Sri Lanka Brief
පුවත්විවරණනීතිඥ හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම සහ වේගවත් පාස්කු විමර්ශන – අරුණ ජයවර්ධන

නීතිඥ හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම සහ වේගවත් පාස්කු විමර්ශන – අරුණ ජයවර්ධන

by

පින්තුරය විකල්ප අනුග්‍රහයෙනි.

(අනිද්දා)මූලික අයිතිවාසිකම් නඩු ඇතුළුව රටේ ප්‍රකට නඩුවල පෙනීසිටි කීර්තිමත් නීතිඥවරයකු මෙන්ම සුප්‍රකට සිවිල් ක්‍රියාකාරිකයකු වූ නීතිඥ හෙජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

2018 ඔක්තෝබර් මාසයේදී කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් පසු, එම කුමන්ත්‍රණයට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේදී හූල් මහතා වෙනුවෙන් පෙනීසිටියේ හිස්බුල්ලා මහතාය. ගෝල්ඩන් කී නඩුවේදී අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන්ද ඔහු පෙනීසිටියේය. ක්‍රිස්තියානි සහ මුස්ලිම් පල්ලිවලට අන්තවාදීන් පහරදීම් පිළිබඳ මූලික අයිතිවාසිකම් නඩුවලද නීතිඥවරයක හැටියට හෙජාස් හිස්බුල්ලා මහතා පෙනීසිටියේය. කුරුණෑගල වෛද සාෆි පිළිබඳ සිද්ධියේදී ඔහුගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටියේද හිස්බුල්ලා මහතාය.

ඔහු අත්අඩංගුවට ගැනුණේ අප්‍රේල් 14වැනිදා සවසය. එදින, ඔහුගේ නිවසට පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස ඔහුට දන්වා තිබුණි. තම කනිෂ්ඨ නීතිඥවරයකුද සමග අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ගිය ඔහු පසුව අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගැනීම අනීතිකයි

ඔහුගේ අත්අඩංගුවට ගැනීම ගැන සමාජ මාධ්‍ය හරහා නිවේදනයක් කරන ඔහුගේ පවුලේ උදවිය, හිස්බුල්ලා මහතා කිසිවිටෙකත් ත්‍රස්තවාදී හෝ අන්තවාදී ක්‍රියාමාර්ග ගැන සැලකිල්ලක් විශ්වාසයක් දැක්වූ නැති අයකු බව  කියාසිටියි. සියලූ ආකාරයේ වර්ගවාදය, අන්තවාදය ප්‍රතික්‍ෂෙප කළ ඔහු හැමවිටම වාර්ගික හා ආගමික සංහිඳියාව ප්‍රවර්ධනය කළ බවත් ඔවුහු කියති. මහජනතාවගේ තත්ත්වය උසස් කිරීම අරමුණු කරගත් ඔහු විවිධ සමාජ සංවිධානවල නියැලී සිටි බවද පවුලේ අය කියති.

හිස්බුල්ලා මහතා අත්අඩංගුවට ගැනීම අනීතික, අත්තනෝමතික, විසම්මුතිය මර්දනය කිරීමේ පියවරක් හැටියටද ඔවුහු හඳුන්වා දෙති. ඔහුගේ නිවෙස දැඩි ලෙස පරීක්‍ෂාවට ලක්කරන ලද මුත් අපරාධයකට වගකිව යුතු ආකාරයේ කිසිවක් හමු නොවූ බවද ඔවුහු වැඩිදුරටත් කියති.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට සහාය වීමට හිස්බුල්ලා මහතා කැමැත්තෙන් පසුවන බවද, තමාගෙන් විමසීමක් කරන අවස්ථාවකදී කරුණු පැහැදිලි කිරීමට තමාට හැකි බවට විශ්වාස කළ බවද පවුලේ අය කියති.

ඔහුගේ නීතිඥවරුන්ට ඔහු හමුවීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසට ඉල්ලා ලිපියක් 14 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් බවද නිවේදනයේ දැක්වෙයි. සිදුවන  ඕනෑම විමර්ශනයක් ස්වාධීනව හා අපක්‍ෂපාතව සිදුවනු ඇතැයිද පවුලේ උදවිය බලාපොරොත්තු වෙති.

හිස්බුල්ලා මහතා, ගල්කිස්සේ සාන්ත තෝමස් විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වන අතර පසුව නීති අධ්‍යාපනය හදාරා නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥයෙකු ලෙස වසර 10ක සේවාවකින් පසු රජයේ සේවයෙන් ඉවත් වී පුද්ගලික නීති වෘත්තියේ කටයුතු කෙළේය. තමා රටේ සුළුතර වාර්ගිකයකු වීම නිසාම සුළුතර වාර්ගික ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඔහු විශේෂ අවධානයෙන් කටයුතු කෙළේය. සිවිල් සංවිධාන සමග සමීප සම්බන්ධතා පැවැත්වූ හේ ජනතාව අයිතිවාසිකම් පිළිබඳව දැනුවත්කිරීමට කැපවීමෙන් කටයුතු කළ අයෙකි.

මේ අතර, අප්‍රේල් 15වැනිදා මාධ්‍ය හමුවකට සහභාගිවූ පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජාලිය සේනාරත්න පැවසුවේ, ඉදිරියේදී පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන අවසන් කිරීමට පොලිසිය බලාපොරොත්තු වන බවයි.  ඔහු පැවසුවේ මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රේගු නිලධාරියකු, නීතිඥවරයකු, රියාජ් බදියුදීන් මහතා ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

බදියුදීන් මහතා බෝම්බකරුවකු සමඟ සෘජුවම සබඳතා පවත්වා ඇති බවත් එක් බෝම්බකරුවකු සමඟ ප්‍රසිද්ධ හෝටලයක සාකච්ඡාවක් පවත්වා ඇති බවත් අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය. නීතිඥ හිස්බුල්ලා බෝම්බකරුවන් දෙදෙනෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවත් බෝම්බකරුවන් සමඟ එක්තරා සංවිධාන කිහිපයකට සම්බන්ධ වෙමින් ගනුදෙනු කර ඇති බවත් ඔහු කීවේය.

අත්අඩංගුවට ගන්නේ පරණ අයද?

කෙසේ වෙතත්, පසුගිය දෙකක පමණ කාලය තුළ අත්අඩංගුවට ගත් සමහර පුද්ගලයන්, මීට පෙර පැවැති විමර්ශනවලදී ප්‍රකාශ සටහන් කරගෙන, පාස්කු ප්‍රහාරයට චේතනාන්විත සම්බන්ධයක් නැති බවට තහවුරු කරගැනීම නිසා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට නොගැනුණු පුද්ගලයන් බව වාර්තාවේ.

මාර්තු මාසයේදී අත්අඩංගුවට ගත් අය අතර සිටින, මඩකළපුව පල්ලියේ බෝම්බ ප්‍රහාරය සිදුකළ පුද්ගලයාට මඩකළපුවට යාම සඳහා 2018 අප්‍රේල් 20 වැනිදා රාත්‍රියේ කොළඹින් පිටත්වන බස්රථයක ආසනයක් වෙන්කර දුන් එම බස්රථ සේවයේ ආසන වෙන්කරන පුද්ගලයාද වෙයි. මාධ්‍ය හමුවෙකදී  ඔහු ගැන හැඳින්වුණේ, මඩකළපුවට බෝම්බ ගෙනයාමට සහාය දුන් මහමොළකරුවකු අත්අඩංගුවට ගැනුණු බවයි. අත්අඩංගුවට ගෙන ඇති තවත් පුද්ගලයකු වන්නේ එක් ප්‍රහාරයකයකුගේ දූරකථනය තමා වෙත තබාගත් ඔහුගේ පියාය.

මේ අතර, රජයට පක්‍ෂ පෞද්ගලික මාධ්‍ය ප්‍රචාරය කරමින් සිටින්නේ, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වූ පසු, පාස්කු ප්‍රහාරය සම්බන්ධ විමර්ශන ඉක්මනින් හා ස්වාධීනව සිදුකරන නිසා, මෙලෙස අත්අඩංගුවට ගැනෙන බවයි. අප්‍රේල් 21වැනිදාට තවත් සතියක් පමණ තිබියදී, පාස්කු ප්‍රහාරය ගැන අතීත මතක විස්තරාත්මකව හා හැඟීම්බරව පළකිරීම එම මාධ්‍ය විසින් දැන් අරඹනු ලැබ ඇති අතර, ඔවුන් පවසන්නේ, ‘පෙරදැනුම්දීම් තිබියදීත් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්නට එවකට ආණ්ඩුව අසමත්වූ බවත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති වූ පසුව තත්ත්වය වෙනස්වූ බවත්’ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ, අප්‍රේල් 25 වැනිදාට මහමැතිවරණය නියම කළේ, 21 වැනිදා සිට 25වැනිදා දක්වා, පාස්කු ප්‍රහාරය පිළිබඳ ආවේගාත්මක අදහස් රාජ්‍ය සහ රාජ්‍ය ගැති පෞද්ගලික මාධ්‍ය හරහා එක දිගට ප්‍රචාරය කරමින්, මහමැතිවරණයේදී දේශපාලන වාසි ලැබීමට වන අතර, වයිරස වසංගතය නිසා එම අවස්ථාව ගිලිහී ගියේය. එහෙත්, පාස්කු ප්‍රහාරය ගැන ආවේගාත්මක ආවර්ජන දැනටමත් එම මාධ්‍ය ආරම්භ කොට තිබේ.

පක්‍ෂපාතීව කළාදැයි විමර්ශන

මේ අතර, මීට පෙර පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කටයුතු නිසි ආකාරව සිදුනොවුණේදැයි සොයාබැලීම සඳහා වෙනම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් පත්කර ඇති අතර, මීට පෙර විමර්ශන කටයුතු කළ, සීඅයිඞීයේ හිටපු අධ්‍යක්‍ෂ ශානි අබේසේකර, පොලිස් පරීක්‍ෂක නිශාන්ත ද සිල්වා, තිසේරා ඇතුළු නිලධාරීන් 25 දෙනකු පමණ ප්‍රහාරකයන් සමග කිසියම් ආකාරයක හෝ සම්බන්ධයක් පැවැත්වූයේද යන්න ගැනද ඔවුන්ගේ දූරකථන ඇමතුම් හරහා විමර්ශන සිදුකෙරෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකයන් නිරන්තරයෙන් කියන්නේ, මුලින් පරීක්‍ෂණ කළ විමර්ශකයන් පක්‍ෂපාතීව එම පරීක්‍ෂණ කළ නිසා, වැදගත් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නැති බවයි.

විත්තියට වාසියක්

එහෙත්, නීති ක්‍ෂෙත්‍රයේ පළවන මතය වී ඇත්තේ,  මෙලෙස විමර්ශනය කළ නිලධාරීන්ගේ විශ්වාසවන්තභාවය ගැන රජය විසින්ම සැක කිරීම, අනාගතයේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවරෙන නඩුවකදී හෝ කිහිපයකදී, විත්තිකරුවන්ටම, එනම් පාස්කු ප්‍රහාරකයන්ටම වාසි සහගත විය හැකි බවයි.

වැදගත්ම සාක්‍ෂිකරුවන් වන විමර්ශන පැවැත්වූ නිලධාරීන්ගේ විශ්වාසවන්තභාවයට අභියෝග කර එම සාක්‍ෂි බිඳහෙළීම අපරාධ නඩුවක විත්ති පාර්ශවයේ මූලික උපායමාර්ගයක් වන නිසා, දැනටමත් එය රජය විසින් ඉටුකරදීම අනාගතයේදී විත්තිකරුවන්ට වාසිදායක වනු ඇතැයි නීති ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයන්ගේ අදහසයි.

අරුණ ජයවර්ධන/අනිද්දා පුවත් පතිනි.

Back to Top