Sri Lanka Brief
පුවත්පාර්ලිමේන්තුවක් නැති මිලිටරියෙන් දුවන ආණ්ඩුවක් කරා… – පාක්‍යසෝති සරවනමුත්තු

පාර්ලිමේන්තුවක් නැති මිලිටරියෙන් දුවන ආණ්ඩුවක් කරා… – පාක්‍යසෝති සරවනමුත්තු

by

ඡායාරූපය: මෙම බලකායන් දෙකෙහි ම මුලසුන හොබවනු ලබන්නේ ගෝඨාභය රාජපක්ෂගේ සමීතමයකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසිනි.

ගෝඨාභය රාජපක්ෂගේ සුවිශේෂී ලක්ෂණය සහ ඔහු පිළිබඳව ඉතාමත් සැලකිලිමත් විය යුතු කාරණාව නම්, ඔහු ජනාධිපතිධූරය දිනාගන්නා තෙක් කිසිඳු දේශපාලනික තනතුරක් හොබවා නැති වීමයි. පළමුව ඔහු හමුදා නිලධාරියෙකු ලෙස කටයුතු කල අතර ඉන් පසුව විශාල බලයක් හිමි රාජ්‍ය නිලධාරියෙකු ලෙස, එනම් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේය. ඉන් පසු 2019 නොවැම්බර් මාසයේදී ඔහුව දේශපාලනඥයෙකුගේ කර්තව්‍ය ඉටු කිරීම සඳහා තෝරා පත්කර ගැනිණි. මෙහිදී දේශපාලනඥයෙකුගේ කර්තව්‍ය යනුවෙන් අදහස් වන්නේ අවශ්‍ය අවස්ථාවන්හිදී සම්මුතීන්ට එළඹීමට, ඇතැම් කැපකිරීම් කිරීමට සහ සමස්තයක් ලෙස රටෙහි  නොයෙකුත් කණ්ඩායම් එක්සත්ව තබා ගැනීමට ඇති හැකියාවයි. ඒ අනුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පමණක් නොව ප්‍රතිපත්ති සම්පාදනය සහ හැඩගැස්වීමේ කාර්යයද  ඉටුකිරීම  හමුදා නිලධාරියෙකු වුව බලයේ සිටින දේශපාලනඥයෙකු වශයෙන් ඔහුගෙන් අපේක්ෂා කරනු ලබයි.

ගෝඨාභය රාජපක්ෂ: තමන්ගේම ජන පදනමක් නැති නායකයෙක්

ගෝඨාභය රාජපක්ෂ හට සම්පූර්ණයෙන්ම තමාගේ යයි කිවහැකි අවිවාදිත මැතිවරණ කොට්ඨාශයක්  නොමැති අතර තමාගේ පැරණි සගයන් හා ත්‍රිවිධ හමුදාවේ සහ ඇතැම්විට පොලිසියේ සහය හැරුණුවිට ඔහුට ඕනෑම මොහොතක තමා සමඟින් සිටීවි යැයි විශ්වාසය තැබිය හැකි  පිරිසක් නොමැත. ඔහුගේ දේශපාලනික වශයෙන් බුද්ධිමත් හා පරිණත සහෝදරයන්ගේ පක්ෂ වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා සසඳා බලන කල ගෝඨාභයගේ වියත්මග හා එලිය යන සංවිධාන- ඔහුගේ පරිපාලනයේ මුල් දින වකවානුව නොසලකා බැලූ කල- බලාපොරොත්තු වූ පරිදි දක්ෂතාවන් හා නිපුණතාවන්ගෙන් පොහොසත් සම්පත් සංචිතයක් ලෙස සැලකිය නොහැක. ඔහුගේ පුහුණුව, ත්‍රිවිධ හමුදාව කෙරෙහි ඇති විශ්වාසය, විකල්පයක් නොමැති අවස්ථාවන්හිදී ඔහුගේ ප්‍රතිභානය/ක්ෂණික ප්‍රතිචාරය (gut reaction), හිටපු ආරක්ෂක සේවා නිලධාරීන්ට හෝ ආරක්ෂක අංශයන්ට වගකීම් පැවරීම යන ක්‍රියාවන් විශිෂ්ට ප්‍රතිඵල ලබා දී නොමැත. බැලූ බැල්මට ඔවුන්ගේ පරිපාලන ක්‍රමවේදය කොවිඩ් 19 වසංගතය පාලනය කිරීමේදී වෛරසය පැතිරීයාම හා වෛරසයේ බලපෑම යම්තාක් දුරකට අඩු කිරීමට හැකිවී ඇති බව පෙනේ. කෙසේ වෙතත්, මේ පිළිබඳව තව දුරටත් විස්තර ලබාගත යුතුව ඇති අතර, ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව අවසාන නිගමනයන්ට එළඹීමට තවත් කාලයක් ගතවනු ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ හදිසිය කුමක්ද?

ඔහුගේ පාලනතන්ත්‍රය තවදුරටත් ශක්තිමත් කරගැනීමට හැරුණුකොට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ සම්මුතීන් සඳහා ගෝඨාභය රාජපක්ෂට කාලයක් නොමැත. එබැවින් කඩිනමින් මහා මැතිවරණයකට ගොස් තුනෙන් දෙකක බහුතරය දිනාගෙන ඔහුගේ විධායක බලය භාවිතා කිරීමට ඇති ඔහුට ඇති අවශ්‍යතාවය අපට පෙනීයයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මැතිවරණය පවත්වන දිනය පිළිබඳව ගොනුකර තිබූ සියලු පෙත්සම් නිෂ්ප්‍රභ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව හා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂා අතිශය සමපාත වී තිබේ.එහෙයින් ඕනෑම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක රාජ්‍ය පාලනයේදී විධායකය හා අධිකරණය සමඟ කටයුතු කරන ව්‍යවස්ථාදායකය පසෙකලා , පාර්ලිමේන්තුවකින් තොරව රාජ්‍ය පාලනය කිරීමට දැන්  ගෝඨාභය රාජපක්ෂ මහතාට හැකියාව ඇති අතර, නව පාර්ලිමේන්තුවක් පත්කරගන්නා තෙක් ඔහු එසේ රට පාලනය කරමින් සිටින්නේය. නව පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමට කෙසේ වෙතත්  අවම වශයෙන් අගෝස්තු මස මැද භාගය දක්වා වූ කාලයක් වත් ගත වනු ඇත.

ගෝඨාභය රාජපක්ෂගේ කා.ස.බ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හා මැතිවරණය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන්  පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘යහපත් විනයගරුක හා නීතිගරුක සමාජයක්’ නිර්මාණය කිරීමට හා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් කළමනාකරණය කිරීමට යනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායන් දෙකක් නිර්මාණය කළේය. මෙම බලකායන් දෙකෙහි ම මුලසුන හොබවනු ලබන්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසිනි. සේවා හා බුද්ධි අංශ ප්‍රධානි, වැඩ බලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු මෙන්ම වර්තමානයේ විධායකයේ සැලකියයුතු බලයක් හා අධිකාරී තනතුරු දරන සේවයේ හිටපු හමුදා නිලධාරීන්ද මෙම ජනාධිපති කාර්යසාධක බලකායන්ගේ පළමුවැන්නෙහි ආධිපත්‍ය දරයි. දෙවැන්න සම්පුර්ණයෙන්ම සිංහලය. එය භික්ෂුන් දෙදෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන්  එක් හිමිනමක් උතුරු හා නැගෙනහිර පළාතෙහි  ප්‍රධාන සංඝනායක ධුරය දරයි . මෑතකදී පත්කරන ලද රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේජර් ජෙනරාල් සුරේෂ් සැලී ඇතුළත් නොවන්නට, පළමුවැන්නද එසේ වීමට  තිබිණි. කාර්යසාධක බලකායන් දෙකෙන්  එකකවත් කාන්තා නියෝජනයක් නොමැති අතර මෙම කාර්යසාධක බලකායන් නිර්මාණය කිරීමේදී අවම වශයෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයේ විවිධත්වය නිරූපණය කිරීමට සුළු උත්සහයක් වත් දරා නොමැති බව ඉතා පැහැදිලිය.

මෙම බලකායන් රටට අවශ්‍යද? එසේනම් මෙම කාර්යසාධක බලකායන්ගේ සාමාජිකත්වය සඳහා අතීතයේ හෝ වර්තමානයේ ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ සාමාජිකයෙකු වීම අත්‍යවශ්‍ය කොන්දෙසියක් වන්නේ ඇයි? ව්‍යවස්ථාදායක සභාවේ හා මානව හිමිකම් කොමිෂන් සභාවේ සිවිල් සමාජ සාමාජිකත්වයක් සඳහා පුරප්පාඩුවක් ඇති බව පෙනීමට තිබේ. ව්‍යවස්ථාදායක සභාවේ  හා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයින් ලෙස ද විශ්‍රාමික මේජර් ජෙනරාල්වරු ගෙන ආ යුතුද? මේ රටේ තීරණ ගැනීමේ ඉහළ තලයක කිසියම් කෙනෙකුට ‘ගුණවත්, විනයගරුක හා නීතිගරුක සමාජයක්’ නිර්මාණය කිරීමට කටයුතු කිරීමට නම් මිලිටරි පසුබිමක් තිබීම පූර්ව අවශ්‍යතාවයක් බවට තීරණය කොට ඇත. අතුරුදහන් වුවන්ගේ පවුල් වල සාමාජිකයින් මේ පිළිබඳව කුමක් කියනු ඇත්දැයි කෙනෙකු විමතිය පළ කල හැකිය. මෙම ජනාධිපති කාර්යසාධක බලකායන්හි ඇතැම් සාමාජිකයින් යුධ අපරාධවලට වගකිවයුතු යයි චෝදනා ලබා ඇති අයයි!

මා මෙය ලියන මොහොතේ, මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ බිහිසුණු තත්ත්වය මාධ්‍යයෙහි ආධිපත්‍ය දරමින් තිබේ. ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයේ අමානුෂික බව හා ඇමෙරිකා එක්සත් ජනපදයේ පවතින වර්ගවාදය පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවට කතාබහට ලක්වේ. 2009 දී ඓතිහාසික මානුෂීය මෙහෙයුමෙදී අපගේ ත්‍රිවිධ හමුදාව අසරණව සිටි දෙමළ සිවිල් වැසියන් මුදාගැනීමේදී කෙතරම් යහපත් ලෙස කටයුතු කලේද යන්න පිලිබඳ ව පළවන ට්විටර් පණිවුඩ හා පොස්ටු වල ගැබ්ව ඇත්තේ ජයග්‍රාහී හා සියුම් අහංකාර හැඟීමකි.සාජන් රත්නායක විසින් පස් හැවිරිදි දරුවෙකු ඇතුලු අහිංසක දෙමල සිවිල් වැසියන්ගේ උගුර කපා මරා දැමීම ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට නොදෙවෙනි බව සිහිවන්නේ මා හට පමණක්ද? මේ සියල්ල සලකා බලද්දී ට්‍රම්ප්ගේ සහ රාජපක්ෂලාගේ මෙම කුරිරුකම් වලට ප්‍රතිචාර දැක්වීමේ ආකාරයේ වැඩි වෙනසක් දක්නට නොමැත. ඇතැම්විට ට්‍රම්ප් අවශ්‍යතාවයක් ඉස්මතුවන අවස්ථාවකදී පවා සමාව ලබා නොදෙන තරමේ දේශපාලනඥයෙකි!

අද වන විට ජීවන තත්වයන් පහත වැටීම, සදාචාරාත්මක බවක් නොමැතිවීම සහ මහජන ජීවිතයේ සාමාන්‍ය පරිහානිය පිළිබඳව බොහෝ දෙනා කණගාටුවට පත්වෙමින් සිටිති. එහෙත් ඔවුන් අතරින් ඒ පිළිබඳව කිසිවක් කිරීමට කැමැත්තක් දක්වන්නේ ඉතාමත් සුළු පිරිසකි. මා විශේෂයෙන්ම පුදුමයට පත්කරවන කාරණාව නම්, පාර්ලිමේන්තුවේ වැදගත්කම පිලිබඳ මිනිසුන්ගේ ඇති ඉතා අල්ප අවබෝධයයි. නියෝජනයක් නොමැතිව බදු අයකිරීමක් නැති අතර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් පවත්වාගෙන යාම සඳහා එය මූලික වැදගත්කමක් ගනියි. පසුගිය පාර්ලිමේන්තුව සිය හැසිරීම නිසාවෙන් සෑම ආකාරයකින්ම සාමාන්‍ය අප්‍රසාදයට හා පිළිකුලට හේතු විය. කෙසේ නමුත් අපට ප්‍රජාතන්ත්‍රවාදයක්, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය නම්  නියෝජිතයින් තෝරා පත්කර ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කර යුක්තිගරුක හා කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් සඳහා සැබෑ ජනතා නියෝජිතයින් තෝරා පත්කර ගන්නවාද  යන්න අප තීරණය කල යුත්තකි. එසේ නොවුනහොත්, අප හුදු ජනප්‍රිය, බහුතර හා අධිකාරිමය රාජ්‍යයක් පමණක් වන අතර එය අතීතයේ පැවති සහ දැන් පවතින මිලිටරිමය  ප්‍රදර්ශනාත්මක භාවයන්ට වලට වඩා වැඩි යමක් නොවනු ඇත.

ආරම්භයක් වශයෙන් මීළඟ පාර්ලිමේන්තුව විධායක අධිකාරිය හා දේශපාලන බලයන් පිළිබඳව සංවරණ හා තුලන ක්‍රමයක් (checks and balances) පවත්වාගෙන යන බවට අප  සහතික කර ගත යුතු වෙමු. හොඳ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයකදී විසම්මුතීන් හා මූලික අයිතීන් පවත්වාගෙන යාම සඳහා ශක්තිමත් විපක්ෂයක් හා ප්‍රති ආඛ්‍යානයක් (counter-narrative) අවශ්‍ය වේ.

සංවරණ හා තුලන (checks and balances) පවත්වා ගැනීම පිලිබඳ සැලකීමේදී ඒ සඳහා අලුතෙන් හඳුන්වා දිය යුතු නවක්‍රම වේදයන් ද වේ.

(ඉංග්‍රිසි බසින් පළ කරන ලද ලිපියක පරිවර්වර්ථනය විකල්ප වෙතිනි)

Back to Top