Sri Lanka Brief
පුවත්විවරණකොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය, දුප්පතුන්ගේ ඉරණම සහ අභියෝග- රංජිත් හේනායකආරච්චි

කොරෝනා වසංගතය ඉදිරියේ ලෝකය, දුප්පතුන්ගේ ඉරණම සහ අභියෝග- රංජිත් හේනායකආරච්චි

by

ඡායාරූපයඥ නගරය වැසා ඇති බැවින් ගම්බිම් බලා පා ගමනින් යන ඉන්දියානු සංක්‍රමණික කම්කරු පවුලක්  [Danish Siddiqui/Reuters]

කොරෝනා වසංගතයට ප්‍රථම ලෝකය සහ කොරෝනා වසංගතයෙන් පසු ලෝකය යනු  දෙකකි. විවිධ රටවල් මෙම වසංගතය අවසානයේ මෙතෙක් මේ රටවල නොතිබූ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට මුහුණ දෙනු ඇත. රටක අභ්‍යන්තර හෝ ජාත්‍යන්තර යුද තත්ත්වයකදී යුද්ධය විසින් විනාශ කරන රටක, සමාජයක, ආර්ථික සහ සමාජමය තත්වය යුද්ධයට පෙර තිබු තත්වයට වඩා හාත්පසින් වෙනස් බව අපි දන්නෙමු. ඒ යුද්ධය විසින් මිනිස් ජීවිත පමනක් නොව රටවල් වල සම්පත්, නගර ආදිය සහමුලින්ම විනාශ කර දමන බැවිනි. එය මිනිසා විසින් තම උවමනාව තුළින්ම හිතාමතා කරන ක්‍රියාදාමයකි. බොහෝ රටවල් මෙන්ම ලෝක ජනගහනයෙන් අතිබහුතරයක් එය අත්විඳ, අත්දැක ඇත.

නමුත් අද පවත්නා අන්දමේ වසංගතයකට නවීන ලෝකය මුහුණ දෙන පළමු අවස්ථාව නැත්නම් අද ජීවත් වන මිනිසුන් මෙවැනි වසංගතයට මුහුණදෙන පළමු අවස්ථාව මෙය වෙයි. මෙම වසංගතය ගැන අදහස් ඉදිරිපත් කරන ජර්මනියේ දාර්ශනිකයකු වන යූර්ගන් හාබර්මාස් පැවසූයේ“අපේ නොදැනුම පිළිබඳව ඇති දැනුමේ විශාලත්වය පිලිබඳ දැනුම නිසාම දෙගිඩියාවෙන් ජීවත්වීමට සිදු වූ මෙවැනි අවස්ථාවක් මෙන් පෙර නොතිබුණු තරම් ය.” කියාය.

මහාමාරිය නම් වසංගතය

මෙයට ප්‍රථම ලෝකය මේ ආකාරයේ වසංගත වලට මුහුණ දුන් අවස්ථාවක් ලෙස මුලින්ම සඳහන්ව ඇත්‌තේ මහාමාරිය වසංගතයයි. එදා, 1332 දී චීනයේ ඇරඹෙන මහාමාරිය වෙළඳ නෞකා වල වැඩ කළ නැවියන්ට බෝවීම තුළින් ඉතාලියේ සිසිලියේ මෙසිනා වරායෙන් එම නගරයට1347 දී ව්‍යාප්ත වීම ඇරඹේ. මෙසේ ව්‍යාප්ත වන මහාමාරිය මොන ආකාරයකින් පැතිරෙන රෝගයක් ද කියා වටහා ගැනීමට පවා එදා මිනිසාට නොහැකි විය. අවසානයේ යුරෝපයේ රටවල් වල මිනිසුන් දෙකෙන් පංගුවක් මිය ගියහ. සමහර නගර එහෙම පිටින්ම හිස්විය.

ඊළඟට මෙවැනි වසංගතයක් පිළිබඳව ලෝක ජන මතකය තුල තැන්පත්ව ඇත්තේ 1918දී ඇමරිකාවේ ප්‍රාන්තයකින් ආරම්භ වී ස්පාඤ්ඤයට ළඟා වීම තුලින් “ස්පාඤ්ඤ උණ” ලෙස ප්‍රකට වන වසංගතයයි. මෙම වසංගතය ලෝකයේ මිනිසුන්ගෙන් මිලියන 500 කට වඩා වැලඳුන අතර මිලියන 50කට ආසන්න ප්‍රමාණයක් මරා දැමූ බවත් ප්‍රකටය‍.

නමුත් අද ජීවත් වන මිනිසාට මේ වසංගත පිළිබඳව ඇත්තේ කියවා ලැබූ දැනුම මිස ඒවා අත්විඳීමෙන් ලද දැනුමක් නොවේ. එනිසා අද කොරෝනා වසංගතයට මුහුණදෙන සමාජය මෙවැනි වසංගතයට මුහුණ දෙන ප්‍රථම වතාව මෙය වන්නේය.

දුප්පත් මිනිසාගේ ඉරණම

කොරෝනා වසංගතය අපට කියා දෙන පළමු පාඩම වන්නේ අප සියලු දෙනාම එකම ලෝකයක බවයි. ඒ සමගම අපට මෙම වසංගතය කියාදෙන අනෙකුත් පණිවිඩය වන්නේ ලොව කිසිම රටකට හෝ කොටසකට තනිව මෙම ප්‍රශ්නය නිරාකරණය කරගත නොහැකි බවයි.

මෙම වසංගතයෙන් වඩාම හානියට පත්වන්නේ දුප්පත් මිනිසාය.

ලෝකය පුරාම දියුණු නොදියුණු රටවල සෑම එකකම පාහේ මෙවැනි වසංගතයන් වලදී වඩාත් හානියක් හිමිකර ගන්නේ දුප්පතුන්ය. එසේ නැත්නම් දේශපාලන අර්ථයෙන් කියන්නේ නම් පහළ පන්තීන්ය. මීට පෙර පැවති වසංගත වල දී මෙන්ම මෙම කොරෝනා වසංගතේ දී ද දැන් පෙන්නුම් කරමින් පවතින්නේ ලොව පුරා රටවල පහළ පන්තිය නැත්නම් නිර්ධනයින් වඩාත් හානියක් ලබන බවයි.

කලු ඇමෙරිකානුවන් කෙරෝන වසංගතයේ විෂම ගොදුරකි. (AP photo)

ඇමරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටක තත්ත්වය ඉතා බරපතළය. විශාල නගරවල ජීවත් වන දුප්පතුන්, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය රක්ෂණ නොමැති අය, මෙසේ රක්ෂන නොමැත්තේ ඔවුන්ට රක්ෂණය කිරීම සඳහා මුදල් නැති දුප්පතුන් හෙයිනි, මෙම වසංගතයේ දී විශාල වශයෙන් මියයන බව, මෙම රෝගයට ගොදුරු වන බව, සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලි කරයි. ඇමරිකා එක්සත් ජනපදයේ මෙම වසංගතයෙන් මේ වන විට වැඩිම හානියක් ලබා ඇත්තේ කළු ඇමරිකානුවන් සහ ලතින්ඇමරිකානු සම්භවයක් ඇති ඇමරිකානුවන් ය. එයට හේතුව ඔවුන් වැඩි දෙනෙක් ඇමරිකාවේ පහළ පන්තීන්ට අයත්වන නිසාවෙනි. ඔවුන් වැඩි දෙනෙකුගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය නිසි අයුරින් නිති  පරීක්ෂාවකට ලක් වී නොමැති නිසාත්, ඔවුන් ක්‍රමවත් පෝෂ්‍ය ආහාර ලබා ප්‍රතිශක්තිකරණයක් ඇති තත්වයක නොසිටීමත්, රෝගය වැළඳීමේ ලක්ෂණ පහළ වූ අවස්ථාවේම වෛද්‍ය පහසුකම් ලබාගැනීම සඳහා යොමු නොවීමත් බොහෝ මරණ ඇති වීමට හේතුවයි. මෙතෙක් ඇමරිකාවේ මිය ගිය අයගෙන් සියයට හැත්තෑ පහක් අයත්වන්නේ කළු සහ දුඹුරු ඇමරිකානුවන්ට බව සංඛ්‍යා ලේඛනවලින් පැහැදිලිවේ.

ඒ වාගේම දියුණු වෙමින් පවතින රටවල්, සංවර්ධනය වෙමින් පවතින රටවල් යැයි හැඳින්වෙන රටවල එදිනෙදා රැකියාවන් කරන අයගේ ජීවන තත්ත්වය අවදානමකට ලක් වී හමාරය. උදාහරණයකට ඉන්දියාවේ පදිකවේදිකා වෙළඳුන්, රක්ෂෝ පදවන්නන්, බඩුමුට්ට කරගහන කම්කරුවන්, ආදී දෛනික වැටුපකට වැඩකරන උපකාරක කම්කරුවන්ගේ තත්වය අති භයානක වී ඇත. කොරෝනා කෙසේවෙතත් කුසගින්නේ මිය යෑමේ තර්ජනයක් ඔවුන් ඉදිරියේ ඇත. ඉන්දියාවේ මෙසේ වැඩකරන කම්කරුවන්ගේ ප්‍රමාණය මිලියන දෙසිය පනහකට වැඩිය. ඔවුන්ගේ ජීවන තත්වයන් ඉතා අසාධ්‍ය මට්ටමකට පත් වී ඇති හෙයින් ඔවුනට නගරවල සිට ගම්වලට පයින් ගමන් කිරීමට සිදුවී ඇත. කුසගින්න ඔවුන්ගේ දින චරියාව වී ඇත.

කොරෝන මැදින් හමුදා පාලනයකට

ඒවාගේම බ්‍රසීලය වැනි රටවල හිතුවක්කාරී අත්තනෝමතික නායකයින් වන බොල්සොනාරෝ වැන්නන්ගේ උද්දච්ච මෝඩ ක්‍රියාවන්වලට වන්දි ගෙවීමට සිදුව ඇත්තේ එම රටවල දුප්පතුන්ටය. බොල්සොනාරෝ තම රටෙහි ගෙන යන ප්‍රචාරය වන්නේ මෙම වසංගතය හෙම්බිරිස්සාවක් පමණක් බවත් එය ගණන් ගත යුතු නැති බවත්ය. මිනිසුන් දුරස්ව සිටීමට හෝ තාවකාලිකව නිරෝධායන සඳහා රඳවා ගැනීම් වලට ඔහු විරුද්ධ වන අතර සියල්ල තිබුණු ආකාරයෙන්ම කරගෙන යන ලෙස හඬ නගයි. මේ වන විට බ්‍රසීලයේ දසදහස් ගණනකට රෝගය බෝවී ඇති අතර දහස් ගණනින් මිනිසුන් මිය යමින් තිබේ. මෙම අදූරදර්ෂී ක්‍රියානිසා වඩාත් අවදානමට ගොදුරුව ඇත්තේ ඇමසෝන් වනාන්තර පලාතේ ගම්මානවල ජීවත්වන පාරම්පරික ආදිවාසී දුගී මිනිසුන් ය. සමහර ගම්මානවල මළ මිනී වළ දැමීම සිදු වී ඇත්තේ බැකෝ යන්ත්‍රවලින් කපන සමූහ වලවල් තුළය. ඒ තරමට එදිනෙදා මිනිසුන් මිය යමින් පවතී. එරට සෞඛ්‍ය ඇමති ජනාධිපති බොල්සොනාරෝගේ මේ වැරදි ක්‍රියාමාර්ගයට එරෙහිවී ආරක්ෂිත ක්‍රියාවන් අනුගමනය කිරීම හේතුවෙන් ඔහුව ඇමතිකමින් ඉවත් කරන ලදී. ජනාධිපති බොල්සොනාරෝ අද ගමන් කරමින් පවතින්නේ බ්‍රසීලයේ නැවත ඒකාධිපති හමුදා රාජ්‍යයක් ගොඩනැගීම වෙතයි.

බොල්සොනාරෝගේ පරමාදර්ෂය වන්නේ 1964 දී හමුදා කුමන්ත්‍රණයකින් බලයට ආ හමුදා ආණ්ඩුවයි. එදා හමුදා ආණ්ඩුව මාධ්‍ය තහනම් කළ අතර, වද දීම් සහ අත්අඩංගුවට ගැනීම් තුළින් සියලු අයිතීන් යටපත් කර, සියලූ විරුද්ධ පක්ෂ යටපත් කරන ලදී. රාජ්‍ය දේපල ගසාකනු ලැබිණ.  එක්දාස් නමසිය අසූ පහේදී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් වෙත බ්‍රසීලය නැවත ළඟා වූවා වුවත් අද වන තුරු කිසිදිනක එදා හමුදා ආණ්ඩුව විසින් කළ මිනීමැරුම් වධ දීම් සහ සියලු ආකාරයේ අපරාධ පිළිබඳව කිසිම සමාලෝචනයක් හෝ විභාගයක් සිදුකර නොමැත.

මැද පෙරදිග දීප්තිය පිටුපස සිටින සංක්‍රමණික සේවක පිරිස් කොරෝන වසංගතයේ තවත් බිල්ලකි. (AL Jazeera photo)

දීප්තිමත් රාජ්‍යන්හි පීඩිතයෝ

තවත් උදාහරණය වන්නේ දීප්තිමත් රාජ්‍යයන් ලෙස නම් ලබා ඇති, සිංගප්පූරුව, කටාර් රාජ්‍යය, එමිරේට් ඩුබායි වැනි රටවල්ය. ලක්ෂ ගණනින් විදේශ කම්කරුවන් මේ රටවල රැකියාවෙහි යෙදෙන බව අපි දනිමු. ලංකාවේ ශ්‍රමිකයින් ද මිලියන එක හමාරකට වැඩි ප්‍රමාණයක් මෙම රටවල් වල වැඩ කරන බව ප්‍රකටය. කොරෝනා වසංගතය පැතිරීමත් සමග අද මෙම කම්කරුවන් අනෙක් අයගෙන් වෙන්කර වසා දමා ඇති බව මෙම රටවල් වලින් වාර්තා වේ. ඔවුන් අතරින් සමහරු සිය ගණනින් නොව දහස් ගණනින් විවිධ තරාතිරමේ කඳවුරු වැනි කොටස්වල වසා දමා ඇති හෙයින් ඔවුනට ජීවත්වීමට සිදුවී ඇත්තේ ඉතා අවදානම් තත්ත්වයක් තුළයි. මෙම කඳවුරු තුළ රෝගය බෝවීමේ අවදානමක් පවතී. ඒවාගේම බැරැක්ක තුළ ඇත්තේ ඉතා අඩු පහසුකම් වන අතර වැසිකිලි සහ නාන කාමර වැනි දේවල් පොදු ඒවා බවත් ඒ නිසාම විශාල අවහිරතාවයන් තුළ ඔවුන්ට ජීවත්වීමට සිදුවී ඇති බවත් ප්‍රකටය. ඒ වාගේම ඔවුනට එරෙහිව මේ රටවල් තුල වර්ගවාදී, ජාතිවාදී ප්‍රචාරණයන් ද කරගෙන යනු ලබයි. මෙය මෙම වසංගතය තුළ ඇතිවන පන්ති තත්ත්වයන් ඉස්මතුවීම බව පැහැදිලිය. මෙම රටවල් වල වැඩ කරන බොහෝ කම්කරුවන් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්, බංග්ලාදේශයෙන්, පිලිපීනයෙන්, ශ්‍රී ලංකාවෙන් වැනි රටවල් වලිනි. මෙම රටවල් මෙතෙක් දීප්තිමත් තත්ත්වයේ පවත්වා ගැනීමට සම්පූර්ණ ශ්‍රමය වැය කර මේ තත්ත්වයන් ගොඩනගා ඇත්තේ මෙම කම්කරුවන් සහ ශ්‍රමිකයන් බව පැහැදිලි වුවත් මෙම රටවල් වල වර්ගවාදී දේශපාලන කොටස් විසින් මේ අසීරු තත්වය තුල ඔවුන් නොසලකා හරින තත්වයක් ඇතිව තිබේ. ඔවුනට එරෙහිව අද ප්‍රචාරයන් පවා කරගෙන යනු ලබයි. ඒවගේම දැන් මෙසේ වෙන් කර ඇති ඔවුන් තම ඉතිරිකිරීම් වලින් ජීවත් වන අතර ඉදිරියේ ඔවුන්ට නිතිපතා පඩි නොලැබෙන තත්වයක් ඇති වුවහොත් ඔවුන්ට ජීවත් වීමේ අවදානමක් පවා මතුවෙමින් පවතී.

වෛරසය බෝවීමේදී ඇති හැකි හෝ නැතිබැරි කියා වෙනසක් නැතිව එය බෝවනවා වුවත් මෙම වසංගතය වඩා අසාදනය වන්නේ දුප්පතුන්ට බව, ඒ ඔවුන් අඩු ඉඩකඩක වැඩි දෙනකු එකට ජීවත්වීමේ තත්ත්වයක ජීවත්වන නිසා බව, දත්තයන් පැහැදිලිව පෙන්නුම් කරයි.

පුළුල් සමාජ රක්ෂණයක් කරා

කොරෝනා වෛරසය ලෝකයට පෙන්නා දෙන්නේ මිනිස්සුන්ගේ ප්‍රශ්න එකක් ලෙසගෙන විසඳුම් සෙවිය යුතු බවයි. ඇති අයට පමනක් තනිව ආරකෂා විය නොහැකි බව මෙම වසංගතය උගන්වයි. පරිසරය වග විභාගයකින් තොරව විනාශ කිරීම තුල මිනිසා මිනිසාවම විනාශ කිරීමට අවශ්‍ය ආයුධ ඒ තුළම තනාගන්නා බව ඉගෙන ගන්නට සිදුවෙයි. විශේෂෙන්ම ආසියානු අප්‍රිකානු සහ ලතින් ඇමරිකානු රටවල දුප්පත් ජනයා සඳහා සමාජ රක්ෂණයක අත්‍යාවශ්‍යභාවය මෙම වසංගතය තුළින් පෙන්නුම් කරයි. එනිසා මෙවැනි අර්බුදයකදී සැමටම ජීවන තත්ත්වය පවත්වා ගතහැකි සමාජ ආරක්ෂණය වැඩ පිලිවෙලක් පිළිබඳ විසඳුම් සෙවීමට මෙම තත්ත්වය දේශපාලනයට බල කර සිටී.

ඒ වගේම ලොව සියලුම රටවල සෞඛ්‍යසේවා ධාරිතාව නගාසිටුවීම අත්‍යාවශ්‍ය බවත් සෑම පුද්ගලයකුටම වෛද්‍ය පහසුකම් ලබාගැනීමේ ක්‍රමවේදයක් සෑම රටකම ඇතිව තිබිය යුතු බවත් පැහැදිලි වෙයි.

බලශක්තිය ලබා ගැනීමට අලුත් ක්‍රමවේදයන් වෙත, පරිසරය ආරක්ෂා වෙන ක්‍රමවේදයන් වෙත යොමුවීමට මෙය අවස්ථාව කරගත යුතුය.

ඒවාගේම වසංගතයට ප්‍රථම තිබූ ලෝකයම නැවතත් ඒ තිබූ ආකාරයෙන්ම පවත්වා ගැනීමට උත්සාහ කරන්නේ නම් මිනිස් සංහතිය එයින් ඉගෙනගත් පාඩමක් නොමැත.

 

 

 

 

Back to Top