Sri Lanka Brief
පුවත්වසංගතය සමඟ උද්ගත වූ අර්බුදය, මිලිටරිකරණය සඳහා නිදහසට කරුණක් නොවේ – සිවිල් සංවිධාන

වසංගතය සමඟ උද්ගත වූ අර්බුදය, මිලිටරිකරණය සඳහා නිදහසට කරුණක් නොවේ – සිවිල් සංවිධාන

by

ඒ්කාබද්ධ ප්‍රකාශණයක් නිකුත් කරන සිවිල් පුරවැසි සහ සංවිධාන එකතුවක් “වසංගතය සමඟ උද්ගත වූ අර්බුදය, මිලිටරිකරණය සඳහා නිදහසට කරුණක් නොවන අතර මිලිටරිකරණය අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුම ද නොවේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීය කරවන අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව ඉක්මවා කටයුතු කිරීම මෙයට කිසිසේත් විසඳුමක් නොවන බව අප අවධාරණය කරනු කැමැත්තෙමු.” යැයි ප්‍රකාශ කරයි. එසේ නමුත් ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කාර්ය සාධක බලකායන් ඉවත් කර ගන්නා ලෙස මෙම ප්‍රකාශණය ඉල්ලා සිට නැත. එම ප්‍රකාශණය පහත පළවේ.

ජනාධිපති කාර්ය සාධක බලකායන් පිළිබඳ සිවිල් සංවිධාන නිවේදනය

පසුගිය කාලයේ පිහිටුවන ලද ජනාධිපති කාර්ය සාධක බලකායන් වල ක්‍රියාකාරීත්වය පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බව පහත අත්සන් කරන සිවිල් සංවිධාන සහ ක්‍රියාකාරින් වන අප අවධාරණය කර සිටින්නෙමු,

කෝවිඞ් 19ට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කාර්ය සාධක බලකායන් තුනක් පත් කරනු ලැබීය. ජන ජීවිතයේ පැවැත්ම සඳහා අඛණ්ඩ සේවා සැපයීම, සම්බන්ධීකරණය හා අධීක්ෂණය කිරීම සඳහා එක් කාර්ය සාධක බලකායකට පුළුල් බලතල හිමිව ඇත. ආර්ථීක පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අධ්‍යපාන කටයුතු සම්බන්ධව තවත් එක් කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරන ලදී. මෙම කාර්ය සාධක බලකායන් අතරින් ආසන්නතම පත්කිරීම වන්නේ 2020 ජුනි 02 වැනිදා ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’ (අංක 2178/18 අතිවිශේෂ ගැසට් පත්‍රය) සහ ‘නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කලමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය’ (අංක 2178/17 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය) යන කාර්ය සාධක බලකායන්ය.

මෙම කාර්ය සාධක බලකායන්වල විෂය පථයන් පුළුල් මෙන්ම අපැහැදිලිය. දැනට පවතින යාන්ත්‍රණයන් සමග මේවා සම්බන්ධ වන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. උදාහරණ ලෙස පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පෙන්වා දිය හැක. අනෙක් අතින් කාර්ය සාධක බලකායන් පිහිටුවන අවස්ථාව වන විට ඒවායේ කාර්යන් හා බලතල සම්බන්ධයෙන් අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුව සක්‍රීයව නොපවතී. එසේම මේ මොහොතේ පවතින බරපතළ සෞඛ්‍ය, ආර්ථික සහ සමාජ අර්බුදය හමුවේ පුරාවිද්‍යාව සම්බන්ධ කාරනා මූලිකත්වයට පැමිණීමේ හේතුව පැහැදිලි නැත.

තවද කෝවිඞ් 19 හේතුවෙන් රට අගුළු දමා තිබු වතාවරණයක මෙම කාර්ය සාධක බලකායන් ස්ථාපිත කිරීම සම්බන්ධව පුරවැසියන්ට ඔවුන්ගේ යොජනා සහ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාවක් නොවීය.

සියලුම කාර්ය සාධක බලකායන් පාහේ හමුදා සාමාජිකත්වයෙන් සමන්විත වන අතර ‘සුරක්ෂිත රටක්, විනයගරුක, ගුණගරුක හා නීතිගරුක සමාජයක් ගොඩනැගීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායෙහි සම්පූර්ණ සාමාජිකත්වය හමුදා සහ පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත වේ. 2019 නොවැම්බරයේ පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා අධ්‍යාපන අංශය, සංවර්ධන ක්‍රියාදාමය, රාජ්‍ය පරිපාලනය සහ අධිකරණ ක්‍රියාදාමයන් තුළ සිවිල් ක්‍රියාකාරකම් මිලිටරීකරණය කිරීම සඳහා වන රජයේ අඛණ්ඩ අභිප්‍රාය මෙමඟින් තවදුරටත් පෙන්නුම් කරයි. මේ තත්වය ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීනව ස්ථාපිත වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් යහපත් නොවේ.

රටේ ජන විවිධත්වය නොසලකා හරිමින් වැඩිපුරම සිංහල සාමාජිකත්වයකින් මෙම කාර්ය සාධක බලකා සමන්විත වන අතර. නැගෙනහිර පලාත සඳහා පත්කර ඇති කාර්ය සාධක බලකායේ බෞද්ධ භික්ෂූන් සඳහා සැලකිය යුතු ඉඩක් ලැබී තිබුනත් එම පළාතේ විශාලම ජනගහනය වන මුස්ලිම් සහ දෙමළ ප්‍රජාව නොසලකා හැර ඇත. එයින් හැඟී යන්නේ මෙම කාර්ය සාධක බලකා වෙනත් ජන කණ්ඩායම් නොසලකා හරිමින් බහුතරය අනුව කටයුතු කළ යුතු බව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වී ඇති බවයි.
ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණයන් දේශපාලනීකරණයෙන් සහ මිලිටරීකරණයෙන් තොරව කාර්යක්ෂමව කටයුතු කිරීමට ඉඩ සැලස්විය යුතුයි. මෙම නව කාර්ය සාධක බලකායන් ජනාධිපතිවරයාට පමණක් වගකිව යුතු ව්‍යුහයන් වන අතර කාර්ය සාධක බලකායන්හි සාමාජිකත්වය දරන්නේ වෘත්තීය සිවිල් සේවයේ නිලධාරීන් නොව සිවිල් කටයුතුවලට අවශ්‍ය පළපුරුද්ද සහ අත්දැකීම් නොමැති ආරක්ෂක අංශයන්හි නිලධාරීන් විසින්ය. රාජ්‍ය සේවය, කැබිනට් මණ්ඩල හා අමාත්‍යාංශ බලතල අධීක්ෂණයකට යටත් කිරීම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව අත්‍යවශය සාධකයකි. නමුත් ඒ සඳහා කාර්ය සාධක බලකායන් වෙනුවට වඩාත් සුදුසු වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ දැනටමත් පිහිටුවා ඇති සහ සියලු දේශපාලන පක්ෂවල මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කමිටු යාන්ත්‍රණය භාවිතා කිරීමය. පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු මේ අවස්ථාවේ දී රට මුහුණ දී ඇති තත්ත්වයන්ට සහ අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්විය හැකි වඩා ස්වාධීන හා කාර්යක්ෂම අධීක්ෂණ යාන්ත්‍රණයයි. අනෙක් අතින් වියදම් කපා හැරීම පිළිබඳ රජය මූලික අවධානයක් යොමු කළ යුතු අවස්ථාවක මෙම කාර්ය සාධක බලකා සඳහා මුදල් වෙන් කෙරෙන්නේ කෙසේද යන්න අපහැදිලිය. අමාත්‍යංශවලට දැනට පැවරී ඇති කාර්යන්ම නැවත සිදුකිරීමක් වේද, එසේ නම් රජයේ අතිරේක වැය බර අඩු කළ යුතු මෙවැනි මොහොතක එය කෙතරම් සුදුසුද?

වසංගතයෙන් අනතුරුව රටේ ආර්ථික අර්බුදයට පාරදෘෂ්‍ය සහ විශ්වසනීය ප්‍රතිචාර දැක්විය හැකි තාර්කික ප්‍රවේශයක් අවශ්‍ය වන අතර ඒ සඳහා සියලු දෙනාගේ දායකත්වය ලබා ගත හැකි ක්‍රමවේදයක් රට විසින් අනුගමනය කරන බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය ගොඩනඟා ගැනීම අත්‍යවශ්‍යව පවති.

වසංගතය සමඟ උද්ගත වූ අර්බුදය, මිලිටරිකරණය සඳහා නිදහසට කරුණක් නොවන අතර මිලිටරිකරණය අර්බුද කළමනාකරණයේ මතු වන අභියෝගයන්ට විසඳුම ද නොවේ. එසේම ප්‍රජාතන්ත්‍රවාදය සක්‍රීය කරවන අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව ඉක්මවා කටයුතු කිරීම මෙයට කිසිසේත් විසඳුමක් නොවන බව අප අවධාරණය කරනු කැමැත්තෙමු.

15 ජූනි, 2020

Back to Top