Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකලාවක් වූ අරගලයක සුවද , ජවිපෙ ආපසු හැරීම සහ 20න් එන “හදිසි පනත්” – සුනන්ද දේශප්‍රිය

කලාවක් වූ අරගලයක සුවද , ජවිපෙ ආපසු හැරීම සහ 20න් එන “හදිසි පනත්” – සුනන්ද දේශප්‍රිය

by

ජායාරූපය:මින්ස් අගනුවර  ආදරය, සාමය සහ විද්ධත්වය පෑම එකට ගොනු වී.

සති හතරක් පුරා රළින් රළ නැගෙන ස්ත්‍රීන්ය. පිරිමින්ය. යෞවන යෞවනියන්ය. යුරෝපයේ එකාධිපතියා වන බෙලරුස්හි ලුකෂෙන්කෝට විරුද්ධවය. වඩාත් සිත් කාවදින්නේ අරගලයේ සාමකාමී නිරිමාණශීලිත්වයයි. සමහර විට අරාබි වසන්තයට මඟ හැරුණු එක් මාවතක් වුයේ මේ අරගලයේ කලාවයි. “කලු ජීවිත වටී” මහෝඝය තුල පුබුදු වූ මේ අරගලයේ කලාව බෙලරැස්හි අගනගරය වන මින්ස් නගරයේ පිබිදී ඇති සැටියකි. කලාවෙන් තොර අරගලයක් තිබී නැති තරම්ය. එකළ සටන් පාඨ පවා කලාවක් බවට පත්වෙයි.

ලුකෂෙන්කෝ වසර 25ක් එනම් පරම්පරාවක කාලයක් තරම් යකඩ්න් සහ ගින්දරෙන් බෙලරුසය පාලනය කළේය. පරම්පරාවක්ම වහල් කර ගත හැකි යැයි සිතූ පාලකයින් එදත් අදත් සිටිති. දැන් නැගී සිට නිදහස ඉල්ලන්නේ එම පරම්පරාවයි. ඔවුහු බෙලරුසියානුවන් සාමකාමී ජනතාවකි යැයි කියැවෙන රටේ ජාතික ගීය ගායනා කරමින් වීදි අරක් ගනිති. එම පරමාදර්ශය උදෙසා තව තවත් ජනතාව නැගී සිටිති.

බෙලරැස් ජනයාගේ අරගලයේ ගීතය බවට 1990 දී මියගිය වික්ටර් ට්සෝයිගේ “වෙනසක් කරමු” යන්න පත්ව තිබේ. එම ගීය විරෝධතාකරුවන්ගේ වාහනවල නිරන්තර ගැයුමය.

බෙලරුස්හි අරගලයේ සාම පෙරමුණ දරන්නේ ස්ත්‍රීන් විසිනි.

කලාව අරගලයේ තාලයයි. අප කුඩා කළ තාත්තා සහ අම්මා සමඟ මැයි දින පෙළපාලියේ ගියේ ගයමිනි. කම්කරු රුධිරෙන් ඔප වැටුණු අපේ කොඩිය තද රතුපාටයි!” යනාදී ලෙසනි. දැවැන්ත පෙළපාලියක් එකම තාලයකට ගයන්නට පටන් ගත් විට එය සිසාරා යන මහෝඝයක් බවටද සියල්ලන් එකට බැඳ තබන යදමක් බවටද පත්වෙයි. එමෙන්ම මතකයේ රදා පවත්නා පද පේළි බවට පත් වන්නේ ඒවාය. තාලය මිනිස් වගෙහි ආත්මගත ලැදියාවකි.

මර්ධනකාරී සොල්දාදුවන් කලුම කලු ඇදුමින් සැරසී සිටින්නේ භයංකාරත්වයේ ලකුණ තමන් බව පෙන්වීමටය. ඊට ප්‍රතිවිරුද්ධව විරෝධතාකාරියෝ සුදුම සුදු ඇදුම් හැද රතු මල් රැගෙන එම සොල්දාදුවන්ට සාමයෙන් මුහුණ දෙති. ඔවුන් අසළටම ගොස් මල් කිනිත්තක් පිළිගන්වති. එසේ පෙරට යන්නේ එකියකි. අනෙක් විරෝධතාකාරියෝ මදක් ඈතින් අත්වැලක් අල්ලා රැකවරණය සපයති.වෙනසක් කරමු යැයි හෝ අප සාමකාමී යැයි හෝ ගයති.

රතු සහ සුදු ධජය විරෝධතාවයේ සහ කව රටක සංකේතයයි. රතු සහ සුදු ධජ නිවෙස්හි ප්‍රදර්ශනය කළ හොත් මර්දනය පැමිණේ. එබැවින් මිනිස්සු සුදු තුවා සහ රතු ජංගි සදලුතල ගරාදියෙහි වේලෙන්නට දමති.

නළු නිළියෝ විරෝධය නාට්‍යාකාරයෙන් රඟන අතර ජනයා ගී ගයා අත්වැල් අල්ලති. ඒ වෙනුවට ලුකෂෙන්කෝ රැසියාවේ නිශ්පාදිත ප්‍රහාරක මැෂින් තුවක්කුවක් අතට ගෙන සිටින ජායාරූප මාධයට නිකුත් කරයි. පූටින් කියා ඇත්තේ අවශ්‍ය වුවහොත් සිය හමුදා ලුකෂෙන්කෝගේ පාලනය රැක ගැනීමට යවන බවයි.

53 හර්තාලය රොටි පිව්වුවේ රේල් පාරේය. එවැනි නිර්මාණශීලි විරුද්ධත්වයපෑම් සිත් බැදෙන උද්යෝගයක් ඇති කරයි. එවැනි නිර්මාණශීලී යිරුද්ධත්වය පෑමකට එකා පසු පසු එකා කාන්දමක් සේ අද්දවා ගැත හැකිය. ඇත්ත, කාලය සහ අවකාශය මෝරා තිබෙන විටය.

ප්‍රජාතන්තන්ත්‍රවාදය සහ නිදහස සඳහා බෙලරැස් ජනයාගේ අරගලය දිනන්නත් පරදින්නත් ඉඩ තිබේ. නමුත් මේ ජනයා විසින් බෙලරැස් වාතලයට එක් කරන නිදහසේ පණිවිඩය කවරදාක හෝ ජයගනු ඇති බව ඉතිහාසයේ පාඩමයි.

මන්ද යත් මානව ඉතිහාසයේ උදා තරුව වන්නේ ආදරය, නිදහස සහ සමෘද්ධිය මිස වහල්බව නොවන නිසාය. කුමන බාධක මැද වුවත් ස්ත්‍රීපුරුෂ ප්‍රජාවෝ ලද සෑම අවස්ථාවකම සිය නිදහස සහ සමෘද්ධිය වෙනුවෙන් සිතිය නොහැකි තරමේ අවදානම් ගනිති. ඉතිහාසයේ නියතය එයයි.

පාලකයින් කැමැති වුවත් නැතත් අසාධාරණයට විරුද්ධව ජනයා කුටු කුටු ගාති. කියති. ලියති. නැගිටිති. මිනිස් ඉතිහාසය ලියැවී ඇත්තේ හුදෙක් බඩ පුරවා ගැනීමට නොවේ.

එමෙන්ම තවත් නියතියක් වන්නේ බොහෝ විට ජනයාගේ එකී ආත්මීය ආශාවන් දඩමීමා කරගත් බලයෙන් දූෂිත ප්‍රජා ප්‍රධානීන් පත්වීමයි. බලය යනු වසඟයද වේ. එතරම් දුරාතියක් නොවූ ශතවර්ශ ගණනාවකට පෙර කොල්ලකාර ස්කැන්ඩිනේවියානු වයිකිංවරු එවැනි වසඟකාරී බලයකින් සිය ප්‍රජාව ස්වයං වහල්භාවයකට පත්කර ගත්හ. වල්හලා නම් වූ ඔවුන්ගේ මිථ්‍යාමය සුරලොව යනු පිනිස යුද අධිපතීන් වෙනුවෙන් කැමැත්තෙන්ම ගහලයන්ට බිලි විය.

නමුත් වහල්බාවය සදාකාලික නොවීය. එය පෙරළා දැමුණි.

ජවිපෙ: ආපසු හැරේන්

අනුර කුමාර දිසානායක අන්තිමේදී ඇත්ත කීවේය. එනම් ජනතා විමුක්ති පෙරමුණ එදා මෙන්ම අදත් බලය බෙදීමට විරුද්ධ බවයි. රෑපවාහිනී නාලිකාව පිළිසදරකට එක්වෙමින් ඔහු කීයේ 13වන සංසෝධනය ඉවත් කිරීමට තම පක්ෂය සහයෝගය දෙබ බවය. එදා මෙන්ම අදක් ජවිපෙ ස්ථාවරය වන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනතාවට දේශපාලන විසඳුමක් අනවශ්‍ය බවත් කළ යුතුව ඇත්තේ සමානාත්මතාවය පිහිටුවීම බවත්ය. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ප්‍රශ්ණ වතින බවත් එවැනි සමාජ දේශපාලන තත්වයක් ඇති විට බලය බෙදීම මත පදනම් වූ විසදුමක් අවශ්‍යය යන්න දැන් ජවිපෙ යළි ප්‍රසිද්ධියේම ප්‍රතික්ෂේප කරයි.

එම සාකච්ජාවෙහි දී අනුර කුමාර දිසානායක පෙන්නම් කලේ පසුගිය කාලය පුරා කිසිදු දේශපාලන පරිණත බවක් අත්කරගෙන නැති බවයි.

පලා බබා අපට එපා” යැයි ලාබාලයන් පවා වීදිවලට කැඳවමින් අරඹා මහා භීෂනයක් මුදාහළ 1988 -1990 යුගය අනුර කුමාර දැන් ප්‍රසිද්ධියේම සාධාරණ කරනවා වැන්න. එම භීෂන සමය තුළ ජවිපෙ විසින් බලය බෙදීමට පක්ෂ වූ වාස දේශපාලන ක්‍රියාධරයින් ඝාතනය කරන ලද්දේ සිය ගණනිනි.

පසුගිව ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණයට ජවිපෙ සමඟ අත්වැල් බැදගත් ලාල් විජේනායක, වසන්ත දිසානායක, ජයතිලක කම්මැල්ලවීර යනාදීහු මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම මත පදනම් වූ දේශපාලන විසදුමක අවශ්‍යතාවය පිළිගන්නා පිරිස්ය.

තව තවත් එවැනි පිරිස් එක්කර ගනිමින් නව දේශපාලනයක් කරා ගමන් කරනවා වෙනුවට ජවිපෙ ආපසු හැරීම යුගයේ තවත් දේශපාලන ඛේදවාචකයකි. එමගින් රටෙහි දේශපාලන ධ්‍රුවීකරණය තවත් උගුවනු ඇති අතර උග්‍ර දෙමළ ජාතිකවාදී දේශපාලනයට නව ගැම්මක් ලබා දෙනවා ඇත.

දැන් මෙම ස්ථාවරය මගින් ජවිපෙ කියා සිටන්නේ තමන් සමඟ එක්වූ එවැනි පිරිස් වෙනුවට 1983 -2010 දක්වා ජවිපෙ විසින් පෝෂණය කරන ලද සිංහල ජාතිකවාදී දේශපාලනය වෙත ආපසු හැරීමයි. සමහර විට ආපසු හැරී තමන්ගේ පැරණි ජාතිකවාදී ජන පදනම යළි ලබා ගත හැකියැයි එම සිතනවා විය හැකිය. එම ජන පදනම දැන් අයත්වන්නේ රාජපක්ෂවරුන්ටය.

යුදකාමී සිංහල ජාතිකවාදයේ ධජය රාජපක්ෂවරුන්ගෙන් ආපසු ලබා ගැනීමට ජවිපෙ කල්පනා කරන්නේ නම් ජවිපෙටත් අබසරණය.

20වන සංසෝධනයෙන් “හදිසි පනත්” යළිත්

රාජපක්ෂවරුන් විසින් ගෙනඑනු ලබන 20වන ව්‍යවස්ථා සංසෝධනය මේ ලියන අවස්ථාව වන විට මුදුණය වෙමින් තිබෙනවා ඇත. එබැවින් එහි සමස්තය දැන ගැනීමට මේ මොහොත (බදාදා රැය) වන විට ක්‍රමයක් නැත.

නමුත් එය විසින් යළිත් හදිසි පනත්” ඉදිරිපත් කිරිමේ ක්‍රමය යළි පිහිටවනු ඇති බව දැනටමත් වාර්තා වී තිබේ. 1972 ජන‍රජ ව්‍යවස්ථාවෙන් ඉදිරිපත් කරන ලදුව ජේ.ආර්. ජයවර්ධන විසින් දිගටම පවත්වා ගන්නා ලද මෙම “හදිසි පනත්” විධිවිධානය අහෝසි කරන ලද්දේ 19වන ව්‍යවස්ථා සංසෝධනය මගිනි.

මෙකී හදිසි පනත් විධිවිධානය යටතේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන පනතක් ගැසට් පත්‍රිකාවක් මගින් ප්‍රසිද්ධියට නොපමුණුවා කෙලින්ම ශ්‍රේෂ්ඨාධිකරනයේ විමර්ශනය පිනිස යැවිය හැකිය. එවිට එම පනත ගැන මහජනයාට දැන ගැනීමට ඇති ඉඩකඩ අල්පවන අතර එනිසාම එමගින් කවර හෝ අයිතිවාසිකමක් කඩවන්නේදැයි ශ්‍රෙෂ්ඨාධිකරණයට කරුණු දැක්වීමට අවස්ථාවක් නොලැබී යා හැකිය.

19වන සංසෝධනයට පෙර පැවැති විධිවිධානයට අනුව පැය 24 සිට 72 කාලයක් ඇතුළත එවැනි පනතක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා දෙන සේ ඉල්ලා සිටිය හැකි විය. එවැනි පනත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ දිනයේම සවස ශ්‍රේෂ්ඨාධිකරණය රැස්ව තීන්දු ලබා දුන් අවස්ථා තිබේ.

මහින්ද රාජපක්ෂ ජනාධිපති යටතේ 18වන සංසෝධනය වන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ 2000 නව ව්‍යවස්ථාවද ඉදිරිපත් කරන ලද්දේ මෙවැනි හදිසි පනත් ලෙසය. 18 වන සංසෝධනයට අගවිනිසුරු මොහාන් පීරිස් යටතේ අනුමැතිය ලද අතර එවකට ජනාධිපතිනිය සමඟ විරසකව සිටි අගවිනිසුරු සරත් සිල්වා විසින් 2000 ව්‍යවස්ථාව සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බවට තීන්දු කරන ලදී.

අගමැති ජේ.ආර්. ජයවර්ධන යටතේ 1977 සැප්තැම්බර් 17වන දික දෙවන ව්්‍යවස්ථා සංසෝධනය එනම් විධායක ජනාධිපති ධූරය පිහිටුවීමේ සංසෝධනය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යවන ලද්දේද හදිසි පනතක් ලෙසිනි. ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම සවස 4.30 රැස්වී එම පනතට අනුමැතිය ලබා දුන්නේය. එනමුත් එම තීන්දුවට කතානායකවරයා සිය අත්සන තබන ලද්දේ ඉන් දින තුනකට පසුය. එපමණක් නොව එම සංසෝධනය ක්‍රියාවට නංවන ලද්දේ 1978 පෙබරවාරි 04වන දිනය. මෙමගින් ඉතා පැහැදිළි වන්නේ හදිසි පනත් විධිවිධානය මහජනයාට රහසින් හෝ මහජන සාකච්ජාවකට ඉඩ නොතබා නීති පනවා ගැනීමට ලැබෙන විධානයක් බවයි.

1978-1986 ජේ.ආර්.ජයවර්ධන යුගයෙහි ශ්‍රේෂ්ඨාධිකරණයෙහි සළකා බැලීම පිනිස පනත් 44 ක් ඉදිරිපත් කරන ලද අතර ඉන් 39ක්ම දක්වා තිබුණේ හදිසි පනත් ලෙසය. මෙම විධිවිධානය කොතරම් ප්‍රජාතන්ත්‍ර විරෝධීව භාවිත කළ හැකිද යන්න එයින්ම පෙනේ. ඉන් එක් හදිසි පනතක් වූයේ මෝටර් රථවාහන අඥා පනතෙහි වචන සංසෝධනයකි!

දැන් රාජපක්ෂවරුන් විසින් 20වන ව්‍යවස්ථා සංසෝධනය මගින්  හදිසි පනත් විධිවිධාන ගෙන එනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමටද නැත්නම් පනතක් ගැසට් මගින් ප්‍රසිද්ධ කරන්නේවත් නැතිව මහජන සාකච්ජාවන්ට වැට බදිමින් අයිතිවාසිකම් මෙන්ම ජලය, භූමිය,පරිසරය යනාදියද තනි අතේ පාලනය කිරීමටදැයි වැඩිකල් නොයා දැක ගත හැකිවනවා ඇත.

ගොනා හැරෙන්නේ කෙහෙල් දල්ලට හැර අහවල් කෙංගෙඩියකට නොවේ.

(හදිසි පනත් පිළිබද තොරතුරු ආචාර්ය ජයම්පතී වික්‍රමරත්න විසින් පළකර ඇති පොත්පත අසුරෙනි)

Back to Top