Sri Lanka Brief
පුවත්වසංගත කාලයේ ජනපති නොකළ යුතු වූ දේශපාලන වැරදි 10ක්. – සුනන්ද දේශප්‍රිය.

වසංගත කාලයේ ජනපති නොකළ යුතු වූ දේශපාලන වැරදි 10ක්. – සුනන්ද දේශප්‍රිය.

by

1. පසුගිය මාර්තු 02 දින ජනාධිපතිවරයා විසින් නියමිත කාලයට මාස හයකට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද්දේ ගෝලීය කොවිඩ්-19 වසංගතයෙහි අනතුර මෙරටට දැනෙමින් තිබියදීය. වර්ධනය වෙමින් පැවැති වසංගත තත්වය හමුවෙහි මහා මැතිවරණයක් පැවැත්විය හැකිද නැත්ද යන ප්‍රශ්ණය ඒ වන විටත් මතුව තිබූ නමුත් ජනාධිපතිවරයා අනතුර නොසළකා ැනෙක් පක්ෂ සමඟ කිසිදු සාකච්ජාවකින් තොරව මහ මැතිවරණයක් කැඳවීමට තීරණය කළේය. මේ වනාහී වසංගතයට අදාළව ඔහු විසින් නොකළ යුතුව තිබූ පළමු වරදය.

2. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු පවා වසංගත අනතුර යථාර්තයක් බව තේරුමි ගිය වහාම අඩුම වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ කැඳවා එළඹෙන අනතුරට මුහුණු දීම සඳහා ඒකාබද්ධ ප්‍රවිශ්ඨයක් ඇති කර ගත යුතුව තිබුණි. එමගින් පටු දේශපාලන අරමුණු ඉවතලා මෙම ගෝලීය වංගතයට මුහුණ දීම සඳහා සෑම දෙනාටම එක්විය හැකි පුලුල් වැඩ සටහනක් දියත් කළ හැකිව තිබුණි. දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයා යනු තමන්ගේ ගජමිතුරන් සමඟ කොටු වන කෙනෙක් නොවේ. නමුත් ජනාධිපති රාජපක්ෂ කිසිම ලෙසකින් එවැනි සාමූහික උත්සාහයක් දැරුවේ නැත. ඒ වනාහී වසංගතයට අදාළව ඔහු විසින් නොකළ යුතුව තිබූ දෙවන වරදය.

3. වසංගතය මෙරට පැතිර යාම ආරම්භ වූ විට ඊට මුහුණ දීමට අවශ්‍ය නීත්‍යනුකූල යාන්ත්‍රණයන් සහ මෙවළම් පිහිටුවා ගැනීම වෙනුවට පැහැදිළි නීතිමය පදනමක් නැති ක්‍රියාමාර්ග ගැනීමට ඔහු තීරණය කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබීම නිසා ව්‍යවස්ථාපිත යාන්ත්‍රණයන් පිහිටුවීමට නොහැකි වී තිබූ බැවින් රට වසා දැමීම සඳහා ඒ ව්‍යවස්ථානුකූල නොවන පොලිස් ඇඳිරි නීතිය පැනවීමට ජනාධිපතිවරයා පියවර ගත්තේය. එම ඇඳිරි නීිතිය පනවන ලද්දේ ගැසට් නිවේදනයක් මගින් නොව ජනාධිපති මාධ්‍ය ඒකකයේ නිවේදනයක් මගිනි. දැන් මෙම අනීතික “පොලිස් අඳැරි නීතිය” යටත් 50, ආසන්න මෙරට පුරවැසියන් පිරිසක්ද වාහන දහ දහසකට වැඩි ප්‍රමාණයක් ද අත් අඩංගුවට ගෙන තිබේ. මේ වනාහී භයානක පූර්වාදර්ශයක් ද වන වසංගතයට අදාළව ඔහු විසින් නොකළ යුතුව තිබූ තෙවන වරදය.

4. ඔහු වසංගතය පාලනය කිරීම සුව සේවා ප්‍රධානීන්ට පවරනු වෙනුවට යුද්ධ හමුදාවේ අණදෙන සෙන්පති යටතට එය පත් කළේය. මේ වනාහී ලොව කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු නොවූ දෙයකි. මෙයට පෙරත් මෙරට දී ගංවතුර සහ නායයෑම් යනාදී ව්‍යවසනයන්හිදීත් සුනාමි ව්‍යසනයේදීත් සහාය පිනිස යුද්ධ හමුදා කැඳවන ලද නමුත් එම කටයුතුවලට නායකත්වය දෙන ලද්දේ නිසි පරිදි පිහිටුවන ලද අදාළ පරිපාලන සේවා සිවිල් යාන්ත්‍රණයන් විසිනි. තුන් සියයකට ආසන්න නාවික හමුදා සෙබළ පිරිසක් කොවිඩ් 19 අසාදිතයින් බවට පත් වූයේ ආරක්ෂාකාරී සුවසේවා මානසිකත්වයකට වඩා සතුරා පරාජය කිරීමේ යුද්ධ මානසිකත්වය ප්‍රමුඛ බවට පැමිණුන නිසාය. මේ වනාහී වසංගතයට අදාළව ඔහු විසින් නොකළ යුතුව තිබූ සිව්වන වරදය.

5. මුල් දිනවල මෙරට කොවිඩ් අසාදිත පිරිස් අතර මුස්ලිම් ජනයා වැඩි පිරිසක් වී යැයි යන උපකල්පනය මත වසංගතය මුස්ලිම් ජනයා මත පැටවීමට ජනාධිපතිවරයාගේ සමීපතම පිරිස් උත්සාහ කළෝය. යුද හමුදාපතිවරයා මෙන්ම ඇමැති අලුත්ගමගේද. ප්‍රචාරකයකු වන චතුර අල්විස් ද ප්‍රසිද්ධියේම මෙම මිත්‍යාව පතුරුවන ලද්දේ වාර්ගික විශමතාවයන්ට මඟ පාදමිනි. ජනාධිපති රාජපක්ෂ ඒ ගැන මුනිවත රැක්කේය. එවැනි නිහඩ හැසිරීමක් මගින් වසංගතයට ජනවාර්ගික මුහුණූවරක් දීම කළ යුතු දෙයකැයි ඔහුගේ අනුගාමිකයින් සිතන්නට ඉඩ තිබුණි. වසංගතය මුස්ලිම් ජනයාට ආරෝපණය කිරීම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් හෙළා දැකිය යුතුව තිබු නමුත් ඔහු එසේ කළේ නැත. එසේ නොකිරීම මේ වසංගතයට අදාළව ඔහු විසින් නොකළ යුතුව තිබූ පස්වන වරදය.

6. දැන් රාජ්‍ය බුද්ධි සේවයේ වැඩබලන නියොජ්‍ය අධ්‍යක්ෂක විසින්ම ප්‍රකාශ කර ඇති පරිදි වසංගතය පාලනය කිරීම රාජ්‍ය බුද්ධි සේවා යටතට පත් කරන ඇත. කොවිඩ් අසාදිත පිරිස් ද ඔවුන් හා සම්බන්ධ වූ පිරිස් ද සොයා ගන්නා ලද්දේ සිය ඔත්තුකරුවන් හරහා යැයි ද ඔහු ප්‍රසිද්ධියේම කීවේය. එපමණක් නොව ශ්‍රී ලංකාව හැරුණ විට එළෙස රාජ්‍ය බුද්ධි අංශ මගින් වංසගතය ග්‍රහණයට ගත් එකම රට ඊශ්‍රාලය යැයිද කීවේය. ඊශ්‍රාලය වනාහී සමස්ත ජනතාවම සිය විපරම් යාන්ත්‍රණයන් යටතට ගෙන ඇති වර්ගවාදී පොලිස් රාජ්‍යකි. එරට පලස්තීන ජනයාට කොවිඩ් 19 සම්බන්ධයෙන් ඊශ්‍රාලය දක්වන නපුරු සැළකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පවා හෙළා දැක තිබේ. එවැනි රටක් අනුගමනය කරමින් ඔත්තු සේවාවන්ට සෞඛ්‍ය ප්‍රශ්ණයක් ග්‍රහණයට ගැනීමට බාරදීම ඔහු විසින් නොකළ යුතු වූ සයවැනි වරදය.

7. වසංගතය පැතිරයාමට පටන්ගැනීමෙන් පසු ජාතිය ඇමතූ ජනාධිපති රාජපක්ෂ ටින් කරන ලද මාලු සහ පරිප්පු වසංගත සමය තුළ අඩුමිලට දෙන බවට බැරූරැම් ප්‍රකාශයක් කළේය. එනමුත් එම භාණ්ඩ ආලෙවි කරන වෙළද සැල්වලට මිල අඩුකිරීමෙන් වන හානිය පියවා ගැනීමට මුල්‍ය ආධාර ලබා දුන්නේ නැත. දින කිහිපයකදී අඩුමිල ටින් මාලු සහ පරිප්පු වාශ්ප වී ගියේය. අන්තිමේදී එම මිල පාලනයඉවත් කර ගැනීමට රාජපක්ෂට සිදුවිය. මෙමගින් සංකේතවත් වන දුර්වල පාරිභෝගික සැපයුම් කළමණාකරණය, අනෙක් සියළුම අංශයන්හිදී ද දක්නට ලැබුණි. “ඇදිරි නිති” සමයෙහි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සහ ඔෘෂධ සඳහා වෙළද සැල් විවෘතව තැබීම හෝ වෙනත් විධිමත් වැඩ සටහනක් පිහිටුවිමට බැරි වීම නොකළ යුතුව තිබූ හත්වන වරදය.

8.වසංගත තත්වය උත්සන්න වීම නිසා මැතිවරණය ප්‍රථමයෙන් දින නියමයක් නොමැතිව පාර්ලිමේන්තුව කල් තැබූ කොමිෂන් සභාව ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරනයේ අදහස් විමසන ලෙස ජනාධිපති රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය. ඔහු එම සාධාරණ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා පමණක් නොව ඊට සැර පිළිතුරක් යැවුවේය. නීතිගරුක සහ නීතියට බිය නැති රාජ්‍ය තාන්ත්‍රිකයකු වී නම් ඔහු විසින් කළ යුතුව තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා තෙමසක් තුළ නව පාර්ලිමේන්තුවක් කැදවිය නොහැකිව වසංගත තත්වයක් උදගතව ඇති බැවින් ගත හැකි ව්‍යවස්ථානුකුල පියවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමය. ඒ වෙනුවට ඔහු කළේ තමාට හිතැති බෞද්ධ භික්ෂුන් ලවා පාර්ලිමේන්තුව යළි නොකැඳවන සේ ප්‍රකාශයක් ලබා ගැනීමය. ශ්‍රේෂ්ඨාධිකරණයට නොයෑම මගින් ඔහු ව්‍යවස්ථානුකූල අර්බූදයකට මඟ පැදීය. මේ වනාහී ඔහු විසින් නොකළ යුතුව තිබූ අටවන වරදය.

9. වසංගතයට මුහුණ දීම පිනිස රට වසා දමන ලද බැවින් පෙර නොවී විරූ ආර්ථික සහ සමාජ අර්බූදයක් ඇතිවිය. එදිනෙදා ලබන ආදායම් මගින් ජීවත්වන ලක්ෂ සංථ්‍යාක ශ්‍රී ලංකික පුරවැසියනට සිය ජීවනෝපාය අහිමි විය. පාරිභෝගික භාණ්ඩ නැතිකමින් ජනයා දුෂ්කරතාවයන්ට පත් වූහ. මෙම තත්වයට මුහුණ දෙනු පිනිස පත් කර ලද කාර්‍ය සාධක බලකා දෙකක්ම අසාර්ථක වූ බැවින් තෙවැනි කාර්‍ය සාධක බලකායක් ද පිහිටුවන ලදී. එහි ප්‍රධානියා වශයෙන් පත් කරන ලද්දේ ජනාධිපතිවරයාගේ සහෝදරයකු වූ ද මහ මැතිවරණයට තරඟ වදින පොදු ජන පෙරමුණෙහි ජාතික සංවිධායකවූද බැසිල් රාජපක්ෂය. මෙම පත් කිරීම සාධාරණ සහ නිදහස් මැතිවරණයක් පැවැත්වීම අඩාල කරන දැවැන්ත පක්ෂග්‍රාහී පියවරකි. මෙම කාර්‍ය සාධක බලකාය රජයේ පරිපාලන නිලධාරියකු යටතට පත් නොකර මැතිවරණයට තරඟ වදින පක්ෂයක සංවිධායකවරයකුට දීම ජනාධිපති රාජපක්ෂ විසින් නොකළ යුතු වූ නමවන වරදය.

10. පාර්ලිමේන්තු මහා මැතිවරණය දැන් 2020 ජූනි 20 වන දින පවත්වන බවට එම කොමිෂන් සභාව විසින් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ නිසා ව්‍යවස්ථානුකූළ අර්බූදයක් ඇතිවීමේ අනතුරක් පැන නැගී ඇතැයි විවිධ පාර්ශව ප්‍රකාශ කරති. මෙයට හේතුව වන්නේ මැතිවරණ කොමිසම නිකුත් කළ ගැසට් නිවේදනය නිසා මාර්තු දෙවන දින පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය තවදුරටත් වලංඟුද නැත්ද යන ප්‍රශ්ණය මතුව තිබීමයි. ජනාධිපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව මීළඟ පාර්ලිමේන්තුව මැයි මස 14 දින රැස්විය යුතුව තිබුණි. දැන් මැතිවරණය පැවත්වීමට නියම කර ඇත්තේ එම දිනයට පසුව එන දිනයකය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (5) වගන්තිය අනුව විසුරුවා හැරීමෙන් පසුව තෝරා ගන්නා පාර්ලිමේන්තුව මාස තුනක් ඉක්මවීමට පෙර දිනක රැස්විය යුතුය. ව්‍යවස්ථාව මගින් ලැබෙන මාස තුනක උපරිම සීමාව අනුව පාර්ලිමේන්තුව අවසාන වශයෙන් ජූනි මස 02 දින රැස්විය යුතුය. දැන් මැතිවරණ කොමිෂන් සභාවේ තීරණය අනුව ජූනි 20 දින මැතිවරණය පවත්වන විට පාර්ලිමේන්තුව රැස්විය යුතු එම දිනයද පසුවී හමාරය. එය එසේ වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රකාර පාර්ලිමේන්තුව නැතිව පැවතිය යුතු උපරිම කාලය වන මාස තුනක කාලය පිළිබඳ විධිවිධානය උල්ලංඝණය වෙයි. වසංගතයකට මුහුණ දී සිටින රටක් ව්‍යවස්ථා අර්බූදයකට ද ලක් කරමින්, පාර්ලිමේන්තුව යළි කැඳවා “ඇඳිරි නීතිය” ඇතුලු වසංගතය පාලනය කිරිම සඳහා ගෙන ඇති අනෙක් එවැනි ක්‍රියාකාරකම් ද නීතිමය තත්වයක් යටතට පත් කිරීම ජනාධිපතිවරයා විසින් ගතයුතු වූ ප්‍රශස්ථතම පියවරයි. එසේ නොකරීම වසංගතයට අදාළව ඔහු විසින් නොකළ යුතුව තිබූ දසවන වරදය.

සමහර විට මෙම දසවන වරද ජනාධිපති රාජපක්ෂගේ ජනාධිපතිධුර කාලයේ පළමු උලමා හැඩීම බවට පත්වීමට ද ඉඩ තිබේ.

Back to Top