Sri Lanka Brief
නිර්මාණඅද්විතීය කේතයන්ගෙන් යුත් සාහිත්‍ය ලෝකයක් නිර්මාණය කල ෆ්‍රාන්ස් කෆ්කා – වෛද්‍ය රුවන් එම් ජයතුංග

අද්විතීය කේතයන්ගෙන් යුත් සාහිත්‍ය ලෝකයක් නිර්මාණය කල ෆ්‍රාන්ස් කෆ්කා – වෛද්‍ය රුවන් එම් ජයතුංග

by

ෆ්‍රාන්ස් කෆ්කා විසිවන සියවසේ නූතනවාදී ලේඛකයන්ගෙන් කෙනෙකු ලෙස සලකනු ලැබේ. ඔහුගේ සාහිත්‍යය නූතනවාදය විචක්‍ෂණ ලෙස ස්පර්ශ කරයි. මානව වේදනාව අවංකව හා ගැඹුරින් ග්‍රහණය කර ගැනීමට ඔහු සමත් විය. කෆ්කා තමාගේම අවකාශයක් තුල අද්විතීය කේතයන්ගෙන් යුත් සාහිත්‍ය ලෝකයක් නිර්මාණය කලේය. ඔහු තම ලිවීමේ ශෛලිය තුලින් ඉන්ද්‍රජාලිකයථාර්ථවාදයක් නිර්මාණය කලේය.

කෆ්කා උපත ලැබුවේ 1883 එවකට ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයේ කොටසක් වූ ප්‍රාග්හිදීය (වර්තමාන චෙක් ජනරජය). කෆ්කා හැදී වැඩුණේ ඉහළ මධ්‍යම පාන්තික අෂ්කෙනසි යුදෙව් පවුලක ය. ප්‍රාග්හි යුදෙව්වන් ජර්මානුවන් හෝ චෙක් ජාතිකයන් ලෙස සලකනු නොලැබීය. යුදෙව්වන් වීම නිසා ජර්මානු සුළුතරය සමඟ ඇති සබඳතාවලින් ඔවුන් බැහැර කෙරිණි. යුදෙව් ප්‍රජාව තුළ පවා ඔහු බාහිර පුද්ගලයෙකු විය. කෆ්කාගේ පළමු භාෂාව ජර්මානු වූ නමුත් ඔහු චෙක් භාෂාව ද චතුර ලෙස දැන සිටියේය. පසුකාලීනව කෆ්කා ප්‍රංශ භාෂාව හා සංස්කෘතිය පිළිබඳ යම් දැනුමක් ලබා ගත්තේය.

1889 දී ෆ්‍රාන්ස් කෆ්කා ප්‍රාග්හි පිරිමි ප්‍රාථමික පාසල වන ඩොයිෂ් නබෙන්ෂුලේට ඇතුළත් විය. ද්විතීයික පාසලෙන් පසු ඔහු චාල්ස් ෆර්ඩිනන්ඩ් විශ්ව විද්‍යාලයට ගිය අතර එහිදී නීතිය හැදෑරීය. 1906 කෆ්කා නීති උපාධිය ලබා ගත්තේය. චාල්ස්ෆර්ඩිනන්ඩ් විශ්ව විද්‍යාලයේ සිටියදී කෆ්කා සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන තවත් ජර්මානු භාෂාව කතා කරන යුදෙව්වෙකු වූ මැක්ස් බ්‍රොඩ් සමඟ මිතුරු විය. ඔවුන් ගේ මිත්‍රත්වය ජීවිත කාලය පුරා පැවතිනි. මැක්ස් බ්‍රොඩ්, කෆ්කාගේ ලේඛන දිරිගැන්වූ අතර ඔවුන් මාධ්‍යවේදියෙකු වූ ෆීලික්ස් වෙල්ට්ස් සමඟ එක්ව සාහිත්‍යය හා අදහස් සාකච්ඡා කිරීම සඳහා නිතිපතා හමු වූ ලේඛකයන් කණ්ඩායමක් පිහිටුවා ගත්හ.

ගෘහස්ථ ඒකාධිපති පියා

ෆ්‍රාන්ස් කෆ්කා ගේ පියා වන හර්මන් කෆ්කා ව්‍යාපාරිකයෙකු වූ අතර විශාල අධිකාරියකින් පවුල පාලනය කළේය. තම පියා ගෘහස්ථ ඒකාධිපතියෙකු ලෙස කෆ්කා හැඳින්වීය. පියා ඔහුගේ ජීවිතය සහ ඔහුගේ වැඩ කටයුතු කෙරෙහි ආධිපත්‍යය දැරීය. කෆ්කා කිසි විටෙකත් තම පියාගේ සෙවණැල්ලෙන් ඉස්මතු වී ඔහුගේ ආත්මවෛරයෙන් මිදීමට සමත් වූයේ නැත. මගේ දෙමව්පියන්ගේ (විශේෂයෙන් පියාගේ) කුරිරුකමට මුහුණ දී සිටින මම විදේශිකයෙකුට වඩා ආගන්තුකයෙකු ලෙස මගේ පවුල සමඟ ජීවත් වෙමි” යනුවෙන් ඔහු ලිවීය. තම පියාගේ බලපෑමෙන් අර්ධ වශයෙන් නිදහස් වූ කෆ්කා තම පියාට ලියූ ලිපිය” (1919) මගින් ඔවුන්ගේ සම්බන්ධතාවය පිළිබඳ තොරතුරු හෙළි කරයි. මෙම ලිපිය ස්වයං විවේචනයේ සුවිශේෂී කෘතියක් වන අතර, ඔහු විසින් ලියන ලද සෑම නවකතාවක් හා කථාවක් සඳහාම ආලෝකය විහිදුවයි. පියා කෙරෙහි ඔහුට නොවිසඳුනු අවිඥාණික ගැටුම් තිබුණි. කෆ්කා බොහෝ විට ලියන්නේ යම් ආකාරයක බලයකට එරෙහිවය. කෆ්කාගේ චරිත බොහොමයක් බලවත් පුද්ගලයින්ගෙන් හෝ ඒකාධිපති රජයන්ගෙන් අයුක්ති සහගත හා කුරිරු ලෙස සැලකුම් ලද බව පෙනී යයි.

කෆ්කා ඔහුගේ සාහිත්‍ය කටයුතු සඳහා කැපවී සිටියේය. ෂේක්ස්පියර්ගේ සහ දොස්තයෙව්ස්කිගේ කෘති ගැන කෆ්කා හොඳින් දැන සිටියේය. එසේම ඔහු 1813 සිට 1855 දක්වා ජීවත් වූ ඩෙන්මාර්ක දාර්ශනිකයෙකු වූ සෙරෙන් ආබේ කීර්කගාඩ් ගේ දර්ශනය හැදෑරීය. කෆ්කා සාහිත්‍යයේ දක්ෂයෙක් විය. ඔහුගේ ආත්මයෙන් මුදා හරින ලද රූප නිරූපණය කිරීමට වචන වල බලය යොදා ගත්තේය. ඔහුගේ ලිවීම යාඥාවේ ස්වරූපයක් ලෙස හඳුන්වන ලදි. කෆ්කාගේ ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් කරන ලද්දේ කෘති කිහිපයක් පමණි. කෆ්කා තම ලිවීම් පිලිබඳව බොහෝ විට දැරුවේ ඍණාත්මක ආකල්පයකි. ඔහු මරණයට පෙර බොහෝ අත් පිටපත් පුළුස්සා දැමූ අතර ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ මුද්‍රණය නොකළ අත්පිටපත් විනාශ කරන ලෙස තම මිතුරු ලේඛකයෙක මැක්ස් බ්‍රෝඩ් ගෙන් ඉල්ලා සිටියේය. එහෙත් මැක්ස් බ්‍රෝඩ් කෆ්කාගේ අත් පිටපත් විනාශ කලේ නැත. 1939 දී මැක්ස් බ්‍රෝඩ් නාසීන්ගෙන් බේරීම සඳහා ප්‍රාග් වෙතින් පලා යද්දී ඔහු කෆ්කාගේ අත් පිටපත් බොහොමයක් පලස්තීනයට ගෙන ගියේය. කෆ්කාගේ උපදෙස් වලට පටහැනිව, ඔහුගේ මිතුරා වූ මැක්ස් බ්‍රෝඩ් අත් පිටපත් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කලේය. ලේඛකයෙකු ලෙස කෆ්කාගේ කීර්තිය පැමිණියේ ඔහුගේ මරණයෙන් පසුවය.

මානසික අවපීඩනය හා සමාජ කාංසාව

කෆ්කා සිය මුළු ජීවිත කාලය පුරාම මානසික අවපීඩනයෙන් හා සමාජ කාංසාවෙන් පීඩා වින්දේය. මිනිසුන් ඔහුව මානසිකව හා ශාරීරිකව පිළිකුල් කරන බවට කෆ්කාට ජීවිත කාලය පුරාම සැකයක් පැවතුනි. ඔහු නින්ද නොයෑමෙන් පීඩා විඳින්නට පටන් ගත් අතර ශබ්දයට නොඉවසිලිමත් විය. 1917 දී කෆ්කාට ක්ෂය රෝගය වැළඳුනේය.තම මරණය තෙක් ඔහු රෝගාතුර දිවියක් ගත කලේය. එහෙත් ඔහු තම ලිවීම් අත හැරියේ නැත.

1912 සැප්තැම්බරයේදී ඔහු “The Judgment” (විනිශ්චය) යන කෙටිකතාව ලියා එය ඔහුගේ ප්‍රේමවන්තිය වූ ෆෙලිස් බවර්ට කැප කළේය. විනිශ්චය” යනු පුතෙකු සහ ඔහුගේ පියා අතර ඇති සම්බන්ධය පිළිබඳ කෆ්කාගේ කෙටි කතාවකි. එසේම එය දරුණු තත්වයකට හසු වූ නිහඞ තරුණයෙකුගේ කතාවකි. කතාව ආරම්භ වන්නේ තරුණ වෙළෙන්දෙකු වන ජෝර්ජ් බෙන්ඩෙමන් සිය කාමරයේ සිට රුසියාවේ සිටින තම මිතුරාට ලිපියක් ලිවීමෙනි. ඔහුගේ මිතුරා දැන් ශාන්ත පීටර්ස්බර්ග්හි ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර එම ව්‍යාපාරය එතරම් සාර්ථක නැත. ජෝර්ජ් තමා ෆ්‍රීඩා බ්‍රැන්ඩන්ෆෙල්ඩ් සමඟ විවාහ ගිවිසගෙන සිටින බව මිතුරාට ලියයි.

ජෝර්ජ් බෙන්ඩෙමන් ඔහුගේ මහලු පියා සමඟ තිබෙන සම්බන්ධතාවය කතුවරයා එළිදරවු කරයි. ජෝර්ජ්ගේ මව මිය යන තුරුම, ඔහුගේ පියාට ජෝර්ජ් කෙරෙහි පූර්ණ පාලනය තිබුණි. ඔහුගේ පියා සියළුම තීරණ ගනිමින් සිටින බැවින්, ජෝර්ජ්ට ස්වාධීන හා ශක්තිමත් පුද්ගලයෙකු බවට පත්වීමට නොහැකි වී තිබේ. ජෝර්ජ් තම පියාගේ භූමිකාව අනුකරණය කරයි. වෙළඳ හා මූල්‍යමය කාරණා මුලදී ජෝර්ජ් සහ ඔහුගේ පියා එකට එක්වී කටයුතු කරති. එය පසුව අසමගිය හා මතභේදයට තුඩු දී තිබේ. තම පියාගේ බලය හා සසඳන විට ජෝර්ජ් ඉතා දුක්ඛිත, තනිවූ සහ යටත් පුද්ගලයෙකි. පියා මහළු වියට එලැඹෙමින් තිබේ. තම පියාගේ ස්වභාවික පරිහානිය අතරතුර, ජෝර්ජ් තමා සැමවිටම ආශා කළ ස්වයංස්ථීර පුද්ගලයා බවට පත්වීමට උත්සහ දරයි. ජෝර්ජ් සහ ඔහුගේ පියා අතර එදිරිවාදිකම් උත්සන්න වෙයි. ජෝර්ජ්, පෙම්වතියක් සොයා ගැනීමෙන්, මව ගැන වැලපීම සාර්ථකව අවසන් කළ අතර, පියා තවමත් අරගලයකට මුහුණ දී සිටින අතර, වැලපෙමින් සිටී. එය පියාගේ කෝපයට හේතුවක් වෙයි. පියා , ජෝර්ජ් මව ගැන නොතකන ආත්මාර්ථකාමියෙකු බව පවසයි. තවද පියා ජෝර්ජ්ගේ පෙම්වතිය හා ඔහුගේ ඉදිරි විවාහය දරුණු ලෙස සමච්චලයට ලක් කරයි. ඔහු, ජෝර්ජ් විවාහයට පෙර සබඳතා පැවැත්වූ බවට චෝදනා කරයි. ඔහුගේ පියාගේ කෝපය තව උග්‍ර වේ. පියා ජෝර්ජ්ට චෝදනා කරමින් ඔහුට දියේ ගිලී මිය යන ලෙසට විධාන කරයි. ජෝර්ජ් නිවසින් පිටතට ගොස් පාලමක් මතින් පැන මරණයට පත් වෙයි. අවසානයේදී, සියදිවි නසා ගැනීමෙන් ජෝර්ජ් තම ජීවිතයේ පරාජය භාර ගනී.

විනිශ්චය” යනු කෆ්කාගේ කථා වලින් වඩාත්ම විශ්ලේෂණය කරන ලද සහ අර්ථකථනය කරන ලද එකකි. විනිශ්චය” කෆ්කාගේ වඩා වැදගත් හා ස්වයං චරිතාපදාන කෘතියක් ලෙස සැලකේ. නූතන කලාකරුවා හුදෙකලා වීම හා දුරස් වීම සහ පවුලේ හා සමාජීය අපේක්ෂාවන්ගේ ඉල්ලීම් අතර ආතතිය නිරූපණය කිරීමක් ලෙස බොහෝ විචාරකයින් කතාව සලකති.

පසුකාලීන ලියවිලි වලදී කෆ්කා විනිශ්චයහි නිර්මාණාත්මක පුපුරායාම ශරීරයේ සහ ආත්මයේ සම්පූර්ණ විවරයලෙස විස්තර කළේය. කෆ්කා මෙම කෘතිය “ඔහුගේ වඩාත්ම සාර්ථක හා පරිපූර්ණ සාහිත්‍ය නිර්මාණයක්” ලෙස සැලකීය. හර්බට් ටෝබර් මෙම කතාව සැලකුවේ පියා සහ පුතා අතර ගැටුම තුළින් පෙන්නුම් කෙරෙන වෙනම ලෝක දෙකක් අතර ගැටුම පිළිබඳ විවරණයකි. හර්මන් කෆ්කා දක්ෂ ව්‍යාපාරිකයෙක් වූ අතර ඔහුගේ සංවේදී පුත් ෆ්‍රාන්ස් තුළ බිය ගැන්වීම්, කාංසාව සහ අමනාපකම් පිළිබඳ සම්මිශ්‍රණයක් ඇති කළ චරිතයකි. රසල් බර්මන් කෆ්කා මානව මනෝභාවය ගවේෂණය කිරීමේ ක්‍රමවේදය ක්‍රියාවන් හා සිතුවිලි පිටුපස ඇති අභිප්‍රේරණයන් විශ්ලේෂණය කරමින් සුප්‍රසිද්ධ චින්තකයින් වන ෆ්‍රෙඩ්‍රික් නීට්‍ෂේ සහ සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් සමඟ සමපාත වන බව පෙන්වා දෙයි. ෆ්‍රොයිඩ් ගේ මනෝ විශ්ලේෂණයෙන් කියැවෙන්නේ පියාගේ චරිතය ජෝර්ජ්ගේ සුපිරි ඊගෝව නියෝජනය කරන බවයි; ඇත්ත වශයෙන්ම, ඔහුට මරණ දඞුවම නියම කළේ ජෝර්ජ්ගේ සුපිරි ඊගෝවයි. ජෝර්ජ් තම පියාගේ ප්‍රතිරූපය සුපිරි මනෝභාවයක් ලෙස තම මනසට ප්‍රක්ෂේපණය කරන හෙයින්, ඔහු තම පියාගේ නියෝගයට අවනත වේ.

1914 දී කෆ්කා “The Trial” නම් නවකතාව ලිවීම ආරම්භ කළේය. එහෙත් ඔහු නවකතාව අවසන් කළේ නැත. එම නවකතාව 1925 දී ඔහුගේ මරණින් පසු ප්‍රකාශයට පත් කරන ලදී. “The Trial” නීතියේ නිලධාරිවාදය, අසාධාරණ අධිකාරියකට එරෙහි සාමාන්‍ය පුද්ගලයෙකුගේ අරගලය පිලිබඳ තොරතුරු අඩංගු වෙයි. එය අවසානයේ රාජ්‍ය විසින් ඇති කරන ලද ස්වයං විනාශය පිළිබඳ විස්තරයකි. විකාරරූපී බව ,අභූතතාව, නූතන ලෝකයේ අමානුෂිකත්වය, ඒකාධිපතිවාදය, දුරස්ථ ආත්මීයත්වය කෆ්කා නවකතාව තුලින් පෙන්වා දෙයි.

නවකතාව ආරම්භ වන්නේ බැංකු නිලධාරියෙකු වන ජෝසප් කේ ඔහුගේ උපන්දිනය උදෑසන ඔහුගේ නිවසේ හදිසියේම ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගැනීමත් සමඟ ය. ඔහුව හදිසියේ හා පැහැදිලි කළ නොහැකි ලෙස අත්ඩංගුවට ගෙන ඇති අතර තමාට චෝදනා කරන්නේ කුමක් දැයි ඔහු නොදනී. කිසිම වැරැද්දක් නොකර අත්ඩංගුවට ගත්, කිසි විටෙකත් විධිමත් ලෙස අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා නොලබන, දිගින් දිගටම හිරිහැර කිරීම, හිංසා පීඩා කිරීම සහ අවසානයේදී “බල්ලෙකු මෙන්, දේශපාලන හා නීතිමය අසාධාරණයන්ට ගොදුරු වූ අයෙකු ලෙස ජොසෙෆ් කේ හැඳින්විය හැකිය. සර්ව බලධාරී, අද්භූත “උසාවියක්” ඉදිරිපිටදී අසරණ ඉත්තෙකු වන ජෝසෆ් කේ ගේ බිහිසුණු හැඟීම් කෆ්කා විසින් ප්‍රකාශ කරයි.

යුක්තිය පසිඳලීමේ ක්‍රමය සහ ඉරණම

“The Trial” යුක්තිය පසිඳලීමේ ක්‍රමය සහ ඉරණම පිළිබඳ වැදගත් විවාදයක් ඇති කරයි. සම්පූර්ණ නඩු විභාගය අභූතතාවකි. නඩු විභාගයේදී ජොසෙෆ් කේ අත්ඩංගුවට ගෙන ඝාතනය කරනු ලබන්නේ “වැරැද්දක්” නොකර ය. එහෙත් අවසානයේ නවකතාවේ සිටින සියල්ලන්ම මෙය ස්වාභාවික සිදුවීමක් ලෙස සලකති. ජොසෙෆ්ගේ ජීවිතයට කිසිදු වටිනාකමක් නැත. ජොසෙෆ් ඔහුගේ ඉරණම අන්ධ ලෙස පිළිගනී. ජොසෙෆ්ගේ මරණය සිදුවන්නේ ඔහු විසින්ම සහ නපුරට ඔහු දක්වන අකාර්යක්ෂමතාවය නිසාය. ජොසෙෆ් කේ ජීවිතය විශ්වාස කළේ මරණයේ මොහොතේ පමණි.

අධික බලයක් ඇති අධිකාරියකට එරෙහිව තමන්ව ආරක්‍ෂා කර ගන්නේ කෙසේද? යන්න කතුවරයා විමසයි. සමූහය සමඟ සම්මිශ්‍රණය වීම හැර වෙනත් විකල්පයක් නැති ආත්මීයත්වයට සතුරු මේ ලෝකය අමානුෂික ය. කතාවේ උපමාවවඩාත් හොඳින් නිරීක්ෂණය වී ඇත්තේ සංයුතියේ හා විස්තර කර ඇති සිදුවීම් වල ව්‍යුහය තුළ වන අතර එය වඩාත් සංකීර්ණ බව පෙනේ. අවසන් වීමෙන් පසුවද විශාල අභිරහස් පවතී. මෙය ජෝසෆ් කේ ගේ නඩු විභාගය පමණක් නොව, අපද ඔහු සමග විත්ති කූඩුවේ සිට විනිසුරුවරයාට මුහුණ දෙන්නෙමු.

කෆ්කා තමාගේම ලෝකයේ සදාචාරාත්මක, දේශපාලන හා ජනවාර්ගික ගැටුම් පිළිබඳ දැඩි නිරීක්ෂකයෙකි. ප්‍රාග්හි ජර්මානු භාෂාව කතා කරන යුදෙව් පවුලක උපත ලැබූ කෆ්කාට ඔහුගේ ජීවිත කාලය පුරාම පිටස්තරයෙකුගේ තත්වය ලැබුණි. යුදෙව්වෙකු ලෙස, කෆ්කා නිතරම කතෝලික හා රෙපරමාදු බහුතරයේ යුදෙව් විරෝධී අගතිය අත්විඳියේය. ජොසෙෆ් කේ මෙන්, කෆ්කා ද ඔහු කොතැනට හැරී සිටියත් හුදෙකලා විය. චෙක් ජාතිකයන්ට ඔහු ජර්මානු කථිකයෙක් විය; ජර්මානුවන්ට ඔහු යුදෙව්වෙක් විය. බොහෝ යුදෙව්වන්ට ඔහු ප්‍රමාණවත් යුදෙව්වෙක් නොවීය.

කෆ්කාගේ අභූතතාව (absurdity) තාර්කික ලෝකයේ පරතරයක් පෙන්නුම් කරන බව පෙනේ. පැවැත්මට ආවේනික අර්ථයක් නොතිබිය හැකි කෆ්කා පෙන්වා දෙයි. මෙම නවකතාවට කෆ්කාට දොස්තයෙව්ස්කිගේ අපරාධය හා දඞුවම මෙන්ම කරමසොව් සහෝදරයෝ බලපාන ලදි. මෙම නවකතාව පළමුවන ලෝක යුද්ධය පුපුරා යාමට පෙර ඔස්ට්‍රියාහංගේරියාවේ සමාජ ආතතීන්ගේ පසුබිමට එරෙහිව ආගමික: විශේෂයෙන් කෆ්කාගේ යුදෙව් සම්භවය සම්බන්ධයෙන් ප්‍රක්‍ෂේපණය සංකේතයක් ලෙස විචාරකයෝ සලකති. මේ හැර එය නාසි භීෂණය ගැන පුරෝකථනය කරන දර්ශනයක් ලෙස කියවිය හැකිය. කෆ්කාගේ “The Trial” විසිවන සියවසේ හොඳම ජර්මානු නවකතාවල අංක 2 ලෙස ලැයිස්තු ගත කර ඇත.

ඔහුගේ වඩාත්ම ජනප්‍රිය කෙටිකතාව වන “The Metamorphosis” 1912 දී නිම කොට 1915 දී ප්‍රකාශයට පත් කරන ලදී. කෆ්කා විසින් රචිත මෙටෝමෝෆෝසිස් කතාව ප්‍රධාන චරිතය වන ග්‍රෙගර් සම්සාගේ දෘෂ්ටිකෝණයෙන් මුළුමනින්ම කියැවෙන කතාවකි. ග්‍රෙගර් සංචාරක වෙළෙන්දෙකු වන අතර දිනක් උදෑසන අවදි වන විට තමා විශාල කෘමියෙකු බවට පරිවර්තනය වී ඇති බව තේරුම් ගනී. මුලදී ඔහු සිතන්නේ එය බියකරු සිහිනයක් කියාය. එහෙත් එය සිහිනයක් නොවන බවත් තමන් පිළිකුල් උපදවන කෘමියෙකු බවට පත් වී ඇති බව ඔහුට වැටහෙයි. ග්‍රෙගෝර්ගේ මව දොරට තට්ටු කරන අතර ඔහු ඇයට පිළිතුරු දෙන විට ග්‍රෙගර් ඔහුගේ කටහඞ වෙනස් වී ඇති බව සොයා ගනී. ඔහු අසනීපයෙන් සිටින බවට ඔහුගේ පවුලේ අය සැක කරන බැවින් ඔවුන් දොර ඇරීමට ඉල්ලා සිටිති.

කථාව ඛේදනීය හාස්‍යයක් වන අතර, විකාරරූපී ලෙස හාස්යජනක අවස්ථාවන් නිර්මාණය කරයි. කතාවේ ආරම්භයේ දී ග්‍රෙගර්ගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ රැකියාව කෙරෙහිය. ඔහුගේ නව තත්වය තිබියදීත් ඔහු නියමිත වේලාවට වැඩට යා යුතු ඔහු සිතයි. ග්‍රෙගෝර්ට ඔහුගේ නව ස්වරූපයෙන් කථා කිරීමට නොහැකි අතර, ඔහුගේ ශාරීරික පෙනුම ඔවුන්ට හෙළි වූ පසු කිසි විටෙකත් ඔහුගේ පවුලේ අය සමඟ සාර්ථකව සන්නිවේදනය නොකරයි. ඔහුගේ පෙනුමෙන් බියට පත් ඔහුගේ පවුලේ සාමාජිකයන් ග්‍රෙගර්ව ඔහුගේ කාමරයට වසා දමා ඔහුට ආහාර සහ ජලය ලබා දීමෙන් ඔහු රැකබලා ගැනීමට උත්සාහ කරති. සහෝදරිය ග්‍රෙගර්ව රැකබලා ගැනීමේ වගකීම භාරගනී. කාලය ගත වන විට ග්‍රෙගර් සිය කාමරයට පමණක් සීමා වී ඇති අතර, ඔහුගේ එකම ක්‍රියාකාරකම් වන්නේ ඔහුගේ ජනේලයෙන් පිටත බැලීම සහ බිත්ති සහ සිවිලිමට ඉහළින් බඩගා යාමයි. පවුලට මූල්‍යමය දුෂ්කරතා ඇති වන අතර සහෝදරියගේ රැකවරණය පිරිහෙයි. ඔහුගේ සහෝදරිය අවසාන වශයෙන් තීරණය කරන්නේ කෘමියා තවදුරටත් ග්‍රෙගර් නොවන බවයි. ග්‍රෙගර් සාගින්න, නොසලකා හැරීම සහ ආසාදනය හේතුවෙන් මිය යයි. ඔහුගේ මළ සිරුර සොයාගැනීමෙන් පසු පවුලේ අය ඔවුන්ගෙන් විශාල බරක් ඉවත් කර ඇති බවක් හැඟෙන අතර ඔවුන් අනාගතය සඳහා නැවත සැලසුම් කිරීම ආරම්භ කරති.

කෆ්කාගේ සියලු කෘතීන් මෙන්ම, ද මෙටෝමෝෆෝසිස් පුළුල් පරාසයක අර්ථ නිරූපණයන් සඳහා විවෘතය. වඩාත්ම පැහැදිලිව පෙනෙන්නේ සමාජයට වෙනස් වූවන්ට සැලකීම හා ධනේශ්වර සමාජයේ හා නිලධාරිවාදයේ බලපෑම මිනිස් ආත්මයට බලපාන ආකාරය සහ නූතන සමාජයේ පුද්ගලයාගේ තනිකම සහ හුදකලාව සම්බන්ධ තේමාවන් ය. ග්‍රෙගර් සම්සාගේ පරිවර්තනයේ වැදගත්කම පැහැදිලි කිරීම සඳහා විචාරකයින් ගණන් කළ නොහැකි තරම් විවිධ න්‍යායන් ඉදිරිපත් කර ඇත ජීවිතයේ අර්ථ විරහිත භාවය හා විකාරරූපී බව එක් අදහසකි. කෆ්කා සඳහා මිනිස් තත්වය (human condition) ඛේදජනක හෝ මානසික අවපීඩනයෙන් ඔබ්බට ය. එය “විකාරයකි.” මුළු මිනිස් සංහතියම “දෙවියන්ගේ නරක දවස්” වලින් එකක් බව ඔහු විශ්වාස කළේය. අපේ ජීවිත පිළිබඳ හැඟීමක් ඇති කිරීමට “අර්ථයක්” නැත. කෆ්කාගේ දිනපොත සහ ලිපි පෙන්වා දෙන්නේ “ග්‍රෙගර්ගේ ඉරණම ඕනෑම පුද්ගලයෙකුගේ ඉරණමට වඩා නරක හෝ හොඳ නැත” යනුවෙනි.

සමහරක් විචාරකයන් කෘමියෙකු බවට පත්වන මිනිසෙකුගේ ප්‍රබන්ධ කථාව තුළින් කෆ්කාගේ ජීවිතය විදහා දක්වන බව පවසති. ඔහුගේ පියාගේ දරාගත නොහැකි සහ ඒකාධිපති පෞරුෂය කෆ්කාගේ බොහෝ ලේඛනවල සලකුණු තබා ඇත. කෆ්කා දුක්ඛිත ජීවිතයක් ගත කළේය. ඔහුගේ පියාගේ පීඩාකාරී ප්‍රතිරූපය නිසා ඔහු දිගින් දිගටම ක්ලමථයට පත් විය. කෆ්කාට තම පියා කෙරෙහි ඇති බිය ග්‍රෙගර් හරහා නිරූපනය වෙයි. කෆ්කාගේ බිය ග්‍රෙගර්ගේ බිය ලෙස මෙහි තක්සේරු කර ඇත. නවකතාවෙන් කෆ්කාට ඔහුගේ පියා වන හර්මන් කෆ්කා සමඟ ඇති සම්බන්ධතාවය ඉස්මතු වන අතර එය කිසිසේත් ප්‍රේමණීය හා සැලකිලිමත් සම්බන්ධතාවයක් නොවේ.

ඇතැම් විචාරකයෝ ග්‍රෙගර් සැම්සා කැරපොත්තෙකු බවට පරිවර්තනය කිරීම යුදෙව්විරෝධී උපමානයක් ලෙස සලකති. එය “පණුවන්” යැයි කියනු ලබන ජාතියක් සාපරාධී ලෙස සංහාරය කිරීම පිළිබඳ දරුණු පුරෝකථනයකි. 1915 දී ප්‍රකාශයට පත් කරන ලද “මෙටෝමෝෆෝසිස්” පළමු ලෝක යුද්ධයෙන් පසු 1918 දී ඔස්ට්‍රෝහංගේරියානු අධිරාජ්‍යයේ බිඳවැටීමට පෙර ඇඟවුම් කරයි. ප්‍රාග් කේන්ද්‍ර කර ගත් බොහීමියාවේ කෆ්කා සහ ඔහුගේ සෙසු පුරවැසියන් ජීවත් වූයේ එම විශාල අධිරාජ්‍යය යටතේ ය. ඔවුන්ගේ අනන්‍යතා අතුරුදහන් වී ඇති බව දැන ගැනීමට ඔවුන් හදිසියේ අවදි විය. මෙටෝමෝෆෝසිස් සමකාමී විරෝධය පිලිබඳ වෘත්තාන්තයක් ලෙස සැලකිය හැකිය. ග්‍රෙගර් සම්සා සමකාමියෙකු වන අතර ඔහු එමගින් තම පවුල අවමානයට පත් කරයි. ඔහු පවුලේ අනෙක් අයට වඩා අසමානය. ඔහු පිළිකුල් සහගත කැරපොත්තෙකු ( කීට විද්‍යාඥයෙකු මෙන්ම ලේඛකයෙකු හා සාහිත්‍ය විචාරකයෙකු වූ ව්ලැඩිමීර් නබෝකොව් අවධාරනය කළේ ග්‍රෙගර් කැරපොත්තෙකු නොව, ඔහුගේ කටුව යට පියාපත් ඇති කුරුමිණියා බවත්, පියාසර කිරීමට හැකියාව ඇති බවත්ය ) මෙනි. ඒ නිසා ඔහු පවුලේ සාමාජිකයන් තුලින් ද පිටමං කෙරේ. ඔහු සෙමෙන් මිය යන්නේ ඔහුගේ පවුලේ ලැජ්ජාව සහ ඔහු නොසලකා හැරීම නිසා පමණක් නොව, ඔහුගේම වරදකාරී බලාපොරොත්තු සුන්වීම හේතුවෙනි.

මෙටෝමෝෆෝසිස් අන් සියල්ල මෙන් අර්ථ විරහිත ය. කෆ්කාගේ ගෝලයෙකු වන නාට්‍ය රචක සැමුවෙල් බෙකට් එය මනාව සඳහන් කරයි: ලේඛකයාට “ප්‍රකාශ කිරීමට කිසිවක් නැත, , ප්‍රකාශ කිරීමට බලයක් නැත, ප්‍රකාශ කිරීමට ආශාවක් නැත, ප්‍රකාශ කිරීමේ වගකීමද ඇත.”

කෆ්කාගේ පළමු හා විනෝදජනක නවකතාව වන Amerika තරුණ සංක්‍රමණික කාල් රොස්මන්ගේ කථාව පවසයි. ජර්මනියේ සිය ගෘහ සේවිකාව සමඟ ඇති වූ අපකීර්තියකින් බේරීම සඳහා නිව්යෝර්ක් නගරයට යාමට බල කෙරුණු දහසය හැවිරිදි යුරෝපීය සංක්‍රමණික කාල් රෝස්මන් නැව් නැග ඇමරිකාවට පැමිනෙයි. ඔහුට නව ලෝකයේ අත්දැකීම් නොමැතිකමට අමතරව මුදල්ද නැත. ඔහුගේ පවුලේ අයගෙන් සහ නිවසින් නෙරපා හරින ලද කාල් ලෝකයේ තමාටම ස්ථානයක් සොයා ගැනීමට මංමුලා සහගතව උත්සාහ දරයි. ආරම්භයේ සිටම, නවකතාව සංලක්ෂිත වන්නේ ඇමරිකානු මිථ්‍යාවේ සංස්කෘතික මිථ්‍යාවන් සහ ඒකාකෘති රූප උපුටා දැක්වීමෙනි. අසීමිත අවස්ථාවන් පිළිබඳ මහා ඇමරිකානු මිථ්‍යාව කෆ්කා විභාග කරයි. මෙම නවකතාව හාස්‍යජනක නමුත් තරමක් යථාර්ථවාදී ය. කෆ්කා කිසි විටෙකත් ඇමරිකාවට නොපැමිණි නමුත්, එහි විශාල භූ දර්ශනය, අන්තරායන් සහ අවස්ථාවන් පිළිබඳ රූප මගින් කතන්දරයට ආභාෂය ලබා දුන්නේය. කාල් රෝස්මන් පියාට ඥාතී වූ චරිත ගණනාවක් සමඟ රැකවරණය පතයි. ඔහුගේ නිර්දෝෂීභාවය හා සරල බව සෑම තැනකම සූරාකෑමට ලක්ව ඇති අතර, අවසාන පරිච්ඡේදයේ සිහින ලෝකයක් වන “ඔක්ලහෝමාහි සොබාදහම රඟහල” සඳහා ඔහු ඇතුළත් කර ගැනීම විස්තර කරයි; රොස්මාන් අවසානයේ විනාශ වන බව කෆ්කා සටහනක් තැබීය.

ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම් මනසේ තබාගෙන

කෆ්කාගේ කථා බොහෝ විට ගනුදෙනු කරන්නේ තමාට එහා ගිය මිනිසාව අධ්‍යාත්මික ක්ෂේත්‍රයට තල්ලු කිරීම හෝ ඔහුව ප්‍රාථමික, මේ ලෞකික ක්ෂේත්‍රයට ඇදගෙන යාමයි. Absurdity හෙවත් අභූතතාව පිළිබඳ අදහස ෆ්‍රාන්ස් කෆ්කා විසින් තම කෘති හරහා මනාව පෙන්නුම් කරයි. ඔහුගේ කෘතිවලට පොදු වූ බලාපොරොත්තු රහිතබව සහ අභූතතාව පැවැත්මේ නිදර්ශනයකි. ඔහුගේ සාහිත්‍ය නිමැවුමෙන් වැඩි ප්‍රමාණයක් පර්යේෂණාත්මක නූතනවාදී ප්‍රභේදය සමඟ සම්බන්ධ වී තිබුණද කෆ්කාගේ සමහර කෘති ප්‍රකාශනවාදයට ( Expressionism) බලපෑම් කරයි.කෆ්කාගේ ලේඛන ශෛලිය සරල බව පෙනේ, නමුත් එය ජීවිතයේ දර්ශනවාදය සහ අතාර්කිකත්වය නිරූපණය කරයි. කෆ්කාගේ වාක්‍ය පැහැදිලි හා නිරවද්‍ය ය, නමුත් ඒවා බොහෝ විට ව්‍යාකූල ලෙස සංකීර්ණ හා දිගු වේ. එක් කියවීමකින් පමණක් ඔහුගේ කථා තේරුම් ගැනීම පහසු නැත. පුදුමාකාර වචන තේරීම සහ වාක්‍ය සංයෝජනය තුළ සැඟවී ඇති ගැඹුරු අර්ථය තේරුම් ගැනීමට එය නැවත කියවීම අවශ්‍ය වේ. ඔහුගේ සාහිත්‍ය නිෂ්පාදනයේ වැඩි හරියක් පර්යේෂණාත්මක නූතනවාදී ශෛලිය හා බැඳී පැවතුනද කෆ්කාගේ ප්‍රකාශන කිහිපයක් ප්‍රකාශනවාදී චලිතයට බලපෑම් කරයි. ෆ්‍රොයිඩ්ගේ ඉගැන්වීම් මනසේ තබාගෙන කෆ්කා කියවිය හැකිය.

කෆ්කාගේ “In the Penal Colony ” කෙටිකතාව සකසා ඇත්තේ නම් නොකළ දණ්ඩනීය ජනපදයක ය. මෙම කතාවේ දඞුවමේ ස්වභාවය කෆ්කා විසින් විමර්ශනය කරයි, විශේෂයෙන් එය සිදුවන සමාජයේ බල ව්‍යුහයට සම්බන්ධය. කඳවුරේ විස්තීර්ණ වධහිංසා සිදු කෙරන වධහිංසා යන්ත්‍රයක් පිලිබඳව කරුණු තිබේ. නිර්මාණකරුගේ ලිවීම තේරුම් ගැනීම අසීරු නමුත් දොස්තයෙව්ස්කිගේ වරද, දුක්විඳීම සහ මිදීම අතර අන්තර්ක්‍රියාකාරිත්වය කෙරෙහි කෆ්කා තුල තිබූ බලපෑම මෙම කෙටිකතාවෙන් පෙනී යයි. වධ හිංසා යන්ත්‍රය නිර්මාණය කළ තැනැත්තා එහි කාර්‍යක්‍ෂමතාව හා සංකීර්ණතා ගැන උද්‍යෝගයෙන් කථා කරයි, නමුත් මෙම නිලධාරියා පවා ඔහුගේ යන්ත්‍රයේ සේවකයා බව පැහැදිලිය. නිලධාරියා පිටතින් එන සංචාරකයෙකුට ඔහු ඉතා ආඩම්බරයෙන් තම යන්ත්‍රය පෙන්වයි. අකීකරු සහ අපහාසකාරී හැසිරීමක් හේතුවෙන් හමුදා නිලධාරියෙකුට මරණ දණ්ඩනය නියම කොට තිබේ. දම්වැලකින් බැඳී සිටි සිරකරුවා පෙනෙන්නේ “යටහත් පහත් බල්ලෙකු” ලෙසට ය. ඔහුව සොල්දාදුවෙකු විසින් මුර කරයි. නිලධාරියා, සොල්දාදුවා සහ සිරකරුවා සහ ආගන්තුක සංචාරකයා අතර ඇති වෙනස්කම් , පවතින සංස්කෘතික බෙදීම් පෙනී යයි. ඔවුන්ගේ සංවාදය ප්‍රංශ භාෂාවෙන් පැවැත්වීමෙන් පෙන්නුම් කරන්නේ අධ්‍යාපනයේ වෙනස සහ එම නිසා නිලධාරියා සහ ඔහුගේ යටත් නිලධාරීන් වන සොල්දාදුවා සහ සිරකරුවා අතර බලයයි. ශරීරය විනාශ කිරීම තුළින් දඞුවම පමුණුවනු ලැබේ. මන්දයත් ශරීරය අවසානයේ බලයේ සිටින අයට තමන් පාලනය කරන අයගේ හදවත් හා ආත්ම පාලනය කිරීමට හැකි මාධ්‍යයකි. බලයේ සිටින අය සමාජය කෙරෙහි ඔවුන්ගේ ග්‍රහණය පවත්වා ගෙන යන්නේ ඔවුන්ගේ දඞුවම ක්‍රමය ජනතාවට යහපත් යැයි අවධාරනය කරමිනි. උපකරණ අතින් සිදුවන වධ හිංසාව දුරාචාරමය හෝ අධික නොවන බව සංචාරකයාට ඒත්තු ගැන්වීමට නිලධාරියා භාවිතා කරන එක් සදාචාරාත්මක තර්කයක් නම්, මන්දගාමී, වධ හිංසාකාරී මරණය මියයන මිනිසාට ඔවුන්ගේ කණගාටුදායක ඉරණම මුදවා ගන්නා ආගමික අත්දැකීමක් ලබා දීමයි. නිලධාරියා කියා සිටින්නේ මරණයේ ලක්ෂ්‍යය එය ජීවිතයේ වේදනාව හා අපේක්ෂා භංගත්වය වලංගු කරන අද්භූත ආගමික අත්දැකීමකට මඟ පෙන්වන බවයි.

මෙම තේමාව කෆ්කාගේ ජීවිතයේ අර්ථය සෙවීමේ අරගලයේ ප්‍රබල අනුනාදයකි. ග්‍රීක දේශපාලන ලේඛක පොලිබියස්ගේ කාලයේ සිටම, මානව සමාජය මුහුණ දී ඇත්තේ කුරිරුකම සහ අරාජිකත්වය සහ ඒ වටා කැරකෙන සංකීර්ණ ප්‍රශ්න කතුවරයා ඉදිරිපත් කරයි. ජීවිතයේ අර්ථය බොහෝ විට අවහිර වී ඇති අතර ගැඹුරු හා මාරාන්තික කලකිරීමට තුඩු දෙන බව ඔහුගේ පණිවිඩය අවධාරණය කරයි. අර්ථය ළඟා කර ගත හැකි නම්, එය විකෘති මාර්ගයකින් පමණක් වන අතර සාමාන්‍යයෙන් එය වෙනත් කෙනෙකුගේ ප්‍රීතියට කෙලින්ම විරුද්ධ වේ. මැවීමේ වේදනාව මරණ දණ්ඩනය සමඟ සංසන්දනය කිරීම අතිශයෝක්තියක් නොවේ. නවීන තාක්‍ෂණයේ ම්ලේච්ඡත්වය යන්ත්‍රය තුල තිබේ. මෙම යන්ත්‍රයේ රහස පවතින්නේ එය සැකසෙන, පවත්වා ගෙන යන සහ සංකේතවත් කරන අසාමාන්‍ය අනුපිළිවෙලෙහි අභිරහස තුළ ය. මන්දගාමී, වධ හිංසාකාරී මරණයක ප්‍රතිරූපය මරණීය ශරීරයේ මරණය ගැන පමණක් පෙනෙන්නට තිබුණත්, එය මානසික වේදනාව පිළිබඳ ප්‍රශ්න ද මතු කරයි. සමහර විට කෆ්කා විසින් උපකරණයේ වධහිංසාව ජීවිතය සඳහා සංකේතයක් ලෙස අදහස් කර ඇත: මන්දගාමී, ඇද ගන්නා ක්‍රියාවලියක් මරණයෙන් අවසන් වන අතර බොහෝ මානසික මෙන්ම ශාරීරික වේදනාවන් ද ඇත. කෙටිකතාව අවසන් වන විට, “නිශ්ශබ්දව සිටීමට” වඩා ප්‍රචණ්ඩකාරී මරණීය දණ්ඩනයට එරෙහිව කතා කිරීම වැදගත් බව සංචාරකයා තීරණය කරයි.

කෆ්කා විසින් නිම නොකළ නවකතාව “The Castle” යනු ඔහුගේ වඩාත්ම මානවවාදී කෘතිය වෙයි. පොතේ ප්‍රධාන චරිතය වන “K” මාලිගාවක ක්‍රියාත්මක වන අද්භූත නිලධාරිවාදයක් විසින් පාලනය කරන ගමකට පැමිණේ. නගර තානායමේ රැකවරණය පතන විට ඔහු කියා සිටින්නේ තමන් බලධාරීන් විසින් කැඳවන ලද ඉඩම් මිනින්දෝරුවරයෙකු ලෙසය. ” K ගමේ ජනතාවගේ ජීවිත සමඟ බැරෑරුම් ලෙස හා ගැඹුරින් සම්බන්ධ වේ. K ගොදුරක් නොවේ; ඔහු ආක්‍රමණිකයෙකි, සුලු, අහංකාර නිලධාරීන්ට සහ ඔවුන්ගේ අධිකාරය පිළිගන්නා ගම්වැසියන්ට K අභියෝග කරයි. ඔහුගේ සියලු උපක්‍රම අසාර්ථක වේ. නවකතාවේ සැකසුම, ස්වරූපය සහ අන්තර්ගතය මධ්‍යකාලීන ආදර හා ගවේෂණආඛ්‍යාන මතකයට නංවයි. කෆ්කාගේ සාහිත්‍ය මිතුරා වූ මැක්ස් බ්‍රොඩ් නිරීක්ෂණය කළ පරිදි, කෆ්කා අදහස් කළේ “K.”, ප්‍රාදේශීය බලධාරීන්ගෙන් ප්‍රවේශය සහ පිළිගැනීම ලබා ගැනීම සඳහා ඔහු දැරූ නිරර්ථක උත්සාහය නිසා වෙහෙසට පත්ව මිය යා යුතු බවයි. මෙම නවකතාවෙන් කෆ්කාගේ දුක, පරිකල්පනීය ලෝකය ඔහුගේ එදිනෙදා ජීවිතයේ භයානක බියකරු සිහින ප්‍රක්‍ෂේපණය කරයි. කෆ්කාගේ ප්‍රබන්ධය නිරූපණය කරන්නේ නූතන, පශ්චාත්ක්‍රිස්තියානි ලෝකය ලෙස අභ්‍යන්තර මැදිහත්වීම් සහ කලකිරුණු සංක්‍රාන්තිය බව රෙනේ ජිරාඩ් පවසයි. The Castle යනු දාර්ශනික ව්‍යසනයකි. මෙම නවකතාව තේරුම් ගැනීමට නම් එය කැබලිවලට බෙදිය යුතුය, නමුත් මෙය කළ හැක්කේ එය ලියූ පුද්ගලයාට පමණි. The Castle එහි අසම්පූර්ණ ස්වරූපයෙන් පවා දීප්තිමත් කෘතියක් නම්, එය සම්පුර්ණ කර ඇත්නම් එය කෙතරම් විශිෂ්ට කෘතියක් වනු ඇත්දැයි අපට සිතාගත නොහැකිය.

කෆ්කාගේ ජීවිත කාලය තුළ ප්‍රකාශයට පත් කරන ලද අවසාන කෘතිය (කෙටිකතාව) වන A Hunger Artist (1924) ඔහුට සමීප වූ තේමාවන් බොහෝමයක් ගවේෂණය කරයි. මෙම කෙටිකතාවේ කෆ්කා මරණය, කලාව, හුදකලාව, සශ්‍රීකත්වය, අධ්‍යාත්මික දරිද්‍රතාවය, නිශ්එලභාවය , පුද්ගලික අසාර්ථකත්වය සහ මානව සබඳතා දූෂණය වීම වැනි තේමාවන් ගවේෂණය කරයි. කතාව ආරම්භ වන්නේ කුසගින්න කලාත්මක ස්වරූපයක් ලෙස සන්දර්භගත කිරීමෙනි. කෆ්කා කතාව ස්ථානගත කරන්නේ කුසගින්නෙන් පෙළෙන කාලයේ නොව එහි පරිහානිය අතරතුරය. මෙය කුසගින්නෙන් පෙළෙන කලාකරුවාගේ අරගලය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි. අවසානයේදී ඔහුගේ නිරාහාරය ඔහුව ශාරීරිකව හා අධ්‍යාත්මිකව හිස් කරයි. කුසගින්නෙන් පෙළෙන කලාකරුවා ආහාර ප්‍රතික්ෂේප කරයි, නමුත් ඔහුගේ ස්වයං ප්‍රතික්ෂේප කිරීම මගින් ඔහුට වෙනත් ආකාරයක පෝෂණයක් අවශ්‍ය බව හෙළි වේ: මහජන පිළිගැනීම සහ කලාත්මක පරිපූර්ණත්වය. ශාරීරික හා අධ්‍යාත්මික පෝෂණය සඳහා කුසගින්න ඔහුගේ කාර්ය සාධනයේ මාතෘකාව වේ. ඇතැම් විචාරකයෝ කුසගින්නෙන් පෙළෙන කලාකරුවා සාන්තුවරයකු හෝ ක්‍රිස්තුස් වැනි චරිතයක් ලෙස සලකති. කුසගින්නෙන් පෙළෙන කලාකරුවා කතුවරයා සමඟ සම්බන්ධ වන්නේ මිය යන දුරස්ථ කලාකරුවෙකු ලෙස ය.

ස්වයං චරිතාපදානය

1919 නොවැම්බරයේදී කෆ්කා තම පියා වන හර්මන් වෙත ලියූ පිටු 47 ක ලිපිය ස්වයං චරිතාපදානයකට සමානය. 36 හැවිරිදි කෆ්කා තම ළමා කාලය හංවඩු ගැසූ චිත්තවේගීය අපයෝජනය, දෙබිඩි පිළිවෙත සහ නිරන්තර අප්‍රසාදය සම්බන්ධයෙන් කතා කරයි. ලිපිය ලිවීම කෆ්කාට ව්‍යාකූල ව්‍යායාමයක් විය. කෆ්කා සිය අධිකාරී පියා සමඟ ඇති සංකීර්ණ සම්බන්ධතාවයේ හේතු විමසා බලයි. ලිපියේ, කෆ්කා තම පියා වන හර්මන් කෆ්කාගේ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වන්නේ ඔහු තමාට බිය වීමට හේතුව කුමක්ද යන්නයි. තම පියා කුරිරු පාලකයෙකු බව කෆ්කා පවසයි. පියා සෑම විටම තරුණ ෆ්‍රාන්ස්ව කුරිරු ලෙස පාලනය කල බවත් සර්වබලධාරී පියාගේ චරිතයෙන් නිදහස් වීමට ෆ්‍රාන්ස් හට ක්‍රමයක් නොමැති බවත් ලිපියෙන් පවසයි. වින්දිතයා වීම නිසා කෆ්කාට කිසි විටෙකත් තම පියාගේ බලපෑමෙන් මිදීමට නොහැකි විය. ඔහුගේ අඩුපාඩුවට මූලික හේතුව ලෙස ඔහු තම පියා ලෙස දුටුවේය. එක්තරා ආකාරයකින් එය අන්‍යෝන්‍ය වරදවා වටහාගැනීම් හා දුරස් වීම පිළිබඳ කතාවකි. ලිපිය මගින් කෆ්කා පියාගේ ආධිපත්‍යය සහ කුහකකම ගැන චෝදනා කරන අතරම ඔහුගේ ස්වභාවය සූක්‍ෂම ලෙස විමසා බලයි. ඔහුගේ පියාට ශක්තිමත් පිරිමි ළමයෙකු ඇති දැඩි කිරීමට අවශ්‍ය වූ නමුත් කෆ්කාගේ ස්වභාවය පියාට නොසෑහිනි. කෆ්කා දුර්වළ රෝගී ළමයෙකු විය. පියා කෆ්කාගේ හැකියාවන් අවතක්සේරු කලේය. මෙම අපයෝජනය කෆ්කාගේ ජීවිත කාලය පුරාම හොල්මන් කළ නමුත් ඔහුගේ වැඩිහිටි වියේදී ඔහු තීරණය කළේ නව ආරම්භයක් සඳහා තම පියාට සමාව දීමට අවශ්‍ය බවය. කෆ්කාගේ සාහිත්‍ය විධායක මැක්ස් බ්‍රෝඩ් විස්තර කරන්නේ කෆ්කා තම මව හරහා පියාට එම ලිපිය දුන් බවයි. කෆ්කාගේ මව ලිපිය භාර ගත් නමුත් ඇය එය තම සැමියාට දුන්නේ නැත. කෆ්කාගේ පියා කිසිදා එය නොකියවීය. පියාට ලියන ලද ලිපිය මගින් කෆ්කාගේ උග්‍ර මානසික අවබෝධය සහ විශ්ලේෂණයේ බලය පෙන්නුම් කරන අතර එය කතුවරයාගේ වෙනත් කෘති අර්ථ නිරූපණය කිරීම සඳහා වටිනා මෙවලමකි.

කෆ්කාගේ කෘති ඔහු ජීවත් වූ ඓතිහාසික සමාජ විද්‍යාත්මක තත්වයේ කැඩපතකි. කෆ්කා යනු නවකතාකරුවෙකු තේමාවක් සඳහා ග්‍රහණය කර ගැනීමට වඩා ආකෘතියක් සඳහා ග්‍රහණය කර ගත් දාර්ශනිකයෙකි. ඔහු සැමවිටම මිනිසාගේ ඉරණම පිළිබඳ ගැඹුරු තේමාවන් සමඟ කටයුතු කලේය. නිලධාරිවාදයේ තේමාවට අදාළව, කෆ්කාගේ වීරයන් බොහෝ විට නොදන්නා හා දුරස්ථ දුෂ්ට සාධකයකට එරෙහිව සටන් වදින අතර එය ඔවුන්ගේ ජීවිතවල බරපතල දුෂ්කරතා ඇති කරයි. කෆ්කාගේ කතන්දර යෝජනා කරන්නේ කියවීම් කිහිපයකින් පසුව පමණක් ප්‍රවේශ විය හැකි අර්ථයන් ය. ඒවායේ අවසානය, හෝ අවසානයක් නොමැතිකම විශේෂත්වයකි. කෆ්කාගේ ලෝකය අත්‍යවශ්‍යයෙන්ම අවුල් සහගත වන අතර, එයින් නිශ්චිත දාර්ශනික හෝ ආගමික කේතයක් ව්‍යුත්පන්න කළ නොහැක.

පැවැත්ම (existence) සමග කෆ්කාගේ සම්බන්ධතාවය වඩාත් සංකීර්ණය. සියලු පාරභෞතික මාර්ගෝපදේශයන්ගෙන් බැහැරව, මරණය සෑම දෙයක්ම අර්ථ විරහිත කරන ලෝකයක සදාචාරාත්මකව කටයුතු කිරීමට මිනිසෙකු බැඳී සිටී. සදාචාරාත්මක ක්‍රියාවක් යනු කුමක්ද යන්න ඔහු විසින්ම තීරණය කළ යුතුය. එහි ප්‍රතිඑලයක් වශයෙන්, ඔහු තෝරා ගැනීමේ සම්පූර්ණ නිදහස ශාපයක් ලෙස සලකයි.

කෆ්කාගේ වීරයන් විශ්වය සමඟ එකඟතාවයකට පැමිණීමට කොතරම් උත්සාහ කළත්, ඔවුන් බලාපොරොත්තු රහිතව අල්ලා ගනු ලබන්නේ, ඔවුන්ගේම යාන්ත්‍රණයක පමණක් නොව, අනතුරු හා සිදුවීම් ජාලයක් තුළ ය, කෆ්කාගේ ප්‍රධාන චරිත තනිකම නිසා හොඳ සහ නරක යන සංකල්පය අතර මැදට හසු වී ඇති අතර, ඔවුන්ගේ විෂය පථය තීරණය කළ නොහැකි අතර ප්‍රතිවිරෝධයද විසඳිය නොහැක. ඔහු පවසන්නේ ඔහුගේ වීරයා ලෝක දෙකක් අතර එනම් අතුරුදහන් වූ ලෝකයක් සහ ඔහු අයත් නොවන වර්තමාන ලෝකයක් අතර දෝලනය වෙයි. මෙය කෆ්කාගේ ලෝකයට අනුරූප වන අතර එය පැහැදිලිව විග්‍රහ කරන ලද ප්‍රතිවිරෝධතාවයන්ගෙන් නොව නිමක් නැති විභවයන්ගෙන් සමන්විත වේ. කෆ්කාගේ ග්‍රන්ථවල සිටින පුද්ගලයා තනිවම හා ඔහු වටා ඇති සමාජයට පටහැනි වන අතර එය පුද්ගලයාට තේරුම් ගත නොහැකි රහසිගත ආකාරයකින් ක්‍රියාත්මක වන බව පෙනේ. බොහෝ විචාරකයින්ගේ සිත් ඇද ගත් කෆ්කාහි ඇති “යථාර්ථය” වර්තමාන විද්‍යාත්මක ලෝක දෘෂ්ටිය සමඟ වඩාත්ම ගැලපෙන්නේ, යථාර්ථය පිළිබඳ තමන්ගේම අවබෝධය අත්‍යවශ්‍යයෙන්ම අර්ධ, සීමිත හා සාපේක්ෂ වශයෙන් දකින බැවිනි.

නූතන මිනිසාගේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පියා

කෆ්කා යනු නූතන මිනිසාගේ සම්භාව්‍ය චිත්‍ර ශිල්පියාය. කෆ්කාගේ ලේඛනවල නිරූපණය කර ඇති පැවැත්මේ උභතෝකෝටිකයන් ඇතැම් විට තේරුම් ගැනීම අසීරුය. කෆ්කා තේරුම් ගැනීමට විශාල බුද්ධිමය හැකියාවක් අවශ්‍ය වේ. කෆ්කාහි සමස්ත කලාව සමන්විත වන්නේ පාඨකයාට නැවත කියවීමට බල කිරීමෙනි. කෆ්කාගේ කෘති නූතන මිනිසාගේ කාංසාවෙන් පීඩා විඳින හා තේරුම්ගත නොහැකි, සතුරු හෝ උදාසීන ලෝකයක හුදෙකලා වීම සංකේතවත් කරයි. ඔහු සිය ජීවිත කාලය පුරාම දුක් විඳ ඇති නමුත් සමාජයේ විරුද්ධාභාෂයන් පිළිගන්නා, අවසානයේ දී ඔවුන්ට අවංකව හා දීප්තිමත් ලෙස සිනාසෙන ලේඛකයෙකි. ජර්මානු දාර්ශනික සහ මනෝ විද්‍යාඥ තියඩෝර් ඇඩෝර්නෝ ලියා ඇති පරිදි, කෆ්කා යනු “මිනිස් තත්වය පිළිබඳ තොරතුරු කාර්‍යාංශයකි” ”කෆ්කා මානව වර්ගයා ස්පර්ශ කළේය. කෆ්කාගේ බලපෑම කෙතරම්ද යත් “Kafkaesque” යන වචනය භාෂා කිහිපයකින් පවතී. එය විකාරරූපී අභූතතාවන් , පීඩාකාරී සහ අවුල් සහගත තත්වයන් ගැන සඳහන් කරයි. කෆ්කා යනු තමාගේම වාතාවරණයක් සහ අද්විතීය කේතයන්ගෙන් යුත් සාහිත්‍ය ලෝකයක් නිර්මාණය කළ හැකි වූ ලේඛකයෙකි. ඔහුගේ ලිවීමේ වඩාත් කැපී පෙනෙන අංගයක් වන්නේ එහි බුද්ධිමය අවංකකමයි. ඔහුගේ සාහිත්‍යමය කුසලතාවය ඔහුගේ කෙටි ජීවිත කාලය තුළ බොහෝ දුරට හඳුනා ගැනීමට අසමත් වීම එක්තරා ආකාරයකට අහේතුවකි. ඔහුගේ පොත් දෙවන ලෝක සංග්‍රාමයේදී ප්‍රසාදය දිනා ගත් අතර විශේෂයෙන් ජර්මානු සාහිත්‍යයට බෙහෙවින් බලපෑවේය.

ඔහු ස්ථාපිත ලෝක දෘෂ්ටියක් සමඟ මුළුමනින්ම පෙළගැස්වීම ප්‍රතික්‍ෂේප කලේය. යුදෙව් ආගමේ තේමාව කෆ්කාගේ කෘතියේ කිසිසේත්ම පැහැදිලිව දක්නට නොලැබෙන අතර ඔහු පරමාදර්ශ යුදෙව්වෙකු නොවීය. කෆ්කා සියොන්වාදය සම්පූර්ණයෙන් වැලඳ නොගත් අතර ඔහු යුදෙව් ආගම කෙරෙහි දෙගිඩියාවෙන් සිටියේය. එහෙත් පලස්තීනයේ ජනාවාස ප්‍රවර්ධනය කිරීම මගින් ලොව පුරා යුදෙව්වන් ව්‍යාප්ත කිරීම නැවැත්වීම සඳහා තියඩෝර් හර්ස්ල් (යුදෙව් රාජ්‍යය, 1890) විසින් ආරම්භ කරන ලද සියොන්වාදය කෙරෙහි කෆ්කා විශේෂයෙන් උනන්දු විය. යුදෙව් රාජ්‍යය නැවත ස්ථාපිත කිරීමත් සමඟ මෙසියස් පැමිණෙනු ඇතැයි යන පුරාණ යුදෙව් විශ්වාසය සියොන්වාදය දේශනා කළ අතර, කෆ්කාට එවැනි යුදෙව් රාජ්‍යයක් සඳහා වූ ආශාව සහ සංක්‍රමණය වීමට ඇති කැමැත්ත සැලකිල්ලට ගත යුතුය.කෆ්කා පලස්තීනයට සංචාර කිහිපයක් සැලසුම් කළේය (ඔහුගේ සෞඛ්‍ය තත්වය පිරිහීම නිසා එය කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය).

ෆ්‍රාන්ස් කෆ්කා 1924 දී වයස අවුරුදු 40 දී ක්ෂය රෝගයෙන් මිය ගියේය. ඔහුගේ දේහය ප්‍රාග් වෙත ගෙන එන ලද අතර 1924 ජුනි මාසයේදී ඔල්සාන්ස්කේහි නව යුදෙව් සුසාන භූමියේදී ඔහුගේ දේහය තැන්පත් කරන ලදී. කෆ්කා ගේ සහෝදරයන් දෙදෙනා කුඩා කාලයේදීම මිය ගිය අතර ඔහුගේ සහෝදරියන් තිදෙනාම පසුකාලීන නට්සි භීෂණයට ලක්වී වධ කඳවුරු වලදී ඝාතනයට ලක් වූහ. හිට්ලර් ගේ භීෂණය සියැසින් දැකීමට ඔහු ජීවත්ව සිටියේ නැත. එහෙත් නට්සීන් ඔහුගේ පොත් ගිනි තැබුවෝය.

ෆ්‍රාන්ස් කෆ්කා විසිවන සියවසේ වැදගත් සාහිත්‍ය චරිතයක් ලෙස සැලකේ. ඇමරිකානු කවියෙකිවූ විස්ටන් හියු ඕඩන් කෆ්කාව විසිවන සියවසේ ඩන්ටේ ලෙස හැඳින්වීය. ඔහු ගේ කෘති 20 සහ 21 වන සියවස්වල ලේඛකයින්, විචාරකයින්, කලාකරුවන් සහ දාර්ශනිකයින් විශාල පිරිසකට බලපෑම් කර ඇත. කෆ්කාගේ කෘතිය විසිවන වන සියවසේ සාහිත්‍යය වෙනස් කර ඇති බවට සැකයක් නැත. කෆ්කා විසි වන සියවසේ ලෝකයේ කාංසාව සහ දුරස් වීම වඩාත් පුළුල් ලෙස සංකේතවත් කරන බලගතු සංකේතවාදයක් අත්කර ගත්තේය. ඔහුගේ බලපෑම ඉන්ද්‍රජාලික යථාර්ථවාදී, විද්‍යා ප්‍රබන්ධ සහ පැවැත්මේ කෘතිවල සිට ජෝර්ජ් ලුයිස් බෝර්ජස් , ජේ. එම්. කෝට්සි ඇල්බෙයා කැමූ , ජීන්පෝල් සාත්‍රේ සහ ඉයුජින් අයෝන්ස්කෝ සහ ජෝර්ජ් ඕවල් වැනි ලේඛකයින්ට බලපෑම් කර ඇත.

Works Cited

Kafka, F.(2008). Letter to my Father, Trans. Howard Colyer North Carolina: Lulu.

Rollesten, J. (2003). A Companion to the Works of Franz Kafka,Rochester, Camden House Companions.

Stach, R.(2005). Kafka: The Decisive Years. Harcourt.

transyl2014.blogspot.com

Back to Top