Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගවසංගතය හමුවෙහි නීතිය සහ අවනීතිය – සුනන්ද දේශප්‍රිය

වසංගතය හමුවෙහි නීතිය සහ අවනීතිය – සුනන්ද දේශප්‍රිය

by

 සිසිල් ප්‍රනාන්ගේ කාටූනයක්.

රංජන් රාමනායක අත් අඩංඟුවට ගත්තේ ඇදිරි නීතිය කඩ කිරීම නිසා බව පොලීසිය කීවේය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයා වූ සුමන්දිරන් අධිකරණ හමුවෙහි තර්ක කළේ රටෙහි නීත්‍යනුකූලව පැනවූ ඇදිරි නීතියක් නැති බවටය. රාමනායකට ඇප ලබාගෙන අධිකරණයෙන් පිටතට පැමිණි නීතිඥ සුමන්දිරන් කීවේ රටේ ව්‍යවස්ථානුකූල නීතියක් නැති නමුත් කොවිඩ් 19 තර්ජනය හමුවේ ආණ්ඩුව පනවා ඇති නීති පිළිපදින ලෙසය.

50,000ක් අත්අඅඩංගුවට

නීති ක්ෂේත්‍රයේ විද්වතුන් දෙනෛකු වන අසංග වැලිකල සහ සුරේන් ප්‍රනාන්දු පෙන්වා දී ඇති පරිදි ඇදිරි නීතිය පිළිබඳ රජයේ නිවේදනයන්හි එහි නෛතික පදනම ලෙස කිසිදු ව්‍යවස්ථාපිත විධිවිධානයක් පැහැදිලිව සඳහන් කර නැත. එය ‘පොලිස් ඇඳිරි නීතිය’ යන සංකල්පය මත පදනම් වී ඇති බව උපකල්පනය කළ හැකි බව ඔවුන් පවසයි. ඊට හේතුව නම් කොවිඩ් 19 වැළැක්වීමට යොදා ගෙන ඇති හෝ යොදා ගත හැකි ලිඛිත නීතිවන පොලිස් ආඥා පනත, නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය සහ ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත වැනි පනත්වලින් එවැනි ඇඳිරි නීතියක් පැනවීමට රජයට සෘජු ව්‍යවස්ථාපිත බලයක් නොමැති නිසාය.‍

සුමන්තිරන්ගේ තර්කය අධිකරණය පිළිගත් බව පෙනී යන නිසා ඉහත කී පැහැදිළි කිරීම තහවුරු වී තිබේ. ඉන් අදහස් වන්නේ මාසයකට වැඩි කාලයක් පුරා පවතින, තවත් සති ගණනාවක් පැවැතිය හැකි “ ඇදිරි නීතිය” ට කිසිදු නීත්‍යනුකූල බවත් නැති බවයි.

නමුත් මේ ඇදිරි නීතිය කඩ කරන ලදැයි මේ වන විට අත්අඩංඟුවට ගෙන ඇති පිරිස 35,000කි. වාහන දහ දහස් ගණනාවකි. නීත්‍යනුකූල පදනමක් නැති “ඇඳරි නීතියක්” යටතේ මෙතරම් විශාල පිරිසක් අත්අඩංඟුවට ගැනීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? ඉන් පෙන්නුම් කැරෙන්නේ මහජන අවබෝධය ඉහළ නැංවීමට වඩා බියගැන්වීම ආණ්ඩුවේ ප්‍රධන පිළිවෙත බවයි. නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් ද 20,000කට ආසන්න පිරිසක් අත්අඩංඟුවට ගෙන තිබෙන බව වාර්තා වේ. එවිට කොරොන මර්දනයට අදාළ අත්අඩඟුවට ගැනීම් 50,000 පනී!

කොවිඩ් වසංගතය අති විශේෂ තත්වයකි. එය පාලනය කර අවසන් කිරීමට ද අති විශේෂ පියවර අවශය ය. ඒ ගැන විවාදයක් නැත. එවැනි තත්වයන් සදහා මහජන ආරක්ෂක පනත යටතේ සහසි නීිය පනවා ඇඳිරි නීතිය පැනවීමට ව්‍යවස්ථානුකූල විධිවිධාන තිබේ. ඒ් සඳහා ප්‍රථමයෙන් හදිසි නීතිය පැනවිය යුතුය. එමගින් අද වුවත් ජනාධිපති රාජපක්ෂට ඒ් අනුව ඇඳිරි නීතිය පැනවිය හැකිය. ඔහු ඒම නීතිමය තත්වය ලබා ගෙන නැත. ඒ් සඳහා ඔහු ගැසට් නිවේදනයක් නිකුත් කළ යුතුය.

අනීතික පාලනය

ජනාධිපති රාජපක්ෂ එළෙස  මහජන ආරක්ෂ පනත බලාත්මක නොකරන්නේ එසේ කළ විට ඔහුට එය පවත්වා ගෙන යෑමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු නිසාය. ඒ් සඳහා ඔහුට යළි විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැදවිය හැකි වුවත් තමා කිසිම තත්වයක් යටතේ එම පාර්ලිමේන්තුව නොකැදවන බව රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. සිය කටයුතු පාර්ලිමේන්තුවේ අධීක්ෂනයට යටත්වීම මේ අවස්ථාවෙහි රාජපක්ෂගේ කැමැත්ත නොවන නිසා අද ශ්‍රී ලංකාව පාලනය වන්නේ අනීතිකවය. එය රාජාණ්ඩුවක් ඇති රටක රජකුගේ තනි කැමැත්ත මත රට පාලනය කිරීම හා සමානය.

කොවිඩ් වසංගතය පැරදවීමට ගන්නා ක්‍රියාමාර්ගයන් නීතියේ පාලනය යටතේ සිදුවිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉතා හොඳින් පෙන්වා දී තිබේ. රටක ව්‍යවස්ථාවක් ඇත්තේ සහ ඒ් යටතේ නීති රීති පැනවෙන්නේ කිසිවකුට අත්තනෝමතික ලෙස රටක් පාලනය කිරීමට ඉඩ නොතිබිය යුතු නිසාය. ඉතාම යහපත් මිනිසුන්යැයි කිසිවකු නැත. ඕනෑම පාලකයකු විවිධ හේතූන් සහ විවිධ තත්වයන් යටතේ දරුණු අනීතික පියවර ගන්නට ඉඩ තිබේ. එවැනි තත්වයකදී රටවැසියාගේ ආරක්ෂාව රැදී පවතින්නේ ව්‍යවස්ථාව විසින් පනවා ඇති අයිතීන් නිසාය.

දැන් ජනාධිපති රාජපක්ෂ ගමන් කරන්නේ එම ව්‍යවස්ථාවට පයින් ගසා අන්තනෝමතික පාලනයක් කරාය. අනීතික ඇඳිරි නීතියෙන් පටන් ගෙන දැන් අනීතික රාජ්‍ය පාලනයක් කරා පියවර තැබීමට ඔහු සුදානම් වෙයි. ඒ පාර්ලිමේන්තුවක් නැතිව මාස තුනක් ඉක්මවා රට පාලනය කිරීම මගිනි. මාර්තු 02 දින විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව දැන් මාස තුන පිරෙන ජූනි 02 දා කැඳවෙන්නේ නැත. අප්‍රෙල් 30දායින් පසු මුදල් වැය කිරීම ද ප්‍රශ්ණයකි. විසුුරුවා හරින ලද පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙස විපක්ෂයේ සියළුම පක්ෂ විසින් කරනු ලබන ඉල්ලීමට ඔහු කන් දෙන්නේ නැත.

මෙම වර්ධනය වන තත්වය යනු ජනාධිපති රාජපක්ෂ ශ්‍රී ලංකාවේ නීතියේ නීතිය වන ව්‍යවස්ථාව තාවකාලිකව හෝ පැත්තකට කිරීමට සූදානම්වීමකි. එවැනි පියවරකට සහාය දෙන විශාල පිරිසක් සිටිය හැක. සමහර විට එය සිංහල බෞද්ධ ප්‍රජාවෙහි බහුතරයවීමටත් පුලුවන. එවැනි තත්වයක් මතුවුවහොත් ව්‍යවස්ථා විරෝධීව රට පාලනය කිරීමට විරුද්ධව සජිත් ප්‍රේමදාස හෝ රනිල් වික්‍රමසිංහ අධිකරණයට යනු ඇතැයි සිතීම ද දුෂ්කරය. වසංගතය පාලනය කිරීම පිනිස ව්‍යවස්ථාව පැත්තකට දැමීම ප්‍රශ්ණයක් නොවේයැයි ඔවුන් සිතන්නට ඉඩ තිබේ.

ඇඳිරි නීතියෙන් එහාට

මෙම ප්‍රශ්ණය හුදෙක් පාර්ලිමේන්තුව කැඳවීම හෝ ඇඳිරි නීතිය නීතිමය තත්වයකට ගෙන ඒම පිළිබඳ කාරණයක්ම නොවේ. මෙවැනි අනීතික පාලනයක් විසින් ඒ හා බැදුණූ තවත් ප්‍රශ්ණ ගණනාවක්ම ඇති කරයි.

රංජන් රාමනායක අත්අඩංඟුවට ගැනීමම ගනිමු. නැත්නම් අඳැරි නීති කඩකළැයි අත්අඩංගුවට ගෙන ඇති 35,000 ගනිමු. ඇඳිරි නීති කඩකරමින් අණ්ඩුවේ අමැතිවරයකු වන බන්දුල ගුණවර්ධනගේ මූලිකත්වයෙන් සතියකට පමණ පෙර හෝමාගම දී සංගීත සංදර්ශණයක් පවත්වන ලදී. එයට ඇදිරි නීතිය බලපෑවේ නැත. කිසිවකු අත්අඩංඟුවට ගැනුනේ ද නැත. පුවත්පත් සාකච්ජාවක් පැවැත්වීම පිනිස හිටපු පා.. අජිත් පෙරේරා විසින් කරන ලද ඉල්ලීමකට පොලීසිය අවසර දුන්නේ නැත. එනමුත් නිලනොවන ආණ්ඩුවේ නාලිකාවකට සියයක් තරම් ශිල්පීන් ගෙන්වාගෙන නැටීමට අවසර ලැබී තිබුණි.

පොලීසියේ සමහර ක්‍රියා ඇඳිරි නීතිය තරමටම අනීතිකය. පක්ෂග්‍රාහීය. අන්තවාදීන්ට එරෙහිව දෘෂ්ඨිවාදාත්මක අරගලයක් පෑනෙන් සහ යතුරු පුවරුවෙන් කළ යුතු බවට මුහුණු පොතෙහි ලියූ රම්සි රසීක් නම් සමාජ ජාල පරිශිලකයා වෛර ප්‍රචාර කළැයි පොලීසිය අත්අඩංඟුවට ගත්තේය. එනමුත් ඔහු මරා දමන බවට එම මුහුණු පොතෙහිම තර්ජන ලියූ කිසිවකු අත්අඩංඟුවට ගත්තේ නැත. දැන් පොලීසිය සූදානම් වන්නේ රම්සි රසික් මහාධිකරණයෙන් පමණක් ඇප ලබා ගත හැකි අයි.සී.සී.පී.ආර්. පනත යටතේ සිරගත කිරීමට ය.

ආණ්ඩුවේ යුද්ධ ප්‍රකාශකයකු කියා තිබුණේ මෙරට ජනයා ලියන සෑම සමාජ ජාල වචනයක්ම තමන් පරීක්ෂා කරන බවයි. තමාගේ ජංගම දුරකථනයෙහි කොවිඩ් අසාදනයන්ට ලක් වූ සෑම ශ්‍රී ලංකිකයකුගේම අලගිය මුලගිය තැන්පවා ඇතැයි කීවේ ආරක්ෂක ලේකම් ජෙනරල්වරයාය. එම සෞඛ්‍ය තොරතුරු ආරක්ෂක අංශයන්හි තව කී දෙනෙකු සතුව ඇත්දැයි දන්නේ දෙවියන් පමණි.

කොරොන නමින් ආ රහස් පොලීසිය

පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්ධයැයි පසුගියදා නීතිඥ හිජාස් හිස්බුල්ලා අත් අඩංඟුවට ගන්නා ලද ආකාරය මෙරට නීතියේ පාලනය අත්තනෝමතිකත්වයක් කරා ගමන් කිරීම පිළිබඳ භයානක ඉඟියක් සපයයි. ඔහුගේ පියා වන නයිනා හිස්බුල්ලා විසින් ගොනු කරන ලද හබයාස් කෝපුස් අයදුම්පත සඳහන් කරන කරුණු මෙසේ ය:

අත්අඩංගුවට ගත් දිනයෙහි හිස්බුල්ලා මහතාට සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරයකු යැයි හදුන්වා දුන් අයකු දුරකථන ඇමතුමක් දී තිබේ. එදින ඔහු බැංකු කාඩ් පතකින් මුදල් ගත්තේ දැයි විමසූ එම පුද්ගලයා කියා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඔහුව බැලීමට පැමිණෙන බැවින් නිවසේ රැඳී සිටින ලෙසයි. මේ අනුව හිජාස් හිසුබුල්ලා කල්පනා කර ඇත්තේ ටෙලර් යන්ත්‍රයෙන් මුදල් ගැනීමේ දී ඔහුට කොවිඩ් 19 වැළදෙන්නට ඇතැයි සැකයක් උඩ එම පිරිස පැමිණෙන්නට ඉඩ ඇති බවයි.

එනමුත් සෞඛ්‍ය දෙපාර්ථමේන්තුවේ නිලධාරීන් වෙනුවට ඔහුගේ නිවසට පැමිණයේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ය. පැමිණ ඔහුට මාංචු දැමූ පොලිස් නිලධාරීහු ඔහුගේ නිවසෙහි නීති කාර්යාලයට ගෙන ගොස් නඩු දෙකකට අයත් ලිපිගොනු පිරික්සා බලා තිබේ. එය සම්පුර්නයෙන්ම නීති විරෝධී ක්‍රියාවකි. එම පිරිස ඔහුගේ නීති කාර්යන්ට අදාළ වෙනත් තොරතුරු ද සොයා බලා කියවා තිබේ. ඉන්පසුව, සිංහල පිළිබඳ ප්‍රවීණත්වයක් නැති ඊජිප්තු ජාතික ඔහුගේ බිරිඳට සිංහල භාෂාවෙන් ප්‍රකාශයක් අත්සන් කරන ලෙස නියෝග කර තිබේ. පසුව ඔහු රහස් පොලිසියේ හතරවැනි තට්ටුවට ගෙන එහි රඳවා තබා ගන්නා ලදී. 22වන දා දක්වාම අත්අඩංගුවට ගැනීමට හේතුව පිළිබඳව  ඔහුට දන්වා නොතිබූණි.

එසේ නමුත් ඔහු අත්අඩංඟුවට ගත්තතේ පාස්කු ඉරදාා ප්‍රහාර සම්බන්ධයෙන් බව පොලීසිය රටට කීවේය. පැය 72ක් ඇතුලත අත්අඩංඟුවට ගන්නා අයකු මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කළ යුතු නමුත් පොලීසිය එසේ කළේ ද නැත. නීතිය වල්වැදිලාවත් ද?

සිරිසේනගේ කුමන්ත්‍රණය

නීතිඥ හිජාස් හිස්බුල්ලා ජනාධිපති සිරිසේනගේ ව්‍යාවස්ථා කුමන්ත්‍රණයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සම්කරුවකු වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි සාර්ථක ලෙස කරුණු දැක්වූවෙකු බව ද මේ අවස්ථාවෙහි මතකයට නැංවීම වැදගත් විය හැක. තවද රාජපක්ෂවාදීන්ගේ ගොදුරක් වූ වෛද්‍ය සාෆි සහබ්දීන් වෙනුවෙන් පෙනී සිටියේ ද ඔහු ය.

එම ව්‍යවස්ථා කුමංත්‍රණය අවස්ථාවෙහිදී රාජපක්ෂ කදවුර කරා සිය පක්ෂයේ මංත්‍රීන් සමඟ පැමිණෙන ලෙස කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළ හිටපු ඇමැතිවරයකු වන රිශාද් බදුර්දීන්ගේ සහෝදරයා ද මේ අවස්ථාවෙහිම පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්ධ යැයි පොලීසිය විසින් අත්අඩංඟුවට ගන්නා ලදී. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරන ලද පැමිණිල්ලක් මගින් ඔහුගේ බිරිඳ කියා සිටියේ ඔහු පාස්කු ඉරිදා ප්‍රහාරයන්ට සම්බන්ධ බවට පුවත්පත් විසින් පළ කරන ලද වාර්තා කරුණූ වශයෙන් වැරදි බවයි.

මේ අතර ජනාධිපති රාජපක්ෂ මිනීමරුම් ගණනාවකට සිරගතව සිටි යුද්ධ නිලධාරියකු නිදහස් කරන ලද බවත් අධිකරණයෙන් වරදකරුකර සිටින රාජ්‍ය නිලධාරියකු සමඟ රැපවාහිනී සාකච්ජාවක් කළ බවත් ලියා තැබිය යුතුය.

දැන් මේ සිදු වන්නේ නීතියද අවනීතියද යන්න කල්පනා කර බලන්න.

.ලි. ඔවුහු පළමුවෙන් මුස්ලිම්හු සොයා එමින් සිටිති.

Back to Top