Sri Lanka Brief
පුවත්විවරණලෝකයට නව වෛරස් පැමිණෙන්නේ කොහොමද?

ලෝකයට නව වෛරස් පැමිණෙන්නේ කොහොමද?

by

වයිරස නව කොරෝනා වෛරසය  ආකාරයේ නව වෛරස් හිටිඅඩියේ කරළියට පැමිණීම ගැන කෙටි සොයා බැලීමක් මේ.

ලොවපුරා පැතිර යන COVID-19 වසංගතයට හේතු වී තිබෙන නව කොරෝනා වෛරසය,  නව වෛරස සෑදෙන මූලයන් හැටියට සතුන්ගෙන් මිනිසුන්ට එල්ලවන අවදානම කෙරෙහි අවධානය  යොමු කිරීමට සමත් වී තියෙනවා. SARS-CoV-2 නමින් හැඳින්වෙන මෙම කොරෝනා  වෛරසය චීනයේ වුහාන් හි වනසතුන් වෙළඳාම සඳහා වන  “වෙට්(නැවුම් මස්) මාරකැට්ටුව ”   මූලික කරගෙන මිනිසාට වැළදුණා දැයි  සැක මතු වී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සැක කරන ප්‍රභවය, මෙම වෛරසයේ මානව අනුවාදයේ ප්‍රභවය බවට නිශ්චිතව, නිවැරදිව තහවුරු  වෙලා නැහැ. වවුලන් මෙම කොරෝනා වෛරසයට ආසන්නතම  වෛරසය  ඇති සත්වයා ලෙස හඳුනාගෙන ඇතත්,   SARS-CoV-2   සම්භවය ලබුවේ එමගින් යන්න ද නිශ්චිත කියන්න අමාරුයි.

අදාළ රූපය

 ඉතින් මේ කියන  නව වෛරස් ඇත්ත වශයෙන්ම පරිසරයෙන් මතු වෙලා මිනිසුන්ට ආසාදනය වීමට පටන් ගන්නේ කොහොමද? ලෝකයේ තිබෙන සෑම වෛරසයකටම එය පැතිර යාම පටන් ගන්නා කාල සීමාව හා ක්‍රියාත්මක වන යාන්ත්‍රණය අනුව අද්විතීය, ආවේණික, සම්භවයක් පවතිනවා.  නමුත් එලෙස ආවේණික ලක්ෂණ පැවතුනද , නැගී එන සියලුම වෛරස් සඳහා සත්‍ය වන පොදු කරුණු කිහිපයකුත් දක්නට ලැබෙනවා.

අපි දැනගත යුතු පළමු දෙය නම් වෛරස්, එක් ජීවී විශේෂයකින් තවෙකකට ‘පැනීම’  දුර්ලභ කාරණයක් බවයි. වෛරසයක් නව ධාරක ජීවී විශේෂයකට සාර්ථකව බෝවී ව්‍යාප්ත වන්නට නම් එයට විශේශිත කාර්යයන් කිහිපයක් ම කළ හැකි විය යුතුයි.

පළමුවෙන්ම, එයට නව ධාරකයා තුළ නැවත නැවතත් බෝවිම හෙවත් ප්‍රතිගුණනය (replicate) වීමෙන් ආසාදනයක් ඇති කිරීමට හැකි විය යුතුය. එහෙත් මෙය ඉඳුරාම සිදුවන්නක් නොවෙයි. (වර්තමානයේ පවතින) බොහෝ වෛරස් වලට ආසාදනය විය හැක්කේ පෙනහළු සෛල හෝ වකුගඩු සෛල වැනි විශේෂිත සෛල වලට පමණයි. සෛලයකට වෛරසයක් පහර දෙන විට, එම වෛරසය සෛල මතුපිට ඇති විශේෂිත ප්‍රතිග්‍රාහක අණු සමඟ බන්ධනය වන අතර එහෙයින් වෙනත් වර්ගයේ සෛල සමඟ බන්ධනය වීමට නොහැකි විය හැකිය. නැතහොත් වෛරසයට කිසිදු හේතුවක් නිසා වෙන් වත් ධාරක සෛලය තුළ ප්‍රතිගුණනය වීමට නොහැකි විය හැකියි.

වෛරසයක්  නව ධාරකයකුට ආසාදනය වූ පසු, එම වෛරසය අන් අයට ආසාදනය වී ඒවා වෙත තම ප්‍රවේණික ද්‍රව්‍ය  සම්ප්‍රේෂණය කිරීමට තරම් ප්‍රමාණවත් හැකියාවක් තිබිය යුතුයි. මෙය  ඉතා දුර්ලභ කාරණයක් වන අතර මෙසේ යම් ජීවී විශේෂයකින් තවත් ජීවී විශේෂයකට වෛරස් ව්‍යාප්ත වීමට යාමේදී “ධාරකයගේ සිට ආපසු ඒමක් නැත” ලෙස හඳුන්වනු ලබන තත්වයකට එම වෛරස් වලට මුහුණ දීමට සිදු වෙනවා. එනම් වෛරසයට තම ප්‍රවේණික ද්‍රව්‍ය හෝ තම වෛරස් අංශු සම්ප්‍රේෂණය කරගත නොහැකි වී අවසානයේ  මිය යාමට සිදු වීමයි.

උදාහරණයක් ලෙස, ඉන්ෆ්ලුවෙන්සා වෛරසය වන H5N1 හෙවත් “කුරුළු උණ” වෛරසය කුරුල්ලන් මගින් මිනිසුන්ට ආසාදනය විය හැකි නමුත් මිනිසුන් – මිනිසුන් අතර සම්ප්‍රේෂණය ඉතා සීමිත වීම පෙන්වා දෙන්නට පුළුවන්. ඇතැම් විට වෛරස මෙම බාධකය ජය ගන්නා අතර, නැගී එන වෛරස නව ධාරකයාට වෛරස් අංශු සම්ප්‍රේෂණය කරමින් නව සම්ප්‍රේෂණ දාමයක් සහ නව වසංගත තත්වයක් ඇති කිරීමටත් කටයුතු කළ හැකියි.

පසුගිය දශක කිහිපය තුළ කරන ලද පර්යේෂණයන්ගෙන්, විවිධ වූ විශේෂයන් අතර වෛරස් සම්ප්‍රේෂණයට දායක වන සමහර යාන්ත්‍රණ අපට වැටහා ගැනීමට පුළුවන්. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ඊට හොඳම උදාහරණයක්. මෙම වෛරසයේ ජෙනෝම කොටස් අටක් අඩංගු වන අතර එකිනෙකට වෙනස් වෛරස් දෙකක් එකම සෛලයට ආසාදනය වුවහොත්, දෙකෙහිම ජාන කොටස් මිශ්‍ර වී නව වෛරස් විශේෂයක් වුවද නිර්මාණය වෙන්නට පුළුවන්. නව වෛරසයේ මතුපිට ඇති ප්‍රෝටීන, දැනට සංසරණය වන ඉන්ෆ්ලුවෙන්සා වෛරස් මාදිලිවලින් සැලකිය යුතු ලෙස වෙනස් වෙනවා නම්, මේ නිසා කිසිවෙකුටත් (ඊට එරෙහි) ප්‍රතිශක්තිය නොමැති වීමෙන් නව වෛරසය පහසුවෙන් පැතිර යා හැකියි.

ඉන්ෆ්ලුවෙන්සා වෛරසයේ මෙම ස්වරූප මාරුවීම, ප්‍රතිදේහජනක විතැන්වීම(antigenic shift) ලෙස හැඳින්වෙනවා. ඉන්ෆ්ලුවෙන්සා වෛරසය  ඌරන් තුළ හට ගැනීමෙන් පසුව එය මිනිසුන්ටද සම්ප්‍රේෂණය වී අවසානයේදී 2009 H1N1 වසංගත තත්වය බවට පත්වුණා කියලා තමයි අපිට සිතන්නට වෙන්නේ.  එය SARS-CoV-2 මතුවීම සඳහා ඉටුකළ භූමිකාව පරීක්ෂණාත්මකව තීරණය කළ යුතු වුවද, ඉහත කී යාන්ත්‍රණය කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ද සිදුවිය හැකි බවට ජානමය සාක්ෂි ද ලැබී තිබෙනවා.

නව වෛරස, වෛරස් ජෙනෝමය තුළ සිදුවන ජාන විකෘති මගින් ද මතු විය හැකිය.   ඒවා ප්‍රවේණික ද්‍රව්‍ය වන DNA වෙනුවට ඊට සමාන අණුවක් වන RNA තුළ  ඔවුන්ගේ ජානමය තොරතුරු ගබඩා කිරීමකට ලක් කරන වෛරස් තුළ බහුලවම දක්නට ලැබෙයි. මෙයට හේතුව නැවත නැවත ප්‍රතිගුණනය වන විට සිදුවන වැරදි සොයා බැලීමට ක්‍රමයක් මෙම වෛරස් (කොරෝනා වෛරස හැර)  නොමැති වීමයි. ප්‍රතිවර්තනය කිරීමේදී හෙවත්  ප්‍රතිගුණනය වීමේ දී නිපදවෙන බොහෝ විකෘති, වෛරසයට හානිදායක වන නමුත් සමහර විකෘති නිසා හට ගන්නා නව වෛරස ප්‍රහේද නව ධාරකයෙකුට වඩාත් සූක්ෂම ලෙසත් වඩාත් සාර්ථක ලෙසත් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතිනවා.

දැන් අපි, ඉහත පැහැදිලි කළ යාන්ත්‍රණය නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන්  අදාළ වන ආකාරය  සලකා බලමු

ඇත්තෙන්ම SARS-CoV-2 වෛරසය සම්බන්ධයෙන් සිදු වූයේ කුමක්ද ? ජෙනෝමය පිළිබඳ මෑතකදී  සිදුකළ  විශ්ලේෂණයන් පෙන්වා දෙන්නේ මෙම වෛරසය අදට සමාන ආකාරයකින් දළ වශයෙන් අවුරුදු 40 ක් තිස්සේ  සංසරණය වී ඇති බවයි. අපට හඳුනාගත හැකි වෛරසයේ සමීපතම ඥාතී වෛරසයක් වවුලන් තුළ දක්නට ලැබෙනවා. කෙසේ වෙතත්, මෙම වෛරසයට සහ SARS-CoV-2 වෛරසයට  දළ වශයෙන් මීට වසර 40-70 කට පෙර පොදු පූර්වජයෙකු හෙවත් මුතුන් මිත්තෙකු සිටින්නට ඇතැයි සැලකිය හැකි අතර වවුලන්ට වැළදෙන මෙම වෛරසය කොරෝනා වෛරසයේ පැතිරීමට හේතු වී නොමැති  බව සැලකිය හැකියි.

මෙම වෛරස,  පොදු පූර්වජයෙකු ගෙන් විභේදනය වී පැමිණියද, එතැන් සිට අවුරුදු 40 ක් මෙම වෛරසයන් එකිනෙකින් වෙන්ව දිගින් දිගටම පරිණාමය වී තිබෙනවා. ඇතැම් විට මෙම  SARS-CoV-2 වෛරසය  වවුලන්ගෙන් මිනිසුන් වෙතට සම්ප්‍රේෂණය වූවාද  නැතහොත් එය අතරමැදි විශේෂයක් හරහා හෝ පැමිණියේදැයි සැක මතු කරන්නට පුළුවන්. එය එසේ වීමටත් ඉඩ තිබෙනවා. උදාහරණයක් ලෙස කබල්ලැවන් අතරේ  මෙවන් සමීප සමානකම් දක්වන වෛරස් ද සොයාගැනීමට හැකි වී තිබෙනවා. නමුත් ජානමය වශයෙන් වෙනස් වූ SARS-CoV-2 වෛරසය  මිනිසාට පැමිණි  නිශ්චිත මාවත මිනිසාට නෑකම් කියන ජීවී විශේෂයකින් හමුවන තාක් කල් අභිරහසක් ලෙස පවතිනු ඇත.

වෛරසය මිනිසුන්ට පහසුවෙන් ආසාදනය වීමට ඉඩ සලසමින් එය වෙනස් වූයේ කෙසේද යන්න පිළිබඳව තවමත් අපිට පැහැදිලි නැහැ. කෙසේ වෙතත්, පසුගිය වසර 20 තුළ මෙම කොරෝනා  වෛරස් කුලයෙන් ප්‍රධාන රෝග තුනක් මතු වී ඇති හෙයින්, (SARS, MERS සහ COVID-19 )- තවත් කොරෝනා  වයිරසයක් මිනිසුන් තුළට සම්ප්‍රේෂණය වී නව රෝගයක් පැතිරීමට හැකියාව නැතිනම් ඉඩකඩ පවතිනවා. එහෙම නම් මිනිසුන්ට සම්ප්‍රේෂණය වී අලුතෙන් පැතිරයාමක් හටගන්වන  අවසාන අවස්ථාවද මෙය නොවනු ඇත.

මෙම ඉහත දැක්වූ මතය වඩාත් පිළිගත හැකි වන්නේ ලෝකයේ සියලුම සතුන් තුළ වෛරස් විශේෂ සංසරණය වෙමින් පවතින නිසාවෙන් වෛරස් වලට මිනිසුන් තුළට  සම්ප්‍රේෂණය විය හැක්කේ  අප හා අනෙකුත් සතුන් අතර සම්බන්ධතාවයන්ට අවස්ථාවක් ලැබුණු විට පමණකැයි සිතීමට කෙනෙකුට පුලුවන් විය හකියි. මිනිසුන් සෑම විටම නව වෛරස් සමඟ සම්බන්ධ වී ඇත්තේ ඔවුන් නව ප්‍රදේශ ගවේෂණය කරමින්  ලොව පුරා ව්‍යාප්ත වූ අවස්ථවන් වලදීයි. නමුත් වනාන්තර ප්‍රදේශවල මිනිස් ක්‍රියාකාරකම් වැඩිවීම සහ වන සතුන් වෙළඳාම් කිරීම,  (වෛරස සඳහා) කදිම අභිජනන භූමියක් නිර්මාණය කිරීමටත් හේතු වෙන බව පෙනෙන්නට තිබෙනවා.

අප අතර පවතින ගෝලීය සම්බන්ධතාවයන් හරහා මෙම තත්ත්වය තවත් උග්‍ර වන අතර එමඟින් නව රෝගයක් ලොව පුරා දින ගණනක් ඇතුළත පැතිර යාමේ අවදානමක් පවතිනවා. ස්වාභාවික පරිසරයට අප  බාධා පමුණුවන නිසාවෙන්,  වෛරස් මිනිසුන් තුළට සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව වැඩි කරනවා. එබැවින් මෙම සිදුවීම් සම්බන්ධයෙන් මිනිසුන් ලෙස අපද යම්තාක් දුරකට වගකිව යුතු බව මතක තබාගත යුතුයි.

තතු වෙබ් අඩවියෙනි.

Back to Top