Saturday, October 24, 2020

මෙරට පුරාවස්තු විනාශ කිරීමට අදාළ නීතිය – නීතිඥ අථිල ආතාවුද

ශ්‍රී ලංකාවේ පුරාවස්තු වලට අදාළව 1940 අංක 09 දරණ පුරාවස්තු ආඥා පනත සහ 1998 අංක 24 දරණ පුරාවස්තු (සංශෝධන) පනත වැදගත් වේ.

[title]පුරාවස්තු කියන්නේ මොනවාද?[/title]

පුරාවස්තු ආඥා පනතේ 48 වැනි වගන්තිය අනුව 1815 මාර්තු මස 2 වැනි දිනට පෙර ඉදිකර ඇති හෝ ඉදිකර ඇතැයි විශ්වාස කෙරෙන යම් ඉදිකිරීමක් සහ පුරාවස්තු ආඥා පනතේ 16 වැනි වගන්තිය යටතේ ඓතිහාසික ස්මාරකයක් වශයෙන් ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරන ලද ඉදිකිරීම් සහ පනතේ 17 වැනි වගන්තිය යටතේ ගැසට් නිවේදනයකින් ප්‍රසිද්ධ කරන ලද යම් ගසක් පුරාවිද්‍යා ස්මාරකයක් වශයෙන් හදුන්වයි. එය පසුව 1998 අංක 24 දරණ පනතින් අවුරුදු සියයකට නොඅඩු කාලයක් පැවතී තිබෙන හෝ පැවතී තිබෙන්නේ යයි විශ්වාස කරනු ලබන යනුවෙන් සංශෝධනය වී ඇත.

එමෙන්ම යම් පුරාවිද්‍යා ස්මාරකයක් හෝ 1815 මාර්තු 2 වැනි දාට පෙර ඉදිකල හෝ එසේ ඉදිකළ බවට විශ්වාස කෙරෙන යම් පිළිම, කැටයම් කරන ලද පාෂාණ, කිරිගරුඩ, කැටයම්, ශිලාලේඛන, චිත්‍ර, ලියැවිලි සහ ඉහත කී ඒවා නිරූපණය කරන ලද යම් මතුපිටක්, පිගන් භාණ්ඩ, මිණියම් ශෛලමය හෝ වස්ත්‍රමය කලාකෘති, කාසි, මැණික්, මුද්‍රා, ආභරණ, ආයුධ, උපකරණ, සැරසිලි, වෙනත් ඕනෑම චංචල කලාකෘති පුරාවස්තු ලෙස හදුන්වා ඇත.

[title]පුරාවස්තු කැණීම් කිරීම[/title]

පුරාවස්තු පනතේ 6 වැනි වගන්තියට අනුව පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින්ම කැණීම් කරනු ලබන අවස්ථාවකදී හැර කිසිදු පුද්ගලයෙකු පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් ලබාගත් බලපත්‍රයක් නොමැතිව තමන්ට අයත් වන හෝ නොවන ඉඩමක පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති පුරාවස්තු සොයා කැණීම් කළ නොකළ යුතුය.

[title]පුරාවස්තු විනාශ කිරීම හෝ හානි කිරීම[/title]

එකී පනතේ 31 වන වගන්තිය අනුව යම් ආරක්ෂිත පුරා විද්‍යා ස්මාරකයක් හෝ රජයේ ඉඩමක පිහිටි පුරා විද්‍යා ස්මාරකයක් කැමැත්තෙන්ම විනාශ කරන එයට හානි පමුණුවන මකා දමන හෝ කඩාබිද දමන පුද්ගලයෙකු මෙම පනත යටතේ වරදක් සිදු කරයි.

[title]නව සංශෝධනයට අනුව පුරාවස්තු විනාශ කිරීම හෝ හානි කිරීම[/title]

1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනතේ 4 වන වගන්තිය යටතේ පුරාවස්තු ආඥා පනතට ඇතුලත් කරන 15 ආ වගන්තිය අනුව යම් පුරාවස්තුවක් ඕනෑකමින්ම විනාශ කරන, හානියට පත් කරන, විරූපී කරන හෝ අයුතු ලෙස වෙනස් කරන නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් පළුදු කරන යම් තැනැත්තෙකු මේ ආඥා පනත යටතේ වරදකට වරදකරු වන අතර මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පනස්දහසකට නොවැඩි දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු අවුරුදු පහකට නොවැඩි සිර දඩුවමකට හෝ එකී දඩුවම් දෙකටම යටත් කළ හැකි වේ.

[title]පුරාවස්තු පනත යටතේ ඇප නැත[/title]

1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනතේ 4 වන වගන්තිය යටතේ පුරාවස්තු ආඥා පනතට ඇතුලත් කරන 15 ඇ වගන්තිය දක්වන පරිදි අපරාධ නඩුවිධාන සංග්‍රහ පනතේ හෝ වෙනත් යම් ලිඛිත නීතියක කුමක් සදහන් වුවද මේ ආඥා පනත යටතේ වරදකට චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වූ කිසිම තැනැත්තෙකු ඇප මත මුදා නොහැරිය යුතුය, යනුවෙන් දක්වා ඇත. එනම් වෙනත් අපරාධ වැරදි මෙන් නොව මෙම පනත යටතේ චෝදනා ලැබූ හෝ චූදිතයෙකු වන තැනැත්තෙකුට නඩුව අවසාන වනතුරු ඇප ලබාදීමට ශ්‍රී ලංකාවේ කිසිදු අධිකරණයකට අධිකරණ බලයක් නැත.

[title]යමක් පුරාවස්තුවක් බව තීරණය කරන්නේ කවුද?[/title]

1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනතේ 4 වන වගන්තිය යටතේ පුරාවස්තු ආඥා පනතට ඇතුලත් කරන 15 ඈ වගන්තිය අනුව මේ ආඥාපනත යටතේ වූ වරදක් සම්බන්ධයෙන් වූ නඩු පැවරීමකදී යම් සහතිකයක විස්තර කරන ලද දෙය පුරා වස්තුවක් බවට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් අත්සන් කරන ලදැයි සළකනු ලබන විටෙක වැඩිදුර සාධක නොමැතිව සාක්ෂි වශයෙන් ආවේශ්‍ය කරගනු ලැබිය යුතු අතර එහි ප්‍රකාශිත කාරණා සම්බන්ධයෙන් එය බැලු බැල්මට පෙනෙන සාක්ෂියක් වශයෙන් සැළකිය යුතු වේ.

ඒ අනුව යම් ඉදිකිරීමක් හෝ ස්ථානයක් හෝ අයිතමය පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති පුරාවස්තුවක් වන බවට පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් යම් ලේඛනයක් අත්සන් කර නිකුත් කෙරේද අදාළ ඉදිකිරීම හෝ ස්ථානය හෝ අයිතමය පුරාවස්තුවක් ලෙස බැලු බැල්මට සාක්ෂියක් වශයෙන් එය පිළිගැනේ.

[title]අනම්‍ය සහ දෘඪ නීතියක්[/title]

මේ අනුව පුරාවස්තු වලට හානි කිරීම හෝ විනාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ බලපවත්නා නීතිය ඉතාම දැඩි මෙන්ම අනම්‍ය නීතියකි. ඒ අනුව පුරාවස්තු ආඥා පනත යටතේ චෝදනා ලබන පුද්ගලයෙකුට කවරාකාරයකින් හෝ නඩුව අවසන් වනතුරු ඇප ලබාගත නොහැක.

[title]අනම්‍ය සහ දෘඪ නීතිය මත නිර්මාණය වී ඇති සංස්කෘතිය[/title]

මෙම අනම්‍ය ස්වභාවය හේතුවෙන් පුරාවස්තු සම්බන්ධයෙන් නීති ක්ෂේත්‍රයේ එයටම ආවේණික වූ සංස්කෘතියක් නිර්මාණය වී ඇති ආකාරය දැකිය හැකිය. ශ්‍රී ලංකාවේ නීති ක්‍රියාත්මක කරන ආයතන වලට පුද්ගලයෙකුගෙන් පලි ගැනීමට හෝ ඔහුව අපහසුවට පත්කිරීම සදහා නීතිය තුල ඇති ප්‍රධාන උපක්‍රම දෙකකි. එකක් එම පුද්ගලයා විෂ අබිං හා අන්තරාදායක ඖෂධ ආඥා පනතේ 54 වගන්තිය යටතේ එන චෝදනාවකට හසු කිරීමය. අනෙක ඔහු පුරාවස්තු ආඥා පනත යටතේ චෝදනාවකට හසු කිරීමය. මන්ද ඒ චෝදනා දෙකටම නිර්දෝෂී පුද්ගලයෙකු වුවද තම නිර්දෝෂීභාවය සනාථ කරන විට අනිවාර්යයෙන්ම ඔහුගේ ජීවිතයට පිළිසකර කළ නොහැකි දැවැන්ත හානියක් සිදුවී අවසන් වන බැවිනි.

[title]උදාහරණයක්:-[/title]

යම් පුද්ගලයෙකු තමන්ගේ ඉඩමක ගෙපලක් කැපීම හෝ ළිදක් ඉදිකිරීම හෝ වෙනත් යම් කැණීම් කටයුත්තක් සිදුකරන්නේ යැයි සිතමු. ඔහුගේ යම් අසල්වැසියෙකු ඔහු සමග අමනාප යැයිද උපකල්පනය කරමු. අසල්වැසියාට ඇත්තේ 119 අංකයට අමතා තමාගේ ඉඩමට යාබද ඉඩමේ නිධන් හෑරීමක් සිදුවන බවට දුරකථන ඇමතුමක් දීම පමණි. පොලීසිය නොපමාව බොහෝවිට ක්ෂණිකව පැමිණ ඉඩමේ හිමිකරු පමණක් නොව වැඩෙහි යෙදී සිටින කම්කරුවන්, බැකෝ යන්ත්‍ර සහ උපකරණ ඇත්නම් ඒවා මෙන්ම ඒවා ක්‍රියා කරවූ උදවියද අත්අඩංගුවට ගන්නවා ඇත.

[title]බන්ධනාගාරගත කිරීම සහ වාර්තා කැදවීම[/title]

ඉන්පසු එම පුද්ගලයන් ප්‍රකාශ සටහන් කොට පුරාවස්තු පනත යටතේ වරදක් කර ඇති බවට සැකකරුවන් වශයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබේ. ඇප සළකා බැලීමට මහේස්ත්‍රාත්වරයාට බලයක් නොමැත. ඔහු සැකකරුවන් දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර භාරයට පමුණුවනවා ඇත. ඒ අතරතුර අදාළ කැණීම සිදුවූ බිම පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති බිමක්ද යන්න පිළිබදව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා වෙතින් වාර්තාවක් කැදවනු ලැබේ.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා විසින් සාමාන්‍යයෙන්වාර්තා නිකුත් කරන ආකාර 2කි.

1. අදාළ භූමිය හෝ ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශයක් ලෙස නම්කර ඇති විට ඒ බවත් අදාළ කැණීම සිදු කළ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් බවටත්

2. අදාළ භූමිය හෝ ප්‍රදේශය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ප්‍රදේශයක් ලෙස නම්කර නැති විට ඒ බවත් අදාළ කැණීම සිදු කළ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක් නොවන බවටත් එහෙත් එම ප්‍රදේශයේද පුරාවිද්‍යා වටිනාකමක් ඇති පුරාවස්තු තිබීමේ සම්භාවිතාවය බැහැර කළ නොහැකි බවටත්

[title]මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී[/title]

ඒ අනුව පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයාගේ වාර්තාව ඉහත කී කුමන අයුරින් නිකුත් කැරුණද එයින් සිදුවන්නේ සැකකරුවාගේ ගෙල සිර වීමය. එනම් ඒ කුමන ආකාරයෙන් වාර්තාව ලැබුණද එය නඩු කටයුතු අවසන් කොට සැකකරුවන් මුදා හැරීමට පදනමක් සපයන්නේ නැත. එමෙන්ම චෝදනාවට පුද්ගලයෙකු නිවැරදිකරු වෙමි යැයි උත්තරවාද දුන් පලියට ඔහුට ඇප ලබාදීමේ බලයක් අධිකරණයට නොමැත. ඒ අනුව ඔවුන්ට ප්‍රායෝගිකව තෝරා ගැනීමට ඇත්තේ විකල්ප දෙකක් පමණි.

1. චෝදනාපත්‍රය ඉදිරිපත් කළ විට චෝදනාවට නිවැරදිකරු බව කියා දිගටම රක්ෂිත බන්ධනාගාරයේ රැදී සිටිමින් නඩු විභාගය සදහා ඉදිරිපත් වීම.

2. එවැනි වරදක් කළද නොකළද චෝදනාපත්‍රය ඉදිරිපත් කළ විට චෝදනාවට වැරදිකරු බව කියා වරද පිළිගෙන ඒ සදහා නියම කෙරෙන දඩය ගෙවාදමා එදිනම ගෙදර යාම.

මෙය පුරාවස්තු සදහා කැණීම් කිරීම පුරාවස්තු විනාශ කිරීම වැනි වැරදි සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සාමාන්‍ය මිනිසුන්ට බලපාන නීති තත්වය සහ එය සාමාන්‍ය මිනිසුන් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන ආකාරයයි.

මුහුණූ පොතෙනි

Archive

Latest news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...

Related news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...