Sri Lanka Brief
පුවත්විවරණසැඟව තිබූ වෙඩිතලතිව් කඩොලාන ප්‍රජාවට එරෙහි බලධාරීන්ගේ තීරණ! – ධනුෂ්ක සිල්වා සහ  පියුමනී රණ්සිංහ

සැඟව තිබූ වෙඩිතලතිව් කඩොලාන ප්‍රජාවට එරෙහි බලධාරීන්ගේ තීරණ! – ධනුෂ්ක සිල්වා සහ  පියුමනී රණ්සිංහ

by

කඩොලාන මුල් පෙන්වන පුස්තකාල ජායාරූපය අන්තර් ජාලායෙනි.

ශ්‍රී ලංකාවේ කඩොලාන වැස්ම මෙරට පවත්නා අමිල සම්පතකි.

ලෝකය පුරා විසිරී ඇති කඩොලාන විශේෂ 54න් විශේෂ 26ක් ලංකාවේ දක්නට ලැබෙනවා. එය ලොකු, කුඩා ශාක හා සත්ව විශේෂ රාශියකට වාසස්ථාන සපයනවා. විශේෂයෙන්ම කඩොලාන කුඩා ප්‍රමාණයේ මතස්‍යයින් හා බෙල්ලන් ස්වභාවිකව බෝ කරන තවාන් බිමක්. සුනාමි, කුණාටු, තීව්‍ර මුහුදු තරංග හා උදම් රළ තත්වයන්ගෙන් වෙරළ රැකීමේ කාර්යයට ස්වභාවිකවම කඩොලාන ප්‍රජාව සැදී පැහැදී සිටී. එමෙන්ම මුහුදු ජලය ගොඩබිමට ඇතුළුවීමේදී ස්වභාවික බාධකයක් ලෙස ක්‍රියා කරන්නේ ද කඩොලාන වැස්මයි. එමගින් මුහුදට මායිම්ව ඇති ඉඩම් තීරුවල වගා කටයුතු කරගැනීමේ අමතර අවස්ථාවක් ගොවිමහතුන්ට ලබා දෙනවා. ඒනිසා මෙරට කඩොලාන පද්ධතිය මගින් කලපු හා වෙරළාශ්‍රිිත පරිසර පද්ධතිය රැකගැනීමේ ලා දැවැන්ත කාර්යභාරයක් ඉටු කෙරේ.

එහෙත් ඉස්සන් කර්මාන්තය, ලුණු කර්මාන්තය, සංචාරක කර්මාන්තය හා වෙනත් සංවර්ධන කටයුතු විශාල වශයෙන් කඩොලාන කපා දැමේ. 2010 වසරේදී ලංකාවේ හෙක්ටයාර 15,669 ක පමණ පෙදෙසක කඩොලාන ශාක වර්ධනය වී තිබුණත් 2019 වසර වන විට 12,700ක් තෙක් අවම වී තිබේ. ලංකාවේ විශාලතම කඩොලාන වනාන්තරය වෙඩිතලතිව් ස්වභාව රක්ෂිත භූමියයි. ලංකාවේ වයඹදිග වෙරළතීරයේ පිහිටා ඇති වෙඩිතලතිව් මන්නාරම දිස්ත්‍රික්කයේ වන්කලායි අභය භූමියට මායිම්ව පිහිටා තිබෙනවා. මේ ස්වභාව කඩොලාන බිම් තීරය දුර්ලභ මුහුදු ශාක, උදම් රළ කලාප, ලවණ මිශ්‍ර වගුරු බිම්, මුහුදු තණබිමි හා කොරල්පර යනාදියෙන් සමන්විත සුවිශාල පරිසර පද්ධතියක් ආවරණය කෙරේ. ලංකාවේ නිල් පිහිනුම් කකුළුවන්ගේ ජීවනභූමිය වෙඩිතලතිව්- පරම්පරා ගණනාවක් තිස්සේ ප්‍රදේශයේ ධීවර ප්‍රඡාවගේ අත ම‘ට සරු කරනවා- එසේම මේ අයස්කාන්ත පරිසර ප්‍රජාව සංචාරකයන් කුතුහලය අවුස්සමින් විදේශ විනිමය රට තුළට ගෙන එනවා.

වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයක්.

ස්වභාව රක්ෂිතයකට වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ ප්‍රතිපාදන යටතේ  වෙසෙස් නීතිමය ආරක්ෂණයක් ලැබෙනවා. එහෙත් කූට සංවර්ධනයක් වෙනුවෙන් කඩොලාන කපා වගුරුබිම් ගොඩ කිරීමට දේශපාලන නියෝජිතයන් අර අදින අවස්ථා එමටයි. මෙරට පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යංශය හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය තමන්ගේ කෙටිකාලීන සංවර්ධන අරමුණු වෙනුවෙන් වෙඩිතලතිව් යොදා ගැනීමට අනවතර උත්සාහයක යෙදෙමින් සිටී. ස්වභාව රක්ෂිතයක් ලෙස වෙඩිතලතිව් රක්ෂිතයට ලැබී තිබෙන නීතිමය ආරක්ෂණය ඉහත අමාත්‍යංශ වලට බාධාවක්. එමනිසා ඒ නීතිමය ආවරණය අවම හෝ හෑල්ලු කිරීමට ඔවුහු ඉතා සූක්ෂ්ම ලෙස කටයුතු කරමින් සිටිති. මේ පිළිබඳ ලංකාවේ පරිසර ආරක්ෂණය වෙනුවෙන් ක්‍රියා කරන සීමාසහිත පාරිසරික පදනම 2018 වසරේ සිට නොයෙක් අවස්ථාවලදී පෙන්වා දී තිබේ.

සැඟව තිබූ  රහස් පරිසර පද්ධතිය

වසර 2009ව පෙර වෙඩිතලතිව් වැදගත් වූයේ එහි ජෛව විවිධත්වය නිසා පමණක් නොවේ. කොටි සංවිධානයේ ප්‍රධාන නාවික කඳවුර මෙම ප්‍රදේශය තුළ පිහිටුවා තිබුණි. එසේම පෝක් සමුද්‍ර සන්ධියත් මන්නාරම් බොක්කත් අතරමැද පිහිටා තිබීම නිසා ශ්‍රී ලංකා රජයට ද නාවික මර්මස්ථානයක් ලෙස වෙඩිතලතිව් වැදගත් වේ. කෙසේ වෙතත් යුධමය තත්වය හමුවේ වෙඩිතලතිව් යනු අපෙන් දුරස්ව සැඟව තිබූ  රහස් පරිසර පද්ධතියකි.

2014 වසරේදී පැවති රජයේ මූලිකත්වයෙන් උතුරු පළාත තුළ පවත්නා ස්වභාව සම්පත් නිරීක්ෂණය කර සංරක්ෂණය හා ඒවාට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමට ඒකාබද්ධ උපායමාර්ගික පාරිසරික තක්සේරු වාර්තාවක් සපයන ලදී. එම වාර්තාවේ එක් ප්‍රධාන නිර්දේශයකින් වෙඩිතලතිව් ස්වභාව පරිසර පද්ධතිය රැක ගැනීමේ අත්‍යවශ්‍යතාවය පෙන්වා දී තිබෙන අතර තවදුරටත් වාර්තාව වනසත්ව හා වෘක්ෂලතා ආඥපනත යටතේ ‘වෙඩිතලතිව් “ඉහළ ප්‍රමුඛතා සංරක්ෂණ ප්‍රදේශයක්” ලෙස ගැසට් නිවෙිදනයක් හරහා ප්‍රකාශයට පත් කරන ලෙස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට නිර්දේශ කර තිබේ. මෙම වාර්තාව සකස් කරන ලද්දේ රාජ්‍ය ආයතන 25ක එකමුතුවෙනි. එම නිසා ඒකාබද්ධ උපායමාර්ගික පාරිසරික වාර්තාව ලංකාවේ ඉහළ ප්‍රමුඛතා වනජීවී ප්‍රදේශ සියල්ල තනි සංරක්ෂණ ජාලයක් ලෙස පවත්වා ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කර තිබේ. ඒ අනුව වෙඩිතලතිව් කඩොලාන ප්‍රදේශය ද ඇතුළුව මුහුදින් හා ගොඩබිමෙන් හෙක්ටයාර් 29,180 කප්‍රදේශයක් 2016 මාර්තු 1 දින (අතිවිශේෂ ගැසට් පත්‍ර අංක : 1956/13) වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය ලෙස ප්‍රකාශයට කරන ලදී.

අර්බුධකාරී කාල රාමුව

වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයක් ලෙස ප්‍රකාශ කිරීමෙන් වසරක් ගතවන තැන රක්ෂිත ප්‍රදේශයම කේන්ද්‍ර කර ගනිමින් ජලජ ජීවී වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය යෝජනා කරයි. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඇති බාධක අංක 1956/13 අතිවිශේෂ ගැසට් පත්‍රය හා වන සත්ත්ව හා වෘක්ෂලතා ආ පනතේ ප්‍රතිපාදනය. විශේෂයෙන් අදාළ  ගැසට් පත්‍රය ඉවත් කරන ලෙස ජාතික ජලජීවී අධිකාරිය 2017 වසරේ සිට විවිධ අවස්ථා වලදී රජයෙන් ඉල්ලා සිටී. යෝජිත ව්‍යාපෘතිය මගින් නැගෙනහිර පැසිෆික් සාගරයේ ජීවත්වන කිරි ඉස්සන් (Litopenaeus Vannamei) විශේෂයක් ද මතස්‍ය වර්ග හා බෙල්ලන් බෝ කිරීමට යෝජනා කෙරිණි. මෙහි ව්‍යපෘතිය නැති ප්‍රශ්න  රාශියක් ඇති කිරීමට මුල් වී තිබේ. ආගන්තුක සත්ව විශේෂයක් හඳුන්වා දීමේදී ජීවී විශේෂ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන ප්‍රතිපත්තිය මෙහිදී අනුගමනය කර නැත.

විශේෂඥයන් ආනයනය කරන ඉස්සන් විශේෂයේ බලපෑම හරියාකාරව අධ්‍යයනය කර නැති නිසා වෙඩිතලතිව් ජෛව පද්ධතියට බලපෑමක් විය හැකි ය. ජාතික ජලජීවී සංවර්ධන අධිකාරිය විසින් මෙම කිරි ඉස්සන් විශේෂය සිය ආදර්ශ මත්ස්‍ය ගොවිපළවලට ගෙන්වා තිබේ. ඒ පරිසර අමාත්‍යංශයේ නියෝගය ද නොසලකා හරිමිනි. මේ සියල්ලට අමතරව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිත භූමිය තුළ මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වීම හරහා පරිසර පද්ධතිය දැඩි අනතුරකට ලක් විය හැකියි. එය ඒකාබද්ධ උපායමාර්ගික පාරිසරික වාර්තාවේ අරමුණු බොල් කිරීමකි. තවද වෙඩිතලතිව් රක්ෂිත ප්‍රදේශයට දකුණින් පිහිටි මුන්දලම සිට පුත්තල දක්වා ඇති ජලජීවී වගා ව්‍යාපෘති මෑත කාලය පුරාම අසාර්ථක වීමේ ප්‍රවණතාවයක්ද දක්නට ලැබේ.

යහපාලන කෙරුවාව

එහෙත් එවක යහපාලන රජයේ තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ ගාමිණී ජයවික්‍රම පෙරේරා හා මහින්ද අමරවීර වෙඩිතලතිව් රක්ෂිතයේ සීමාවන් වෙනස් කර භූමි ප්‍රමාණය අඩු කිරීමට උත්සාහා දරා තිබේ. ඒ සඳහා කුප්‍රකට ගැසට් පත්‍රිකාවක් ද එවක ඉදිරිපත් කර ඇත. වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතට අනුව වනජීවී අමාත්‍යවරයාට ස්වභාව රක්ෂිතයක සීමා වෙනස් කිරීමට ආභිමතානුසාරී බලය ක්‍රියාත්මක කල හැක්කේ කොන්දේසි දෙකකට යටත් වේ. පළමුවැන්න ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමය. (2(4) වගන්තිය).  දෙවැන්න වෙනස් කිරීමෙන් සිදුවිය හැකි පාරිසරික ප්‍රතිවිපාක පිළිබඳ අධ්‍යයනය කිරීමයි (2(5) වගන්තිය).

ඒ අනුව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය අධ්‍යයන වාර්තාව 2015 වර්ෂයේ ඉදිරිපත් කරයි. මෙකී අධ්‍යනය වාර්තාවෙන් අවධානයට ලක්කෙරෙන්නේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පරිසර පද්ධතියකට අදාළ කරුණු නොව මෙරට දැනට ශේෂව ඇති විශාලතම කඩොලාන ප්‍රදේශය ද අයත් රක්ෂිත ප්‍රදේශයකි වාර්තාව ඉදිරිපත් කරන නිර්දේශ මත ස්වභාව රක්ෂිතයක මුල් භමි පරිමාව වෙනස් වේ. ඉන්පසු මෙම වාර්තාව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන අධිකාරියට යොමු කෙරේ. එම ආයතනය විසින් වාර්තාවේ ගුණාත්මක තොරතුරුවල හිඟකම හා ඇතිවිය හැකි ප්‍රතිවිපාක ගැන නිසි අවධානය යොමු කර නැති බව අවධාරණය කෙරිණි. ඊට අමතරව වෙඩිතලතිව් ස්වභාව රක්ෂිත භූමියේ ප්‍රමාණය අඩු කිරීමෙන් ජෛව විවිධත්වයට සිදුවන හානිය විශේෂයෙන් ඉස්මතු කර තිබේ.

ඉහත වාර්තාව නැවත අධ්‍යයනය කිරීම සඳහා 2019 දී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂඥ කමිටුවක් පත් කර ඇත. එහිදී ස්වභාව රක්ෂිතයේ සීමාවන් වෙනස් කිරීමෙන් වෙඩිතලතිව් පරිසර පද්ධතියේ අඛණ්ඩතාව ගිලිහීමෙන් විශාල පාරිසරික බලපෑමක් ඇතිවීමේ අවධානම අවධාරණය කරන ලදී. අදාළ විශේෂඥ කමිටුව සිය  අවසන්  නිර්දේශ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයට යොමු කර තිබේ. එසේ තිබියදීත් ගැසට් පත්‍රය අවලංගු කිරීමේ කතිකාව අද දක්වාම පවතී’

මෙහිදී වඩාත් අවධානම් සහගත කරුණ නම් විශේෂඥ කමිටුව අදාළ තාක්ෂණික හා නිර්දේශ ඉදිරිපත් කර තිබියදීත් ජාතික ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරිය හා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයේ සීමාවන් වෙනස් කර සිය ව්‍යාපෘතිය කෙසේ හෝ ක්‍රියාත්මක කිරීමේ දැඩි උවමනාවෙන් කටයුතු කිරීමයි.

පරිසර නීතිය හා නව ප්‍රවණතා

ශ්‍රී ලංකාව කඩොලාන වැස්ම ආරක්ෂණය හා සංරක්ෂණයට සහයෝගීතාවය දැක්වීමට එකගතාවය පළ කරමින් 2018 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය සම්මත කරන ලදී. 2019 මාර්තුවේදී ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව සමග එක්ව එක්සත් ජාතීන්ගේ පරිසර සභාව වෙත විශේෂ යෝජනාවක් ඉදිරිපත් කළේය. එමගින් ලෝක කඩොලාන ප්‍රජාව ආරක්ෂා කරගැනීමට අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට ලෝක නායකයින්ගේ අවධානය යොමුකිරීමේ අවශ්‍යතාවය ඉස්මතු කෙරිණ. 2020 ජනවාරියේදී මෙරට කඩොලාන වැස්ම ආරක්ෂා කිරීමට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කර තිබේ. එහි පරමාර්ථය වන්නේ දිවයින පුරා නොයෙක් ප්‍රදේශවල විසිරී ඇති ආරක්ෂා කිරීමේ කර්තව්‍යයට රාජ්‍ය ආයතන සම්බන්ධ කරගැනීමය. එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන විසින් නියම කර ඇති පරිසර නීතියේ මාර්ගෝපදේශන මූලධර්ම අනුව කඩොලාන ප්‍රජාව ආරක්ෂා කරගැනීමේ කාර්යට එරෙහිව ඇති තර්ජන හා අභියෝග ජයගැනීම දේශපාලන හා පරිපාලන බලධාරීන්ගේ වගකීම වේ.

පරිසර නීතියේ ආධිපත්‍යය

ලංකාවේ කඩොලාන පද්දතිය කෙමෙන් මියයමින් තිබෙනව. එසේවන්නේ මිනිස් ක්‍රියාකාරමකම් නිසා වීම බරපතල ඛේදවාචකයක්. වගකිවයුතු දේශපාලන පරිපාලන නිළධාරීන්ද ඊට වගකිවයුතුයි. ලංකාවේ විශාලතම කඩොලාන බිම ලෙස සැළකෙන වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයට අයත් මුල්  භූමි ප්‍රමාණය අඩු කර, වෙඩිතලතිව් රක්ෂිතයට අදාළ ගැසට් පත්‍රය අවලංගු කරීමට තැත් කිරීම එක් අතකින් මෙරට හා ගෝලිය පරිසර නීතියේ සාරය සුන් කර දැමීමකි. අනෙක් අතින් මෙරට පරිසර පද්ධතියේ අඛන්ඩත්වයට හානි කිරීමක්. මෙහිදී විශේෂඥයින් පරිසර නීතියට අනුව ඉදිරිපත් කර ඇති නිර්දේශ නොසළකාහරිමින් මෙරට පරිසර නීතියට දේශපාලන බලය මිශ්‍ර කරන රාජ්‍ය ආයතන හා නිළධාරීන් ගැන අවධානයෙන් සිටීම වැදගත්. මේ තත්වයට ඇති එකම හා හොදම පිළියම පරිසර නීතියට වංක දේශපාලනික හා නිලධාරී බලය කාන්දු නොවන ආකාරයට පරිසර නීතියේ මූලික ප්‍රතිපාදන සුරකින පිළිවෙතක් රැකීමයි.

Back to Top