Sri Lanka Brief
පුවත්විවරණජීවිතේ ගැයූ පාන්කිරිත්තා: ප්‍රෙඩී සිල්වා

ජීවිතේ ගැයූ පාන්කිරිත්තා: ප්‍රෙඩී සිල්වා

by

අදට අවුරුදු බර ගානකට කලින් කැඳවල වලව්වේ මහා සාදයක්.!

ප්‍රංශ රූපිකාවන් ආලිංගන රංගනයන් හා මදු විත පදමට සප්පායම් වූ වංශවතුන්ගෙන් පිරි සුරපුරයක් බඳු මෙම සාදය අන් කිසිවක් නෙමෙයි. ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල මහතාගේ උපන් දින සාදය. ඒ 1950 වර්ශයේ .වර්ථමාන කොතලාවල ආරක්ෂක පීඨය පිහිටලා තියෙන්නේ මේ පරිශ්‍රයේ. ඉතින් සාදයේ සංගීත කටයුතු බාරවෙන්නේ මොරටුවේ සී එල් ෆොන්සේකා මහතාට .සී. එල් ෆොන්සේකත් සමග එදා සාදයේ සංගීත බඩු මුට්ටු එහා මෙහා කරන්නත් එක්ක ඇවිත් තිබුනේ සංගීත පිස්සෙක්. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔබත් මමත් හොදින් දන්නා ෆ්‍රෙඩී සිල්වා නම් වූ අසහාය කලාකරුවා.

ෆ්‍රෙඩීගේ අතීතය ගැන කතාකලොත් ගෙවල්වල කුකුල් පැටවු හොරෙන් විකුණලා යාලු මිත්‍රාදී බජව් සමග පිචර් බලන්න ගිය අතීතයක් ඔහුට තිබුනා..ඒ වගේම අධ්‍යාපනය සමග ඉතා දුරක සිටි ෆ්‍රෙඩී ගෙදරට මහා විස්සෝප කාරයෙක් ලෙස නම් වූ චරිතයක්. ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ පසුබිමෙන් නැටුමට වගේම ගැයුමටත් අපූරු වෙනස් ආකාරයක දැක්මක් තිබුන ෆ්‍රෙඩීට මේ සර් ජෝන් කොතලාවලගේ සාදය ජීවිතේ අමතක නොවෙන ෆ්‍රෙඩී ගේ වචනෙන්ම කිව්වොත් ඒක රියල් පාටියක්.
හොදටම මදුවිතෙන් පදම් වෙච්ච සර් ජෝන් ප්‍රංශ නාට්‍යාංගනාවියකගේ නර්ථනයකට පසු උත්සව ශාලාවට මෙසේ කෑ ගහනවා.

“මීට වඩා වැඩකාරයෙක් ඉන්නවනම් වරෙල්ලා ස්ටේජ් එකට. ”

මේ අස්සෙන් පස්සෙන් එකපාරටම මෙන්න උඹේ වෙලාව කියලා ෆ්‍රෙඩීව තල්ලු කරන්නේ සී එල් ෆොන්සේකා.

ඕනම තැනකට ඉතාමත් ලෙහෙසියෙන් අනුවර්තනය වෙන චරිතයක් වූ ෆ්‍රෙඩි හරි අපූරුවට නර්ථනයක් සමගම බාර් බාර් බාර් කියන. ගීතය ගායනා කරනවා;

මේ ගීතය සංගීත කලාවට මිනිසුන් තැනූ පුරය නැතිනම් මොරටුවේ උපන් ෆ්‍රෙඩීගේ පලමු ගීතය.

බාර් බාර් බාර් බාර් එකෙන් බීලා – සූර් සූර් සූර් සූර් වෙන්න ගහලා
ටැප් ටැප් ටැප් ටැප් වෙන්න වැදිලා – මේ බලන්න මට හොඳටම සූර්

ගීතය සහ රංගනය අහලා සර් ජෝන් කොතලාවලගේ වෙරි හිදෙනවා .

එවෙලෙම ඔහු කෑ ගහනවා . “”කොහෙන්ද බොල මේ ස්ප්‍රීන් මැශිම ගෙනාවේ “” අසමින්.

සාදය අවසාන මොහොතේ ෆ්‍රෙඩීට කතාකරපු සර් ජෝන් “” ලමයා උඹ දක්ශයෙක් ..මොනවද මගෙන් වෙන්න ඕන. ? කියා ඇසුවම පිටවෙන්නේ ඔබට මතක ඒ ලයාන්විත කවට හඩමයි.
සර් මට ගුවන් විදුලියේ ගීතයක් කියන්න දෙන්න.

ඉලක්කය කරා යන ගමනේ ෆේඩීගේ ඉල්ලීම ටක්කෙටම ඉටුවෙනවා.

ඒ අවසරයෙන් ෆ්‍රෙඩී පටිගත කරන පලමු ගීතය වෙන්නේ “මොට්ටපාල ” ගීතය මේ ගීතය රචනා කරන්නේ සිරිල් සිරිවිමල. ඉතින් වෙනදාට නොවූ හරි අපූරු හඩක් සමග ශ්‍රාවක කන් පිරවුනු මේ ගුවන් විදුලි හඩ එකල අමුතුම පන්නයේ රැල්ලකට සුවහසක් අසන්නන්ගේ හදවත් ගෙන යාමට සමත් වුනා කිව්වොත් මම හරි. ඒත් එක්කම වඩාත් අලංකාර ලෙස ආයෙමත් ෆ්‍රෙඩීගේ බාර් බාර් ගීතය යලි පටිගත වෙන්නේ ජී ඇල් සෝමපාල නම් ගායකයා සමග යුගල ගායනයක් ලෙස. ඔබ විශ්වාස කරන්න ගීත දෙකෙන් ලක්දිව සෙලවූ මොරටු දගයෙක් තමයි ෆ්‍රෙඩී.

ෆ්‍රෙඩීගේ වාසනවත් අවාසනාවත් දෙකම ගෙන ආපු බීමත් කම පිලිබද මම මහා නිර්වචන දෙන්න යන්නෙ නෑ… හොද හෝ නරක අපේ ජීවිත වලට කෙසේ හෝ එනවා..ඒ තමයි සත්‍ය. සංගීත ලෝකයේ පියවරෙන් පියවර යන ගමනේ ෆ්‍රෙඩීට අපූරු යාලුවෝ දෙදෙනෙක් හමුවෙනවා.. ඒ තමයි hr ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා. ෆ්‍රෙඩී ගේ බෝඩිමේ හැමදාම හවසට යන බජව්ව අහන්න දෙහිවල ක්වරි රෝඩ් එකේ කොල්ලෝ පිරිලා. ඒ ෆ්‍රෙඩී ජීවිතේ ගත කරපු කලාව. !

“දිය රැල්ලේ වෙරලේ හැපි හැපි..”

ඉතින් ජෝති මිල්ටන් ෆ්‍රෙඩී.. සිතින් ගලපගන්න කොයිතරම් ලස්සන අපුර්ව ගැලපුමක්ද.. එකම බෝට්ටුවේ යහලු තෙපෙල රට වටා සංගීත ලෝලීන් අමන්දානන්දයට පත් කරන අතරේ ජෝති අමතක කලේ නෑ ෆ්‍රෙඩීව සිනමා තරප්පුවෙන් තියන්නත්… සිරිවිමල කලාකරුවාගේ මාර්ගයෙන් ෆ්‍රෙඩී රගපාන පලමු චිත්‍රපටය සුහද සොහොයුරෝ චිත්‍රපටය. විජිතා මංගලිකා මහත්මිය සමග මුහුදු වෙරලක ඇදි ඇදී නට නටා පැන පැන යන මේ විශිෂ්ඨ රංගනයේ ගීතය වෙන්නේ “දිය රැල්ලේ වෙරලේ හැපි හැපි..” කියන ගීතය.

එහෙම සරල අලංකාර ආරම්භයක් තම සිනමා දිවියට තබා ගත් ෆ්‍රෙඩී ලාංකීය සිනමා දිවිය තුල තවමත් නොබිදෙන වාර්ථාවක් තිබූ කලාකරුවෙක්.. ඔහු චිත්‍රපට 409 ක රගපා තිබෙනවා එය තවමත් නොබිදුනු වාර්ථාවක්.. ඒ වගේම 1992 වසරේ රූගත වූ චිත්‍රපට 21 න් පහලවකටම ෆ්‍රෙඩී රංගන දායකත්වය ලබා දී තිබීමත් අද්විතීය හැකියාවක්.

කොහොම උනත් 1960 දශකයේ සිට රසික හදවත් පිරූ මේ අපූරු කෘත හස්ත විකටයාට සමාජය විසින් ලබා දෙන්නේ එකම සම්මානයක් වීම ඇත්තටම කනගාටුවක්. ඒ 1990 සරසවිය සම්මානය පමණයි . එක ගීතයේ ගායිකාවන්ට පවා මාවතක් විවර වූ කාලයක ෆ්‍රෙඩීගේ නමින් අම්බලමක් වත් ඉදි නොවුනේ ෆ්‍රෙඩී විහිලුකාරයෙක් කියන මතය සමාජේ පැතිර ගිය නිසා වෙන්නත් ඇති!

හැබැයි ෆ්‍රෙඩී විහිලු කාරයෙක් නෙමෙයි. ෆ්‍රෙඩීගේ ජීවිතේ පුරාම තිබුනේ මිත්‍රත්වය සහ ලෙංගතු කම. බොහෝවිට සාමාන්‍ය දිවියේදිත් ෆ්‍රෙඩී අනිත් යහලුවන් ගේ සිනහව දැකීමට මහත් ආශාවෙන් පෙලුන කලාකරුවෙක්. ඒකට හොදම උදාහරණයක් ලෙස 1978 වසරේ තිබූ කලා උලෙලක් නැරඹීමට ෆ්‍රෙඩී පැමිණ කල විහිලුවක් නිසා ජෝ අබේ වික්‍රමට සිනහව නවත්වා ගත නොහැකිව ප්‍රතිකාර පවා ලබා ගත් අවස්ථාවක් ගැන ඉතිහාසයේ සටහන් වෙනවා. සිංහල සිනමාවේ අතීත හාස්‍ය උත්පාදන ශිල්පීන් අතර , පෙරේරා . ජෝ සහ ෆ්‍රෙඩී අදටත් නොමැකෙන ලකුණු බවට පත්ව වර්ථමානයේදිත් අපේ හදවත පිරිසිදු කරමින් ඔවුන් සජීවී චරිත ලෙස හදවතේ ඉඩ කඩෙහි ලැගුම් ගෙන සිටිනවා. එය තමයි සත්‍යය.

ප්‍රේමකීර්තිද අල්විස් හා එක් වීම

හැත්තෑ දශකයේ මුල ෆ්‍රෙඩී ගේ ගීත අතරට සිංහල ගීපද රචනයේ රජු එහෙමත් නැතිනම් ප්‍රේමකීර්තිද අල්විස් මහතාගේ එක් වීමට පසු මේ සිනහ සාගරයට මහා සමාජ කතිකාවතක් එක් වූ බව ඔබට පහත ගීත මහත් ආඩම්බරයෙන් පවසාවි

මන්නාරම් පිටි වැල්ලේ – මදටිය වැල් ඔන්චිල්ලේ
කොණ්ඩෙ කඩන් හදට හඬන් – සිංදු කියන්නේ
කුණ්ඩුමණී . . .

ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචනා කල වික්ටර් රත්නායකයන් විසින් සංගීතවත් කල මෙම ගීතයේ ෆ්‍රෙඩී අපූරු රංගනයක් සමග අපට ඉදිරිපත් කරන්නේ ජාතිවාදයක් නොවූ අතීතයේ මන්නාරම් පිටිවැල්ලේ කුණ්ඩුමනීට කල ප්‍රේමයක් ගැන වෘතාන්තයක්… සිංහල දුප්පත් තරුණයෙක් වංශවත් ද්‍රවිඩ කුන්ඩුමණී ට හිතින් ආදරය කලත් ඇය අවසානයේ මහ රාජා කෙනෙක් සමග දීග යනවා..
ගීතයේ අවසාන කොටස සමගින්

මහරාජා ආ කල ගෙට තිරික්කලෙන් බැසලා
කුණ්ඩුමණී යන පෙරහර බලා ඉඳිමි කීකරු වීලා
කුණ්ඩුමණී. . ………………………….

එදා ෆ්‍රෙඩී අපට ගයන්නේ සැබෑ පෙම්වතාගේ අත හැරීම සහ ප්‍රේමය ගැන මහා විසල් කතාවක්
ෆ්‍රෙඩීගේ ජීවිතේ වලකපපු අංචි ඇදපු ජීවිත බොහොමයි.වරක ගුවන් විදුලි සංස්ථාවේ ඉහල නිලදරයෙක් සමග වූ අමනාපයක් නිසා ඔහු ෆ්‍රෙඩීට බල්ලා යනුවෙන් අපහාස කලා…. එය ෆ්‍රෙඩී ගීතයකට පෙරලලා තිබුනේ මෙහෙම…………
මේ එම ගීතයෙන් කොටසක්!

කථාව උපයෝගි කොටගෙන එදා මේ ගීතය රචනා කලේ හර්බට් රංජිත් මහතා

බල්ලට වැඩියෙන්
කොල්ලයි දැන් ගොරවන්නේ
කොල්ලට වැඩියෙන්
බල්ලයි දැන් ගොරවන්නේ
තොට මස් කටු ඕනද
බලු සුප් ඕනද
ගස් ලබු ඕනද
පපඩං ඕනද
නෑ උපවාසෙ
මේ මොන දෙයක්ද කියලා
තැවෙනවා කොල්ලා
නොකා නොබී ඉඳ
හොම්බෙන් යනවා බල්ලා

තවත් වෙලාවකට ෆ්‍රෙඩී ගීතයක් රචනා කරන්න යනකොට ප්‍රේමකීර්තිද අල්විස් හොදටම බීලා සාලේ වැටිලා.. කොහොම හරි ෆ්‍රෙඩි ප්‍රේම්ව අවදිකරගෙන සිංදුව ලියවගෙන.
මේ තියෙන්නේ එම ගීය .

පාංකිරිත්තා තක්කිට තරිකිට උඩ පැන පැන නටතෙයි
පාංකිරිත්තී රබාන අරගෙන කරබාගෙන වයතෙයි
උන්ගේ පැටවුන් වටේට ඉඳගෙන දෑතින් හඬ තලතෙයි
මේවා බල බල තනි කෑඳැත්තෙක් කීචි බීචි කියතෙයි
පාංකිරිත්තා තමන්ගෙ පාඩුවෙ නැටුම පටන්ගත්තේ
අහල පහල කිසිවෙකුටත් ඒකෙන් හිරිහැරයක් නැත්තේ
කොහේද හිඳ පැමිණුනු කෑඳැත්තා වහලා අර අත්තේ
උන්ගෙ නැටුමට බාදා කරමින් ගීය පටන්ගත්තේ
පාංකිරිත්තා…
පාංකිරිත්තා නැටුම නවත්තා කේන්තියෙන් ආවා
කෑඳැත්තාගේ කළු අත්තටුවෙන් අල්ලා සෙලවූවා
ඊට පස්සෙ ඌ සට සට ගාලා මොන මොනවද කීවා
ළඟට කිට්ටු වී මා ද ගොළුවතින් ඊට සවන් පෑවා
අනුන්ගෙ වැඩ ගැන විවේචනය කර කර ඉන්නවට වඩා
තමන් දන්න දේ හරියට කරපන් කියලා කීය හඬා ///

වර්ථමානයේ කෙතරම් කෑදැත්තන් වෙසෙන පොලවක්ද මේක.
මේ ගීතයෙන් එදා බොන්න හේතුව වුන තව අයෙක් සමග වූ නෝක්කාඩුවක් තමයි ප්‍රේම් ෆ්‍රෙඩීට ලියලා තියෙන්නේ..ඇත්තටම ෆ්‍රෙඩී ගේ ගීත වල බරපතළ සමාජ ගැටලු ඉතාමත් හාස්‍ය මුසුව අවුස්සා දමා තිබුනා.

පරණ කෝට් පරණ ගීතයත් එහෙම එකක්.

තමන්ගේ ඇදුම පමණක් සිතන ඇතුලේ මුකුත් නැති එදා වේලත් නයට කන ප්‍රදර්ශන පරණ කෝට් ජීවිත අද කොපමණ ඉන්නවද .
ඒ වගේද ආරොං මාමලා ඕන තරම් මේ සමාජ ජාලවල පවා වර්ථමානයේ ජීවත් වෙනවා.

“.ආරොං මාමා
වයසක මිනිහෙකි
ඉපදුන අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක
කේලම් කීමයි
තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන්
බය වෙලා වාගෙයි
ලේ කඳුලක් නෑ මූනේ
දවසක් දා කළ
වැඩක් කියන්නං
අහගන ඉන්නම ඕනේ
ආරොං මාමා”

අතීත සහ වර්ථමාන නීති කෙරුවාව හාස්‍යට ලක් කරමින් ප්‍රේම් විසින් රචනා කල ෆ්‍රෙඩී විසින් ගායනා කල “ඇට සැකිල්ල වාගේ ඔටුන්න ලාගෙන” ගීතයේ මේ කොටස වර්තමාන නීතියට කෙතරම් සමානද?

“බේගල් හාමුගෙ සත්‍යපාල උඹ
නැන්සි අක්කලගෙ කුකුළා
මල්ලක දාගෙන ගියයි කියන්නේ
ඇත්ත ද අත්තටු හකුළා…
බේගල් හාමුගෙ සත්‍යපාල මම
එනමුත් කියන්නෙ ඇත්තයි
මම ඔය කුකුළව සොරකම් කෙරුවේ
නැන්සි අක්ක දැනුවත්වයි…
දෙපැත්තෙ කාරණ සළකල බලලයි
දෙන්නෙ තීන්දුව උදහස්
පැමිණිළිකරුවොයි වැරදිකාරයෝ
විත්තිකාරයෝ නිදහස්…”

ඒවගේම hr ජෝතිපාල සහ ෆ්‍රෙඩී ගායනා කරන මාමේ මේ බකමූණා ගීතය අපේ ජීවිතේ ඉහල යන ගමනේ කකුලෙන් අදින සැදැහැවතුන් ට හීනි ටොක්කක් අනින ගමන් සමාජ සාධාරන මග ගැන වෙනස් කියවීමක් ඇති කාලීන පද පෙලක්! එයත් ප්‍රේම් ගෙන්.
මේ එහි කොටසක්

දොයි දොයි දොයි මගෙ දොයිය පුතේ
දියුණට යන අය දුටොත් පුතේ
කටු ගසනා අය හුඟක් ඇතේ
නුඹ ඒ වැන්නෙක් නොවෙන් පුතේ
මිනිසුන් අතරේ මිනිසෙක් වාගේ
හිටපන් පුතේ සිනා වී…
කළත් විවේචන බොහෝ දෙනා
වැඩක් ඇති වැඩක් කරනු මනා
නොකළොත් කාටත් බොරු වංචා
හොඳ මිනිහෙක් වෙයි මේ පැංචා
තුරුලට ගන්නා නට නට ඉන්නා
නිදියන් පුතේ සමා වී.

තව වතාවක් හරි අපූරු කතාවක් වෙනවා.. මේ දශකයේ අග්‍රගන්‍ය කලාකරුවන් වූ කපුගේ, ෆ්‍රෙඩී, ජෝති සහ මම සටහන් කල ප්‍රේමකීර්ති තමයි එකල ගුවන් විදුලිය හැඩකරන්නේ… මෙන්න මේ අතරෙදි මේ අය බොහෝදින හවසට ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට මාර ගහ යට පුංචි අඩියක් ගහන පුරුද්දක් තිබුනා.

එතනදි විශාරද ගුණදාස කපුගේ ශූරීන් බොහොම වෙලාවට ජීවිතේ පරිණත බාවය එක්ක තම අත්දැකීම් සැදෑ සමයේ මදුවිත සමග අවවාද ලෙසින් බෙදන්න අමතක කරලා නෑ… ඔන්න ඔහොම අවසතාවක සෙට් එකේ හිටපු හොදම බෙබා වෙච්චි ෆ්‍රෙඩී ට කපුගේ ගේ කතාවක් ආදේශ කරලා ප්‍රේම් කොල කෑල්ලක ලියපු ගීතයක් මෑතක කොරෝනා පිහිටෙන් ජාතික රූපවාහිනීයේ වසර විස්සකට විතර පසු පෙන්නුවා.

මේ එම අපූරු ගීතය

හඳ මාමා උඩින් යතේ
අපෙ මාමා බිමින් යතේ…
හඳ මාමයි අපෙ මාමයි දෙන්නා
එක කන්තෝරුවෙ වැඩ කෙරුවේ
දෙන්නට දෙන්නා කිරි පැණි වාගෙයි
කන්තෝරුවෙ නිලතල දැරුවේ…
හඳ මාමා හැම මොහොතෙම ඉදිරියෙ
අනාගතය ගැනමයි බැලුවේ
අපෙ මාමා ඔහෙ කකුල් වන වනා
එදා දවස ගැනමයි හිතුවේ…

පසු කාලීනව කපුගේ ලියලා එවලා ප්‍රේම්ට “තොට මම හද මාමා වගේද පේන්නේ කියලා.

ඒවගේම ෆ්‍රෙඩී ගේ ජීවිතේ කොයිතරම් සුූක්ෂමව මේ ගීතය තුලින් ලියවෙනවද කියලත් ඕනම අයෙකුට තේරුම් ගන්න පුලුවන්.
ඉතින් ඔවැනි අපූරු කලා රසයක් ඇති හාස්‍ය උත්පාදනය කල ෆ්‍රෙඩීගේ කලා දිවියේ ඔහුගේ නිර්මාණ ගැන වෙනම ලියන්න ගියොත් අපට බාගවිට මහා කාලයක් යාවි.

අවසන් කාලේ මුදල් වෙනුවෙන් ෆ්‍රෙඩී සන්ෆ්ලවර් සංගීත කන්ඩායම සමග ගීත තැටි කීපයක් කිරීම හේතුවෙන් කපුගේ මහත්තයට වගේම කලා ලෝකයෙන් ෆ්‍රෙඩීටත් නින්දා එල්ල වුනා..ඒත් වර්ථමානයේ අපට අහන්න ඉතුරු වෙලා තියෙන්නෙත් ඒ ගීත පමණයි ..ෆ්‍රෙඩී බොහෝවිට තමන් ගේ හඩ මෙන්ම ඒ හඩට චිත්‍රපටය සදහා චරිතයත් ලබා දුන්නා . ෆ්‍රෙඩී අවසන් වතාවට රගපාන චිත්‍රපටය විකාශය වෙන්නේ 2002 වසරේ .ඒ පිස්සු ඩබල් චිත්‍රපටය. ඔහුගේ අවසාන ජීවිත කාලය ඉතාමත් කටුක ජීවිතයක් බව ඔබ දන්නවා ඇති.

රසික ඉමිටියාස්

බොහෝ විට අවසාන කාලයේ අරක්කු බෝතලයට පවා ඔහුගේ විශිෂ්ඨ සේවය ලබා ගත් අමන අධ්‍යක්ෂකවරුන් සහ නිශ්පාදකයන් සිටි රටක ෆ්‍රෙඩීට බෙහෙත් ටික ලබා ගන්න සහ ආහාර ටික ලබා දෙන්න ඉදිරිපත් උනේ ඔහුගේ ආදරණීය රසිකයෙක් වූ ඉමිටියාස් කියන මුස්ලිම් ව්‍යාපාරික මහතා. එතුමා නොසිටියානම් සිංහල සිනමා වංශ කතාවේ අපූරු කවටයා අපට අහිමිව ගොස් මීට වඩා වසර ගනනක්…ෆ්‍රෙඩීට අවසන් කාලයේ වැලදුනු සිරෝසිස් රෝගයට ප්‍රතිකාර වියදම් ලබා දී ඇත්තේ ඒ මහත්මයා.

පසු කලෙක ඔහුගේ පුතනුවන්ගේ සයිකල් කඩය ගිනි තබා අලුත්ගම සිංහල ජනතාව ඒ කලගුණ සලකා තිබීමත් මේ ලියුම් කරු පහන් සංවේගයෙන් මේ මොහොතේ සටහන් කරනවා.

අවසාන කාලේ ෆ්‍රෙඩී ජීවත් උනේ මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ අතහැරපු පරණ ගරාජයක. කුස්සිය ආලින්දය මේ සියල්ල තිබුනේ එතන. වරක් ඔහු ජාතික පුවත්පතකට මෙසේ පවසා තිබුනා.

“අනේ මම හරිම අසරණයි

මම ජොලි කලා..ඉතුරු කලේ නෑ.මට දැන් කන්න ටිකත් රසිකයෙක් දෙන්නේ.

එදා මෙදාතුර අපට කලාකරුවන්ගේ පෞද්ගලික දිවිය හාරා අවුස්සන්නට මහත්මා මාධ්‍ය අයිතියක් නෑ. ඒ තමයි ඇත්ත. ෆ්‍රෙඩීට අවසන් වැටුපත් හිමි වන්නේ රුපියල් දෙදහසක මුදලක්..අසා ඇති විදියට ඒ චිත්‍රපට සංස්ථාවෙන්… ඔහු බිරින්දෑ වරුන් දෙදෙනෙකු සිටි අයෙක්. අවසාන මරණ මංචකයේදි ඔහුගේ දරුවන් ඔහුව බාරගෙන තිබුනා.

2001 වසරේ ඔක්තෝබර් මස විසිනම වෙනිදා වැහි බර සැදෑවක ආදරනීය ෆ්‍රෙඩී එවකට ලාංකීය කලා ලොව දුප්පත්ම අහිංසකයා ලෙස අවසන් හුස්ම වාතලයට මුසු කරනවා.
පසු කලෙක යොවුන් ගායක නදීක ගුරුගේ විසින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ෆ්‍රෙඩී සබැදි ගීතමය රාත්‍රියක් සංවිධානය කරනවා.

එහිදී නදීක ෆ්‍රෙඩීව හදුන්වා තිබුනේ

ලාංකීය පොලව මත අතහැරී ගිය විසල් ඔපෙරාව යනුවෙන් .
ඉතින් ලයාන්විත ආදරණීය සිනහවන්තයානනි.!
මේ උත්තමාචාරය නුඹට ආදරය කරන අලුත් පරම්පරාවෙන්.

සටහන
චරිත් ජනප්‍රිය/ මුහුණු පොතෙනි.

Back to Top