Sri Lanka Brief
පුවත්විවරණවිනෝදය, සමයමක් කර නොගත් සිංහල විනෝද කලාවේ විනෝද ම සමයේ, නියමුවා – ඇනස්ලි ඩයස්..! – අනුරසිරි හෙට්ටිගේ

විනෝදය, සමයමක් කර නොගත් සිංහල විනෝද කලාවේ විනෝද ම සමයේ, නියමුවා – ඇනස්ලි ඩයස්..! – අනුරසිරි හෙට්ටිගේ

by

ඔහු, ඇනස්ලි ඩයස් උප්පත්තිය ලබන්නෙ 1927 ජනවාරි 31 තරම් ඈත කාලයක කැලණි ගං මිටියාවතේ දළුගම නම් ගම්පියසෙ විසූ භක්තිමත් කතෝලික පවුලක. සිංහල ඉංග්‍රීසී භාෂා ද්වයෙන්ම සමත්කම් පාමින් අධ්‍යාපනයක් ලබන ඇනස්ලි ගුරුවරයෙකු ලෙස ටික කලක් සේවය කරනවා. ඉන් පස්සෙ ඔහු තමාගේ ජීවන වෘත්තිය ලෙසින් තෝරා ගන්නෙ පරිවර්තක වෘත්තිය. ඉතා දක්ෂ පරිවර්තකයෙකු වූ ඇනස්ලි ඩයස් කොළඹ නගර සභාවේ පරිවර්තකයෙකු ලෙසින් වැඩ කරල විශ්‍රාම ගන්නේ පළමු ශ්‍රේණියේ පරිවර්තකයෙකු ලෙසයි.

ඇනස්ලි විවාහකයෙක්. ඔහු දියණියන් සිව් දෙනෙකුට සහ පුතුන් දෙදෙනකුට පිය පදවි දරා 2009 ජූනි මස 12 දින, ඉපදුන හැම මිනිසෙකුට ම උරුම ඉරණම් ගමන යනවා. ඒ කියන්නෙ ඔහු ඇදහූ ආගමේ විශ්වාසයට අනුව දෙව් මව්තුරුළට වැදෙනවා.

ඇනස්ලි ඩයස් කියන ඒ වැදගත් මිනිසා, හදිසියෙම මට මතක් වෙන්නෙ ඇයි කියන ප්‍රශ්නය ඔබට දැනෙන්න පුළුවන්. ඒත් මේ සටහන ආරම්භක ශීර්ෂය ලෙස මා සඳහන් කළ විනෝදය සමයමක් වූ සමයක, විනෝද ම සමයක් ගැන ඉඟියක් කරනවා. ඒ තමයි මගේ සටහනේ මුඛ්‍යාධ්‍යාශය.

‘විනෝද සමය”

1950, 60, 70, 80, 90, දශකවල ළමා විය ගෙවූ, ගුවන් විදුලිය මගින් දශක හතරකුත් අනතුරුව රූපවාහිනියත් තුළින් විනෝදාස්වාදය සෙවු පරපුරකට ‘විනෝද සමය” යන්න නුහුරු නුපුරුදු වචන දෙකක් නොවන බව මට සහතිකයි. මන්ද ඒ යුගයේ ගුවන් විදුලිය ඔස්සේ සෑම මසකමත්, පසුව සතිපතා ලෙසත් අපගේ විනෝද කලාවේ මහා කවුළුව විවර කිරීමේ නයුවෝ අතර ඇනස්ලි ඩයස් ප්‍රමුඛ හඬ කලාකරුවන් පෙරමුණේ සිටින බැවිනි. විනෝද සමය අයිති වූයේ ඔවුන්ටය. ඒත් ඵලය ලැබුණේ අපට ය. සැමුවෙල් රුද්‍රිගෝ, බර්ටි ගුණතිලක සමඟ ඇනස්ලිගේ නම ඈඳෙන්නෙ ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසයේ පුරාවෘත්තයක් ලෙසින්. ඒ විනෝද සමය හරහා. සැබැවින්ම මේ Good Tribala (Good Triple) එකිනෙකාට නොපරදින අන්දමින් යුගයක ජනතා ප්‍රසාදයේ ඉහළම අගයන් ලද අය බව අපට සාක්ෂි විය හැකියි.

මේ මහා විනෝද යුගයේදී ගාම්භීර ගැමි කටහඬකින් අප අමතන අමාරිස් අයියා සැමුවෙල් රුද්‍රිගෝ ය. ඔහු උගත් ගැමි චරිතයකි. හඬින් පමණක් නොව රැඟුමෙන් ද අපගේ සිනාවේ ආකර්ෂණය වන්නේ බර්ටි. ය. හෙවත් බර්ටි ගුණතිලකය. ඔහු නිතර ම වැඩිහිටි පෙනුමැති බාලයෙකි. ඉඳහිට තරුණ පෙම්වතෙකි. විටෙක මෝඩ පහේ ළමයෙකි. මේ මොකක් කළත් බර්ටි සිනාවේ කවුළු දොර වැනිය. මේ දෙදෙනා අතර සිටගෙන ඉන්නේ අන් කවරෙක්වත් නොව බොහෝ විට මහත්තයා (හාමු මහත්තයා) චරිතය දරන ඇනස්ලි ඩයස් ය. ඔහුගේ හඬ තේජවන්ත ය. ගැඹුරු ය. වැදගත් ය. මේ තිදෙනා එවක සමාජ හරස්කඩක් රසිකයාගේ සිනහ කවුළුවෙන් ඇතුළට අරගෙන එති. මේ තිදෙනා ගැමියන් ලෙසින්, විකාර රූපි තරුණයන් ලෙසින් වැදගත් මහත්තුරු ලෙසින් තමන් ඉදිරියේ සිට තමන්ව සිනා ගස්සන්නේ තමන්ගේ ම ක්‍රියා ඇසුරෙන් බව රසිකයාට වැටහෙන්නේ පසුවයි. විනෝද සමයක මහා විනෝදය වූ මේ මිනිස් ත්‍රිත්වය දශක පහක පමණ කාලයක් ගුවන් විදුලි රසිකයන් සේම පසුව රූපවාහිනි ප්‍රේක්ෂකයන් ද විනෝදයෙහි ගිල්වමින් ලබා දුන් ආනන්දය මහරු ය.

‘විහිළු තහළු” වැඩ සටහන

1954 දී ලංකා ගුවන් විදුලිය වෙතින් විකාශය ආරම්භ වූ ‘විහිළු තහළු” වැඩ සටහන මේ ආකාරයේ විනෝද සමයන්හි ආරම්භක සංඥාව වුවත් පසුව ඊට එකතු වන ඇනස්ලිලා හරහා (සහ තවත් අය) විනෝද සමය බවට පත්වීම අපේ මතක සීමාවෙ තිබෙන්නක්. එක එක යුගවලදී ඇනස්ලි සැමුවෙල් බර්ටි අතරට තවත් අය එකතු වන අතර ඒ අතරින් සමීපතම මතකය ඇත්තේ ගැමුණු විජේසූරිය සහ මර්සි එදිරිසිංහ ගැන ය. මේ මිනිසුන් එකම හුයකින් බැඳ තබා ගත් මහා බන්ධකයා වූයේ ඇනස්ලි ය කීවොත් වයස අවුරුදු 90 වද ඉක්මවමින් තවමත් ජීවත් වන බර්ටි ගුණතිලකයන් අමනාප නොවන බව මගේ විශ්වාසයයි. මන්ද යත් මේ සියලුම විනෝදයන් සමාජය තුළින් අහුලා සිය මිතුරු කැල ඔස්සේ සමාජයට පෙරළා මුදා හරින්නේ ඇනස්ලියන් වන හෙයිනි. ඔහු අද අර්ථයෙන් පිටපත් රචකයා ද වන්නේ බැවින් විනෝදයේ මහා බර ඔහු කර තබා සිටින බව කිව මනාය..

මිය යනවිට පන්දහසකට වැඩි පිටපත් සංඛ්‍යාවක් රචනා කර තිබූ ඇනස්ලි ඒ හැමකක් මගින් සමාජයේ මිනිස් ක්‍රියාකාරකම්හි ඇති සැබෑ හාස්‍ය දැක්වීමේ මහා ප්‍රාතිහාර්යය පෑ බවක් දැනෙයි. සැබැවින් ම එය අපූරු දක්ෂතාවකි. එනිසා ම ඔවුන්ගේ විනෝද යුගය ලංකාවේ සුපිරි විනෝද සමය වූ බව කීම අසාධාරණයක් නොවන්නේ අද වනවිට දක්නා ලැබෙන විහිළුවල ඇති ස්වයං සිනහව ඇහෙන දකින කල්හිය. එකල්හි ඇනස්ලිලා බර්ටිලා සැමුවෙල්ලා මර්සිලා ගැමුණුලා රසිකයන් සිනහ ගැස්සුවේ බරසාර රංගන ඉරියව් සමඟ ගැටෙමිනි. කිසිම දිනක ඔවුන් සිය විහිලු තුළ සිනහ වූයේ නැත. ඔවුන් ඒවා සැබෑ චරිත බවට පත් කළ නිසා සිනහව රසිකයාට පමණක් උරුම කෙරිණ. ඇනස්ලිගේ පිටපත එතරම් බලවත් කාර්යයක් විනෝදය තුළ ඉටු කළෙන් ජයග්‍රහණය ප්‍රබල විය.

අද වින විට මා විසින් නම් කරන ලද විනෝද මිහිර තුළ අප නැළවූ පිරිසෙන් ජීවත වින්දනය අත්දකින්නේ බර්ටි ගුණතිලකයන් පමණි. අන් සියල්ලන්ම අප හැර ගොසිනි. නමුදු ඔවුන් අප වෙනුවෙන් පමණක් නොව හෙට උපදින දරුවන් සඳහා ද ඉතිරි කොට ගොස් ඇති විනෝදය ආදර්ශවත් ය. මිහිරිය. විනෝද ම ය අර්ථයට වටිනාකම් දෙන්නේය.

ඇනස්ලි ඩයස් මුල්කොට ගෙන මේ සටහනට මා ප්‍රවේශ වීමට සිතුවේ හෙට (ජූනි 12) ඔහුගේ 11 වන අනුස්මරණ දිනය යෙදෙන බැවිනි. මියගිය ඇනස්ලි ඩයස් මහතාගේ දියණියන් දෙදෙනකු මා සමඟ එකම ආයතනයේ වැඩ කර ඇති අතර එයිනුදු ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ මා සමඟ වැඩ කළ දැනට කැනඩාවේ වෙසෙන ජයමාලි ඩයස් මට ඉතා සමීප ඇසුරක සිටියෙකි. එසේම රූපවාහිනී සංස්ථාවේ ඇගේ නැගණියක් මා සමඟ සේවය කළ ද එය ඉතා කෙටි ඇසුරකට සීමා වූයේ ඇයද කැනඩාවේ පදිංචියට ගිය බැවිනි. ඇය නීලිකා ඩයස් (විජේරත්න).

බර්ටි ගුණතිලකයන්ගේ දියණිය කුමුදිනි ගුණතිලක, රූපවාහිනියෙන් මා විශ්‍රාම ගන්නා තුරු සේවය කළ වසර 28 දීම ඉතා ළඟින් ඇසුරුු කළ අයෙකි. එබැවින් වරක් දෙකක් මේ පවුල් සමඟ සිදු වූ සමීප කටයුතුවලදී ඇනස්ලි සහ බර්ටි මහත්වරුන් දුරින් සිට හෝ ඇසුර කොට ඇත්තෙමි. නමුත් සැමුවෙල් රුද්‍රිගෝ මහතා සමඟ එවැනි ඇසුරක වාසනාව මට අහිමි විය. මේ මහා යුග පුරුෂයන් තිදෙනා ලංකාවේ මහා කලා අධිකාරියේ් සැමරුම්වලින් පිටස්තරව සිටිතත් ඔවුන් ඉතිහාසය තුළ රඟපෑ භූමිකා ඉතිහාසයෙන් මකා දැමීම කළ හැකිි කිසිවකු සිටිනු බැරිය.

එනිසා, සටහන අවසන් කරමින් පළමුව, ජීවිතේ පරමායුෂ වින්දනය කරන බර්ටි ගුණතිලක මහා කලාකරුවාට නිරෝගි සුව සම්පත ලැබේවා කියා පතන අතර සැමුවෙල් මර්සි, ගැමුණු (සහ තවත් අය) සහ මගේ සටහනේ ප්‍රධාන නියමු ඇනස්ලි ඩයස් මහා කලාකරුවාණන්ගේ නාමයන් සදා අනුස්මරණය වේවා කියා පතමි.

එසේම අපේ බාල කාලයේ අප විඳි මහා පීඩාවලින් විනිර්මුක්තව ජීවිතේ සතුට වින්දනය කිරීමට ඔබලා දුන් සහායට සදා ගුණගරුක වෙමි.

අනුරසිරි හෙට්ටිගේ
2020. 06. 11

From Face Book

Back to Top