Sri Lanka Brief
පුවත්විවරණඅතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ ඊට අදාළ නීතිරීති වෙනස් කිරීමට මහින්ද රාජපක්ෂ ලොකු බලයක් ඉල්ලයි.

අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යාලය සහ ඊට අදාළ නීතිරීති වෙනස් කිරීමට මහින්ද රාජපක්ෂ ලොකු බලයක් ඉල්ලයි.

by

ඡායාරූපය: අතුරුදහන්වූවන් සඳහා වන අන්තර් ජාතික දිනය 2019 කොළඹ.© sunanda deshapriya සුනන්ද දේශප්‍රිය

පසුගිය 28දා කළ ප්‍රකාශයක් මගින් ජිනීවා එකඟතාවයන් යටතේ ස්ථාපිත කරන ලද අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ ඊට අදාළ අනෙකුත් නීති වෙනස් කිරීමට තමන්ට ශත්කිමත් බලයක් ලබා දෙන ලෙස අගමැති රාජපක්ෂ ඉල්ලා සිටී. අර්ධ සත්‍යයන් මත පදනම් කරනු ලබන එම ප්‍රකාශයෙහි මුකය අරමුණ වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස ඉල්ලීමයි. එම කතාවෙහිදී කරුනා අම්මාන් විසින් මෑතදී කරන ලද ප්‍රකාශය ගනන් නොගන්නා ලෙස ද ඉල්ලා සිටින රාජපක්ෂ තම ආන්ඩුවට එරෙහිව දෙස් විදෙස් ක්‍රමන්ත්‍රණයක් ඇති බව ද ප්‍රකාශ කරයි. පසුගිය වසර පහ පුරා මෙරට යුක්තිය මත පදනම්ව සංහිදියාව ඇති කිරීමට දරණ ලද පියවරයන් මහා මැතිවරණයෙන් පසු හකුලා දැමෙන බව එම ප්‍රකාශයෙන් තහවුරු වෙයි. 

එම ප්‍රකාශයේ අදාළ කොටස් මෙසේය:

“2015 මේ රටේ බලය අල්ල ගත්ත යහපාලන කුමන්ත්‍රණකාරයෝ ඒගොල්ලන්ගෙ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය තමයි 2015 ඔක්තෝබර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ සම අනුග්‍රාහකත්වයෙන් සම්මත කරගත්ත 30/1 යෝජනාව. ඒකෙන් ඉස්සෙල්ලාම කළේ, ලංකාවේ හමුදාව යුද අපරාධ කළැයි කියා පිළිගන්න එක. ඊට පස්සේ ඒ යුද අපරාධ චෝදනා විභාග කරන්න විදේශීය විනිශ්චයකාරවරුන් හා පරිචෝදකයන් සහිත විශේෂ අධිකරණයක් පිහිටුවන්න එකඟ වුණා. උසාවියේ නඩුවක් ගොනු කරන්න තරම් සාක්‍ෂි නැති වුණත්, මානව හිමිකම් උල්ලංඝනය කළාය කියන සැකයක් හරි තියෙන සන්නද්ධ හමුදා සාමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කරන්නත් ඒගොල්ලෝ බාර ගත්තා. මෙහි අරමුණ වුණේ, ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ ජීවගුණය බිඳ දමා අකර්මණ්‍ය කරන්නයි.

“30/1 යෝජනාවේ ප්‍රධානම පොරොන්දු, කියූ ආකාරයටම ක්‍රියාත්මක කරන්න බැරි වුණත්, ඒවා වෙනත් ආකාරයට ක්‍රියාත්මක කරන්න යහපාලන ආණ්ඩුව අලුත් නීති සම්මත කර තියෙනවා. 2016 අගෝස්තු මාසයේදී පාර්ලිමේන්තුවේ විවාදයකටවත් ඉඩ නොදී යහපාලකයෝ අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත බලහත්කාරයෙන් සම්මත කරගත්තා. ‘කාර්යාලයක්’ කිවුවාට ඒක ඇත්තටම සිතාසි නිකුත් කරන්න, සාක්ෂිරුවන් කැඳවන්න, විභාග පවත්වන්න බලය තියෙන විනිශ්චය සභාවක්. ඒකෙ නිලධාරීන්ට ඕනෑම හමුදා කඳවුරක්, පොලිස් ස්ථානයක්, බන්ධනාගාරයක් වරෙන්තු නැතුව සෝදිසි කර ඕනෑම ලියවිල්ලක් හෝ භාණ්ඩයක් තමන් සන්තකයට ගන්න පුළුවන්. රාජ්‍ය රහස් පනතේ විධිවිධානවලට පටහැනිව වූවත්, බුද්ධි අංශ, සන්නද්ධ හමුදා ඇතුළු සියලුම රජයේ ආයතන මේ අතුරුදන් වූවන්ගේ කාර්යාලයට සම්පූර්ණ සහයෝගය දක්වන්න නීතියෙන් බැඳී ඉන්නවා.

2018 මාර්තු මාසයේ මහා සංඝරත්නයේ දැඩි විරෝධයත් නොතකා අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ලංකාවේ බලාත්මක කරන්න 2018 අංක 5 දරණ පනත යහපාලකයෝ සම්මත කරගත්තා. මේකෙන් ඇත්තටම කෙරෙන්නේ අතුරුදන් වූවන් හොයන එක නොවෙයි. ලංකාවේ හමුදා සාමාජිකයන් දඩයම් කරන එකයි. මේ නීතිය යටතේ ලංකාවේ අතුරුදන් කරවීමක් සිදු කළාය කියා සැක කරන පුද්ගලයකු විදේශීය රටකට උදර්පණය කරගෙන ඔහුට විරුද්ධව එම රටේදී නඩු පවරන්න නැති නම්, ජාත්‍යන්තර අපරාධ අධිකරණයට බාරදීම කරන්න පුළුවන්.

“2018 අගෝස්තු මාසයේදී, අපරාධ කටයුතුවලදී අන්‍යෝන්‍ය උපකාර සැලසීම් පනතට යහපාලන ආණ්ඩුව ගෙනා අංක 24 දරණ සංශෝධන පනතෙන් කෙරෙන්නේ, විදේශීය රටකට නැති නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලංකාවේ ඒගොල්ලන්ට අවශ්‍ය සැකකරුවන් නැතිනම් සාක්‍ෂිකරුවන් සොයා ගන්න, ඒ නඩුවලට අවශ්‍ය සාක්‍ෂි ලංකාවෙන් ගෙන්වාගන්න යාන්ත්‍රණයක් හදන එකයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ශ්‍රී ලංකාවේ යුද අපරාධ කළ බවට සැක කරන සන්නද්ධ හමුදා සාමාජිකයන්ට විරුද්ධව තම තමන්ගේ රටවල “යුනිවර්සල් ජූරිස්ඩික්ෂන්” සංකල්පය යටතේ නඩු පවරන්න කියා බටහිර රටවලින් දැනටමත් ඉල්ලීමක් කර තියෙනවා.

“2019, ජනාධිපතිවරණයෙන් යහපාලකයෝ දිනුව නම් මේ ඔක්කොම ක්‍රියාත්මක කර ලංකාව ඉවරම කර දානවා. මේ දෙස් විදෙස් කුමන්ත්‍රණය තීරණාත්මක විදිහට පරාජය කරන්න අපට ඉතාමත්ම ප්‍රබල ජනවරමක් ඕනෑ වෙනවා.”

සම්පූර්න ලිපිය පීඩීෆ් ගොනුවක් ලෙස කියවන්න:අගමැති කතාව 28062020

Back to Top