Sri Lanka Brief
පුවත්විවරණසුනිල් රත්නායක වැරදිකරු වූ මිරුසුවිල් සමූහ ඝාතන නඩුව – නීතිඥ අථිල අතාවුද

සුනිල් රත්නායක වැරදිකරු වූ මිරුසුවිල් සමූහ ඝාතන නඩුව – නීතිඥ අථිල අතාවුද

by

මිරුසුවිල් යනු රට ගිලගත් සිවිල් යුද්ධයේ රෞද්‍රභාවයට මුහුණ දුන් උතුරුකරයේ ගම්මානයක් විය. 2000 වසරේ මුළ භාගයේදී සටන් උග්‍ර අතට හැරුණු අතර 2000 වසරේ අප්‍රේල් මාසයේදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.) සංවිධානයේ සටන්කාමීන් විසින් ඉතාම තීරණාත්මක උපක්‍රමික වැදගත්කමකින් යුතු අලිමංකඩ හමුදා කදවුර අත්පත් කරගන්නා ලදී. මෙම පරාජයත් සමගම හමුදාවන්ට තමන්ගේ ආරක්ෂක වළලු නැවත ස්ථානගත කරගැනීමට සිදුවූ අතර ඉදිරි ආරක්ෂක වළල්ල එලුතුමට්ටුවාල් ප්‍රදේශයේ පිහිටුවන ලදී. ඒ අනුව එලුතුමට්ටුවාල් සහ කොඩිකාමම් ප්‍රදේශ අත්හැර මිරුසුවිල් ප්‍රදේශයේ ස්ථානගත වීමට සිදුවූ අතර ඒ හේතුවෙන් මිරුසුවිල් ප්‍රදේශයේ ප්‍රදේශවාසීන්ට තමන්ගේ ගම්මාන වලින් යම් තරමක ඈතින් තාවකාලික ජනාවාස වල ස්ථානගත වීමට සිදුවිය. කෙසේ වෙතත් මෙම ගැමියන් අවස්ථාවක් ලද විට ඉදහිට තමන් අත්හැර දැමූ නිවාස වලට යාම් ඊම් සිදුකිරීමේ පුරුද්දක් පැවැති අතර එවන් අවස්ථා වලදී තම නිවාස පිරිසිදු කිරීම මෙන්ම ඔවුන්ට ප්‍රයෝජනයට ගතහැකි යම් ඵලදාවන් නෙළීම ආදිය ඔවුන් විසින් සිදුකරන ලදී. මෙම යාම් ඊම් දහවල් කාලයේ සිදුවූ අතර රාත්‍රී අදුර වැටීමට පෙර ආපසු යාමට ඔවුහු වගබලාගත්හ.

පස් වසරැති ප්‍රසාද්

2000 වසරේ දෙසැම්බර් 18 වැනි දින ගජබා රෙජිමේන්තුවට අයත් භට කණ්ඩායමක් ගුවන් මගින් ගෙනවිත් මිරුසුවිල් ප්‍රදේශයට පමණුවන ලදී. මෙම භට ඛණ්ඩයට පිරික්සුම් භට පිරිසක්ද ඇතුලත් විය. පසු දින එනම් 2000 දෙසැම්බර් 19 වැනි දින මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවන්ව සිට ඒ වනවිට වෙනත් ස්ථාන වල තාවකාලිකව ලැගුම් ගෙන සිටි අට දෙනෙකුගෙන් යුත් ගැමියන් කණ්ඩායමක් පාපැදි මගින් තම තමන්ගේ නිවාස බැලීම සදහා මිරුසුවිල් ප්‍රදේශයට යන ලදී. ඔවුන් අතර තම පියාත් සමග පැමිණි වසර පහක ප්‍රසාද් නැමති සිගිත්තෙකුද විය.

සාමාන්‍ය ගේදොර වැඩකටයුතු ඉටුකිරීමෙන් සහ තමන්ට ප්‍රයෝජනවත් විය හැකි අතට අසුවෙන යම් ඵලයක් නෙළා ගැනීමෙන්ද පසු සවස 4ට පමණ ඔවුන් නැවතත් තම පාපැදි වලින් තාවකාලික ලැගුම් ස්ථාන කරා පිටත් වීමට සූදානම් වූහ. එවිට ඒ අසළ තිබූ ඵලබර පේර ගසක් දුටු ප්‍රසාද් සිගිත්තා තමාට පේර කඩා දෙන ලෙස තම පියා වූ විල්වරාසාට ඇවිටිලි කරන්නට වූයේය. දරුවාගේ බලාපොරොත්තු කඩකිරීමට අකමැති වූ ඔවුන් එකතු කරගත් අඩුවැඩිය පටවා තිබූ බයිසිකල්ද රැගෙන පේර ගස පෙනෙන ඉසව්ව දෙසට පියමැන්නහ. කෙසේ වෙතත් පේර ගස වෙත යාමට ඔවුන්ට හැකියාවක් ලැබුණේ නැත. එයට හේතුව සෙබල පිරිසක් විසින් ඔවුන්ව නැවැත්වීමයි. මේ අවස්ථාවේදී එදින තම නිවාස බැලීම සදහා පිටත් වූ පිරිස කවුරුන්දැයි නිශ්චිතව හදුනාගැනීම වැදගත් වේ. රවිවර්මන්, තයිවකුලසිංහම්, විල්වරාසා සමග ගිය පස් හැවිරිදි ප්‍රසාද් සහ 13 හැවිරිදි ප්‍රදීපන්, ජයචන්ද්‍රන්, ඥානචන්ද්‍රන් සමග ගිය ඔහුගේ 15 හැවිරිදි පුතු ශාන්තන් සහ ඥානචන්ද්‍රන්ගේ මස්සිනා වූද තමන්ට මුහුණ පෑමට සිදුවූ සිදුවීම විස්තර කිරීම සදහා ජීවතුන් අතර ඉතිරිවූ එකම තැනැත්තා වූද මහේෂ්වරන් නැමැත්තාගෙන් එම පිරිස සමන්විත විය.

මහේෂ්වරන්ගේ කතාව

2000 වසර වන විට පොන්නදුරෙයි මහේෂ්වරන්ගේ වයස අවුරුදු 21ක් විය. මහේෂ්වරන් ලබාදුන් සාක්ෂියට අනුව ඔවුන්ගේ නිවාස කාලතුවක්කු ප්‍රහාර වලට ලක්වීම හේතුවෙන් තමන්ගේ නිවාස අතහැර කරවෙඩ්ඩි ප්‍රදේශයට යාමට ඔවුන්ට සිදුවී ඇත. මහේශ්වරන් ප්‍රකාශ කරන ආකාරයට මෙම සිද්ධිය සිදුවූ දිනයේ ඔහු ඉහත සදහන් කළ කණ්ඩායම සමග පැමිණ තම තමන්ගේ නිවාස පිරිසිදු කිරීමේ කාර්යයේ නිරත වී තිබේ. මෙම පිරිස අතර යන්තමින් හො සිංහල භාෂාව කතාකළ හැකි පුද්ගලයෙකුට සිටියේ රවිවර්මන් පමණි. කෙසේ වෙතත් මෙකී රවිවර්මන් ආබාධිතයෙකු විය. ඔහු කුඩාකලදී සෙල්ලම් කරමින් සිටින අවස්ථාවක ඉන්දියානු සාමසාධක හමුදාව විසින් භාවිතයට ගත් ජීව ෂෙල් වෙඩිල්ලක් ඔහුට හමුවී ඇත. එය කුමක්දැයි නොදත් දරුවා එය පොළවේ ගසා ඇත්තේ පිපිරීමකට මග පාදමිනි. මෙම පිපිරීම හේතුවෙන් ඔහුගේ වම් අත වැළමිටට පහළින් ඔහුට අහිමි වී ඇත. මෙම අබාධයේ අදාළත්වය පසුව සදහන් කෙරේ.

ඔවුන් පෙර ගස දෙසට පියමනිද්දී ඔවුන් දෙසට ආවේ හමුදා පුද්ගලයන් දෙදෙනෙකි. එක් අයෙකු අත ගිනි අවියක් තිබූ අතර අනෙකා අත පිහියක් විය. ඔවුන් සියලුදෙනාටම දණගැසීමට අණ ලැබුණු අතර භට පිරිස් විසින් ඔවුන්ගෙන් ප්‍රශ්න කරන ලදී. රවිවර්මන් තමන්ට වැටහෙන පරිදි කැඩුණු සිංහලෙන් තමන් එම ප්‍රදේශයට පැමිණි හේතුව පැහැදිලි කරන ලදී. මේ මොහොතේ එක් සොල්දාදුවෙකු එතැන රැදී සිටියදී අනෙකා එතැනින් ඉවත්ව යනු දක්නට ලැබුණි. මද වේලාවකට පසු ඔහු ආපසු පැමිණියේ තවත් හමුදා පුද්ගලයන් සිව් දෙනෙකු කැටුවය.

ඔවුන් පැමිණ මහේෂ්වරන් ඇතුළු ගැමියන් පිරිසට පහර දෙන ලදී. මහේෂ්වරන් ප්‍රකාශ කරන පරිදි ඔහුගේම සරම ගලවා ඔහුගේ ඇස් වැසෙන සේ බැද ඇත. ඇස් බදින අවස්ථාවේදීද මහේෂ්වරන් සමග පැමිණි අනෙකුත් ගැමියන් ඔහු අසළ සිට ඇත. ඒ සමගම ඔහුට නැවතත් පහරක් වැදී සිහි විසඥ තත්වයට පත්වී තිබේ. මද වේලාවකට පසු නැවතත් මහේෂ්වරන්ට සිහිය ලැබී ඇති අතර ඒ මොහොතේ හමුදා පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඔහුගේ අත් දෙකෙන් ඔසවාගෙන රැගෙන ගොස් වැටකට උඩින් විසිකරනු ලැබ තිබේ. ඒ සමගම ඇස් ආවරණය කර බැද තිබූ සරම කම්බි වැටේ පැටලීමෙන් ගැලවී ඇති අතර ඒ මොහොතේ තමා සමග කලින් සිටි ගැමියන් කිසිවෙකු තමා අසළ නැති බව මහේෂ්වරන් දැක තිබේ. ඉන්පසු ඔහුව වැසිකිළි වලක් ආසන්නයට ගෙනගොස් ඇත. වැසිකිලි වලේ උඩ ස්ලැබ් එක මත ඇති ලේ සලකුණුද වැසිකිලි වල තුල යම් දැගලීමක්ද මහේෂ්වරන් නිරීක්ෂණය කොට තිබේ. තමා සමග ඇති අනෙකුත් අය මරා දමා ඇතැයිද තමාටත් එම ඉරණමම අත්වනු ඇතැයිද බියවූ මහේෂ්වරන් තමාගේ ඇස් බැද තිබූ සරොම සැකසීමට ළගට පැමිණි හමුදා පුද්ගලයන් දෙදෙනා තල්ලු කර දමා කැලෑවට පැන දුවා තිබේ. එසේ දිවගිය මහේෂ්වරන් මෙම සිද්ධියේදී මියගිය සින්නයියා විල්වරාසා නැමැත්තාගේ නිවසට යට ඇදුම පිටින්ම දුවගොස් විල්වරාසාගේ බිරිදගෙන් සරමක් ඉල්ලා ඇදගෙන විල්වරාසාගේ නිවසේ සිට සැතපුම් කාලක් පමණ එපිටින් වූ තම නැන්දණියකගේ නිවසේ රාත්‍රිය පහන් කර ඇත. පසුදින උදෑසන මහේෂ්වරන් තම පියා මුණගැසීම කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ තාවකාලික ලැගුම් පොල වෙත යන ලදී. මහේෂ්වරන් විසින් තමන්ට මුහුණපෑමට සිදුවූ සිදුවීම් තම පියාට විස්තර කර ඇත. එදිනම සවස මේ පිළිබදව මහේෂ්වරන්ගේ මව විමින් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී සංවිධානයේ කාර්යාලයට පැමිණිලි කොට ඇත. ඊපීඩීපී පක්ෂයේ සාමාජිකයන් එදින සවස මහේෂ්වරන් බැලීමට පැමිණ ඇති අතර ඔහුව පසුව චන්දිගාර් රෝහලට ඇතුලත් කර ඇත. දෙසැම්බර් 22 වන දින ඔහු රෝහලෙන් බැහැර වී නිවසට ගොස් තිබේ. ඊටත් පසු දින ඔහු හමුවීමට හමුදා පුද්ගලයින් පැමිණ ඇති අතර දින කිහිපයකට පෙර ඔහුටත් තවත් ගැමියන් කිහිපදෙනෙකුටත් මුහුණදීමට සිදුවූ සිදුවීම පිළිබදව විමසා ඇත. ඊටත් පසු දින එනම් දෙසැම්බර් 24 වැනි දින මහේෂ්වරන් හමුවීමට නැවතත් පැමිණි යුධ හමුදා පොලිසියේ නිලධාරීන් මහේෂ්වරන්ද ඔහුගේ දෙමාපියන්ද ඊපීඩීපී සංවිධානයේ සාමාජිකයන්ද ග්‍රාම නිලධාරීන්ද සමග මහේෂ්වරන් ප්‍රකාශ කරන වැසිකිළි වල තිබෙන ස්ථානයට ගොස් තිබේ. වැසිකිලි වළ තුල තිබී ඔවුන්ට හුමවී ඇත්තේ මියගිය එළුවකුගේ සහ සර්පයෙකුගේ ශරීර කොටස්ය.

සුනිල් රත්නායක දුටු වහාම මහේශ්වරන් ඔහු හදුනා ගත්තේ ය.

මහේෂ්වරන් ඇතුළු ඉහත කී පිරිස වැසිකිළිවල ආසන්නයේ සිටින විට තවත් හමුදා පුද්ගලයන් පිරිසක් එම ස්ථානයට පැමිණ තිබේ. මෙහිදී මහේෂ්වරන් වහාම එම හමුදා පිරිස අතර සිටි පුද්ගලයන් දෙදෙනෙකු පේරර ගස අසළට යමින් සිටි තමන් ඇතුළු පිරිස නවත්වා දණගැස්වීම ඇස් බැද පහරදීම සිදුකිරීමට සම්බන්ධ වූ පුද්ගලයන් ලෙස හදුනාගෙන තිබේ.

ඊට පෙර දිනයේ තම පුතු වූ මහේෂ්වරන් ආපසු නිවසට නොපැමිණීම හේතුවෙන් ඔහු සොයා කන්දයියා පොන්නදුරෙයි හෙවත් මහේෂ්වරන්ගේ පියා පෙර දින මිරුසුවිල් බලා ගිය පිරිසගේ නිවෙස් වලට ගොස් තිබේ. අතරමගදී ඔහුට මහේෂ්වරන් හමුවී ඇති අතර මුහුණදීමට සිදුවූ සිද්ධිය කියා තිබේ. කෙසේ වෙතත් ඔහු ඒ මොහොතේ ප්‍රකාශ කර ඇත්තේ අනෙක් පුද්ගලයන් හමුදා අත්අඩංගුවේ පසුවන බවකි. එයට හේතුව ඔවුන්ට මුහුණ දීමට සිදුවී ඇති ඉරණම ඒ වන විට මහේෂ්වරන් නොදැන සිටීම බව සිතිය හැක. 24 වැනිදා වැසිකිළි වල ආසන්නයට ගිය පිරිස අතරද පොන්නදුරෙයි සිට ඇත. වැසිකිළි වල ආසන්නයට පැමිණි හමුදා පුද්ගලයන් දුටු තම පුතා කෑගසමින් තමන්ට පහරදුන්නේ ඔවුන් බව කියා සිටි බව පොන්නදුරෙයි සාක්ෂි දෙමින් පවසා ඇත.

 

 

විමර්ශනය සහ චෝදනා ගොණුකිරීම

මේජර් සිඩ්නි ද සොයිසා යාපනය ප්‍රදේශයේ යුධ හමුදා පොලීසිය අධීක්ෂණය භාර නිලධාරියා වශයෙන් කටයුතු කර ඇති අතර 2000 දෙසැම්බර් 23 වැනි දින පුද්ගලයන් අට දෙනෙකු ඝාතනය කිරීමක් පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙස ඔහුට බ්‍රිගේඩියර් තෝරදෙණිය වෙතින් අණ ලැබී ඇත. ඔහු මහේෂ්වරන්ගේ නිවසට ගොස් ඔහුගේ ප්‍රකාශයක් සටහන් කර ඇත. ඉන්පසු අදාළ සිද්ධිය වූ බවට මහේෂ්වරන් ප්‍රකාශ කරන ස්ථානය වෙත ගොස් ඇත.

මහේෂ්වරන්ගේ මග පෙන්වීම යටතේ ඔවුන් පදුරු සහිත කැළෑව මැදින් ඇවිද ගොස් පළමුව මිරුසුවිල්හි පිහිටි අත්හැර දැමූ මහේෂ්වරන්ගේ නිවස අසළට පැමිණ තිබේ. එතැනින් පෙරකී පේර ගස තිබූ ස්ථානයටද එතැනින් වැසිකිළි වල තිබූ ස්ථානයටද ගමන් කර ඇත. වැසිකිළි වල මත වූ ස්ලැබ් එක මත ලේ වැනි පැල්ලම් තිබෙනු මේජර් සොයිසා නිරීක්ෂණය කර ඇත. ස්ලැබ් එක විවෘත කර බලන විට සතෙකුගේ ශරීර කොටස් හමුවී ඇත.

හයවන ගජබා රෙජිමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ සොල්දාදුවන් 20ක් ඒ ආසන්න ගොඩනැගිල්ලක රැදී සිටින බව මේජර් සිඩ්නි ද සොයිසා විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත. එකී සෙබල පිරිසේ නායක සාජන්ට් රණසිංහ සමග තවත් හමුදා පුද්ගලයන් කිහිප දෙනෙකු තමන් වැසිකිළි වළ අසළ රැදී සිටියදී එම ස්ථානයට පැමිණ ඇති අතර සාක්ෂිකාර මහේෂ්වරන් ඒ අවස්ථාවේ කෑගසා තිබේ. මහේෂ්වරන් කෑගසා කියා ඇත්තේ සාජන්ට් රණසිංහ සමග පැමිණි හමුදා පුද්ගලයන් අතරින් දෙදෙනෙකු තමාව අල්ලාගෙන පහර දුන් අය බවයි. ඒ අනුව අදාළ සොල්දාදුවන් දෙදෙනා ලාන්ස් කොප්‍රල් රත්නායක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබළ මහින්ද කුමාරසිංහ බව අනාවරණය වී ඇත. අධිකරණයේ සාක්ෂි ලබා දෙමින් මේජර් සොයිසා පවසා ඇත්තේ සාමාන්‍ය සෙබල කුමාරසිංහ සම්බන්ධයෙන් තම මතකය අපැහැදිලි බවයි.

ඒ අනුව මේජර් සොයිසා විසින් ලාස්න් කෝප්‍රල් රත්නායක (සුනිල් රත්නායක) සහ සාමාන්‍ය සෙබළ කුමාරසිංහ ඇතුලු පස් දෙනෙකු තම අත් අඩංගුවට ගෙන තිබේ.

2000 දෙසැම්බර් 24 වැනි දින සුනිල් රත්නායක විසින් පෙන්වා දුන් පරිදි යුධහමුදා පොලීසිය විසින් අදාළ වැසිකිළි වළ අවට ප්‍රදේශය සෝදිසියට ලක් කර ඇති අතර පදුරු සහ අතු වලින් ආවරණය කරන ලද බුරුල් පස් සහිත ප්‍රදේශයක් ඔවුන්ට හමුවී ඇත. මේජර් සොයිසා පොලිස් අධිකාරීවරයා හරහා තමන් අත්අඩංගුවට ගන්නා ලද හමුදා පුද්ගලයන් මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර ඇත.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ප්‍රදේශය සෝදිසියට ලක් කරන ලද අතර මළ සිරුරු අටක් ගොඩ ගන්නා ලදී. එම මළ සිරුරු දෙසැම්බර් 19 වැනිදා මහේෂ්වරන් සමග මිරුසුවිල් ප්‍රදේශයට ගිය පුද්ගලයන්ට අයත් බව තහවුරු විය.

ඉන්පසු හමුදා පුද්ගලයන් ගණනාවක් (13ක්) හදුනා ගැනීමේ පෙරට්ටු සදහා ඉදිරිපත් කරන ලද අතර ඔවුන්ගෙන් පස්දෙනෙකු මහේෂ්වරන් විසින් හදුනාගන්නා ලදී.

සුනිල් රත්නායක ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොණු කරන්නේ ඒ අනුවය.

ගොණු කරන ලද අධි චෝදනා

සුනිල් රත්නායක ඇතුලු තවත් පස්දෙනෙකුට එරෙහිව ගොණු කරන ලද අධි චෝදනා පහත පරිදි වේ:-

1. රවිවර්මන් නැමැත්තාට තර්ජනයක් හානියක් පැමිණවීමේ පොදු අරමුණ සහිතව එක්රැස් වූ නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 140 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද

2. රවිවර්මන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

3. තෛවකුලසිංහම් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

4. විල්වරාසා ප්‍රදීපන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

5. සින්නයියා විල්වරාසා යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

6. නඩේසු ජයචන්ද්‍රන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

7. කදීරන් ඥානචන්ද්‍රන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

8. ඥානචන්ද්‍රන් ශාන්තන් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

9. විල්වරාසා ප්‍රසාද් යන අයගේ මරණය සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වැනි වගන්තිය සමග කියැවිය යුතු දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් සිදු කල බවද

10. මහේෂ්වරන් යන අයට සුළු තුවාල සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 146 වගන්තිය සමග කියවියයුතු දණ්ඩ නීති සංග්‍රහයේ 314 වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකළ බවද

11 සිට 18 වැනි අධිචෝදනාව දක්වා දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය යටතේ විස්තර කෙරෙන පොදු චේතනාවට යටත්ව ඉහත 2 වැනි අධි චෝදනාවේ සිට 9 වැනි අධි චෝදනාව දක්වා නම් සදහන් පුද්ගලයන්ගේ මරණ සිදුකිරීම සහ 19 වැනි අධි චෝදනාව ඉහත කී පොදු චේතනාව යටතේ ඉහත 10 වැනි අධි චෝදනාවෙන් දක්වා ඇති සුළු තුවාල කිරීමේ වරද කළ බවටද ගොණු කර ඇත්තේය

වරදකරු වීමට ප්‍රධාන වශයෙන් බලපාන ලද්දේ පැමිණිල්ලේ නඩුව සම්පූර්ණයෙන්ම පාහේ රදා පවතින ලද මහේෂ්වරන්ගේ සාක්ෂියෙහි ඇති විශ්වාසනීයත්වය වේ. මහේෂ්වරන්ගේ සාක්ෂියේ විශ්වසනීයත්වය සළකා බැලීමට පෙර මෙම නඩුවේ ඇති අනෙකුත් පරීවේශනීය සාක්ෂි සළකා බලමු. පැවැති අනෙකුත් පරිවේෂණයන් මහේෂ්වරන්ගේ සාක්ෂිය හා ගැලපෙන්නේද එය ශක්තිමත් කරන්නේද යන්න පිළිබදව තීරණය කළ හැක්කේ ඒ අනුවය. එය මහේෂ්වරන්ගේ සාක්ෂිය පිළිගත හැකිද ප්‍රතික්ෂේප කළ යුතු යන්න තීරණය කිරීමේදී තීරණාත්මක වනවා ඇත.

දෙසැම්බර් 19 වැනි දා මහේෂ්වරන් මියිගිය අනෙක් අට දෙනාද සමග මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි තමන්ගේ නිවෙස් වලට පැමිණියේය යන කරුණ අභියෝගයට ලක්කර නොමැත.

පොන්නදොරෙයි එනම් මහේෂ්වරන්ගේ පියාට අනුව ඔහුගේ පුතා දෙසැම්බර් 19 වැනි දින මිරුසුවිල් වෙත ගොස් ඇති අතර ඔහු ආපසු නොපැමිණීම හේතුවෙන් දෙසැම්බර් 20 වැනිදා උදෑසන ඔහු මහේෂ්වරන් සොයා මිරුසුවිල් වෙත යන අතරමගදී මහේෂ්වරන් හමුවී ඇත. තමාට සහ අනෙක් පුද්ගලයන් අටදෙනාට පෙරදා සැන්දෑවේ සිදුවූයේ කුමක්ද යන්න මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ එහිදීය. මෙම ස්ථාවරය මහේෂ්වරන්ගේ මව වන ලෙච්චමී විසින් තහවුරු කර තිබේ.

මහේෂ්වරන්ගේ කතාවේ ස්ථිරසාරබව තහවුරු කිරීම සදහා පැමිණිලිල විසින් පොන්නදුරෙයි සහ ලෙච්චමී යන දෙදෙනාගේම සාක්ෂි මෙහෙයවා ඇති අතර මෙම සාක්ෂිකරුවන් දෙදෙනාට අදාළ සිදුවීම මහේෂ්වරන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ සිදුවීම වූ වහාම බැවින් එම සාක්ෂි මෙහෙයවීමට සාක්ෂි ආඥා පනතේ 157 වැනි වගන්තිය යටතේ අවසරය ඇත.

(මෙය සුනිල් රත්නායක නඩු තීන්දුව මා අතට ලැබුණු පසු එය ඇසුරින් මා සකස් කරමින් සිටි සටහනකි. එය තවමත් සම්පූර්ණ කර නැත. කාර්යබහුලත්වය මත එය දිගින් දිගටම සකස් කිරීම මට අතපසු වී තිබුණි. නමුත් දැන් එම සිද්ධිය නැවතත් මාතෘකාවක් බවට පත්වී ඇති බැවින් එම සටහන  ෆේස්බුක්හි පලකිරීමට මම තීරණය කළෙමි.)

(Athila Athauda Facebook)

 

Back to Top