Sunday, October 25, 2020

වික්ටර් හියුගෝ: ප්‍රංශ සාහිත්‍යයේ දැවැන්තයා – වෛද්‍ය රුවන් එම් ජයතුංග

Image courtesy of CC0 Paris Musées / Maisons de Victor Hugo Paris-Guernesey.

ප්‍රංශ කවියෙකු, නවකතාකරුවෙකු සහ රොමෑන්ටික ව්‍යාපාරයේ නාට්‍යකරුවෙකු වූ වික්ටර් මාරි හියුගෝ 1802 පෙබරවාරි 26 වන දින ප්‍රංශයේ බෙසානොන් හි උපත ලැබීය. වික්ටර් හියුගෝ උපත ලබන්නේ ප්‍රංශ විප්ලවය විසින් ශක්තිමත් කරන ලද ලෝකයක ය. ඔහුගේ පියා ජෝසප්ලියෝපෝල්ඩ් හියුගෝ නැපෝලියන්ගේ හමුදාවේ ජෙනරාල්වරයෙකි. ලියෝපෝල්ඩ් හියුගෝ නැපෝලියන් වීරයෙකු ලෙස සැලකූ නිදහස් සිතිවිලි සහිත ජනරජවාදියෙකු විය. හියුගෝගේ මුල් ළමාවිය කැලඹිලි සහිත විය. හියුගෝගේ දෙමව්පියන්ගේ ප්‍රතිවිරුද්ධ දේශපාලන හා ආගමික මතයන් දැරුවෝය. මෙම ආතතීන් හියුගෝගේම පවුල තුළ නිරූපණය විය. ඔහු සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනා වන ආබෙල් සහ ඉයුජින් ඔවුන්ගේ මව සමඟ ප්‍රංශයේ පැරිස් නුවර ජීවත් වූ අතර ඔවුන්ගේ පියා ඉතාලියේ ජීවත් විය. හියුගෝට වයස අවුරුදු පහ වන විට කියවීමට හා ලිවීමට හැකි විය. වයස අවුරුදු හත වන විට ඔහුට ලතින් භාෂාව කියවීමට හා පරිවර්තනය කිරීමට හැකි විය. කුඩා කාලයේ දී හියුගෝ කවි ලිවීමට උනන්දුවක් දැක්වීය. හියුගෝ අධ්‍යාපනය ලැබුවේ පෞද්ගලිකව සහ පැරිස් පාසල්වලය. වයස අවුරුදු 17 වන විට ඔහු තම සහෝදරයා සමඟ සඟරාවක් ආරම්භ කර තිබුණි.

[title]ළමාවියේ පෙම්වතියට ලියූ කවි[/title]

ඔහුගේ පරම්පරාවේ බොහෝ තරුණ ලේඛකයින් මෙන්, හියුගෝ ද 19 වන සියවසේ මුල් භාගයේ ප්‍රංශයේ ප්‍රමුඛ පෙළේ සාහිත්‍ය චරිතයක් වූ ප්‍රංශුවාරෙනේ ඩි චැටෝබ්‍රියන්ඩ්ගේ ප්‍රබල බලපෑමට ලක් විය. එසේම වර්ජිල්ගේ ඇනයිඩ් කාව්‍ය ඔහු ප්‍රිය කලේය. ඔහුගේ පළමු කාව්‍ය සංග්‍රහය (Odes et poésies diverses) 1822 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ ඔහුට වයස අවුරුදු 20 දී ය. තම ළමා වියේ පෙම්වතිය වන ඇඩෙල් ෆවුචර් කෙරෙහි දක්වන ආදරය සමරන බොහෝ කවි මෙහි අඩංගු වෙයි. මෙම පොතේ පෙරවදනෙහි වික්ටර් හියුගෝ මෙසේ ලිවීය: ” කවිතාව යනු සියලු දේ අතරින් හදවතට සමීප ම දෙයයි

1823 දී ඔහු සිය පළමු නවකතාව වන ” Han d’Islande” (Hans of Iceland) ප්‍රකාශයට පත් කලේය. හියුගෝ මෙම නවකතාව අද්දැකීම් අඩු තරුණ ලේඛකයෙකුගේ කෘතියක් ලෙස සලකන ලෙසට පාඨකයාට ආරාධනා කරයි. ඔහුගේ දෙවන නවකතාව වන “Bug-Jargal ” 1826 දී පළ වූ අතර එය ප්‍රංශ හමුදා නිලධාරියෙකු සහ වහල්භාවයේ සිටි අප්‍රිකානු කුමාරයෙකු අතර මිත්‍රත්වයේ කතාව විස්තර කරයි. මෙම නවකතාව දහනව වන සියවසේ යටත් විජිත ප්‍රබන්ධයේ වැදගත්ම කෘතියක් වන අතර ප්‍රධාන යුරෝපීය කතුවරයකු විසින් හයිටි විප්ලවය පිළිබඳ වඩාත්ම තිරසාර නවකතා සංග්‍රහය විය හැකිය. “Bug-Jargal ” අන්තර්වාර්ගික මිත්‍රත්වය හා එදිරිවාදිකම් පිළිබඳ සිත්ගන්නා කතාවක් වන අතර එය මානව බැඳීම් පිළිබඳ අනන්‍ය විස්තරයකි.

[title]රොමැන්ටික සාහිත්‍ය දක්ෂයා[/title]

හියුගෝගේ පළමු නාට්‍යය වූයේ Marion de Lorme –මේරියන් ඩි ලෝර්ම් ය. ප්‍රංශ රාජාණ්ඩුව නිරූපණය කිරීම හේතුවෙන් වාරණයන් විසින් මුලින් තහනම් කරනු ලැබුවද, අවසානයේදී එය 1829 දී වාරණය නොකොට මංගල දර්ශනය කිරීමට අවසර දෙන ලදී, නමුත් නාට්‍යය සාර්ථක නොවීය. 1827 දී ඔහුගේ නාට්‍යමය රොමැන්ටික කෘතිය වන Cromwell සමඟ වික්ටර් හියුගෝ රොමැන්ටික සාහිත්‍ය දක්ෂයෙකු ලෙස කීර්තියක් අත්කර ගත්තේය. මෙම නාට්‍යයේ එංගලන්තයේ ඔලිවර් ක්‍රොම්වෙල්ගේ අභ්‍යන්තර ගැටුම් පිළිබඳ කතාව අඩංගු විය. ඔලිවර් ක්‍රොම්වෙල් ඉංග්‍රීසි සිවිල් යුද්ධයේදී පළමු චාල්ස් රජුට එරෙහිව එංගලන්ත හමුදාවේ පාර්ලිමේන්තුවට නායකත්වය දුන් සහ 1653 සිට ඔහු මිය යන තුරුම බ්‍රිතාන්‍ය දූපත් සාමිවරයා ලෙස පාලනය කළ රාජ්‍ය නායකයෙකි. ක්‍රොම්වෙල් 1649 දී පළමුවන චාල්ස් රජුගේ මරණ වරෙන්තුවට අත්සන් තැබූ අයෙකි. රජෙකු ලෙස කිරුළු පළඳින ජනතාවගෙන් නැගිටින ජාතික නායකයෙකු මෙම නාට්‍යයේ මාතෘකාව විය.

හියුගෝට ඉංග්‍රීසි සිවිල් යුද්ධය පිළිබඳ ගැඹුරු දැනුමක් ඇති බවත් ඔලිවර් ක්‍රොම්වෙල් නාට්‍යයෙන් පෙනී යයි. හියුගෝ ඔහුගේ ජනරජ නැඹුරුවාවන් සඟවා ගත්තේ නැත. ඔහුගේ ඉලක්කය වූයේ ඉතිහාසය පුරාම බොහෝ නායකයින් මුහුණ දී ඇති අභ්‍යන්තර ගැටුම නිරූපණය කිරීමයි. ක්‍රොම්වෙල්ගේ ජීවිතය හා වෘත්තිය නැපෝලියන්ට සමාන්තර විය. මෙම මිනිසුන් දෙදෙනා අතර බොහෝ සමානකම් තිබුණි. හියුගෝ තම සමකාලීනයන් සමඟ අඩු මතභේදයට තුඩු දුන් තැනැත්තා ගැන ලිවීමට තෝරා ගත්තේය. නාට්‍යය පුරාම ක්‍රොම්වෙල් අවස්ථා කිහිපයකදී තම අභිලාෂයන් අතහැර දැමීමට භයානක ලෙස සමීප වේ. ක්‍රොම්වෙල් දුර්වල හෝ අනුකම්පා සහගත ලෙස නිරූපණය කිරීම හියුගෝගේ අභිප්‍රාය නොවීය.

ඔහුගේ “Hernani” (1830) නාට්‍යයයේ මාතෘකාව ආරම්භ වන්නේ 1519 දක්‍ෂිණ බාස්ක් හි ස්පාඤ්ඤ නගරයකිනි. වහල්භාවයේ උපත ලැබූ උතුම් වංශාධිපතියෙකුගේ චරිතය නාට්‍යයේ කේන්ද්‍රයේ පිහිටා තිබේ. වංශාධිපතීන් දෙදෙනෙකු සහ අද්භූත කොල්ලකරුවෙකු එකම කාන්තාව සමඟ ආදරයෙන් බැඳී සිටිති. තරුණ වීරයා වූ හර්නානි, පැරණි වංශාධිපතියෙකු වන ඩොන් රූයි ගෝමස් සමග ගැටීමක් ඇති කර ගනී. හර්නානි අපැහැදිලි සම්භවයක් ඇති කොල්ලකරුවෙකි. හර්නානි ඩොනා සොල් සමඟ ආදරයෙන් බැඳී සිටියි. පරමාදර්ශී කාන්තාව ඩොනා සොල් ,ඇගේ වීරයාට වඩා වෙනස් ය. හර්නානි සහ ඩොනා සොල් ප්‍රේමවන්තයන් බව දැන සිටියද, රූයි ගෝමස්, හර්නානිව රජුට භාර දීම ප්‍රතික්ෂේප කරයි. පසුව නව අධිරාජ්‍යයා හර්නානිට සමාව ලබා දෙයි. එහෙත් නාට්‍යය අවසන් වන්නේ ඛේදවාචකයකිනි. රොමියෝ සහ ජුලියට් මෙන් ප්‍රේමවන්තයන් වස පානය කිරීමෙන් එකට මිය යති.

“Hernani” නාට්‍යයේ පෙරවදනෙහි හියුගෝ රොමෑන්ටිකවාදය දේශපාලන ලිබරල්වාදය සමඟ සංසන්දනය කළ අතර එමඟින් මුලදී මහජනතාවගේ අවධානය දිනා ගත්තේය. “Hernani” නාට්‍යය සමඟ හියුගෝ නාට්‍ය රචකයෙකු ලෙස කීර්තියට පත්විය. ප්‍රංශ රොමෑන්ටිකවාදයේ පැමිණීම හර්නානි නිවේදනය කළේය. එසේම හියුගෝ රොමැන්ටික සාහිත්‍ය ව්‍යාපාරයේ ප්‍රමුඛයා බවට පත්විය. හර්නානි 19 වන සියවසේ නාට්‍ය කලාවට සදාකාලික බලපෑමක් ඇති කළේය. හියුගෝගේ නාට්‍යමය කාව්‍යයන් ප්‍රංශ සාහිත්‍යයේ නව යුගයක් ආරම්භ කළේය. හියුගෝගේ නාට්‍ය ඔහුගේ නවකතාවලට වඩා වෙනස් වන්නේ දේශපාලන බලය අවධාරණය කිරීමෙනි.

හියුගෝ ගේ Lucrezia Borgia (1833) යනු පුනරුද යුගයේ ඉතාලි වංශාධිපතිනි ලුක්‍රේෂියා බෝර්ජියා නිරූපණය කරන ඓතිහාසික නාට්‍යකි. ලුක්‍රේෂියා ඇගේ සුන්දරත්වය හා ඇයගේ හැකියාව තුළින් ජනප්‍රිය වූවාය. 15 වන සියවසේ අග භාගයේ මූලාශ්‍ර මත පදනම්ව හියුගෝගේ ප්‍රකෝපකාරී නාට්‍යය ජනප්‍රිය විය. හියුගෝට අනුව, විලියම් ෂේක්ස්පියර්ගේ මැක්බත් ආර්යාව මෙන් ලුක්‍රේෂියා ගේ දෑත් ලේ වලින් පිරී තිබේ. ඔහුගේ නාට්‍යයේ කේන්ද්‍රය ව්‍යභිචාරය වන අතර, ලුක්‍රේෂියා ඇගේ අවජාතක පුත් ජෙනරෝ වෙනුවෙන් දරනු ලබන අස්වාභාවික ප්‍රේමය ප්‍රේක්‍ෂකයෝ වටහා ගනිති. රූපත් ඇයගේ චරිතය මිනීමැරුම් හා ව්‍යභිචාරය සමඟ සම්බන්ධ වේ. මෙම කුරිරු ස්ත්‍රී මාරක නාමය ඇය වටා සිටින සියල්ලන්ගේ හදවත් තුළ භීතියක් ඇති කළේය.

[title]මරණ දඩුවමට එරෙහිව[/title]

වික්ටර් හියුගෝගේ ප්‍රථම පරිණත ප්‍රබන්ධ කෘතිය Last Days of a Condemned Man 1829 දී ප්‍රකාශයට පත් වූ අතර, ඔහුගේ පසුකාලීන Les Misérables කෘතියට බලපාන සමාජ හෘදය සාක්ෂිය පිළිබිඹු විය. මෙම කෘතිය ලෙ මිසරබල්ස් නවකතාවේ පූර්වගාමියා ලෙස සලකනු ලැබේ. වික්ටර් හියුගෝ මෙම නවකතාව ලියා ඇත්තේ මරණ දඬුවම අහෝසි කළ යුතු බවට ඔහුගේ හැඟීම් ප්‍රකාශ කිරීම සඳහා ය. මෙම පොත 1829 පෙබරවාරි මාසයේදී චාල්ස් ගොසලින් විසින් කතුවරයාගේ නමක් නොමැතිව ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම Last Days of a Condemned Man නවකතාවට පාදක වන්නේ 19 වන ශතවර්ෂයේ ප්‍රංශයේ මරණ දණ්ඩනය නියම කරනු ලැබූ මිනිසෙකු ඔහුගේ මරණය බලාපොරොත්තුවෙන් සිටියදී ඔහුගේ සිතේ හට ගන්නා හැඟීම් ය. නවකතාව ගිලටිනයට මුහුණ දීමට පෙර සිය අවසන් දවස්වල ජීවත්වන මිනිසෙකු විසින් ලියන ලද දිනපොතක ස්වරූපය ගනී. මෙහි සිත්ගන්නා කරුණ නම්, හියුගෝගේ ලෙ මිසරබල්ස් හි වීරයා වන ජීන් වල්ජියන්ගේ චරිතයද නවකතාවේ අඩංගු වීමයි . මරණ දණ්ඩනය නියම වූ තැනැත්තා සිර ගෙදර සිටින විටදී ඔහුට තවත් සිරකරුවෙකු මුණගැසෙයි. තම සහෝදරියගේ පවුල බේරා ගැනීම සඳහා පාන් ගෙඩියක් සොරකම් කිරීම නිසා ඔහුව සිරගත වූ බව ආගන්තුක සිරකරුවා පවසයි.

මරණ දණ්ඩනය නියම වූ මිනිසාගේ චිත්ත ස්වභාවය හියුගෝ එළි කරයි. කාලය ගෙවී යත්ම, ඔහුගේ ඉරණම වෙනස් කිරීමට තමාට හැකියාවක් නැති බව ඔහු දනී.මරණ දණ්ඩනය නියම වූ දිනයේදී ඔහු තම තුන් හැවිරිදි දියණියව අවසන් වරට දකින නමුත් ඇය ඔහුව හඳුනා නොගනී. නවකතාව අවසන් වන්නේ ඔහු කෙටියෙන් නමුත් මංමුලා සහගත ලෙස සමාව අයැදීමෙන් හා මිනිසුන්ට ශාප කිරීමෙන් පසුවය. පෝරකය අවට එක් රැස්ව සිටින මිනිසුන් ඔහුව මරා දමන ලෙස කෑ ගසති. ඔවුන් බලා සිටින්නේ ගිලටිනයේ තියුණු තළය සිරකරුවාගේ ගෙල මත පතිත වන තෙක්ය. මෙම කෘතිය මගින් කතුවරයා මරණ දණ්ඩනය කෙතරම් විනාශකාරීද යන්න විස්තරාත්මකව පෙන්වා දෙයි.

හියුගෝ චිත්‍ර කලාව ප්‍රිය කල අතර ඔහුගේ ජීවිත කාලය තුළ චිත්‍ර 4,000 ක් පමණ ඇන්දේය. හියුගෝ සිය චිත්‍ර මහජන අවධානයෙන් ඉවත් කළේ එය ඔහුගේ සාහිත්‍ය කෘති යටපත් කරනු ඇතැයි යන බියෙනි. වික්ටර් හියුගෝ සිය ජීවිත කාලය තුළ නවකතා හා නාට්‍ය 50 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කලේය. 1830 ගණන් වලදී හියුගෝ විසින් පද රචනා වෙළුම් කිහිපයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, හියුගෝගේ ගීත ශෛලිය පොහොසත්, තීව්‍ර සහ බලවත් ශබ්ද සහ රිද්මයන්ගෙන් පිරී තිබූනේය. හියුගෝගේ කවි අසාමාන්‍ය ලෙස පුළුල් පරාසයක තේමාවන් සමඟ සම්බන්ධ වෙයි.

වික්ටර් හියුගෝ දහනව වන සියවසේ වඩාත්ම බලගතු රොමෑන්ටික ලේඛකයෙකු ලෙස පිළිගැනේ. රොමෑන්ටිකවාදය හැඩගස්වා ගත් දෘෂ්ටිවාදාත්මක ප්‍රවාහයන්ගෙන් උපත ලැබූ කවියෙකු ලෙස හියුගෝ පෙනී සිටි අතර, ඒ අනුව කවියා උත්තරීතර පුද්ගල නිර්මාණකරුවෙකි, විධිමත් නීති රීති හා සාම්ප්‍රදායික ක්‍රියා පටිපාටි දැඩි ලෙස පිළිපැදීමට වඩා නිර්මාණාත්මක ආත්මය වැදගත් ය. ඔහු 18 වන සියවසේ සාම්ප්‍රදායික ප්‍රංශ වාක්‍ය නීති රීති බිඳ දැමීය. ඔහු පරිකල්පනය , ආත්මීයත්වය, සිතීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සොබාදහම පරමාදර්ශීකරණය වෙනුවෙන් පෙනී සිටියේය. හියුගෝ සාමාන්‍ය මිනිසාගේ කවියෙකු වූ අතර පොදු ප්‍රීතිය හා දුක පිළිබඳ සරල බවින් හා බලයෙන් ලිවීමට දැන සිටි හෙයින් ඔහුගේ අදහස්වල ත්‍යාගශීලිත්වය සහ ඒවායේ ප්‍රකාශනයේ උණුසුම තවමත් මහජන මනස තුළට ගෙන ගියේය.

[title]සංකේතවාදයේ පුරෝගාමියා[/title]

වික්ටර් හියුගෝගේ කවි රොමැන්ටික යුගයේ ආත්මය ග්‍රහණය කර ගත්තේය. ඔහුගේ කාව්‍ය සංග්‍රහයන්හි යුගයේ විශිෂ්ටතම කෘති කිහිපයක් අඩංගු වන අතර මරණය, සොබාදහම සහ ප්‍රේමය වැනි තේමාවන් මෙන්ම ඔහුගේ කාලයේ දේශපාලන ප්‍රශ්න ද පිළිබිඹු වේ. ඔහුගේ කාව්‍ය ශාස්ත්‍රීය ස්වරූපයෙන් නොව අදහස මත පදනම් විය. මේ සම්බන්ධයෙන් ගත් කල, ඔහු සර්ලයිලිස්වාදයේ සහ සංකේතවාදයේ පූර්වගාමියා ලෙස සැලකිය හැකිය.

යථාර්ථය පිළිබඳ හියුගෝගේ එළිදරව්වේ ප්‍රවේශය වූයේ 1886 දී ලියන ලද La Fin de Satan (“සාතන්ගේ අවසානය”) යන පාරභෞතික කාව්‍යයයි. මෙම කාව්‍යය නපුරේ ගැටළුවට මුහුන දෙයි. එය දිගු ආගමික වීර කාව්‍යයකි. මෙම කාව්‍ය සංගරහය ඔහු ලියන්නේ නොර්මන්ඩි වෙරළට ඔබ්බෙන් පිහිටි චැනල් දූපත්වල සිය පවුලේ අය සමඟ පිටුවහල්ව සිටියදීය.

එංගලන්තයේ චාල්ස් ඩිකන්ස් මෙන්ම, වික්ටර් හියුගෝ ද කම්කරු පන්තිය අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඔහු ප්‍රංශ සමාජයේ යටි පතුල් හෙළි කළ වීරයෙකු ලෙස සැලකේ. ප්‍රංශ ප්‍රේක්ෂකයෝ ඔහුව මූලික වශයෙන් කවියෙකු ලෙස සමරනු ලැබුවද, ඔහු ඉංග්‍රීසි කතා කරන රටවල නවකතාකරුවෙකු ලෙස වඩාත් ප්‍රසිද්ධය. ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ කෘති අතරට The Hunchback of Notre Dame (1831) සහ Les Misérables (1862) ඇතුළත් වේ. ඔහුගේ ලෙ මිසරබල්ස්” 19 වන සියවසේ වඩාත්ම ප්‍රසිද්ධ නවකතාවක් බවට පත් විය.

වික්ටර් හියුගෝ විසින් රචිත The Hunchback of Notre Dame නවකතාව වෝල්ටර් ස්කොට්ගේ අයිවන්හෝ සම්ප්‍රදායේ ඓතිහාසික නවකතාවක් වූ අතර එහි කතාව සිදුවන්නේ XI වන ලුවී (XIV-XV) ගේ පාලන සමයේදී ය. නවකතාව හරහා කතුවරයා පහළොස්වන සියවසේ ප්‍රංශ ජනතාව ගේ ජීවිත හා සිරිත් විරිත් විචිත්රවත් ලෙස ප්‍රති නිර්මාණය කරයි. එසේම මධ්‍යතන යුගයේ පැරිසියානු ජීවිතය පිළිබඳ පවසයි. තවද පැරිසියේ ගොතික් අතීතයේ ඇති තේජස හා වැදගත්කම පෙන්වා දෙයි. නවකතාව විවිධ සමාජ පංතිවල අරගල නිරූපණය කරන අතර පියකරු රෝමා තරුණියක වන එස්මරල්ඩා කේන්ද්‍ර කර ගත් ආදර ත්‍රිකෝණයක කතාව මෙහි දැක්වේ. එසේම අවලස්සන “ක්වාසිමෝඩෝ” පිලිබඳ විස්තර මෙහි ඇත.

ළදරුවෙකු ලෙස, ක්වාසිමෝඩෝව ඔහුගේම මව විසින් අතහැර දමන ලද අතර ඔහුව පල්ලිය විසින් හදා වඩා ගත්තේය. ඔහුගේ පිළිකුල් සහගත පෙනුම නිසා සමූහයා ක්වාසිමෝඩෝට බිය වෙති. ඔහු බිහිරි හා විකෘති වී ඇති අතර, ඔහුගේ පෙනුම ගැන මහජනයා විසින් නිග්‍රහ කරනු ලැබේ. පෙනුමෙන් ඔහු අර්ධ මෘගයෙකු හා අර්ධ මනුෂ්‍යයෙක් බව පෙනේ. පැරීසියේ පුරවැසියන් ඔහු යක්ෂයා යැයි සිතීම පුදුමයක් නොවේ. ඔහු බොහෝ විට පැරිසියේ ජනතාවගේ අපහාස හා චෝදනා දරාගත යුතුය. එහි ප්‍රතිඑලයක් වශයෙන් ඔහුට දුකක්, හුදෙකලා බවක් හා තනිකමක් දැනේ. ඔහු අවලස්සනය, රළුය. එහෙත් ඔහුගේ හදවත පිවිතුරුය.

කතාව පුරාම ක්වාසිමෝඩෝ එස්මරල්ඩා ආරක්ෂා කිරීමට උපරිම උත්සාහයක් දරයි. කවුන්ට් ෆ්‍රොලෝ, ක්වාසිමෝඩෝ සහ එස්මරල්ඩා සාහිත්‍ය ඉතිහාසයේ වඩාත්ම විකෘති, විකාර සහ අනපේක්ෂිත ප්‍රේම ත්‍රිකෝණය විය හැකිය. නවකතාවේ සෑම පෞරුෂයක්ම ස්ථාවර අදහසක්වටා ගොඩ නගා ඇත. එසේම මෙම නවකතාවේ රජෙකුගේ සිට ගොවියා දක්වා ජාතියක සමස්ත සමාජ ව්‍යුහය පවතියි. නවකතාව පන්ති අරගල කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. එසේම යහපත්කම, යුක්තිය සහ ආදරය පිළිබඳ අදහස මූර්තිමත් කරයි. “මැවීමේ සෑම දෙයක්ම මනුෂ්‍ය සුන්දර නොවන බවත්, සුන්දරත්වය අසල කැත පවතින බවත් කතුවරයා පෙන්වා දෙයි. නවකතාවේ ප්‍රබල තේමාව නම් දෙවියන් වහන්සේ ඇතැම් මිනිසුන් තුළ අසම්පූර්ණ ප්‍රතිරූපයක් නිර්මාණය කර ඇති බවයි. එය බොහෝ ආබාධ සහිත රූපයක් වන නමුත් එහි සීමාවන් ඉක්මවා අධ්‍යාත්මික ශ්‍රේෂ්ඨත්වය ළඟා කර ගත හැකි රූපයකි.

“The Hunchback of Notre Dame ” ඇත්ත වශයෙන්ම පැරිසියේ අමතක වූ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ සංකේතයකි. නවකතාව භීෂණය, මරණය සහ ප්‍රේමය පිළිබඳව ගෙතී තිබුනද කතුවරයා ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත්කම පවසයි. එසේම ගොඩනැගිලි පිළිබඳ විස්තර කෙරෙහි අවධානයක් යොමු කරයි. ” The Hunchback of Notre Dame ” නවකතාව පැරිසියේ ගොතික් ගෘහ නිර්මාණ ශිල්පය සුරැකීම සඳහා සටන් කළ ව්‍යාපාරයක් නිර්මාණය කිරීමට පොළඹවන ලදී.

වික්ටර් හියුගෝ ගේ ප්‍රබන්ධ බොහෝ විට ප්‍රංශයේ දේශපාලන හා සමාජ වාතාවරණය ගවේෂණය කර විවේචනය කළේය. ඔහු පැරිසියේ වැඩ කරන දුප්පතුන් ගේ අසරණ යථාර්ථය නිර්මාණය කළේය. 1830 දී ප්‍රංශ කම්කරුවෙකුගේ දරුවෙකුගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු දෙකකි. ප්‍රංශ අධිකරණ පද්ධතියේ දූෂිතභාවය සහ ප්‍රංශ බන්ධනාගාරවල තත්ත්වයන් පිළිබඳව ඔහු දැක්වූ පිළිකුල ඔහු ලෙ මිසරබල්ස් හි ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේය. ඔහු සමාජ සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්න මතු කලේය.

[title]මනුතාපය[/title]

ලෙ මිසරබල්ස්” යනු වික්ටර් හියුගෝ විසින් 1862 දී ප්‍රකාශයට පත් කරන ලද නවකතාවකි. මෙම කෘතිය මගින් ඔහු සමාජ දුක්ඛිතභාවය සහ අයුක්තිය ගවේෂණය කරන ලදී. මෙම නවකතාව අයි. එම්. ආර්. . ඊරියගොල්ල මහතා විසින් මනුතාපය යන නමින් සිංහලට පරිවර්තනය කොට තිබේ.

ලෙ මිසරබල්ස් යනු පැරිසියානු සමාජයේ සහ එහි පාතාල ලෝකයේ විශාල පරිදර්ශනයක් වන අතර, එහි බොහෝ ප්‍රසිද්ධ කථාංග සහ ඡේද අඩංගු වෙයි. නැපෝලියන් බොනපාට් යනු වික්ටර් හියුගෝට ලෙ මිසරබල්ස් කෙරෙහි බලපෑ එක් ප්‍රබල බලපෑමකි. නවකතාව තුළ හියුගෝ වල්ජියන් සහ නැපෝලියන් අතර සංකේතාත්මක සමාන්තරතාවයක් නිර්මාණය කරයි. දුප්පත් සිසුවෙකු ලෙස හියුගෝ ගේ ජීවිතයේ මතකයන් පසු කලෙක ඔහුගේ ලෙ මිසරබල්ස් නවකතාවේ මාරියස්ගේ චරිතයට ආභාෂය ලබා දුන්නේය.

ලෙ මිසරබල්ස් හි කතාව 1815 දී ආරම්භ වී 1832 දී අවසන් වේ. පාන් ගෙඩියක් සොරකම් කිරීම සම්බන්ධයෙන් වසර 19 ක් සිරගතව සිටින සමාජයේ ගොදුරක් වූ ජීන් වල්ජියන් (සිරකරු 24601 ) පිළිබඳ කතාව මෙහි කේන්ද්‍රගත වේ. ඔහු නිදහස් වූ පසු, ඔහු යන සෑම තැනකම ඔහුව නෙරපා හරින ලද අයෙකු ලෙස සලකනු ලබති. බිෂොප් මීරියෙල් , ජීන් වල්ජියන්ට නව ජීවිතයක් නිර්මාණය කිරීමට උදව් කරයි. බිෂොප් මීරියෙල් ගේ ආදරය, කරුණාව සහ ත්‍යාගශීලිත්වය ස්පර්ශ කළ වල්ජීන් නව අනන්‍යතාවයක් යටතේ අවංක ජීවිතයක් ආරම්භ කිරීමට පොරොන්දු වෙයි. ඔහු මොන්සියර් මැඩලීන් යන නම භාවිතා කර සාර්ථක කර්මාන්තශාලා හිමිකරුවෙකු බවට පත්වේ. කෙසේ වෙතත්, ඔහු දඩයම් කරනු ලබන්නේ පොලිස් නිලධාරියෙකු වන ජාවර්ට් ය. ජාවර්ට් විශ්වාස කරන්නේ කිසිම අපරාධකරුවෙකු පුනරුත්ථාපනය කළ නොහැකි බවයි. වැල්ජියන් සාමාන්‍ය මිනිසා මූර්තිමත් කරන අතර ජාවර්ට් එකල සමාජ ආයතන සංකේතවත් කරයි. ජීන් වල්ජියන් අවසානයේදී තම දරුකමට හදාගත් දියණිය වන කොසෙට් සහ ඇගේ සැමියා වන මාරියස් වෙනුවෙන් කැපවී සිටී. නවකතාව අවසානයේදී ජීන් වල්ජියන් සාමකාමීව මිය යන්නේ යහපත් හා ධර්මිශ්ඨ ජීවිතයක තෘප්තියෙනි. ලේඛකයාගේ ප්‍රධාන ඉලක්කය වූයේ මිනිසෙකුගේ නපුරේ සිට යහපත දක්වා, වැරැද්දේ සිට යුක්තිය දක්වා, මුසාවාදයේ සිට සත්‍යය දක්වා යන මාර්ගය පෙන්වීමටයි.

මෙම කෘතියේ වඩාත්ම “ප්‍රතික්ෂේප කරන ලද” වීරයා සදාචාරාත්මක ගොඩනැගීමේ දුෂ්කර මාවතකට පිවිසෙයි. එය ආරම්භ වූයේ ධර්මිෂ් බිෂොප් හැත්තෑපස් හැවිරිදි චාල්ස් මීරියෙල් සමඟ අනපේක්ෂිතව හමුවීමෙනි. ජීන් වල්ජියන්ගේ ජීවිතය ආරම්භ වන්නේ සිරෙන් නිදහස් වීමෙන් පසුවය. කතාවේ ප්‍රධාන චරිතය වන ජීන් වල්ජියන් මුලදී දකින්නේ වෛරය මිස අන් කිසිවක් නොවේ. ජීන් වල්ජියන්ට නීතිය හා සමාජය කෙරෙහි ඇති වෛරය ඉදිරියට යන්නේ ඔහු තුළ නපුරක් ඇති කිරීමට පමණි. වෛරය ඔහුගේ එකම ආයුධය වූ අතර, ඔහු එය සිරගෙදර මුවහත් කර ඔහු පිටත්ව යන විට එය රැගෙන යාමට තීරණය කළේය. ජීන් වල්ජියන් තුළ ඇති නපුර මුළුමනින්ම අහෝසි කිරීම සඳහා වික්ටර් හියුගෝ ඩිග්නේහි බිෂොප් චාල්ස් මීරියෙල් ඔහුගේ මාවතෙහි තබයි නපුර, වෛරය, උමතුව, පළිගැනීම සහ ඒත්තු ගැන්වීම වැනි තේමාවන් සමඟ වික්ටර් හියුගෝ සමාව දීම තුළින් සෑම චරිතයක්ම පරිවර්තනය කිරීමට ඉඩ සලසයි. ජීන් වල්ජියන්ගේ චරිතය වර්ධනය කිරීමේදී, වික්ටර් හියුගෝගේ ඉලක්කය වන්නේ, ජීන් වල්ජියන්ගේ වෙනස දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මුදවා ගන්නා පව්කාරයෙකුගේ ජීවිතය ලෙස නිරූපණය කිරීමයි.ආරම්භයේ දී, ඔහු මිනිසුන්ට යහපත කිරීමට ඉගෙන ගනී, පසුව සත්‍යයේ නාමයෙන් කැපකිරීමට, ඉන්පසු ඔහු ලෝකයේ වඩාත්ම ආදරය කරන දේ අත්හැරීමට ඉගෙන ගනී. අතහැරීමද (Renunciation) නවකතාවේ ප්‍රවර්ධනය කරන එක් ගුණාංගයකි

නවකතාවේ ජීන් වල්ජියන්ගේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ චරිතය නම් පොලිස් පරීක්ෂක ජාවර්ට් ය. ජාවර්ට් විශ්වාස කරන්නේ නීතිය පමණි. ඔහු තුල සැබෑ කරුණාව හෝ පරාර්ථකාමී බවක් නොපෙනේ. ජාවර්ට් යනු සමාජ පර්යායේ මුරකරු ය. හියුගෝ පැහැදිලි කරන්නේ ජාවර්ට්ට සැබවින්ම නීතිය කෙරෙහි ඇල්මක් ඇති බවය. ජාවර්ට් විශ්වාස කරන්නේ නීතිය කඩ කරන ඕනෑම පුද්ගලයෙකු අපරාධකරුවෙකු වන අතර පුද්ගලයෙකු අපරාධකරුවෙකු බවට පත් වූ විට ඔහු හෝ ඇය සැමවිටම අපරාධකරුවෙකු වනු ඇති බවයි. ඔහු ජීන් වල්ජියන් සොයා ගැනීම ඔහුගේ ජීවිතයේ කාර්යයක් බවට පත් කරයි. ඔහුගේ දරුණුතම සතුරා වන ජීන් වල්ජියන් විසින් ඔහුට ලබා දුන් අනපේක්ෂිත නිදහස් කිරීම මගින් ජාවර්ට් ව්‍යාකූලත්වයට පත්වේ. ඔහු මිනිසුන් විසින් නිර්මාණය කරන ලද නීතිවලට වඩා යමක් ලෝකයේ ඇති බව අවබෝධ කර ගනියි. නීතිය හා මනුෂ්‍යත්වය අතර ගැටුම නිසා ඔහු සියදිවි නසා ගනී.

සැබෑ අපරාධකරුවන් හික්මවීමට අපොහොසත් දූෂිත අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියක් හොඳ මිනිසුන් දැඩි අපරාධකරුවන් බවට පරිවර්තනය කරයි යන්න නවකතාවෙන් පෙන්වා දෙයි. පවත්නා නීති හා සිරිත් විරිත් මගින් සමාජ නපුර නිර්මාණය වී පෝෂණය වන බවට හියුගෝගේ විශ්වාසයයි. දහනව වන ශතවර්ෂයේ ප්‍රංශයේ නීතිමය හා සමාජ ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරයට ලෙස් මිසරබල්ස් බලපෑම් කළේය. නවකතාවේ ආධිපත්‍යය දරන කේඳ්‍රීය තේමාවන් දෙක වන්නේ එහි ප්‍රධාන චරිතය වන හිටපු වැරදිකරුවෙකු වන ජීන් වල්ජියන් සදාචාරාත්මකව මුදවා ගැනීම සහ විප්ලවය තුළින් ජාතියක් සදාචාරාත්මකව මුදවා ගැනීමයි. වික්ටර් හියුගෝ මෙසේ පැවසීය: “මම වහල්භාවය හෙළා දකිමි, දුප්පත්කම දුරු කරමි, මම නොදැනුවත්කම උගන්වමි, මම රෝගවලට ප්‍රතිකාර කරමි, රාත්‍රිය සැහැල්ලු කරමි, වෛරයට වෛර කරමි. නවකතාව මානව දුක් වේදනා, දුප්පත්කම සහ නොදැනුවත්කමට එරෙහි විවේචනාත්මක ප්‍රකාශයකි. එහි අරමුණ කලාත්මක මෙන්ම දේශපාලනික ය.

වික්ටර් හියුගෝ ඔහුගේ කාලයේ වැදගත් දේශපාලන චරිතයකි. ඔහුගේ දේශපාලන ජීවිතය පදනම් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් ලෙස රිපබ්ලිකානුවාදයට ඔහු දැක්වූ සහයෝගය මත ය. මරණීය දණ්ඩනයට හා සමාජ අසාධාරණයට එරෙහිව ඔහු හඞ නැගුවේය. 1848 විප්ලවයෙන් පසුව, දෙවන ජනරජය පිහිටුවීමත් සමඟ හියුගෝ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සහ ව්‍යවස්ථාදායක සභාවට තේරී පත් විය. 1851 දී ලුවී නැපෝලියන් (III නැපෝලියන්) විසින් සිදු කරන ලද කුමන්ත්‍රණයෙන් පසු , හියුගෝ විශ්වාස කළේ ඔහුගේ ජීවිතය අනතුරේ පවතින බවය. ඔහු බ්‍රසල්ස් වෙත පලා ගියේය. හියුගෝගේ ස්වේච්ඡා පිටුවහල් කිරීම වසර 20 ක් දිගු විය. 1853 නොවැම්බරයේදී හියුගෝගේ දරුණු නැපෝලියන් විරෝධී කෘතිය වන Les Châtiments බෙල්ජියමේ ප්‍රකාශයට පත් කරන ලදී. III වන නැපෝලියන් මෙම කෘතිය හොඳින් කියවා පිටපතක් ඔහුගේ ඇඳ අසල තබා ගත් බව කියනු ලැබේ. හියුගෝගේ කුරිරු හෙලාදැකීම නිසා ලුවී නැපෝලියන් කෙතරම් විනාශයට පත්වී ඇත්දැයි කිවහොත්, ඔහුගේ පළමු කියවීමේ කම්පනයෙන් ඔහු කිසි විටෙකත් සම්පූර්ණයෙන් සුවය ලැබුවේ නැත. ලුවී නැපෝලියන් ,හියුගෝ සමඟ සංහිඳියාව ඇති කිරීමට පවා උත්සාහයක් ගත් අතර, හියුගෝට නැවත ප්‍රංශයට පැමිණෙන ලෙස ප්‍රසිද්ධියේ ආරාධනා කළේය.1859 දී ලුවී නැපෝලියන් සියලු දේශපාලන සිරකරුවන්ට පොදු සමාවක් ලබා දුන්නද, හියුගෝ එය ප්‍රතික්ෂේප කළේය. එයින් අදහස් කළේ ඔහුට රජය පිළිබඳ විවේචන සීමා කිරීමට සිදුවනු ඇති බවයි. ලුවී නැපෝලියන් බලයෙන් පහවී තුන්වන ජනරජය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව 1870 දී හියුගෝ නැවත සිය මව්බිමට පැමිණියේය.

හියුගෝගේ අවසාන නවකතාව වන Quatrevingt-treize- (අනූ තුන ) 1874 දී ප්‍රකාශයට පත් කරන ලද්දේ ලෙ මිසරබල්ස්ගෙන් වසර දොළහකට පසුවය. ප්‍රංශයේ 1793 කැලඹිලි සහිත වසර කේන්ද්‍ර කර ගත් අතර ප්‍රංශ විප්ලවයේ පසුබිමට එරෙහිව මානව යුක්තිය සහ පුණ්‍ය කටයුතු නිරූපණය කළේය. මෙම නවකතාවෙන් විප්ලවවාදීන්ට පක්ෂව ඔහු සිටින්නේ කොතැනද යන්න හියුගෝ පැහැදිලි කරයි. විප්ලවවාදී හේතුව සාධාරණ එකක් බවත් අවසානයේ එය ජයග්‍රහණය කරන බවත් ඔහු දැඩි ලෙස විශ්වාස කළේය. විප්ලවය අවසානයේ මානව වර්ගයාට ප්‍රයෝජනවත් වනු ඇති බව හියුගෝ පැහැදිලි කරයි. මෙම නවකතාවේ සෘජු වීරයන් නොමැත. සෑම කෙනෙකුම පාහේ ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් ඝාතන කිරීමේ හැකියාව පෙන්නුම් කරති. හියුගෝගේ පොතේ අසාමාන්‍ය බලය පැමිණෙන්නේ ඔහුගේ චරිත මෙහෙයවන සංකීර්ණ අභිප්‍රේරණයන් පිළිබඳ ඔහුගේ තීක්ෂ්ණ බුද්ධියෙන් ය. මෙම කෘතිය රොබට් ලුවී ස්ටීවන්සන් සහ ඇන්ඩ්‍රේ මෞරොයිස් අතිශයින්ම අගය කළහ.

හියුගෝගේ කෘති අතිශය අසාමාන්‍ය බවත් නවකතාවේ මනෝ විද්‍යාත්මක හෝ විස්තරාත්මක සත්‍ය ලක්‍ෂණය සාක්‍ෂාත් කර ගැනීමට ඒවා අසමත් වන බව සමහර විචාරකයෝ පවසති. මේ අනුව හියුගෝගේ කෘති දොස්තයෙව්ස්කි ගේ කෘති වලින් වෙනස් වෙයි. වික්ටර් හියුගෝ සාමාන්‍ය පුරුෂයාගේ හා ස්ත්‍රියගේ ප්‍රීතිය හා ශෝකය සරළව ලිවීමට දැන සිටියේය. ඔහු දොස්තයෙව්ස්කි මෙන් අභ්‍යන්තර මනසේ විශ්ලේශණය ඉදිරිපත් කලේ නැත. එහෙත් දෙදෙනා අතර යම් සමානත්වයක් තිබේ. වික්ටර් හියුගෝ සහ ෆියෝඩර් දොස්තයෙව්ස්කි විශේෂයෙන් කාන්තාවන්ට සිදුවන සමාජීය කරදර කෙරෙහි අවධානය යොමු කළ අතර කාන්තාවන්ගේ අයිතිවාසිකම්වල දියුණුවට පක්‍ෂව තර්ක කළහ. හියුගෝට සමාජ අසාධාරණය හේතුවෙන් තනිකරම දුක් විඳි වැල්ජියන් සානුකම්පිත චරිතයක් බවට පත් කර ඔහුව ආදර්ශ පුරවැසියෙකු ලෙස පත් කළ හැකිය. නමුත් දොස්තයෙව්ස්කිගේ දුක් විඳි චරිත විනාශය කරා ඇදී යති.

[title]නොනවතින මානවවාදී ප්‍රගතියක්[/title]

වික්ටර් හියුගෝ ගේ කෘති ඔහුගේ කාලයේ පැවති දේශපාලන හා සමාජීය ගැටලු සහ කලාත්මක ප්‍රවණතා බොහොමයක් ස්පර්ශ කරයි. නූතන යුරෝපීය ඉතිහාසයේ අතිශය කැලඹිලි සහිත දශක හයක් පුරා විහිදුණු ඔහුගේ සාහිත්‍ය ජීවිතය කවි, නාට්‍ය, නවකතාව සහ ප්‍රබන්ධ නොවන ලේඛන ඇතුළත් විය. ලේඛකයෙකු ලෙස ඔහු විශ්වාස කළේ කලාකරුවන් තම සමාජයට දැක්විය යුතු කැපවීම ගැන ය. ඔහුගේ විප්ලවීය හා මතභේදාත්මක ලිවීමේ ශෛලිය නිසා හියුගෝ අතුල්‍ය වෙයි. හියුගෝ කලාව, මානව ස්වභාවයේ පූර්ණ පරිමාව පිළිබිඹු වන පරිදි සම්භාව්‍යවාදයේ විධිමත් බාධක වලින් නිදහස් කිරීම ගැන කතා කළේය. ඔහු දේශපාලන රාජ්‍ය තාන්ත්‍රිකයෙකු හා මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකුද විය. ඔහුගේ ජීවිතයේ පුද්ගලික ඛේදවාචක බොහෝ තිබුණි. 1868 දී ඔහුට බිරිඳ අහිමි විය. ඊළඟ දශකය තුළ ඔහුට 1871 සහ 1873 අතර පුතුන් දෙදෙනෙකු අහිමි විය. ඔහුගේ දියණිය වන ලියෝපෝල්ඩින්ගේ මරණය ඔහුට දරා ගත නොහැකි විය. පියෙකු ලෙස ඔහුට තම දරුවන් සිව්දෙනෙකු භූමදාන කිරීමට සිදු විය. ඔහු අත් විඳි ඛේදය බොහෝ විට ඔහු තම නිර්මාණයන්ට විශේෂයෙන් කාව්‍යන්ට මුසු කලේය.

වික්ටර් හියුගෝ 1885 මැයි 22 වන දින පැරිසියේදී මිය ගියේය. ඔහුගේ අවමංගල්‍ය උත්සවය රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ උත්සවයක් වූ අතර ඔහුගේ අවමංගල පෙරහැර සඳහා මිලියනයක ජනතාවක් සහභාගී වූහ. ඔහුව තැන්පත් කරනු ලැබුවේ ප්‍රංශයේ පැරිස් හි පැන්තියන්හි ය.

හියුගෝ ප්‍රංශ සාහිත්‍යයේ දැවැන්තයෙකු විය. ඔහුගේ ජීවිත කාලය පුරාම හියුගෝ නොනවතින මානවවාදී ප්‍රගතියක් විශ්වාස කළේය. ඔහු සාහිත්‍යයේ විශිෂ්ට චරිතයක් ලෙස ගෞරවයට පාත්‍ර වූවා පමණක් නොව, ප්‍රංශයේ තුන්වන ජනරජය සහ ප්‍රජාතන්ත්‍රවාදය හැඩගස්වා ගත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකුද විය. හියුගෝගේ සාහිත්‍ය කෘති ඔහුගේ ප්‍රංශ සමකාලීනයන් වන සොලා සහ ගුස්ටාව් ෆ්ලෝබර්ට්ගේ සිට ෆියෝඩර් දොස්තයෙව්ස්කි සහ චාල්ස් ඩිකන්ස් සහ ඇල්බට් කැමූ වැනි ලේඛකයින් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කළේය. ඔහුගේ ලේඛනවල නූතන සමාජයට අදාළ බොහෝ ලක්ෂණ ඇති අතර ඒවාට මානවවාදය, මානව හිමිකම්, යුක්තිය සහ ජනතාවගේ සාධාරණ, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ඇතුළත් වේ.

Works Cited

Brombert, V. H.(1984). Victor Hugo and the Visionary Novel. Cambridge, Mass.: Harvard University Press.

Houston, J. P. (1988). Victor Hugo Revised Ed. Boston Mass.: Twayne Publishers.

Hugo, Victor. Les Misérables. Trans. Lee Fahnestock and Norman MacAfee. New York: New American Library, 1987.

Richardson, J.(1976). Victor Hugo, New York: St. Martin’s Press.

Robb, G. (1997). Victor Hugo: A Biography. New York: Norton.

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...