Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකොවිඩ් දේශපාලනය සහ යුදවාදී අන්තවාදය- සුනන්ද දේශප්‍රිය

කොවිඩ් දේශපාලනය සහ යුදවාදී අන්තවාදය- සුනන්ද දේශප්‍රිය

by

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමනාකරු වූ පෝල් මැනපොට් 2019 මාර්තු මාසයේ දී ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සත් වසරක සිර දඩුවමකට යටත් කරන ලද්දේ ආදායම් බදු වංචා කුමන්ත්‍රණ වෝදනා යටතේය. ඔහු 2016 මැයි මාසයේ සිට 2019 ජූනි මාසයේ දී ඉල්ලා අස්වන තුරුම ජනාධිපති ට්‍රම්ප්ගේ දේශපාලන ව්‍යාපාර කළමණාකරු වශයෙන් සේවය කළේය. 71 හැවිරිදි මැනපොට් ඔහුට පැනවන ලද දඩුවමෙන් 1/3ක් ගෙවීමටත් පෙර පසුගිය සතියෙහි දී නිවාස අඩස්සියට නිදහස් කරන ලදී. මෙම නිදහස් කිරීම නිර්දේශ කරන ලද්දේ ට්‍රම්ප් විසින් පත් කරන ලද එරට නීතිපති වන විලියම් බාර් විසිනි. ට්‍රම්ප් වනාහී වසංගතය සිය ගෝලබාලයින් බන්ධනාගාරයෙන් නිදහස් කරගත් එකම රාජ්‍ය නායකයා නොවේ.

සුදු වාර්ගික පරමෝත්තමවාදීන්

ලොව පුරාම දක්ෂිනාංශික දේශපාලනඥයින් විසින් කොවිඩ් වසංගතය සිය දේශපාලන බලය වර්ධනය කර ගැනීමේ මෙවළමක් බවට පත් කර ගෙන තිබේ. ඇමෙරිකාවෙහි සුදු වාර්ගික පරමෝත්තමවාදී, අන්ත දක්ෂිනාංශික නව පැසිස්ට්වාදී බලවේග කොවිඩ් වසංගතය හදුන්වනු ලබන්නේ බොරුවක් සහ ඇමෙරිකාවෙහි සුදු ආධිපත්‍ය විනාශ කිරීමට එවන ලද අවතාරයක් ලෙසිනි. වසංගතය පාලනය කිරීම පිනිස දියත් කර ඇති සීමාකිරීම් වලට විරුද්ධව ජනයා වීදි කරා ගෙන්වමින් මෙම බලවේග පසුගිය දවස්වල උද්ඝෝෂන සංවිධානය කළේ වැඩ කිරීමට ඇති අයිතිය උදුරාගෙන ඇතැයි කියමිනි. නමුත් එයට යටින් තිබුණේ අන්ත දක්ෂිණාංශික උවමනාවයි. ජනාධිපති ට්‍රම්ප් ඔවුනට ප්‍රසිද්ධියේම අනුබල දෙයි.

ලොව පුරාම මෙවැනි බලතණ්හාදික දේශපාලනයන්හි පොදු ලක්ෂණ ගණනාවකි. ඒවා මෙහෙයවන්නේ තමන් ශක්තිමත් නායකයින් යැයි කියා ගන්නා සහ අනුගාමිකයින් විසින් එළෙස පිළිගන්නා නායකයින් විසිනි. ඩොනල්ට් ට්‍රම්ප්ගේ සිට හංගේරියානු ජනාධිපති වික්ටර් ඔර්බාන් දක්වාත් බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බෙල්සෙනාරෝගේ සිට පිලීපීනයේ ජනාධිපති රොඩ්රිගෝ දුතර්තේ දක්වාත් බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකශොන්කෝගේ සිට ටෛා්ගෝ ජනාධිපති ෆේ‍රයේ ඥාසින්බියා එඩීමා දක්වාත් යනාදී සියල්ලන්ම තමන් පුම්බා ගන්නේ ශක්තිමත් නායකයින් ලෙසය. මේ හැම දෙනෛකුගේම ඇති පොදු ලක්ෂණයක් නම් වසංගතය නිසි පරිදි පාලනය කරනු වෙනුවට ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යාමට ප්‍රධානත්වය දීමේ අවස්ථාවක් ලෙස මෙම සෞඛ්‍ය අර්බුදය සැළකීමයි.

දුතර්තේ කොවිඩ් පාලනය යුද හමුදාවට බාර දුන්නේය.

දුතර්තේගේ හමුදාකරණය

වසංගතය පැමිනීමට පෙරම 30,000ක් පමණ ජනයා මත්ද්‍රව්‍ය පාලනය කිරීමට යැයි කියා ඝාතනය කිරීමට නායකත්වය දී සිටි පිලිපීන ජනාධිපති රොද්රිගෝ දුතර්තේ වසංගතය පාලනය කිරීම සම්පුර්නයෙන්ම වාගේ යුද්ධ හමුදාවන්ට බාර දුන්නේය. ඔහු විසින් වසංගතය දඩමීමා කර ගනිමින් සිවිල් පරිපාලන සේවාවන්ට පත් කරන ලද යුද්ධ නායකයින් සමහරක් මෙසේය: ආරක්ෂක ලේකම් ඩෙල්ෆින් ලොරෙන්සානා (හිටපු හමුදාපති); සමාජ සුභසාධන ලේකම් රෝලන්ඩෝ බැටිස්ටා (හිටපු හමුදා ප්‍රධානියෙකි); අභ්‍යන්තර හා පළාත් පාලන ලේකම් එඩ්වාඩෝ ආනෝ, ජනාධිපති සාම ක්‍රියාවලි උපදේශක කාලිටෝ ගැල්වෙස් ජේනර් සහ ජාතික ආරක්ෂක උපදේශක හර්මොජෙනස් එස්පෙරොන් (සියලුම දෙනා විශ්‍රාමික සන්නද්ධ හමුදා ප්‍රධානීන්ය); සිවිල් ආරක්ෂක පරිපාලක රිකාඩෝ ජලාඩ් (හිටපු හමුදා නිලධාරියෙකි) සහ තොරතුරු සන්නිවේදන හා තාක්ෂණ ලේකම් ග්‍රෙගෝරියෝ හොනසන් (මාකෝස්ගේ යුද නීති පරිපාලකගේ හිටපු ආරක්ෂක ප්‍රධානියාය).

මේ ලැයිස්තුව කියවන විට ඔබේ සිහියට නැගෙන අනෙක් රටක් ද ඇති බව නිසැකය.

මෙවැනිි රාජ්‍ය නායකයින් අද සෑම මහාද්වීපයකම සිටිති. ඔවුන් සිය අනුගාමිකයිනට සමාජ දේශපාලන සිදුවීම් තේරුම් කරන්නේ කුමන්ත්‍රණ න්‍යායන් ගොඩ නැගීමෙනි. සෑම අවස්ථාවකම ඔව්හු සතුරකු සොයා ගනිති. කොවිඩ් වසංගතය චීන වයිරසයකි; එය නිර්මාණය කරන ලද්දේ චීන රසායානාගරයකය. නැත්නම් වයිරසය බෞද්ධයින් විනාශ කිරීම පිනිස මුස්ලිම් ජනයා විසින් පතුරුවන ලද්දකි. එසේත් නැත්නම් වයිරසය පාලනය කරගැනීමට බැරිවුයේ විපක්ෂය සහාය නොදුන් නිසාය යනාදී වශයෙනි.

ව්‍යසනය දෙරට වැඩීමේ මගුලක්

මෙවැනි දේශපාලනඥයින් ඕනෑම ජාතික ආපදාවක් සළකන්නේ “ඔබ බේරා ගැනීමට මා එනවා” යන පණිවිඩය දියයුතු වේලාවක් ලෙසය. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන්ගෙන් රටක් වේවලුම් කා ඇති අවස්ථාව වුව එවැනි දේශපාලනඥයින්ට දෙරට වැඩීමේ මංගල්‍යකි.

හංගේරියාවෙහි ජනාධිපති වික්ටර් ඔර්බන් එරට බලයට පත්වූයේ “අපි හංගේරියානුවන්” යන සටන් පාඨය පෙරට දමා එරට ජීවත්වන සුලුතර ප්‍රජාවන් බිය ගන්වමිනි. පටු ජාතිවාදය අවුස්සන ජනප්‍රිය දේශපාලනය ද ට්‍රම්ප්ගේ පටන් ඉහත කී නොකී බොහෝ අන්තවාදී දේශපාලනඥයින්ගේ පොදු ලක්ෂනයකි. සුලතරයන් සතුරා කොට ජනප්‍රිය වූ ඔර්බන් වසංගතය පාවිච්චි කළේ ව්‍යවස්ථාවට උඩින් රට පාලනය කිරීමේ පනතක් පාර්ලිමේන්තුවෙන්ම සම්මත කර ගැනීමටය. 2020 මාර්තු 30 වන දා හංගේරියානු පාර්ලිමේන්තුව කොරොන වයිරස් පනත සම්මත කළේය. මෙම පනත මගින් වික්ටර් ඕර්බන් පෙර නොවූ විරූ හදිසි බලතල ලබා ගත්තේය. හංගේරියානු ව්‍යවස්ථාව අනුව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ ව්ට සෑම දින 15 කට වරක් පාර්ලිමේන්තුව විසින් එය අනුමත කළ යුතුය. මෙම නව නීතිය මගින් දින නියමයක් නොමැතිව හදිසි නීතිය පවත්වා ගැනීමටත් එම කාලය තුළ ඒකාධිපතියකු ලෙස රට පාලනය කිරීමටත් ජනාධිපති ඔර්බන්ට අවස්ථාව ලබා දුන්නේය. ඔහු මෙම හදිසි තත්වය යටතේ දේශීය සහ බහු ජාතික සමාගම් 200ක් අත්පත් කර ගැනීමට යුද හමුදාවන්ට බලය පැවරුවේය.

තවත් මෙවැනි රටවල් සෞඛ්‍ය හේතූන් මතයැයි අනීතික සහ අනිසි හදිසි තත්වයන් මාස ගණන් පවත්වා ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුව කැඳවන්නේවත් නැතිවය.

කොරෝන කියන්නේ පොඩි හෙම්බිරිස්සාවක් යැයි කියූ බොල්සෙනාරෝ

කොරෝන මොන කජ්ජක්ද?

හිටපු හමුදා නායකයෙකු වන බ්‍රසීලයේ ජනාධිපති බොල්සොනාරෝ 2018 දී “නිදහස ආරක්ෂාකරන්නා” ලෙස තමන් ප්‍රක්ෂේපනය කර ගනිමින් බහුතරයකින් බලයට පත් විය. ඔහු, දැන් එරට මහ ව්‍යසනයයක් බවට පත්ව ඇති, වසංගතයේ අනතුර ගණන් ගත්තේ නැත. “ඕක මොකක්ද” කියා අසමින් වසංගතය මුවවිට ඇතිව ඔහු ප්‍රසිද්ධ රැලියකට පවා සහභාගි විය. එහිදී ඔහුගේ අන්ත දක්ෂිණාංශික අනුගාමික පිරිස් නගර වසා දැමීම ඉවත් කරන ලෙසත් , 1964 සිට පැවැතියාක් මෙන් යළි බ්‍රසීලයෙහි මිලිටරි ආඥාදායකත්වයක් ඇති කරන ලෙසත් ඉල්ලා සිටියහ. වසංගතය මැද දීම බොල්සෙනාරෝ තමා හා එකඟ නොවූ සෞඛ්‍ය ඇමැතිවරයා ඉවත් කර එතැනට ව්‍යාපාරිකයකු පත් කළේය.

වයිරසය ගණන් නොගත යුතු යැයි කී තවත් කුප්‍රසිද්ධ ඒකාධිපතියකු නම් බෙලරැස්හි ජනාධිපති ඇලෙක්සැන්ඩර් ජී. ලූකෂෙන්කෝය. මෙරට වයිරස් නොමැත” යැයි කී ඔහු ප්‍රසිද්ධියේ අසා සිටියේ “එවැනි වයරසියක් මෙහි පියාසර කරනු ඔබට පෙනේද” කියා ය. “මට නම් පියෑඹීමක් පේන්න නැහැ.” යැයි ඔහුුම ඊට පිළිතුරද දුන්නේය. පසුව ඔහුටද වසංගතය පාලනය කර ගැනීමට රට වසා දැමීමට සිදුවිය.

ඕකත් මොකක්ද, ” යැයිි පාරම්බා පසුව මාස ගණන් රට වසා දැමීමට සිදුවූ එකම රාජ්‍ය නායකයා ලූකෂෙන්කෝ නොවේ. එමෙන්ම බොල්සෙනාරෝට මෙන් වසංගතය මිලිටරියට රට බාරදීමට අවස්ථාවක් බව ප්‍රකාශ කරන දේශපාලනඥයෝ සහ යතිවරු වෙනත් රටවලද සිටිති. ඉන් සමහරෙක් හිට්ලර් වැනි පාලකයෙක් වන්නැයි ද ඉල්ලා සිටිති. ඇමෙරිකාවෙහි අන්ත දක්ෂිනාංහික පිරිස් හිට්ලර්ගේ ලංචන සිය විරෝධතාවයන්ට රැගෙන එති. රටෙහි සියලු ප්‍රාන්ත සඳහා මිලිටරි ආණ්ඩුකාරයින් පත් කරන ලෙස ඉල්ලා සිටින පිරිස්ද එවැනි රටවල සිටිති. එය එසේ නොවවුවද එවැනි ජනමතයක් මගින් පශ්චාත් වසංගත කාලයෙහි යකඩින් සහ ලෙයින් රට පාලනය කළ හැකි යැයි දුතර්තේ මෙන්ම බොල්සෙනාරෝද සිතනවා ඇත. ඔව්හු සෞඛ්‍ය සේවාව පවා සිය සිතැඟි පරදි හැසිරවීම පිනිස සියතට ගන්නේ සිය බලය මත ඇති සිය ග්‍රහණය තද කර ගැනීමටය.

තොරතුරු බෙදුවොත් විසි වසරක්

බෙහෝ ඒකාධිපති පාලකයින් වසංගතයට මුවා වී විරුද්ධ සහ විවේචනාත්මක අදහස් දැක්වීම පාලනය කිරීමට පියවර ගෙන තිබේ. සිම්බාබ්වේහි අණ්ඩුව මෑතකදී “ව්‍යාජ තොරතුරු” සංසරණය කිරීම අපරාධයක් බවට ප්‍රකාශ කොට වැරදිකරුවන්ට වසර 20 ක් දක්වා සිර දඩුවම් නියම කළ හැකි නීතියක් ගෙන ආවේය. තවත් එැවැනි රටක් වන ටෝගෝ හි දී, පාර්ලිමේන්තුව හරහාම ජනාධිපති ඥාසින්බියා එඩීමාට නියෝග මගින් රට පාලනය කිරීම සඳහා නීති සම්මත කර ගන්නා ලදී. ඔහුට නියෝග මගින් නීති සම්පාදනය කර හැකි අතර ඔහු කැමති ඕනෑම අවස්ථාවකදී සොල්දාදුවන් යෙදවිය හැකිය. ඥාසින්බියා එඩීමා වසංගතය නිසා අසරණබවට පත් ජනයාට මුදල් බෙදා දීමේ වැඩ සටහනක් දියත් කළේය. එමගින් පිරිමින්ට මසකට ඩොලර් 17.50 ක් ලැබිය හැකිය; කාන්තාවන් මසකට ඩොලර් 20.83 කි. මුදල් ලබා ගැනීමට නම් ජනතාව තම ඡන්දදායක හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය. මෑත එරට මහ මැතිවරණය පැවැතියේ 2018 වසරෙහිදීය. එම අවස්ථාවෙහි ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය වර්ජනය කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට මිලියන සංඛ්‍යාත ජනතාවක් අවනත විය. ආධාර ලබා ගැනීමට නම් ජන්දදායක ලියා පදිංචිය ඉල්ලීම මගින් ඥාසින්බියා එඩීමා කලේ විපාක්ෂික ජනයාට සහනාධාර ලැබීම වැළැක්වීමය.

වසංගත සමයෙහි ලබා දෙන සහනාධාර දේශපාලන අවියක් බවට පත් කර ගත හැක්කේ නීතියේ පාලනය නැති, ආණ්ඩු පක්ෂය මෙන්ම විපක්ෂයන්ද සහභාගිවන පාර්ලිමේන්තු නොමැති රටවලදීය. පාර්ලිමේන්තුවට වග කියන විධිමත් පරිපාලන යාන්ත්‍රණයන් ඇති රටවලදී සහනාධාර ලබා දීම ඉක්මන් සහ ක්‍රමවත් විය. දේශපාලනඥයින්ගේ ලැයිස්තු අනුව සහනාධාර බෙදනු ලබන ටෝගෝ හැර වෙනත් රටවල් ද නැතුවා නොවේ.

කොවිඩ් වනාහී හුදු වසංගතයක් නොව ගෝලීය වසංගතයකි. එය විසින් සනාථ කරන ලද එක් තීරණාත්මක යථාර්තයක් නම් අද ලෝකය එකම යායක්ය යන්නයි. කිසිදු රටකට හුදකලා පැවැත්මක් නැත. ඒකාධිපතියන් සිතීමට කැමැති වුවත් ලෝකය එකම යායාක් ව තිබෙන්නේ හුදෙක් ආර්ථික කාරනා සම්බන්ධයෙන් පමණක් නොවේ. සමාජ දේශපාලන වශයෙන්ද ලෝකයට ඉදිරි ගමන ඇත්තේ අනෝන්‍ය සහයෝගය සහ ඒකාබද්ධතාවය තුළය. ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය එහිලා වැදගත් සාධක වෙති. වෙන්ඩ ඒකාධිපතියන් වැළැක්වීමේ අරගලය හුදෙක් ජාතික තලයෙහි කැරෙන්නක් නොව අන්තර් ජාතික තලයෙහිද කැරෙන්නක් බවට පත්විය යුතු බව පශ්චාත්කොවිඩ් ලෝකය අපට කියා දෙනවා ඇත.

Back to Top