Sri Lanka Brief
පුවත්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්ති තේරුම් කිරීම හා ප්‍රතිමානීය මූලධර්මවල අදාළතාව – ජයදේව උයන්ගොඩ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්ති තේරුම් කිරීම හා ප්‍රතිමානීය මූලධර්මවල අදාළතාව – ජයදේව උයන්ගොඩ

by

Image courtesy of emerging-europe.com.

මේ දිනවල පාර්ලිමේන්තු මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට නොහැකිවීම වටා මතුවී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳ විවාදය වේදිකා දෙකක සිදුවෙයි. පළමුවැන්න ශ්‍රේෂ්ඨාධිකරණයයි. අඟහරුවාදා තීන්දුවත් සමග එය නිමාවට පත්විය. පෙත්සම්කාර පාර්ශ්ව වෙනුවෙනුත්, ආණ්ඩුව වෙනුවෙනුත්, නීතිඥයෝ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් ඉදිරියේ, සතියකටත් වැඩි කාලයක් තම තර්ක ඉදිරිපත් කළහ. පුවත්පත් ඒවා වාර්තා කළේ, ඉඳහිට සහ තම දේශපාලන විශ්වාසවලට ගැළපෙන පරිදිය. එබැවින්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට සිදුවූ මෙම ඉතා වැදගත් විවාදය ගැන ප්‍රමාණවත් තොරතුරු ලබාගැනීමට පුරවැසියන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

මේ අතර මහජන පරිමණ්ඩලයේද පුළුල් සාකච්ඡාවක් සිදුවෙමින් පවතියි. රූපවාහිනී, පුවත්පත් සහ සමාජ මාධ්‍යවල සිදුවන සාකච්ඡාවට නීතිඥයෝත්, ජනමාධ්‍යවේදීනුත්, දේශපාලනඥයෝත්, දේශපාලන විචාරකයෝත් සහභාගි වෙති. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපිට මෙන්ම මහජන පරිමණ්ඩලයේ සිදුවූ/සිදුවන සාකච්ඡාවේ තිබෙන පොදු ලක්‍ෂණයක් නම්, පාර්ශ්ව දෙක දරන ස්ථාවර අතර තියුණු ධ්‍රැවීකරණයක් සිදුවී තිබීමයි. ආණ්ඩුපාක්‍ෂික සහ ආණ්ඩුපාක්‍ෂික නොවන/ආණ්ඩු විරෝධී යන කඳවුරු දෙකකට විවාදය ධ්‍රැවීකරණය වී තිබේ. 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව ඇතිවූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදයේද මේ ලක්‍ෂණය තිබිණ.

2018 සිදුවූ මෙන්ම 2020 දීද සිදුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාද දෙකේදීම, ලංකාවේ දැනට පවත්නා අධිපති නෛතික චින්තන ධාරාවල ඇති එක් බරපතළ අඩුපාඩුවක්ද ප්‍රකාශයට පත්වී තිබේ. එය නම්, මෙම නෛතික සාකච්ඡාවල ඇති ප්‍රතිමානීය චින්තනයේ දරිද්‍රතාවයි. මේ ලිපියේ අරමුණ මේ කරුණ සාකච්ඡා කිරීමයි.

‘ප්‍රතිමානීය චින්තනය’

පළමුවෙන්ම අපි ‘ප්‍රතිමානීය චින්තනය’ යනු කුමක්දැයි හඳුනාගනිමු. නීතිය පැත්තෙන් බලන්නේ නම්, නීතියේ ඇති ප්‍රතිමානීය (normative) අරමුණු කවරේද? එනම්, නීතිය පවතින්නේ කවර, සමාජයේ උසස් චර්යාධාර්මික අපේක්‍ෂාවන් ලෙස සැලකෙන අරමුණුවලට සේවය කිරීමටද? යුක්තිය, සාධාරණත්වය, සමානත්වය, නිදහස, වෙනස්කම් නොකිරීම, පීඩනයෙන් තොරවීම, බියෙන් තොරව ජීවත්වීම නීතිය සේවය කරන ප්‍රතිමානීය අරමුණුය. සමාජයක් තුළ මනුෂ්‍යයන් සංවිධානය වී සිටින්නේ, රාජ්‍යයක් ගොඩනගාගෙන සිටින්නේ මෙවැනි පොදු ප්‍රතිමානීය ඉලක්ක සාක්‍ෂාත් කරගැනීම තුළින්, තම මනුෂ්‍ය ශක්‍යතා මල්පල ගැන්විය හැකිවනු ඇත යන අපේක්‍ෂාවෙනි. නීතිය අපක්‍ෂපාත විය යුතුයැයිද, නීතිය සෑම දෙනාටම එක සමාන විය යුතුයැයිද, නීතිය අන්ධයැයිද යන පටිපාටිමය මූලධර්ම ගොඩනැගී තිබෙන්නේ, ඒවා තුළින් නීතියේ ප්‍රතිමානීය අරමුණුවලට ඉතා ඉහළින්ම සේවය කිරීමට නීතියටත්, නීති වෘත්තිකයන්ටත් හැකිවනු ඇත යන විශ්වාසය මතය. නීතියේ ඇති මෙම ප්‍රතිමානීය අරමුණු මිථ්‍යාවක් බව සමහර මාක්ස්වාදී විවේචකයන් කියා සිටින බවද අප මෙහිදී සිහිපත් කරගත යුතුය. එය නීතිය පිළිබඳ ව්‍යාජ දෘෂ්ටිවාදයකට වඩා දෙයක් නොවන බවද ඔවුහු කියති.


‘ප්‍රතිමානීයත්වය’ වඩාත්ම අදාළ නීති ක්‍ෂෙත්‍රය වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි. එයට ප්‍රධාන හේතුවක් තිබේ. එය නම්, රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ ප්‍රධාන කාර්යය වන්නේ රාජ්‍යයේ ස්වභාවයත්, රාජ්‍යය සහ පුරවැසියා/සමාජය අතර සම්බන්ධතාවත් තීරණය කිරීම සිදුවන්නේ සාමානය නීතියෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියෙන් වීම නිසායි. රාජ්‍යයේ ස්වභාවය, රාජ්‍යයේ ව්‍යුහය, රාජ්‍ය ආයතනවල බලය සහ ඒවායේ අන්තර් සම්බන්ධතාව, රාජ්‍ය පාලනයට මගපෙන්වන මූලධර්ම, පුරවැසි අයිතීන් සහ නිදහස, සමාජයේත්, රාජ්‍යය සහ පුරවැසියන් අතර ඇති ගැටුම් නිරාකරණය කිරීමේදී අධිකරණය සතු කාර්යභාරය සහ ඒ සඳහා අධිකරණයේ බලය සහ ස්වාධීනත්වය සහතික කිරීම යන මේවා මෙන්ම, රාජ්‍ය බලය පාලකයන් විසින් අයුතු ලෙස භාවිත කිරීම වැළැක්වීමේ විධිවිධානද ප්‍රජාතන්ත්‍රවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අනිවාර්යයෙන් තිබේ. ඒකාධිපති, අර්ධ ඒකාධිපති හෝ සමාජවාදී රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ඉහත කී සමහර අංග නැත.

ලංකාවට අදාළත්වය

ලංකාවේ තවමත් තිබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිසා, අපගේ සාකච්ඡාව ලංකාවට අදාළ කරමින් සිදුකරමු. ව්‍යවස්ථාවේ සංයුතිය සකස්වන ඉහත කී අංගවලට අදාළ විධිවිධාන සාමාන්‍යයෙන් සකස් කෙරෙන්නේ නෛතික භාෂාවෙනි. එය නීති වෘත්තියේ විශේෂඥ වෘත්තීය කාර්යයක්ද වෙයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබෙන්නේ, නීති විශේෂඥයන් සකස් කළ, පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත කරන ලද වගන්ති, උපවගන්ති සහ පරිච්ඡෙද පමණක් නොවේ. රාජ්‍යයක් තුළ සංවිධානය වී සිටින දේශපාලන ප්‍රජාවගේ උසස් දේශපාලන අපේක්‍ෂාවන්ද, අරමුණුද, සාක්‍ෂාත් කරගත යුතු සාමූහික අධිෂ්ඨානයන්ද එම වගන්ති පිටුපසම නොව, ඒවාට පදනම් වී තිබේ. ඊට අමතරව, එම අපේක්‍ෂා, අරමුණු සහ අධිෂ්ඨානයන් සූත්‍රගත වීමට ඉඩ සලසා ඇති දාර්ශනික සහ න්‍යායික සිද්ධාන්තයන්ද තිබේ. මෙම සිද්ධාන්ත සමහර විට අවුරුදු දහස් ගණනක් තිස්සේ විකාශනය වී ඇති ඒවාය. ඒවා වනාහි, මනුෂ්‍යයන් සටන් කිරීම, අරගල කිරීම සහ ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කරන ලද ප්‍රතිමානීය වටිනාකම්ය.

යුක්තිය, සාධාරණත්වය, නිදහස, සමානත්වය, වෙනස්කම් නොකිරීම යන මේවා ප්‍රතිමානීය වටිනාකම් වී තිබෙන එක අර්ථයක් වන්නේද එයයි. එම ප්‍රතිමානීය වටිනාකම්වලින් වියුක්ත කරනු ලැබූ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්ති ඇත්තටම හිස් වචනවලට වැඩි යමක් නොවන්නේද එබැවිනි.

ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදයේ 2018 වසරේ අගභාගයේ පටන් ප්‍රකාශයට පත්වී තිබෙන එක් ලක්‍ෂණයක් වී තිබෙන්නේ, ඉහත කී ආකාරයට, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති, ප්‍රතිමානීය අර්ථවලින් සම්පූර්ණයෙන් වෙන්වූ, හිස් වචන බවට පත්කිරීමයි. මෙය විශේෂයෙන් දක්නට ලැබෙන්නේ, ලංකාවේ 19වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇතිකර තිබෙන පාර්ලිමේන්තුව සහ ජනාධිපතිධුරය යන ආයතන දෙකෙහි ස්වභාවය, බලතල සහ අන්‍යොන්‍ය සම්බන්ධතාව පිළිබඳව, ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් එන තර්ක සහ අර්ථකථනවලය. නීතිපති දෙපාර්තමේන්තුව සහ පුද්ගලික නීතිඥයන් විශාල පිරිසක් අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තේරුම් ගැනීමේ සහ අර්ථකථනය කිරීම සම්බන්ධව පැනනැගී ඇති මෙම ප්‍රධාන ප්‍රවාහය, නැත්නම් අධිපති ප්‍රවේශය හැඳින්විය හැකි වචනයක් නම් ‘ප්‍රයෝජ්‍යතාවාදී ප්‍රවේශයක්’ (Pragmatic Approach) යන්නයි. එහි ප්‍රධාන ලක්‍ෂණය නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත්, එහි වගන්තිවලත් ප්‍රතිමානීය පදනම් සහ අර්ථ නොසලකා හරිමින්, මුළු ව්‍යවස්ථාවම තාක්‍ෂණික (technical) ලියැවිල්ලක් ලෙස සැලකීමයි.

තාක්‍ෂණික අර්ථයෙන් ඔබ්බට

මේ කරුණ නිදසුනක් මගින් පැහැදිලි කළ හැකිය. ‘ජනතා පරමාධිලපත්‍යය’ යන්න මේ කාලයේ, විශාල ලෙස භාවිතයට ගැනෙන අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන පදනම් මූලධර්මයකි. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විවාදයේදී බෙදී සිටින කඳවුරු දෙකේම නීතිඥයන්ද, දේශපාලනඥයන්ද අවියක් මෙන් යොදාගන්නා වචනයකි. එහෙත් ඒ සියලු දෙනා එම වචනයෙන් ප්‍රකාශ වන දේශපාලන සංකල්පයේ ඇති දාර්ශනික-න්‍යායික අර්ථ ගැන කිසිදු තැකීමක් කරන්නේ නැත. එහෙත් පුරවැසියන් වන අපගේ කාර්යය විය යුත්තේ එම සංකල්පය ගැන ඉදිරිපත් කෙරෙන ප්‍රයෝජ්‍යතාවාදී සහ තාක්‍ෂණික අර්ථකථන ඉදිරියේ නොනැවතී, ඉන් එහාට යෑමයි.

‘ජනතා පරමාධිපත්‍යය’ යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංකල්පයේ තිබෙන්නේ, දේශපාලන දර්ශනවාදයෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති ක්‍ෂෙත්‍රයට පැමිණි න්‍යායික සංකල්පයකි. එම සංකල්පයේ ඍජු අර්ථය සහ දාර්ශනික අර්ථය කියා දෙකක් තිබේ. ඍජු අර්ථය නම්, දේශපාලන සමාජයක් තුළ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ මහජනතාව වෙතය යන්නයි. දාර්ශනික අර්ථය නම්, දේශපාලන/රාජ්‍ය බලය වනාහි සමාජීය නිර්මාණයක්ය/නිෂ්පාදනයක්ය යන්නයි. ‘ජනතා පරමාධිපත්‍යය’ පිළිබඳ සංකල්පය අප ව්‍යවස්ථාවට පැමිණ ඇත්තේ දේශපාලන දර්ශනවාදයේ මූලාශ්‍ර දෙකකිනි. එනම් ලිබරල්වාදය සහ සමූහාණ්ඩුවාදයයි. මෙම දේශපාලන දර්ශනවාද දෙකෙන්ම, 17 හා 18 වැනි සියවස්වල ‘මහජන පරමාධිපත්‍යය’ පිළිබඳ සංකල්පය බිහිවූයේ, මධ්‍යකාලීන යුරෝපයේ පැවති ‘පරමාධිපත්‍යය’ පිළිබඳ අධිපති සංකල්පයේ පැවති උපකල්පන දෙකකට එරෙහිවය. එම පළමුවැනි උපකල්පනය නම්, රාජ්‍ය/දේශපාලන බලයේ මූලාශ්‍රය දෙවියන් වහන්සේය යන්නයි. රජවරුන් දෙවියන් වහන්සේගේ මිහිපිට නියෝජිතයන් වන අතර, ඔවුන්ට රාජ්‍ය/දේශපාලන බලය දෙවියන් වහන්සේගෙන් ලැබෙන වරයක් වැනිය. දෙවැන්න, රාජ්‍ය/දේශපාලන බලයේ හිමිකරුවන් වන්නේ රජුය. නැතහොත් පාලකයන්ය. 17 වැනි සහ 18 වැනි සියවසේ ප්‍රධාන වශයෙන් එංගලන්තයේත්, ප්‍රංශයේත් රාජාණ්ඩු ක්‍රමයට එරෙහිව පැනනැගුණු මහජන කැරලි සහ විප්ලව පිළිබඳ පසුබිම තුළ සිදුවූයේ මෙම දේශපාලනය පිළිබඳ දේවවරම්වාදී ප්‍රවාදය බිඳවැටී, ඒ වෙනුවට දේශපාලන බලයේ මූලාශ්‍රය මහජනතාව වෙති යන නව ප්‍රවාදය මතුවීමයි. තෝමස් හොබ්ස් සහ ජෝන් ලොක් යන ඉංග්‍රීසි දේශපාලන දාර්ශනිකයෝද, ඉම්මානුවෙල් කාන්ට් නම් ජර්මන් දාර්ශනිකයාද, රූසෝ නම් ප්‍රංශ දාර්ශනිකයාද දේශපාලන බලයේ මුලාශ්‍රය පිළිබඳ මෙම නව ප්‍රවාදයේ ප්‍රධාන ප්‍රකාශකයෝ වූහ. අප උසස්පෙළ දේශපාලන විද්‍යා පංතියේදී ඉගෙනගන්නා රාජ්‍යයේ සම්භවය පිළිබඳ සමාජ සම්මුතිවාදය, දේශපාලන දර්ශනවාදයට සහ පසු කාලයේ දේශපාලන විද්‍යාවට එකතු කළ ඉතාම වැදගත් න්‍යායික ප්‍රස්තුතය වන ‘දේශපාලන /රාජ්‍ය බලය යනු සමාජීය නිර්මාණයකි/නිෂ්පාදනයකි.’ යන නූතන ප්‍රජාතන්ත්‍රවාදී අදහසේ සම්භවය සිදුවූයේ මෙලෙසය.

දේශපාලන බලය සමාජයේ නිර්මාණයකි

‘දේශපාලන/රාජ්‍ය බලය යනු සමාජීය නිර්මාණයකි’ යන ප්‍රවාදය මහජන පරමාධිපත්‍යය පිළිබඳ සංකල්පයෙන් පමණක් අවසන්වී නැත. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද ඇතුළු වී තිබෙන මූලධර්ම ගණනාවකින්ම එය තවදුරටත් ප්‍රකාශයට පත්වී තිබේ. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය, ජනතාව පාලකයන්ට දේශපාලන බලය තාවකාලිකව පවරා දීම, බලතල වෙන් කිරීම, පාර්ලිමේන්තු සහ කැබිනට් ආණ්ඩුක්‍රමය, විධායකය ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට වගකීම, දේශපාලන බලය රාජ්‍යයේ එක් ආයතනයක් හෝ පුද්ගලයකු වෙත කේන්ද්‍රගත වීමට ඉඩ නොතබන සංවරණ සහ තුලන ක්‍රමය සහ ස්වාධීන අධිකරණය මේ අතර ප්‍රධාන ඒවා වෙයි. මෙයින් එක් කරුණක් වන, අපගේ ව්‍යවස්ථාවේ 33(අ) වගන්තියේ එන, ‘ජනාධිපතිවරයා තම බලතල, වගකීම් සහ කාර්යයන් නිසි ලෙස ඉටු කරන්නේද යන්න සම්බන්ධව පාර්ලිමේන්තුවට වගකිව යුතුය’ යන්නෙහි ඇති දේශපාලන-දාර්ශනික මූලයකින් එන අර්ථය කුමක්දැයි බලමු. එම අර්ථය නම්, සමාජයේ නිර්මාණයක් වන මහජන පරමාධිපත්‍යයේ ඒජන්තවරයකු වන ජනාධිපතිවරයා, මහජන නියෝජිතයන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුවට වගකීම තුළින්, සමාජයට වගකිව යුතුය යන්නයි. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ න්‍යායේ අර්ථයෙන් බලන විට, පාර්ලිමේන්තුවට වගකීම තුළින් ජනාධිපතිවරයා ඇත්තටම සහ අවසාන විග්‍රහයේදී කරන්නේ, දේශපාලන බලයේ නිර්මාපකයන් වන සමාජයට ආපසු වගකීමයි. ‘දේශපාලන/රාජ්‍ය බලය සමාජයේ නිර්මාණයක් වන්නේ යම් සේද, එම බලය භාවිත කරන්නන්, එම බලය භාවිත කිරීම සම්බන්ධයෙන් සමාජයට වගකිව යුතුය’ යනු මෙහි ඇති ප්‍රතිමානීය මූලධර්මයයි.

අප මේ කරුණ ගැන යළි යළිත් සිතිය යුත්තේ, දැනට ලංකාවේ මහජන පරිමණ්ඩලයේ මෙන්ම අධිකරණය ඉදිරියේද සිදුකෙරුණු විවාද තුළ, මෙම මූලධර්මය අමතක කර ඇති නිසාය. 2018 ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසයේ අග දක්වාත්, මේ දිනවලත් මතුවූ, මතුවන එක්තරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රවාදයක් නම්, මහජනතාවගේ පරමාධිපත්‍ය බලයේ නියෝජිතයකු වන ජනාධිපතිවරයා, පාර්ලිමේන්තුව තුළින් මහජනතාවට වගකිව යුතු නැත යන්නයි. එම ප්‍රවාදයේම තවත් අංගයක් වන්නේ, ජනාධිපතිවරයා වගකිව යුත්තේ එක්කෝ තමාටමය යන්නයි. ජනතාවට වගකියන්නේ නම් එය කළ යුත්තේ තමා අයත්වන හෝ නායකත්වය දෙන දේශපාලන පක්‍ෂය යන යාන්ත්‍රණයටය යන්නයි. මෙය වනාහි අර්ධ ඒකාධිපති සහ අර්ධ සමාජවාදී රාමුවක් ඇතුළත පමණක් නිරීක්‍ෂණය කළ හැකි දේශපාලන උපකල්පනයකි. මෙම අර්ධ ඒකාධිපති උපකල්පනය වෙතින් සිදුවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එයට පදනම් වන ප්‍රතිමානීය, දාර්ශනික සහ න්‍යායික මූලධර්මවලට අනුකූලව නොව, ප්‍රයෝජ්‍යතාවාදීව සහ තාක්‍ෂණිකව තේරුම් ගැනීමයි. එම තේරුම් ගැනීමට දේශපාලන ඇගයීම්/වටිනාකම් රාමුවක මගපෙන්වීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ, බලය බලයට සේවය කළ යුතුය යන පටු දේශපාලන යථාර්ථවාදී විශ්වාසයයි.

නීති සහ දේශපාලන විද්‍යා අධ්‍යාපනයේ සීමා

මෙම කරුණ ගැන තවදුරටත් සිතාබැලීමකදී, ලංකාවේ නීති සහ දේශපාලන විද්‍යා අධ්‍යාපනයේ ඇති දාර්ශනික සීමා ගැනද අපට විචාරාත්මක විමර්ශනයක යෙදීමට සිදුවේ. ලංකාවේ නීති විද්‍යාලයේද , විශ්වවිද්‍යාලයේ ද ඇති බොහෝ නීති පීඨවලද නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය ඉගැන්වීමේ සහ ඉගෙනගැනීමේ අධිපති සම්ප්‍රදාය තුළ ඇති ප්‍රධානම ලක්‍ෂණයක් නම්, නීතියට පදනම් වන දාර්ශනික සහ දේශපාලන න්‍යායික පදනම් අමතක කිරීමයි. නීතිය උගන්වන්නේ තාක්‍ෂණික සහ වෘත්තීය විෂයයක් වශයෙනි. සමාජ පරිවර්තනය, සමාජ සාධාරණත්වය, නිදහස, සමානත්වය, වෙනස්කම් නොකිරීම වැනි ප්‍රතිමානීය මූලධර්ම වෙතින් ලබන ආලෝකය තුළින් නීතිය ඉගෙනගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ බුද්ධිමය සහ ආචාරධාර්මික උත්තේජනය දියුණු කිරීමක් නීති අධ්‍යාපනයෙන් නොලැබෙන බව මගේ විශ්වාසයයි. මා සිතන හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශේෂඥයන් අතිශයින් විරල වීමට ප්‍රධාන හේතුවක් වන්නේද මෙම කාරණයයි. ලංකාවේ එජාපයේ සිට ජවිපෙ දක්වා දේශපාලන පක්‍ෂවල නීතිඥයෝ සිටිති. එහෙත් ඔවුන් අතරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥයන් සිටින්නේ කීදෙනක්ද?

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ පුරෝගාමිත්වය නොතිබුණා නම්, 2018 සහ 2020 වසරවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නඩුකර බොහොමයක් සිදු නොවන්නට ඉඩ තිබිණිය යන්න, කවුරුන් හෝ නිවැරදි කරන තුරු, මා විශ්වාස කරන තාවකාලික නිගමනයකි. සුමන්තිරන් නීතිඥවරයාගේ ඇති විශේෂත්වය නම්, ඔහු සුළුජන පසුබිමක පැවතෙන්නකු වීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියේ ඇති ප්‍රතිමානීය පදනම් පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ ප්‍රධාන වශයෙන් මතුකර තිබනේනේ ද්‍රවිඩ සහ මුස්ලිම් නීතිඥයන් විසින් වීම අහම්බෙන් සිදුවූවක් නොවේ. ව්‍යවස්ථා නීතිය ප්‍රතිමානීය මූලධර්ම රහිතව අවභාවිත කිරීමෙන් වැඩියෙන්ම බැට කා ඇත්තේ සුළුජන ප්‍රජාව වීම එයට හේතුවයි.

ලංකාවේ දේශපාලන විද්‍යාව ඉගැන්වීමේ සහ ඉගෙනගැනීමේ අධිපති සම්ප්‍රදාය ද නීත අධ්‍යාපනයට වඩා වෙනස් නැති, ප්‍රතිමානීය මූලධාර්මික දරිද්‍රතාවකින් පෙළෙන්නකි.

‘දේශපාලනය යනු බල අරගලයකි.’ යන පටු වටහාගැනීම මත ගොඩනැගී ඇති දේශපාලන ඉගැන්වීම් තුළින් උසස්පෙළ පන්තිවල සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා ගොඩනගා ඇති ප්‍රවාදයක් නම්, ‘බලය බලය සඳහා පමණක් සේවය කළ යුතුය’ යන්නයි. දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ බොහෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ‘දේශපාලනය කිරීම යනු ගේමක් දීමකි.’ යන මතය ආඩම්බරයෙන් ප්‍රකාශ කරනු අසන සෑම අවස්ථාවකම මගේ සිතට ඇතිවන්නේ දුකකි. මෙය වනාහි දේශපාලනය යන සංකල්පයයට ලබාදෙන අතිශයින්ම පටු ප්‍රයෝජ්‍යතාවාදී තේරුම් කිරීමකි. අප රටේ බොහෝ නීතිඥයන්ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තේරුම් ගන්නේ ‘දේශපාලන ගේමක් දීම’ යන පටු ප්‍රයෝජ්‍යතාවාදී රාමුව ඇතුළත සිටගෙනය.

මේ ලිපියෙන් මතුකළ කරුණු ගැන සිතමින් ඉන්නා ගමන්, මේ දිනවල ඇසුණු ව්‍යවස්ථාවට සම්බන්ධ නඩුවලදී ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දුව ගැනද මහත් උනන්දුවෙන් බලාසිටියෙමි. 2018 දෙසැම්බර් නඩු තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කෙළේ අපේ ව්‍යවස්ථාවට පදනම් වී ඇති ප්‍රතිමානීය මූලධර්ම යළි අවධාරණය කරමින්, ප්‍රතිමානීය දෘෂ්ටිපථයක සිට ව්‍යවස්ථාවේ වගන්ති අර්ථකථනය කිරීමේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනයෑමයි. මෙවරද ශ්‍රේෂ්ඨාධිකරණය එම සම්ප්‍රදාය ඉදිරියට ගෙනයනු ඇත යනු මගේ විශ්වාසය විය.

(විවෘත විශ්වවිද්්‍යාලයේ ආචාර්ය අතුල සමරකෝන් මහතා සමග ළඟදී සිදුවූ කතාබස් කිහිපයකින් මෙම ලිපියට ආවේශය ලැබුණු බව කෘතඥතා පූර්වකව සිහිපත් කළ යුතුය.)

(අනිද්දා පුවත්පතිනි)

Back to Top