Sunday, October 25, 2020

මහින්දගේ දහඅට ගෝඨාභයගේ විස්ස නොවන හැටි – සුනන්ද දේශප්‍රිය

18.19.20.

ඉදින් විස්ස යනු දහඅට නොවන බව නොදන්නේ කව්ද? ඒ අංක ගණිතයේදීය. නමුත් වීජ ගණිතමය සමීකරණයකදී එය එසේ නොවීමට ඉඩ තිබේ. මන්ද යත් වීජ ගණිතයේ දී සංඛ්‍යාවන්ට වෙනම අගයන් ලබාදිය හැකි නිසාය.

[title](18) x Y + 1/d = 20[/title]

ගෝඨාභයට අනුව විසිවන සංසෝධනය යනු දහ අටවන සංසෝධනයම වේ. ඒ පදයෙන් පදය වාක්‍යයෙන් වාක්‍ය සංසන්දනය කරන්නේ නම් පමණි. නමුත් විසිවන සංසෝධනය නම් දේශපාලනය සිදු වන්නේ සුදු කොළයක් මත නොවේ. නැත්නම් හිස් අවකාශයක නොවේ. නිශ්චිත සමාජ දේශපාලන සංදර්භයක් තුළය. දහඅට වන ව්‍යවස්ථා සංසෝධනය සහ විසිවන ව්‍යවස්ථා සංසෝධනය බොහෝ දුරටම පදගතාර්ථයෙන් එකිනෙකට සමාන වන නමුත් ඒවා පිහිටුවෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් සමාජ දේශපාලන සංදර්භයන් තුළය.

18වන සංසෝධනය සම්මත කරන ලද්දේ 2010 සැප්තැම්බර් 08දාය. එය ඉදිරිපත් කරන ලද්දේ ඊට දින දහයකට කලිනි. හදිසි පනතක් ලෙස ඉදිරිපත් කරන ලද නිසා මහජන සාකච්ජාවට ඉඩක් නොදී අධිකරණයෙන් කොළ එළිය ලද 07දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද එය 08වනදාම සම්මත කැරුණි.

ඒ සදහා අවශ්‍ය වූ තුනෙන් දෙකේ බහුතරය රාජපක්ෂවරුන්ට ලබා ගතහැකි වූයේ එජාප මංත්‍රීවරුන් 06 දෙනෙකු සහ රවුෆ් හකීම් ඇතුළු මුස්ලිම් කොන්ග්‍රසයේ මංත්‍රීවරු 08 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය දුන් නිසාය. ඔවුන් විපක්ෂ පක්ෂ සමඟ එක්ව ඡන්දය දුන්නේ නම් 18 සම්මත වන්නේ නැත නවින් දිසනායක එළෙස ඡන්දය දුන් එජාප මංත්‍රීවරයෙකි. රිෂාඩ් බදුර්දීන් ඡන්දය දුන්නේද ඊට පක්ෂවය. රවුෆ් රකීම් කියා සිටියේ තමන් කිසිදු බලපෑමකට යටත්ව නොව මුලු හදවතින්ම එකී සංසෝධනයට ඡන්දය දෙන බවය. චම්පික රණවක ඡන්දය දුන්නේ ඊට පක්ෂව ප්‍රහාරාත්මක කතාවක් සමඟය. ට විරුද්ධව අනුර කුමාර කළ හරවත් කරුණු දැක්වීමට දිගටම උදලු දැම්මේ රාජිත සේනාරත්නය.

18 වන සංසෝධනයට පක්ෂව ජන්ද 161ක් ලැබුණි. විරුද්ධව ජන්දය ප්‍රකාශ කළේ 17 දෙනෙකු පමණි. දෙමළ සන්ධානය සහ ජවිපෙ හැරුණ විට විරුද්ධව ඡන්දය දීමට පාර්ලිමේන්තුවට පැමිණියේ අර්ජුන රණතුංග සහ සරත් පොන්සේකා පමණි. එජාපයේ මංත්‍රීවරු සහ මංත්‍රීවරියන් 45 දෙනෙකු ඡන්දය දීමට පැමිණියේ නැත.

[title]එදා සහ අද වෙනස[/title]

අද රාජපක්ෂවරුන්ට සිය සහායක පක්ෂ සමඟ ඡන්ද 151ක් තිබේ. ඊටත් වඩා අද සිංහල සමාජයෙහි ඒකාධිපති පාලකයකු අවශ්‍ය බවට මතවාදයක් ද තිබේ. අද එදාට වඩා සිංහල බෞද්ධ සමාජයෙහි රාජපක්ෂවාදී මතවාදී ආධිපත්‍ය ප්‍රබලය. අද ඔවුන් රවුෆ් හකීම් සහ බදුර්දීන් එක් කරගන්නේ නැත.

2010 වර්ශයෙහි තිබූ පශ්චාත් යුද්ධ සන්දර්භය සහ 2020 පවත්නා පශ්චාත්කෝවිඩ් සන්දර්භය ද වෙනස්ය. පශ්චාත්යුද්ධ සන්දර්භයෙහි බැංකි මූන්ගේ ශ්‍රී ලංකා සංචාරය, දෙමළ ජාතික සන්ධානයේ ප්‍රබල දේශපාලන බලය, යුද සමයෙහි වූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධ අන්තර් ජාතික උනන්දුව, සරත් පොන්සේකාගේ භූමිකාව යනාදී සංඝටක කැපී පෙනුනි. යුද සමයෙහි සිදුවූ බවට කියැවුණු මානව හිමිකම් කෙළෙසීම් සොයා බැලීම සදහා කොමිෂන් සභා දෙකක්ම මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයෙහි පිහිටුවන ලදී.

[title]පශ්චාත් කෝවිඩ් යුදකරණය[/title]

අද පවත්නා පශ්චාත්කෝවිඩ් සමය ප්‍රධාන වශයෙන්ම ලක්ෂිත වන්නේ පෙර නොවූ විරූ මට්ටමක ආර්ථික කඩා වැටීමකින් සහ සමාජය පුරාම පතුරුවා ඇති යුදකරණයෙනි. ආර්තීක අරබූදය හුදෙක් දේශීය තත්වයක් පමණක් නොව අන්තර් ජාතික අර්බූදයක් ද වෙයි. මෙම ආර්ථික කඩා වැටීමෙන් ලෙහෙසියෙන් ගොඩ ආ හැකි යැයි පූරෝකථනය කරන ආර්ථික විද්‍යාඥයකු අද නැත.

එමෙන්ම කෝවිඩි මැඩළීම සදහා රට පුරාම බුද්ධි සේවා ජාල දැළක් එලන ලදී. ඒ කොතෙක් ද යත් කසළ තේ ව්‍යාජ ලේබල යටතේ රට පැටවීමට ක්‍රියාකරමින් තිබූ තේ කර්මාන්ත ශාලා සොයා ගන්නා ලද්දේ බුද්ධි සේවාවන්හි තොරතුරු මතයැයි පසුගියදා වාර්තා විය. තවද මෙරට විශ්ව විද්‍යාලයන්හි සිදුවන නවක වධය ක්‍රියාත්මක කරන ශිෂ්‍ය කණ්ඩායම් අල්ලා ගැනීම පිනිස බුද්ධි අංශ විශ්ව විද්‍යාලයන්ට අනුයුක්ත කරනු ඇති බවද නිල වශයෙන්ම වාර්තා කර තිබේ. රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ රට පුරා දියත් කර ඇති පරීක්ෂනය කරගෙන යනු ලබන්නේ ත්‍ර‍ස්ත විමර්ශන ඒකකය යටතේය. ග්‍රාම නිලධාරීන්ගේ පටන් ජනතාව සමග එදිනෙදා කටයුතු කරන සියළුම සේවාවාන් දැන් තිබෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේය. ශ්‍රී ලංකාවෙහි මෙන් කෝවිඩ් පාලනය කිරීම යුද හමුදාපතිවරයා යටතට පත් කළ වෙනත් රටක් නැත.

අධ්‍යාපන සුදුසුකම් නැති තරුණ තරුණියන් අතරින් රැකියා සඳහා බදවා ගන්නා ලක්ෂයක බලකාය තිබෙන්නේ හිටපු යුද හමුදා ජෙනරල්වරයකු යටතේය. ඔවුන්ට පුහුණුව දී රැකියාවන්ට යොමු කැරෙනු ඇත්තේද යුද හමුදා යාන්ත්‍රණයක් මගිනි.

එවකට ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ මෙන් නොව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුදවාදී මනසකින් යුතු දේශපාලනයද යුද්ධයක් යැයි කල්පනා කරන හිටපු හමුදා ප්‍රධානියෙකි. ගෝඨාභය රාජපක්ෂගේ අත්දැකීමද මිතුරු සමාජයද එන්නේ යුද්ධ හමුදාවෙනි. විශ්‍රාමික ජෙනරල්වරුන් මත ගෝඨාභය රාජපක්ෂ යටතෙහිදී තරම් අන් කිසි කළක මෙරට රාජ්‍ය පාලනය රදා පැවැතී නැත.

[title]මහින්දගේ පදනම දේශපාලන සමාජයයි.[/title]

ඊට ප්‍රතිවිරුද්ධව මහින්ද රාජපක්ෂගේ අත්දැකීම සහ මිතුරු සමාජය ආවේ දේශපාලනයෙනි. ඔහු විශ්වාසය තැබුවේ ජෙනරල්වරුන් මත නොව දේශපාලනඥයින් මතය.

අද දෙමළ දේශපාලනයේ තිබූ එක්සත්කම දේශී්‍ය මෙන්ම විදේශීය වශයෙන්ද බිදී විසිරී ගොස් තිබේ. මධ්‍යස්ථ දෙමළ දේශපාලනයේ තැන අන්ත ජාතිකවාදී මතවාද සහ ව්‍යුහයන් විසින් අල්ලා ගනිමින් තිබේ. යුද සමයේ සිදුවූ බරපතල මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් යුක්තිය සහ වගවීම ඉල්ලා පශ්චාත්යුද සමයේ දක්නට ලැබුණූ උද්ඝෝෂනයන් පශ්චාත්කෝවිඩ් සමයෙහි එළෙසම දකින්නට නොලැබෙනවා ඇත. දකුණේ එක්සත් ජාතික පක්ෂය සහ ජවිපෙ දුර්වල එදාට වඩා වී ඇති අතර උතුරෙහි දෙමළ සන්ධානය දුර්වල වී තිබේ.

කෙටියෙන් විසිවන සංසෝධනය මගින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අත්තනෝමතික පාලන බලතල ලබා දෙන්නේ උග්‍රවන සමාජ හා ආර්ථික අර්බූද සමයක එන්න එන්නම සමාජය සහ රාජ්‍ය පාලනය යුදකරණය කැරෙන සන්දර්භයකය.

දහ අට සහ විස්ස අතර ඇති අංක ගණිතමය නොවන වෙනස ඇතිවන්නේ එම සන්දර්භ වෙනස නිසාය.

[title]”වැඩකරන විරුවා”[/title]

මෙම සමීකරණයට අප විසින් එක් කළ යුතු තවත් සාධකයක් වෙයි. එනම් ගෝඨාභය රාජපක්ෂගේ පුද්ගලික වැඩ කිරීමේ ශෛලියයි.

ගෝඨාභය රාජපක්ෂ පෙනන විදිහට තනිව නැත්නම් ස්වකීය කුඩා මිතුරු සමාජය සමඟ එක්ව තීරණ ගැනීමට කැමැත්තක් දක්වයි. ඒ සඳහා මෑතම උදාහරණයක් නම් ජපාන ආධාරයෙන් ගොඩ නැගීමට නියමිත වූ මාලඹේ කොළඹ සැහැල්ලු දුුම්රිය නතර කිරීමට ඔහු විසින් දෙන ලද නියෝගයයි. එය ආර්ථික වශයෙන් අයෝග්‍ය බවට ඔහු තීරණය කරන ලද්දේ කුමන හේතූන් උඩද යන්න එම අහෝසි කිරීමේ ලිපියෙහි දක්වා නැත. මෙවැනි උදාහරණ බොහෝය.

ලෝක උරුමයක් ලෙ සැළකෙන සිංහරාජ වනාන්තරය හරහා මහා මාර්ගයක් ඉදිකිරීමට පක්ෂවද අවසාන තීරණය දුන්නේ ඔහුය. ඒ සම්බන්ධයෙන් කිසිදු විධිමත් සාකච්ජාවක් හෝ අදහස් සොයා බැලීමක් සිදු වූයේ නැත. අද රට පුරා සිදුවන වන සංහාරය පැන නැගෙන්නේ ද ගෝඨාභය රාජපක්ෂගේ ආර්ථික ඌනතිවාදයෙනි. එනම් ආර්ථික සංවර්ධනය සදහා අන් සියලූ දේ කැප කළ යුතුය යන අදහසයි. එයද තනි ඉරක් වැනි සිතීමක විපාකයකි.

තවද ඔහු ඉහළ මට්ටමේ පමණක් නොව පහළ මට්ටමමේද කලමනාකරනය සිය අත වටට ගැනීමට කැමැත්තක් දක්වයි. හාල් කිරන්නට යන්නේත්, රිදුරු බලපත් ලබා දෙන්නට යන්නේත් නිවාස ණය විමසා බැලීමට යන්නේත් ඒ නිසාය. ගෝඨාභය රාජපක්ෂ කවර තලයකදීවත් බලය බෙදා ගැනීමට කැමැත්තක් දක්වන දේශපාලනඥයෙක් නොවේ. ජනාධිපති කාර්ය සාධක බලකා පිහිටුවීමද මේ දිශානතියම සහිත ප්‍රබල වර්ධනයකි.

තවද විසිවන ව්‍යවස්ථා සංසෝධනය මගින් ශක්තිමත් කරනු ඇත්තේ දැනටමත් එළෙස ජනාධිපති කාර්ය සාධක බලකා ගණනාවක් මගින් ස්වකීය විධායක බලය ක්‍රියාත්මක කරමින් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය. සිය බලය කොපමණදැයි ඔහු පසුගිය අමාත්‍ය මංඩල රැස්වීමකදී අගමැති මහින්ද රාජපක්ෂටම පෙන්වා දුන්නේය.

[title]සාන්තදාන්ත සහ ආවේගශීලී ගෝටා[/title]

වරෙක සාන්ත දාන්ත පෙනුමක් සහ හැසිරීමක් සහිත නමුත් අවේගශීලී වන ගෝඨාභය රාජපක්ෂ කවරකු වැනිදැයි සමහර විට එම අමාත්‍ය මංඩල රැස්වීමේදී යාන්තමට හෝ පෙනෙන්ට ඇත. අවේගශීලී ගෝඨාභය රාජපක්ෂ දැක ගැනීමට නම් අයකු කළ යුත්තේ ඝාතනය කරන ලද න්ඩේ ලීඩර් කර්තෘ “ලසන්ත කව්ද”යි ඔහු අසන හෝ පැහැර ගන්නා ලද සුදරෝලි කර්තෘ “විද්‍යාදරන් කොටියෙකැයි” කියන වීඩියෝ දර්ශන යළි නැරඹීමයි. නැත්නම් ඒවා මතකයට නගා ගැනීමයි.

දැන් විසිවන සංසෝධනයෙන් ලැබෙන ඒකාධිපති බලතල එම වීඩියෝ දර්ශනයන් සමඟ සම්බන්ධ කර දැස් පියා ගන්න. විස්සෙන් පසු සිදුවිය හැක්කේ කුමක්දැයි එවිට ඔබට පෙනෙනවා ඇත.

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...