ඔවුන්ට එරෙහිව පසුව ක්‍රියාමාර්ග ගන්නා බවට ව්‍යංගයෙන් තර්ජනය කළ බවයි. තවත් කාන්තාවක් අතිශය දුකෙන් හා කෝපයෙන් යුතුව කියා සිටියේ අතුරුදන් වූ ඇගේ සැමියාගේ කියා ඇය සතුව තිබූ එකම ඡායාරූපය ද පොලිස් නිලධාරියෙකු විසින් උදුරා ගත් බවයි.vi

බය හිතෙන කරුණු

පාගමනට විරුද්ධ අය යම් යම් ක්‍රියාමාර්ග ගනු ඇතැ’යි පොලීසිය විසින් කියා ඇති බව අදාළ අධිකරණ නියෝගයේ සඳහන්ව තිබුණ ද, ඒ පුද්ගලයන් හෝ කණ්ඩායම් කවුරුන්ද යන්න ගැන හෝ එම පුද්ගලයන් හෝ කණ්ඩායම් එවැනි ක්‍රියාමාර්ග නොගැනීම තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු පොලීසිය විසින් ඉටුකර ඇත්ද හෝ ඉටුකරනු ඇත්ද යන්න ගැන වූ සඳහනක් එහි අඩංගු නොවීය. බිය උපදවන සුළු කාරණය වන්නේ පොලීසිය විසින් මෙම අවස්ථාවන් “නීතිවිරෝධී” බව පවසමින් සලකා බැලිය යුතු තවත් කාරණා තුනක් පිළිබඳව සඳහන් කර තිබීමයි.

ඉන් එකක් වූයේ අදාළ විරෝධතාව නිසා මහමඟ රථවාහන තදබදයක් ඇති වීමට හැකියාව තිබුණු බවත්, ජනතාවගේ එදිනෙදා වැඩකටයුතුවලට බාධා ඇති විය හැකි බවත්, මහජන සාමය කඩවිය හැකි බවත් ය. නමුත් තෝරාගත් දිනය ඉරිදා දිනයක් වීම ගැන පොලීසිය අවධානයක් යොමු කර නැති බව පෙනී යයි. එමෙන්ම අදාළ පාගමනේ එම පවුල් යෙදුනේ මහා මාර්ගයේ එක් පැත්තකට වී පමණක් වීමත්, උපකාරී සිත් ඇති රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් පාර මාරු වීමට අවශ්‍ය උදව් කළ නිසා ද කිසිවෙකුටත් කිසිදු හිරිහැරයක් හෝ අපහසුවක් ඇති නොවුණි. කිසිදු මාර්ගයක් අවහිර නොකෙරුණු අතර, වාහන, පදිකයන්, කඩසාප්පු, කාර්යාල හෝ නිවාස කිසිවකට කිසිදු බාධාවක් සිදු වුණේ නැත. එසේ වුවද, මැතිවරණයෙන් තේරී පත්වුණු ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු සිය ජය සමරමින් පෙළපාලියක් යාම නිසා මඩකලපුව ප්‍රදේශයේ ජනයා අතිශයින්ම අපහසුතාවට පත් වූ අයුරු සති කිහිපයකට පෙර මම සියැසින්ම දුටුවෙමි.

පොලීසිය සලකා බැලූ බව සඳහන් කර ඇති තවත් කරුණක් වූයේ සමාජ දුරස්ථභාවය පවත්වාගනිමින් මෙවැනි විරෝධතාවක් පැවැත්වීමේ අපහසුවත්, මේ නිසා නව කොරෝනාවෛරස් රෝගයට තවත් පුද්ගලයන් ගොදුරු වනු ඇති බවත් ය. එහෙත්, විරෝධතාකරුවන් සමාජ දුරස්ථභාවය පවත්වාගෙන, කුඩා කණ්ඩායම් වශයෙන් පාගමනේ යෙදුනාහ. පොලීසිය එම විරෝධතාකරුවන් අවහිර කිරීමට උත්සාහ කළ අවස්ථාවන් හි දී පමණක් සමාජ දුරස්ථභාවය පවත්වාගැනීම උගහට විය. වර්තමාන ජනාධිපති සහ අගමැති ඇතුළු දේශපාලකයන් මැතිවරණ සමයේ දී ඉතා විශාල ජනකණ්ඩායම් රැස්කරවූ විට මෙන්ම ඒ ජනතාව කිටිකිටියේ තද වෙමින්, රැලි, පෙළපාලි, රැස්වීම්වලට සහභාගී වන විට ඊට එරෙහිව මැදිහත් නොවූ, අධිකරණ නියෝග ලබානොගත් පොලීසිය හදිසියේ පතළ මහා කරුණාවෙන් පෙර නොවූ විරූ සේ සමාජ දුරස්ථභාවය ගැන උනන්දුවක් දැක්වීම අමුත්තක් දනවයි.

භයානක අභූත කරුණ

කෙසේ වුවත්, පොලීසිය විසින් අධිකරණ නියෝගය ලබාගැනීම උදෙසා සඳහන් කර ඇති වඩාත්ම භයානක සහ අභූත කරුණ වන්නේ අතුරුදන් වූවන්ගේ පවුල්වල අරගලය සිදු වීමට ඉඩ ඇති එල්ටීටීඊ සංවිධානයේ නැවත නැගිටීමක් හා සම්බන්ධ කිරීමයි (එල්ටීටීඊ හෙවත් දෙමළ ඊළම් විමුක්ති කොටි සංවිධානය – ශ්‍රී ලංකාවේ සහ බොහෝ රටවල ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තහනම් කරන ලද සංවිධානයකි). සිය ආදරණීයයන්ට කුමක් සිදු වීදැ’යි සොයා ගැනීමට උත්සාහ දරමින්, ඊට වගකිව යුත්තන් නීතිමය වගවීමට ලක් කිරීමට අරගල කරන අතුරුදන් වූවන්ගේ පවුල්වලට අවනම්බු කිරීමටත්, ඔවුන්ව ත්‍රස්තවාදීන් හෝ ත්‍රස්තවාදීන්ට සහයෝගය දෙන අය ලෙස ලේබල් කිරීමටත් පොලීසිය දරන උත්සාහය පිළිකුල් සහගත වන අතර, එවැනි උත්සාහයන් ප්‍රතික්ෂේප කරන අතරම, නැවත එවැනි දෑ සිදු නොවීමට ද වග බලා ගත යුතුය.

අතීතයේ දී ද, සමාජ ක්‍රියාකාරීන් අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහයෝගය පළකිරීම අධෛර්යමත් කිරීමට, සහ ඔවුන් බිය ගැන්නවීමට , එවැනි දේ ත්‍රස්තවාදීන්ට රුකුල් දීමකට සමාන බව රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් විසින් කියා තිබේ. අගෝස්තු 30 වැනි දා මඩකලපුවේ දී පැවති විරෝධතා පාගමන ද ඇතුළුව අතුරුදන් වූවන්ගේ පවුල් සමග වසර ගණනාවක් පුරා විහිදෙන මගේ නොයෙකුත් අත්දැකීම් අතරතුර, ප්‍රචණ්ඩත්වය මුදාහැරීම පිළිබඳව, හෝ ආයුධ සන්නද්ධ අරගලයක් පිළිබඳව, හෝ වෙනම රාජ්‍යයක් පිළිබඳ මතවාද ගැන ඔවුන් කිසි විටෙකත් ප්‍රචාරණය කරනු මම කිසිම දිනක අසා නැත.

අතුරුදන් වූවන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ වූ සත්‍යය විමර්ශනය කිරීමත්, ඊට වගකිවයුත්තන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගැනීම සහ වින්දිතයන් සඳහා හානිපූරණ/වන්දි ලබාදීමත් ආණ්ඩුවේ යුතුකමයි. අතුරුදන් වූවන්ගේ පවුල් සහ ඔවුන්ට සහයෝගය ලබාදෙන අයට ත්‍රස්තවාදීන් හෝ ත්‍රස්තවාදීන්ට සහයෝගය දක්වන්නන් ලෙස හංවඩු ගැසීමට ලක්නොවී, සත්‍යය සහ යුක්තිය සොයාගැනීම සඳහා දරන උත්සාහයන්ට නිදහසේ, ආරක්ෂිතව සහභාගී විය හැකි වාතාවරණයක් තිබීම තහවුරු කිරීම ද ආණ්ඩුවේ යුතුකමකි.

සිය ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා අතුරුදන් වූවන්ගේ පවුල් දක්වන ධෛර්යය සහ අධිෂ්ඨානය අප ද දිරිමත් කරන්නක් වන අතර, මඩකලපුවේ දී පොලීසියේ බාධා කිරීම් මැද ඔවුන් දැක්වූ බලවත් ප්‍රතිවිරෝධය ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු ය. අතුරුදන් වූවන් සඳහා වූ කාර්යාලය, දේශපාලකයන්, ආගමික නායකයන්, මාධ්‍ය, වෘත්තිකයන්, විදේශ රාජ්‍යයන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් සහ ආයතන මෙන්ම හොඳ හිත් ඇති සියලු දෙනා විසින් අතුරුදන් වූවන්ගේ පවුල් ගෙනයන අරගලය සඳහා සහයෝගය පළකළ යුතු ය.

ආශ්‍රිත සබැඳි

i)https://undocs.org/A/RES/65/209

ii)https://www.facebook.com/ompsrilanka

iii) https://www.tamilguardian.com/content/diplomats-sri-lanka-tweet-day-disappeared

iv)https://www.facebook.com/paangshu

v)https://twitter.com/vikalpavoices/status/1300154746469257216

vi)https://twitter.com/vikalpavoices/status/1299953380782034944

Back to Top