Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගගෝඨාභය රාජ්‍යකරණය: දළ විමසීමක් – සුනන්ද දේශප්‍රිය

ගෝඨාභය රාජ්‍යකරණය: දළ විමසීමක් – සුනන්ද දේශප්‍රිය

by

ජනාධිපති රාජපක්ෂ පසුගිය ජූලි දෙවැනි දින ප්‍රකාශයක් කරමින් මෙසේ කියා සිටියේය. “එළඹෙන මහමැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ප්‍රචාරක කාර්යන් සඳහා මගේ ජායාරූප භාවිතා නොකළ යුතුය”. එම පුවත ඉතා සාඩම්බරකාරී ප්‍රකාශයක් වූ බැවින් අන්තර් ජාතිකවද ප්‍රසිද්ධියක් ලැබුවේය. එය විධායක ජනාධිපතිවරයා විසින් කෙලින්ම කරන ලද නියෝගයක් හා සමානය.

නමුත් වැඩි දවසක් නොයා ඔහුගේ ජායාරූප පොදු ජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක දැන්වීම්වල වැහි වහින්නට පටන් ගත්තේය. එපමණක් නොව ගෝඨාභය රාජපක්ෂම මහමැතිවරණ ව්‍යාපාරයට ලොකුවට ගොඩ බැස්සේය. වරදක් නැත.

වරද ඇත්තේ දේශපාලන යථාර්තය නොදැන ජනාධිපති රාජපක්ෂ විසින් කළ මුල් ප්‍රකාශයේය. ඔහු ජනාධිපති කරවීමට දරදිය ඇද්දේ මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණය. ඒ සඳහා පෙරමුණ ගත්තේ දැන් මහමැතිවරණයට ඉදිරිපත්ව සිටින මහින්ද රාජපක්ෂගේ කස්ටියයි. එකළ තමන් ලවා සිය ජායාරූප රටවටා අලවාගත් ගෝඨාභය දැන් තමන්ට ඔහුගේ ජායාරූපය භාවිත කිරීම තහනම් කිරීම ගැන මේ සියල්ලන්ම කෝපයට පත් වන්නට ඇත. අන්තිමේදී ගෝඨාභය පස්සා පැත්ත බිම ඇණ ගත්තේය.

මේ වනාහී හුදෙක් තනි සිදුවීමක් නොවේ. ගෝඨාභය ආන්ඩුකරනයේ දක්නට ඇති සුලභ සහ අතාර්කික දේශපාලනයේ ළකුණකි. ඔහු මේ තාක් දුරට සිය රාජ්‍ය පාලනය මගින් පෙන්වා ඇත්තේ දුරදක්නා නුවණ නොව අණ දීමේ සහ අතාර්කික ස්ථාවරයන්ගේ ලකුණුය.

පසුගිය මැයි 19වනදා ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ඔහු කියා සිටියේ “ශ්‍රී ලංකාවට අනවශ්‍ය ලෙස අත පොවන අන්තර් ජාතික සංවිධාන වලින් ඉවත්වීමට පියවර ගන්නා බවයි”. එමගින් ඔහු අදහස් කළේ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා ගණනාවක් සම්මත කර ඇති ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බවයි.

මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත්වන බවට ඉඟි කරන ලද ප්‍රකාශය

එසේ නමුත් දැන් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සිලයේ 44වන සැසිවාරයෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස ජනාධිපති ගෝඨාභයගේ ඉහත කී තර්ජනය නිකමටවත් සඳහන් කළේ නැත. ඒ වෙනුවට ශ්‍රී ලංකාව පිළිබඳව 30/1 යෝජනාවේ මූලික කණ්ඩායම වන එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, උතුරු මැසිඩෝනියාව සහ මොන්ටිනිග්‍රෝව යන රටවල් වෙනුවෙන් මෙම සැසිවාරයේදීම කරන ලද විවේචනාත්මක ප්‍රකාශයට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා නියෝජිතවරිය ජූලි 02 දින මෙසේ කීවාය. “ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාවෙහි සමඅනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව දේශීයව සැලසුම් කර ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවලියක් තුළින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාමුව තුළ ප්‍රතිසන්ධානය, වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීමට කැපවී සිටී”

වැදගත්ම කොටස මෙයයි. “ අවසාන වශයෙන්, ශ්‍රී ලංකා රජය, දේශීය ප්‍රමුඛතා සහ ප්‍රතිපත්ති ඇතුළත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණයන් සමඟ අඛණ්ඩව කටයුතු කරන අතර ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සමීප සහයෝගයෙන් කටයුතු කරනු ඇත”.

අමතක නොකළ යුතු කරුණක් වන්නේ නම් මෙම 44වන සැසි වාරයෙහි දී එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බරපතල විවේචන එල්ල කර තිබූ බවයි. එසේ තිබියදීත් ඉවත්වන තර්ජනය අහන්නට ලැබුණේ නැත.

මානව හිමිකම් කොමිසමෙන් ඉවත්වීමේ ජනාධිපති රාජපක්ෂගේ තර්ජනය අර පොස්ටර් තහනමට නොදෙවෙනි අතාර්තික කතාවක් බවට මීට වඩා සාක්ෂි අවශ්‍ය නැත.

අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තර්ජනයක් වන ගෝලීය කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් ගෝඨාභය පිළිවෙත දැන් කාලයක් පුරා රාජපක්ෂවාදී එකතුවක් වන රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විවේචනයට පවා දිගින් දිගටම ලක්ව තිබේ. ඊට අමතරව වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය, වෛද්‍ය රසායනාගාර වෟත්තීයවේදීන්ගේ සංගමය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැනි සංවිධානයන්ද කොවිඩ් වසංගතය පාලනය කිරිමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළ විවේචනයට ලක්කර තිබේ.

වසංගතය පාලනය කිරීම සදහා ගෝඨාභය සමස්තයක් ලෙස රදා සිටින්නේ යුද්ධ හමුදා මතය. ඉහත කී නොකී සෞඛ්‍ය සේවයේ තීරණාත්මක කාර්ය ‍භාරයන් ඉටුකරන පිරිස් වෙනුවට නියෝග මගින් ක්‍රියාත්මක කළ හැකි යුද්ධමය ව්‍යුහයන් මත ඔහු විශ්වාසය තබයි. ආන්ඩුවේ ප්‍රකාශ පොදු වශයෙන් අවිශ්වාස කරන තත්වයක් අද ඇතිව තිබෙන්නේ මේ නිසාය. ප්‍රශ්ණයට හේතුව ආන්ඩුව ඇත්ත නොකීමයයි කීමට දැන් රාජපක්ෂවාදී වෛද්‍ය නිලධාරී සංගමයට සිදුව තිබෙන්නේ ඒ නිසාය.

සිය කොවිඩ් පාලන ප්‍රචාරය අසාර්ථක වී ඇති බව දැන් රාජපක්ෂ ආන්ඩුවට තේරී තිබේ. වසංගතය ගැන බොරු ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසත් ආයාචනා කරන රාජපක්ෂවරු වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවට විරුද්ධව ප්‍රචාරක ව්‍යාපාරයක් ඇතැයි ද චෝදනා කරයි. වචන වලට වඩා සිදුවීම් ශක්තිමක්ය. ආන්ඩුවේ ප්‍රචාර පච යැයි ජනයා සළකන්නේ යථාර්තය සමග ආන්ඩුවේ ප්‍රචාර නොගැලපෙන නිසාය. .

යුද්ධ සංස්කෘතියේ කොටසක් වන රහසිගත බව ආන්ඩුවේ වසංගත පාලන මූලෝපායෙහිද කොටසක් බවට මුල සිටම පත්විය. මී උණ නිසා මිය ගියේ යැයි කී යුද්ධ හමුදා නිලධාරියකු වසංගතයට බිලි වූ අයකු සේ වහවහා අදාහනය කරන ලද්දේ ඒ නිසාය. මෙම සටහන ලියන බදාදා රැයෙහි සංසරණය වන වීඩියෝවකින් පෙන්නුම් කැරෙන්නේ හෘදයාබාධයකින් මියගොස් ලංකාවට එවන ලද විදෙස්ගත ශ්‍රමිකයකුගේ මළ සිරුර ගුවන් තොටුපළෙහිදීම ඥතීන්ගේ හැඩුම් මැද ආරක්ෂක හමුදා පිරිස් විසින් රැගෙන යන අන්දමයි. එම වීඩියෝවට අනුව අඩුම වශයෙන් ඥතීන්ට එම සිරුර බැලීමටවත් ඉඩ දී නැත. එයට පෙරද මෙවැනිම බලහත්කාර ආදාහනයකට කාන්තාවකටද මුහුණ දීමට සිදුවිය

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි වැඩමුළුවක් සඳහා සම්පත් දායකයකු ලෙස සහභාගි වූ “ඇඩික්” ආයතනයේ නිලධාරියකු කිසිදු වෛද්‍ය පරීක්ෂාවකට භාජනය නොකර බලහාත්කාරයෙන් ත්‍රිකුනාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන ගොස් ක්වේට්හි සිට පැමිනි පිරිසක් සමඟ රඳවා තිබෙන බවට ඔහු විසින් ලියූ ලිපියක සඳහන් විය. ඇත්ත වශයෙන්ම නම් ඔහු එම වැඩමුළුව සදහා ගොස් තිබුණේ දින 20කට කලිනි.

පසුගිය අඟහරුවාදා සමාජ මාධ්‍යයන්හි සංසරණය වූ ශ්‍රී ලංකාවේ සිතියමක දිස්ත්‍රික් 163019 දෙනෙකු නිරෝධායනයට ලක්කර ඇති බව පෙන්වා දී තිබුණි. එහි එම කිසිවකු කෝවිඩ්19 අසාදිතයින් යැයි සඳහන් කර තිබුණේ නැත. එනමුත් බදාදා උදෑසන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ කියා සිටියේ එම සිතියම බොරුවක් බවයි. ඒ හා සමඟම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශයක් කරමින් එම සිතියම ගැන නොකියා එහි ඇති කරුණූ සත්‍ය බවට ප්‍රකාශ කළේය. ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ඊට පිළිතුරු දුන්නේ නැත.

උපහාරය රාජපක්ෂලාට. වරද ජනතාවට

කන්දකාඩු අසාදිත පොකුර මතුවීමට පෙර ආන්ඩුව කියමින් සිටියේ වසංගතය පරාජය කර ඇති බවයි. මෙම ජයග්‍රහනයේ කීර්තිය අයත්වන්නේ ජනාධිපති රාජපක්ෂට බව අගමැති රාජපක්ෂ ප්‍රසිිිිද්ධියේ කීවේය. රාජපක්ෂවරුන් දෙදෙනා වසංගතය පැරද වූ සෙන්පතියන් දෙදෙනා යැයි කියන දැවැන්ත කටවුට් පවා ප්‍රදර්ශණය කරන ලදී.

එපමනක් නොව ගුවන් තොටුපළ විවෘත කිරීමට දින නියම කර සංචාරකයින් සඳහා මඟපෙන්වීම් පවා ප්‍රසිද්ධ කැරුණි. විදේශ සංචාරකයින්ට නතර විය හැකි හෝටල පවා තීරණය කර ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.

මේ සැළසුම් දැන් සුළගේ ගොස් තිබේ. මන්ද යත් ඒවා අහසේ තැනූ මාලිගා වූ බැවිනි. ගෙවතුවල ගෝවා වවන අය දැන් සමාජ ජාලයන්හි නැත. බිත්තිවල පින්තූර ඇන්ද කාලයද ඉතිහාසයට ගොස් තිබේ. කෙටියෙන් වසංගතය සම්බන්ධයෙන් ආන්ඩුවේ රහසිගත සහ මර්දනකාරී ප්‍රවේශය සහ ව්‍යාජ විශ්වාසයක් ගොඩ නැගූ සැළසුම්  අසාර්ථක බව දැන් පැහැදිළිය.

ජයග්‍රහණය  තමන්ට අයිති කර ගන්නා නමුත් පරාජය අන් හැම පාලකයකු මෙන්ම රාජපක්ෂවරුන්ද පටවන්නේ මහ ජනතාවට මතය. කණගාටුවකට මෙන් ආන්ඩුවේ බෙර පදයට පාද තැබීමට පුහුණු වී ඇති වෛද්‍ය අනිල් ජාසිංහ පවා වරද පටවන්නේ මහජනයාටය. ජනාධිපති රාජපක්ෂ දැන් කියන්නේ වසංගතය පාලනය කිරීමේ  වගකීම නිලධාරීන්ගේ බවයි.

ගෝඨාභය රාජපක්ෂ මේතාක් පෙන්වා ඇත්තේ ඔහු කෙටි දුර ධාවකයෙක් පමණක් බවයි. ඔහු පෙන්වු හොඳම කෙටිදුර ධාවනය සහ බැංකු නිලධාරීන්ට රෑපවාහිනී කැමරා ඉදිරියේ කළ තිත්ත බැණ වැදීමයි. දෙදිනකට පසු මහ බැංකු නිලධාරියකු ඊට කණ පැලෙන වක්‍ර පිළිතුරක් දුන් විට ගෝඨාභය කට වසා ගත්තේය.

ගොව්යන්ට වගා කරපල්ලා යැයි කීවාට වගා සරුවන්නේ නැත. භාන්ඩ නිශ්පාදනය කරපල්ලා යැයි සුලු කාර්මිකයිනට කීවාට දියුණු නිශ්පාදන ඇති වන්නේ නැත. ඒ සඳහා ප්‍රතිපත්ති සැළසුම් අවශ්‍යය. අණදීම් මගින් රටක් ගොඩනැගිය නොහැකිය.

අද අප හමුවෙහි ඇති ලොකුම තර්ජනය වන පශ්චාත් කොවිඩ් අති භයානක ආර්ථික අර්බූදයට මුහුණ දීමට නම් කෙටිදුර ධාවක පිළිවෙතකට නොහැකිමය. ජනාධිපති රාජපක්ෂට  යථාර්තවාදී සමාජ දේශපාලන ආර්ථික දැක්මක් නැත. ඔහුගේ දැක්ම සිංහල බෞද්ධකරණය, හමුදාකරණය සහ අවනීතිකරණයයි. එවැනි රාජ්‍ය පාලනයක් එළඹෙන අර්බූදයන් ජයගැනීමට අසමත් වනු ඇති අතර ශ්‍රී ලංකාව අභ්‍යන්තර වශයෙන් බෙදා වෙන්කර අන්තර් ජාතික වශයෙන් හුදකලා කිරීමකට මඟ පාදනවා ඇත.

එලඹෙන මහමැතිවරණයෙහිදී රාජපක්ෂවරුන් හැකිතාත් දුර්වල කිරීම මඟහැරිය නොහැකි වගකීමක් සහ යුතුකමක් වන්නේ එනිසාය.

Back to Top