Sri Lanka Brief
නිර්මාණනිර්ලබ්ධික (Unorthodox): නිව් යෝර්ක්හි හැසිඩික් ප්‍රජාවෙන් පලායන තරුන කාන්තාවකගේ කතාව කියන නෙට්ෆ්ලික්ස් චිත්‍රපටය- ෆ්‍රෙඩ් මසෙලිස්

නිර්ලබ්ධික (Unorthodox): නිව් යෝර්ක්හි හැසිඩික් ප්‍රජාවෙන් පලායන තරුන කාන්තාවකගේ කතාව කියන නෙට්ෆ්ලික්ස් චිත්‍රපටය- ෆ්‍රෙඩ් මසෙලිස්

by

නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශනය වුනු කොටස් සතරකින් සමන්විත නිර්ලබ්ධි චිත්‍රපටය, යුදෙව් උග්‍ර-සත්‍ය ලබ්ධික හැසිඩික් ප්‍රජාව අත්හැර දමා, සිය මව හමු වී අලුත් ජීවිතයක් පටන්ගැනීමට බර්ලිනය වෙත යන, නිව් යෝර්ක් බෲක්ලින්හි, අසන්තෘෂ්ටික විවාහයකින් බැඳුනු, 19 හැවිරිදි ඉස්ටි ෂැපයිරෝගේ කතාව කියයි.

මේ කොටස් මාලාව, ඩෙබෝරා ෆෙල්ඩ්මාන්ගේ නිර්ලබ්ධික: ආන්දෝලනාත්මක ලෙස මගේ හැසිඩි මූලයන් ප්‍රතික්ෂේප කිරීම,  නමැති 2012 ස්මරන කෘතිය මත ලිහිල් ලෙස පදනම් වී ඇත. රූපවාහිනියේ කොටස් වශයෙන් විකාශනය වුනු මේ චිත්‍රපටය නිර්මානය කරන්නට, ඇනා වින්ජර් සහ ඇලෙක්සා කැරොලින්ස්කි සමග එකතු වුනු ෆෙල්ඩ්මාන් දැන් බර්ලිනයේ ජීවත් වේ. කෙසේ වෙතත්, “නිර්ලබ්ධිකය නිර්මානය කිරීම” නමින් චිත්‍රපටයේ කොටස් මාලාව සමග පෙන්වන ලද කෙටි වැඩසටහන මගින් පැහැදිලි කරන ලද පරිදි බර්ලිනයේ සිටින ඉස්ටිගේ අද දවසේ දර්ශන “සම්පූර්නයෙන් මවන ලද” ඒවා වේ.

අමිත් රාහව් සහ ෂීරා හාස්, අන්ඕතොඩොක්ස් චිත්‍රපටයේ

මාරියා ෂ්‍රාඩර් විසින් අධ්‍යක්ෂනය කරන ලද නිර්ලබ්ධික, ජාත්‍යන්තර ප්‍රයත්නයකි. එය ජර්මනියේ නිෂ්පාදනය කර ඇති නමුත් බොහෝ වශයෙන් ඊස්රායල් නලුනිලියන් යොදා ගෙන ඇති අතර චිත්‍රපටයේ ක්‍රියාදාමයෙන් වැඩි කොටසක් බෲක්ලින්හි සිදු කර ඇත. දෙබස්වලින් වැඩි කොටසක් හැසිඩිවාදය විසින් භාවිත කරනු ලබන භාෂාව වන ඊඩිෂ් භාෂාවෙන් සිදු වේ. බෲක්ලින් නගරයෙන් පිටත දර්ශන චිත්‍රපට පසුතලවල රූපගත කර ඇති අතර, අභ්‍යන්තර දර්ශන සියල්ල බර්ලිනයේ දී රූපගත කර තිබේ.

සාට්මාර් නිකායෙන් පැවත එන දහස් ගනනක් ‍හැසිඩික් පවුල්වලට නිවාස වූ විලියම්ස්බර්ග් පැත්තේ සිට ඉස්ටිගේ පලායාමෙන් කතාව ආරම්භ වේ.  ඉන් පසුව එය, ශීඝ්‍ර අතීතාවර්ජන මාලාවක් හා බෲක්ලින් සහ බර්ලින් අතර දර්ශන අන්තර්-ඡේදනය වීම ඔස්සේ විකාශනය වේ.

18 වෙනි වියේ දී විවාහවන ඉස්ටිට (ෂීරා හාස්) තම සැමියා වූ යැන්කි (අමිත් රාහව්) සමග එක්වීමෙන් ඇගේ විවාහය සම්පූර්න කර ගැනීමට මාස ගනනක් ගත වේ.  ශීඝ්‍ර ලෙස වැඩෙන නොසතුටින් යුතුව කල් ගෙවන අතර තමා ගර්භනීය වී තිබෙන බව දැන ගන්නා ඇය යැන්කිට නොදන්වා ඔහු අත්හැර යාමට තීරනය කරයි. ඇගේ මව් පාර්ශ්වයේ ආච්චි සහ සීයා මගින් ඇයට ජර්මන් පුරවැසිභාවය ප්‍රදානය කරමින් කලින් ලබා දී තිබුනු ලියවිලි පාවිච්චි කරමින් ඇය බර්ලිනය බලා යයි.

රබායිවරයකු (එලි රොසන්) වෙතින් ආගමික අනුශාසනා ලබා ගන්නා පවුල, ඉස්ටිගේ සැමියා ව ඔහුගේ බිරිඳ ආපසු කැදවා ගෙන එන්නට වැඩිමහල් ඥාති සහෝදරයකු වූ මොයිෂි (ජෙෆ් විල්බුස්ච්) සමගින් පිටත් කර යවයි. මේ අතරේ දී ඉස්ටි බර්ලිනයේ අලුත් ජීවිතය නිසා විවෘත වන අවස්ථා දකින්නට පටන් ගන්නා අතර, චිත්‍රපටි කොටස් මාලාව අලුත් දේ සහ පැරැනි සම්ප්‍රදායන් අතර ගැටුමෙන් අවසන් වේ. ඉස්ටිගේ එලඹෙන මාතෘත්වය සහ ඇගේ අනාගතය පිලිබඳ විස්තර ඇතුලු  බොහෝ ප්‍රශ්න පිලිතුරු රහිත ව ඉතිරි වේ.

අමිත් රාහව් සහ ජෙෆ් විල්බුස්ච්, අන්ඕතොඩොක්ස් චිත්‍රපටයේ

ඇතැම් විට වේගයෙන් ගලායන සහ තිගැස්ම දනවන මේ මාලා නාටකය, හැසිඩික් ජීවිතය නිරූපනය කිරීම සම්බන්ධ ශක්තියෙන් ප්‍රශස්ත ය. කිසි දිනක මුන නො ගැසුනු නව යොවුන් වියේ දෙදෙනකු අතර විවාහය පිලියෙල වීම; ඉස්ටි සහ යැන්කි අතර ඇති වන ගල්වුනු ප්‍රථම සංවාදය; පවුල්වල හා තරුන මව්වරුන්ගේ ජීවිත පිලිබඳ ඇතැම් ක්ෂනික දසුන්; සහ සිය ආච්චි වන බබී (ඩයනා ඩෝරන්) සමග ඉස්ටිගේ සමීප සම්බන්ධය ඊට ඇතුලත් ය. රඟපෑම් ආශ්චර්යමත් ය. විශේෂයෙන්, නව යොවුන් ඉස්ටිට වඩා ෂීරා හාස් පස් වසරක් පමන වැඩිමහල් වන නමුත් එම චරිතයේ ලෙහෙසියෙන් බි‌ඳෙනසුලුබව සියුමැලිකම සහ අධිෂ්ඨානය යන දෙක ම පරිසමාප්ත ලෙස නිරූපනය කරයි.

වඩාත් දිග ඇදෙන දර්ශනවලින් එකක් වන්නේ, වෙන්වෙන් නැටුම් කව දෙකක පිරිමි සහ ගැහැනු සමග උත්සවාකාර ලෙස සමරනු ලබන යැන්කි සහ ඉස්ටිගේ ඝෝෂාකාරී හා සතුට උතුරන විවාහය යි. බොහෝ අවුරුදු ගනනකින් ඉස්ටි දැක නොතිබුනු ඇගේ මව වන ලේහ් (ඇලෙක්ස් රීඩ්) වෙත සෙස්සන්ගේ අවධානය යොමු වී, ගොඩනැගිල්ලෙන් පිටතට බලහත්කාරයෙන් කැඳවා ගෙන යන්නට පෙර, ඇය උත්සවකටයුතුවලට පිටතින් සිට එය දෙස බලා සිටියි.

ඉස්ටිගේ සතුට, ගෙවුනු විවාහ රාත්‍රියට වඩා කල් පවතින්නේ නැත. ඇයට එක්තරා විධිහකට බොලඳ සහ තේරුම් ගන්නට නො හැකි සැමියා සමග එක්වීමෙන් ඇගේ විවාහය සම්පූර්න කර ගැනීමට නො හැකි වේ. මුල් හමුවේ දී, තමා “වෙනස්” බව ඇය ඔහුට කියා තිබුනි. ඇය සංගීතයට කැමැතිය. එනමුත් අන්ත-ලබ්ධික ලෝකය කාන්තාවන්ට ප්‍රාසාංගික වීමට ඉඩ නො දෙයි. ප්‍රසිද්ධියේ ගැයීමට වත් ඉඩ නො දෙයි. අවුරුද්ද පතා දරුවන් ලබන සහ තම සැමියන් හා දරුවන් ගැන උනන්දුව හැර අන් යමක් ගැන උනන්දුව නැති වෙනත් තරුන බිරියන් වෙතින් ඉස්ටි පරත්වාරෝපනය වේ. අනෙක් අය මෙන්ම ඉස්ටිට ද විශේෂ හැකියාවන් ද අන්ත-ලබ්ධික සමාජය “ලෞකික ලෝකය” ලෙස හඳුන්වන දේට සම්බන්ධතා ද නැත. ඉස්ටිගේ අතුරුදහන් වීම වාර්තා වුනු විට ඇගේ නැන්දම්මා කෝපයෙන් හා නොසන්සුන්කමින් යුතුව මෙසේ පුදුම වෙයි. “එයා කොහේ කියල යන්න ද?”

විවාහයට පෙර ඉස්ටි ජීවත් වුනේ ඇගේ නැන්දා කෙනෙකු හා ආච්චි සමගය. ඇයව හැඳින්වුනේ අනාථ එකියක ලෙසිනි. බේබදුකමේ ප්‍රශ්න තිබුනු, ප්‍රජාව විසින් අවඥාවෙන් බලන ලද, ඇගේ පියාට ඇගේ ජීවිතය තුල භූමිකාවක් තිබුනේ නැත.  ඇගේ මව සමාජයෙන් නෙරපා දමා තිබුනු අතර බොහෝ කලකට පෙර දී පවුල අත්හැර ගිය ඇය පසුව බර්ලිනයේ සමලිංගික සම්බන්ධතාවක් ඇති කර ගෙන සිටියා ය.

ෂීරා හාස්, අන්ඕතොඩොක්ස් චිත්‍රපටයේ

18 වෙනි ශතවර්ෂයේ ආරම්භ වූ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයක් ලෙස හැසිඩික්වාදය ගැන යම් දැනුමක් තිබීම, ඉස්ටි සපයිරෝ සහ අනෙක් අය මුහුන දෙන උභතෝකෝටිකය තේරුම් ගැනීමට උපකාරී වේ. අන්තවාදී ආගමික කොන්සර්වැටිව්වාදය සහ පටු මානසිකත්වය, අද නිකායන් රාශියකට බෙදී තිබෙන හැසිඩික්වාදයේ ලක්ෂන වශයෙන් හඳුනා ගැනේ. වස්ත්‍ර විලාසය සහ චාරිත්‍ර අතින් ඕතර්ඩොක්ස් හෙවත් සත්‍ය ලබ්ධික ආගමෙන් ඒවා ලබා ගන්නා නමුත්, එය එම ආගමට සෑම විටම අනන්‍ය නො වේ. හැසිඩික්වාදයේ නානාවිධ ශාඛා, මිලියන 20 කට ආසන්න වූ ලෝක යුදෙව් ජනගහනයෙන් සියයට 5 කින් සමන්විත වේ.

වඩාත් අලුත් නිකායන්ගෙන් එකක් වූ සට්මාර් පාර්ශ්වය, 20 වෙනි ශත වර්ෂයේ මුල් භාගයේ හන්ගේරියාවේ ආරම්භ විය. ප්‍රධාන වශයෙන් නිව් යෝර්ක් නගරයේ සහ යාබද නාගරික පෙදෙස් වූ මොන්සේ, නිව් යෝර්ක්, ඊස්රායලයේ දසදහසකට වැඩි සෙනග හා වෙනත් පෙදෙස්වල සුලු සංඛ්‍යාවන් වශයෙන් දසදහස් සංඛ්‍යාත දැඩි භක්තිකයින් සහිත සට්මාර්, දැන් හැසිඩික්වාදයේ විශාලතම ශාඛාව වේ.

“අපෙන් එකෙක්” වාර්තා චිත්‍රපටයේ (මෙය ද නෙට්ෆ්ලික්ස්  මගින් ලබා ගත හැකිය)  පැහැදිලි කරන පරිදි, ප්‍රජාව අත්හැර යන්නේ හැසිඩික් ජනගහනයෙන් සියයට දෙකක් පමනි. අත්හැර යන්නන්ගේ සමාජ පටුභාවයේ හා නෙරපීම මගින් වරප්‍රසාද අහිමි කිරීමේ සංකලනයකින් අන්ධ භක්තික බුද්ධිරෝධවාදය තව තවත් ශක්තිමත් කෙරේ. බොහෝ අවස්ථාවල දී ඔවුන් ගෙවන මිල ඉතා ඉහල ය. එවැනි පියවරුන්ට මෙන්ම මව්වරුන්ට ද සාමාන්‍යයෙන් ඔවුන්ගේ දරුවන්ගේ භාරකාරිත්වය අහිමිවන අතර, ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් කිසියම් ආකාරයකින් සම්බන්ධ වීමට නො හැකි වන අවස්ථා පවා ඇති වේ. දරුවන්ගේ භාරකාරිත්වය පිලිබඳ  නඩුහබවල දී, “යථා තත්වය” පිලිබඳ නීති සිද්ධාන්තය වසයෙන්  සාමාන්‍යයෙන් උසාවිය මගින් දරුවන්ගේ උපරිම සුභසිද්ධිය පිනිස ඉල්ලා සිටින්නේ, විවාහය අහෝසි වී යාම දක්වා දරුවන් ඇතිදැඩි වූ ආකාරයට නො කඩවා ඔවුන් ව ඇති දැඩි කලයුතු බව ය. මෙම ප්‍රතිඵලය ලැබීම සහතික කරනු සඳහා උග්‍ර-ලබ්ධිකත්වයේ අධිකාරීහු ඉහල ගාස්තු අය කරන සහ පලපුරුදු නීතිඥයින්ගේ සේවය ලබා ගනිති.

උග්‍ර-ලබ්ධිකත්වය ප්‍රශ්න කරන්නන්ගේ සමාජ පසුගාමිත්වය සහ ඔවුන් නරක විධිහේ සැලකුම් ලැබීම අන්ඕතොඩොක්ස් චිත්‍රපටය ඉතාමත් පැහැදිලි ව දක්වයි. උග්‍ර භක්තිකයින්ගේ ජීවිත කිසියම් සංවේදීතාවකින් යුතුව නිරූපනය කර ඇත. සියල්ලන්ට ජීවිත අහිමි කරන ලද යුදෙව් මහා සංහාරයේ දී තම දෙමාපියන් සහ සම්පූර්න පවුල ගැන සිතා හැඬූ බව පවසන මහලු ස්ත්‍රිය දකින ඉස්ටි පෙනී සිටින දර්ශනයේ දී මෙන් හැසිඩික්වාදයේ ග්‍රහනය නො කඩවා පවත්වා ගෙන යාමට හේතුවන ඓතිහාසික පදනම ද චිත්‍රපටය මගින් යෝජනා කෙරේ. නාසින් විසින් සිදු කරන ලද මහා ජනසංහාරයේ දී සට්මාර්වරු විශාල වශයෙන් පීඩා විඳින ලද අතර එම ඛේදාන්තයේ එක් ප්‍රතිවිපාකයක් වී තිබෙන්නේ, එම කාල පරිච්ඡේදයේ දී “නැති වූ ආත්මයන්” සිටි තැන සම්පූර්න කිරීමට අතිවිශාල පවුල් අවශ්‍ය වන අතර දික්කසාදය පිලිබඳ නඩුවල දී දරුවන් ආගමට “අහිමි” නො විය යුතු ය යන තර්කය ශක්තිමත් වීම ය. එම නිකාය තුල ඇතිදැඩි වූවෝ ඔවුන්ගේ බැඳීම් සිඳින්නට අපහසු බව දැන ගනිති.

චිත්‍රපටය තුල බර්ලිනය පසුතලය කර ගන්නා ලද කොටස් වැඩි වශයෙන් දුර්වල ය. ඉස්ටි බර්ලිනයට පා තබා, අඩු වශයෙන් ගෝලීය කොරෝනා වසංගතය දක්වා  වැඩෙන සෞභාග්‍යය අත්දුටු, පොට්ස්ඩාමර් ප්ලැට්ස් අවට පෙදෙස් හා වෙනත් පෙදෙස් ඇතුලු නූතන මංමාවත් ඔස්සේ ඇවිදින්නට පටන් ගන්නා විට ම පුහු ආටෝපයක්, මනබඳින රූප සොබාවක් දිස්වේ.

එක්සත් ජනපදය තබා විලියම්ස්බර්ග්වලින් වත් කවදා හෝ පිට වී ගොස් නැති ඉස්ටි දෙස බලන බැල්මෙන් ම ඇත්ත වශයෙන්, නරඹන්නා මේ දෙස ද බැලීම මැනවි. ආරම්භයේ දී මෙය සුජාතවත් ප්‍රවේශයක් වූවත්, ගැටලුව වන්නේ බර්ලිනයේ සිටින ඉස්ටිගේ සුරංගනා කතා ජීවිතය එතරම් විරාමයක් නැති පරිදි නො කඩවා විහිදීම ය. මේ සමහරක් විශ්වාස කරන්නට පුලුවන්කමේ සීමාවන් ඉක්මවා ඇදෙයි. ඇගේ මවගේ ලිපිනය ඈ සතුව තිබුනත් ටික වේලාවක් වීදියේ ඇවිදින්නට ඇය තීරනය කරන අතර, යාබද කැෆේ එකක දී සංගීත සිසුවකු හමු වී, ඉන් පසු සින්ඩරෙල්ලා වර්ගයේ දර්ශන මාලාවක් ඔස්සේ හඳුනා ගත් සිසුන් කන්ඩායමක් විසින්, සුලු ප්‍රශ්න සංඛ්‍යාවකින් පසුව ඇය වහා සාදරයෙන් පිලිගනී. එම සන්ධ්‍යාවේ ම පසු භාගයේ, ඔවුන් ඉගෙන ගන්නා සංගීත පාසලට රහසේ රිංගන ඇය එහි ඇගේ ප්‍රථම බර්ලින් රාත්‍රිය ගත කරයි.

ඊස්රායල් සිසුවෙක්, ඇල්ජීරියානු සිසුවෙක්, නයිජීරියානු සිසුවෙක්, යේමන් සිසුවෙක් හා ජර්මන් සිසුවෙක් ඊට ඇතුලත් වන අතර, එය වසර 20 කට පෙර දී ප්‍රකට සංගීත මෙහෙයවන්නකු හා පියානෝ වාදකයකු වූ ඩැනියෙල් බැරන්බොයිම්, පලස්තීන බුද්ධිමතකු වූ එඩ්වඩ් සයිඩ් සමග පිහිටුවන ලද ඊස්ට්-වෙස්ට් ඩිවාන් සම්භාව්‍ය සංගීත වාද්‍ය වෘන්දය මතකයට රැගෙන එයි. බහුසංස්කෘතික හා ජාත්‍යන්තර වාතාවරනය නිශ්චිත වශයෙන් ආකර්ෂනීය පිලිගැනීමකට උචිත වූ නමුත් ඉස්ටිගේ සම්බන්ධය ඇදැහිය නො හැකි ය.  ස්වයං-අධිතෘප්තභාවයේ සහ ස්වයං-ප්‍රසාදයේ මූලිකාංගයක් ද ඒකාංශික ලෙස එම බර්ලිනය නිරූපනය කිරීමට ඇතුලත් වී තිබේ. එහි වැඩි හරියක් සත්‍යයේ නාදයක් නිකුත් නො කරයි.  මෙම කතා වස්තු උපායමාර්ගවලින් අවධාරනය කරනු ලබන්නේ, ජනගහනයේ කුඩා කොටසකට පමනක් ලබා ගන්නට හැකි වන මධ්‍යම පන්තික නූතනත්වයේ අනුවර්තනයකි.

ඉස්ටි අල්ලා ගන්නට යැන්කි හා මොයිෂි ගන්නා උත්සාහය වැනි බර්ලිනයේ ඇතැම් දර්ශන වඩාත් ප්‍රතිඵලදායක වී ඇත. යැංකිගේ අවංකභාවය හා බොලඳකම සහ මොයිෂිගේ නරුමභාවය හා රලුභාවය යන දෙක ම සංනිවේදනය වේ. අවංක අවධාරනයක් ඇති කරන තවත් බර්ලින් දර්ශනයක් වන්නේ ලෙයා අන්තිමේ දී ඇගේ දියනිය අමතා ඔවුන් බොහෝ වසර ගනනක් වෙන් වී සිටින්නට හේතුව පැහැදිලි කිරීම ය. වසරකට පෙර ඇගේ විවාහ අවස්ථාවට තමා පැමිනි බවත්, එම ස්ථානයෙන් බලහත්කාරයෙන් බැහැර කරන ලද බවත් ඇය ඉස්ටිට පවසයි. තමාගේ බේබදු හා අපචාරාත්මක සැමියාගෙන් වෙන් වුනු පසු, තම දියනිය වසර හතරකට නො වැඩි වියේ සිටිය දී, උසාවියේ නඩුව පැරදුනු ආකාරය ද ඇය විස්තර කරයි. නිතරම අසා තිබුනේ තම මව පවුල අතහැර දමා ගිය බව නිසා ඉස්ටි නිරුත්තර වෙයි.

උග්‍ර-ලබ්ධිකත්වයේ ලෝකය නිතර නිරූපනය කරනු නො ලැබේ. ඊටත් වඩා දුක්ඛදායක කතා ඇතුලු සමාන කතා බොහොමයක් ලොව පුරා තිබේ. සිය දුර්වලතාවන් මධ්‍යයේ අන්ඕතොඩොක්ස් පුලුල් ප්‍රේක්ෂකාගාරයක් ලබන්නට සුදුසුකම සපුරා ඇත.

(wsws.org වෙතිනි )

Back to Top