Sri Lanka Brief
පුවත්විවරණශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන්ට යළිත් ‘භීෂණ යුගයක්’

ශ්‍රී ලංකාවේ දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන්ට යළිත් ‘භීෂණ යුගයක්’

by

දිගු කලක් තිස්සේ ඇණහිට තිබූ සිවිල් යුද්ධ සංහිඳියා ප්‍රයත්නවල අනාගතය පිළිබඳ බිය පහළ කරමින්, ශ්‍රී ලංකාව තුළ විරුද්ධ මත මර්දනය කිරීම සහ නැගී එන ඒකාධිපතිවාදය පිළිබඳව මානව හිමිකම් කණ්ඩායම් ජනතාවට අනතුරු අඟවා සිටී.

2009 දී අවසන් වූ රටේ වසර 26ක සිවිල් යුද්ධ කාලයේ දී මෙන්ම ඉන් ඉක්බිතිව පැවැති අයුරින්ම, පසු ගිය නොවැම්බරයේ පැවති මැතිවරණයෙන් පසු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ බලයට පත් වූ දා සිට, ආරක්‍ෂක හමුදා ඔත්තු බැලීම්, තර්ජන සහ වෙනත් ක්‍රියා මාර්ග ඉහළ ගොස් ඇති බව දේශීය මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් වාර්තා කර තිබේ.

යළිත් ශ්‍රී ලංකාව තුළ “භීෂණ තත්වයක්” ස්ථාපිත කරමින්..

ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදීන් පවසන්නේ ඔවුන් විශේෂයෙන් පැරණි උතුරු හා නැගෙනහිර යුධ කලාපවල දී විශේෂ පරීක්ෂාවලට ලක් වන බවයි. ජාත්‍යන්තර රතු කුරුස කමිටුවට අනුව, යුද්ධයේ දී අතුරුදහන් වූයේ යයි කියන පුද්ගලයින් අඩු තරමින් 16,000 ක් පමණ තවමත් වාර්තා ගත වී නොමැත. “ඔත්තු බැලීම් සෑම කාලයේම පැවතුණි, නමුත් මැතිවරණයෙන් පසු අප දුටු දෙය නම් එය වඩාත් විවෘතව හා වඩා ප්‍රචලිතව සිදු වීමයි,” යනුවෙන් කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිනියක වන ෂ්‍රීන් සරූර් පැවසුවාය.

රාජපක්ෂගේ ධූර කාලයේ මාස හයකට වඩා වැඩි කාලයක් තුළ ශ්‍රී ලංකාව මානව හිමිකම් සහ යුද සංහිඳියාව වේගවත් කිරීමේ පොරොන්දු සම්බන්ධයෙන් පසුබෑමකට ලක්ව ඇත. මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් බොහෝ ගණනක් සමග පැවැති සම්මුඛ සාකච්ඡා උපුටා දක්වමින් Human Right Watch පවසන්නේ, රාජපක්ෂ යළිත් ශ්‍රී ලංකාව තුළ “භීෂණ තත්වයක්” ස්ථාපිත කරමින් සිටින බවයි. බොහෝ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පවසන්නේ, තර්ජනාත්මක දුරකථන ඇමතුම් සහ වෙනත් පීඩන උත්සන්න වන බැවින් ද, නොවිසඳුණු ඝාතන සහ පැහැර ගැනීම් සහිත මෙරටේ ඉතිහාසය ගැන හොඳින්ම දන්නා හෙයින් ද ඔවුන් ස්වයංවාරණයක් ඇති කර ගෙන සිටින බවයි. ජන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුවට අනුව, අවම වශයෙන් වාර්තාකරුවන් දෙදෙනෙකු මේ වන විටත් රටින් පලා ගොස් ඇත.

මානව හිමිකම් කවුන්සිලයේ බැඳීම් වලින් ඉවත් වුනා..

පසු ගිය පාලනාධිකාරිය විසින් 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දෙන ලද කැපවීම්වලින් ඉවත් වන බව ශ්‍රී ලංකාව පෙබරවාරි මාසයේ දී නිවේදනය කළේය. සිවිල් යුද්ධයේ දී සිදු වූ අපයෝජන පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විවිධ ක්‍රියා මාර්ග ගැනීම පිණිස [පසු ගිය රජය] එසේ පොරොන්දු වී තිබිණ.

පසු ගිය දශකය තුළ රටේ වැඩි වශයෙන් බෞද්ධයන් වන සිංහල බහුතරය සහ වැඩි වශයෙන් හින්දූන් වන දෙමළ සුළුතරය අතර පශ්චාත් යුධ සංහිඳියාව පිළිබඳ සැලකිය යුතු යමක් සිදු නොවිණ.

රාජපක්ෂගේ නොවැම්බරයේ පැවති මැතිවරණ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ බලවත්ම, එහෙත් බෙදුණු පවුලක් නැවත බලයට පැමිණීම සනිටුහන් කළේය.

ශ්‍රී ලංකාවේ හමුදාව, දෙමළ කොටි නමින් හඳුන්වන ලද දෙමළ ඊලම් විමුක්ති කොටි සාමාජිකයන් ප්‍රචණ්ඩකාරීව පරාජය කළ 2009 දී ආරක්ෂක ලේකම්වරයා වූයේ රාජපක්ෂය; ජනාධිපති වූයේ ඔහුගේ සහෝදරයා වූ මහින්දය. පශ්චාත් යුධ සමයේ දී පවා, මහින්ද රාජපක්ෂ රජය පැහැර ගැනීම් සහ නීති විරෝධී ඝාතන ඇතුළු මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ චෝදනාවලට ලක් විය. මහින්ද 2015 මැතිවරණයෙන් නෙරපා හරින ලදී. නමුත් පසුගිය වසරේ ගෝඨාභය බලයට පත්වූ විට ඔහු ඉක්මනින්ම තම සහෝදරයා අගමැති ධුරයට පත් කළේය.

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවක් නැත..

මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවක් නැත යන්නේ අර්ථය වන්නේ ගෝඨාභය රාජපක්ෂ කිසිදු ව්‍යවස්ථාදායක අධීක්ෂණයකින් තොරව ක්‍රියාත්මක වන බවයි. සැලසුම් කළ අපේ‍්‍රල් මැතිවරණයට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලදි. කොරෝනා වෛරසය නිසා ඡන්දය අගෝස්තු දක්වා කල් දැමූ නමුත් ඊට පෙර පාර්ලිමේන්තුව නැවත කැඳවීම රාජපක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වරාය හා ගුවන් සේවා පිළිබඳ වගකිව යුතු අමාත්‍යාංශ ඇතුළු රජයේ ප්‍රධාන ආයතනවලට ඔහු විසින් හිටපු හමුදා නිලධාරීන් පත් කර තිබේ. සිවිල් යුද්ධයේ අවසාන දිනවල අණ දෙන නිලධාරියෙකු වූ, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හමුදා ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, රජයේ කොරෝනා වෛරස බලකායට නායකත්වය දෙයි.

අබෞද්ධ හා අසිංහල අය බැහැර කර..
එමෙන්ම, මේ මාසයේ දී, නොපැහැදිලි බලතල සහිත “කාර්ය සාධක බලකා” දෙකක් රාජපක්ෂ විසින් නිර්මාණය කරන ලද අතර, ඒවා පවත්නා ආයතනවලට සමාන්තරව ක්‍රියාත්මක විය හැකි යැයි මානව හිමිකම් කණ්ඩායම් බියෙන් පසු වෙති. එකක්, “සමාජ විරෝධී ක්‍රියාකාරකම්” මැඩ පැවැත්වීම සඳහා නිර්මාණය කරන ලද ආයතනයක් වන අතර එය මෙහෙයවන්නේ ආරක්ෂක හා බුද්ධි අංශ නිලධාරීන්ය. සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම සඳහා පිහිටුවා ඇති තවත් කාර්ය සාධක බලකායක් විසින් අබෞද්ධ හා අසිංහල අය බැහැර කර ඇති බව පෙනෙන්නට ඇත.

International Crisis Group මැයි මස වාර්තාවේ සඳහන් කළේ, රාජපක්ෂගේ ධුරයේ පළමු මාස හය, “ආක්‍රමණශීලී ලෙස සිංහල ජාතිවාදී, පවුල් කේන්ද්‍රීය, සහ අධිපතිවාදී” වූ බවයි.

විමර්ශන අත්හැර දැමීමට බලපෑම් කිරීම..

යුද්ධයේ උග්‍ර ප්‍රචණ්ඩත්වයේ කේන්ද්‍රස්ථානය වන කිලිනොච්චි, මුලතිව් සහ වවුනියා යන උතුරු දිස්ත්‍රික්කවල, වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩව වාඩි වී විරෝධතාවක් සංවිධානය කරමින් සිටින පවුල්වල සාමාජිකයන් පවසන්නේ ඔවුන් වැඩි වැඩියෙන් ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ නිරීක්ෂණයට හා තර්ජනයට ලක්ව සිටින බවයි.

තම ආදරණීයයන් අතුරුදහන් වීම් පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනවලට වඩා ඒ සඳහා වන්දි සහ නිල මරණ සහතික ලබා ගැනීමට එකඟ වන ලෙස රාජ්‍ය නිලධාරීන් විසින් එම පවුල්වලට බලපෑම් කර ඇත. මේ දක්වා, බොහෝ පවුල් ඊනියා “නොපැමිණීමේ සහතිකයක්” පිළිගෙන ඇති අතර, එමගින් විමර්ශන සඳහා බලා සිටින අතරතුර මාසික වන්දි මුදලක් ලබා ගත හැකිය. දශක ගණනාවක් තිස්සේ තම ආදරණීයයන් සොයමින් සිටින පවුලේ සාමාජිකයින්ට හැඟෙන්නේ නැවත ඔවුන් නොසලකා හැර ඇති බවයි.

19 හැවිරිදි ජදුසන් පැවසුවේ, යුද්ධය අවසන් වීමට මාස දෙකකට පෙර, 2009 මාර්තු මාසයේ දී, ඔහුගේ පියා ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ දී අතුරුදහන් වූ බවයි. “අප කළ හැකි සෑම දෙයක්ම කළා. අප සෑම රජයේ ආයතනයකටම ගොස් තිබෙනවා,” ඔහු පැවසීය. “මෙතෙක් අපට කිසිවක් දැන ගන්නට ලැබුණේ නැහැ.”

යුක්තිය සොයා ගිය අවුරුදු ගණනාවම වතුරේ..

බොහෝ පවුල් තවමත් පිළිතුරු සොයමින් සිටිනවා සේම, මරණ සහතිකයක් භාර නොගැනීමට ඔහු තීරණය කර ඇති අතර, එයින් අනාගතයේ දී විමර්ශනයකට ඇති අවස්ථා අහිමි වේ යයි ඔහු බියෙන්පසු වේ. අවුරුදු 15කට පෙර ස්වාමි පුරුෂයා අතුරුදහන් වූ 45 හැවිරිදි යෝගේෂ්වරී පැවසුවේ “එයින් යුක්තිය සොයා ගිය මේ අවුරුදු ගණනාවම වතුරේ යනු ඇත,” යනුවෙනි.

සිවිල් යුද්ධයේ නොවිසඳුනු අතුරුදහන් වීම් පිළිබඳ පරීක්ෂණ මැඩ පැවැත්වීමට රජය අපේක්ෂා කරන්නේ යයි ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ දහස් ගණනකගේ පවුල් බියෙන් පසු වෙති. පලිගැනීමේ බියෙන් ඔවුන්ගේ සම්පූර්ණ නම් භාවිතා නොකරන ලෙස ජදූසන් සහ යෝගේෂ්වරී යන දෙදෙනාම ඉල්ලා සිටියහ.

සිවිල් යුද්යෙන් පසු වින්දිතයන්ගේ උරුමය නැවත සකස් කිරීම ශ්‍රී ලංකාවේ සංවේදී කාරණයකි. දෙමළ කොටි සහ හමුදාව යන දෙපාර්ශවයටම යුධ සමයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර, රටේ අතුරුදහන් වූ දහස් ගණනක් වූ පිරිසට සියලු ජන කොටස් අයත් වේ.

එහෙත් සංහිඳියා ප්‍රයත්න, විශේෂයෙන් විමර්ශන හා නඩු පැවරීම් සඳහා ජාත්‍යන්තරයේ මැදිහත් වීමට බොහෝ සෙයින් විරුද්ධ වන්නේ සිංහල ජාතිවාදීන් හෙවත් රාජපක්ෂ ජනාධිපතිකරණයේ ප්‍රධාන බල කඳවුරය.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දී ඇති වගකීම්වලින් තම රට ඉවත් වන බව නිවේදනය කරමින් පෙබරවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ, මීට පෙර දුන් පොරොන්දුවලින් “ශ්‍රී ලංකාවේ ජනතාවගේ ස්වෛරීභාවය උල්ලංඝනය” වන බවයි. එසේ ප්‍රතිඥා දී ඇත්තේ අපයෝජන විමර්ශනය කර දඬුවම් කිරීම සඳහා උද්ඝෝෂණය කිරීම මගින් මහින්ද රාජපක්ෂ පරාජය කර 2015 දී තේරී පත් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය. කෙසේ වෙතත්, කිසිදු නිල සංහිඳියා ප්‍රයත්නයක් සිරිසේනගේ ධුර කාලය තුළ ද, යුද්ධය අවසන් වී වසර 11ක් තුළ ද සිදු නොවිණ.

OMP කාර්යාලය නොන්ඩි ගැස්සීම..

අතුරුදහන් වීම් පිළිබඳ විමර්ශනය කිරීමේ වගකීම පැවරී ඇති රජයේ ආයතනය වන, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP), 2018 වන තෙක් එහි කටයුතු ආරම්භ කළේ නැත. සංහිඳියා ගැටළු සඳහා ක්‍රියාකාරීව ක්‍රියා කරන එකම රජයේ ආයතනය එයයි.

කොළඹ පදනම් කරගත් මානව හිමිකම් ප්‍රලේඛන මධ්‍යස්ථානයක් වන Inform උපදේශක රුකී ප්‍රනාන්දු, රාජපක්ෂ රජය විසින් OMP බලතල කපා හැරීමෙන් දේශීය වශයෙන් ඊට සමාන පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරයි. “කාරණය එය වසා දැමීම ගැන නොවේ,” ප්‍රනාන්දු පැවසීය. “එය ඔවුන් පරිපාලනමය වශයෙන් නොණ්ඩි ගැස්සවීමක්.”

මාර්තු මාසයේ ප්‍රකාශයක් නිකුත් කරමින් OMP ප්‍රධානී සාලිය පීරිස් කියා සිටියේ, රජය “සත්‍යය තහවුරු කිරීම හෝ යුක්තිය සහතික කිරීම සිදු නොකර වන්දි ප්‍රදානය පමණක් කරනු ඇත” යන භීතියෙන් අතුරුදහන් වූවන්ගේ පවුල් බොහොමයක් පසු වන බවයි. “OMP ඵලදායී වීමට නම්, එයට රජයේ සහ රාජ්‍ය ආයතනවල ප්‍රමාණවත් සහයෝගය අවශ්‍යයි,” පීරිස් පැවසීය.

යුක්තිය සහ සත්‍ය පිළිබඳ බලාපොරොත්තු නතර වනු ඇත..

විමර්ශන සහ සංහිඳියා ප්‍රයත්නවලට එරෙහිව රාජපක්ෂ රජය සිය ස්ථාවරය වේගවත් කරනු ඇතැයි සරූර් විශ්වාස කරයි. “ශ්‍රී ලංකාවේ වරින් වර වෙනස් වන යුක්තිය සහ සත්‍ය පිළිබඳ බලාපොරොත්තු ඉන් නතර වනු ඇත,” ඇය පැවසීය෴

(මෙම තොරතුරු වාර්තා කර ඇත්තේ නිදහස් මාධ්‍යවේදියෙකු වන අතර ඔහුගේ ආරක්ෂාව උදෙසා නම සඳහන් කර නැත.)

-2020 ජුනි 10 වන දින The New Humanitarian ‌වෙබ් අඩවියේ පළ වූ, ‘For Sri Lanka’s activists, a ‘state of fear’ resurfaces’ නම් ප්‍රවෘත්ති වාර්තාව සිංහලට පරිවර්තනය කළේ ආනන්ද/ ලංකා ඊ නිව්ස්.

 

Back to Top