Saturday, October 24, 2020

ජනාධිපති කාර්ය සාධක මිලිටරි බලකාය කෙසේද? කොයිබටද? – සුනන්ද දේශප්‍රිය

ජායාරූපය: යුද පදක්කම් පැළදීමේ සකේතාත්මක අර්ථය සිය පදනම මිලිටරිය බව පෙන්වීමය. ( ඡායාරූපය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙනි)

ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගිය 02 දා පත් කරන ලද සුරක්ෂිත රටක්, විනය ගරුක, ගුණ ගරුක හා නීති ගරුක සමාජයක් ගොඩනැගීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකාය, කවරකු විසින් කවරදාක හෝ මෙරට තනි සිංහල හමුදා ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ් සඳහා යොදා ගත අපූරුතම සැළසුම් යාන්ත්‍රණයක් වැන්න. හමුදා බලයකින් සීරුවට රට පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලුම නිලධාරීන් ඊට ඇතුලත්ය. මෑත කාලයෙහි සිවිල් පරිපාලනයට පත් කරන ලද අනෙක් මිලිටරි නායකයින්ද මෙයට එක් කළ විට එය අර්ධමිලිටරි පාලනයක ඡායාවක් පෙන්නුම් කරයි.

කෙසේ වෙතත් ලංකාවෙහි අමු අමුවේ කැරෙන මිලිටරි ක්‍රමන්ත්‍රණයකට දේශපාලන අවකාශයක් නැත. එසේ වෙතත් සමහර විට යුද්ධ පාලනයක් සඳහා වන සමාජමය සහ මිලිටරිමය පසුබිමක් අද ගොඩ නැගී තිබෙනවා වන්නට පුලුවන.

[title]හමුදා ආන්ඩුවක් බැරි ඇයි?[/title]

එවැනි දේශපාලනමය පදනමක් නැත්තේ සාධක තුනක් නිසාය. පළමුවැන්න නම් ලෙහෙසියෙන් යටපත් කළ නොහැකි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයන්ද සම්ප්‍රදායයන්ද මෙරට පවතින නිසාය. දෙවැන්න ජාතික මෙන්ම අන්තර් ජාතික වශයෙන් බලගතු සුලුතර ප්‍රජාවන් දෙකක් වඩා නිවැරදිව කියන්නේ නම් තුනක්ම මෙරට ජීවත්වීමයි. තෙවැනි සාධකය නම් ශ්‍රී ලංකා දේශපාලන වර්ධනයන් සමීපව නිරීක්ෂනය කරන බලගතු ඉන්දියාවයි.

එබැවින් මෙරට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සහමුලින්ම අහෝසි කොට ඍජු යුද හමුදා පාලනයක් ඇති කිරීමට දැරෙන කවර ප්‍රයත්නයක් වුවත් මුදුන් පමුනුවා ගත හැකි වන්නේ ද පවත්වා ගත හැකි වන්නේ ද නෑසූ විරූ මර්දනයක් මගිනි. වෙනත් වචනයෙන් කියන්නේ නම් ලෙයින් සහ යකඩිනි. එවැනි අවදානමක් ගැනීමට තරම් අද මෙරට කිසිදු පාලකයකු අඥාණ වනු ඇතැයි සිතිය නොහැකිය. එබැවින් මෙරට මිලිටරි පාලනය ඇතිවනු ඇත්තේ වෙස් මුහුනක් ඇතිවය.

[title]ජේ.ආර්.ගේ මඟ[/title]

ඉතා කූඨ ලෙස පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අඟුලු දමා සිය සිතැඟි පරිදි මෙරට පාලනය කළ දේශපාලනඥයා ජේ. ආර්. ජයවර්ධනය. ඔහු ශ්‍රේෂ්ධිඨාකරණය විසුරුවා හැර අලුතින්ම පත් කරගත්තේය. විපක්ෂ නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කර විපක්ෂ දේශපාලනයින් බොරු නඩු මත සිරගත කළේය. තමන් විසින්ම අනුබල දෙන ලද කලු ජූලිය පිට දමා වමේ පක්ෂ තහනම් කළේය. ලක්ෂයක් කම්කරුවන් දොට්ට දමා සටන්කාමී වෘත්තීය සමිති ව්‍යාපාරය බිද දැම්මේය. මගඩි ජනමත විචාරණයක් පවත්වා සිය පාර්ලිමේන්තු බහුතර බලය දෙවන ධුර කාලකට දිගු කර ගත්තේය. නමුත් ඔහු සිවිල් රාජ්‍ය පරිපාලනයට හමුදාව සම්බන්ධ කර ගත්තේ නැත. එක්තරා අන්දමකට එවැනිම පාලන කාලයක් බවට මහින්ද රාජපක්ෂගේ දෙවන ධුර කාලයද පත්විය. එම කාල පරිච්ජේදයෙහි දී යුද බලය සිය විරුද්ධවාදීන්ට එරෙිහිව යොදා ගැනුණි. ජයවර්ධන සමයෙන් රාජපක්ෂ සමය වෙනස් වන්නේ පාර්ලිමේන්තු බහුතරය මෙන්ම මිලිටරි බලය ද සිය දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදා ගැනීම මගිනි. සිය ගෝල බාලයින්ට ගසා කෑමට ඉඩ දීම අතින් ජයවර්ධන සමයේද රාජපක්ෂ සමයේද වෙනසක් නැත.

[title]62 සහ 66 කුමන්ත්‍රණ[/title]

මෙරට දේශපාලනඥයින් පසුබිමෙහි ඇතිව හමුදා කු‍මන්ත්‍රණ මගින් බලය අල්ලා ගැනීමට දරන ලද වෑයම් දෙකක් තිබුණි. ඉන් එකක් 62 කුමන්ත්‍රණයයි. අනෙක 66 කුමන්ත්‍රණයයි. නමුත් මෙම එකදු මිලිටරි කුමන්ත්‍රණයකට හෝ සමස්ත මිලිටරි පොලිස් යන්ත්‍රයේ සහාය නොතිබුණි. අද ගෝඨාභය රාජපක්ෂ විසින් පිහිටුවා ඇති අන්දමේ මිලිටරිපොලිස් යාන්ත්‍රණයක් ඔවුන් සතුවී නම් එම උත්සාහයන් නිසැකවම සාර්ථක වන්නට තිබුණි.

1962 මිලිටරි කුමන්ත්‍රණය සැළසුම් කරන ලද්දේ සිරිමා බණ්ඩාරනායකගේ ශ්‍රිලනිප ආන්ඩුවට විරුද්ධවයි. 1966 මිලිටරි කුමන්ත්‍රනය සැළසුම් කැරුනේ ඩඩ්ලි සේනානායනගේ එජාප ආන්ඩුවට විරුද්ධවයි. 1989 කාලයේදී ජෙනරල් ජානක පෙරේරා යනාදීන් ද මිලිටරිමය බලය අල්ලා ගැනීමක් සදහා සිහින මැවූහ. ඒ ජවිපෙට සහ එල්ටීටීඊයට විරුද්ධවය. 62 කුමන්ත්‍රණ සැකකරුවන් එවකට ශ්‍රී ලංකාවේ ඉහළම අධිකරණය වූ බ්‍රිතාන්‍ය ප්‍රිවි කවුන්සිලය මගින් නීති තර්කයක් මත නිදහස ලැබූහ. 66 මිලිටරි කුමන්ත්‍රණ සැකකරුවන් නිදහස ලැබුවේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය මගිනි. එකළ ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන ආයතනයක් වූ අතර අගවිනිසුරු වුයේ එච්.ඇන්.ජී. ප්‍රනාන්දුය.

[title]ජයවර්ධනරාජපක්ෂ දෙමුහුම් මර්දනයක්[/title]

අද රාජපක්ෂවරු බලයේ සිටිති. තවම නම් විපක්ෂයක් නැති තරම්ය. අධිකරණය ගැන මහජන විශ්වාසය බිඳී ගොසිනි. පොලිසිය ආන්ඩුවේ ූකඩයකි. රාජපක්ෂවාදී හයිරම්කාර දේශපාලනඥයින්ද ඇති තරම් සිටී. රාජපක්ෂවරු ජනප්‍රිය දේශපාලනයේ කෙළ පැමිනියාහු ද වෙති. එබැවින්ම සෙවල විපක්ෂයේද පිහිටෙන් අවශ්‍ය නම් ජයවර්ධනරාජපක්ෂ පාලනයන්හි සියළු මර්දනකාරී ලක්ෂණ සහිත දෙමුහුම් පාලනයක් ඇති කිරීමට දේශපාලන අවකාශයක්, තාවකාලිකව විය හැකි වුවත් අද තිබේ. අප අත්දකිනු ඇත්තේ බොහෝවිට මිලිටරි පිටුබලය ඇති ජයවර්ධනරාජපක්ෂ දෙමුහුම් මර්දනයකි.

බලයට පැමිණි දිනයේ සිටම ජනාධිපති රාජපක්ෂ ආන්ඩුවේ සිවිල් පරිපාලන කටයුතු මිලිටරි නායකයින්ට පවරමින් සිටින්නේ සීග්‍රගාමීවය. අද වන විට එවැනි තනතුරු 20කට ආසන්න ප්‍රමාණයකට මිලිටරි ප්‍රධානීන් පත්කොට තිබේ.

මිලිටරි ප්‍රධානීන් වඩා හොඳ සිවිල් පරිපාලකයින් බවට සනාථ වූ කිසිදු සාධකයක් මෑත කාලීන ශ්‍රී ලංකා දේශපාලනයෙන් සොයාගත නොහැකිය. මිලිටරි නායකයින් විසින් ආන්ඩුවෙහි බොහෝ තනතුරු දරන මියන්මාරයේදී හෝ පකිස්ථානයේදී ඔවුන් විසින් ලබා දී ඇති දායකත්වය අණ පිළිපැදීම සහ ආන්ඩුවෙහි හමුදා බලපෑම ඉහළ නැවීම පමණය.

[title]ගෝටාගේ බල පදනම: මිලිටරිය[/title]

ජනාධිපති රාජපක්ෂ පසුගිය නිදහස් දින සමරුවට පැමිණියේ තමන්ගේ සියලු මිලිටරි පදක්කම් පැළදගෙනය. එහි සංකේතාත්මක අර්ථය නම් තමා සතු අතුදැකීම සහ බලය හමුදාවෙන් ලබාගත් ඒවා බව පෙන්වීමයි. සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයින් යුදහමුදා ලාංචන පැළද සිටිනු දක්නට ලැබෙන්නේ හමුදා ප්‍රධානීන් එම තනතුරට පත් වූ කලය. පෙනෙන විදිහට ගෝඨාභය රාජපක්ෂගේ විශ්වාසවන්තම පිරිස් ඇත්තේ මිලිටරිය තුළය. ඔහුගේ බල පදනම මිලිටරියයි. සිය සැළසුම් ක්‍රියාවට නැගීමට සුදුසුම පිරිස ලෙස ඔහු සළකන්නේ මිලිටරි ප්‍රධානින් බව පැහැදිළිය.

මෙයට ඇති මෑතම උදාහරණයක් නම් බන්ධනාගාර ප්‍රතිව්‍යුහගත කිරීම සදහා ජනාධිපති රාජපක්ෂ විසින් පිහිටුවා ඇති කමිටුවය. එහි සාමාජිකයින් වන්නේ ආරක්ෂක ලේකම්, හමුදාපති සහ වැඩබලන පොලිස්පතිය. අඩුම වශයෙන් බන්ධනාගර දෙපාර්තමේන්තුවෙන් හෝ එහි කිසිවකු නැත.

ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර ඇති විනය පිහිටුවීමේ මිලිටරිමය කාර්ය සාධක බලකාය දෙස බැලූ විට ඔහු කොතරම් බලයක් මිලිටරි ප්‍රධානීන් වෙත පැවැරීමට සූදානම්ද යන්න බිය ජනක ලෙස පෙනීයයි.

මෙම කාර්ය සාධක බලකායට ජනාධිපති රාජපක්ෂ විසින් පහත සඳහන් බලතල ලබා දී තිබේ.

එයට අදාළ කාරනා සම්බන්ධයෙන් ගවේෂණයන් කිරීමටත් නියෝග නිකුත් කිරීමට.

කලින් කලට ජනාධිපතිවරයා වෙත වාර්තා ඉදිරිපත් කිරීමට.

තම බලකායට අවශ්‍ය පරිදි ආන්ඩුවේ නිලධාරීන්ට උපදෙස් දීමටත් ඔවුන්ගේ සහාය ඉල්ලා සිටීමට.

එයට අවශ්‍ය කරන හැකි උපරිම සහාය සහ ඉල්ලා සිටින සියලු තොරතුරු ලබා දෙන ඉල්ලා සිටීමට.

කවර හෝ ආන්ඩුවේ සහ ඕනෑම අමාත්‍යාංශයක හෝ දෙපාර්ථමේන්තුවක, රාජ්‍ය සංස්ථාවක හෝ එවැනි ඕනෑම ආයතනයක හෝ නිලධාරියකු වෙත පවරණ ලද කාරියක් හෝ වගකීමක් ඉටුකිරීමෙහිලා ඇතිවන ප්‍රමාදයන් හෝ මඟහැරීම් ජනාධිපතිවරයා වෙත වාර්තා කිරීමට.

[title]බුද්ධි අංශ ප්‍රධානීන් පස් දෙනෙක්[/title]

මෙම බලතල පවරා දී ඇති මිලිටරිමය කාර්ය සාධක බලකායේ සාමාජිකයින් දෙස බලන්න. ඔවුන් නම් ත්‍රිවිධ හමුදා සෙන්පතිවරු, පොලිස්පති සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්, ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ බුද්ධි අංශ අධ්‍යක්ෂකවරුන්, රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂක, ජාතික බුද්ධි සේවා අධ්‍යක්ෂක, ආගමනවිගමන පාලක (තිදෙනාම මිලිටරි ප්‍රධානීන්ය). කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වන්නේ මේජර් ජෙනරල්වරයකු වන ආරක්ෂක ලේකම්ය. එහි බුද්ධි අංශ ප්‍රධානීන්ම පස් දෙනෙක් සිටිති.

හමුදා ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට සිහින මවන ලෝකයේ ඕනෑම පාලකයකු මෙම කාර්ය සාධක බලකාය දෙස බලනු ඇත්තේ ඉරිසියාවෙනි!

සාමන්‍යයෙන් ජාතික ආරක්ෂාව පිළිබඳ තීරණ ගැනෙන ජාතික ආරක්ෂක මණ්ඩලය සහ මෙම කාර්ය සාධක බලකාය අතර ඇති වෙනස වන්නේ අගමැතිවරයා ඇතුලු අනෙක් දේශපාලනඥයින් නැතිකම පමණය. මේ වනාහී දේශපාලනඥයින් ඉවත් කර ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු ගැනීම පිනිස පිහිටුවන ලද යාන්ත්‍රණයක් සේ ද පෙනේ. තවද මෙම මිලිටරිමය කාර්ය සාධක බලකායට ඇමැති මංඩළය අභිබවා යැමට ද හැකිය. එයට පවරා ඇති බලතල ඇමැති බලතලද ඉක්මවා යන අතර එහි පාලනය ඍජුවම පවතින්නේ ගෝඨාභය අතය.

[title]එතෙරටත් මිලිටරි ඇස[/title]

මෙම කාර්ය සාධක බලකායට රටින් පිට සිටින අයට විරුද්ධව නීතිවිරෝධී සහ සමාජ විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ද බලය පවරා තිබේ. කාර්ය සාධක බලකායට පවරා ඇති තුන්වන විධානය යටතේ එක මෙම බලය පැවරීම අන්තරායකාරී මත්ද්‍රව්‍යවලට සම්බන්ධ බවට කිසිම සඳහනක් නැත.

රට තුළ දරුණු මර්දනකාරී තත්වයක් ඇතිවුව හොත් ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ අවකාශය රටින් පිටට මාරු විමට ඉඩ නැතුවා නොවේ. දැනටමත් විදෙස්ගත ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ පිරිස් පිළිබඳව සොදිසි ඉහළ නංවා තිබේ. පසුගිය සති අන්තයේ ආණ්ඩුවට සම්බන්ධ බව පෙනෙන ජේෂ්ඨ මාධ්‍යවේදියකු ලියා තිබුනේ මෙම විධානය අදාළ වන්නේ එතෙර සිට ආන්ඩුව අප්‍රසාදයට ලක් කිරීමට ප්‍රචාරක කටයුතු කරන කණ්ඩායම් සම්බන්ධයෙන් බවයි.

වඩාත් ප්‍රශ්ණකාරී වන්නේ මෙවැනි බලය පවරා ඇත්තේ කුමණ නීතියක් යටතේදැයි දක්වා නැතිකමයි. මේ නීතිපතිවරයාට අයත් කාරියක් වන මුත් දැන් එය මිලිටරිමය කාර්ය සාධක බලකායට පවරා තිබේ. එමෙන්ම නීති විරෝධී කටයුතු මොනවාදැයි නිසි අර්ථ දැක්වීමක් ද නැති බැවින් අවශ්‍ය ඕනෑම ක්‍රියාවකට එම ලේබලය ඇලවීමට අවස්ථාවක් තිබේ. රාජාන්ඩුවකදී නම් සියලු නීතියේ උල්පත රජතුමා බැවින් රජකුට එවැනි බලයක් පැවරිය හැකිය. නමුත් තවම ශ්‍රී ලංකාවේ එවැනි බලයක් ජනාධිපති ධූරයට නැත.

නම්න්ම පෙනෙන පරිදි මෙම මිලිටරිමය කාර්ය සාධක බලකාය හුදෙක් අන්තරායකාරී මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ ප්‍රයත්නයක් නොවේ. එය ජාතික ආරක්ෂාව, විනය ගරුක, ගුණ ගරුක සහ නීති ගරුක සමාජයක් මෙරට ඇති කිරීමට යැයි නම් කොට පිහිටුවන ලද්දකි. මෙම කාර්ය සාධක බලකායට දින නියමයක් නැත. එය බොහෝ දුරටම ජනාධිපති රාජපක්ෂගේ ධුරකාලය පුරාම පැවැතීමට ඉඩ තිබේ.

යුද සමයේවත් නොතිබුණු මෙතරම් බලවත් මෙතරම් පුලුල් පරාසයක් වසා ගන්නා මිලිටරිමය කාර්ය සාධක බලකායක් අද කුමටද?

සමාජයක් ගුණ ගරුක, විනය ගරුක සහ නීති ගරුක කළ හැක්කේ මිලිටරිමය යාන්ත්‍රණයක් මගින් ද?

රටෙහි දේශපාලන අධිකාරිය පවත්වා ගැනීමට ඇති තරම් බලය පවතිද්දී මෙවැනි මිලිටරිමය යාන්ත්‍රණයක් කුමක් සදහාද?

උත්තර සෙවිය යුතු ප්‍රශ්ණ ඒවාය.

Archive

Latest news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...

Related news

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

මැලිබන් ව්‍යාපාරයට අයත් ජොර්දානයේ ඇඟලුම් කම්හලක ලාංකික සේවක-සේවිකා 400කින් 300ට කොවිඩ්

ජොර්දානයේ  අල් - දුලෙල් ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ මැලිබන් සමූහ ව්‍යාපාරයට අයත් ඇඟලුම් කම්හලක රැකියාවේ නියුතුව  සේවයේ නියුතු කම්කරුවන් 1200 න් 400 ක් පමන...