Sri Lanka Brief
පුවත්විවරණකුකුලෙක් ඇල්ලීමට වහලෙට නැගීමට බැරි වුණාට අහසට නැග ස්වර්ගයට යෑම නොහොත් ජාතික ආපදා ව්‍යසන කළමනාකරණය – මංජුල ගජනායක

කුකුලෙක් ඇල්ලීමට වහලෙට නැගීමට බැරි වුණාට අහසට නැග ස්වර්ගයට යෑම නොහොත් ජාතික ආපදා ව්‍යසන කළමනාකරණය – මංජුල ගජනායක

by

එය පැහැබර දිනකි. දිනකර පෙරඹරින් උදා වී ඇත්තේ නුදුරේ දිදුලන කිතුල් යායම එකළු කරමිනි. උදාරැස් වැටී, හාත්පස රන් පළසක් එලා ඇති සේ සුදිලෙන්නේය. හමා එන මන්ද මාරුතය ගතටත් සිතටත් ගෙනෙන්නේ අම සිසිලකි. එතෙකුදු පිනවීමට නොහැකි වූ ගතත් සිතත් ආතුරව ඇත්තේ කලෙක පටන්ය. මේනම් එකී මනදොළ පිනවීමට ම නිමැවූ උදෑසනකි. කලුමාමා පේන මානයක නැත්තේය. කුම්මැහි මාමණ්ඩියා ඒමට පෙරාතුව කිතුලට නැගීම වටී. පෙණ උතුරා වාන් දමන මීරා මුට්ටියේ සිතුවම් මැවී නොපෙනී යන්නේය. තවත් නම් ඉවසනු කිම? අන්දරේ හනිහනිකට කලුමාමාගේ කිතුලට නැග ගත්තේය.

අදෝමැයි පේන මානෙක නොසිටි මාමණ්ඩියා කිතුල මුලය. ගසේ උස ද සලකන කල එකපැහැර බිමට බැසීමද කල හැකි දෙයක් නොවේ. ඒ අරුමැක්කේ මාමණ්ඩියා මෙසේ අසන්නේය. ”ඈ බොල අන්දරේ, තෝ කොහි ගියෙයි”, නිරුත්තර අන්දරේට ගණදෙවි ණුවන පහළ වී සැණෙකින් මෙසේ කියන්නේය. ”මං මේ තණකොළ ටිකක් කපා ගන්ට කිතුලට නැග්ගා”. එකී බසින් කිපුණු කිතුල්පතියා පෙරලා අසන්නේ ”කිතුලේ කොයින්ද බොල තණකොළ” යනුවෙනි. මීට සරදම්සහගතව අන්දරේ පිළිතුරු බදින්නේය. ”නැති හින්දා නොවෙද මාමන්ඩියේ මං මේ බහින්නේ”.

එලෙස පිළිවදන් දුන්නද මීරා ආශාව නැසූ මාමණ්ඩියා ගැන ඇත්තේ නොසංසිදෙන කෝපයකි. වාන් දමන කෝපය කයියෙන් කියන්නට සිතු අන්දරේ මෙසේ කීවේලු:

බඳින බඳින වැල හැරපට කැඩීයන්
තියෙන තියෙන අඩි ලිස්සා වැටීයන්
කපන කොටන කැත්තේ ලේ ගෑවියන්
මට රා නොදුන් තෝ ගහ මුල වැටීයන්

මේනම් නොසිතූ විලැම්බෑසියකි. අන්දරේගේ වස්කවි විෂ කැවූ දුනු ඊතල සේමය. ඇඟ පසඟ සීතල වූ කළුමාමා මින් ගැලවීමට ප්‍රයෝගයක් සිතන්නේය. අවසන අන්දරේ වෙත ලැබුණු යෝජනාවකි.

‘අනෙ මගේ පුතේ, උඹ මීරා මුට්ටියම බීපන්. මා මොකෝ”

දින සති මාස කුරුමානම් ඇල්ලුවේ මීට නොවැ. මාමණ්ඩියාගේ ඇරයුමෙන් ප්‍රාණවත් අන්දරේ මුට්ටිය හාත්පස හිනැහෙන පෙණබුබුළු එකෙල මෙකෙල කොට මීරා මුට්ටියට වගකිව් උගුඩු විලාසය දකින්නට ආසය. මින් සිත නිවුණු මාමණ්ඩියා අන්දරේ අභියස මෙසේ කියන්නේය.

”අන්දරේ මීරා මුට්ටිය අහවර නම් මට සෙතක් ශාන්තියක් කරනවා හොඳයි”.

කළුවන් කළුරුවයි අපෙ ගම මදින්නා
මංඩි නැතිව රා ගමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අපෙ ගම මදින්නා

මෙරටේ ප්‍රතිපත්ති සම්පාදකයන්ගේත්, දේශපාලකයන්ගේත් අන්දරේගේත් වෙනස කිම? එදාමෙදා තුර සිරිලක පවත්වා ඇති මැතිවරණ ගණන තෙසැත්තෑවකි. ඉන් ව්‍යවස්ථාදායකයේ වරම් ගත් දේශපාලකයන් මෙතෙක් සිදුකල එකම කාර්යය ”ඒ ඒ උළුවස්සට සරිලන සේ ඇණය ගැසීම” විනා වෙන අන් කවරක්ද?

සෞභාග්‍යයේ දැක්ම යනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රකාශනයයි. එය නිසැකවම ඉදිරිගාමී සැලැස්මකි. සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවත්නා නූතන තාක්ෂණික වෙනස්කම් හා එවැනි සයිබර් අවකාශගත ප්‍රවණතා හමුවේ දේශජ පැවැත්ම කවරාකාර විය යුතුදැයි යන්න ඉන් කදිමට නිරූපිතය. රැකියා විරහිත උපාධිධරයන්ගේ රැකියා අවස්ථා පුළුල් කිරීමට ද එහි යෝජිතය.

එපමණක් නොවේ. රටෙහි වාර්ෂික උද්ධමන අනුපාතය 5% සීමාව නොඉක්මවීම ද ජනාධිපතිවරයාගේ එක් අරමුණකි. එහිලා වසර 2025 දී සපුරාලීමට අපේක්ෂිත එක් අරමුණක් නම් රැකියා විරහිත පුද්ගල අනුපාතය 4% ක සීමාවට පහළින් තබා ගැනීමයි. එහිලා අනුදත් එක් ව්‍යාපෘතියක් වන්නේ රැකියා විරහිත උපාධිධරයන් 50,000 ක් වෙත රජයේ රැකියා පිරිනැමීමයි.

මෙය සැබවින්ම ආකර්ශනීය යෝජනාවකි. ‘රැකියා පෝලිම් හා මන්ත්‍රී චිට්’ ගැන විස්සෝප දේශපාලන ක්‍රියාධරයන් මෙවැනි ව්‍යාපෘතීන් තුළ ඇති වැදගත්කම නොදන්නවා නොවේ. මෙකී වැඩසටහන ආකර්ශනීය වුවද කිසිදු නවෝත්පාදකමය ප්‍රතිපලයක් ජනසමාජයට ජනිත කරන්නක් නොවේ. ඊට හේතු රාශියකි.

පළමුව රැකියා හිඟ ක්ෂේත්‍ර ගැන කිසිදු විමසුමක් නැත්තේය. දෙවනුව මෙලෙස රැකියා දන්සල් ඔස්සේ ප්‍රසාරණය කොට ඇති මෙරටේ රාජ්‍ය සේවය පුපුරා යෑමට ආසන්න කාල බෝම්බයක් බඳුය. අදාළ රජයේ ආයතන වෙත සුදුසු කාඩරය සැපයීම යන්න ම අවිද්‍යාත්මක අභ්‍යාසයක් ව ඇත. තැනෙක මැසිමදුරුවෙකු හට හෝ රිංගා යෑමට නොහැකි තරමේ සේවක අතිරික්තයකි. තවත් තැනෙක එකෙක් මඟුලකට හෝ අවමගුලකට ගියහොත් අදාළ කටයුතු ආවරණයට එකෙක් නැත්තේය. එක්කෝ සිටින එකාට වැඩ බැරිය. ඒකා ඇවිත් ඇත්තේ දේශපාලකයාගේ ඇම්මෙනි. එකල සෞඛ්‍යය අමාත්‍යංශය වෙත ගිය කලෙක මට දැනී ගියේ මා සිටින්නේ බදුල්ලේ ද යන්නයි. නිමල් සිරිපාල වැනි උසස් පෙළට එහාට උගත් මහත්තුරු පවා කලේ මානව සම්පත් අපයෝජනය විනා වෙන අන් කවර නම් කෙංගෙඩියක්ද?

එවන් ගතානුගතික අවිද්‍යාත්මක පසුබිමක පුදන රැකියා දොළපිදේනිය ගැන වුවද වත්මන් ජනාධිපතිවරයාට මාගේ ගෞරවය පිදීමට මා කිසිදා නොපැකිලෙමි. ඒ මෙරටේ පළමු වරට දේශපාලකයෙක් ගත් දුරදර්ශී තීරණය ඔහු ගෙන ඇති නිසාය. එනම් මේ රැකියා බැංකුව ඔහු විවර කොට ඇත්තේ පොහොට්ටු ආධාරකරුවන් හට පමණක්ම නොවේ. මේ පනස් දහසේ UNP කාරයන්ද, JVP කාරයන්ද, පෙරෙට්ටෝ ද, ටොයියෝද, බයියෝද සිටින්නේය. එනයින් බලන කල ගෝඨාභය රාජපක්ෂ මහතා අනාගතවාදියෙකි.

එකී අනාගතවාදියා සුපුරුදු ජන්ද මංකොල්ලයකට සැරසීම මහ පොළොව නුහුලන අපරාධයකි. ඒ අප ගෙවා දමන මේ නිමේෂය අපට වැදගත් වන්නේ ජනාධිපති සමාව, රැකියා දාන හෝ වෙනත් ආකර්ශනීය ජන්ද පොරොන්දු ඉටුකිරීමට නොව බිහිසුණු ව්‍යසනයක් මැඩලීමට ශක්තිමත්ව නැගී සිටිය යුතු බැවිනි.

මෙවර මැතිවරණයට දින ප්‍රකාශ කරන තෙක්ම වත්මන් ආණ්ඩුව යටත් පිරිසෙන් අදාළ උපාධිධරයන් සියලු දෙනා වෙත ලිපි හෝ යවා නොතිබුණේය. ලිපි ලැබී තිබු ප්‍රමාණය හරි අඩකි. මැතිවරණයට දින දුන්නේ මැතිවරණ කොමිෂන් සභාව නොවේ. ජනාධිපතිවරයාමය. එවන් පසුබිමක රැකියා දීමේ ව්‍යාපෘතිය නිසැකවම දේශපාලනික අභිප්‍රායක් ඇති එකක් යැයි හැඟී යාම ස්වාභාවිකය. ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව ගත් අභීත තීන්දුව ප්‍රසංශාත්මකය. මැතිවරණයක් නිදහස් හා සාධාරණ වූවාට මදිය. එය එලෙස පැවැත්වෙන බව ජනතාවට තහවුරු විය යුතුය. එනයින් බලන කල කොමිෂන් සභාව හා මුසප්පු වී අක්‍රෝෂ පරිභව කිරීම නොහොබී.

ජනාධිපතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තු මහා මැතිවරණයට ප්‍රවේශ වන විට වත්මන් ආණ්ඩුව ගතකොට තිබු දින ගණන 108 ක් විය. (මැතිවරණය ප්‍රකාශයට පත්කරන ලද්දේ 2020 මාර්තු මස 03 වැනිදාය). ජනාධිපති කාර්යාල පරිශ්‍රය තුළ කාරණා කාරණා දන්නා එකම නිලධරයෙක් හෝ සිටියේනම් පත්වීම් පනස් දහස දීමට මේ දින 108 ප්‍රමාණවත්ය. වැඩ දන්නා අතිරේක ලේකම්වරුන් ජනාධිපති කාර්යාලයේ කොරිඩෝව සිසාරා ඔබ මොබ යෑමට සළස්වා වැඩ බැරි ටාසන්ලා ලොක්කන් කල ලේකම්වරයාගෙන් ‘දැන් සනීප දැයි’ ඇසිය යුතු කාලය එළඹ ඇත. එලෙස රැකියාලාභීන්ගේ ලිපිය හෝ සැමට යැවීමට නොහැකිව ”කොමිසම ජොබ් දෙන වැඩේට උදැල්ල දමනවෝ” යි ලතෝනි දීම මාණ්ඩලික නිලධරයන්ට කැප සරුප් නැත්තේය. නර බිලි හා ධන ලාභම පතන දේශපාලකයන්ට නම් ලතෝනි දීම විනෝදයකි. ජීවන මගකි.

මෙලෙස පුහුණුව පමණක් අත්හිටවූ උපාධිධාරී ව්‍යාපෘතිය නව වටයකින් ඇරඹී ඇත. එනම් ව්‍යසන කළමනාකරණයට මෙකී පිරිස යොදා ගැනීමයි. ඊට ප්‍රථම ආණ්ඩුව කියා සිටියේ මාර්තු මස වැටුප බැංකුගත කිරීමේ අභිප්‍රායද ඔවුන් සතු බවයි. මේනම් කදිම ආණ්ඩුවකි. (යහපාලනය හෝ ඉන් එපිට ආණ්ඩුවක් මීට වඩා හොඳ යැයි මින් අදහස් නොකෙරේ).

ව්‍යසන කළමනාකරණයට එක් දිස්ත්‍රික්කයක් වෙත ලැබී ඇත්තේ මිලියන දහයක මුදලකි. ජීවනෝපායයන් අහිමිව ඇති පිහිටක් අවැසි ජනයා ගැන සැලකුවද එක් දිස්ත්‍රික්කය දිවිගෙවන එවන් ගණයේ ජන පිරිස් වෙත ආහාර පැකැට්ටුවක් හෝ වියලි ආහාර සලාකයක් දෙන්නේ නම් එයද මෙකී මුදලින් දිය හැක්කේ උපරිම දින දහයකි. කොළඹ , ගම්පහ, කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක පිලිබඳ කවර කතාද? මෙතෙක් දුගී ජනයාට කන්න දෙන්නට ප්‍රාදේශීය ලේකම්වරුන් දරන තැත විශ්මිතය. එලෙස මුදල් හිඟ ආණ්ඩුවක් නිවසේ සිටින උපාධිධරයන් පිරිසකට වැටුප් ගෙවීමට යෝජිත මුදල දළ වශයෙන් රුපියල් මිලියන සියයකට ආසන්නය. මෙලෙස දොර දන්දීමට නම් අපේ භාණ්ඩාගාරය භාර ඇත්තාට එක්කෝ පිස්සුය – නැත්නම් සූර පප්පාගේ මැජික් අරිෂ්ඨයේ රෙසිපිය ලැබිලාය.

මෙකී කරුණ පිළිබඳව විමසා මැතිවරණ කොමිෂන් සභාව ගෙවුණු මාර්තු මස 25 වැනි දින ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතා ඇමතූ ලිපියෙන් දක්වා ඇත්තේ උපාධිධරයන් කොරෝනා වෛරස මර්දනය සඳහා අනුයුක්ත කරන බව පූර්වයෙන් දැන්වීමට ක්‍රියා කල යුතුව තිබූ බවයි. එකී ලිපියම පදනම් කරගනිමින් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා අපූරු ලිපියක් යවන්නේය. ඒ මාර්තු 26 වැනි දිනයි. දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් අමතා ඔහු මෙසේ කියයි.

”කෙසේ නමුත් (ඔහු කෙසේ නමුත් යැයි පවසන්නේ මැතිවරණ කොමිසමෙහි අදහස මුලින් දැක්වීමෙන් අනතුරුවය. කෙසේනමුත් යැයි පැවසීමෙන් තහවුරු වන්නේ කොමිසම කවරක් කීවද අපි අපිට අවශ්‍ය දේ කරනවාය යන උද්ධච්ච අදහස විය හැකිය) මෙම අභ්‍යාසලාභීන් කොරෝනා මර්දන වැඩසටහනට සහය කරගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය එකඟතාව පළ කර ඇත. එබැවින් දැනට පවතින කොරෝනා වෛරසය මැඩලීමට සහය වීම පිණිස දැනට සේවයට වාර්තා කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔබ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් සෞඛ්‍ය නිලධාරී කාර්යාලය වෙත වහාම ක්‍රියාත්මක වන පරිදි අනුයුක්ත කල යුතු වේ”.

මෙරටේ පුරවැසියෙක් ලෙස ගරු ලේකම්තුමාගෙන් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් ඇත.

01. කොරෝනා වෛරසය මර්දනය සඳහා දැනට යොදවා ඇති රාජ්‍ය සේවක සංචිතය කොපමණද?

02. ඉන් කවර ප්‍රතිශතයක් නිවසේ සිට රාජකාරි කරන්නේද?

03. එලෙස නිවසේ සිටින පළපුරුදු සේවකයන්ගෙන් කවර ප්‍රමාණයක් ව්‍යසනය කළමනාකරණය සඳහා එක් වීමට අකමැත්ත පළ කොට තිබේද?

04. මෙවන් කිසිදු අත්දැකීමක් නැති පිරිසක් බිහිසුණු අර්බුදයක් මැදට දැමීමට ඔබ අදහස් කොට ඇත්තේ කවර හේතුවක් නිසාද? 05. කිසිදු පුහුණුවක් හෝ ඔවුන්ගේ අනන්‍යතාව පවා පරික්ෂාවට කාලයක් නොගෙන මෙවන් හදිසි බඳවා ගැනීමකට ඇති උනන්දුවක් පැන නැගී ඇත්තේ කවර කරුණක් නිසාද?

මීටත් එහා ඇසිය යුතු ප්‍රශ්න මාලාවකි. එහෙත් මේ ඊට කාලය නොවේ. ඉහත ගැටළු සඳහා සාධනීය පිළිතුරු නොදෙන්නේ නම් අදාළ ලේකම්වරයාට එරෙහි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පෙළඹිය යුතුය. නොඑසේනම් මෙය නරක පුර්වාදර්ශයක් ව සමස්ත මැතිවරණ ක්‍රියාවලියම උඩුයටිකුරු කරනු ඇතැයි යන්න ලියුම්කරුගේ අදහසයි.

රජයේ රැකියා පිරිනැමීම වෙනම ම සාකච්ජාවට බඳුන් කල යුතු කරුණකි. එහෙත් කොක්කෙන් හෝ කෙක්කෙන් රැකියා දීමට සිතීම තරම් අනුවණ කමක් තවත් නැත්තේය. ඒ මෙවන් එක සේවකයෙකු වෙනුවෙන් සාමාන්‍ය පුරවැසියා දැරිය යුතු බර අප්‍රමාණ බැවිනි. සැඩ පහර සැර ගං දියක වැලි ගොඩ දමන අසරණ ගැමියාත්, දූවිලි වැකුණු දුම්වලා විසිරෙන මහමඟ පසෙක ලෑලි පෙට්ටියක් ගසාගෙන ලොතරැයි අලෙවි කරන නගර වැසියාත් මේ සියල්ලන් පෝෂණයට බදු ගෙවන්නේය. 80% ක් රජයේ සේවකයන් නිවසේ සිටින සමයක කොරෝනා මර්දනයට කියා නිවසේ සිටින උපාධිධරයන් ගැනීමට තැත් කිරීම ඉල ඇදෙන විහිළුවක් පමණක්ම නොවේ, ව්‍යසනයක් අතරතුර තම අභිමතාර්ථ සාධනයට කැස කවන අවස්ථාවාදීන්ගේ මුග්ධ ක්‍රියාවකි.

දැන් මම අසමි. පරිපාලන ලේකම් හෙට්ටිආරච්චි මහතාගේත් අන්දරේගේත් ඇති වෙනස කීම. පාලකයාට අවැසි කල සෙත් කවි කියන්නට සමත් පරිපාලකයන්ගෙන් රටට යම් සුගතියක් වේද? බැලු බැල්මට හාස්‍යජනක තීරණයක් රටට ම දැන්වීමට ප්‍රථම තම ආදරණිය ජනපතිඳුන් හමුව කරුණු පැහැදිලි කිරීමට හෝ පියවරක් ගැනීමට ඔබ නොසිතුවේද?

ගැටලුව තනතුර නම්, මෙලෙස අන්දරේගේ භූමිකාවට පණ පෙවීමට වඩා, අඹුදරුවන් හා එක්ව නිවසට වී දෙවැනි ඉණිම ටෙලි නාට්‍යය බැලීම යෙහෙකි.

අප සුමිතුරු හිටපු පරිපාලක මොහමඩ් මැතිදුන් තම වත්පොතේ මෙසේ දක්වයි. ”කූරයි ඒරි කෝළි පිඩික්කාදවන් වානම් ඒරි වයිකුණ්ඩම් පෝනානාම්” එනම් වහලට නැගලා කුකුලා අල්ලන්නැති එක්කෙනා අහසට නැගලා ස්වර්ගයට ගියාලු’ යන්නයි.

ජනාධිපති ලේකම්ගේ සිට අපේ අනෙකුත් අමාත්‍යංශ ලේකම්ලා දක්වා බොහෝ දෙනෙක් එවැනිය. කුකුලෙක් ඇල්ලීමට වහලෙට නැගීමට බැරිය. ඒ වුණාට කතාව නම් අහසට නැග ස්වර්ගයට යෑමටය!!.

(මුහුණු පොතෙනි)

 

Back to Top