Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකොවිඩ් 19 ගැන චීනය කියන්නේ ඇත්තද? – සුමන වඩුගේ

කොවිඩ් 19 ගැන චීනය කියන්නේ ඇත්තද? – සුමන වඩුගේ

by

ජායාරූපය: 1966 -76 දක්වා චීනය පුරා හඹාගිය සංස්කෘතික විප්ලවයෙන් ලක්ෂ 20ක් මරා දැමුණු බව ලෝකය දැන ගත්තේ ඉන් වසර දහයකට පසුය. (ජායාරූප අයිතිය ගෙටි ඉමේජ්)

චීන්නු කොරොන වසංගතය පාලනය කර ගත්තා. එවැනි සාර්ථකත්වයක් ලැබුණේ චීනයේ පවතින කොමියුනිස්ට් දේශපාලන ක්‍රමය නිසා. වාද විවාද නැතුව තීරණ ගන්නත් උද්ඝෝෂන වලට මුහුණ නොදී එම තීරණ ක්‍රියාත්මක කරන්නත් චීනයට පුලුවන් වුණා. අපටත් චීනයේ වගේ ක්‍රමයක් තමයි අවශ්‍ය වෙන්නේ” යැයි පසුගිය දවසක චීනයේ අධ්‍යාපනය ලැබූ මගේ මිතුරෙක් ලියා එවා තිබුණි.

මෙම ලිපිය ලියන ලේඛකයා තරුණ අවධියේ චීන විප්ලවය කෙරෙහි මහත් භක්තියකින් පසුවිය. මාඕ සේතුංගේ උදෘත ඇතුලත් රතු අත්පොත අදත් ඔහුගේ පොත් රාක්කයේ තිබේ. 1966 සිට දශකයක් පුරා තරම් කාලයේ දී චීනයේ කුණාටුවක් සේ හමා ගිය මහා සංස්කෘතික විප්ලවයෙන් ඔහු අමන්දානන්දයට පත් විය. ප්‍රේමලාල් කුමාරසිංහ විසින් සිංහලට පෙරළන ලද “මාඕ සේතුංගේ තොරාගත් ලිපි” මෙන්ම සංස්කෘතික විප්ලවය ගැන ලියැවුණූ පොත් පිංචවල් පහක් හෝ දහයක් ඔහු සතුව තිබුණි. එම පොත් පිංවවල් කියවූ මෙම ලේඛකයා එදා ඒ මහා සංස්කෘතික විප්ලවයට මුලු හදින් ඇළුම් කළේ ය. ඔහුට එය චීනයේ දෙවැනි මහා විප්ලවය වැනි විය.

වසර දහයක් දොළහක් යන තුරුම එකී සංස්කෘතික විප්ලවය ගැන අසන්නට ලැබුණේ විප්ලවීය කථනයන් පමණි. මාඕ සේතුංගේ මරණයෙන් පසු වෙනත් කාතාන්තරයක් ඇසෙන්නට පටන් ගත්තේ ය. ඉන් කියැවුණේ සංස්කෘතික විප්ලව සමයෙහි දශ ලක්ෂය දෙකකට වඩා කොමියුනිස්ට් පක්ෂ සාමාජික සාමජිකාවන් ඇතුලු පිරිසක් හුදෙක් ලාබාල සංස්කෘතික විප්ලව කණ්ඩායම්වල තීරණ අනුව මරා දමන ලද බවයි. මේ බව සදහන් කළේ පිටස්තර මූලාශ්‍රයක් නොව 1987 ජූනි 27වනදා පවත්වන ලද චීන කොමියුනිස්ට් පක්ෂයේ හයවැනි මධ්‍යම කාරක සභා රැස්වීමෙහි වාර්තාව විසිනි. සංස්කෘතික විප්ලවය නාමයෙන් සිදු කැරුණේ විප්ලවය වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ පරම්පරාවක්ම නෑසු විරු වධයන්ට ලක් කිරීම බව පසුකාලීන චීන සාහිත්‍ය විසින් පෙන්නුම් කරයි. අඩුම වශයෙන් දශකයක් පුරා ඒ මහා ජන ඝාතනය ලෝකයෙන් රහසක් ලෙස තබා ගැනීමට චීන රාජ්‍යය සමත් විය. එම මහා සමූළ ඝාතනය නිසා මරා දැමුණු ජනයා කොපමණ දැයි නියතවම දන්නා අයෙක් අදත් නැත.

තියන්ආන්මෙන් චතුරශ්‍රරයේ විරෝධතාකරුවන් මතින් යුද ටැංකි ධාවනය කරවන ලදී.

මාඕ සේතුංගෙන් පසු බලයට පැමිණි  තෙං ෂියාඕ පෙන් යටතෙහි ද විශේෂයෙන්ම ඉන් අනතුරුව හු යාඕ බැං නායකත්වය දැරු කාලයෙහි ලද තාවකාලික ප්‍රජාතන්ත්‍රවාදී  වසන්තයක් එරට ඇති විය. ඉන් අනතුරුව යළි පැරණී ක්‍රමයම චීනයේ පණ ලැබුවේ ය. අප කව්රුත් අසා ඇති, නිදහස ඉල්ලා සිටි  දශ ලක්ෂයක තරම් ජනතාවක් මර්දනය කළ තියෙන්ආන්මෙන් සමුළ ඝාතනය 1989 ජූනි මාසයේ දී සිදු වුයේ . අද වනතුරු එහි දී කොපමණ ජනයා මිය ගියේ දැයි දන්නා අයෙක් නැත. අප දන්නේ විරෝධතා දැක් වූ ජනයා මතින් යුද්ධ ටැංකි පවා ධාවනය කළ බවයි.

වර්ථමානයෙහි චීනයේ වීගර් මුස්ලිම් ජන ප්‍රජාව සමස්තයක් ලෙසම ඔවුන් ජීවත්වන සින්ජෑන් ප්‍රදේශයෙහි කොටු කර තිබේ. දහ දහස් ගණනාවක් වීගර් ජාතිකයින් කඳවුරු ගත කොට බලහත්කාර මතවාදී අධ්‍යාපනයකට යොමු කර තිබේ. පසුගිය කාලය පුරා ලොව සෙළවූ වැදගත් ගවේෂනාත්මක වාර්තාකරණයන් ඉදිරිපත් කරන ලද කීර්තිමත් International Consortium of Investigative Journalists නම් සංවිධානය එම කදවුරු පාලනය කිරීමේ රහසිගත අත් පොතක් එළිදක්වමින් කියා සිටියේ මෙම මහා පරිමාණ මර්දනය සිදු කැරෙන්නේ සෝදිසි කිරීමේ අති දියුණු පරිගණක තාක්ෂනය මගින් බවයි. නමුත් කොතරම් ජනගහණයක් එළෙස බලහත්කාර කඳවුරු ගත කර ඇත්දැයි දන්නා අයෙක් නැත. ඇත්ත වශයෙන්ම නම් මිලියන ගණනින් ජනයා ජීවත්වන ප්‍රදේශයක් සහමුලින්ම අඟුලු ලෑම මුලින්ම සිදුවූයේ වූහාන්හි නොව සින්ජෑන් හි ය.

අත්‍යන්ත රහසිගත දේශපාලන සංස්කෘතියක් ඇති එවැනි රටක් කොරොන වසංගතය නිසා තම රටෙහි මියගිය ජනයාගේ සම්පූර්ණ කතාව ලෝකයට කියනු ඇතැයි විශ්වාස කළ හැක්කේ ඉතිහාසය නොදන්නා අයවලුන්ට පමණිි.

මෙම රෝගය ප්‍රථම වරට මතුවූ වූහාන් නම් මධ්‍යම චීන නගරයේ වෛරසයට ගොදුරු වූවන්ගේ පවුල්වලට, ආදාහනය කළ ඥාතීන්ගේ අළු මාර්තු මැද සතියේ සිට දේශීය අවමංගල්‍ය නිවාස අටක දී ලබා ගැනීමට අවසර දෙන ලදී. චීන සමාජ මාධ්‍යවල දහස් ගණන් එකී භාජන තැන්පත් කර තිබෙන ඡායාරූප පළ විය. නම් සඳහන් නොකළ ට්‍රක් රථ රියදුරකු විදේශීය ජනමාධ්‍යන්ට කියා තිබුණේ තමා අළු තැන්පත් කරන බදුන් 3,500ක් එක් දිනක දී පමණක් ප්‍රවාහනය කරන ලද බවයි.

නව කොරොන වසංගතය චීනයෙහි ආරම්භ වූ අවස්ථාවෙහි චීන බලධාරීන් උත්සාහ කළේ එය රහසිගතව තබා ගැනීමට ය. තවත් කීර්තිමත් සංවිධානයක් වන  “දේශසීමා රහිත වාර්තාකාරුවෝ” (ආර්එස්එෆ්) පෙන්වා දී ඇති පරිදි රෝගය පැතිරීමට පටත් ගත් අවස්ථාවෙහි චීන බලධාරීහු ඒ පිළිබද එරට සමාජ ජාලාවන්හි සාකච්ජා කිරීමට බැරිවන ලෙස තහංචි පැනවූහ. රෝගය ගැන අනතුරු හැඟවීමක් බෙදා ගත් වෛද්‍යවරුන් අට දෙනෙකුට දඩුවම් කරන ලද අතර එම තොරතුරු ජනමාධ්‍ය අතට පත්වීම තහනම් කරන ලදී. නව කොරොන වෛරසය අසාදනය වීමට පටන් ගත් 2019 දෙසැම්බර් මුලදීම අත්‍යවශ්‍ය නිරෝධායන පියවර ගත්තේ නම් සිදුවූ මරණවලින් සියයට 60කට වඩා වැළැක්විය හැකිව තිබූ බවත් එකී ආර්එස්එෆ් ප්‍රකාශය සඳහන් කරයි. මෙම රෝගයේ පැතිරීම මුලින්ම වාර්තා කිරීම නිසා බලධාරීන්ගේ මර්දනයට හසු වූ වෛද්‍යවරයා පසුව එහ රෝගයෙන්ම මිය ගියේ යැයි වීන රජය වාර්තා කලේ ය.

මේ අතරවාරයේම චීනයෙහි කොරොන වසංගතය ගැන සදොස් වාර්තාකරණයන් කළේ යැයි චෝදනා කොට නිව්යොර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් සහ වෝල්ස් ස්ටීර්ට් ජර්නල් හි ජනමාධ්‍යවේදීන් තිදෙනෙකු චීනයෙන් පිටුවාහල් කරන ලදී. නව කොරොන රෝගය සම්බන්ධ වාර්තාකරණයන් වැළැක්වීම මුල සිටම චීන රජයේ පිලිවෙත විය.

නව කොරොන වෛරසය පැතිරීම වැළැක්වීමට චීනය සෑම වැඩිහිටි අයකුම වාගේ ස්මාර්ට් ජංගම දුරකථන හරහා අධික්ෂනය කළ හැකි අන්තර් ජාල යෙදවුම් (ඇප්ස්) මුදා හැරියේ ය. එතැන් සිට චීනයේ ජන ජීවිතය පාලනය වන්නේ ස්මාර්ට් ෆෝන් තිරයක පතිත වන හරිත සංකේතයක් මගිනි.

නිවාස සංකීර්ණයකට ඇතුලුවීම පිනිස හරිත තේකය පෙන්වන රියදුරෙක් (www.scmp.com)

හරිත යනු “සෞඛ්‍ය කේතය” වන අතර කවරකු හෝ උමං දුම්රියකට නැගීම, හෝටලයකට ඇතුළු වීම හෝ වුහාන් නගරය වෙත ඇතුළු වීම එකී යෙදවුම මගින් රෝග ලක්ෂණ රහිත යැයි පෙන්විය යුතු ය. මෙම කේතය පරීක්ෂා කිරිම පිනිස රැකවලුන් සෑම ඇතුල්වීමේ ස්තානයකම රඳවා තිබේ. ජංගම දුරකථන ගනුදෙනුකරුවන්ගේ ගමන් බිමින් සියල්ල රජය සතු ටෙලිකොම් වාහකයන්ට සොයාගත හැකිය.

මහා දත්ත” යනුවෙන් හැදින්වෙන පුද්ගලයින්ගේ ගමන් බිමින්, මිලදී ගැනීම්, නරඹන වීඩ්යෝ සහ කියවන පුවත්පත්, කතාබහ කරන පුද්ගලයින් යනාදී අන්තර් ජාලය හරහා සිදු කැරෙන සියලු දේ එකුතැන් කොට ස්වයංක්‍රීය අල්ගොරිදම යාන්ත්‍රණයන් හරහා විශ්ලේෂනයන් කිරීම මගින් සමාජයම පාලනය කිරීමට එකී යෙදවුම් දැන් යොදා ගත හැකි ය. මීට අමතරව චීනය පුරා සවිකර ඇති දශලක්ෂ ගණනාවක් වන මුහුණු හදුනා ගැනීමේ කැමරා පද්දතීන් මගින් ලබා ගන්නා දත්තයන්ද එක්කළ විට රාජ්‍ය යනු අති දැවන්ත සෝදිසි යාන්ත්‍රණයක් ගොඩ නැගී තිබේ.

එවැනි රාජ්‍ය යාන්ත්‍රණයක් මගින් සමාජය මත සමස්ත සෝදිසි කිරීමක් පවත්වා ගන්නා සහ තොරතුරු රහසිගත බව දේශපාලන සංස්කතිය බවට පත්ව ඇති චීනයෙහි කෙරොන වෛරසයේ සැබෑ බලපෑම දැන ගැනීමට සමහර විට දශක ගණනාවක් ගතවිය හැකි ය.

ප්‍රංශය, ස්පාඥය සහ ඉතාලය යන රටවල් මාධ්‍යවේදීන් පිරිසක්  2019 වසරෙහි ජනවාරි මාර්තු කාලයෙහි සිදු වූ මරණ සහ 2020 වසරෙහි සිදුව ඇති මරණ සසඳා බලන ලදී. එම සැසදීමෙන් දක්නට ලැබුණු මරණ වැඩිවීම සහ නිල වශයෙන් ප්‍රකාශිත කොවිඩ් මරණ අතර වෙනස ගණනය කීරීමෙන් පසු ඇත්ත කොවිඩ් මරණ ප්‍රමාණය ප්‍රකාශිත සංඛ්‍යාවට වැඩි බවට නිරික්ෂනයන් ඔවුහු ඉදිරිපත් කළහ. ඔවුන්ගේ නිරීක්ෂනය වුයේ නිවෙස්හිදී ද කොවිඩ් මරණ විශාල සංඛ්‍යාවක් සිදුව තිබෙන්නට ඉඩ ඇති බවයි. චීනය සම්බන්ධයෙන් එරට ජනමාධ්‍යවේදීන් මෙවැනි ගවේශෂනයන් කිසි විටෙක කරන්නට ලැබෙන්නේ නැත.

කොව්ඩ් මර්දනය කිරීමේ චීන මාදිලිය යෝග්‍ය වන්නේ තනි පක්ෂ ඒකාධිපතිත්වයක් ඇති තාක්ෂනික මෙවළම් මගින් සමාජයම සිය සෙවිල්ල යටතේ තබා ගන්නා  ‍‍තොරතුරු රහසිගතබාවය දේශපාලන සංස්කෘතියේ අනීවාර්ය අංගයක් වන චීනය වැනි රටකට පමණි. එවැනි මාදිළියක් ශ්‍රී ලංකාවට අදාළ කරගත නොහැකි ය. එමෙන්ම අප එවැනි මාදිලියකට කිසිසේත්ම එකඟ නොවිය යුතු ය

Back to Top