Sri Lanka Brief
පුවත්විවරණකොරෝනා වෛරසයට මුවාවන ඒකාධිපති වියරුව – රංජිත් හේනායකආරච්චි.

කොරෝනා වෛරසයට මුවාවන ඒකාධිපති වියරුව – රංජිත් හේනායකආරච්චි.

by

(Image courtesy of en.qantara.de/)

ලෝකය පුරාම කොරෝනා වෛරසය ප්‍රයෝජනයට ගනිමින් ඒකාධිපති පාලකයින් ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමේ ප්‍රයත්නයක යෙදී සිටී. ඒ මෙවැනි වසංගතයකදී සමාජය තුල ජනිතවන බිය හේතුවෙන් ජනයා ඉල්ලා සිටින රාජ්‍යයේ වගකීම නිසා ය. මෙම වසංගතය සමනය කර ගැනීමට ඉක්මන් ක්‍රියාදාමයකට යා යුතුයි, යන්න ය. එනම් රාජ්‍යය සතු වගකීම දෙසට ජනයාගේ අවධානය යොමුවන විට, රාජ්‍යය සතු වගකීම ඉස්මතුව පෙනෙන විට, අර්බුදය විසඳීමට ඉක්මන් ක්‍රියාදාමයකට යාමේ උවමනාව වැඩි වැඩියෙන් මතුවන විට, මේ අවස්ථාවෙහි සමාජයේ ඇති කලබලකාරී බව (බොරදියේ මාලු ඇල්ලීමේ) තම සිතැඟි පරිදි ඒකාධිපති බලය තහවුරු කර ගැනීමට උපයෝගී කරගැනීම පිනිස ‍ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ව්‍යූහයන් විනාශ කරමින් තමා අතට බලය ගැනීමේ අවස්ථාවක් මෙතුළින් උදා කරගැනීමේ උපායික අවස්ථාව මෙය කරගැනීමට ඒකාධිපති පාලකයෝ කැසකවති.

එනිසා ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්හි ඇති අයිතීන් ආරක්ෂා කර ගැනීම, ඒවා වැලලීමට රාජ්‍යය කරවන්නන් මෙය අවස්ථාව කරගැනීමට දරන උත්සාහයන් පරාජය කිරීමට අවදියෙන් සිටිම, මේ මොහොතේ මෙම වසංගතය මර්ධනය කර ගැනීමට කරන උත්සාහය හා සමානවම පවත්වා ගතයුතු බව ‍ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සමාජ බලවේගයන්, දේශපාලන බලවේගයන් සහ එහි ක්‍රියාදරයන් තරයේ සිත තබාගත යුතු කාර්ය භාරයකි.

රාජ්‍ය බලය අවභාවිතය

ඒකාධිපති වියරුවෙන් පෙළෙන රාජ්‍ය ප්‍රධානීන් බොහෝවිට මෙවැනි තත්ත්වයක් තුළ කරනුයේ රටෙහි පවතින ව්‍යවස්ථාවට පිටින් ගමන්කර බලය තම අත ගොනුකර ගැනීමට උත්සාහ කිරීමයි. ඒ සඳහා ඔවුන් ප්‍රයෝජනයට ගන්නේ වසංගතය තුලින් ඇතිවී ඇති අවදානම, ඒ මැඩලීමට ඇති හදිසි වුවමනාව ආදිය හුවාදක්වමින් මේ හදිසි ව්‍යසනයෙන් මිදීමට ජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් සහ නීති පද්ධතීන් සමග ක්‍රියා කළ නොහැකි බව කියා සිටීමයි. එසේ කියමින් ඔවුන් ක්‍රියාත්මක වන්නේ තමන්ගේ වුවමනාව සඳහා රාජ්‍යය බලය තමන් අතට ගැනීමට ඇති මනදොල පුරවා ගැනීම සඳහා මේ අවස්ථාව ප්‍රයෝජනයට ගැනීමට තැත්කිරීමයි.

වසංගතයක් මර්ධනය කිරීමට විවිධ ක්‍රියාකාරකකම් වලට යාමට සිදුවීම පැහැදිලිය. සමාජයකට විවිධ සීමා පැනවීම් සහ තහංචි පැනවීමටද සිදුවීමද අත්‍යාවශ්‍යය සාමාන්‍යයකි. නමුත් ‍ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් අයිතීන්ද ඒ හා සමානවම වැදගත් බව අප අමතක නොකළ යුතුය. එකකින් මිදී අනෙක නැතිකර ගැනීමට ඉඩ නොතබා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත යුතුබව අප අමතක නොකළ යුතුය. යම් සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්, මිනිස් අයිතීන් යම් ප්‍රමානයක් හෝ දිනාගෙන ඇත්නම් ඒවා දිනාගෙන ඇත්තේ එක මොහොතකින් නොව වසර දසක ගණනාවක සටන් තුලිනි. ඒකාධිපති පාලකයෝ මෙම වසංගතයට මුවාවෙමින් එම අයිතීන් කප්පාදු කර ඔවුන් කැමති ආකාරයේ අත්තනෝමතික වියරු පාලනයන් වෙත ගමන් කිරීමට මෙය මොහොත කරගැනීමට සූදානම් වෙති. එනිසා එයට ඉඩ නොතබා අයිතීන් ආරක්ෂා කරගැනීම අවදිමත් ජනයාගේ කාර්යයයි.

හන්ගේරියාවේ සිට පිලිපීනය දක්වා

මෙම ඒකාධිපති වියරුව ලෝකය පුරා විවිධ තැන්වල විවිධ ආකාරයෙන් මතුව ඇත. බොහෝ රාජ්‍යයන් තුළ පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කරමින් ජනාධිපතිවරු තම බලය තමා අතට ගෙන තම හිතුමතේ ක්‍රියා කිරීමේ අවස්ථාව මෙතුළින් උදාකර ගනිමින් සිටිති. එය මේ වන විටත් හන්ගේරියාවේ ජනාධිපතිවරයා වන වික්ටර් ඕර්බාන් විසින් ක්‍රියාත්මක කර ඇත. ඔහු පාර්ලිමේන්තුවට හදිසි ආපදා පනත නමින් පනතක් ගෙන එමින් එතුළින් පාර්ලිමේන්තුව ක්‍රියාවිරහිත කර ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට හිතුවක්කාරව ක්‍රියාත්මක කිරීමට ඉඩ සලසා ගෙන ඇත. පිලිපීන ජනාධිපති ඇඳිරි නීතිය කඩකරන්නන්ට වෙඩිතැබීමට අණ කරයි. පෝලන්තයේ පාලක පක්ෂය හිතුවක්කාර මාවතට අවතීර්නව ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. ජර්මනියේ සෞඛ්‍ය‍ය ඇමවරයා පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමට උතසාහ කල ජංගම දුරකතන මගින් පුද්ගලයාගේ සියලු සම්බන්ධතා හඳුනාගැනීමේ දත්ත ලබාගැනීමට කල යෝජනාව විවේචන ඉදිරියේ ඔහුට හකුලාගැනීමට සිදුවිය.

ලංකාවේ ජනාධිපතිවරයා විසින් වසංගතය උග්‍ර වෙමින් පවතිද්දී, පැහැදිලිවම මැතිවරනයක් පැවැත්වීමට ඉඩ නොලැබෙන බව පෙනි පෙනී, පාර්ලිමේන්තුවේ කාලය තවත් මාස 6 තිබියදී, හිතුවක්කාරී ලෙස මාර්තු 2 පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 25 පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවනු ලැබීය. ලෝකයම මෙවැනි අර්බුදයකට මුහුණ දෙමින් පවතිද්දී මෙවැන්නක් කරනු ලබන්නේ එක්කෝ අමු මෝඩකම නිසාවෙනි, එසේ නැත්නම් තම ඒකාධිපති සිතැඟි ඉටුකර ගැනීමට ඉතාම සූක්ෂම කපටි ආකාරයකින් මේ අවස්ථාව තම බලය තහවුරු කරගැනීමට ප්‍රයෝජනයට ගැනීම පිනිස ය. පැවති තත්ත්වය තුළ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය නොහැකි තත්වයක් ඇති වන බව පාර්ලිමේන්තුව විසුරුවා හරිද්දී ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබුණු කරුණකි. එබැවින් රාජ්‍ය බලය හිතුවක්කාරි ආකාරයෙන් තමා අතට ගැනීමේ චේතනාවෙන් මෙය කළ බව පැහැදිලිය.

මේ ආකාරයෙන් විවිධ තැන්වල මෙම වසංගත අවධිය ඒකාධිපති වියරුවෙන් පෙළෙන්නන්ගේ මනදොළ පුරවා ගැනීමේ වුවමනාව සඳහා ඔවුන් විසින් යොමුකර ගනිමින් පවතී. මෙවැනි වසංගතය කදී රාජ්‍ය රටෙහි සියලු දෙය කළමනාකරණය කිරීමේ ප්‍රධාන වැඩ කොටස ඉටුකරන ආයතනය බවට පත්වෙන හෙයින් එම වැදගත් අවස්ථාව අවභාවිතා කරමින් තම ඒකාධිපති දොළ සංසිඳුවා ගැනීමේ අරමුන සපුරාගැනීමේ ක්‍රියාදාමය වෙත ගමන් කිරීමට, රාජ්‍ය බලය සියතට ගැනීම මොවුන්ගේ සැලසුමයි.

හමුදා භූමිකාව අවශේෂය

මෙම ක්‍රියාදාමයෙහිම තවත් කොටසක් වන්නේ මෙසේ රාජ්‍ය බලය අවභාවිතාවට සූදානම් වන කොටස් එම කාර්යයයේම කොටසක් ලෙස මේ ව්‍යසන අවස්ථාව රාජ්‍ය හමුදාවන් ජනප්‍රිය කිරීමේ වැඩ කොටසක ද යෙදී සිටිමයි. රාජ්‍ය හමුදාවන් රටක අර්බුද අවස්ථාවක අර්බුධ විසඳාගැනීමේ යම් යම් ක්‍රියාදාමයන්හි කොටස්කරුවන් කර ගැනීම ඉතා සාමාන්‍යයකි. එය රාජ්‍යය හමුදාවන් වලට අයිති රාජකාරියේ කොටසකි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් වල යුදමය අවස්ථාවක හැරුණුවිට හමුදාවන් ක්‍රියාත්මක රාජකාරි වලට යොදවන්නේ හමුදාව එම අර්බුදය විසඳීමේ ප්‍රධාන සාධකය කර ගනිමින් නොව ඔවුන් එහි අවශේෂ වැඩ කොටසක් ඉටු කිරීමපිනිස ය.

කොරෝනා වසංගතය වැනි වසංගතය කදී මෙම වසංගතය මර්දනය කිරීමේ ප්‍රධාන වැඩ කොටස ඉටු කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක ආයතන, වෛද්‍ය පහසුකම් සපයන ආයතන සහ ඒවායේ ක්‍රියාදරයන් විසිනි. එනම් වෛද්‍ය විශේෂඥයින්, වෛරස් පිළිබඳ විශේෂඥයන්, වෛද්‍යවරුන්, සාත්තු සේවකයින් සහ සේවිකාවන්, රෝහල් ආශ්‍රිතව එම වැඩ කටයුතු වල යෙදෙන පිරිස් ආදීන්ය. මෙවැනි ව්‍යසනයදී සමාජයේ ගෞරවය මූලික වශයෙන් හිමිවිය යුතු වන්නේ ඔවුන්ටය. සමාජයේ “වීරත්වයේ සම්මානය” හිමි විය යුත්තේ ඔවුනටය.

නමුත් ලංකාව වැනි තැනක වසංගතය මර්දනය කිරීමේ සියලු කාර්යයන් වල නායකත්වය භාර දී ඇත්තේ හමුදාවන්ටය. හමුදාවන් මෙම කාර්යයන් වලට යොදා ගැනීමේ වරදක් නැතිවා පමනක් නොව ඔවුන්ව මෙම කාර්යයන්හි යොදාගත යුතු ද වෙයි. ඔවුන්ට පැවරෙනු ඇත්තේ අවශේෂ‍ කාර්යයක් පමණි. ඇත්ත වශයෙන්ම සිදුවනවා සේම එහි ප්‍රධාන සාධකය වෛද්‍යය ක්‍රියාදරයන් වන අතර හමුදාවන් මෙම වසංගත මර්දනයේ ප්‍රධාන සාධකය ලෙස නොහැඳින්විය යුතුය, එසේ වූ විට සිදුවන්නේ අනවශ්‍යය අවධානයක් හමුදාවන් වෙත යොමුකර හමුදාවන් මිනිස්සුන්ගේ ප්‍රශ්න වලදී “ගැලවුම්කරුවාකර” ඔවුන් සමාජයේ ප්‍රධාන සාධකයක් බවට පත්කිරීමයි. ඉන්පසු ඒකාධිපතියන් ට තමන් කැමති ආකාරයකින් හමුදාවන් මෙහෙයවීමේ හැකියාවක් ලැබේ. ඒ හමුදාවන්, අධිපතිවාදය විසින් අණ කරන දේ අනුව ක්‍රියාත්මක වීමට, පුහුනුකර ඇති කොටසක් නිසාවෙනි.

සුනිල් රත්නායක පණිවිඩය

මේ කොරෝනා වසංගතය අතරතුරුම වයස අවුරුදු පහක කුඩා දරුවකුගේ සහ වයස අවුරුදු 13ක කුඩා දරුවකු ඇතුලු 8 දෙනෙකුගේ ගෙල කපා මරා දැමූ මිනීමරුවකුට ජනාධිපතිවරයා සමාවදී නිදහස් කර ගෙදර යවයි. ඒ තුළින් ඔහු හමුදාවන්ට දෙන පණිවිඩය වන්නේ “නුඹලා ඕනෑම වැරදි වැඩක්, නින්දිත වැඩක් කළාට ප්‍රශ්නයක් නැත. අපි නුඹලා වෙනුවෙන් පෙනී සිටින්නෙමු. අප කියන විදියට වැඩ කරපල්ලා, නුඹලාට සෑම විටම ආරක්ෂාව ඇත” යන්නයි. මෙය ඉතා භයානක තත්වයකි.

ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව උවමනාවක් දක්වන ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන, ජනයාගේ, ආයතන වල සහ පක්ෂවල ප්‍රධාන වගකීමක් වන්නේ මෙවැනි මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය වැළලීමට ඉඩ නොදී, වසංගතය මර්ධනය කිරීමේ ක්‍රියා පිළිවෙලට සහාය වීමයි.

සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ වල යුතුකම වන්නේ රජය කරවන අයගේ මෙවැනි ඒකාධිපති නැඹුරු හඳුනාගෙන ඊට එරෙහිව තම හඬ මතු කිරීමයි.

ඒ වාගේම සියලුම ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියන් ගේ යුතුකම වන්නේ තම දෑස් විවර ව තබාගෙන ‍ප්‍රජාතන්ත්‍රවාදය අවභාවිතා කිරීමට රජය කරන උත්සාහයන්ට එරෙහිවීමයි.

 

 

Back to Top