Sri Lanka Brief
පුවත්කලු ජූලිය සහ ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: උගත හැකි පාඩම් – මයිකල් කොලන් කුක් සමඟ ආචාර්ය ලයනල් බෝපගේ

කලු ජූලිය සහ ජොර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය: උගත හැකි පාඩම් – මයිකල් කොලන් කුක් සමඟ ආචාර්ය ලයනල් බෝපගේ

by

1983 ජූලි 25වන දා මගේ මතකයේ කා වැදී තිබේ. කොළඹ පරිසරයෙන් පිටතට දිව යන හෝ ඉතා වේගයෙන් ගමන් කරන මිනිසුන් පිරිසක් මම දුටුවෙමි. ඒ ගැන විමසූ විට මට දැන ගන්නට ලැබුනේ ඔවුන් සිය වෙළඳසැල් වසා දමා සිදු වෙමින් තිබුන කල කෝලාහලවලින් ඉවතට පලා යන බවයි. පසුව එදින ම බොරැල්ල සහ මරදාන තදාසන්න ප්‍රදේශ ගිනිබත් වන ආකාරය මම දුටුවෙමි. දඬුවමකට ලක් වීමෙන් තොරව ඒ දේපළවල පදිංචිකරුවන්ට පහර දෙන ආකාරය ද මට දකින්නට ලැබිනි. ලොරි සහ මෝටර් රථ ගිනිබත් කරමින් මගීන්ට හා රියදුරන්ට පහර දෙමින් තිබුනි. අවට සිටි බොහෝ දෙනෙක් උමතුවෙන් හැසිරුණ කලහකාරී කණ්ඩායම්වල කටයුතුවලට මහත් සතුටෙන් අත්පොළසන් දෙමින් සිටියහ.

පිස්සු වැටීම

මෙම මැරයන්ගෙන් බොහෝ දෙනෙක් ඔවුන්ගේ පරපීඩාකාරී මිනීමරු ක්‍රියාකාරකම් ගැන සතුටු වෙමින් සිටිනවා දුටු මම කනගාටුවටත් කම්පනයටත් පත් වීමි. සිදු වෙමින් තිබූ සංහාරය සහ ම්ලේච්ඡත්වය නතර කරන්නට මැදිහත් වෙනවා වෙනුවට හුදෙක් බලා සිටින්නන් ව සිටි ආරක්ෂක භටයින් මම දුටුවෙමි.

මා කිරිබත්ගොඩ මාවරමණ්ඩිය පාර ඔස්සේ රිය පදවා ගෙන යමින් සිටියදී ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ සේවා ට්‍රක් රථයක නැඟී සැරිසරන මැරවරයන් පිරිසක් මගේ රථය නතර කරන ලෙස බල කර සිටියහ. කැත වචන කියමින්, කඩු සහ අලවංගු දික් කරමින් ඔවුහු මා අසලට ආහ. ඔවුන් පිස්සු වැටී සිටින්නේ දැයි අසමින් මම මොර දුන්නෙමි. සිංහලෙන් භාෂාව චතුර ලෙස හසුරුවනු ඇසුණු ඔවුහු මා අතහැර යන්නට ගියහ.

1983 ජූලි ඛේදවාචකය අවසාන‌යේදී දමිළ ජාතිකයන් 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් ඝාතනය කර තිබිණි; එයින් බොහෝ දෙනෙක් මරා දමා තිබුනේ පුළුස්සා හෝ කපා කොටා දැමීමෙනි. මරා දැමීමට පෙර බොහෝ දමිළ කාන්තාවන් දූෂණයට ලක් කොට තිබිණි. දමිළ මිනිසුන්ට අයත් නිවාස දහස් ගණනක් ගිනිබත් කර තිබුන අතර නිවාස අහිමි කිරීම හේතුවෙන් 100,000ක පමණ පිරිසක් සරණාගතයින් බවට පත් වූහ.

අපි දැන් 2020මැයි 25 දක්වා වේගයෙන් ඉදිරියට යොමු වෙමු. සිල්ලර වෙළඳ හලක දී ඩොලර්20 ව්‍යාජ නෝට්ටුවක් හුවමාරු කිරීමේ චෝදනාව මත මිනියාපොලිස් නගරයේ දී කළු ජාතිකයෙකු අත්අඩංගුවට ගනු ලැබීය. සුදු පොලිස් නිලධාරියෙකු සිය සගයන් තිදෙනා බලා සිටියදී කළු ජාතිකයා ව මරා දැමීම සජීවී ව වීඩියෝ ගත කර ඇත. ජෝර්ජ් ෆ්ලොයිඩ් මාංචු දමනු ලැබ වීදියේ යටි අතට මුහුණ හරවා ගෙන වැතිර සිටියේය. මුළුමණින්ම කීකරු ව තම ජීවිතය ඉල්ලා කන්නලව් කල ෆ්ලොයිඩ් ඔහුට හුස්ම ගන්නට නොහැකි බව කියමින් තම මවට කතා කරන්නට ඉල්ලා සිටියේය. මිය යමින් සිටි අයගේ බෙල්ලෙන් සිය දණහිස ඉවතට ගන්නා ලෙස පාරේ ගමන් කල අය පවා අදාල නිලධාරියා වන ඩෙරෙක් චොවැන් ගෙන් අයැද සිටි නමුත් පලක් නොවීය. ෆ්ලොයිඩ්ගේ අවසන් හුස්ම ගිලිහී යාමෙන් පසුව පවා චොවැන් තම දණහිස ඔහු මත තබා ගෙන සිටියේය. මෙම මිනීමැරුම, පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීමට, සිරගත කරනු ලැබීමට හා හිරිහැර කරනු ලැබීමට සංඛ්‍යාත්මක වශයෙන් වැඩි ඉඩක් ඇති කළු ජාතිකයන් නීතියට පරිබාහිරව මරා දමමින් 1600ගණන්වල වහල් මෙහෙයේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා ඇෆ්‍රෝ-ඇමරිකානුවන්ට එරෙහිව වෙනස්කම් කිරීමේ දිගු ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන දිගු ලැයිස්තුවේ නවතම මිනීමැරුම් වලින් එකක් වන්නේය.

ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව මෙම සංහාරයට කල මැදිහත් වීම හා ආරක්ෂක හමුදාවල උදාසීන භාවය සහ සහභාගිත්වය ගැන රට තුළ හෝ ජාත්‍යන්තරව කිසිදු විරෝධය පෑමක් සිදු නොවීය. මෙම කළු ජුලි සංහාරයේ ආසන්නතම ප්‍රතිඵලය වූයේ වසර විසි පහකට වඩා වැඩි කාලයක් පැවතුන මුළුමණින් වර්ධනය වී ගිය සිවිල් යුද්ධයකි.

ෆ්ලොයිඩ් ඝාතනය කිරීම එක්සත් ජනපදය පුරා නගර සිය ගණනක කළු සහ සුදු ජාතික දස දහස් ගණන් දෙනා එක්රැස් කලේය. විශේෂයෙන් යටත් විජිතවාදයේ මව වන එක්සත් රාජධානියේ ද කොළඹ ද ඇතුළුව ලොව පුරා කෝපය පැතිරී ගියේය.

ප්‍රතිවිපාකය

1983 දී ශ්‍රී ලංකාවේ ආණ්ඩුව පැවතියේ විධායක ජනාධිපති ධුරයේ නිර්මාතෘ වූ ජේ ආර් ජයවර්ධන සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ ඇමති කණ්ඩායමේ නායකත්වයෙනි; ඔව්හු සංහාරයේ කිසිදු භූමිකාවකට සම්බන්ධයක් නොතිබුන මා ඇතුළු සිය දේශපාලන විරුද්ධවාදීන්ට ව්‍යාජ ලෙස චෝදනා එල්ල කරමින්, ඝාතන,කොල්ලකෑම්,ස්ත්‍රී දූෂණ සහ දේපළ ගිනි තැබීම්වලට ආණ්ඩුවේ තිබුන දුෂ්ඨ භූමිකාව අකාමකා දැමූහ; ඔව්හු විපතට පත්ව සිටි අයගේ දුක්ඛිත තත්වය ගැන ඔවුන්ට ම දොස් පැවරූහ. දමිළ ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් පිළිබඳ ව්‍යාපාරය සාමකාමී ව පටන් ගෙන තිබුනු නමුත් ඊට එරෙහිව රාජ්‍ය අනුග්‍රහය ලැබූ කල කෝලාහල සහ මර්දනකාරී පියවර යොදන ලදි. ඔවුන්ගේ අයිතිවාසිකම් තවදුරටත් කප්පාදු කර දැමීමත් සංහාරයත් විසින් ඔවුන්ගේ සාමකාමී උද්ඝෝෂණ වසර 26ක් පුරා පැවති සිවිල් යුද්ධයක් බවට ඉහළට නංවන ලදි. මේ අතර දකුණේ ජනතා විමුක්ති පෙරමුණට රහසිගතව කටයුතු කරන්නට බල කෙරුනි. එයින් ජනතා විමුක්ති පෙරමුණේ රජයට එරෙහිව පැවති දේශපාලන ආතතිය උත්සන්න කළ අතර දේශපාලනික වශයෙන් නිරර්ථක හා මාරාන්තික කැරලි ගැසීමේ ඔවුන්ගේ ප‍්‍රවණතාවය යලි ප්‍රාණවත් කෙරුණි. වසර හයකට පසුව දකුණ ගිල ගත් සන්නද්ධ නැගිටීමක් දක්වා මෙම තත්වය වර්ධනය විය; රජය හා ජනතා විමුක්ති පෙරමුණ යන දෙපැත්තම විසින් සිදු කරන ලද නීති විරෝධී ඝාතන දස දහස් ගණනක් මෙහි ප්‍රතිඵලය විය; මෙම ඝාතන වලින් බහුතරයක් සිදු කරන ලද්දේ ආරක්ෂක හමුදා විසිනි. පසුකාලීන ව ඔවුන්ගේ ක්‍රියාකාරකම් වලට ප්‍රතිලාභ ලබා දෙන ලදි.

2020දී අපට එවැනි දේවල් ම වැඩි වැඩියෙන් ලැබී ඇත. නැගී එන ආර්ථික අර්බුදයත් සමාජයේ සෑම ස්ථරයකටම කා වැදී තිබෙන (දේශපාලන පන්තියට අයත් හෝ ඒ හා සම්බන්ධ බොහෝ දෙනෙක් හානිලධර පැලැන්තියේ ඇතැමෙක් එහි ප්‍රධාන ප්‍රතිලාභීන් බවට චෝදනා කොට තිබෙන) දූෂණයත් විසඳන්නට උත්සාහ කරනවා වෙනුවට අවධානය වෙනතකට යොමු කරන්නට වෙහෙසෙන ජනාධිපතිවරයෙක් සිටියි. ජේ. ආර්. ජයවර්ධන මෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ද ජාතිකවාදයට මුවා වෙමින් සුදුසු ආකාරයේ බිලි සොයා ගනිමින් සිටිති: එනම්, ඔහුගේ වැඩ කටයුතු විවේචනය කරන දේශපාලන සංවිධාන, මානව හිමිකම් ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා සුළු ජාතීන් ය. අත්තනෝමතික නායකයන් සියළු දෙනා මෙන්,ඔහු ද තම වගකීම සහ වගවීම අඩු කර ගනු වස් නිලධර තන්ත්‍රය මිලිටරි කරණය කිරීමත්, සමාජය ආරක්ෂක මනෝගතිකභාවය ට පත් කිරීමත් පාර්ලිමේන්තුව පසෙකට දැමීමත් යුහුසුළු ව ක්‍රියාත්මක කරමින් සිටියි.

එක්සත් ජනපදය සතුව ඩොනල්ඩ් ට්‍රම්ප්ජනාධිපතිකෙනෙක්සිටියි; ඔහුගේ අවධානයේ පරාසය කෝඳුරුවකුගේ පරාසයකට ද වඩා අඩු ය. ෆොක්ස් නිව්ස් නොබලන විට දී සහ ඔහුගේ අනුගාමිකයන් හා ඔහු මත සිය ජීවනෝපායයන් රඳා පවතින අයගෙන් ප්‍රශංසාත්මක උණුසුම නොලබන විට දී ඔහු අවදියෙන් ගත කරන මුළු කාලයම සිය අගතිගාමී අදහස් ට්විටර් කරන්නට ගත කරන බව පෙනේ. මේ අතර ඔහු මුලසුන හොබවන රට ලෝකයේ COVID-19ආසාදනය වී ඇති සහ එයින් මිය යන සංඛ්‍යාව වැඩිම රට වේ. ඔහු සිටින සමාන්තර විශ්වය තුල, වසංගතයට එරෙහිව කරන ඉතාමත්ම සාර්ථක වැඩ සටහනට ඔහු සැබෑ ලෙසම නායකත්වය දෙයි. තමන්ට විඳ දරා ගන්නට බැරි කරුණු ගැන ඔහු දොස් පවරන්නේ ඩෙමොක්‍රටික් විරුද්ධවාදීන්ටත්, ලෝක සෞඛ්‍ය සංවිධානයටත් චීනයටත් ය.එබැවින්,ශ්‍රී ලංකාවේ මෙන්ම, අසාධාරණ ක්‍රියාවල යෙදෙන අයට නොව, ක්‍රම අනුබද්ධ වාර්ගික අවමානයන් ට හා පොලිස් කෲරත්වය ට ගොදුරු වූවන් වෙතම දොස් පවරනු ලැබීම පුදුමයට කාරණයක් නොවේ.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය හැම පැත්තකින් ම පුළුල් ලෙස හෙළා දැක තිබේ. ජෝර්ජ් බුෂ් සහ මිට් රොම්නි වැනි රිපබ්ලිකන් අධිපතීන්, ඩෙමොක්‍රටික් නියෝජිතයන්, බොහෝ ප්‍රාන්ත ආණ්ඩුකාරවරු, බිම් මට්ටමේ සංවිධානඅප්‍රමාණ ගණනක් – යන මේ සියල්ලෝ ම ජනවර්ගය පිළිබඳ දේශපාලන කතිකාව වෙනස් කිරීමේ උත්සාහයක් වෙනුවෙන් එකට එක්ව සිටිති. එය කෙසේ ක්‍රියාත්මක වේ දැයි කීමට තවමත් කල් වැඩි නමුත් පෙනෙන්නට තිබෙන ලකුණු යහපත් ය.

වාර්ගික බෙදීම්වලින් ඔබ්බට ගිය ප්‍රජා කණ්ඩායමුත් නිර්භය පුද්ගලයන් කිහිප දෙනෙකුත් ජාත්‍යන්තර ප්‍රජාවේ සමහර දෙනෙකුත් හැරුණු විට 1983සංහාරය පිළිබඳව කිසිදු සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ සිදු නොවන තරම් ය. දකුණේ නැඟී සිටීම් දෙකත් ප්‍රධාන වශයෙන් උතුරු හා නැගෙනහිර සිදු වූ දිගු සිවිල් යුද්ධයත් සම්බන්ධයෙන් ද තත්වය එසේම ය. කරන ලද අපරාධ සම්බන්ධයෙන් රාජ්‍ය ව්‍යුහයට අයත් කිසිවෙක් තවමත් අධිකරණය හමුවට පමුණුවා නැත; විපතට පත් වූවන්ට කිසිදු වන්දියක් ලබා දී නැත; ඊට සම්බන්ධ වූ ආයතන – ආරක්ෂක ව්‍යුහය හා දේශපාලන සංස්ථාපනය ප්‍රතිසංස්කරණය කර නැත.

ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු, සමානාත්මතාවය සහ පොලිස් කටයුතුවලදී යොදා ගන්නා විධික්‍රම වල ප්‍රතිසංස්කරණ සඳහා කෙරෙන බල කිරීම උච්ච බවට ද නිරවුල් බවට ද පත්ව ඇත. සුදු ජාතික බහුතරයේ අභිවන්දනයට පත්ව තිබුනු යටත් විජිත කරණය හෝ වහල්භාවය හා සමඟ සම්බන්ධ ප්‍රතිමා හා ස්මාරක බොහෝ ගණනක් විරූපී කර හෝ ඉවත් කර දමා ඇත. විශේෂයෙන් වින්ස්ටන් චර්චිල්ගේ පිළිරූ සහ ඔහු විසින් ඉතිරි කොට ගිය උරුමය අභියෝගයට ලක් කරනු ලැබූ විට දී රාජ්‍ය සමූහයේ සහ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ආධාරකරුවන්ගේ අප්‍රසාදයට හේතු වෙමින්, ඉතිහාසයේ අගුවක දමා තිබූ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් පිළිබඳව වන කාරණය කෙරෙහි ප්‍රමුඛත්වය දෙන ලදි.

නිගමනය

’83සංහාරයත් ජෝර්ජ් ෆ්ලොයිඩ් ගේ ඝාතනයත් අපේ ‘උමතු’බව නැති කරන දේශපාලන පාඩමක් කියා දෙයි. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරය සාමකාමී ව පටන් ගත් නමුත්දමිළ ප්‍රජාවට එරෙහිව කරන ලද කැරලි කෝලාහල ගණනක හා සංහාරයක ප්‍රතිඵලය වශයෙන් එය මහා පරිමාණ සිවිල් යුද්ධයකට මඟ පෑදුවේය. එක්සත් ජනපදයේ කළු ජාතික ජනයා සාධාරණත්වය හා සමානාත්මතාවය වෙනුවෙන් කරන ඉල්ලීම්වලට සහයෝගය දැක්වීම සහ ඔවුන්ට එරෙහිව ක්‍රියාත්මක කරනු ලබන වෙනස් ලෙස සැලකීමේ ප්‍රතිපත්ති හෙළා දැකීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජුනි 9වන දා කොළඹ දී පවත්වන ලද සාමකාමී විරෝධතාවයකට පොලීසිය විසින් සාහසික ලෙස කඩා බිඳ දමන ලදි. මෙය සිදු කරන ලද්දේ විරෝධතාකරුවන් සමාජ දුරස්ථතා රෙගුලාසි පිළි නොපැද්දේය යන ව්‍යාජ හේතුව ඉදිරිපත් කරමිනි. එම විරෝධතාවට සහභාගී වූ අයත් සිද්ධිය දුටු සාක්ෂිකරුවනුත් පාලක කල්ලිය විසින් ඉදිරිපත් කර ඇති එම “ව්‍යාජ කඩතුරාව” ප්‍රතික්ෂේප කරති. ගෝඨාභය රාජපක්ෂ පාලන තන්ත්‍රයේ මෙම කුරිරු ක්‍රියාව වනාහි අන් කිසිවක් නොව සුළුතරයන් හා සමඟ කටයුතු කිරීමේ දී ජනාධිපතිට්‍ර්ම්ප්ගේ පාලනය සහ පෙර පැවති එක්සත් ජනපද පාලක කල්ලි විසින් අනුගමනය කරන ලද වෙනස්ලෙස සැලකීමේ ප්‍රතිපත්ති කෙරෙහි සහයෝගය ප්‍රකාශ කිරීමකි.

එක්සත් ජනපදයේ සුදු ජන ප්‍රජාවට අයත් බොහෝ දෙනෙක් තම කළු ජාතික සහෘදයන්ට සහයෝගය දක්වන්නට ඉදිරිපත් වී සිටිති. ඊට සමාන කිසි දෙයක් ශ්‍රී ලංකාවේ බහුතර ප්‍රජාව තුළ සිදු වී නැත. නව නාසි කණ්ඩායම්වලත් කු ක්ලක්ස් ක්ලෑන් කණ්ඩායමේත් පුනර්ජීවනය සමඟ එක්සත් ජනපදයේ සුදු ජාතිකයින් අතර සිටින වඩා ජාතිවාදී කොටස් ධෛර්යමත් බවට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ද සටන්කාමී සිංහල අන්ත ජාතිකවාදී කණ්ඩායම් ඒ හා සමාන ආකාරයේ සමාජ මාධ්‍ය සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හැසිරවීම් කරනු අපට දැකිය හැකිය. බලධාරීන් දක්වන අනුකූලතාවයේ හෝ උදාසීනත්වයේ සහාය ලබන ඔවුහු, ශ්‍රී ලංකාවේ සමාජ ඒකාබද්ධතාවය හා ජාතික සමගිය කෙරෙහි ඛේදනීය ප්‍රතිවිපාක ඇති කරවමින් දිගින් දිගටම මුස්ලිම් ප්‍රජාවට එරෙහිව අපවාද නඟති.

විරෝධතා නො දැක්වීම සදාචාරාත්මක හා දේශපාලන ප්‍රතිවිපාක දනවන බව ලොව පුරා සිටින ප්‍රගතිශීලී ජනතාව දැනුවත් බවට පත්ව සිටිති. ජාතිවාදය, වහල් බව සහ යටත් විජිතවාදය ප්‍රශ්නයට ලක් කරන්නට ජෝර්ජ් ෆ්ලොයිඩ්උත්ප්‍රේරකයක් ලෙස සේවය කරයි.ෆ්ලොයිඩ්ගේ අනවශ්‍ය මරණය පමණක් නොව, ශ්‍රී ලංකාවේ ම වූ ලේ තැවරුණු අතීතයෙන් උකහා ගත හැකි පාඩම් ද අප මතක තබා ගත යුතුය. සුළු ජාතීන් දඩ මීමා කර ගැනීමත් රජයේ විරුද්ධවාදීන්,මාධ්‍යවේදීන්,සිවිල් සමාජ ක්‍රියාකාරීන්,මානව හිමිකම් ක්‍රියාකාරීන් සහ වෘත්තීය සමිති ව්‍යාපාරය පීඩාවට පත් කිරීමත් පිළිබඳව ප්‍රශ්න කිරීම සඳහා මහජනතාවට ලැබෙන දේශපාලන උත්ප්‍රේරකයක් වශයෙන් ද එයසේවය කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ඊට වඩා අඩු දෙයක් අපට අපේක්ෂා කළ නොහැකිය.

 

Back to Top