Sri Lanka Brief
නිර්මාණපුවත්ඇමරිකානු සාහිත්‍යයේ කේන්ද්‍රීය චරිතය: එඩ්ගර් ඇලන් පෝ – වෛද්‍ය රුවන් එම් ජයතුංග

ඇමරිකානු සාහිත්‍යයේ කේන්ද්‍රීය චරිතය: එඩ්ගර් ඇලන් පෝ – වෛද්‍ය රුවන් එම් ජයතුංග

by

ඇමරිකානු ලේඛකයෙකු, කවියෙකු, සංස්කාරකයෙකු සහ සාහිත්‍ය විචාරකයෙකු වන එඩ්ගර් ඇලන් පෝ ඇමරිකානු සාහිත්‍යයේ රොමෑන්ටිකවාදයේ කේන්ද්‍රීය චරිතයක් ලෙස සැලකේ. ඔහුගේ පරිකල්පනීය කතන්දර හා අභිරහස හා භීෂණය පිළිබඳ කතා නූතන රහස් පරීක්ෂක කතාවට උපත ලබා දුන්නේය. ඔහු සාහිත්‍ය කෘතියක ශෛලිය හා ව්‍යුහයේ බලපෑම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කළ පළමු විචාරකයින්ගෙන් කෙනෙකි. ඔහු ඇමරිකාවේ පළමු ශ්‍රේෂ්ඨ සාහිත්‍ය විචාරකයා සහ න්‍යායාචාර්‍යවරයා ලෙස අද දිනයේ සැලකේ.

එඩ්ගර් ඇලන් පෝ 1809 ජනවාරි 19 වන දින මැසචුසෙට්ස් හි බොස්ටන්හි උපත ලැබීය. ඔහුගේ පියා 1810 දී පවුල අතහැර ගිය අතර ඊළඟ වසරේදී ඔහුගේ මව මිය ගියේය. පෝ කිසි විටෙකත් ඔහුගේ දෙමව්පියන් දැන සිටියේ නැත. සමෘද්ධිමත් දුම්කොළ අපනයනකරුවෙකු වන ජෝන් ඇලන් ඔහුව ඇති දැඩි කරන ලදි. එහෙත් ජෝන් ඇලන් ඔහුව නීත්‍යානුකූලව හදා වඩා ගත්තේ නැත. ජෝන් ඇලන් ඔහුව විධිමත් ලෙස පිළිගත්තේද නැත. දරුවා සමඟ බැඳී සිටියේ ජෝන් ඇලන් ගේ බිරිඳ වූ ෆ්‍රැන්සිස් ය. 1815 දී ජෝන් ඇලන් ඔහුව එංගලන්තයට සහ ස්කොට්ලන්තයට ගෙන ගියේය. එහිදී ජෝන් ඇලන් සිය දුම්කොළ ව්‍යාපාරය පුළුල් කිරීමට සැලසුම් කල අතර ව්‍යාපාර කටයුතු අසාර්ථක වීමෙන් පසු, ඔහු 1820 දී නැවත වර්ජිනියාවේ රිච්මන්ඩ් වෙත ආවේය.

පෝ වර්ජිනියා විශ්ව විද්‍යාලයට ඇතුළත් වූ නමුත් මුදල් නොමැතිකම හේතුවෙන් වසරකට පසු පිටව ගියේය. වයස අවුරුදු 18 දී තරුණ පෝ එක්සත් ජනපද හමුදාවට බැඳුණි. එහෙත් ඔහු වැඩි කාලයක් හමුදාවේ සිටියේ නැත. තම කැපකරු පියා වූ වූ ජෝන් ඇලන් සමග ඇති වූ ආරවුලෙන් ටික කලකට පසු එඩ්ගර් ඇලන් පෝ රිච්මන්ඩ් සිට බොස්ටන් බලා පිටත් වූ අතර එහිදී ඔහු සාහිත්‍ය වෘත්තියක් කිරීමට බලාපොරොත්තු විය. 1829 දී ඔහුට ඇල්මෙන් සැලකූ ෆ්‍රැන්සිස් ඇලන් මහත්මිය මිය ගියාය. ඇයගේ මරණය ඔහුට තදින්ම දැනුනේය.

මුදල් හිඟකම නිසා ඔහු සඟරා වලට කෙටිකතා විකිණීමට පටන් ගත්තේය. ඔහු කෙටිකතා 30 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ අතර ඔහුගේ කෘතීන් සඳහා ධනාත්මක විචාර ලැබීමට පටන් ගත්තේය. ලේඛකයෙකු ලෙස වෘත්තීය ජීවිතයක් ගත කිරීමට උත්සාහ කළ පළමු කතුවරයා ඔහු විය. ඔහුගේ ලේඛනවලට හොඳ ප්‍රතිචාරයක් ලැබුණද, පෝ මූල්‍යමය වශයෙන් අරගල කලේය.

courtesy of https://www.keckfineart.com/

එඩ්ගර් ඇලන් පෝගේ සාහිත්‍ය ජීවිතය ආරම්භ වූයේ කවි වලින් වන අතර එහිදී ඔහු බොහෝ ලේඛකයින්ට බලපෑම් කළේය. ඔහු තමා කවියෙකු ලෙස සැලකූ අතර ඔහුගේ බොහෝ කවි ඇමරිකානු සංස්කෘතියට සෘජුවම බලපා ඇත. පෝ හට ජෝන් කීට්ස්, පර්සි බයිෂේ ෂෙලි සහ සැමුවෙල් ටේලර් කොලරිජ්ගේ බලපෑම තිබුනේය. ඔහු ටෙනිසන්ගේ ස්වාභාවික ගීත රචනය අගය කළේය. කලා කෘතියක් මගින් නිර්මාණය කරන ලද මනෝභාවය ආත්මය උසස් කරන අතර එය අධ්‍යාත්මික අත්දැකීමක් බව ඔහු කීවේය.

1827 දී ඔහු තරුණ බයිරොනික් කවි, ටැමර්ලේන් සහ වෙනත් කවි පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කළේය. ටැමර්ලේන් කවියේ කථකයා වන්නේ තිමූර් ( ටැමර්ලේන් ) . ටැමර්ලේන් තම උපන් ගමට නැවත පැමිණීම ගැනත් ඔහුගේ සුන්දර ළමා සොඳුරිය දැන් මියගොස් ඇති බව දැනගත් විට ඇති වූ කලකිරීම ගැනත් කවියා පවසයි. එය මහා රණශූරයෙකුගේ කනගාටුව පිළිබඳ කාව්‍යයකි.

ඔහුගේ එල්ඩෝරාඩෝකාව්‍යය ය මරණයේ ස්වභාවය සහ මරණින් මතු ජීවිතය පිළිබඳ කථිකාවකි. ඔහුගේ “The Raven” කවිය කපුටාව බුද්ධිමත් හා අද්භූත පණිවිඩකරුවෙකු ලෙස සලකයි. කුණාටු රාත්‍රියක කපුටෙකු හුදකලාවෙන් ජීවත් වන මිනිසෙකුගේ කාමරයට එයි. හුදකලා මිනිසා තම මියගිය බිරිඳ වන ලෙනෝර් ගැන වැලපෙයි. ඔහු මියගිය බිරිඳ ගැන ශෝකයෙන් කපුටා ගෙන් ප්‍රශ්න ඇසීමට පටන් ගනී. සෑම ප්‍රශ්නයකින්ම ඔහුට ලැබෙන්නේ එකම ප්‍රතිචාරයකි. ඔහු විශ්වාස කරන්නේ කපුටා පුහුණු කර ඇත්තේ එක වචනයක් පමණක් පැවසීමට බවය. ඔහු කපුටාව නපුරු අනාගතවක්තෘවරයෙක් ලෙස හඳුන්වයි. එහි ස්වර්ගය, නිරය සහ යක්ෂයා ගැන සඳහනක් ඇත. පෝ ගේ කවිය අඳුරු ආදර සම්භාව්‍යයක් ලෙස හැඳින්විය හැකිය.

නූතන කෙටිකතාවේ “ නිර්මාණ ශිල්පියා”

ඇලන් පෝ ගේ කවි ආදරය පිලිබඳව මෙන්ම හුදකලාව සහ අභ්‍යන්තර වධහිංසා පිළිබඳ හැඟීම් ප්‍රකාශ කරයි. ඔහුගේ ආදර කවි බොහෝ විට පරමාදර්ශී කාන්තා ආදර වස්තුවක් අහිමි වීමේ භයානක භීතියට සම්බන්ධ වෙයි . මෙම තේමාව පැන නැගී ඇත්තේ පෝගේ මවගේ මුල් වියෝව ගැන ඇති වූ ශෝකයෙන් වන අතර, පසුව ඔහුගේ හදා වඩා ගත් මව වූ ෆ්‍රැන්සිස් ඇලන් ගේ මරණය නිසා ඇතිවූ වියෝග කාන්සාවෙනි. ඔහුගේ “Alone” කවිය පෝගේ තාරුණ්‍යය පිළිබඳ ස්වයං විචාරයකි. ඔහුගේ කාව්‍ය 19 වන සියවසේ අවසාන දශකවල ප්‍රංශ සංකේතවාදී කවියන්ට බලපෑමක් ඇති කළේය. ප්‍රංශ කවියෙකු වන චාල්ස් බවුඩ්ලෙයාර් පෝ ගේ කාව්‍ය අගය කලේය.

එඩ්ගර් ඇලන් පෝ කෙටි කතා පිලිබඳ ප්‍රවීණයෙකු විය. කෙටිකතාව කෙරෙහි අවධානය යොමු කළ මුල්ම ඇමරිකානු ලේඛකයන්ගෙන් කෙනෙකු ලෙස පෝ ව නම් කල හැක. නූතන කෙටිකතාවේ “ නිර්මාණ ශිල්පියා” ලෙස ඔහු කීර්තිය ලබා තිබේ. ඔහුගේ කෙටි කතා කණ්ඩායම් තුනකට බෙදිය හැකිය එනම් භීෂණ කතා , සුන්දරත්වයේ කතා සහ රහස් පරීක්ෂක කතා ලෙසය. ඔහුගේ කෙටිකතා බොහෝමයක් මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ සිතුවිලි පිළිබිඹු කරයි.

ඔහුගේ The Tell-Tale Heart” කෙටි කතාව එය මහලු මිනිසෙකුගේ ඝාතනය සහ ඔහුගේ සිරුර වළලනු ලැබීම පිළිබඳ භයානක කතාවකි. මිනීමරුවා නිර්දය ලෙස මහලු මිනිසාව මරා දමයි. මහල්ලාගේ නිල් පැහැති උකුසු දෙනෙත් පිය වන තෙක් ඔහු මහල්ලාව වධයට ලක් කොට ඝාතනය කරයි. ඝාතනයෙන් පසුව මිනීමරුවාගේ සිහිබුද්ධිය නැති වී යයි. වළ දැමූ මහලු මිනිසාගේ හදවත තවමත් ස්පන්දනය වන බව ඝාතකයා විශ්වාස කරන අතර ස්පන්දනය වන හඞ ඔහුට ඇසෙයි. එම හඞ ඔහුව භීතියට පත් කරවයි. ඔහු එම හඞ පොලිස් නිලධාරීන්ට ඇසේදෝ කියා බිය වෙයි. ශ්‍රවණ මායාව නිසා ඔහු අවසානයේදී අපරාධය පිලිබඳව පාපෝච්චාරණය කරයි. මෙම කෙටිකතාව ගොතික් ප්‍රබන්ධ ප්‍රභේදයේ සම්භාව්‍යයක් ලෙස සලකනු ලබන අතර එය පෝගේ හොඳම කෙටිකතාවකි. මෙම කෙටිකතාව සඳහා කතාව සඳහා පෝට ඩොලර් 10 ක් ගෙවනු ලැබීය.

The Pit and the Pendulumයනු 1842 දී පෝ විසින් සම්පාදනය කරන ලද තවත් කෙටිකතාවකි. එය වධහිංසාවට ලක්වූ තරුණ සිරකරුවෙකුගේ කතාවකි. මෙම කථාවේදී, පෝ විසින් මරණීය දණ්ඩනය පිළිබඳ භයානක චිත්‍රයක් ඉදිරිපත් කරයි. සිරකරුවා තම සොහොන යැයි සිතන ටොලිඩෝ හි අඳුරු බන්ධනාගාරයක සිර කර ඇත. ටොලිඩෝ සිරගෙය විමර්ශන සිරකරුවන්ට සිදුවන බිහිසුණු මරණවලට ප්‍රසිද්ධය. නිරපේක්‍ෂ අන්ධකාරයේ භීෂණය, පතුලක් නැති වළකට වැටෙනු ඇතැයි යන බිය සහ අසරණභාවයේ භීතිකාව සිරකරුවා පෙළයි. ඔහුව සම් පටියකින් ලී රාමුවකට බැඳ ඇති අතර ඔහුට හිස සහ වම් අත පමණක් චලනය කල හැකිය. ඔහුගේ ශරීරය මතින් සිය ගනනක් වූ මීයන් ගමන් කරති. ඔහුට ඉහළින් තියුණු තළයක් ඇති පෙන්ඩියුලමක් ඔහු වෙත සෙමෙන් සෙමෙන් ලඟා වෙමින් පවතියි. කාලය සහ මරණය එකිනෙකා සමඟ සමීපව බැඳී ඇති බව ඉන් පෙන්වයි. සිරකරුවාගේ හදවතට පෙන්ඩුලම් තලය බැසයාම පිළිබඳ පෝගේ විස්තරය අතිශයින්ම භයංකරය. සිරකරුවා තම බැඳීම් වලින් මිදීමට සමත් වූ නමුත් සිර ගෙදර ගල් බිත්ති වැසී ඇති බව දැක බියට පත් වේ. සිරකරුවා මීයන් පිරුණු අඳුරු කොටුවක සිරගතවී සිටින අතර අවසානයේදී ප්‍රංශ ජෙනරාල් ලසාලේනැපෝලියන්ගේ ජෙනරාල්වරයා විසින් ඔහුව බේරා ගනියි. ප්‍රංශ හමුදාව ටොලිඩෝව අල්ලාගෙන ඇති බව ඔහු තේරුම් ගනී. කෙටි කතාවේ තේමාවන් අතර මරණය හා අද්භූත දේ කෙරෙහි ඇති ඇල්ම, භීතියේ ස්වභාවය, ජීවිතය සහ මරණය අතර ඇති සියුම් රේඛාව ඇතුළත් වේ.

සැබෑ රතු මරණය

පෝ ගේ The Masque of the Red Death කෙටිකතාව මරණයෙන් බේරීමට මිනිසාට ඇති නොහැකියාව පිළිබඳ සදාචාරාත්මක පාඩම පිළිබඳ කථාවකි. ප්‍රොස්පෙරෝ කුමරුගේ රාජධානිය වසංගතයෙන් විනාශ වෙමින් පවතින අතර එය ඇදහිය නොහැකි තරම් මාරාන්තික හා බිහිසුණු ය. එහි ප්‍රතිඑලයක් ලෙස ජනගහනයෙන් අඩක් මිය යයි. කිසිම වසංගතයක් මෙතරම් මාරාන්තික හෝ පිළිකුල් සහගත නොවීය. රුධිරය එහි අවතාරය සහ එහි මුද්‍රාවයි. රෝගය වළක්වා ගැනීම සඳහා ප්‍රොස්පෙරෝ කුමරු සාදයක් සංවිධානය කොට දේශයේ වංශවතුන් හා වංශවත් කාන්තාවන් මාලිගාවට කැඳවයි. ප්‍රොස්පෙරෝ කුමරු ඔහුගේ නිරෝගී උදාර මිතුරන් දහස් ගණනකට ආරාධනා කරන්නේ රෝගයෙන් සැඟවී සිටින ලෙසට ඔහු සමඟ එක්වන ලෙසයි. කිසිදා නිම නොවන සාදයක් පැවැත්වීමට ප්‍රොස්පෙරෝ කුමරු අදහස් කරයි. ඔහු ජීවත්වීමට අවශ්‍ය තරම් ආහාර තොගයක් ගබඩා කර ඇති අතර මාලිගාව තුල සාද පවත්වමින් විනෝද වෙයි.

ඔහුගේ දුප්පත් යටත්වැසියන් රෝගාතුර වී විනාශ වන අතර, ප්‍රොස්පෙරෝ සහ ප්‍රභූවරු මාලිගාවේ සුරක්ශිතව සිටිති. ඔවුන් සන්තෝශයෙන් බාල් නටති. මේ අතර රතු මරණයට ගොදුරු වූ මළකඳකට සමාන ඇඳුමින් සැරසී ආරාධිත අමුත්තෙක් පැමිණෙන විට ප්‍රොස්පෙරෝ කුමරු සහ ප්‍රභූවරු භීතියට පත්වේ. කුමරුගේ රාජ සභිකයන් වෙස්මුහුණු ආක්‍රමණිකයා වෙත ගිය නමුත් බිය නිසා ඔවුන් ආගන්තුකයා අල්ලා ගත්තේ නැත. රූපය සෙමෙන් ප්‍රොස්පෙරෝ දෙසට ගමන් කිරීමට පටන් ගනී. රාජ පුරුෂයන් ඔහුව අල්ලා ගැනීමට බිය වෙති. වෙස්මුහුණ තුළ මිනිසෙකු නොමැති නමුත් එය සැබෑ රතු මරණයයි. සාදය අවසන් වන්නේ කුමරු ඇතුළු සියලු දෙනාට වසංගතයෙන් මිය යාමෙනි.

මෙම කෙටිකතාව හරහා පෝ මිනිසාගේ මනසෙහි සංකීර්ණ අභ්‍යන්තර ක්‍රියාකාරකම් විශ්ලේෂණය කරයි. කෙටිකතාවේ ප්‍රධාන චරිතය සමාජීය සම්මතයන්ට පටහැනි මිනිසෙකුගේ ගොතික් පරමාදර්ශයට විශිෂ්ට උදාහරණයකි. යමෙකු සමාජයෙන් වෙන්ව හෝ දුරස්ව සිටියද, සියලු පුද්ගලයින් අවසානයේ එකම අවසානයකට පැමිනෙන බව කතුවරයා ඉඟි කරයි. පෝ විසින් කතාව පුරාම “රුධිරය” සහ “මරණය” යන වචන භාවිතා කරන අතරම භයානක නිරූපණයන් සහ බරපතල වාක්‍ය ඛණ්ඩ ඇතුළත් වේ.

ප්‍රොස්පෙරෝ සහ මාලිගයේ සිටි ප්‍රභූවරු සිතුවේ ඔවුන් මරණයට වඩා ඉහළින් සිටින නමුත් අන්ධකාරය හා ක්ෂය වීම සහ රතු මරණය සියල්ලන්ටම වඩා ආධිපත්‍යය දැරීය. මෙයින් අවධාරණය වන්නේ මරණය සෑම කෙනෙකුටම පැමිණෙන බවත් මිනිසෙකු කුමාරයෙකු හෝ වංශාධිපතියෙකු හෝ දුප්පත් ගොවියෙකු දැයි ගණන් නොගන්නා බවත්ය. “මාස්ක්” හි ප්‍රොස්පෙරෝ නිරූපණය කරන්නේ සෑම පුද්ගලයෙකු තුළම මරණයට ඇති බියයි. වෙනස වන්නේ ප්‍රොස්පෙරෝ තමාට මරණයෙන් වැළකී සිටිය හැකි යැයි සිතමින් සමාජයට හා ස්වාභාවික පිළිවෙලට විරුද්ධ වීමයි. ප්‍රොස්පෙරෝගේ ආකල්පය සහ හැසිරීම අවසානයේ ඔහු සහ ඔහුගේ සහචරයින් ඔවුන්ගේ උපරිම උත්සාහයන් නොතකා, සියලු මිනිසුන් මරණයට සමාන බව ඔප්පු කරයි. සාහිත්‍යයේ වඩාත් ප්‍රචලිත ප්‍රොස්පෙරෝ යනු ෂේක්ස්පියර්ගේ The Tempest නාට්‍යයේ ඉන්ද්‍රජාලිකයා ය. ෂේක්ස්පියර්ගේ ඉන්ද්‍රජාලිකයා මෙන් පෝගේ ප්‍රොස්පෙරෝ කුමරු අවට සිටින්නවුන් පාලනය කිරීමට හා තමන්ගේ ලෝකය නිර්මාණය කර ගැනීමට උත්සුක වෙති.

මරණය නොවැළැක්විය හැකි යැයි යෝජනා කරන පෝ ගේ කෙටිකතාවක් වන The Facts in the Case of M. Valdemar ක්ෂය රෝගයෙන් පෙලෙන මරණාසන්න වූ වැල්ඩෙමර් නම් පුද්ගලයා පිලිබඳවය. මෝහනය යටතේ සිටින පුද්ගලයෙකුට මියයන විට කුමක් සිදුවේ දැයි “ එම්. වැල්ඩෙමර්” ගේ කතාව පවසයි. ඔහුගේ මිතුරා මෝහනය මගින් වැල්ඩෙමර්” ගේ මරණය කල් දමා ගැනීමට උත්සහ දරයි. වැල්ඩෙමර් තම මිතුරාගේ යෝජිත අත්හදා බැලීම අත්හදා බැලීමට උනන්දු වන්නේ ඔහු මරණයට ඇති බිය නිසා බව පෙනෙන්නට තිබේ, නමුත් ඔහු සම්බන්ධයෙන් ගත් කල, මරණය කල් දැමීම හුදෙක් එහි අවසාන භාවය වැඩි කරයි. මෙම කෙටිකතාවට මෝහන තත්වය යටතේ රෝගියෙකු සඳහා ශල්‍යකර්මයක් කළ වෛද්‍ය ඒ. සිඩ්නි ඩෝන්ගේ වාර්තාවෙන් පෝ ආභාෂය ලබා ගත් බව කියවේ. මරණ භීතිය පිළිබඳ පෝගේ සංවේදිවාදී ප්‍රවේශය මෙම කෙටිකතාව හෙළි කරයි. මෙම කථාවේදී, ශරීරය හා ආත්මය අතර භේදයක පැවැත්මක් පෝ විසින් පෙන්නුම් කරයි. එඩ්ගර් ඇලන් පෝ ඔහුගේ කෙටිකතාවල සංකේතවාදය භාවිතා කල අතර “වැල්ඩෙමර්” යන නම “මුහුදේ නිම්නය” ලෙස පරිවර්ථනය කළ හැක.

මෝහනය එනම් මෙස්මරිසම්

රෝගියාගේ හුස්ම සහ හෘද ස්පන්දනය මන්දගාමී වන විට වෛද්‍යවරයා ඔහුව මෝහනය කරයි. මියයන මිනිසාට කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. ඔහු වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඔහුව අවදි නොකරන ලෙස නොව වේදනාවකින් තොරව මිය යාමට ඉඩ දෙන ලෙසයි. පසු දින රෝගියාගේ දෑස් ඉහළට පෙරළී, ඔහුගේ කම්මුල් වල පැහැය නැති වී, ඔහුගේ මුඛය විවෘත වේ. ඔහු මිය ගොස් ඇති බව පෙනෙන්නට තිබේ. කෙසේවෙතත්, ඔවුන් ඔහුව භූමදානය සඳහා සූදානම් කරද්දී වැල්ඩෙමර් ගේ දිව කම්පනය වීමට පටන් ගනියි. මවිතයට පත් වෛද්‍යවරු මාස හතක් තිස්සේ රෝගියා එකම තත්වයේ තබති.

මොන්සියර් වැල්ඩෙමර් මාස හතක් ජීවතුන් අතර හෝ මිය ගොස් නොමැති තත්වයකට පත් වෙයි. අවසානයේදී, වෛද්‍යවරු ඔහුව අවදි කිරීමට එකඟ වෙති. ඔහුව අවදි කරන විට මළ සිරුර පිළිකුල් සහගත ද්‍රව ස්කන්ධයක් බවට පරිවර්තනය වෙයි. ශරීරය මත මනස පාලනය කිරීම පිළිබඳ විකාරරූපී නිරූපණයක් ලෙස වැල්ඩෙමර් ගේ කතාව කථාව පෙන්වා දිය හැක. පෝ මෙම කෙටිකතාව ලියූ සමයේ ඇමරිකාවේ සහ යුරෝපයේ මෝහනය එනම් මෙස්මරිසම් ඉතා ජනප්‍රිය විය. ශල්‍ය නිර්වින්දනය සඳහා ක්ලෝරෝෆෝම් සඳහා විකල්පයක් ලෙස වෛද්‍යවරු එය අත්හදා බැලූහ. ඔස්ට්‍රියාවේ අධ්‍යාපනය ලැබූ ජර්මානු ජාතික ෆ්‍රාන්ස් ඇන්ටන් මෙස්මර් (1734-1815) මෙම ක්‍රමය යුරෝපය පුරා ප්‍රචලිත කලේය. ක්‍ෂය රෝගයෙන් වැල්ඩෙමර්ගේ මරණය සහ ඔහුගේ මරණය කල් දැමීමට ගත් උත්සාහයන් පෝගේ බිරිඳ වර්ජිනියාගේ අත්දැකීම් වලට බලපාන්නට ඇත. කතාව ප්‍රකාශයට පත් කරන විට ඇය අවුරුදු හතරක් තිස්සේ ක්‍ෂය රෝගයෙන් පෙළුණාය.

භූමදානය පිළිබඳ භීතිය

The Premature Burial මෙම කෙටිකතාව පදනම් වී ඇත්තේ පණපිටින් වළලනු ලැබීමේ සංකල්පය මත ය. දහනව වන ශතවර්‍ෂයේදී බටහිර සංස්කෘතිය තුළ භූමදානය පිළිබඳ භීතිය ගැඹුරින් මුල්බැස තිබූ අතර මිනිසුන් පණ පිටින් භූමිදානය කල අවස්ථා කීපයක්ද වාර්තා වී තිබුණි. නොමේරූ භූමදානහි කථකයා හිස් ජීවිතයක් ගත කරයි. ඔහු යථාර්ථය වළක්වා ඇත්තේ ඔහුගේ උත්ප්‍රේරණයෙන් පමණක් නොව, ඔහුගේ මනංකල්පිතයන් සහ මරණයට අසීමිත ලෙස බියක් දැක්වීමෙනි. කැටලෙප්සි තත්වයෙන් පෙලෙන ඔහු තමන්ව පණ පිටින් භූමිදානය කරනු ඇතැයි බියෙන් සිටියි. Taphephobia හෙවත් පණපිටින් වළලනු ඇතැයි යන බිය නිසා ඔහු අධි කාංසාවෙන් පෙලෙයි. මෙය වලක්වා ගැනීම සඳහා, ඔහු තම නිවස තුල රැඳී සිටීමට අමතරව, තම පවුලේ සොහොන් ගෙය අලුත්වැඩියා කිරීම කොට එය ඇතුළත සිට විවෘත කිරීමට ඉඩ සලසයි. ඔහු සොහොන් ගෙය තුළ ආහාර සහ ජලය ඇතුළත් කරයි, යමෙකුට ඇතුළත හුස්ම ගැනීමට ප්‍රමාණවත් වාතාශ්‍ර කවුළුවක් සාදවයි. ඔහුගේ මිනී පෙට්ටිය සඳහා ආවරණයක් සාදා සොහොන් ගෙය මත සීනුවක් සවි කොට එහි ලනුව මිනී පෙට්ටියට ඇතුලත් කරයි. මේ ආකාරයෙන්, යම් ලෙසකින් ඔහුව පණපිටින් වළලනු ලැබුවහොත්, ඔහු ජීවතුන් අතර සිටින බව පැවසීමට ඔහුට සීනුව නාද කළ හැකිය.

වරක් දඩයම් චාරිකාවක යෙදී සිටියදී වැස්සෙන් රැකවරණය පැතූ ඔහු කුඩා බෝට්ටුවකට ගොඩ විය. වෙහෙස නිසා ඔහු එම බෝට්ටුවේ නිදා ගත්තේය. නින්දේ සිටියදී ඔහු සිතන්නේ තමන් ව පණ පිටින් භූමිදානය කොට ඇති බවය. ඒ නිසා ඔහු භීතියෙන් මුසපත් වෙයි. එහෙත් ඔහු අවදි වන විට තමන් බෝට්ටුවක නිදාගෙන සිටින බව තේරුම් ගනී. එම අත්දැකීම හමුවේ ඔහුගේ මරණීය භීතිය ඔහු කෙරෙන් ඉවත් වෙයි. ඔහු තම භීතිකාවෙන් නිදහස් වෙයි. මෙම කෙටිකතාව විදහා දක්වන්නේ මරණයේ ව්‍යාධිය කෙරෙහි පෝගේ ඇල්මයි.

එඩ්ගර් ඇලන් පෝ විසින් රචිත “The Fall of the House of Usher” කෙටිකතාව 1839 දී ජෙන්ටල්මන් සඟරාවේ පළ විය. මෙම කෙටිකතාවට ගොතික් ප්‍රබන්ධ , හුදකලාව සහ පාරභෞතික අනන්‍යතා යන තේමාවන් ඇතුළත් වේ. කතාව ආරම්භ වන්නේ නමක් සඳහන් නොකල කථකයා ඔහුගේ මිතුරා වන රොඩ්‍රික් උෂර්ගේ නිවසට පැමිණීමත් සමඟය. කථකයා උෂර්ගේ ශෝකජනක මන්දිරයට ළඟා වන්නේ සවස් කාලයේ වන අතර නොඉවසිය හැකි අඳුරු හැඟීමක්ඔහුගේ ආත්මය පුරා පැතිරෙයි. කථකයා පැමිණි පසු රොඩ්‍රික් තම පවුල පිළිබඳ තොරතුරු පවසයි. රොඩ්‍රික් කියා සිටින්නේ උෂර් මන්දිරය සංවේදී බවත් එය එහි වැසියන් කෙරෙහි පාලනයක් ක්‍රියාත්මක කරන බවත්ය. නිවසේ ජනේල ඇසිපියහා නිවසේ ඇතුළත ජීවමාන ශරීරයක්බවට පත්ව ඇති අතර පිටත පාසි වලින් වැසී ඇත. උෂර් මන්දිරය වේගයෙන් දිරාපත් වෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. රොඩ්‍රික් උෂර් විශ්වාස කරන්නේ අජීවී විශ්වය “මනෝභාවයෙන්” පිරී ඇති බව සහ මන්දිරය හුස්ම ගන්නා බවය

පාරභෞතික ලෝකවල භෞතික ප්‍රතිමූර්තිය

කථකයා පැමිණ දින කිහිපයකට පසු රොඩ්‍රික් ගේ නිවුන් සහෝදරිය මැඩ්ලින්ගේ මරණය සිදු වෙයි. රොඩ්‍රික් ඇයව භූමදාන කිරීමට උදව් කරන ලෙස කථකයාගෙන් ඉල්ලා සිටී. ඔවුන් ඇයව නිවස යට සොහොන් ගෙයක තැන්පත් කරද්දී, ඇය සිනාසෙන බවත්, ඇගේ කම්මුල් රෝස පැහැයෙන් යුක්ත බවත් ආඛ්‍යානය සටහන් කරයි. ඊළඟ දින කිහිපය තුළ, කථකයා තම මිතුරාගේ හැසිරීමේ වෙනසක් නිරීක්ෂණය කරයි. රොඩ්‍රික් උමතු රෝග ලක්ෂණ පෙන්වීමට පටන් ගෙන තිබේ. රොඩ්‍රික් හට දින ගණනාවක් පුරා ශබ්ද ඇසෙන බව කියවෙන අතර ඔහු විශ්වාස කරන්නේ ඔවුන් පණපිටින් වළලා දමා ඇති බව සිතන ඔහුගේ සොහොයුරිය මැඩ්ලින් පැමිණෙන බවයි. ඒ සමගම මන්දිරයේ ප්‍රධාන ද්වාරය වන අතර, මැඩලීන් සුදු පැහැයෙන් සැරසී සිටින්නීය. ඇයගේ වස්ත්‍රයේ ලේ තැවරී තිබේ.කෙඳිරිගාමින් ඇය ඇගේ සහෝදරයා මතට වැටෙන අතර, ඔවුන් දෙදෙනාම බිම ඇද වැටෙති. පසුව බලන විට රොඩ්‍රික් සහ මැඩ්ලින් දෙදෙනාම මියගොස් සිටිති. කථකයා භීතියෙන් පලා යයි. දිව යන ඔහු නිවස දෙස ආපසු හැරී බලන විට නිවස දෙකට බෙදී කඩා වැටෙන ආකාරය දකියි.

පෝ ගේ අද්භූත හා පාරභෞතික ලෝකවල භෞතික ප්‍රතිමූර්තිය මැඩ්ලින් උෂර් විය හැකිය. සොහොන් ගැබෙන් ඇයගේ පැමිණීම රොඩ්‍රික්ගේ වධහිංසා හා භීතියේ පුද්ගලාරෝපණයක් ලෙස විස්තර කෙරේ. මැඩ්ලින් සහ රොඩ්‍රික් නවකතාව පුරාම ස්පන්දනය වන ද්විත්ව මෝස්තරයකින් බැඳී ඇත. කෙසේ වෙතත්, රොඩ්‍රික් මැඩලින්ගේ භූමදානයෙන් පසු මානසික අස්ථාවර තත්වයක සිට මනෝ ව්‍යාධිය කරා යන විට රොඩ්‍රික් මැඩලීන් මත රඳා පවතින බව පැහැදිලිය. රොඩ්‍රික් උෂර්ට ආරෝපණය කර ඇති සෑම දෙයක්ම පෙන්නුම් කරන්නේ මානසික අස්ථාවරත්වයයි. මෙම කෙටි කතාව මගින් පෝ මිනිස් පරිකල්පනයේ අභ්‍යන්තර ක්‍රියාකාරකම් ගවේෂණය කරයි. “උෂර්ගේ නිවසේ වැටීමඅර්ථ දැක්විය හැක්කේ පුද්ගලයෙකුගේ පෞරුෂත්වයේ විරූපණය හා විසුරුවා හැරීම පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ලෙස බව විචාරක එඩ්වඩ් එච්. ඩේවිඩ්සන් පවසයි. ත්‍රාසජනක මෙම කෘතිය ඇමරිකානු ගොතික් සාහිත්‍යයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස පිළිගැනේ. තවද එය ගොතික් ත්‍රාසජනක කතාවේ මුල්ම හා උත්තරීතර උදාහරණය ලෙස සැලකේ.

The Imp of the Perverse කෙටිකතාව ජනප්‍රිය එකක් නොවූවද මෙය පෝගේ විශිෂ්ට කතාවකි. මෙය පෝගේ කථා වල ව්‍යුහාත්මකව අසාමාන්‍ය එකකි. Imp යනු යක්‍ෂයා ලෙස පෝ ඉඟි කරයි. Imp යනු යම් දෙයක් කිරීමට පුද්ගලයෙකු පොළඹවන නියෝජිතයා ය. එය ආත්මයේ දිය නොවන අභිරහස් වලින් එකකි. මෙම කතාවේ දී, පෝගේ කථකයා තමා විකෘතිතාවයේගොදුරක් යැයි පවසයි. එනම් වැරදි ක්‍රියා කිරීමට ඇති ප්‍රාථමික ආශාව ඔහු තුල තදින් පවතියි. කථකයා තර්ක කරන්නේ යම් විශ්වීය ආවේගයක වැදගත්කම මිනිසා අවතක්සේරු කරන බවයි. මිනිසුන් කිරීමට අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ උපකල්පන මත විශ්වාසය තැබීම වෙනුවට මානව වර්ගයාගේ ක්‍රියා තමන් තුළ සහ තමන් තුළම විමසා බැලීම වඩා ප්‍රයෝජනවත් වනු ඇතැයි කථකයා පවසයි. කථකයා මෙහි තමා ගැන පැහැදිලිවම කථා කිරීම හෝ ඔහුගේ ක්‍රියාවන් යුක්තිසහගත කිරීම නොකරයි.

කථකයා මිනීමරුවෙකි. ඔහු විෂ සහිත ඉටිපන්දමකින් මිතුරෙකු මරා දමා ඇත. ඔහුගේ ඝාතනයෙන් පසු කථකයා වින්දිතයාගේ මුදල් උරුම කර ගනී. ඔහු සියලු සාක්‍ෂි විනාශ කරයි. ඔහු ඒ පිලිබඳව උද්දාමයට පත් වෙයි. වසර ගණනාවක් තිස්සේ ඔහුගේ මිනීමරු ක්‍රියාවෙහි ප්‍රතිලාභ භුක්ති විඳියි. නමුත් විකෘතිතාවය මත ඔහුගේ අපරාධය පාපොච්චාරණය කර තමාම විනාශ කර ගැනීමට ඔහුට දිනක් හදිසියේම අභ්‍යන්තර බල කිරීමක් ඇති විය. (පෝ විකෘතිය විස්තර කරන්නේ සියලු මිනිසුන් තුළ තමන් දන්නා දේ වැරදි ලෙස කිරීමට ඇති ආශාව ලෙසය) ඔහු තුළ ඇති වූ ආවේගය පාලනය කර ගැනීමට නොහැකි වූ ඔහු, “දිගු කලක් සිරගතව සිටි රහස” මුදා හැරියේය. ඔහු තම අපරාධය බලධාරීන්ට පාපොච්චාරණය කරයි. ඔහුව ඉක්මණින් නඩු විභාග කොට මිනීමැරුමකට වැරදිකරු වී එල්ලා මැරීමට නියම කරනු ලැබේ. කථකයාගේ මනසෙහි සැබවින්ම “විකෘති” වන්නේ යමෙකු ඝාතනය කිරීම නොව පාපොච්චාරණය කිරීම බව කතුවරයා පෙන්වා දෙයි. කෙටි කතාව ආඛ්‍යානකරුවාගේ ස්වයං විනාශකාරී ආවේගයන් ගැන සාකච්ඡා කරයි. කථකයා මිනීමරුවෙකු ලෙස පාපොච්චාරණය කරන්නේ කිසිදු වරදකාරී හැඟීමකින් නිසා නොව ස්වයං විනාශයේ ආශාව නිසාවෙනි. කථාව පදනම් වී ඇත්තේ සියලු මිනිසුන් ස්වයං විනාශකාරී ප්‍රවණතාවලට නැඹුරු වන අතර අවසානයේ අප විසින් කරනු ලබන ක්‍රියාව පිළිබඳ සදාචාරාත්මක වගකීම මග හැරිය නොහැකි බවය.

මොළය පුරා පියාසර කරන සෙවනැල්ල

අපි ප්‍රපාතයක අද්දර සිටගෙන සිටිමු. අපි අගාධයට එබී බලමු. අපගේ පළමු ආවේගය වන්නේ අනතුරෙන් ඈත් වීමයි. එහෙත් අප නොසැලකිලිමත් ලෙස එහි රැඳී සිටිමු එය බිය උපදවන සුළු සිතුවිල්ලක් පමණක් වන අතර, අපගේ අස්ථිවල ඇටමිදුළුවල භීතියේ ප්‍රීතියේ දරුණුකම සමඟ එය සිසිල් කරයි. එය හුදෙක් මෙතරම් උසකින් වැටීමකදී අපේ සංවේදනයන් කුමක් වනු ඇත්ද යන්න පිළිබඳ අදහස පමණි මේ හේතුව නිසාම අපි දැන් වඩාත් ප්‍රබල ලෙස එයට කැමැත්තෙමු“. පෝ මිනිසුන් තුල තිබෙන මෙම ස්වයං විනාශකාරී ප්‍රවණතා පිලිබඳව විමර්ශනය කරයි. පෝ මෙම විකෘති ආක්රමණශීලී සිතුවිලි මොළය පුරා පියාසර කරන සෙවනැල්ලකටසමාන කළේය. පෝගේ සියලු කථා අතුරින්, මෙය මනෝ විශ්ලේෂණයේ නිර්මාතෘ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ අදහස් පූර්ව නිගමනය කිරීමට ඇති ප්‍රබලම කතාවකි.

පෝ මෙම කෙටිකතාව ලියන සමයේදී ඉංග්‍රීසි කවියෙකු වූ හෙන්රි ලෝන්ග්ෆෙලෝ සමඟ ප්‍රසිද්ධ ආරවුලක් ඇති කරගෙන සිටියේය. එම ගැටුම ලෝන්ග්ෆෙලෝ යුද්ධයලෙස නම් කරන ලදි. කථාව ප්‍රකාශයට පත් වී මාස තුනකට පසු, බොස්ටන්හි සාහිත්‍ය කවයට එරෙහිව පෝ පහර දුන්නේය. එක් විචාරකයෙක් පැමිණිලි කළේ ඔහු තීන්ත නොව හයිඩ්‍රජන් සයනයිඩ් අඩංගු ප්‍රස්සික් අම්ලය භාවිතා කළ බවය. ඩැනියෙල් ස්ටැෂෝවර් යෝජනා කරන්නේ මේ මගින් පෝ තම පාඨකයන් විනාශකාරී ලෙස තමන් ගෙන් දුරස් කර ගත් බවයි.

ඩොලර් 100 ක ගෙවීමක්

පෝ හට ගුප්ත ලේඛන ක්ෂේත්‍රය කෙරෙහි දැඩි උනන්දුවක් තිබුණි. ඔහු ” The Gold-Bug” කෙටිකතාව ලියන විට ගුප්ත විද්‍යාවේ ජනප්‍රියතාවයෙන් ප්‍රයෝජන ගත් අතර, එවැනි එක් ගුප්ත කේතන ක්‍රමයක් මත සාර්ථකත්වය ලබා ගත්තේය. ඔහුට විශිෂ්ට විශ්ලේෂණාත්මක ගණිතමය මනසක් තිබුණි. “ගෝල්ඩ් බග්” කතාව ආරම්භ වූයේ තර්කනය කෙරෙහි පෝ තුල තිබූ ඇල්මෙනි. පෝගේ ජීවිත කාලය තුළ වඩාත් ජනප්‍රිය හා වඩාත්ම කියවන ලද නිර්මාණය මෙය විය. මෙම කතාවට ඩොලර් 100 ක ගෙවීමක් ඔහුට ලැබුණි. එය ඔහුගේ ජීවිත කාලය තුළ එක ලිවීමකට ලබාගත් වැඩිම මුදලක් විය. පෝ ගේ මෙම කෙටිකතාව රොබට් ලුවී ස්ටීවන්සන්ගේ ට්‍රෙෂර් අයිලන්ඩ් ඇතුළු පසුකාලීන සාහිත්‍ය කෘති ගණනාවකට බලපෑම් කළේය. ඔහු පසුව ගුප්ත ලේඛනකරණ ක්‍රම පිළිබඳ රචනා ලියා ඇති අතර එය පළමුවන ලෝක සංග්‍රාමයේදී භාවිතා කළ ජර්මානු කේත තේරුම් ගැනීමට ප්‍රයෝජනවත් විය.

පෝ විසින් ලියන ලද එකම සම්පූර්ණ දිග නවකතාව වන Arthur Gordon Pym of Nantucket (1838) ආරම්භ වූයේ ප්‍රකාශකයෙකුගේ යෝජනාවක් මත ය. ග්‍රැම්පස් නම් තල්මසුන් නැවකට ගොඩ වූ නන්ටුකෙට්හි ආතර් ගෝර්ඩන් පයිම්ගේ කතාව මෙම කෘතියෙන් විස්තර කෙරේ. පෝ ද තරුණ වියේ දී නැවකින් ගමන් කර ඇති අතර වරක් දින 34 ක් පුරා මුහුදු ගමනක් ගියේය. ඩැනියෙල් ඩෙෆෝගේ රොබින්සන් කෘසෝ නවකතාව (1719) සහ සැමුවෙල් ටේලර් කොලරිජ්ගේ ““The Rime of the Ancient Mariner”” (1798) යන කාව්‍ය මෙම නවකතාව ලිවීමට ඔහුට බලපෑම් කරන ලදි.

ආතර් ගෝර්ඩන් පයිම් උපත ලැබුවේ ධීවර වරාය සහ තල්මසුන් සඳහා ප්‍රසිද්ධ නන්ටුකෙට් දූපතේ ය. නන්ටුකෙට් දකුණු මැසචුසෙට්ස් හි කේප් කෝඩ්ට දකුණින් පිහිටි දූපතක ප්‍රධාන තල්මසුන් වරාය විය. ඔහුගේ හොඳම මිතුරා ඔගස්ටස් බාර්නාඩ් තල්මසුන්ගේ නෞකාවක කපිතාන්වරයාගේ පුත්‍රයාය. ඔගස්ටස්ගේ ත්‍රාසජනක කතා වලින් පයිම් ආකර්ෂණය වී ඇත. මේ නිසා පයිම් ත්‍රාස ජනක නාවික ගමනකට එක් වෙයි. ඔහු අනතුරුදායක නාවික ගමනක යෙදී සිටියි. එය විනාශකාරී නැව් ගමනාගමනයකි.

ආතර් ගෝර්ඩන් පයිම්ගේ ආඛ්‍යානයනව එංගලන්ත තල්මසුන් නෞකාවක නැවෙහි නැවෙහි අඳුරු වික්‍රමාන්විතයන් අනුගමනය කරන අතර එය රෞද්‍ර අද්භූත අංගයන්ගෙන් යුත් සම්භාව්‍ය ත්‍රාසජනක කතාවකි. සිහින, ආදරය, නැතිවීම; ශෝකය, වැලපීම, දුරස් වීම; භීෂණය, පළිගැනීම, මිනීමැරීම; උමතුකම, රෝග සහ මරණය. ” මෙම නවකතාවේ පිටු තුළ හමු වෙයි. තවද නවකතාව ආධිපත්‍යය, සමූහ ප්‍රචණ්ඩත්වය සහ විනාශය පිළිබඳ භීතිය ගෙන එයි. පෝ ගොතික් හා සංචාරක ආඛ්‍යානය කෙරෙහි අවධානය යොමු කළද ආතර් ගෝර්ඩන් පයිම් 19 වන සියවසේ ඇමරිකාවේ අදහස් පිළිබිඹු කරන කෘතියක් ලෙස අර්ථ දැක්විය හැකිය. ඔහුගේ කතාව හර්මන් මෙල්විල්, ජූල්ස් වර්න් සහ තවත් බොහෝ ඇමරිකානු කතුවරුන්ගේ කෘතිවලට ආභාෂය ලබා දුන්නේය.

පෝ යනු අන්තයේ මිනිසෙකි, ඔහු සාර්ථකත්වයේ හා අසාර්ථකත්වයේ උච්චතම හා පහත්කම් දැන සිටියේය. ඔහු තමාගේම හැඟීම් හා අරගලයන් ඔහුගේ කථා වලට ඇතුළත් කලේය. විවේචකයන් විසින් ඔහුව බේබද්දෙකු, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙකු ලෙස පහත් කොට සලකන ලද්දෙකි. පෝ ගේ වටිනාකම ඔහුගේ කාලයේදී අවබෝධ නොවීම අහේතුවකි. පෝ මූලික මිනිස් හැඟීම් වලට ආයාචනා කරන නිසාත්, සෑම භාෂාවකම සිටින සියලුම මිනිසුන්ට පොදු විශ්වීය තේමාවන් ප්‍රකාශ කරන නිසාත් ඔහුගේ කෘති විශ්වව්‍යාපී ය. ඔහු සැබෑ පුනරුදයේ මිනිසෙකි. ඔහු ප්‍රංශ භාෂාව හොඳින් දැන සිටි අතර ඔහුගේ බොහෝ කථා වල ලතින් සහ ග්‍රීක භාෂාවෙන් උපුටා දැක්වීම් ඇත. ඔහු ගණිතය හා තාරකා විද්‍යාව හොඳින් වටහාගෙන සිටි අතර මෙම කරුණු බොහොමයක් ඔහුගේ කථා වලට ඇතුළත් කලේය.

රහස් පරීක්ෂක නවකතාවේ පියා

එඩ්ගර් ඇලන් පෝ විද්‍යා ප්‍රබන්ධයේ මුල් පුරෝගාමියෙකි. පෝ ඔහුගේ කාලයේ විද්‍යාව කෙරෙහි ඇල්මක් දැක්වූ අතර ඔහු බොහෝ විට නව නිපැයුම් පිළිබඳ කථා ලිවීය. නූතන රහස් පරීක්‍ෂක කතාවේ නව නිපැයුම්කරු සහ විද්‍යා ප්‍රබන්ධ ප්‍රභේදයේ නවෝත්පාදකයෙකු ලෙස ඔහුට පුළුල් ලෙස පිළිගැනීමක් තිබේ. ඇමරිකාවේ මුල්ම රහස් පරීක්ෂක කථාව ලෙස, 1841 දී ප්‍රකාශයට පත් කරන ලද පෝගේ ““The Murders in the Rue Morgue “හැඳින්විය හැකිය. මෙම කෙටිකතාව සඳහා පෝ විසින් සී. ඔගස්ටේ ඩුපින් නම් රහස් පරීක්ෂකයෙකු නිර්මාණය කළේය. අපරාධ විසඳීමට තර්කන බුද්ධිය යොදා ගැනීමේ සංකල්පය සාහිත්‍යයට ඔහු හඳුන්වා දුන්නේය. සී. ඔගස්ටේ ඩුපින් චරිතය විසින් ෂර්ලොක් හෝම්ස් පොත් සඳහා අඩිතාලම දැමීය. පෝ රහස් පරීක්ෂක නවකතාවේ පියා ලෙස හැඳින්වෙන අතර ෂර්ලොක් හෝම්ස්ගේ නිර්මාතෘ ආතර් කොනන් ඩොයිල්ට සෘජුවම බලපෑම් කළේය. ආතර් කොනන් ඩොයිල් වරක් කියා සිටියේ එඩ්ගර් ඇලන් පෝගේ කථා සෑම විටම ආදර්ශයක්බවයි. ආතර් කොනන් ඩොයිල් අනුගමනය කළේ පෝ විසින් නිර්මාණය කරන ලද ආකෘතියයි. මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක ප්‍රභේදයට පෝගේ බලපෑමට ඉහළ ප්‍රශංසාවක් ලැබෙන්නේ වඩාත් නවීන කතුවරයකු වන ස්ටීවන් කිං ගෙනි . ස්ටීවන් කිං, එඩ්ගර් ඇලන් පෝ යෞවන කාලය තුළ තමා ආදරය කළ කතුවරයකු ලෙස උපුටා දක්වයි.

මිනිස් ස්වභාවයේ අඳුරු පැත්ත කෙරෙහි අවධානය යොමු කිරීම සඳහා පෝ ප්‍රසිද්ධියට පත්විය. අවුල් සහගත හා මාරාන්තික රූ මෝර්ග් මහල් නිවාසය සංකේතවත් කරන්නේ පෝගේ ජීවිතයට පීඩා කළ කාන්තාවන් සම්බන්ධ පෞද්ගලික ඛේදවාචකයන් ය. පෝ සිය ජීවිත කාලය තුළ ගෘහස්ථ සැනසීමක් සොයා නොගත් අතර ඔහු ගෘහස්ථ විනාශය පිළිබඳ මෙම දර්ශනය ඔහුගේ ජීවිතයේ විචිත්‍රවත් අත්දැකීම් සමඟ ආයෝජනය කරයි. ඩුපින් නිර්මාණය කිරීම පෝට තමාගේම තර්කන බුද්ධිය ඉස්මතු කිරීමට පමණක් නොව, ඔහු දිගු කලක් තිස්සේ අපේක්ෂා කළ ගෘහස්ථ සන්සුන් භාවය සහ සහෝදරත්වයේ හවුල් වීමටද ඉඩ සලසයි.

විද්‍යා ප්‍රබන්ධ කථා ලියූ පළමු කතුවරුන්ගෙන් එක් අයෙකු වන පෝ, “විද්‍යා ප්‍රබන්ධයේ පියා” ලෙස හැඳින්විය හැකිය. මුල් කාලීන විද්‍යා ප්‍රබන්ධ කතුවරයා වන ජූල්ස් වර්න්ගේ වර්ධනයට ද පෝ ප්‍රබල ලෙස බලපෑම් කලේය. ඔහුගේ ගද්‍ය කාව්‍යය වන යුරේකාසමහර විට විද්‍යා ප්‍රබන්ධයේ මුල් කෘතියක් ලෙස සැලකේ. එය “ගද්‍ය කාව්‍යයක්” ලෙස උපසිරැසි ගැන්වූ නමුත් එය “ද්‍රව්‍ය හා අධ්‍යාත්මික විශ්වය පිළිබඳ රචනයක්” ලෙස උපසිරැසි ගැන්වී ඇත. එය වචන 40,000 කට ආසන්න දිගකින් යුක්ත වේ. යුරේකා, විශ්වයේ ස්වභාවය පිළිබඳ පෝගේ බුද්ධිමය සංකල්පය විස්තර කරයි. යුරේකා භෞතික විශ්වයේ මූලාරම්භය, ව්‍යාප්තිය හා බිඳවැටීම පිළිබඳ විශ්වීය නිබන්ධනයකි. යුරේකා හි ඔහු විශ්වය පිළිබඳ න්‍යායන් කිහිපයක් ගෙනහැර දැක්වීය. යුරේකා පෝගේ මිනිස් ජීවිතය පිළිබඳ මහා විද්‍යාත්මක සමපේක්‍ෂනය ලෙසටද හැඳින්විය හැකිය.

යුරේකා යනු විශ්වය පැහැදිලි කිරීමට පෝගේ උත්සාහයයි. 1848 දී ප්‍රකාශයට පත් කරන ලද යුරේකා ඔහුගේ ලොකුම ජයග්‍රහණය බව පෝ විශ්වාස කළ බව පෙනේ.ඔහු යුරේකා සිය වෘත්තීය කෘතිය ලෙස සැලකූ බව ලිවීය. ඔහු තර්ක කළේ නිර්මල බුද්ධියෙන් මිස ඇරිස්ටෝටලියානු න්‍යාය හා වාක්‍ය ඛණ්ඩවල ප්‍රාථමික ක්‍රමයක් හෝ ෆ්‍රැන්සිස් බේකන් විසින් සකස් කරන ලද නූතන විද්‍යාවේ ආනුභවික ක්‍රමයෙන් නොවේ. නූතන විචාරකයෝ ඔහුගේ අවසාන ප්‍රධාන කෘතිය වන යුරේකාගේ වැදගත්කම ගැන දිගින් දිගටම විවාද කරති.

ලෝක සාහිත්‍යයට පෝගේ වඩාත්ම කැපී පෙනෙන දායකත්වය ලැබෙන්නේ ඔහු නිර්මාණාත්මක කතුවරයකු වශයෙන් මෙන්ම ඔහුගේ සමකාලීනයන්ගේ කෘති විවේචකයෙකු ලෙස ද භාවිතා කළ විශ්ලේෂණ ක්‍රමවේදයෙනි. ඔහුගේ ජීවිත කාලය තුළ පෝ බොහෝ දුරට සාහිත්‍ය විචාරකයෙකු ලෙස පිළිගැනීමට ලක්විය. පෝ ප්‍රබන්ධ රචකයෙකු ලෙස ද හැඳින්වූ අතර එක්සත් ජනපදයට වඩා යුරෝපයේ ජනප්‍රිය වූ 19 වන සියවසේ ප්‍රථම ඇමරිකානු කතුවරුන් අතරට එක් විය. ඔහුගේ බොහෝ කෘති සාමාන්‍යයෙන් අඳුරු රොමෑන්ටිකවාදයේ ප්‍රභේදයේ කොටසක් ලෙස සැලකේ. ඔහු ගොතික් කතා වල සංකේතවාදයේ අවිනිශ්චිතතාවයන් හඳුන්වා දුන් අතර, කෙටිකතාව සුවිශේෂී සාහිත්‍යමය ස්වරූපයක් ලෙස අර්ථ දැක්වීමේ ගෞරවය පෝට හිමි වේ. ගොතික් සාහිත්‍යයේ ප්‍රභේදය ප්‍රායෝගිකව නිර්මාණය කරමින් ඔහුගේ අඳුරු, බිහිසුණු බිහිසුණු කතා සඳහා පෝ ලොව පුරා කීර්තියක් ලබා ගත්තේය. ගොතික් සාහිත්‍යයට පෝගේ දායකත්වය ප්‍රතික්ෂේප කළ නොහැකි අතර ඇමරිකානු සංස්කෘතිය කෙරෙහි ඔහුගේ බලපෑම ද ගැඹුරු ය. එහෙත් ඔහුගේ කෘති ඔහුගේ ජීවිත කාලය තුළ කැපී පෙනෙන ලෙස පැසසුමට ලක් නොවීය.

කම්පන සහගත අතීතයේ පිළිබිඹුව

විචාරකයින්ගෙන් බහුතරයක් පෝගේ කෘති දකින්නේ ඔහුගේ කම්පන සහගත අතීතයේ පිළිබිඹුවක් වශයෙනි. පෝ චරිතාපදානය ලියූ මාරි බොනපාට් සහ කෙනත් සිල්වර්මන් පවසන පරිදි, ඔහුගේ දුක්ඛිත ජීවිතයේ ප්‍රධාන සිදුවීම් වූයේ පෝගේ මව, සුළු මව සහ බිරිඳගේ මරණ යඔහු සසල කල බවයි. ඔහුට ආරක්‍ෂාව සහ සැනසීම ලබා දුන් මෙම කාන්තාවන්ගේ වේදනාකාරී මරණ නිසැකවම ඔහුගේ පරිකල්පනය ඔහුගේ කථා හා කවි වලින් පිළිබිඹු විය. 1835 දී එවකට 26 හැවිරිදි පෝ සිය ඥාති සහෝදරිය වූ වර්ජිනියා සමඟ රහසින් විවාහ විය. 1842 දී වර්ජිනියා ක්‍ෂය රෝගයෙන් මිය ගියාය. ඉන් ඔහු මානසිකව පරිපීඩනයට පත් විය. ඔහුගේ බිරිඳ වර්ජිනියාගේ මරණයෙන් පෝගේ ජීවිතය විනාශයට පත්විය. ඔහු මත්පැන් පානය කරමින් ඉබාගාතයේ යන්න විය. ඔහු 1849 ඔක්තෝබර් 7 වන දින වයස අවුරුදු 40 දී බොල්ටිමෝර්හිදී මිය ගියේය. එඩ්ගර් ඇලන් පෝගේ මරණය චාල්ස් බෝඩ්ලෙයාර් විසින් විස්තර කරන ලද්දේ දීර්ඝ කාලයක් පුරා සූදානම් කළ සියදිවි නසා ගැනීමක් ලෙසටය. මත්පැන් ලෝලිතාවද ඔහුගේ මරණය ඉක්මන් කලේය. මිය යන විට ඔහුගේ වයස අවුරුදු හතලිහකි. ඔහුගේ දේහය තැන්පත් කරනු ලැබුවේ බෝල්ටිමෝර් හි ප්‍රෙස්බිටේරියන් සුසාන භූමියේ ය.

 Kaitlin Whitt, 17, from Hyco, West Virginia, reads the poem, The Raven, by Poe’s grave at Westminster Presbyterian Church cemetary,Thursday August 16, 2007. (Photo by Melina Mara/The Washington Post/Getty Images)

එඩ්ගර් ඇලන් පෝ එක්සත් ජනපදයට වඩා යුරෝපයේ ජනප්‍රිය වූ 19 වන සියවසේ ප්‍රථම ඇමරිකානු කතුවරයා බවට පත්විය පෝගේ කෘති සාහිත්‍යයේ මුහුණුවර වෙනස් කළ අතර විචාරක ජේම්ස් රසල් ලෝවෙල් ඔහුව දාර්ශනික හා නිර්භීත විවේචකයෙකු ලෙස හැඳින්වීය. ප්‍රංශ කතුවරයකු වන ජූල්ස් වර්න් විසින් පෝව බෙහෙවින් අගය කලේය. ෆියෝඩර් දොස්තයෙව්ස්කි පෝව හැඳින්වූයේ “අති දක්‍ෂ ලේඛකයෙක්” ලෙසටය. ඔස්කාර් වයිල්ඩ් පෝ රිද්මයානුකූල ප්‍රකාශනයේ ස්වාමියාලෙස හැඳින්වූ අතර පෝගේ කෘති ඔහුගේ ඩොරියන් ග්‍රේ නවකතාවට බලපෑවේය. පෝ ඔහු සිත් ඇදගන්නාසුළු සාහිත්‍ය පෞරුෂයක් නිර්මාණය කල අතර පෝගේ කෘතීන් ඇමරිකානු හා ජාත්‍යන්තර සාහිත්‍යයට ප්‍රබල බලපෑමක් ඇති කළේය. ඔහුගේ කෘති ලෝක සාහිත්‍යයේ නූතනවාදය පිළිබඳ ඕනෑම සංකල්පයකට අත්‍යවශ්‍ය වේ. ඔහුගේ ලේඛන ශෛලිය සියවස් ගණනාවක් පුරා විහිදී ගිය අතර බොහෝ දෙනෙකුට එය බලපෑවේය.

Works Cited

Bazil, C.W. (1999). Seizures in the life and works of Edgar Allan Poe. Arch Neurol ;56:740-743.

Harris, J.C.(2008). Edgar Allan Poe: The Raven. Arch Gen Psychiatry;65:868-869.

Kennedy, J. G.(1995).. The Narrative of Arthur Gordon Pym and the Abyss of Interpretation. New York: Twayne.

Poe, Edgar Allan. “The Masque of the Red Death.” Complete Tales and Poems of Edgar Allan Poe. Ed.

Poe, Edgar Allan. Edgar Allan Poe: complete tales and poems. New York: Fall River Press, 2012.

Sova, D.(2006). “Introduction.” Complete Tales and Poems of Edgar Allan Poe. New York, NY: Fall River Press.

Thompson, G. R. (2004).The Selected Writings of Edgar Allan Poe. Ed. G. R. Thompson. New York: W. W. Norton & Company..

Back to Top