Sri Lanka Brief
පුවත්විවරණවසංගතය පාලනය වෙනුවට මිනිසුන් සිරගත කිරීම – රුවිනි අයේෂා බියගම

වසංගතය පාලනය වෙනුවට මිනිසුන් සිරගත කිරීම – රුවිනි අයේෂා බියගම

by

Image courtesy of Economy Next.

කොවිඩ් 19 වසංගතය රට පුරා පැතිරී යාම ආරම්භ වීමත් සමග පොලිස් ඇදිරි නීතිය‘ රට පුරා ක්‍රියාත්මක කරවීම ආරම්භ විය. වසංගතයේ පැතිරීමටත් වඩා වේගයෙන් ඇදිරිනීතිය කඩ කරන්නන්ගේ සංඛ්‍යාව වැඩි වූ අතර ඔවුන් බොහෝ දෙනෙකු අත්අඩංගුවට පත්වූ බව මාධ්‍ය සහ පොලිස් මාධ්‍ය නිවේදන වාර්තා කළේය. රන්ජන් රාමනායක විසින් ඇදිරි නීතිය කඩකරන ලද බවට චෝදනා ලැබූ නඩුවේදී මෙම ඇදිරි නීතිය නීත්‍යානුකූල නොවන ඇදිරි නීතියක් බව ජනාධිපති නීතිඥ එම්. . සුමන්තිරන් පෙන්වා දෙනු ලැබුවේය. ඒ අනුව ඇදිරිනීතිය යටතේ සිදුවන අත්අඩංගුවට ගැනීම් වල ඇති නෛතිකභාවය පිළිබදව සංවාදය බොහෝ නීතිවේදීන් හා සමාජ ක්‍රියාකාරිකයින් අතරින් පැන නැගිනි. මෙම අවධියේම ICCPR පනත යටතේ සහ ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේද තවත් අත්අඩංගුවට ගැනීම් සිදු වන්නේ ඇදිරි නීතිය පැනවීම නිසාවෙන් යුක්තියට ඇති මාර්ගය පවා අදාල සැකකරුවන්ට අවහිරව තිබියදීය

නීතියේ ඇදිරිය

පසුගිය මැයි 11 වන දින නඩු අංක B 1108/20 යටතේ ඇදිරි නීතියේ නීත්‍යානුකූලභාවය පිලිබදව ගම්පහ මහේස්ත්‍රාත් අධිරණයේ විනිසුරුවරයා විසින් තීන්දුවක් ලබා දෙන්නේය. මහේස්ත්‍රාත් අධිකරණයට යොමුකරන ලද පැමිණිල්ලේ සදහන් වන්නේ වසංගත රෝග ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස ජනරජයේ ජනාධිපතිවරයා විසින් 1947 අංක 25 දරන මහජන ආරක්ෂක ආඥා පනතෙහි 16 (1) වගන්තියෙහි ප්‍රතිපාදන ප්‍රකාරව ඇදිරිනීතිය පැනවිය යුතුව තිබුනද එසේ සිදු නොවී ඇති බැවින් පනවා ඇති ඇදිරි නීතියේ නීත්‍යානුකූලභාවය පිලිබදව නෛතික ගැටලුවක් පවතින බවය.

ඇදිරි නීතිය පනවන අවස්ථාව වනවිට කොවිඩ් 19 වසංගත රෝගය ව්‍යාප්තිය පාලනය කිරීමට අදාලව කිසිදු ආකාරයක මහජන සාමය බිද වැටීමක් හෝ මහජන සාමය බිදවැටීමකට හේතු විය හැකි කිසිදු සාධනීය කරුණක් රටෙන් වාර්තා නොවීම නිසා මහජන ආරක්ෂක ආඥා පනතේ 16 වන වගන්තියේ ප්‍රතිපාදන ප්‍රකාරව අනුව ඇදිරි නීතිය පැනවීමක් සිදු කළ යුතු යැයි යන ස්ථාවරය විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලබයි. එසේම සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මාර්තු 20 වන දින අංක 2167/18 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරව කොවිඩ් 19 වසංගත රෝගයක් බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව1897අංකදරන නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥා පනත යටතේ මුලු දිවයිනටම බලය හිමි නිසි බලධරයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ මතය අභිනියෝජනය කරමින් වැඩ බලන පොලිස්පතිවරයා විසින් ඇදිරි නීතිය පනවනු ලැබ ඇති බැවින් මෙම නිරෝධායන ඇදිරි නීතියනීත්‍යානුකූල බව ප්‍රකාශ කරමින් ඉහත කී අධිකරණ තීන්දුව ලබා දී තිබේ.

1897 අංක 3 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනත ක්‍රියාවට නංවමින් එහි13වන වගන්තියට අනුව වසංගත රෝග තත්ත්වයක් රට තුල ප්‍රකාශයට පත් කල පසු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයාට වසංගතය පාලනය කිරීම උදෙසා පොලිසියේ සහය ලබා ගැනීමට හැකියාවක් ඇත. ගැටලුව පැන නැගෙන්නේ වැඩබලන පොලිස්පතිවරයා විසින් මුලු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නීතිය පැනවීම සිදු කරන්නේ මාර්තු18වන දා වීමත් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොවිඩ් 19 වසංගත රෝගයක් බවට වන ගැසට් නිවේදනය නිකුත් කරන්නේ මාර්තු 20 වන දින වීමත් නිසාය.

මෙම තීන්දුව මහේස්ත්‍රාත් අධිකරණයක් විසින් නිකුත් කර ඇති අධිකරණ තීන්දුවක් බැවින් එය අවසානාත්මක තීන්දුවක් නොවේ. ඉහළ අධිකරණ වලට ඒ සම්බන්ධයෙන් බැදියාවක්ද නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් වන සංවාදය තවදුරටත් විවෘතව පවතී.

ඇදිරි නීතිය නිත්‍යානුකූල වුවත් නොවූවත් එවැනි මොහොතක එවැනි පාලනයක් අවශ්‍ය බැවින් අයිතිවාසිකම් පිලිබද උනන්දු බොහෝ දෙනෙකු මේ පිළිබද නිහඩ පිළිවෙතත් අනුගමනය කලේය. නමුත් ඒ නිහඩ බව පොලීසියට හෝ අත්තනෝමතිකව කටයුතු කිරීමට ලබා දෙන අවසරයක් නොවේ. එම නිසා ඇදිරිනීති කාලය තුල සිදුවූ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් ගැන සොයා බැලිය යුතුය.

රම්සි රසීක් සහ ICCPR

අප්‍රේල් 02 වැනි දින රම්සි රසීක් අත්අඩංගුවට ගැනෙන්නේ සිය ෆේස්බුක් පිටුවේ චින්තන ජිහාදයක්‘, හෙවත් මතවාදීමය අරගලයක් කළ යුතු බවට සටහනක් තැබීම නිසාය. රම්සි මෙහිදී අදහස් කරන්නේ ජනතාවට සත්‍ය අවබෝධ කරවීම උදෙසා හැකි සෑම මාධ්‍යයක්ම යොදා ගනිමින් කළ යුතු වන මතවාදී අරගලයක් ගැන මිස ත්‍රස්ත්‍රවාදයක් හෝ ආයුධ සන්නද්ධ අරගලයක් ගැන නොවේ. රම්සි කාලයක් තිසේසේම ජාතිවාදයට එරෙහිවද සමානාත්මතාවය හා සාධාරණත්වය වෙනුවෙන්ද තම අදහස් පල කල සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකි.

රම්සි රසීක් සහ හිජාස් හිස්බුල්ලා කෙරෝන සමයේ අවනීීීීීීීතියේ ගොදුරුය.

ඔහුට විරුද්ධව ඇති චෝදනාව වන්නේ ජාතිවාදී මත පල කිරීමය. කොවිඩ් 19වැළදුනු මුස්ලිම් ජාතික රෝගීන් ආදාහනයට රජය ගත් තීරණයට ඇතැම් ඉස්ලාම් විරෝධතාවයක් පැන නගිද්දී,රම්සි ඔහු විශ්වාස කල සත්‍යය සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර ඇත.

ඉස්ලාම් යනු පිච්චීම හෝ වැලලීම නොවේ. මා දන්නා ඉස්ලාමය සකල ලෝකවාසීන් ට යහපතකි, සාන්තියකි. මානව වර්‍ගයාට අයහපත් වන කිසිවක් ඉස්ලාමය අනුමත නොකරයි. රෝගී වී මියගිය පුද්ගලයකු මිහිදන් කිරීම මිනිසාගේ සෞඛ්‍ය ට අහිතකර බවට වෛද්‍ය විද්‍යායානුකූලව තහවුරු වුවහොත් හෝ සමස්ත ජනයාගේ යහපත වෙනුවෙන් එසේ මිහිදන් නොකල යුතුබවට රජයක් විසින් සාධාරණ තීරණයක් ගතහොත් සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් එයට අවනත වීම මුස්ලිම්වරයෙකුගේ අනිවාර්යය වගකීමක් බවට මගේ දහමින් මට උගන්වා ඇත.
මේ අනුව මම හෙට කොරෝනාවෙන් මියගියත් මගේ දේහය මිහිදන් නොකර එය ආදාහනය කිරීමට මම විරුද්ධ නොවෙමි.”

අප්‍රේල්10වන දින අත්අඩංගුවට පත් වූ රම්සි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්ති පනත (ICCPR)හා පරිඝණක අපරාධ පනත අනුව අත්අඩංගුවට පත්ව ඇති බව ඔහුගේ නීතිඥයන් ප්‍රකාශ කරයි. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ 3 (1)වගන්තිය අනුව, “කිසි ම තැතැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික,වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය.”

වැනි වගන්තියේම (4)වැනි උප වගන්තියට අනුව මේ වගන්තිය යටතේ වූ වරදක් සංඥෙය සහ ඇප දිය නොහැකි වරදක් විය යුතු අතර එවැනි වරදක් සිදුකර ඇති බවට සැක කරනු ලබන හෝ චෝදනා ලැබ සිටින කිසිම තැනැත්තකු විශේෂ අවස්ථානුගත කරුණුවලදී මහාධිකරණය විසින් හැර ඇප මත මුදා හරිනු නොලැබිය යුතුය,”යනුවෙන් සඳහන් වී තිබේ. මෙම පනතේ 3 (1) වගන්තියේ සඳහන් ආකාරයේ වරදක් සිදු කළ තැනැත්තෙකුට ඇප ලබා ගැනීමේ මුල් අවස්ථා අධිකරණය වන්නේ මහාධිකරණයයි. එහි අරුත වන්නේ මහාධිකරණයකට වඩා පහළ අධිකරණයකින් ඇප ලබා ගැනීමට නොහැකිය යන්නයි. ඒ අනුව, 1997 අංක 30 දරන ඇප පනත මෙහිදී ක්‍රියාත්මක නොවේ.

බුදු දහමට අපහාස කරන ලදැයි යන චෝදනාව යටතේ පසුගිය කාලයේ ලේඛක ශක්තික සත්කුමාර පොල්ගහවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අනතුරුව මාස හතරක කාලයක් සිරගත කරනු ලැබුවේද, නැව් සුක්කානමක රුවක් මුද්‍රිත ගවුමක් හැදීම නිසා රහීම් මහීසනා හසලක පොලිසීය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේද ඉහත කී පනත යටතේමය.

අත්අඩංගුවට ගැනීමෙන් පසුව රම්සිව හමු වී කතා බස් කිරීමට මේ වනතුරු ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවස්ථාවක් ලබාදී නොමැති අතර, ඔහු රදවා ගෙන තිබෙන්නේ කොහිදැයි යන්නද ඔවුන්ට දැනුම් දීමක් කර නොමැත. ඔහු අත්අඩංගුවට පත් වනවිටත් අයහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වී ඇති අතර අදාල සෞඛ්‍ය රැකවරණය ඔහුට ලබා දෙන මෙන් නීතිඥයින් මගින් ඉල්ලීමක් කර තිබුණද මේ වනවිටත් එවැනි රැකවරණයක් ලැබෙන බවට පවුලේ සාමාජිකයින්ව දැනුවත් කර නොමැත.

නීතිඥ හිස්බුල්ලා සහ අත්අඩංගුවට ගැනීම්

සිවිල් ක්‍රියාකාරිකයෙකු මෙන්ම ප්‍රකට නීතිඥවරයෙකුද වන හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනෙන්නේ පසුගිය අප්‍රේල් 14 වන දිනය. ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් සේවාදායකයෙකු විසින් නීතිඥ හිස්බුල්ලාට ලබා දෙන දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් චෝදනා ගොනු කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව ඔහුගේ නීතිඥයින් පවසයි. මෙම අත්අඩංගුවට ගැනීම පවා සිදු වී තිබෙන්නේ කොවිඩ් 19 පිළිබදව පරීක්ෂාවක් සිදු කිරීමට සෞඛ්‍ය නිළධාරීන් නිවසට පැමිණෙන බැවින් නිවසටම වී සිටින ලෙසට නීතිඥ හිස්බුල්ලාට කරන ලද දැනුම් දීමකින් අනතුරුවය. ඒ අනුව නිරෝධායනයේ මුවාවෙන් නීතිඥ හිස්බුල්ලාව නොමග යවමින් නීතිඥවරයෙකුගේ සහය ලබා ගැනීමට ඇති අවස්ථාව හිතාමතා අවහිර කරමින් මෙය සිදු කර තිබෙන්නේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද මෙම අත්අඩංගුවට ගැනීමෙන් පසුව අප්‍රේල් 16 වන දිනයේ සිට අද දක්වාම පෞද්ගලිකව නීතිඥවරයෙක්ව හමුවීමට ඇති අයිතිය පවා නීතිඥ හිස්බුල්ලාට අහිමිව ගොස් ඇත්තේය.

හිජාස් යනු ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා සාමය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ක්‍රියාකාරීව තම දායකත්වය ලබාදුන් දක්ෂ නීතිඥවරයෙකි. විශේෂයෙන්ම 2018 ඔක්තෝම්බර් මස සිදුවූ ව්‍යවස්ථා අර්බුදය සිදු වූ අවස්ථාවේ ජනාධිපතිගේ නීති විරෝධී ක්‍රියාවට එරෙහිව අධිකරණයේ පෙනී සිටි ප්‍රමුඛ පෙලේ නීතිඥවරුන් අතර එක් නීතිඥවරයෙකි. එමෙන්ම නීතිවිරෝධීව පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිරණයේ පෙනී සිටි නීතිඥවරයාය. ගෝල්ඩන් කී නඩුවේදී අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන්ද, ක්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලිවලට අන්තවාදීන් පහරදීම් පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවලද, කුරුණෑගල වෛද සාෆි පිළිබඳ සිද්ධියේදී ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටි නීතිඥවරයෙකි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගනිමින් අත්අඩංගුවට පත්ව සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන ව්‍යවස්ථාව ප්‍රකාරව හිමි විය යුතු මූලික අයිතිවාසිකමක් වන නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය අහිමි කර තිබේ. මේ වනතුරුත් ඔහුව විනිසුරුවරයෙක් වෙත යොමු කර නොමැති අතර කිසිදු නඩු විභාගයකින් තොරවම මාධ්‍ය මගින් මේ වනවිට ඔහුව ක්‍රම ක්‍රමයෙන් වරදකරුවකු කරමින් තිබෙන්නේ නීතිඥවරයෙකු ලෙස හෝ ඔහුට තිබිය යුතු වෘත්තීය අයිතිවාසිකම් පවා නොසලකා හරිමිනි.

ඇදිරිනීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම්

මෙම ලිපිය ලියවෙන2020මැයි17වන දින ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා මේ දක්වා කාලය තුළ පුද්ගලයින් 56,326දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.එම කාලය තුළ පොලිස් භාරයට ගත් මුළු රථ වාහන සංඛ්‍යාව15,490ක් බව පොලිස් මූලස්ථානය සදහන් කර තිබේ. අදාළ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම් 13,556ක් සිදුකර ඇතිඅතර දඞුවම් නියම කළ සංඛ්‍යාව 5221ක් වේ.

ගෝලීය වසංගතයකින් ලෝකයම බැට කමින් සිටින මොහොතක ජනතාවගේ හිතුවක්කාරී හැසිරීම් පාලනය කරමින් කොවිඩ් 19 වසංගතය පැතිරීම වළක්වා ගැනීමට රටක් තුළ නීති ක්‍රියාත්මක විය යුත්තේය. නමුත් එකී නීති තුළින්ම අත්අඩංගුවට පත්වූ පුරවැසියන් දහස් ගණනක් නීතිඥවරයකුගේ සහය ලබා ගැනීමට පවා නොහැකිව සිරගතව සිටීමෙන් කොවිඩ් පාලනයට සමගාමීව ජනතාවගේ මූලික අයිතීන්ද පාලනය වෙමින් පවතින්නේය.

අදහස් ප්‍රකාශ කිරීම නිසා අත් අඩංගුවට ගැනීම්

අර්බුදකාරී සමයක අදහස් දැක්වීම සහ විවේචනය මර්දනය කිරීම සාමාන්‍ය අවස්ථාවක අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කිරීමටත් වඩා දරුණු තත්ත්වයකි. රජයේ ක්‍රියාමාර්ගයන් හා නිළධාරින්ගේ ක්‍රියාවන් විවේචනය කරන්නන් පිළිබදව නියෝජ්‍ය පොලිස්පති ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් නිකුත් කලේ එලෙස විවේචනය කරන්නන්ව අත්අඩංගුවට ගන්නා බව කියමිනි. කොවිඩ් 19 වැනි ගෝලීය අර්බුදයක් හමුවේ එයින් හට ගන්නා සමාජ ආර්ථික සහ දේශපාලනික මුහුණුවරයන් සම්බන්ධයෙන් සංවාදය අත්‍යවශ්‍යය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව සහ අධිකරණය සක්‍රීයව නොපවතින කාලයක රාජ්‍ය නිළධාරීන්ගේ ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් විවේචන කිරීමට පුරවැසියට ඇති අයිතිය සීමා නොකළ යුතුව තිබෙන්නේය. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක වගවීමකින් රාජ්‍ය නිළධාරින්ට තම පාලන කටයුතු ගෙන යාම සදහා පුරවැසි විවේචන යනු මර්දනය නොකළ යුතු අත්‍යවශ්‍යම නිර්ණායකයකි.

අද වන විට සාවද්‍ය පුවත්, ජාතීන් අතර වෛරය ඇති කිරීමේ ප්‍රකාශ සමාජ ජාල වලට නිකුත් කලේ යැයි යන චෝදනාව මත ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රමාණය19කට ආසන්නය. ආසන්නතම සිද්ධිය වන්නේ ඇදිරි නීතිය පනවා තිබීම නිසා කොළඹ මෝදර හින්දු කෝවිලක නවාතැන් ගෙන සිටි පිරිසකට ආහාර සහ පානයට සුදුසු ජලය නොමැති බව ප්‍රකාශ කරමින් ෆේස්බුක් සටහනක් තැබූ තරුණයන් දෙදෙනෙකුව මෝදර පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමය.

මිෂෙල් බැෂලෙට් කොරෝනා වසංගතයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී රටවල් බොහෝ පිරිසක් නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් උල්ලංඝණය කරමින් කටයුතු කරමින් සිටින බව.

මිෂෙල් බැෂලෙට් එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණ

කොරෝනා වසංගතයට එරෙහිව ක්‍රියාත්මක වීමේදී රටවල් බොහෝ පිරිසක් නීතියේ ආධිපත්‍යය සහ මානව හිමිකම් උල්ලංඝණය කරමින් කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රධානී මිෂෙල් බැෂලෙට් පෙන්වා දෙයි. එමගින් තම අයිතීන් කඩ විම නිසා පුරවැසියන් අපහසුතාවයන්ට හා අසාධාරණයන්ට ලක් වන බවත් මෙම නිවේදනයෙන් ඈ පෙන්වා දෙනු ලබයි.

මෙම නිවේදනය නිකුත් කරමින් මිෂෙල් බැෂලෙට් සියලු රටවල් වලින් ඉල්ලා සිටින්නේ මෙම වසංගත කාල පරිච්ඡේදය තුළ හදිසි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමෙන් මුවාවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමට කටයුතු නොකරන ලෙසය. විශේෂයෙන්ම මේ අවස්ථාවේ ක්‍රියාවේ නංවන හදිසි බලතල යනු විසම්මුතීන් මර්දනයට හා ජනතාව අත්තනෝමතිකව පාලනය කිරීමට හා බලයේ සිටින කාලය දීර්ඝ කර ගැනීමට රාජ්‍යයට ලැබෙන ආයුධයක් නොවන බව මානව හිමිකම් කවුන්සිලය මගින් මෙහිදී අවධාරණය කර තිබෙන්නේය. ශ්‍රී ලංකාව ඇතුලු තවත් රටවල් රැසක්ම මේ ආකාරයෙන් වසංගත මර්දනය හමුවේ පුරවැසි අයිතීන් මර්දනය කරමින් සිටින බව සිය ලිපියෙන් ඇය පෙන්වා දෙන්නේය.

වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවෙන් නිවේදනයක්

කොවිඩ් 19පාලනයේදී ශ්‍රී ලංකා රජය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය අවධාරණය කරමින් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් පසුගිය මැයි 11 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. COVID-19 වසංගතය හමුවේ පැනවූ ඇඳිරි නීතිය සහ රට සාමාන්‍ය කටයුතු සදහා වසා තැබීමේ ක්‍රියාවලිය තුල මෙකී ගැටලු සදහා නෛතිකමය වශයෙන් හෝ පරිපාලනමය වශයෙන් පිලියම් සෙවීම දුෂ්කරව තිබීමත්ඔවුන්ට ජාතික පොලිස් කොමිෂන් සභාවමානව හිමිකම් කොමිෂන් සභාව වැනි ආයතනවලට පිවිසීමට හෝ අධිකරණමය ක්‍රියා මාර්ග සදහා යොමුවීමට ප්‍රායෝගිකව නොහැකි වීමත් නිසා නෛතික රැකවරණය අහිමිව තිබෙන බව මෙම නිවේදනයෙන් පෙන්වා දෙනු ලබයි.

එසේම මෙම කාල සීමාව අත්අඩංගුවට පත් වුවන්ද ඇතුලුව කෘෘර හා අමානුෂික සැලකුම් වලට මුහුණ දීමට සිදු වී ඇති වින්දිතයින් බොහෝ දෙනා සමාජයේ දිළිදු ජන කොටස් වලට අයත් වන්නන් වන අතර ඔවුන්ට අන්තර්ජාල පහසුකම් හෝ දුරකථනය මාර්ග ඔස්සේ සේවාවන් වෙත පිවිසීමට හෝ මූලික නීති උපදෙස් සහ නෛතික සහයෝගයක් ලබා ගැනීමට අවස්ථාවක් නොමැති බැව් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව අවධාරණය කර තිබේ. එබැවින් වධහිංසාවන්කුරිරු, අමානුෂික හා අවමන් සහගත ලෙස සැලකීම වැළැක්වීම සඳහා ඵලදායී ලෙස පියවර ගන්නා ලෙසත්, එවැනි අයිතිවාසිකම් කඩවීම් හා කඩවීමට අත්‍යාසන්න අවස්ථාවන් සඳහා ආරක්ෂාව සහ පිළියම් සැපයීමට වහාම ප්‍රතිචාර දක්වන ලෙසත් වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව විසින් ආරක්ෂක හා අධීක්ෂණ ආයතනවලින් ඉල්ලා සිටී.

අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම්

මේ සියල්ල මෙසේ සිදුවන්නේ ඇදිරි නීතිය හමුවේ බන්ධනාගාර සහ අධිකරණයන් සීමා සහිතව තම කාර්යභාරය ඉටු කරන කාල පරිච්ඡේදයක් තුළය. විශේෂයෙන්ම අත්අඩංගුවට පත්වූ අයට මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ නීතිමය සහන ලබා ගැනීමට දුෂ්කර වී තිබේ. අදාල සැකකරුවන්ගේ පවුල් වල සාමාජිකයන්ට නීතිඥයන් හමුවීමට ඇති අපහසුව, ICCPR පනත වැනි නීතින් යටතේ අත්අඩංගුවට ගත් අයට ඇප ලබා ගැනීමට නම් ඉහළ උසාවියකට යොමු විය යුතුව තිබියදී එය සිදු කිරීමට ඇති අපහසුව මෙන්ම අත්අඩංගුවට ගත් අයට නීතියේ පිළිසරණ පැතීමට ඇති මාර්ග හිතාමතා අවහිර කර තිබීම හමුවේ පුරවැසි අයිතීන් උල්ලංඝණය වී තිබේ.

සුදු වෑන් සම්බන්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නව අත්අඩංගුවට ගැනීම සහ මැතිවරණයෙදී සරණාගත ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා දීම යන චෝදනව මත මංගල සමරවීර හිටපු මුදල් අමාත්‍යවරයාව පසුගියදා රහස් පොලිසිය හමුවට කැදවීමද මේ අතර සිදුවුණි. මේ පිළිබදව පවා පුද්ගලයෙකු තුළ සාධාරණ සැකයක් මතු වන්නේ මේවා සිදුවන්නේ මැතිවරණ කාලයක නිසාය.

ලංකාවේ අත්අඩංගුවට ගැනීම් පිළිබද ඉතිහාසය ද වසංගතයකි. ඒ බොහෝ අත්අඩංගුවට ගැනීම් අත්තනෝමතිකව සිදුව ඇති නිසාය. දැන් වසංගතයක් තුළ අත්අඩංගුවට ගැනීම් ආරම්භ වී ඇත. වසංගතයක් පාලනය කිරීම යනු මිනිස් නිදහස සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීමයි. අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් පාලනය කර ගැනීම යනු ද එයම වේ. මේ මොහොතේ සිර කල යුත්තේ මිනිසුන් නොව වසංගතයයි.

 

Back to Top