Sri Lanka Brief
විවරණසුළුතර ජනවර්ග, ප‍්‍රජාතාන්ත‍්‍රික විපක්ෂය සහ ඉන්දීය අක්ෂය – සුමිත් චාමින්ද

සුළුතර ජනවර්ග, ප‍්‍රජාතාන්ත‍්‍රික විපක්ෂය සහ ඉන්දීය අක්ෂය – සුමිත් චාමින්ද

by

මා මෙහිදී අවධානය යොමු කරන්නේ ප‍්‍රජාතාන්ත‍්‍රික දේශපාලනය පිළිබඳ කිසිදු පරමාදර්ශී හෝ ප‍්‍රතිමානාත්මක අදහසක් ගැන නොවේ. හරයාත්මක ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් සඳහා ඉතාම සක‍්‍රීය සහ දැනුවත් සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයක් අවශ්‍ය බවට සැකයක් නොමැත. නමුත්, අද අප හමුවේ ඇති ආසන්න අභියෝගය වන්නේ එවන් ගැඹුරු ප‍්‍රජාතාන්ත‍්‍රික අරමුණු සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න නොවේ. අප රටේ යම් තරමකින් හෝ ඉතිරි වී තිබෙන සමාජ සහ දේශපාලන නිදහස අහෝසි කොට දමන්නා වූ අධිකාරීවාදී පාලනතන්ත‍්‍රයක් ගොඩ නැගීමේ අනතුරක් දැන් මතුව ඇත. සියල්ලට පෙර ඒ අනතුරට මුහුණදීමේ ප‍්‍රායෝගික උපාය මාර්ග ගැන කල්පනා කළ යුතුව තිබේ. එහිදී මා කලින් ලිපියේද පෙන්වා දුන් පරිදි බලය, පසමිතුරුතාව සහ ගැටුම් යනාදියෙන් සමන්විත ”සැබෑ දේශපාලනය” කෙරෙහි අවධානය යොමු කරන්නට සිදුවේ. ඒ අනුව, මේ ලිපියෙන් මට පෙන්වා දෙන්නට අවශ්‍ය වූයේ මෙරට ප‍්‍රජාතාන්ත‍්‍රික නිදහස පවතින්නේ (හෝ පැවතිය හැක්කේ) කවර අභ්‍යන්තර සහ බාහිර බල-දේශපාලනික කොන්දේසි මතද යන කාරණය පමණි.

අසූව දශකයේදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතාන්ත‍්‍රික දේශපාලනය සම්බන්ධයෙන් ගැටලූකාරී බලපෑම් එල්ල කළ සාධකයක් අද වන විට මෙරට ඇති අවම ප‍්‍රජාතාන්ත‍්‍රික නිදහසේ බාහිර කොන්දේසියක් බවට පත්ව තිබේය යන්න මගේ උපන්‍යාසයයි. එම සාධකය වන්නේ මෙරට සුළුතර ජනවාර්ගික නායකත්වය, ප‍්‍රජාතාන්ත‍්‍රික විපක්ෂය සහ ඉන්දීය සාධකය අතර ගොඩ නැගෙන අක්ෂයයි. මෙම අක්ෂය කිසියම් ආකාරයකින් මෙරට බහුතර ජනවර්ගය තුළින් පැන නගින අධිකාරිවාදී දේශපාලන ධාරාව පාලනයට ලක් කෙරෙන බාහිර ලීවරයක් ලෙස ක‍්‍රියාත්මක විය හැකිය. මෙය සැබවින්ම අලූත් කාරණයක් නොවේ. අඩු තරමින් රනිල් වික‍්‍රමසිංහ මේ කාරණය මනාව දැන සිටි බව මගේ විශ්වාසයයි. ඔහු මෙරට සුළුතර ජනවාර්ගික නායකත්වයන් සහ ඉන්දීය (මෙන්ම යුරෝ-ඇමරි) සාධකයන් අතර මැදිහත්කාරී භූමිකාවක් රඟදක්වන්නට පවා සමත් විය. දේශපාලනිකව කොතරම් උන්නතිකාමී වුවද සිංහල-බෞද්ධ අධිකාරිවාදී නායකත්වයන්ට කලාපීය සහ ගෝලීය බල සබඳතා ඉදිරියේ දමනය වන්නට සිදු වන බව ඔහු දැන සිටියේය. (මේ කාරණයේදී නම් ඔහු ජයවර්ධනගේ අනුප‍්‍රාප්තිකයෙකු නොවේ; කෙසේ වුවත්, ඔහුට වැඩ කරන්නට සිදුවූයේ වෙනස් තත්ත්වයන් තුළය). නමුත්, නව-ලිබරල් සංස්ථාපිතයේ කොටස්කරුවෙකු වූ වික‍්‍රමසිංහ ජනතාද්‍රෝහී ආර්ථික ප‍්‍රතිපත්ති මගින් ජනතාවගේ ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් අහිමි කිරීමට දායක විය; ඒ සමගම මෙකල ලොව බොහෝ තැන්වල සිදුවන්නාක් සේ නව-ලිබරල් සංස්ථාපිතයට එරෙහිව ආකර්ෂණීය විකල්පයක් ලෙස මතුවන්නට අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයට මග විවර කරනු ලැබුවේද ඔහුගේ ”ජනවාරි විප්ලවය” විසිනි.

කෙසේ වුවද, ඉදිරියේදී මෙරට ප‍්‍රධාන දේශපාලන බල කඳවුර ලෙස තම බලය යළි තහවුරු කර ගැනීමට ඉඩ ඇත්තේ බහුතර ජනවාර්ගික අධිකාරිවාදීවාදයයි. එයට එරෙහිව ප‍්‍රජාතාන්ත‍්‍රික විපක්ෂ කඳවුරක් නිර්මාණය වීමේ විභවතාවක් සැබවින්ම පවතී. එම ප‍්‍රජාතාන්ත‍්‍රික කඳවුර තුළ සුළුතර ජනවාර්ගික නායකත්වයන්ගේ වැදගත්කම ඉතාම තීරණාත්මකය. දේශපාලන යහගුණයන් පිළිබඳ අපගේ දෘෂ්ටිවාදී ඒත්තුගැනීම් මදකට පසෙකින් තැබූවද, සැබෑ-දේශපාලනය පිළිබඳ ඉහත විස්තර කළ යථාර්ථය අනුව හෝ මේ කාරණය පිළිගැනීමට ප‍්‍රජාතාන්ත‍්‍රික විපාක්ෂික නායකත්වයන්ට සිදුවේ. සුළුතර ප‍්‍රජාවන්ගේ සහයෝගය දිනා ගැනීමෙන් තොරව ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මේ බාහිර කොන්දේසි සක‍්‍රීයව පවත්වා ගත නොහැකිය.

සුමිත් චාමින්ද විසින් රාවය හි පළ කරන ලද  ලාංකීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්මේ බාහිර කොන්දේසි නම් ලිපියෙන් උපුටා ගන්නා ලදී.

Back to Top