Sri Lanka Brief
පුවත්අපි එදා කෑ හැටි සහ අද කන හැටි – මහාචාර්ය රොහාන් සමරජීව

අපි එදා කෑ හැටි සහ අද කන හැටි – මහාචාර්ය රොහාන් සමරජීව

by

ඡායාරූපය: 1974.01.02 ඇත්ත පුවත්පතේ කාටූනය Subhash Weerathunga Jayawardena මුහුණු පොතෙනි.

රටක (හෝ කුටුම්භයක) සමෘද්ධියේ මට්ටම ඉහළ යත්ම පරිභෝජනය කරනු ලබන ප්‍රෝටීන් අඩංගු ආහාර ප්‍රමාණය ඉහළ යන බව නිරීක්ෂණය කර තිබේ. අවසාන කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණ තුනෙන් ලබා ගත් තොරතුරු අනුව බලන කල ශ්‍රී ලංකාවේ ද මෙම සංසිද්ධිය සිදුවන බව පෙනෙන්නට ඇත (රූපය 1). ප්‍රෝටීන ලබා ගැනීම සඳහා ශ්‍රී ලාංකිකයින් අතර ජනප්‍රිය ක්‍රමවේදයක් වනුයේ කුකුල් මස් ආහාරයට ගැනීම බව ප්‍රකට කරුණකි.  2009/2010 කාලයේ දී මසකට ග්‍රෑම් 233 ක පැවති කුකුල් මස් පරිභෝජනයේ මාසික සාමාන්‍යය  2016 වන විට ග්‍රෑම් 378 දක්වා ඉහළ ගොස් තිබුණි.  මෙය වසර හයක් තුල සියයට 66 ක ඉහළ යාමකි.

කරවල, බොහෝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින් ගේ ප්‍රධානතම ප්‍රෝටීන සම්භවයක්ව පැවතිනි.   ප්‍රධාන ප්‍රෝටීන සම්භවයන් අතුරින් මේ සය වසරක කාල පරිච්ඡේදය තුල ස්වල්ප වශයෙන් අඩුවීමක් දක්වා ඇත්තේ කරවල පරිභෝජනය පමණකි.  කරවල පරිභෝජනයෙහි මේ දක්නට ලැබෙන අඩුවීම අළුත් මාළු විසින් පුරවන්නට ඇතැයි උපකල්පනය කල හැකි වුව ද  අවාසනාවකට මෙන්, සංක්ෂිප්ත වාර්තාව තුල එම තොරතුරු අඩංගු කර නැත.  එම තොරතුරු ලබා ගැනීම පිණිස, අවසාන සවිස්තරාත්මක වාර්තාව නිකුත් වන තුරු බලා සිටින්නට අපට සිදුවේ.

ශ්‍රී ලාංකිකයින්ට ප්‍රෝටීන ලබා දෙන තවත් ප්‍රධාන ක්‍රමයක් වන පරිප්පු පරිභෝජනය ද මෙකී සමීක්ෂණ කාල පරිච්ඡේදයන් තුන තුල ඉහළ ගොස් ඇතත් එය කුකුල් මස් පරිභෝජනයේ දක්නට ලැබෙන ඉහළ යාම තරම් විශාල නොවේ.

රූපය 1: ප්‍රෝටීන් පරිභෝජනයේ දක්නට ලැබෙන වෙනස්කම්

මූලාශ්‍රය: ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණය 2016 - අවසාන ප්‍රතිපල

මූලාශ්‍රය: ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව, කුටුම්භ ආදායම් වියදම් සමීක්ෂණය 2016 – අවසාන ප්‍රතිපල

1977-78දී  ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දී වසර 40 ක් ගත වී ඇති හෙයින් ප්‍රතිසංස්කරණ වලට පෙර සහ වර්තමානයේ ශ්‍රී ලාංකික ජනතාව ගේ ප්‍රෝටීන පරිභෝජන රටාවන් සසඳා බැලීම ප්‍රයෝජනවත් වනු ඇත.  1978 ට අදාළ දත්ත ලබා ගෙන ඇත්තේ, නිල සමාජ-ආර්ථික සමීක්ෂණය පාදක කරගනිමින් වෛද්‍ය බ්‍රයිටි ද මැල් මහත්මිය  විසින් සකස් කරන ලද වාර්තාවකින් වන හෙයින් සහ එහි දී භාවිත කර ඇත්තේ වෙනත් ඒකක වර්ගයක් (කුටුම්භයක මාසික පරිභෝජනය වෙනුවට පුද්ගලයකු ගේ දෛනික පරිභෝජනය) වන හෙයින් මේ අවස්ථා දෙකෙහි ඍජු සංසන්දනයක් සිදුකල නොහැක.

1970-77 කාලය තුල ශ්‍රී ලංකාව තුල සමාජවාදය අත්හදා බලන ලද පරිච්ඡේදයේ දී ප්‍රෝටීන් පරිභෝජනය හරි අඩකින් පහත වැටී ඇත.  මේ කාලය තුල, ආහාර ද්‍රව්‍ය ආනයනය දැඩිව පාලනය කරනු ලැබිනි. උදාහරණයක් ලෙස, පරිප්පු ආනයනය මුළුමනින්ම නවත්වා දැමිනි.  කරවල ලබා ගත හැකි වූයේ සමුපකාර සලාක වෙළඳසැල් හරහා පමණකි. කළු කඩ වෙළඳාම සරුවට සිදුවින.  ජනතාව පරිභෝජනය කළයුත්තේ මොනවාදැයි තීරණය කරන ලද්දේ ආණ්ඩුව විසිනි.  සමුපකාර වෙළඳසැල් හරහා එක් සතියක වියලි හාල්මැස්සන් නිකුත් කරන ලද අතර තවත් සතියක වෙනත් කරවල වර්ගයක් නිකුත් කරනු ලැබිනි.

ජනතාව ගේ කැලරි ලබා ගැනීම සහ ප්‍රෝටීන පරිභෝජනය ගැන සඳහන් කරන වෛද්‍ය ද මැල් පවසන්නේ ජනගහනයේ දිළිඳුතම සියයට 43 ට අයත් ජනතාවට, අවම වශයෙන් පුද්ගලයකු විසින් දෛනිකව ලබා ගත යුතු කැලරි 2,200 සහ ප්‍රෝටීන් ග්‍රෑම් 40 හෝ ලබා ගැනීමට මේ සමාජවාදී යුගය අවසානයේදී නොහැකි වූ බවයි.  එකල සේවයේ යෙදුනු වෛද්‍ය නිලධාරීන් පවසන අන්දමට කොළඹ නගරයේ පවා දරුවන් අතර මන්දපෝෂණය සහ ප්‍රෝටීන හිඟකම නිසා ඇතිවන මරාස්මුස් සහ කවෂියොකෝර් රෝග තත්වයන් වාර්තා වී තිබේ.

රූපය 2: වැදගත් ප්‍රෝටීන මූලාශ පරිභෝජනය 1969-75

මූලාශ්‍රය: ජයවර්ධන, ලාල් (2004) Understanding reforms, 1960-2000, in  Economic policy in Sri Lanka , edited by S. Kelegama. New Delhi: Sage, pp. 96-108.

මූලාශ්‍රය: ජයවර්ධන, ලාල් (2004) Understanding reforms, 1960-2000, in Economic policy in Sri Lanka, edited by S. Kelegama. New Delhi: Sage, pp. 96-108.

මේ අනුව පෙනී යන්නේ, සංවෘත ආර්ථිකයක් තුල සිටිද්දීට වඩා හොඳින් විවෘත ආර්ථිකය තුල දී ජනතාව හොඳින් ආහාර ගන්නා බවයි.  රජය විසින් පාලනය කරනු ලබන ආර්ථිකයක් නිර්මාණය කර ගැනීමේ ආශාවෙන් තවමත් පෙළෙන පිරිස් වලට මේ තොරතුරු වලින් යමක් උගත හැකි වෙතැයි සිතමි.

උපුටා ගන්නා ලද්දේ  www.advocata.org

Back to Top