Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගඅවනීතියේ පාලනය සහ ඇවන්ට් ගාඩ් ආගමනය – සුනන්ද දේශප්‍රිය

අවනීතියේ පාලනය සහ ඇවන්ට් ගාඩ් ආගමනය – සුනන්ද දේශප්‍රිය

by

ඡායාරූපය: සේනාධිපති සහ රාජපක්ෂ.

නීතියේ පාලනය ඇති කිරීීමට ජනාධිපති රාජපක්ෂ මිලිටරි කාර්ය බලකායක් පවා පිහිටු වූයේය. ඔහුගේ ජනාධිපති සටනේ එක් සටන් පාඨයක් වූයේ විනය ගරුක සමාජයක් පිහිටුවන බවය.

කුප්‍රසිද්ධ ඇවන්ට් ගාඩ් සමාගමේ ප්‍රධානියා වන නිංස්සංක සේනාධිපති සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සහ ඔහු යටතේ ඇති ආන්ඩුව දක්වන ආකල්පය ලඟාවන්නේ නීතියට නොව අවනීතියටය. විනයට නොව ගජමිතුරන්ට වරදාන දීමටය. ඇත්ත වශයෙන්ම නම් මේ වනාහී වත්මන් ආණ්ඩුකරණයේ ඇ්ත්ත යථාර්තය පෙන්වන තිත්ත කතාවකි. හිටපු මේජර්වරයකු වන ඔහු 1996 යුද්ධය බුරබුරා ඇවිලෙත්දී වසර 11ක් පමණක් සේවය කර යුද හමුදාවෙන් ඉවත් වී තිබේ.

නිස්සංක සේනාධිපති සිය දේශපාලන ලැදියාවන් සඟවන්නේ නැත. ඔහු විවෘතවම ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටී.

නාවික හමුදාව විසින් කරගෙන ගිය නෞකා ආරක්ෂක සේවාවක් මහින්ද රාජපක්ෂ සමයෙහිදී සිය අත‌ට ගත් ඇවන්ගාඩ් නම් සිකුරිටි ඒ්ජන්සිය පවත්වාගෙන යමින් සිටි නිස්සංක සේනාධිපති ඉන් ගජරාමයට මුදල් ගරා ගත් බවට 2015න් පසු වාර්තා වන්නට පටන් ගත්තේය. එකළ මේ සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ජනමාධ්‍ය විසින් වාර්තා කරන ලදී.

පසුව ඇවන්ට් ගාඩ් සමාගම ගැන රහස් පොලීසිය පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව නීතිපති දෙපාර්ථමේන්තුවට යැවුවේය. නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරනු ලබන්නේ රහස් පොලීසිය ලබා දෙන පරීක්ෂන වාර්තා ගැඹුරින් නිරික්ෂනය කර නීතිමය පදනමක් ඇති පරීක්ෂන වාර්තා සම්බන්ධයෙන් පමණකි.

ඇවන්ට් ගාඩ් සමාගම සහ නිස්සංක සේනාධිපති සම්බන්ධ පරීක්ෂන වාර්තාව අනුව ඔහුට සහ තවත් අයවලුන් ගණනාවකට නඩු පැවරීමට නීතිපති දෙපාර්ථමේන්තුව තීරණය කරන විට එහි ප්‍රධානියා වශයෙන් සිටියේ අද අගවිනිසුරු වන ජයන්ත ජයසූරීයයි. රහස් පෙලීසියට කෙලින්ම සිය පරීක්ෂන උඩ නඩු පැවැරිය නොහැක. එම කාරිය බාර වන්නේ නීතිපති දෙපාර්ථමේන්තුවටය. ජයන්ත ජයසුරිය නීතිපති වහයෙන් ඇතිව නිසසංක සේනාධිපතිට නඩු පවරණ ලද්දේ නීති විරෝධී ලෙස ආයුධ ප්‍රවාහණය, වංචා දූෂණ යනාදිය සම්බන්ධයෙනි. අනවසර ආයුධ දහස් ගණනාවක් ඔහු යටතේ වූ නැව්වල තිබි හසුවූ බව එකළ ජනමාධ්‍ය වාර්තා කළේය.

අත් අඩංඟුවට ගෙන රැඳවුම් බාරයේ සිටි සේනාධිපතිට පසුගිය ජනවාරි 17වන දින ඇප ලැබුණි. එකතුදුත් ඔහු බරපතල වරදවල් සම්බන්ධයෙන් චොදනා ලැබ සිටි අයකු විය. ඔහු සම්බන්ධ නඩුව ත්‍රි පුද්ගල මහාධිකරණයකදී මෙම වසරේ මැයි 20 දින ආරම්භවීමට නියමිතව තිබුණි.

පුදුමාකාර දෙයක් සිදුවීමට ගතවුයේ හරියටම මාසයකි. 2020 පෙබරවාරි 18 දින අධිචෝදනා ලැබ සිටි මෙම චූදිතයා අධිකරණ ඇමැතිවරයා සමඟ එක්ව පෙනි සිටියේය. ඒ චෝදනා ලබා සිටින ඇවන්ට් ගාඩ් සමාගමට සිරකරු පුනරුත්ථාපනය බාර දීමටය. අධිකරණය හමුවෙහි බරපතල නඩුවක් ඇති චූදිතයකු සමඟ අධිකරණ ඇමැතිවරයා ව්‍යාපෘතියක් දියත් කිරීම නීතියේ පාලනය ඇති ප්‍රජාතන්ත්‍රවාදි රටක සිදුවිය හැකි දෙයක් නොවේ. අධිකරණ ඇමැතිවරයා පමණක් නොව අගමැතිවරයාගේ පුත්‍ර පා.. නාමල් රාජපක්ෂද සේනාධිපතිට පසෙකින් අසුන් ගෙන සිටියා පමණක් නොව මෙම හවුල් ව්‍යාපෘතිය පසසමින් සමාජ ජාලයන්හි ප්‍රචාරයකද යෙදුණේය.

රටටද නීති ආයතනයන්ටද එමගින් ලැබෙන්නට ඇති පණිවිඩය කුමක්දැයි කල්පනාකර බලන්න.

දෙවැනි ව්‍යාපෘතිය ඊට හපන්ය. එනම් මේතාක් කල් මෙරට ලියා පදිංචි සමාගම් ගණනාවක් කරමින් සිටි ව්‍යාපාරයක් මෙම නිස්සංක සේනාධිපතිටම පවරා දීමය. මෙම ව්‍යාපාරය හැදින්වෙන්නේ නාවික කාර්ය මණ්ඩල හුවමාරුව යනුවෙනි. එනම් ගුවන්තොටුපොළෙන් නැව්වලටත් නැව්වලින් ගුවන්තොටුපොළටත් නාවිකයින් හුවමාරු කිරීමත් සහ ඒ අතරමැද කාලයක් ඇත්නම් නම් එම නාවිකයනට හෝටල් පහසුකම් ලබාදීමත්ය.

මෙම පවරා දීම කර ඇත්තේ නීතිපතිවරයාගේ අවසරයක්ද ටෙන්ඩර් කැඳවීමක් නැතිව. ඇවන්ගාඩ් සමාගම නාවික හුවමාරු ආයතනයක් ලෙස ලියාපදිංචි නැත. ශ්‍රී ලංකා වරාය අධිකාරියයි. වරාය අධිකාරියේ ප්‍රධානියා වන්නේ හිටපු නාවික හමුදාපති මේජර් ජෙනරල් (විශ්‍රාමික) දයා රත්නායකය.මෙම ව්‍යාපාරික අවසරය නිස්සංක සේනාධිපතිට ලබා දීමට ගතවී ඇත්තේ දින තුන හතරක කාලයකි. ඒ සඳහා මැදිහත් වි ඇත්තේ ජනාධිපති රාජපක්ෂගේ විදේශ කටයුතු බාර ලේකම්වරයා වන වයිස් අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේය. ඊටත් වඩා ජුගුප්සාජනක කරුණ නම් මෙම ජයනාත් කොළඹගේ 2015ට පෙර නිස්සංක සේනාධිපති යටතේ ඔහුගේ ඇවන්ට් ගාඩ් සමාගමෙහි සේවය කර තිබීමයි.

අධිචෝදනා ලබා ඇප මත නිදහස් වී සිටින පුද්ගලයකු සහ අදාළ ආයතනය සමඟ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ඇති කර ගත් දෙවන ගිවිසුම මෙයයි. මෙම හදුන්වනු ලබන්නේ පුද්ගලිකරාජ්‍ය අංශ අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසය. මේ පිළිබඳව ලිපියක් පළ කළ පසුගිය සති අන්ත පුවත් පතක් පෙන්වා දී තිබුණේ මෙම අනපේක්ෂිත වර්ධනයෙන් මේතාක් දුරට එම ව්‍යාපාරය කරගෙන ගිය සමාගම් වික්ෂිප්තව සිටින බවයි. ලොව වරායවල් වසා ඇති තත්වය යටතේ මෙම ව්‍යාපාරය ඉතා ලාභදායක වනු ඇතැයි ද වාර්තා වේ.

මේ වනාහී නාවික හමුදාව විසින් කරගෙන ගිය නෞකා ආරක්ෂක සේවාව රාජපක්ෂවරුන් විසින් නිස්සංක සේනාධිපතිට ලබාදීම සිහියට නැංවීමක් වැන්න.

නීතියේ පාලනයට සිදුව ඇත්තේ කුමන්දැයි පෙන්වන තෙවන සිදුවීම දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට සම්බන්ධය. තමා සහ ඇවන්ගාඩ් සමාගම සම්බන්දයෙන් පසුගිය ආණ්ඩුව විසින් කරන ලද පරීක්ෂණය තමාට එරෙහිව කරන ලද දේශපාලන පළිගැනීමක් යැයි සේනාධිපති කොමිසමට පැමිණිළි කළෛ්ය. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපති දෙපාර්ථමේන්තුවට සාක්ෂි දීමට කැඳවන ලදුව නීතිපතිවරයා නීති බෝම්බයක් දමා ගැසුවේය. ඔහු කියා සිටයේ දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට වන්ට්ගාඩ් සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට නිශ්ශංක සේනාධිපතිට හැකියාවක් නොමැති බව.

මෙම කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ හැක්කේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රජයේ නිලධාරීන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවල සහ පොලිස් සේවයේ සාමාජිකයන්ට පමණක් බවත් නිශ්ශංක සේනාධිපති මෙම කාණ්ඩවලට අයත් නොවන බැවින් ඔහුට නීත්‍යනුකූලව කොමිසමට පැමිණිලි ඉදිරිපත් කළ කොහැකි බවත් නීතිපතිවරයා සිය දැනුම්දීම මගින් පැහැදිලි කර තිබේ.

ඇවන්ට් ගාඩ් සභාපතිගේ පැමිණිලි විභාගය දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ විෂය පථයට අදාල වන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක ජනාධිපති කොමිසමෙන් ප්‍රශ්න කරන ලදී. ඒ එම කොමිසමේ කැඳවීම අනුව 23 දින එහි ගිය අවස්ථාවේ දී ය. ඔහු වගඋත්තරකරුවකු ලෙස නම්කිරීමට අදාළ හේතු සාධක සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි කිසිවක් කොමිසම දිසානායකට ලබා දී නැත.

මෙම අදහස් දැක්වීම් සම්බන්ධයෙන් කොමිසමේ සභාපති විනිසුරු, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න ප්‍රකාශ කර ඇත්තේ ඇවන්ගාඩ් පැමිණිල්ල මෙම කොමිෂන් සභාවේ විෂය පථයට අයත් බවට මීට පෙර නිගමනය කිරීමෙන් පසු එය විභාග කිරීම ආරම්භ කළ බවයි. මෙම විනිසුරුවරයාගේ අතීත කතාව වික්ටර් අයිවන් විසින් රචිත “අධිකරණ නිදහසේ මළගම” කෘතියෙහි විස්තරාත්මකව දක්වා තිබේ. එහි දක්වා ඇත්තේ අධිකරණ විශමාචාරය සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කැරුණු විභාගය සම්බන්ධයෙනි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න නීතිපති දෙපාර්ථමේන්තුවේ අතිරේක නිතිපතිවරයාගෙන් විමසා ඇත්තේ මෙම විරෝධතාවය මතක් වුණේ දැන්ද කියාය. තවද ඔහු කියා ඇත්තේ නිස්සංක සේනාධිපතිගේ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපතිගේ ස්ථාවරයට පිළිතුරු දීමට අවශ්‍ය නැති බවයි.

නිස්සංක සේනාධිපතිගේ බමරය වැල්ලේ ගැහුවත් කැරකෙන පාටය!

කොමිසමේ සභාපතිවරයා කුමක් කීවද මෙරට පුරවැසියන් වශයෙන් එම කොමිසමේ විදානය නැත්නම් වරම සදහන වන්නේ කෙළෙසදැයි විමසා බැලීමට අපට අයිතියක් තිබේ. කොමිසමක් කියන නිසා හැම දෙයක්ම පිළිගත යුතුයැයි නීතියක් නැත. තින්දුවලට හිස නැමීම සහ තීන්දු විවේචනය කිරීම යනු කාරණා දෙකකි. ඕනෑම අධිකරණ තීන්දුවක් විවේචනය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තිබේ. ඔබේ තීරණය සඳහා පහත සඳහන් ජේද කියවන්න.

ජනාධිපති රාජපක්ෂ විසින් මෙම කොමිෂන් සභාව පිහිටුවීම පිනිස නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයේ එහි වරම සඳහන් වන්නේ මෙසේය:

රජය වෙනස් වීමත් සමඟ රජයේ නිලයෙන් ඉල්ලා අස් වූ හෝ අන්‍යාකාරයෙන් රජයේ නිලය දැරීම අවසන් වූ එසේ නැතහොත් එබඳු රජය වෙනස් වීමෙන් අනතුරුව ද එම නිලය තව දුරටත් දැරුවා වූත් පිළිවෙලින් 2015 ජනවාරි මාසයේ දී සහ අගෝස්තු මාසයේ දී පැවති ජනාධිපතිවරණයට සහ/හෝ මහ මැතිවරණයට පෙර නිල තල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයින්, සන්නද්ධ හමුදාවන් හි මෙන්ම පොලිස් සේවයෙහි සාමාජිකයින් 2015 ජනවාරි මස 08 වන දිනෙන් ඇරඹී 2019 නොවැම්බර් මස 16 දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ දී දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක් කරනු ලැබූ බැව් වාර්තා කරනු ලැබ ඇති හෙයින් ද

තවද, සිදු විණැයි කියනු ලබන දේශපාලනමය වශයෙන් පළිගැනීමට ලක් කිරීමේ ක්‍රියාවලිය මඟින් රජයේ නිලධරයන්ගේ, රාජ්‍ය සංස්ථාවන්හි සේවා නියුක්තිකයින්ගේ, සන්නද්ධ හමුදා සහ පොලිස් සේවයේ සාමාජිකයින්ගේ කාර්ය සාධනය කෙරෙහි සැලකිය යුතු සෘණාත්මක බලපෑමක් ඇති කරනු ලැබ ඇති අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ස්වකීය රාජකාරි ඉටු කරලීමේ දී තීරණ

ගැනීමට එකී නිලධරයන්, සේවා නියුක්තිකයින් සහ සාමාජිකයින් අකැමැත්තක් දක්වා ඇති අතර එලෙසින් අකැමැත්තක් දක්වමින් ස්වකීය වැඩ කටයුතු කෙරෙහි නිශ්ක්‍රීය ප්‍රවේශයකින් ක්‍රියා කිරීමට වැඩි කැමැත්තක් දැක්වීම හේතුවෙන් රජයේ කාර්යයන් කෙරෙහි අහිතකර බලපෑමක් සිදුවෙමින් ඇති බැව් මගේ දැන ගැනීමට යොමු කරනු ලැබ ඇති හෙයින් ද” තමා මෙම කොමිෂන් සභාව පත් කරන බව ජනාධිපති රාජපක්ෂ අංක 2157/44 දරණ ගැසට් පත්‍රයෙහි සඳහන් කර තිබේ.

මෙම කොමිසම සමන්විත වන්නේ උපාලි අබේරත්න, (විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර), දයා චන්ද්‍රසිරි ජයතිලක, (විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර) සහ චන්ද්‍රා ප්‍රනාන්දු (විශ්‍රාමික පොලිස්පති)යන තිදෙනාගෙනි. ඔවුන්ට සිය අධිකාරය ගැන පැහැදිළිකමක් තිබුනේද යන ප්‍රශ්ණය කෙනෙකුට නැගිය හැකිය.

කොමිසමේ වරම යටතට නොගැනෙන සේනාධිපතිට මෙම කොමිසමට පැමිණිළි කළ හැකි නම් එම පැමිණිල්ල උඩ නීතිපති දෙපාර්තමේන්තුවට සහ හිටපු පාර්ලිමේන්තු මංත්‍රීවරුන් කැදවියහැකි නම් එම පිළිවෙත විනය ගරුක නීතියේ පාලනයකට අයත් වන්නේ කෙසේ දැයි කල්පනා කර බලන්න. ඊටත් වඩා ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රබල දේශපාලන ආධාරකරුවකුට ලැබෙන මෙම වරප්‍රසාද, දේශපාලන පළිගැනීම්හි අනේක පැත්ත වන ගජමිතුරු වරදාන නොවන්නේද?

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමයට යැයි කියනු ලැබේ.

Back to Top