Sri Lanka Brief
පුවත්විවරණවින්දිතයින්ගේ විශ්වාසය කරකරලා, බයේ, ගේ ඇතුළට රිංගලා රෙද්දක් පොරවගෙන නිදාගන්න බැහැනේ – නීතිඥ අචලා සෙනවිරත්න

වින්දිතයින්ගේ විශ්වාසය කරකරලා, බයේ, ගේ ඇතුළට රිංගලා රෙද්දක් පොරවගෙන නිදාගන්න බැහැනේ – නීතිඥ අචලා සෙනවිරත්න

by

අතුරුදහන් කිරීමට අදාල නඩුව, මීතොටමුල්ල ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාල නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමට අදාල නඩුව, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න පිළිබඳ නඩුව, මේජර් අජිත් ප්‍රසන්න ඝාතනය කිරීමට අදාල නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමට අදාල නඩුව, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න පිළිබඳ නඩුව, මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු නාවික හමුදා සෙබළුන් පිරිසක් 11 දෙනක්ව කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමට අදාල නඩුව, මීතොටමුල්ල ප්‍රදේශයේ තරුණයකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට අදාල නඩුව, වැලිකඩ සිරකරුවන් ඝාතනය කිරීමට අදාල නඩුව, හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න පිළිබඳ නඩුව, මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු පිරිසකට එරෙහිව අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුව ඇතුළු නඩු කිහිපයක අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරියක ලෙස පෙනී සිටින නීතිඥ අචලා සෙනෙවිරත්න පසුගිය සතියේ තමන්ට තර්ජන ඇති බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි. මේ සංවාදය එම පැමිණිල්ල පිළිබඳවය.

ඔබ පැමිණිල්ලෙහි සඳහන් කර තිබුණු තර්ජන මොනවාද? ඒ පැමිණිල්ල සඳහා පසුබිම මොකක්ද?

කොවිඩ්-19 වසංගතය නිසා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව සුනිල් රත්නායක කියලා පුද්ගලයෙක්ට ජනාධිපති සමාව ලබාදුන් බව අපි දන්නවා. ඒ මොහොතේ ෆේස්බුක් ආදී හැමතැනම ප්‍රචාරය වුණා ඒ තීන්දුව දුන්නේ අධිකරණයේ වැරැද්දක් නිසා කියලා. අධිකරණය වැරදි බවත්, අධිකරණ තීන්දුව පිළිගන්න බැරි බවත්, අධිකරණයේ ඉන්නේ මෝඩ පිරිසක් කියලත් සමාජ මාධ්‍ය ඇතුළු ගොඩක් තැන්වල අදහස් පළවුණා. සමහර නීතිඥවරුන් හා සමහර පුද්ගලයන් ෆේස්බුක් එකේ දාලා තිබුණා. ඒ වෙලාවේ මම මගේ ෆේස්බුක් ගිණුමේ තීන්දුවේ අධිකරණ තීන්දුව දැම්මා. එහිදී ඉදිරිපත් වූ සාක්ෂි, ඒ නඩුව ඇදී ගිය විදිය, ශ්‍රේෂ්ඨාධිකරණයෙනුත් ඒ තීන්දුව අනුමත වූ විදිය මගේ ගිණුමේ දැම්මා. අධිකරණයට අපහාස කරමින් සමාජ මාධ්‍යවල පළ වූ ප්‍රචාරයන්ට එය පිළිතුරක් වුණා. ඒ පෝස්ට් එක දාපු දවසේ හවස් වෙනකොට ගොඩක් ගිණුම් වලින් ඇවිත් නරක විදියට ප්‍රතිචාර දක්වලා තිබුණා. කුණුහරුප පවා එහි දාලා තිබුණා. ඒක මගේ ගිණුමේ තිබුණු දේකට ප්‍රතිචාරයක් ලෙස සලකමු. එහෙත් ඊට පහුවදා මගේ ෆේස්බුක් ගිණුමේ තිබුණු ඡායාරූප අරගෙන, ඒවා උඩ කුණුහරුප ලියලා, මගේ ඡායාරූප සංස්කරණය කරලා දැන්වීම් හදලා හුවමාරු කරලා තිබුණා. මගේ වෘත්තියෙන් මාව අයින් කරන්න ඕනෑ, මාව මරන්න ඕනෑ වගේ අදහස් තියෙන දැන්වීම් දාලා තිබුණා. මේවා ෆේස්බුක් එකේ 18,000කට වඩා හුවමාරු වෙලා තිබුණා. ඊට අමතරව මට සුදුකොඩි දානවා වගේ අදහස් එක්ක පෞද්ගලික මැසේජ් එවලා තිබුණා.

ඒ දවස්වලම පැමිණිලි කළාද?

ඒ වෙලාවේ ලිඛිත පැමිණිල්ලක් කරන්න වෙලාවක් තිබුණේ නැහැ. අපි ඇඳිරි නීතිය යටතේ හිටියේ. ඒ වෙලාවේ මම අවශ්‍ය තැන්වලට දූරකථනයෙන් දැනුම් දුන්නා. එහෙත් පියවරක් නොගත් නිසා මම පසුගිය සතියේ සීඅයිඩීයට පැමිණිල්ල දාන්න ගියා. ඔවුන් ලිඛිත පැමිණිල්ලක් ඉල්ලුවා. මම ලිඛිත පැමිණිල්ලක් කළා. ඉදිරියේදී මොනවාද වෙන්නේ කියලා බලාගෙන ඉන්නවා.

මේ වගේ සිදුවීම් වලදී, සමාජ මාධ්‍යවල අපහාස කිරීම සාමාන්‍ය සිදුවීම් බවත් පැමිණිලි කරන්නට තරම් බරපතල දෙයක් නොවන බවත් සමහරු කියනවා. ඒ ගැන අදහස මොකක්ද?

සමාජ මාධ්‍යවල සිද්ධවෙන දේවල් ගණන් ගන්න ඕනෑ නැති බව කියනවානම්, ෆේස්බුක් වලට අදාලව සම්මාන උළෙලවල් තියන්න ඕනෑ නැහැනේ. ලොකු දේශපාලන වැදගත්කමක් සමාජ මාධ්‍යවලට දෙන්න ඕනෑ නැහැනේ. එහෙම කියන අය මිනිසුන්ගේ ජීවිත වලට සමාජ මාධ්‍ය වලින් ඇතිවෙන බලපෑම ගණන් ගන්නේ නැහැ. නැත්නම් හිතාමතා ඒ බව යටපත් කරනවා. තවත් සමහරුන් සමාජ මාධ්‍යවල මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා සම්මාන ගන්නවා. එහෙම වැරදි කරන අයට කවුරුහරි සම්මාන දෙනවානම් කණගාටුදායකයි. මෙවැනි අපහාස කිරීම් නිසා වෘත්තිමය පැත්තෙන් මිනිසුන්ට හානි වෙනවා. පුද්ගලික ජීවිතවලටත් හානි වෙනවා. කවුරුහරි මේවා පොඩි දේවල් බව කියනවානම්, ඒ අය ගැන පවා අපි සැලකිල්ලෙන් ඉන්න ඕනෑ. ඔයවගේ කතාකරන අය තමන්ට මේ වගේ සිදුවීමක් වුණාම නිහඬව ඉන්නවාද කියලා අහන්න ඕනෑ.

සමාජ මාධ්‍යවල තියෙන්නේ සමාජයම බවත්, එහි පළවෙන දේවල්වලින් සැබෑ ජීවිතය තුළ බලපෑම් ඇතිවෙන බවත් පිළිගන්න ඕනෑ නේද?

පරිගණක අපරාධ නීතිය යටතේ මේ වගේ අනුන්ගේ ඡායාරූප පාවිච්චි කරනකොට අවසරයක් ඇතිව පාවිච්චි කිරීම, ද්වේශසහගතව හෝ අපරාධයකට පාවිච්චි කිරීම වරදක්. පරිගණක අපරාධ මුළු ලෝකයම දැන් බරපතල ලෙස සලකනවා. ලංකාවේත් සමාජ මාධ්‍යවල සිදුකරන අපරාධ ලොකුවට නීතිය ඉදිරියේ සැලකිල්ලට ගන්නවා. මාධ්‍ය වලට අදාලව පවා අපි මාධ්‍ය සදාචාරය ගැන කතාකරනවානේ. එයට හේතුව යම් කෙනෙකුගේ ජීවිතයට එයින් සිදුවන බලපෑම නිසා. මාධ්‍ය ආචාරධර්ම පද්ධතිවල පවා අනුන්ගේ ඡායාරූප අවසරයකින් තොරව උපුටාගන්න එපා කියලා සඳහන් වෙනවා. ඇත්තටම එය ආචාරධර්ම වලිනුත් එහා ගිහින් නීතිමය වරදක් දක්වා යන්න පුළුවන්. සමහර දේවල් පොඩි වැරදි කියලා අමතක කරන්න බෑ.

මෙලෙස චරිත ඝාතනය කිරීම, අපහාස කිරීම, කීර්තිනාමයට හානි කිරීම ආදී දේවල්වලට අදාලව නීති හැදෙන්නේත් භෞතික ජීවිතයට එයින් බලපෑම් එල්ලවෙන නිසා නේද?

අනිවාර්යයෙන්. ලෝකයේ ඕනෑම නීතියක් හැදිලා තියෙන්නේ සංකීර්ණ සමාජයක මිනිසුන්ට හැදෙන මානසික හෝ කායික පීඩා නවත්වන්න. ඒවායින් මිනිසුන්ගේ ජීවිත වලටත්, අයිතිවාසිකම් වලටත් හානියක් නොවිය යුතු නිසා තමයි නීති හැදිලා තියෙන්නේ.

එලෙස අපහාස කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රකාශනයේ අයිතියට බලපෑමක්ද?

මිනිසුන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සීමා කරන්න නෙවෙයි එවැනි නීති වලින් උත්සාහ කරන්නේ. සමාජ මාධ්‍යවල අදහස් මර්දනයට නීති අවභාවිත කළ යුතු නැහැ. නිදහස තියෙන්න ඕනෑ. එහෙත් එම නිදහස අයුතු ලෙස පාවිච්චි කරමින් අනුන්ගේ අයිතිවාසිකම් වලට බලපෑම් නොකළ යුතුයි. හැම අයිතියකටම සීමාවක් තියෙනවා.

ඔබ කාන්තාවක් වීම නිසා මෙම අපහාස කිරීම්වල දරුණු බව වැඩියි නේද?

අපේ සමාජයේත් තියෙනවා කාන්තාවන් ගෙවල්වලට වෙලා ඉන්න ඕනෑ කියලා අදහසක්. සාම්ප්‍රදායික, වැඩවසම්, ගෝත්‍රික යුගයක් තාමත් අපේ රටේ තියෙනවා. කාන්තාවක් අසාධාරණයකට එරෙහිව කතාකළොත්, පිරිමියෙකු එසේ කළාම කතාකරන අවස්ථාවකට වඩා අපහාස කිරීම් වැඩියි. සමහරවිට මිනිසුන්ගේ ආකල්පවල තියෙන වෙනසක් නිසා වෙන්න ඇති. එහෙත් කාන්තාව නිවැරදි මතවාදයක ඉන්නවානම්, කාන්තාවක ස්වාධීන මතයක ඉන්නවානම් කතාකරන්න බයවෙන්න ඕනෑ නැහැ. මඩගහන පුද්ගලයන් අනාවරණය වුණාම නීතිය ක්‍රියාත්මක කළොත් කාන්තාවට අදහස් පළ කරන්න බයවෙන්න ඕනෑ නැහැ.

කාන්තාවකට තර්ජනය කිරීමේදී පාවිච්චි කරන භාෂාව හා වචන පවා ඇය ඉදිරිපත් කළ අදහසට පිළිතුරු දීමකට වඩා වෙනස් නේද?

කාන්තාවක් පීඩාවට පත් කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඇගේ චරිතයට අපහාසයක් වන විදියට යමක් කියන එක. තමන්ගේ මතය ස්ථාපිත කරගන්න බැරිවුණාම කාන්තාවට අසභ්‍ය විදියට, චරිතය සම්බන්ධයෙන් මොනවාහරි කියන්න තමයි ගොඩක් අය උත්සාහ කරන්නේ. ගෑණු කෙනාගේ කට සවුත්තුයි වගේ දේවල් කියනවා. කුණුහරුප හා අසභ්‍ය දේවල් පාවිච්චි කරනවා. ඒ විදියට ගෑණු කෙනාගේ කට වහන්න උත්සාහ කරනවා. ඔවුන්ගේ මනසේ තියෙනවා කාන්තාවකගේ චරිතයට පහරදුන්නොත් ඉක්මනින්ම ඇයව වට්ටන්න පුළුවන් කියලා.

මේ අපහාස කිරීම් අහඹු සිදුවීම්ද? නැත්නම් ඒවා සංවිධානාත්මක ඒවා විදියට සලකනවාද?

කිසිම දෙයක් ඉබේ සිද්ධවෙන්නේ නැහැ. ලෝකේ ඕනෑ දෙයකට හේතුවක් තියෙනවා. හේතුඵලවාදය අපි හැමෝම පිළිගන්නවානේ. සමහර අය හිතනවා අධිකරණයට බලපෑම් කරලා විනිසුරුවරුන්, නීතිඥවරුන්ට, විමර්ශන නිලධාරීන්ට බාධා කරලා අපරාධ වලින් ගැලවෙන්න පුළුවන් බව. ඒ අනුව සංවිධානාත්මකව කරන දේවල් මේවා. මට විතරක් එන තර්ජන කියලා මම හිත්න්නේ නැහැ. මගේ නඩු වලට විතරක් වෙනවා කියලා හිතන්නෙත් නෑ. අධිකරණයේ ලිපිකරුවෙකුට බලපෑමක් කළත් එය අධිකරණයට කරන බලපෑමක්. මේවා නිකන්ම සිදුවෙන දේවල් නෙවෙයි. යම් පාර්ශ්වයකට වුවමනා තියෙනවා. ඒ වුවමනා වෙනුවෙන් කරන එක දෙයක් තමයි චරිතයට පහරදීම.

මේ වන විට ඔබ සම්බන්ධ වී සිටින නඩු වල තත්වය මොකක්ද?

එකොළොස්දෙනෙක් පැහැරගැනීමේ සිදුවීමට අදාලව ත්‍රිපුද්ගල මහාධිකරණයේ නඩු කටයුතු ආරම්භ කරලා තියෙනවා. සැකකරුවන් 13 දෙනෙක්ට අධිචෝදනා බාරදීලා තියෙනවා. එක් සැකකාරයෙක් වන හිටපු නාවික හමුදාපතිවරයා සිතාසි බාරගැනීමේ ගැටළුවක් නිසා සිතාසි බාරදීමේ ගැටළුවක් තිබුණු බව වාර්තා වුණා. පසුව පොලිස්පතිවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයා මගින් සිතාසි බාරදීමක් තමයි අවසාන අදියරේ තිබුණේ.

මීතොටමුල්ලේ පැහැරගැනීම් සම්බන්ධ විශේෂ නඩුකරය අවසාන කරලා ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුගොනුව යවලා තියෙනවා. අතුරුදන්වීම සම්බන්ධයෙන් අධිකරණයේ ලඝු නොවූ නඩුවක් යනවා. හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න නඩුව මහේස්ත්‍රාත් අධිකරණයේ විමර්ශන නඩුවක් විදියට යනවා. අධිකරණයට අපහාස කිරීමට අදාලව මේජර් අජිත් ප්‍රසන්න ඇතුළු පුද්ගලයන් තිදෙනෙක්ට එරෙහිව නඩුවක් යනවා. ඔවුන්ව අත්අඩංගුවට ගත්තාට තවමත් ඇප ලැබීමක් කරලා නැහැ. එය කැඳවීම් නඩුවක් විදියට විමර්ශනය වෙමින් පවතිනවා.

ඔබ ඉහත කී නඩු ‘රණවිරුවන්ට එරෙහි නඩු’ විදියට ලේබල් වූ ඒවා. රණවිරු සංකල්පයට අදාලව මේ නඩු ගැන ඔබ හිතන්නේ මොකක්ද?

සැකකරුවන්ට රණවිරු ලේබලය ගහලා මේ නඩු යටගහන්න බැහැ. ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් හෙවත් සාමාන්‍ය ජනතාව ගෞරවයෙන් රණවිරුවන් කියා හඳුන්වන අය ලක්ෂ ගණනක් ඉන්නවා. යුද්ධෙට සම්බන්ධ වූ ලක්ෂ ගාණකට කිසිම චෝදනාවක් නැහැ. ඒත් අතේ ඇඟිලි ගණනක අපරාධ ප්‍රමාණයක් තියෙනවා. නිල ඇඳුම පාවිච්චි කරමින් අපරාධ කරපු අති සුළුතරයක් ඉන්නවා. සමහරු කියන්නේ මේවා හමුදාවට විරුද්ධ නඩු කියලා. ඒත් එහෙම කියන එකත් වැරදියි. එහෙම කියන අය තමයි රණවිරුවන්ට අපහාස කරන්නේ. හමුදාවට එරෙහි නඩුවකට මම පෙනී ඉන්නෙත් නෑ. මම පෙනී ඉන්නේ හමුදා නිලඇඳුම ඇන්ද අපරාධකරුවන් සුළු පිරිසකට එරෙහිව තියෙන නඩු වලටයි. ඒවායේදී පීඩා වින්ද වින්දිතයන් වෙනුවෙනුයි පෙනී ඉන්නේ. අපි අපරාධකරුවන්ව රණවිරුවන් කියලා සලකන්නේ නැති බව පෙන්වන්න තියෙන අවස්ථාවක් තමයි ඇත්තටම අපරාධ කරපු අයට දඬුවම් කිරීමෙන් උදා වෙන්නේ. අපරාධකරුවන් හැංගීමෙන් සම්පූර්ණ හමුදාවක් අපරාධකරුවන් බවට පත්කරනවා. නීතිඥවරියක් විදියට තර්ජන සිදුවීම අපට බලාපොරොත්තු විය හැකියි. එහෙත් එහෙම තර්ජනය කරන්න ඕනෑද කියන එකයි ප්‍රශ්නය. තර්ජන තියෙන එක නෙවෙයි ප්‍රශ්නය. ඒවා වෙන්න ඕනෑද කියලයි අපි අහන්නේ.

එන්ජීඕ, ඩොලර් කාක්කන් වැනි ජනප්‍රිය චෝදනා මෙවැනි සිදුවීම්වලට එරෙහිව එල්ලවෙනවා නේද?

මම අවුරුදු 11ක් වැඩකරලා තියෙනවා. මට විතරක් නෙවෙයි ඔයවගේ චෝදනා එන්නේ. ඇතැම් අපරාධ ගැන විමර්ශනය කරපු විමර්ශන නිලධාරීන්ට පවා ඒ චෝදනා එල්ල වෙනවා. මුදල් අරගෙන වංචා සහගත ලෙස විමර්ශන නිලධාරීන්, නීතිඥවරුන් හෝ වෙන කෙනෙක් කටයුතු කරනවානම්, ඒ චෝදනා එල්ලකරන අයට ඒ ගැන විමර්ශනයක් කරලා ඒවා ඔප්පු කරන්න පුලුවන්. එහෙම විමර්ශනයක් නොකරන්නේ, අපට එහෙම කිසිම සම්බන්ධයක් නැති බව දන්න නිසා. විමර්ශනයක් කළොත්, චෝදනා බොරු බව ඔප්පු වෙන නිසා. එහෙම වුණොත්, ඉන් ඉදිරියට චෝදනා කරන්න බැරි හින්දා. අපි රටට එරෙහිව දේශද්‍රෝහී දෙයක් කරනවානම් අනිවාර්යයෙන්ම නීතියෙන් දඬුවම් කරන්න.

මේ තර්ජන නිසා නීතිඥවරියක් විදියට වැඩ කරන්න බයක් දැනෙනවාද?

ඕනෑ මනුස්සයෙක් තමන්ගේ ජීවිතේට ආදරෙයි. එහෙත් ඒ මත තර්ජන එනකොට ඕනෑ කෙනෙක් බය වෙනවා. බය කළා කියලා අපි පටන්ගත්ත දේ නවත්වන්නේත් නැහැ. අපට මේවා කරන්න වින්දිතයන් වෘත්තිය වගකීමක් බාරදීලා තියෙනවා. ඔවුන් අපව විශ්වාස කරනවා. ඒ විශ්වාසය කරකරලා, බයේ, ගේ ඇතුළට රිංගලා රෙද්දක් පොරවගෙන නිදාගන්න බැහැනේ.

සාකච්ජා කළේ  තරිඳු උඩුවරගෙදර. අනිද්දා පුවත් පතිනි

Back to Top