Sri Lanka Brief
පුවත්විවරණතුවක්කු සහ යුද ටැංකි නොමැතිව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත්වේ ද?

තුවක්කු සහ යුද ටැංකි නොමැතිව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත්වේ ද?

by

උක්ත ප්‍රකාශය පසුගිය අගෝස්තු 5 වෙනිදා පැවැත්වූ මහ මැතිවරණයට දින කිහිපයකට ඉහතදී හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් කරන ලද ප්‍රකාශයෙන් උපුටා ගන්නා ලද කොටසකි.

ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලැබ තිබෙන 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද, විපක්ෂය ඇතුළු සිවිල් ක්‍රියාකාරීන් විසින් හඳුන්වනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට පහරක් එල්ල කරන්නක් ලෙසිනි.

“මෙකී ප්‍රකාශය මෙතරම් ඉක්මණින් සමාජය තුළ ඔප්පු කොට සනාථ කරනු ඇතැයි කිසිසේත් නොසිතුව නමුත් බලයට පත්වී එක් මාසයක් ඉක්ම යන්නට මත්තෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ රටේ සියලු ප්‍රජාතන්ත්‍රවාදී ගුණයන් සුණුවිසුණු කරමින් ඒකාධිපතිත්වයක් කරා යන ගමන අරඹා ඇත,” යනුවෙන් මංගල සමරවීර නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබුණේ 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ප්‍රකාශයට පත්වීමෙන් අනතුරුවය.

“20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මගින් යළි වතාවක් අධි බලැති විධායක ජනාධිපතිධූරයක් හරහා ගොඩනැගීමට වෙර දරන බලහත්කාරී රාජ්‍ය පාලන ක්‍රමවේදය රටට අහිතකර බවත්, ඒ තුළින් රටේ ආර්ථිකය පමණක් නොව සමාජ දේශපාලන සියලු ක්ෂේත්‍රයන් ආපස්සට ඇදගෙන යාමක් සිදුවන බවත් පෙන්වා දිය යුතුය. එම නිසා මේ රටේ සැබෑ දේශප්‍රේමීන්, විද්වතුන් සහ අනාගත දූදරුවන්ගේ යහපත අපේක්ෂා කරන සියලු පුරවැසියන් අධිෂ්ඨානයෙන් යුතුව පුළුල් මහජන පෙරමුණකට එක්ව මෙම විනාශකාරී ගමන වැළැක්විය යුතුව ඇත.”

පුද්ගල කේන්ද්‍රීය අත්තනෝමතික බලය

මංගල සමරවීර තවදුරටත් පවසන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, වෘත්තීය ගරුත්වය ආරක්ෂා කිරීමේ අරමුණින් 2015 දී යහපාලන ආණ්ඩුව විසින් සම්මත කරන ලද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට යළිත් වතාවක් අධි බලැති විධායකයක් නිර්මාණය කර ඒකාධිපති පාලනයකට මග හෙළි පෙහෙළි කරන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කර ඇති බවය.

2020 මහ මැතිවරණයට පෙරාතුව ව්‍යවස්ථාවේ අහිතකර කරුණු ඉවත්කරනවා යැයි ජනතාවට කී වත්මන් පාලකයන් ඒ වෙනුවට ජනතාවගේ නිදහස, මානව හා නීතිමය අයිතීන් කප්පාදු කර පුද්ගල කේන්ද්‍රීය අත්තනෝමතික බලයක් සඳහා මුලගල් තබා ඇතැයි යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයෙන් පැහැදිලි වන බවත් හිටපු මුදල් ඇමතිවරයාගේ ස්ථාවරය වී තිබේ.

වර්තමානයේ සමාජය තුළ දැඩි කතා බහට ලක්වී තිබෙන 20 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට ප්‍රධාන හේතුව ලෙස රජය පවසන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කර රාජ්‍ය යාන්ත්‍රණය අඩපන කර, රාජ්‍ය ආරක්ෂාව ද තර්ජනයකට ලක් කර ඇති බවය.

පසුගිය ජනපතිවරුන්

“19 වන සංශෝධනය ගෙන ආවේ ද්වේශසගතව. රටට හොඳක් කිරීමේ අරමුණින් නෙවෙයි. ඒකෙ එකම අභිලාශය වුණේ එක පවුලකින් පළි ගැනීම. ඒ පවුලේ සියළුම සාමාජිකයින් දේශපාලන කරලියෙන් ඉවත් කිරීම. රාජපක්ෂ පවුල. ඒක තමයි ඉලක්කය ඒක තමයි සම්පුර්ණයෙන්ම 19 වන සංශෝධනය සකස් කරලා සම්මත කර ගත්තේ,” මහාචාර්ය ජී එල් පීරිස් පැවසීය.

“අවසානයේදී ඒ 19 වන සංශෝධනයෙන් මහා විනාශයක් වුණේ රාජපක්ෂ පවුලට නෙමෙයි අපේ රටේ ජනතාවට, මේ රටේ අරාජික තත්ත්වයක් ඇති වුණා. ආණ්ඩුවක් නැති වුණා. ජනතාවගේ අවශ්‍යතා ඉටු කිරීමට සුදුසු නීති රාමුවක් තිබුණේ නැහැ. ඒ තත්වයෙන් මේ රට ගොඩ ගැනීමට තමයි අපි ක්ෂණිකව කටයුතු කරන්නේ 19 වන සංශෝධනය ඉවත් කරලා ඒ වෙනුවට 20වන සංශෝධනය ආදේශ කිරීමට.”

මහාචාර්ය ජි එල් පීරිස් තවදුරටත් පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට දැවැන්ත වරමක් ලබාදුන්නත් 19 වන ව්‍යවස්ථා සංශෝධනය තිබෙන තුරු ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍ය පදවියක් දැරීමට නොහැකි බවයි.

19 සහ 20 අතර වෙනස

එහෙත් බොහෝ සමාජ ක්‍රියාකාරීන් පවසන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් 1978 ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෙන එනු ලැබූ ඒකාධිපති ව්‍යවස්ථාව එයටත් වඩා ශක්තිමත් කර ඇති බවත් මෙය රාජපක්ෂ පවුල ශක්තිමත් කිරීමේ අරමුණින් ගෙන එන්නක් බවටත් ය.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා ගේ මුක්තිය නැවත ලබා දී ඇති අතර ‘ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවටද, ආරක්‍ෂා කරන බවටද’ වන වගකීම ඉවත් කර ඇත. ජනාධිපතිට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට ඇති අවස්ථාව අහිමි කර ඇති අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවට වූ ප‍්‍රතිපාදනය ඉවත් කර තිබේ. ජනාධිපති පදවිය දැරීම සඳහා සුදුසුකම් ලබන වයස අවුරුදු 35 හේ සිට 30 දක්වා අඩුකර ඇති අතර අගමැතිවරයාගේ සහ කතානායක වරයාගේ බලතල අඩුකර ඇත.

20 වන කෙටුම්පතේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් මෙන්ම ප්‍රධානියා ද වන බවය. අමාත්‍ය මණ්ඩලය විසිර ගිය ද ජනාධිපතිවරයා ධුරය දරන අතර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතුය යන්න 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කර තිබේ. මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු යයි නව සංශෝධනයේ දැක්වේ.

දැනට පවතින්නේ අගමැතිවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලය පත් කළ යුතු බව වුවත්, 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයාට අවශ්‍ය යැයි, හැඟෙන්නේ නම්, අග්‍රමාත්‍යවරයාගේ අදහස් විමසා කැබිනට් මණ්ඩලය පත් කළ හැකි බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් අමාත්‍ය මණ්ඩල සීමා, 20 වන සංශෝධනයෙන් ඉවත් කර ඇති අතර අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව, අමාත්‍යාංශ සංඛ්‍යාව, විෂයයන්, තීරණය කිරීමේ බලය පැවරෙන්නේ ජනාධිපතිවරයාටය. එමෙන්ම ජනාධිපතිවරයාට ඕනෑම විෂයයක් හෝ කාර්යයක් පවරා ගත හැකි අතර ඇමතිවරු, විෂයයන් මෙන්ම සංයුතිය ද වෙනස් කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට පවතී.

දැනට පවතින ප්‍රතිපාදන වලට අනුව අගමැතිවරයා ඉවත්කිරීමට ජනාධිපතිට බලයක් නොමැති අතර නව ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා බලය ලබා දී ඇත. මුදල් පනතක් දෙවරක් පරාද වූ විට දැනට පවතින ප්‍රතිපාදන වලට අනුව ආණ්‌ඩුව විසිරවෙන අතර අලුත් ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසිරවීමට නියමිතය.

පාර්ලිමේන්තු සභාව

පාර්ලිමේන්තුව රැස් වී වසර හතර හමාරක් ගතවන තුරු විසුරුවා හැරිය නොහැකි බවට 19 වන සංශෝධනයේ දැක්වේ. එහෙත් 20 වන සංශෝධනය තුළින් පාර්ලිමේන්තුව රැස් වී වසරකට පසුව ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීමට බලය ලබා දී ඇත.

දැනට ව්‍යවස්ථාවේ පවතින්නේ ද්විත්ව පුරවැසියෙකු වන ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකි බවය. එහෙත් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් එම වගන්තිය ඉවත් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර පාර්ලිමේන්තු සභාවක් පිහිටුවීමට යෝජනාකර ඇත. මෙම පාර්ලිමේන්තු සභාව බලයක් නොමැති ආයතනයක් බවට විශ්ලේෂකයන් පවසන අතර මෙම සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා සඳහා සහ අගවිනිසුරු නීතිපති පොලිස්පති ඉහළ අධිකරණවල විනිසුරු ඇතුළු ධූරයන් පත් කිරීම සඳහා ජනාධිපතිට අභිමතය හිමිවේ.

පාර්ලිමේන්තු සභාවේ සාමාජිකයින් වන්නේ අග්‍රාමාත්‍ය වරයා, කතානායක වරයා විපක්ෂනායක වරයා අග්‍රාමාත්‍යවරයා පත්කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂ නායක වරයා පත්කරන මන්ත්‍රිවරයෙක් වන අතර දැනට ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික සංයුතියට ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් හා සිවිල් සමාජය නියෝජනය කරන තිදෙනෙක් ඇතුළත් වෙති. නමුත් පාර්ලිමේන්තු සභාවට ජනාධිපතිවරයාගේ නියෝජිතයා හා සිවිල් සංවිධාන නියෝජිතයින් තිදෙනා ඇතුළත් නොවේ.

විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීමක් සිදුවන අතර විශ්ලේෂකයන් පවසන්නේ මෙමගින් විගණන සේවය අහෝසි වන අතර විගණන පනතේ ප‍්‍රතිපාදන පිළිබඳව ද අර්බුදයක් මතුවන බවයි.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ජාතික ප‍්‍රසම්පාදන කොමිෂන් සභාව අහෝසි කිරීමට යෝජනා කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවේ බලතල අඩු කිරීම, අධිකරණ සේවා කොමිෂන් සභාවේ කවර හෝ සාමාජිකයකු ඉවත් කිරීමේ බලය ජනාධිපතිට ලබාදීම, රාජ්‍ය සමාගම් විගණකාධිපතිවරයාගේ අධීක්‍ෂණයෙන් ඉවත් කිරීම, ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලතල අඩු කර මහජන පැමිණිලි විමසීමට සීමා කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට 19 වන සංශෝධනය මගින් පවරන ලද අතිරේක බලතල ඉවත් කිරීමත් 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කර ඇත.

නව ව්‍යවස්ථා සංශෝධනයෙන් හදිසි පනත් රැගෙන එමට ඇති හැකියාව හඳුන්වාදී තිබෙන අතර පාර්ලිමේන්තුවට සාමාන්‍ය පනතක් ගෙන ඒමේදී දින 14කට පෙර ගැසට් පත‍්‍රයේ පළ කළ යුතුය යන ප‍්‍රතිපාදනය දින 7 දක්වා අඩු කිරීම, පාර්ලිමේන්තුව විසින් ප‍්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට ලක්කර සම්මත කිරීමේ බලය ජනාධිපතිට පැවරීමත් ඇතුළත් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට ජනවරමක් ලැබී ඇති අතර ඔහුට වැඩකිරීමට ඇති බාධා ඉවත්කිරීමට මෙම නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනබවත් එහි අඩුපාඩු ඇතිනම් නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී සැකසිය හැකි බවත් ජනාධිපති නීතිඥ යු ආර් ද සිල්වා බිබිසී සිංහල සේවයට පැවසීය.

“මේ ව්‍යවස්ථාව සම්පුර්ණ වශයෙන්ම එක්ව බලන්න ඕන එසේ බැලුවේ නැත්නම් කෑලි හැලුනේ මොකද කියල බැළුවොත් ඒක වැරදි වැඩක්. එහෙම කරන එක වැරදියි මේ වෙලාවේ. අපි 19ය දැක්ක. 19 අත්වින්ද ඒක හොඳනැති හින්ද තමයි හිටපු රජය පැත්තකට දාල මේ ජනාධිපතිවරයාව පත් කළේ,” ජනාධිපති නීතිඥ යු ආර් ද සිල්වා පැවසීය.

අධිකරණයට ගිිිිිිහින් වැඩක් නෑ – ජවිපෙ

මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍ර විරෝධී, විනාශකාරී වගේම ජනතාවට අහිතකර සංශෝධනයක්. ඒ නිසා ආණ්ඩුවේ මේ 20 වැනි සංශෝධනයට අපි අපේ විරෝධය පළ කර සිටිනවා,” යැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

“මේ සම්බන්ධයෙන් අධිකරණයට යායුතුද කියලා අපි තවම තීරණය කරලා නැහැ. මොකද අභියාචනාධිකරණ විනිසුරුවරුන් දන්නවා ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යා හැකි මාවත ජනාධිපතිවරයා සමග අත්වැල් බැඳ ගැනීමෙන් පමණක් කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට අග්‍රවිනිශ්චයකාර තනතුර ලබාගැනීමේ මාවත තිබෙන්නේ ජනාධිපතිවරයා සමඟ අත්වැල් බැඳගැනීමෙන් පමණයි. ඉතිං ඒ නිසා අධිකරණයට යෑමෙන් ඵලක් තිබේද කියන කාරණය ගැන සලකා බලන්න ඕනෑ,” ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේය.

“මෙතන විහිළුජනක තත්වය වන්නේ 1978දී ජේආර් ඒකාධිපති බලතල නිර්මාණය කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනකොට ඊට විරුද්ධව සිටි කඳවුර තමයි දැන් නැවතත් එවැනි බලතල තමන් වෙත ලබාගැනීමට කටයුතු කරමින් ඉන්නේ.”

අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල බීබීසී සිංහල සේවයට පැවසුවේ 20 වන සංශෝධනය ජනතා බලාපොරොත්තු ඉෂ්ඨවීමක් බවය.

“අපි ජනතාවට දීපු පොරොන්දුවක් තමයි 19 වන සංශෝධනය ඉවත් කරනව කියපු එක. ඒක අපේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් වෙලා තියෙනව. මේක එය ඉටු කිරීමක්. අපි දැක්ක 19 ය නිසා ජනතාව විඳපු දුක. 20 මගින් අපි ඒ අඩුපාඩු මගහරිනවා.”

කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසුවේ 20 වන සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ හෝ පාර්ලිමේන්තුවේ ධුර කාලය එලෙසම වසර පහකට සීමාවී ඇති අතර ජනාධිපතිවරයාට දෙවරක් පමණක් ධුරය දැරිය හැකිය යන්න වෙනස් වී නොමැති අතර තොරතුරු දැනගැනීමේ අයිතියට ද කිසිදු වෙනසක් සිදුනොකර එලෙසම පවතින බවයි.

බීබීසී සිංහල සේවය සමඟ අදහස් දැක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසුවේ මෙම ව්‍යවස්ථා සංශෝධනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල ගැටලුවක් වියහැකි බවය.

“මේ 20 වන සංශෝධනයෙන් නැවතත් විශාල බලයක් එක පුද්ගලයෙක් වටා එකරාහී වීමක් දක්නට පුළුවන්. එමගින් අනවශ්‍ය අධිකාරී බලයක් ලබාදීම ඉතා භයානක තත්වයක්. ස්වාධීන කොමිෂන් සභා අඩපණ කර සියලුම පත්කිරීම් ජනාධිපති විසින් සිදුකිරීම තුළින් නැවතත් රාජ්‍ය සේවයේ, අධිකරණයේ, පොලිසියේ ස්වාධීනත්වය පිළිබඳ බරපතල ගැටළු සහගත තත්වයක් මතුවෙනවා,” ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විශාකා සූරියබණ්ඩාර පැවසීය.

(BBC Sinhala)

Back to Top