Sri Lanka Brief
පුවත්විවරණඅප හැමෝම ස්ත්‍රීවාදීන් විය යුතුය. – චිමමන්දා න්ගෝසා අඩීචියේ

අප හැමෝම ස්ත්‍රීවාදීන් විය යුතුය. – චිමමන්දා න්ගෝසා අඩීචියේ

by
ස්ත්‍රීවාදය ගැන මා කියවා ඇති ලස්සනම පොතක් තමයි නයිජීරියානු කතුවරියක් වන Chimamanda Ngozi Adichie “අප සැවොම ස්ත්‍රීවාදීන් විය යුතුය” කියන පොත් පිංච. මේක මං දන්න තරමින් සිංහලෙන් නෑ. ඉතින් ඡේද කිහිපයක් පරිවර්තනය කළා. හරියටම කිව්වොත් මුල් කතන්දර දෙක. නයිජීරියාව පසුබිම් කර ගන්න මේ කතාව මට දැනෙන තරමින් ලංකාවේ අපේ කතාවලින් ලොකුවට වෙනස් නෑ. බොහොම සරල කතන්දරවලින් ගැඹුරු දේශපාලනයන් ගැන මේ පොතේ කතා වෙනවා. මේ පොත පදනම් වෙන්නෙ ඇය කළ ප්‍රසිද්ධ කතාවක් පදනම් කර ගෙන. – දිමුත් චන්දිමාල්.

අප හැමෝම ස්ත්‍රීවාදීන් විය යුතුය

ඔකොලොමා කියන්නෙ මට පුංචි කාලෙ හිටිය හොඳම යාළුවෙක්. එයා හිටියෙ අපෙ පාරෙමයි, මාව බලාගත්තෙ මගෙම අයියා කෙනෙක් වගේ. මම කොල්ලෙක්ට කැමැති නම්, ඔකොලොමාගේ අදහස තමයි මං අහන්නෙ. ඔකොලොමා කියන්නෙ විනෝදකාමී, මොලේ තියෙන කොල්ලෙකුට. එයා අගිස්ස උල්වෙච්ච කව්බෝයි සපත්තු දාලා ඉන්නෙ. 2005 දෙසැම්බර්, දකුණු නයිජීරියාවෙ ගුවන් යානා අනතුරකින් ඔකොලොමා මැරුනා. මට ඒ අහිමි වීම දැනිච්ච විදිය මට තාමත් වචනවලින් කියා ගන්න බැහැ. ඔකොලොමා කියන්නෙ මට වාද කරන්න, හිනාවෙන්න, හදවතින්ම කතා කරන්න පුළුවන් කෙනෙක්. මට පළවෙනි වතාවට ස්ත්‍රීවාදියෙක් කිව්වෙ එයා.

මට වයස දාහතරක් විතර ඇති. අපි දෙන්නම අපි කියවපු පොත්වල තිබුන බාගෙට තේරුම් ගත්ත දේවල් එක්ක වාද කරපු අපි එයාගෙ ගෙදර එදා හිටියේ. අපි වාද කළේ මොකක් ගැන ද කියලවත් මට මතක නෑ. ඒත් මට හොඳට මතකයි මං වාද කරගෙන, කරගෙන යනකොට, ඔකලොමා මං දිහා බලලා එහෙම කිව්වා. “ඔයා ස්ත්‍රීවාදියක්.” ඒක මාව අගය කරන්න කියපු දෙයක් නම් නොවෙයි. මට ඒ කියපු විදියෙන්ම කියත හැකි. එයා ඒක කිව්වෙ ‘ඔයා ත්‍රස්තවාදයට සහාය දෙන කෙනෙක්’ කියන විදියටමයි.

ස්ත්‍රීවාදී කියන වචනෙන් මොකක්ද අදහස් වෙන්නෙ කියලා මං හරියටම දැනං හිටියෙත් නෑ. මං දැන ගෙන නොහිටිය බව ඔකලොමා දැන ගන්නවාට මං කැමැති වුනෙත් නෑ. මං ඉතින් ඒක පැත්තකින් තියලා දිගටම වාද කරන් ගියා. මං ගෙදර ගිය ගමන්ම කරන්න හිතුවෙ ඩික්ෂනරිය අරන් ඒ වචනය මොකක්ද කියලා බලන එක.

දැන් අපි ඊට අවුරුදු ගණනකට පස්සෙ කාලයකට එමු.

2003 දී, මං දම්පාට වදමල (Purple Hibiscus), කියලා නවකතාවක් ලිවුවා. ඒකෙ තිබුනෙ තවත් දේවල් අතරෙ ගෑනියකට පහර දෙන මිනිහෙකුගේ ජීවිතේ නරක විදියට ඉවර වෙන කතාවක්. මං මේ කතාව නයිජීරියාවේ ප්‍රචාරණය කරන කොට, ලස්සන, හොඳ මනුස්සයෙක් වගේ පෙනුන ජනමාධ්‍යවේදියෙකුට මට අවවාදයක් දෙන්න ඉදිරිපත් වුනා. (නයිජීරියානුවෝ, හරි ඉක්මනට අනික් කෙනා අකැමැති වුනත් ස්වේච්ඡාවෙන්ම අවවාද කරනවා).

මගේ නවකතාව ස්ත්‍රීවාදී නවකතාවක් බව මිනිස්සු කියන බව ඔහු කිව්වා. කතා කරන ගමන් දුකෙන් වගේ ඔහු හිස හොළව හොළව, ඔහු මට දීපු අවවාදය තමයි, මං කවදාවත් මාව ස්ත්‍රීවාදියක් විදියට හඳුන ගන්න එපා කියන එක. ස්ත්‍රීවාදියො කියන්නෙ තමන්ට සැමියෙක් හොයා ගන්න බැරි නිසා නොසතුටින් සිටින ගැහැනු බව ඔහු මට කියා දුන්නා.

ඒ නිසා මං මාව සතුටෙන් ඉන්න ස්ත්‍රීවාදියෙක් ලෙස හඳුනා ගන්න තීරණය කළා.

ඊටපස්සෙ, විද්වත් නයිජීරියානු කාන්තාවක් මට කියලා දුන්නා ස්ත්‍රීවාදය කියන්නෙ අපේ සංස්කෘතිය නෙමෙයි, ස්ත්‍රීවාදය අප්‍රිකානු නෙමෙයි, මං මාව ස්ත්‍රීවාදිනියක් කියලා කියා ගන්නෙ බටහිර පොතපත කියවීමෙන් වූ බලපෑම නිසා කියලා. (මේකෙන් මං පුදුම වුනා. මං මුල් කාලෙ කියවපු ගොඩක් පොත් අනිවාර්යෙන්ම ස්ත්‍රීවාදී ඒවා නොවෙයි. මම මිල්ස් ඇන් බූන් ප්‍රකාශයට පත් කළ ආදර කතා ඔක්කොම වගේ අවුරුදු 16 වන විට කියවලා ඇති. ‘උසස් ස්ත්‍රීවාදී පොතපත්’ කියවන කොට මට කම්මැලි හිතුනා. මට ඒවා කියවලා ඉවර කරන්න සෑහෙන්න අමාරු වුනා).

කොහොම නමුත්, ස්ත්‍රීවාදය අප්‍රිකානු නොවන නිසා, මං තීරණය කළා මට සතුටෙන් සිටින අප්‍රිකානු ස්ත්‍රීවාදියෙක් කියා කියා ගන්න. ඊට පස්සෙ මගෙ හිතවත් යාළුවෙක් මට කිව්වා ස්ත්‍රීවාදියෙක් කියන්නෙ පිරිමින්ට වෛර කරන කෙනෙක් කියලා. ඉතින් මං තීරණය කළා පිරිමින්ට වෛර නොකරන, සතුටෙන් ඉන්න, අප්‍රිකානු ස්ත්‍රීවාදියෙක් වෙන්න. තවත් මොහොතක දි මම පිරිමින් වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් ලිප්ස්ටික් සහ හයිහීල්ස් පාවහන් දාන, පිරිමින්ට වෛර නොකරන, සතුටෙන් ඉන්න, අප්‍රිකානු ස්ත්‍රීවාදියෙක් වුනා.

ඇත්තම කිව්වොත් මං මේ කියපුව ගොඩක් ඒවා අතින් දාලා උපහාසෙට කියපුව තමයි. ඒත් ඒකෙන් පේනවා ස්ත්‍රීවාදියෙක් කියන එක මොන තරම් බර කන්දක් ද, මොන තරම් කුණුගොඩක් කර ගහ ගෙන යන්න ඔ්නෑද කියන එක. ඔබ පිරිමින්ට වෛර කරනවා, ඔබ තනපටවල්වලට වෛර කරනවා, ඔබ අප්‍රිකානු සංස්කෘතියට වෛර කරනවා, කාන්තාවො හැමතැනම ප්‍රධාන තැන ගන්න ඔ්නෙ කියලා ඔයා හිතනවා. ඔබ මේකප් කරන්නෙ නැහැ. රෝම ඉවත් කරන්නෙ නැහැ. හැමතිස්සෙම කේන්තියෙන් ඉන්නෙ. ඔබට කිසිම දේකට හිනාවෙන්න බැහැ. ඔබ ඩියෝඩ්‍රන්ට් ගාන්නෙත් නෑ.

දැන් මං කියන්නෙ මගෙ ළමාකාලය ගැන කතාන්දරයක්.

මං ගිනිකොණදිග නයිජීරියාවේ විශ්ව විද්‍යාල නගරයක් වන න්සුක්කාවල ප්‍රාථමික පාසැලට යන දවස්වල, මගෙ ටීචර් වාර පටන් ගන්න දවසෙ පරීක්ෂණයක් දීලා කිව්වා වැඩිම ලකුණු ගන්න කෙනා පන්ති නායකයා වෙනවා කියලා. පන්ති නායකයා වෙනවා කියන්නෙ ලොකු දෙයක්. පන්ති නායකයා වුනොත් හැමදාම සද්ද කරන අයගෙ නම් ලියන්න පුළුවන්. ඒකෙන්ම සෑහෙන බලයක් ලැබෙනවා. ඒවගේම ටීචර් වේවැලෙකුත් දෙනවා පන්තිය වටේ ගිහින් සද්ද කරන අයව මට්ටු කරන්න. ඇත්තෙන්ම ඒකෙන් කාටවත් ගහන්න අවසර නැහැ. ඒ වුනත් ඒක අවුරුදු 9ක් වයස මට සෑහෙන්න ආසා හිතෙන දෙයක්. ඉතින් මට පන්ති නායකයා වෙන්න ‌ගොඩක්ම ඕනෙ වුනා. මට පරීක්ෂණයෙන් ඉහළම ලකුණුත් ලැබුනා.

හැබැයි ඊළග පුදුමය වුනේ, ටීචර් කිව්වා පන්ති නායකයා වෙන්න පුළුවන් පිරිමි ළමයෙකුට විතරයි කියලා. එයාට ඒක කලින් පැහැදිලි කරන්න බැරි වෙලා තිබුනා. එයා හිතලා තිබුනෙ ඒක හැමෝම දන්න සාමාන්‍ය දෙයක් කියලා. ඉතින් පරීක්ෂණයෙන් දෙවැනියට වැඩියෙන් ලකුණු අරන් තිබුනෙ පිරිමි ළමයෙක්. එයා පන්ති නායකයා වුනා.

ඒකෙ තිබුන අනික් සිත් ගන්නා සුළු කාරණය වුනේ, ඒ පිරිමි ළමයා බොහොම කරුණාවන්ත, අහිංසක ළමයෙක්. ඒ ළමයට පන්තිය වටේ කෝටුවක් අරන් කැරකෙන්න කිසිම ආසාවක් තිබුනෙ නෑ. මං නම් ඒකට හරිම ආසාවෙන් හිටියෙ.

ඒ නමුත් මං ගෑනු, එයා පිරිමි. ඉතින් එයා පන්ති නායකයා වුනා.

මට කවදාවත් ඒ සිද්ධිය අමතක වෙලා නෑ.

අපි ආයෙ ආයෙත් යමක් කළොත්, ඒක සාමාන්‍ය ‌දෙයක් බවට පත් වෙනවා. අපි එකම දේ ආයෙ ආයෙත් දැක්කොත්, ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. පිරිමි ළමයි විතරක් පන්ති නායකයෝ කළාම, අපි කිසියම් තැනකදි හිතනවා, අවිඥානකව, පන්ති නායකයා කියන්නෙ හැම තිස්සෙම පිරිමි ළමයෙක් කියලා. සමාගම්වල ප්‍රධානියන් විදියට පිරිමි දකින කොට, පිරිමි විතරක් සමාගම් ප්‍රධානීන් විය යුතු බව ‘ස්වාභාවික’ කියා පේන්න ගන්නවා.

Damith Chandimalගේ මුහුණු පොතෙනි.
Back to Top