Sunday, October 25, 2020

නිල් ඇස් සහ දුඹුරු ඇස් ක්‍රීඩාව මගින් ජාතිවාදී අගතීන් තේරුම් කළ හැටි! 

ඡායාරූප මූලාශ්‍රය,GETTY.“සුදු මිනිසුන්ගේ නිහඬ පිළිවෙත ප්‍රචණ්ඩත්වයයි” යනුවෙන් සිය ශරීරයේ සටහන් කර ගත් විරෝධතාකාරියක්”

කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය: ඇමරිකාවේ වර්ගවාදය පෙන්වන සරල ප්‍රශ්නයක්.

ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකගේ මරණයට එරෙහිව එක්සත් ජනපදයේ නගර 75 කට අධික සංඛ්‍යාවක විරෝධතා පැවැත්විණි. එකී විරෝධතාවලට දස දහස් ගණනක් සහභාගී වූහ. පසුගිය මැයි 25 වෙනිදා මිනිඇපොලිස් (Minneapolis) හිදී ජෝරෝජ් ෆ්ලොයිඩ් අවසන් හුස්ම හෙළුවේ පොලිස් අත්අඩංගුවේ සිටියදීය. සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දණහිස නවා ගෙල සිර කරනු ලැබූ නිරායුධ කළු ජාතිකයා තමාට හුස්ම ගත නොහැකි බව දිගින් දිගටම පවසන ආකාරය වීඩියෝ දර්ශන ඔස්සේ දැකිය හැක.

ඇමරිකාවෙන් මතු වූ උද්ඝෝෂණ මේ වන විට ලන්ඩනය, බර්ලිනය සහ ඕක්ලන්ඩ් වැනි ලොව වෙනත් නගර දක්වා ද ව්‍යාප්ත වී ඇත. එමෙන්ම #BlackLivesMatters සහ #BlackoutTuesday වැනි හෑෂ් ටැග් භාවිත කරමින් ඒ සඳහා සහාය පළ කර සමාජ ජාල තුළ විශාල වශයෙන් අදහස් හුවමාරු විය.

මේ මොහොතේ පැවැත්වෙන විරෝධතා “සුදු ජාතිකයන් වන අප විසින්ම නිර්මාණය කරන ලද තත්ත්වයක” ප්‍රතිඵලයක් බව 87 හැවිරිදි ක්‍රියාධරනියක වන ජේන් එලියට් බීබීසී සමග පැවසීය.

“අපේ හැසිරීමේ ප්‍රතිවිපාකයක් වශයෙන් අද අපි මේ දේවල් අත්දකිනවා”

“වසර 300 ක් තිස්සේ බුද්ධිමත් ජන කණ්ඩායමක් අපයෝජනයට ලක් කරන්න බැහැ. ඔවුන් එය අසීමාන්තික ලෙස ඉවසාවි කියා බලාපොරොත්තු වෙන්න බැහැ,” යනුවෙන් ඇය සඳහන් කළාය.

ඇතැම් විරෝධතා සමග මතුවූ කෝලාහලවල වර්ධනය, 1968 වසරේ අප්‍රේල් 04 වෙනි දින එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළ සිවිල් ක්‍රියාධරයෙකු වූ මාටින් ලූතර් කිං ජූනියර් ඝාතනය කෙරුණු අවස්ථාවේ හටගත් තත්ත්වය හා සම කෙරේ.

මාටින් ලූතර්ගේ ඝාතනය එවක තරුණ වියේ පසු වූ එලියට්ගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. වර්ගවාදය සම්බන්ධයෙන් තමා තුළ තිබෙන පූර්ව නිගමන තමන් විසින්ම ප්‍රශ්න කරනු ලැබීම සහ සිතා මතා ඇති කර නොගත් ජාතිවාදී හැසිරීම් හඳුනා ගැනීම සඳහා වන ප්‍රායෝගික අභ්‍යාස ක්‍රියාවේ යෙදවූ ඇය ඉතා ඉක්මනින් ලොවම පිළිගත් අධ්‍යාපනඥයෙකු සහ ජාතිවාදයට එරෙහි ක්‍රියාධරනියක බවට පත් විය.

Portrait of Jane Elliott.
ඡායාරූප මූලාශ්‍රය,GETTY.එක්සත් ජනපදය තුළ ජාතිවාදයට එරෙහිව හඬ නැගීම සම්බන්ධයෙන් එලියට් කීර්තිමත් ක්‍රියාධරයෙකි

නිල් ඇස් සහ දුඹුරු ඇස්

සමාජය තුළ ජාතිවාදය සාමාන්‍යකරණය වී ඇත්තේ කෙසේදැයි යන්න ජනතාවට වටහා දීමට එලියට් හට අවශ්‍ය විය.

මාටින් ලූතර් කිං ජූනියර් ඝාතනය කෙරෙන විට ඇය අයෝවා හි ගම්බද පිහිටි රජයේ පාසලක ගුරුවරියක වශයෙන් සේවය කළාය. ඊට පසු දින සේවයට වාර්තා කළ එලියට් ජාතිවාදය කුමක්දැයි යන්න සහ ඉන් ඇති විය හැකි දුර්විපාක මොනවාදැයි යන්න සිය සිසු දරුවන්ට ඉගැන්වීම සඳහා එඩිතර තීන්දුවක් ගත්තාය.

“නිල් ඇස්, දුඹුරු ඇස්” නමින් තමා විසින්ම හඳුන්වන ලද අභ්‍යාසයක් ඇය ඒ සඳහා උපක්‍රමිකව භාවිත කළාය. සමේ පැහැය වෙනස් වූ පමණින් යමෙකු තවත් අයෙකුට වඩා තත්ත්වයෙන් උසස් යයි සිතීම නිසා ඇති වන ගැටලු දරුවන්ට සිය අත්දැකීමෙන්ම තේරුම් ගැනීමට පහසු වන අයුරින් අභ්‍යාසය සැකසී තිබිණි.

එලියට් විසින් පන්තියේ ළමුන් කණ්ඩායම් දෙකකට බෙදා වෙන් කරනු ලැබුවාය. එක් කණ්ඩායමකට දුඹුරු පැහැති සළු ලබා දුන් ඇය එමගින් “දුඹුරු ඇස්” නියෝජනය වන බව පැවසුවාය. අනෙක් කණ්ඩායමට නිල් පැහැති සළු ලබා දුන් අතර ඔවුහු “නිල් ඇස්” නියෝජනය කළහ.

ඉන් අනතුරුව පන්තියේ සියලුම ළමුන් අමතමින් ඇය කියා සිටියේ “දුඹුරු ඇස්” ළමුන් වඩාත් බුද්ධිමත් සහ පිරිසිදු බවය. ඉන් නොනැවතුණු ගුරුතුමිය ඔවුන්ට සෙල්ලම් කිරීමට වැඩිපුර කාලයක් ලබා දීම වැනි විශේෂ වරප්‍රසාද ලබා දුණි.

“නිල් ඇස්” ළමුන් සියල්ල අවුල් කරන පිරිසක් බව ඇය කියා සිටියාය. එබැවින් “දුඹුරු ඇස්” ළමුන් වතුර බීමට භාවිත කරන වතුර මලෙන්ම ඔවුන්ට වතුර බීමට අවශ්‍ය නම් අන් අයට රෝග බෝ නොවන සේ ඒ සඳහා ඉවතලන කෝප්ප භාවිත කළ යුතු බව ගුරුතුමිය සඳහන් කළාය.

ක්ෂණයෙන් ළමුන්ගේ හැසිරීම් රටාවේ වෙනසක් සිදු වූ බව එලියට් පවසයි. වඩාත් විශ්වාසයකින් කටයුතු කළ “දුඹුරු ඇස්” ළමුන් උසස් තත්ත්වයක් අඟවමින් “නිල් ඇස්” ළමුන් කෙරෙහි අකාරුණික බවක් පෙන්නුම් කළහ.

පසුව එළැඹුණු සඳුදා එලියට් එම අභ්‍යාසය යළි ක්‍රියාත්මක කළාය. නමුත් මෙවර ඒ ඒ කණ්ඩායම්වල භූමිකාව (චරිත) මාරු කිරීමට පියවර ගත්තාය.

පර්යේෂණය අවසානයේ සිය අත්දැකීම පිළිබඳ අදහස් පළ කරන ලෙස ඇය දරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

Street riot in the US, people setting things on fire on the street.

“දුඹුරු ඇස් අය, නිල් ඇස් අයට වෙනස් විදිහට සැලකුවා,” යනුවෙන් ඩෙබී හියුස් නමැති දැරියක් පැවසුවාය. ඇයගේ සාක්ෂිය’ස්මිත්සෝනියන්’ ආයතනයේ වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ. “මම දුඹුරු ඇස් කණ්ඩායමේ හිටියේ. මට අවශ්‍ය නම් ඔවුන්ට පහර දෙන්න තරම් හිතුණා,”

ඩෙබීගේ සගයන් බොහෝ දෙනෙක් ද ඇය හා එකඟ වූහ.

නමුත් “අපේ චරිත මාරු කළ විට, මට ඉස්කෝලෙන් අයින් වෙලා අධ්‍යාපනය හැර දාන්න තරම් හැඟීමක් හිතට ආවා . ඔබට වෙනස් ලෙස සලකන කොට දැනෙන්නේ ඒ වගෙයි,”

එලියට් පවසන ආකාරයට එකී අභ්‍යාසය “ජාතිවාදී වෛරසය සඳහා ඇති එන්නතකි.”

“දුඹුරු ඇස්, නිල් ඇස්” අභ්‍යාසය ඉක්මණින් ම ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් විය. ඉන් පසු වසර ගණනාව පුරා ලොව වටා රටවල දහස් ගණනක් එම අභ්‍යාසයට සහභාගී වී තිබේ.

2016 වසරේදී එලියට්ගේ නම ‘බීබීසී සියක් කාන්තාවෝ’ ව්‍යාපෘතියට ඇතුළත් විය. 21 වෙනි සියවස සහ කාන්තාවගේ කාර්ය භාරය පරීක්ෂා කිරීම එම වැසටහන් මාලාවේ අරමුණ විය.

කෙසේ නමුත් ඉහත කී අභ්‍යාසය මතභේදයට තුඩු දී ඇති අතර එය, “ස්වයං පිළිකුල” සම්බන්ධයෙන් ඉගැන්වෙන “ඕවේලියන්” පරීක්ෂණයක් (නිදහස් සහ විවෘත සමාජයක ශුභ සාධනයට විනාශකාරී ලෙස බලපාන අදහස් පිළිබඳ ජෝර්ජ් ඕවෙල්ගේ හැඳින්වීමෙන් පසු) බව ඇතැමෙකුගේ අදහස විය. ඩෙන්වර් හි තීරු රචකයෙකු විසින් එම පරීක්ෂණය හඳුන්වනු ලැබ තිබුණේ “නපුරු” ක්‍රියාවක් ලෙසය.

සරල ප්‍රශ්නයක්

Graffiti on a wall - a depiction of George Floyd with the caption "I can breathe now"
ඡායාරූප මූලාශ්‍රය,GETTY.ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය එක්සත් ජනපදයේ ඇති වර්ගවාදය පිළිබඳ සංවාදය යළි පණගන්වා තිබේ.

ඇයගේ දේශන අතරින් වඩා හොඳ උදාහරණය වූවක් 1996 වසරේ නිෂ්පාදනය කෙරුණු “බ්ලූ අයිස්” (නිල් ඇස්) නමැති වාර්තා චිත්‍රපටය සඳහා පටිගත කෙරිණි. වාර්තා චිත්‍රපටය සඳහා එම නම ගෙන තිබුණේ අප ඉහත සඳහන් කළ අභ්‍යාසය ඇසුරෙනි.

මිනිසුන්ගෙන් පිරී පවතින ශ්‍රවණාගාරයක් ඉදිරියේ අදහස් දක්වන එලියට්, “සාමාන්‍යයෙන් මේ සමාජයේ කළු ජාතිකයන්ට සලකන ආකාරයටම තමන්ටත් සලකනවට කැමති සුදු ජාතිකයන් සිටී නම් ඒ සියලු දෙනාම අසුනෙන් නැගී සිටින්න,” යනුවෙන් පවසයි.

තරමක අපහසුවක් දැනෙන නිහැඬියාවකි. එලියට් දෙස දෑස් අයා බලා සිටින ප්‍රේක්ෂකයන් තවමත් සිය අසුන් මතමය.

“මම කියන දේ තේරුණේ නැද්ද?” එලියට් යළි අසයි.

“සමාජයේ කළු ජාතිකයන්ට සලකන ආකාරයටම ඔබටත් සලකනවට කැමතිනම් කරුණාකර අසුනින් නැගිටින්න,”

“කවුරුත් නැගිට්ටේ නැහැ” තත්පර කිහිපයකට පසු එලියට් පැවසුවාය.

“කුමක් ද වෙමින් පවතින්නේ සහ එය, ඔබට සිදු නොවිය යුතුයි කියන දේ පිළිබඳ ඔබ දැනුවත් බව මෙමගින් පැහැදිලිව පේනවා. එසේ නම්, ඔබ අනෙක් අයට එසේ වෙන්න ඉඩ හරින්නේ ඇයි?” ඇය ප්‍රශ්න කරයි.

සුදු ජාතිකයන් ජාතිවාදයට එරෙහිව ක්‍රියා කිරීමට සිතීමටත් අකමැතියි “මක්නිසාද යත් ඔවුන් එසේ කළොත් මේ රටේ කළු පැහැ මිනිසුන්ට සලකන ආකාරයටම, ඔවුනුත් සැලකුම් ලබාවි කියා ඔවුන් බයයි,” යනුවෙන් එලියට් බීබීසී වෙත පැවසීය.

“තමන්ට ඒ දේ වන තෙක්, එය කණස්සලු වීමට කාරණයක් නොවන බව සුදු මිනිස්සු දන්නවා. ඔවුන්ට නැගී සිටීමට අවශ්‍ය නැහැ, නැතිනම් ඔවුන්ටත් ඒ දේම වේවි.”

මෙලනින් නිසා පමණයි

"My skin is not a weapon" says the banner of this protester.
ඡායාරූප මූලාශ්‍රය,GETTY.’මගේ සමේ පැහැය අවියක් නොවේ’ යනුවෙන් සඳහන් පුවරුවක් රැගත් විරෝධතාකරුවෙක්

සරලව යමක් පෙන්විය හැකි වන අයුරින් සිය අභ්‍යාස නිර්මාණය කර ඇති බව එලියට් කියා සිටී. “ජාතිවාදය කියන්නේ ළමා කාලයේ සිට, බිංදුවෙන් බිංදුව හිතට ඇතුල් කරන දෙයක්,”

“එක්සත් ජනපදයේ ඉපදී, හැදී වැඩුණු ඕනෑම සුදු ජාතිකයෙක්, ජාතිවාදියෙක් නොවේ නම් එය ප්‍රාතිහාර්යක්,” යනුවෙන් ඇය පවසයි.

“ජාතිවාදය කියන්නේ ඉගෙන ගන්නා හැසිරීමක්. කිසිවෙක් උපතින් උසස් වෙන්නේ නැහැ. අනෙකාට වඩා උසස් කියන හැඟීම, උගන්වන දෙයක්. එය තමයි අපි මේ රටේ උගන්වන්නේ,”

“සුදු ආධිපත්‍ය පිළිබඳ මිත්‍යාව කෙසේ හෝ පවත්වා ගෙන යාම සඳහා” එක්සත් ජනපදයේ අධ්‍යාපන පද්ධතිය සැකසී ඇති බව එලියට්ගේ අදහසය.

එපරිද්දෙන්ම ජාතිවාදය වැනි කෘත්‍රිමව ගොඩ නගන ලද යමක් විනාශ කර දැමීමට ද හැකිය. “ජාතිවාදී නොවී සිටීමට මිනිස්සුන්ට උගන්වන්න පුළුවන්,” ඇය සඳහන් කරයි.

“මිනිස්සුන්ගේ ඇසේ පාට සහ හමේ පැහැය තීන්දු වෙන්නේ එක් රසායනයකින්: මෙලනින්. හමේ අඩංගු රසායනික ප්‍රමාණයකින් මිනිස්සුන්ව විනිශ්චය කිරීම කිසිම තේරුමක් ඇති දෙයක් නොවෙයි,” යනුවෙන් එලියට් වැඩිදුරටත් සඳහන් කරන්නීය.

(බීබීසී සිංහල)

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...