Sunday, November 29, 2020

අලි සබ්රි, ජී.එල් සහ විස්ස ගැන ප්‍රශ්න – සුනන්ද දේශප්‍රිය

20 යනු මෙරට බොහෝ ජන්ද දායකයිනට 19ට පසු එන අංකය පමණක් බව මුහුණු පොතෙහි කවරකු හෝ ලියා තිබුණි. පදගතාර්ථයෙන් නැතත් එම ප්‍රකාශයේ ඇත්තක් තිබේ. එනම් මෙරට බහුතර ජනයාට යෝජිත විසිවන ව්‍යවස්ථා සංසෝධනය ගැන උනන්දුවක් නැති බවය.

ස්වාධීන කොමිෂන් සභා කන්නදැයි අසා තිබුනේ වෙනින් කව්රුවත් නොව අධිකරණ ඇමැති අලි සබ්රිය

කොමිසන් සභා කන්නද?

ස්වාධීන කොමිෂන් සභා කන්නදැයි අසා තිබුනේ වෙනින් කව්රුවත් නොව අධිකරණ ඇමැති අලි සබ්රිය. අලි සබ්රිගේ තර්කය වන්නේ ජනාධිපතිවරයාට වැඩකළ හැකි ව්‍යවස්ථාවක් අවශ්‍ය වී ඇති බවයි. ව්‍යාවස්ථා සංසෝධනය අවශ්‍ය වන්නේ වැඩ කිරීමට නම් එමගින් ජාතික මැතිවරණ කොමිසන් සභාවේ බලතල අඩු කරන්නේ ඇයිද යන්නට අලි සබ්රි දෙන උත්තරය කුමක්ද? ඔහු කකරන්නට යන වැඩට ඉක්මණින් මැතිවරණ පැවැත්වීමත් අයත්ද? සාධාරණ සහ නිදහස් මැතිවරණ පැවැත්වීමට අදාළ බලතල මැතිවරණ කොමිසමෙන් ඉවත් කරන්නේ කුමණ ජාතියේ වැඩ කිරීමටද? විගණක කොමිසම අහෝසි කරන්නේ කුමණ වැඩ කිරීමටද? අගවිනිසුරු ඇතුළු ඉහල අධිකරණ විනිසුරන්/විනිසුරුවරියන් පත්කිරීම ජනාධිපති බූදලයට ලියා ගන්නේ කුමන ජාතියේ වැඩ කරන්නද?

පීරිස්ගේ තර්ක

අනෙත් අතට ඔරුව පෙරළුනු පසු ඒ පැත්ත අර පැත්තට වඩා හොඳ බවට තර්ක කිරීමේ මහාචාර්ය පදවියක් ඇති ඇමැති ජී.එල්.පීරිස් කියා තිබුනේ කව්රු මොනවා කිව්වත් විසිවන සංසෝධනයෙන් කොමිසන් සභා ඉවත් කර නැති බවයි. නමුත් ඔරුවේ යටි පැත්තේ ගුණ ගයන ඇමැති පීරිස් ඒ කොමිසන් සභාවල දත්ගලවා ඇති බව කියන්නේ නැත.

20 යනු 19ට පසු එන අංකය යැයි සිතන ජහමනයා සිටිය හැකි වුවත් ඉත කී කතා දෙකෙන්ම පෙනෙන්නේ විසිවන ව්‍යවස්ථා සංසෝධනයට සුදු හුණු ගෑමේ අවශ්‍යතාවයත් රාජපක්ෂවාදීන්  දකින බවයි. උනන්දුමත් ජන පිරිස් කරා මෙකී සංසෝධනයේ ඇති ඇත්ත භයානක ස්වරූපය පෙන්වාදීම වැදගත් වන්නේ ඒ නිසාය.

සමහර විට විසිවන සංසෝධනයේ  නියම අර්තය දැක්වෙන්නේ එය විසින් මැතිවරණ කොමිසම බල රහිත කර ඇති අන්දම දෙස බලන විට විය හැකිය.

මෙම සංසෝධනයට අනුව මැතිවරණ කොමිෂන් සභාව පත්කිරීමේදී මූලික වන්නේ ජනාධිපතිවරයාගේ අභිමතයයි. එමෙන්ම එහි සභාපතිවරයා පත් කිරීමටද ව්‍යවස්ථාව සභාව වෙනුවට යෝජිත පාර්ලිමේන්තු සභාවේ අනුමැතියවත් අවශ්‍ය නැත. කොමිෂන් සභාවේ සාමාජික සාමාජිකාවන් අතරින් එක් අයකු නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයෙකුට ඉහළ ධුරයක් දැරූ මැතිවරණ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික නිලධාරියෙකු වීම අවශ්‍ය නැත. මෙම සංසෝධනයට අනුව කොමසාරිස්වරු තිදෙනාම පිටින්, ජනාධිපතිගේ කැමැත්ත මත පත් කළ හැකිය.

මැතිවරණ අවස්ථාවකදී මැතිවණයට අදාළ වන රාජ්‍ය සේවයෙහි කවර හෝ කරුණක් හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ හෝ අධිකරණ සේවා කොමිෂන් සභාවේ පරිපාලනයේ කවර හෝ කරුණක් සම්බන්ධයෙන් මාර්ගෝපදේශ නිකුත් කිරීමට මැතිවරණ කොමිසමට තිබූ බලය ඉවත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා පත් කිරීම සඳහා පාර්ලිමේන්තු සභාවේ හෝ නිර්දේශයක් මෙම සංසෝධනය අනුව අවශ්‍ය නොවන අතර ඔහු හෝ ඇයද බාහිරින් පත් කළ හැක.

වයඹ ඡන්ද කොල්ල යළි

නිකමට හිතන්න, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි මැතිවරණ දෙපාර්ථමෙන්තුවට පිටින් පත්කළ කොමිෂන් සභාවක් සහ කොමසාරිස් ජනරාල්වරයකු විසින් පවත්වන ජනාධිපතිවරණයක් හෝ මහා මැතිවරණයක් ගැන. දෙපාර්ථමේන්තුවේ ජේෂ්ඨත්වය අනුව පත්ව සිටි කොමසාරිස්වරයකු 1998 වයඹ මැතිවරණ කොල්ලය සාධාරණ කලේ නම් පිටින් පත්වන කණ්ඩායමක් මොනවා නොකරයිද?

අප මෙම තත්වය සැළකිල්ලට ගත් යුත්තේ ජනාධිපති අභිමතය අනුව පත් කරන ලද සරත් සිල්වා සහ මොහාන් පීරීස් යන ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරුවරුන්ගේ කල් ක්‍රියාව සිහි තබාගෙනය. එම දෙදෙනාම දේශපාලන පත්වීම් විය.

රාජ්‍ය පාලිත ජනමාධ්‍ය මේ අනුව මැතිවරණ කොමිෂන් සභාවේ උපමාන අනුගමනය කිරීම අනීවාර්ය නොවේ. මෙමගින් සිදුවනුු ඇත්තේ රාජ්‍ය පාලික ජනමාධ්‍ය රාජපක්ෂවාදී ජනමාධ්‍ය බවට ප්‍රසිද්ධියේම පත්වීමයි.

මෙම වෙනස්කම් මගින් වැඩ කිරීම සඳහා ජනාධිපති රාජපක්ෂට ලැබෙන අමතර වාසියක් කුමක්ද යන්න තේරුම් ගත නොහැක. ඉන් ඇතිවිය හැකි එකම ප්‍රතිපලය නම් මැතිවරණ කොමිසම කෙරෙහි අවිශ්වාසය වර්ධනය වීමත් සාධාරණ සහ නිදහස් මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට ඇති බලය දුර්වල වීමත්ය.

පොලිස් කොමිසමත් හබක්

මෙම සංසෝධනය ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීම හා ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට අසීමිත බලයක් පවරන්නේ කුමන අන්දමේ වැඩ සඳහාද? කොමිෂන් සභාවේ රැස්වීම්වලට පැමිණීමට පොලිස්පතිවරයාට තිබූ අයිතිය පවා මෙම සංසෝධනය විසින් ඉවත් කර තිබේ.

පොලිස් නිලධාරීන් පත් කිරීම, උසස් කිරීම, මාරු කිරීම, විනය පාලනය කිරීම සදහා වූ බලය ද සේවයෙන් පහ කිරීම සහ ඕනෑම නියෝගයකින් අගතියට පත් පොලිස් නිලධාරියෙකු කොමිසමට අභියාචනා කිරීමේ අයිතිය ද මෙම සංසෝධනය මගින් ඉවත් කැරෙනු ඇත.

ඉන් සිදුවනු ඇත්තේ පොලිස් සේවය ස්වාධීන කිරීමක්ද නැත්නම් තව තවත් දේශපාලනසව කිරීමක්ද යන්න තීරණය කිරීම එතරම් දුෂ්කර නැත.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ බලතල කෙරෙහි ඇති කරන බලපෑම ද ඉතා හානිකරය. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඕනෑම විනිසුරුවරුන් දෙදෙනෙකු අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට බලය ලැබේ. පාර්ලිමේන්තු කවුන්සිලයේ අනුමැතියකින් තොරව ජනාධිපතිවරයාට එවැනි සාමාජිකයන් පත් කිරිමට පමණක් නොව ඉවත් කිරීමටද හැකිය. මීට අමතරව, කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත්වීම සඳහා වන නිර්ණායක ද සංසෝධනය මගින් මකාදමයි. මෙය කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට හා අධිකරණයේ ස්වාධීනත්වයට හානි නොකරන්නේද? එමගින් වැඩ කිරීමට ජනාධිපතිවරයාට ලැබෙන අමතර වාසිය කුමක්ද?

මා පසුගිය සතියේද කෙටි සටහනක් ලියූ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් යෝජිත විසිවන සංසෝධනය කරනු ලබන වෙනස්කම් සම්බන්ධයෙන්ද අප සැළකිලිමත් විය යුතුව තිබේ.

පනත්-ගැසට් යුගය අවසන් වෙයිද?

ආන්ඩුවක් විසින් නීතියක් ලෙස සම්මත කිරීමට අපේක්ෂා කරන කවර හෝ පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලය මගින් සම්මත කිරීමෙන් පවත්නා ප්‍රජාතන්ත්‍රවාදී රීතිය නම් ගැසට් පත්‍රිකාවක් ලෙස ප්‍රසිද්ධියට පැමිණ වීමයි. එයට හේතුව ව්‍යවස්ථා දායක සභාවේ නියෝජිතයිනට මෙන්ම මහා ජනයාට ද එම කෙටුම්පත ගැන අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව ලබා දීමයි. එම කාලව තුළ එම පනතින් රටෙහි ව්‍යවස්ථාව උල්ළංඟනය වන්නේ යැයි කවර හෝ පුරවැසියකු කල්පනා කරන්නේ නම් ඔහුට හෝ ඇයට ඒ සඳහා කරුණු ඉදිරිපත් කිරීම පිනිස අධිකරණය හමුවට යා හැකිය. සමහර විට එවැනි පනත් මගින් සුවිශේෂ ජන කොටසක අයිතීන් කෙළෙසීමට ඉඩ තිබේ. නැත්නම් රටෙහි වැසි වනාන්තර විනාශ කැරෙන සැළසුමක් එහි තිබිය හැකිය. නැතහොත් ප්‍රකාශණයේ හෝ සමාගමයේ අයිතිය කෙළෙසිය හැකිය. එවැනි අවස්ථාවකදී එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර අධිකරණයෙන් ඒ පිළිබඳ තීරණයක් ලබා ගැනීමට මහජනයාට අයිතියක් තිබේ.

පාර්ලිමේන්තුවේ බහුතර ජන්දයෙන් ඕනෑම නීතියක් පැනවිය නොහැකිය. පැනවෙන සෑම නීතියක්ම ව්‍යවස්ථාවට අනුකූල විය යුතුය. ඒ පිළිබඳ අවසාන තීරණය දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයටය.

පනත් කෙටුම්පත ගැසට් මගින් රටෙහි මහජනයාටද දැන ගත හැකිවන පරිදි ප්‍රසිදධ කරනු ලැබූ විට මහජනයාටද මෙන්ම මහ ජනයාගේ සංවිධානයන්ටද අධිකරණය ඉදිරිවෙහි සිය අදහස් නීතිඥයින් හරහා දැක්වීමට අවස්ථාවක් ලැබේ. මහජනයාටද නීති සම්පාදනයට සම්බන්ධවීමට එමගින් අවස්ථාවක් සළලසයි. අනතුරුව එකී පනත ව්‍යවස්ථාවට අනුකුල නොවන්නේ නම් ඊට කළ යුතු වෙනස්කම් ද ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දක්වයි. පාර්ලිමේන්තුවෙහි වාද විවාද කොට එය නීතියක් බවට සම්මත කළ හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙන්වා දෙන ලද අඩුපාඩු ඇතොත් ඒවාද සම්පූර්ණ කිරීමෙන් පසු පමණය.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ඇති වැදගත්ම අංගයක්ම වන බල විභේදනය යනු මෙයයි. යම් නීතියක් හුදෙක් විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ කැමැත්ත පරිදි පමණක් සම්මත කළ නොහැකිය. එවැනි ඉඩකඩ ඇත්තේ ඒකාධිපති රටවල පමණය. ඒකාධිපති රටවල් යනු දක්ෂිණාංශික දේශපාලනයක් ඇති රටවල් පමණක් නොවේ. අද ලෝකයේ ඇති බොහෝ ඒකාධිපති පාලන ක්‍රම ඇති රටවල් තමන් සමාජවාදී හෝ කොමියුනිස්ට්වාදී ලෙසද හදුන්වා ගනිති.

සිරිමා -කොල්වින් ගේම

1948 ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් නිදිහස ලබන විට තිබූ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවෙන් පනත් කෙටුම්පතක් සම්මත වී නීතිමය පනතක් බවට පත්වීමෙන් පසු පවා එම නීතිය අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට අවස්ථාව තිබුණි. ඊට කියන්නේ “නීතියක් බවට පත්වීමෙන් පසු අධිකරණ විමර්ශනය” ( Post enactment judiciary review) කියාය. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවන්හි එම අයිතිය ආරක්ෂා කර තිබේ. සිරිමා කොල්වින් 1972 ජනරජ ව්‍යවස්ථාව එම අයිතිය අහිමි කලා පමණක් නොව මා පසුගිය සතියේ ලියූ පරිදි “හදිසි පනත්” සදහා ව්‍යවස්ථාමය අවස්ථාව ඇති කළාය.

දැන් 20වන ව්‍යවස්ථාවෙන් පනත් කෙටුම්පතක් සඳහා තිබූ දෙසතියක කාලය සතියකට අඩුකර ඇතිවා පමණක් නොව පැය 24-72 දක්වා කාලයකින් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට හැකි වන “හදිසි පනත්” යළි ගෙනැවිත් තිබේ. එවැනි හදිසි පනත් කෙටුම්පතක් අනීවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යැවිය යුත්තේ එය ගැසට් මගින් ප්‍රසිද්ධ නොකරන බැවිනි. එසේ වුවද මෙම හදිසි පනතක් පිළිබඳව මහා ජනයාට මැදිහත්වීමට අවස්ථාවක් දිය යුතුම යැයි 20 වන සංසෝධනය නොකියයි. වසර දිය යුතුද යන තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා තිබේ.

අප ඇසිය යුතු ප්‍රශ්ණය මේ හදිසිය ඇයි කියාය. සති දෙක සතියකට අඩුකර මෙවැනි හදිසි පනත් ප්‍රතිපාදනයද ගෙන එන්නේ පාර්දෘශ්‍ය භාවයෙන් පිට පැනීම පිනිස නොවේද? අයිතිවාසිකම් රහසේ හදිසියෙන්ම උදුරා ගැනීමට නොවිය හැකිද?

පුදුම වැඩකිරීමක්!

තවත් සරළ ප්‍රශ්ණ දෙකක් ඇසිය හැක. ජනාධිපති අපේක්ෂකයකුගේ වයස අව්රුදු 30 දක්වා පහළ දැමීම සහ ද්විත්ව පුරවැසියන්ට මැතිවරණයන්ට ඉදිරිපත්වීමට ඉඩ දීම මගින් ජනාධිපතිවරයාට වැඩ කිරීමට ලැබෙන අමතර අවස්ථාව කුමක්ද?

අලි සබ්රි සහ ජි.එල්. පීරිස් කුමක් කීවද මෙම සංසෝධනයේ අරමුණ ජනාධිපති රාජපක්ෂ වෙත රාජ්‍ය පාලනයේ මෙන්ම මැතිවරණ පැවැත්වීමේ යනාදියේ බලය එහැම පිටින්ම ලබා දීමය. කොමිසන් සභාවන්හි කොදු කඩා. මැතිවරණ කොමිසම අඩපණ කොට පොලිස් සහ අධිකරණ පත්වීම් ජනාධිපතිවරයා අතට ලබා දෙන්නේ මීවදය කඩා අත ලෙව කෑමට නොව වදයම බදා ගැනීමටය.

Archive

Latest news

ශානි අබේසේකරට විවෘත ලිපියක්: “අපේ නිහඩබවට සමා වෙන්න” – සුදේශ් ද සිල්වා

පුදුමය කියන්නේ අපේ මිත්‍ර සුජිත් ප්‍රසන්න පෙරේරා ගේ ඝාතනය ගැන පරීක්ෂණ කරලා ඝාතකයනට දඩුවම් දීලා තියෙන්න කටයුතු කරලා තියෙන්නේත් ඔබ. සුජිත් නැමති රජයේ නිලධාරියාට...

ආණ්ඩුව ඉව අල්ලන්නේ මාධ්‍ය මර්දනයට – පා.ම. හරිනි අමරසූරිය

ජනමාධ්‍ය ජනතාවගේ සමාජ හා දේශපාලන ජීවිතයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සෑම සමාජයකම මාධ්‍යයේ ගුණාත්මකභාවය – ස්වාධීනත්වයේ හා නිදහසේ මට්ටම බොහෝ විට එම සමාජවල ප්‍රජාතන්ත්‍රවාදයේ...

ගෝටාගේ ගජයකු වන දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිෂමට පත්කිරීම රාජ්‍ය සේවයටම අතුල් පහරකි – ලාල් කාන්ත

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි...

ශානි අබේසේකර ගල්ලෑල්ලට යැවීම පුද්මයක්; වහාම ජිවිතාරක්ෂක පියවර ගන්න – මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර කොමසාරිස්ට

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වවරයා වෙක ලිපියක් යවන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමෙහි විමර්ශන හා විමසීම් භාර කොමසාරිස් රමණී මුත්තෙට්ටුවෙගම " මහර බන්ධනාගාරයේ ඔබගේ අත් අඩංගුවේ සිටියදී...

Related news

ශානි අබේසේකරට විවෘත ලිපියක්: “අපේ නිහඩබවට සමා වෙන්න” – සුදේශ් ද සිල්වා

පුදුමය කියන්නේ අපේ මිත්‍ර සුජිත් ප්‍රසන්න පෙරේරා ගේ ඝාතනය ගැන පරීක්ෂණ කරලා ඝාතකයනට දඩුවම් දීලා තියෙන්න කටයුතු කරලා තියෙන්නේත් ඔබ. සුජිත් නැමති රජයේ නිලධාරියාට...

ආණ්ඩුව ඉව අල්ලන්නේ මාධ්‍ය මර්දනයට – පා.ම. හරිනි අමරසූරිය

ජනමාධ්‍ය ජනතාවගේ සමාජ හා දේශපාලන ජීවිතයේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සෑම සමාජයකම මාධ්‍යයේ ගුණාත්මකභාවය – ස්වාධීනත්වයේ හා නිදහසේ මට්ටම බොහෝ විට එම සමාජවල ප්‍රජාතන්ත්‍රවාදයේ...

ගෝටාගේ ගජයකු වන දිලිත් ජයවීර රාජ්‍ය සේවා කොමිෂමට පත්කිරීම රාජ්‍ය සේවයටම අතුල් පහරකි – ලාල් කාන්ත

රාජ්‍ය සේවයේ ඉහල නිලධාරීන් පත්කිරීම්, උසස්කිරීම් හා විනය කටයුතු සම්බන්ධව බලධාරියා වන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවයි. දිගින් දිගටම රාජ්‍ය සේවාවට දේශපාලන අතපෙවීම් සිදුවන්නේ යැයි...

ශානි අබේසේකර ගල්ලෑල්ලට යැවීම පුද්මයක්; වහාම ජිවිතාරක්ෂක පියවර ගන්න – මානව හිමිකම් කොමිසමෙන් බන්ධනාගාර කොමසාරිස්ට

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වවරයා වෙක ලිපියක් යවන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමෙහි විමර්ශන හා විමසීම් භාර කොමසාරිස් රමණී මුත්තෙට්ටුවෙගම " මහර බන්ධනාගාරයේ ඔබගේ අත් අඩංගුවේ සිටියදී...