Sri Lanka Brief
පුවත්විවරණසංක්‍රාන්ති යුක්ති කලාපයක මානව හිමිකම් පිළිබඳ ශේෂපත්‍රයක් – අසංක අබේරත්න

සංක්‍රාන්ති යුක්ති කලාපයක මානව හිමිකම් පිළිබඳ ශේෂපත්‍රයක් – අසංක අබේරත්න

by

ඡායාරූපය:ohchr.org.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයත් සමඟ නැවත වටයකින් මානව හිමිකම් පිළිබඳ සාකච්ඡා, වාද විවාද කරලියට පැමිණ තිබේ. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනා මෙය දකිනුයේ ඇමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට සැරසෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් ලෙසටය. එබැවින් මැතිවරණයක් ඉදිරිපිට ජාත්‍යන්තර බිල්ලෙක් ගැන කියමින් ජාතික ආරක්ෂණ දක්ෂිණජනතාවාදී ආඥාදායකත්වය දේශප්‍රේමයෙන් පෝෂණය කිරීම ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේම කොටසක් බවට පත්ව තිබේ.

විපක්ෂයේ නියෝජිතයින්ගේ අදහස් වලින් පෙනී යන්නේ ඔවුන් ආණ්ඩු කළ කාලයේ මානව හිමිකම් පිළිබඳව කිසිදු ප්‍රශ්නයක් නොතිබූ බවකි. එහෙත් අමූලික සත්‍යය නම් අවුරුදු 26ක් පුරා යුද ගැටුම් පැවති රටක සර්ව වින්දිතයින් යුක්තිය අපේක්ෂාවෙන් තවමත් අරගල කරමින් සිටීමයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ දෙවන ස්ථානයට පත්ව තිබේ. බලහත්කාරී ලෙස අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දෙවන වන්නේ ඉරාකයට පමණි. 1970 සහ 80 දශකයේ දකුණේ සිවිල් කැරලි හේතුවෙන් අතුරුදහන් වූ සිය ආදරණීයයන්ගේ අවසාන ඉරණම පිළිබඳව වදවන වින්දිතයන්ද ඇතුලුව යුක්තිය ලුහුබදින සියලු දෙනා එම සිදුවීම්වලින් වසර ගණනකට පසුවත් සිය ආදරණීයයන්ගේ ඉරණම පිළිබඳව අවිනිශ්චිතතාවයෙන් ජීවත් වේ. මෙවැනි පසුබිමක් තුළ මානව හිමිකම් සම්බන්ධයෙන් ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ නිර්භීතව පෙනී සිටිය හැකිද?

2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා, ඉස්ලාමීය මරාගෙන මැරෙන බෝම්බකරුවන් කිහිප දෙනෙකු කොළඹ සහ තවත් නගර දෙකක පල්ලි, හෝටල් තුළ සිදුකළ පිපිරවීම් නිසා 300ට වැඩි පිරිසක් ඝාතනය විය. තවත් සිය ගණන් පුද්ගලයින්ට බරපතල තුවාල සිදුවිය. ප්‍රහාරයට පසුව රජයේ ඇතැම් මැති ඇමතිවරු සහ ඉහළ නිලධාරීන් ප්‍රහාරය සම්බන්ධයෙන් කල්තියා දැනුවත්ව සිටි බව හෙළිදරවු විය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව දේශපාලන අධිකාරිය සහ ප්‍රභූන් තමන් ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට පුරසාරම් දෙඩවීය. නිරායුධ, කිතුණු බැතිමතුන් ප්‍රහාරයට ගොදුරුවන විට දේශපාලන ප්‍රභූන් ජාතික ආරක්ෂාව තමන් වටා සලසා ගත්තේය.

මෙම දේශපාලන ගරාවැටීම සහ ව්‍යාකූලත්වය මැද 2019 ජනාධිපතිවරණය ඉලක්කර ගනිමින් ජාතික ආරක්ෂාව තේමා කරගත් පූර්ව මැතිවරණ ප්‍රචාරණය ආරම්භ කළේය. එහි ප්‍රකාශකයා බවට පත් වූයේ වත්මන් ජනාධිපතිවරයා ය. මෙම සියලු ව්‍යාකූලත්වයන් මැද පැවති රජය හදිසි නීතිය පැනවීය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ කිසිදු චෝදනාවකින් තොරව ඇතැම් පුද්ගලයින් බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන රදාවාගනු ලැබීය. දේශපාලන අනුග්‍රහය සහිත මුස්ලිම් විරෝධී සිංහල ප්‍රචණ්ඩ කණ්ඩායම්, අන්තවාදී භික්ෂූන් නිරායුධ මුස්ලිම් ජනතාවට හා ඔවුන්ගේ ව්‍යාපාර සහ දේපොලවලට හානි සිදු කළේය.

මීට අවුරුදු පහකට පමණ පෙර මුස්ලිම් රෙදිකඩවලට ගිය සිංහල ජනතාවට කුණු බිත්තර ගැසීමෙන් ආරම්භ වූ ජාතිවාදී දේශපාලඥයින්ගේ සහ අන්තවාදී භික්ෂූන්ගෙන් සැදුම්ලත් සිංහල අන්තවාදී කණ්ඩායම් සිදු කළ දර්ගා භීෂණය, දිගන පහරදීම, මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ දේශපාලඥයකුගේ අනුදැනුම මත මාවනැල්ලේ බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීම, පාස්කු ප්‍රහාරය, මෙම සිදුවීම් විසින් මවා පෑ ජාතික ආරක්ෂාව පිළිබඳ භීතිය රාජ්‍ය තන්ත්‍රයේ කලක සිට වර්ධනය වී තිබූ වංචා, දූෂණ සහ අක්‍රමිකතාවලට එරෙහිව එල්ල වී තිබූ ජනතා විරෝධය තාවකාලිකව යටපත් කරන ලදි. ඔවුන්ගේ අබිප්‍රාය වූයේ මිලිටරිකාමී ජාතික ආරක්ෂණ ආඥාදායක තන්ත්‍රයක් ගොඩ නැගීමයි. 2005-2015 ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ, එමෙන්ම දේශපාලන විරුද්ධවාදීන් අතුරුදහන් කිරීම, මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපරාද චෝදනා එල්ල වී සිටි සහ ඒ වන විටත් එම අපරාද සම්බන්ධයෙන් අධිකරණ කිහිපයකම නඩු විභාගවෙමින් තිබූ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස තේරීපත් විය.

සංක්‍රාන්ති යුක්තිය, මිලිටරි ප්‍රතිසංස්කරණ සහ රණවිරුගාය

රජය සහ දෙමළ ඊලම් විමුක්ති කොටි සංවිධානය අතර යුද්ධය අවසන් වී වසර 10කට පසුවත් දමිළ වින්දිත කණ්ඩායම්වලට සහ ජාත්‍යන්තර මානුෂ්‍යවාදී නීති උල්ලංඝණය වීම පිළිබඳ විධිමත් පරීක්ෂණ සහ හානියට පත් පාර්ශවයන්ට යුක්තිය සහ සාධාරණත්වය ඉටු කිරීමට රජය අපොහොසත් විය. යුද්ධයෙන් 80,000 ක් පමණ දෙනා ජීවිතක්ෂයට පත් වූ අතර 20,000 එහා පිරිසක් අතුරුදහන් බවට වාරතා විය. මෙහිදී යුද්ධයට සම්බන්ධ පාර්ශ දෙක විසින්ම යුධ අපරා සිදුකර ඇති බවට නිරීක්ෂණය වී තිබෙන අතර යුද්ධයේ අවසන් අධියරේදී ආරක්ෂක අංශවලට යටත්වූවන්ද පසුව අතුරුදහන් වී තිබේ.

මේ අනුව වින්දිතයින්ට යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසුගිය රජය එක්සත් ජාතීන් සමඟ යම් එකගතා ඇතිකර ගත්ත ද යහපාලන ජනාධිපතිවරයා පවා යුධ අපරාද චෝදනා එල්ල වී තිබෙන මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කිරීම එක්සත් ජාතීන් පෙන්වා දුන්නේ “වින්දිතයන්ට කළ අපහාසයක්” ලෙසය. සංක්‍රාන්ති යුක්තියට අදාළ 2015 යෝජනා සහ රජයේ වගවීම පිළිබඳව එක්සත් ජාතීන් නිරන්තර අවධානයෙන් පසුවිය. ඒ අනුව, අතුරුදහන්වූවන් පිළිබඳව සොයා බැලීමට කාර්යයාලයක් ස්ථාපිත කිරීම, ජාත්‍යන්තර විමර්ෂණවලට සහාය දීම සහ වගවීමේ ස්වාධීන යාන්ත්‍රණයක් සකස් කිරීම යනාදිය එයට ඇතුළත් විය. අතුරුදහන්වූවන් පිළීබඳ කාර්යාලය 2018 වන විට පැමිණිලි 14,000 වඩා නිරීක්ෂණය කර තිබේ. ඇතැම් පැමිණිලි සම්බන්ධයෙන් අතුරුදහන්ව සිටි ඔවුන්ගේ ආදරණීයයා සිටින ස්ථානය සොයා ගැනීමට හැකි විය. එහෙත් අතුරුදහන්වූ පුද්ගලයන්ගෙන් වැඩි පිරිසකගේ සාක්ෂි පවා අතුරුදහන් නිසා ඔවුන් මියගිය බවට රජය විසින් සහතිකයක් නිකුත් කරන ලදි (Death Certificate). මෙය සිය ආදරණීයයාගේ අවසන් ඉරණම ලෙස මරණ සහතිකය භාර ගැනීමට විරුද්ධ වූ ඥාතීන් අතර අතුරුදහන්වූවන් පිළිබඳ රජයේ පරීක්ෂණ සහ ස්ථාවරය ප්‍රශ්ණ කරන්නක් විය. එමෙන්ම 2006 වර්ෂයේ මුත්තූර්හීදී පුද්ගලයින් 17 දෙනෙකු ඝාතනය කිරීම, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ලලිත් කුගන් හා ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදහන් කරවීම, යුද්ධයේ අවසන් අධියරේදී යටත්වූවන්, රුදවුම්කදවුරුවල සහ බන්ධනාගාර තුළ රඳවා සිටි යටත් වූ සටන්කාමීන් ඝාතනය වීම මානව හිමිකම් ප්‍රශ්ණ කරන අතර එය මනුෂ්‍ය වර්ගයාට එරෙහිව සිදු කරන ලද බරපතල ප්‍රචණ්ඩත්වයක් ලෙස සැලකේ.

සුලුතර ජාතීන්ට සැලකීම

2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් ගම්‍යවන දෙයක් නම් එය උතුර දකුණ යා කරන ජාතික මට්ටමේ වරමක් නොවන බවයි. සුලුතර ජාතීන්ට සැලකීම පිළිබඳව ප්‍රතිචාරය එම ප්‍රතිඵලය විසින් ප්‍රශ්ණකර සිටී. යුද්ධය ජයග්‍රහණය කළ නායකයෙකුට යුද්ධය නිමා වී අවුරුදු 10 ට පසුව යුද්ධයෙන් වැඩිපුරම බැට කෑ ජන කණ්ඩායමේ කැමැත්ත දිනා ගැනීමට නොහැකි වූයේ ඇයි? උතුරේ පරිපාලන කටයුතුවලට මෙන්ම පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද මධ්‍යස්ථාන සඳහා හමුදා කදවුරු යොදා ගැනීම උතුරු නැගෙනහිර සිවිල් ජනතාව සම්බන්ධයෙන් වෙනස්කොට සැලකීමකි. එමෙන්ම වතුකරයේ දමිළ කම්කරුවාගේ දෛයිනික වැටුප රුපියල් 1000ක් කරන ලෙස අඛණ්ඩව සිදු කරන කම්කරු අරගලය සම්බන්ධයෙන් රජය සංවේදී නොවීම යන කාරණා උතුරු දකුණු භේදයකින් තොරව අප රටේ දමිළ පුරවැසියන්ට වෙනස් කොට සැලකීමකි. මීට වසර 6කට පමණ පෙර වර්ධනය වූ මුස්ලිම් විරෝධය හේතුවෙන් පීඩාවට පත් මුස්ලිම් ප්‍රජාව සහ කාලගුණ විපර්යාස සහ යුධ ගැටුම් හේතුවෙන් ලංකාවට පැමිණි පාරසරික සහ යුධ සංක්‍රමණිකයින් හිරිහැරවලට හා අඩත්තේට්ටන්වලට ලක්වූ අතර ආරක්ෂක අංශ, භික්ෂූන් හා දේශපාලඥයින්ගේ අනුග්‍රහය, ඇතැම් අවස්ථාවල ජනමාධ්‍ය පවා මෙම ප්‍රඡන්ඩත්වයට සම්බන්ධ වූ ආකාරය සමාජයේ හෙළිදරවු විය. එහි වැරදිකරුවන්ට ජනාධිපති සමාව ලබාදීම සුලුතර ජාතීන්ට සිදුකළ බරපතල අසාධාරණයකි.

කාන්තා අයිතීන්

අප්‍රේල් ප්‍රහාරයෙන් පසුව විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාව ඉලක්කර ගනිමින් වාර්තා වූ හිංසන ක්‍රියා, අපහාස කිරීම් සහ බලපෑම් කිරීම් ඉතාමත් සංවේදී කාරණාවන් විය. ඇය සිංහල පුරුෂෝතතමවාදයෙන් පමණක් නොව මුස්ලිම් පුරුෂාධිපත්‍යයෙන් ද හිසාවට ලක්විය. ඇතැම් මුස්ලිම් පිරිමි බුර්කාවෙන් වෙස්වලා ගැනීමේ විරෝධය පවා අවසානයේ පිටවූයේ මුස්ලිම් කාන්තාව ඉලක්ක කරගනිමින් ය. හසලක ප්‍රදේශයේ එක් මුස්ලිම් කාන්තාවක් ධර්මචක්‍රය සහිත ගවුමක් හැදසිටීම ඇයට අත්අඩංගුවට ගැනීමට තරම් කාරණයක් වීම සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය පවා අවභාවිතා කිරීමකි.

ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම්ව ස්ත්‍රියට මෙන්ම සංක්‍රාන්තික ලිංගික ප්‍රජාවට වෙනස්කොට සැලකීමෙන් වැලකී සිටීමට රජය එකඟ වී තිබියදී වුවද සමලිංගික හැසිරීම් සහ විවාහයන් අපරාදයක් ලෙස සලකා දඛ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ වගන්ති රජය විසින් සංශෝධනය කිරීමෙන් වැලකී සිටින ලදි.

මරණ දණ්ඩනය

අධිකරණයෙන් මරණ දඩුවම නියම වී ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලද වැරදිකරුවන්ගේ මරණ දඩුවම නැවත ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය එක්සත් ජාතීන්ගේ දැඩි කනස්සල්ලට හේතුවිය. එක් අවස්ථාවක තමාව ඝාතනය කිරීමට ආ පුද්ගලයාට තමා විසින් ජනාධිපති සමාව පිරිනමන විට තවත් අවස්ථාවක මරණ දඩුවම නාවත ක්‍රියාත්මක කිරීමට යාම මානව අයිතිවාසිකම් පිළිබඳ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කිරීමක් වැනිය. මෙම තීරණ මානව අයිතිවාසිකම් සහ ශ්‍රී ලංකා රාජ්‍ය අතර බැදීම් පසුබෑමට ලක්වීමට තුඩුදුන් ඒවා විය.

මෙම තත්ත්වයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මානව හිමිකම් කෙරෙහි ශ්‍රී ලංකා රාජ්‍යයේ බැදීම්, ක්‍රියාකාරීත්වය හා ප්‍රතිචාර සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් පසුවූ අතර මානව හිමිකම් කෙරෙහි ශ්‍රී ලංකාව සිය අන්තර්ජාතික බැදීම් ක්‍රියාත්මක කිරීමට අපහොසත් වී ඇති බවට දැඩි විවේචන එල්ල කරන ලදි. එවැනි පසුබිමක වුවද යුද්ධයේදී බලහත්කාරයෙන් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයන්ට, එම වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩනගන මානව අයිතිවාසිකම් ක්‍රියාකාරිකයන් ආරක්ෂක අංශවල බියගැන්වීම්වලට සහ තර්ජනවලට ලක්වීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අවධානයෙන් පසුවිය.

පසුගිය වසරේ මැයි මාසයේ අම්පාර ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ අතුරුදහන්වූවන් සිහි කිරීමේ දමිළ වින්දිතයින්ගේ උත්සවය ආරක්ෂක අංශ විසින් කඩාකප්පල් කර දැමීම හා එයට සහභාගී වූ වින්දිතයින් අත්අඩංගුවට ගැනීම මෙන්ම උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැටලුව, එල්.ජී.බී.ටී අයිතිවාසිකම් නොසැලකීම සංක්‍රාන්ති යුක්ති කලාපයක මානව අයිතිවාසිකම් බිදවැටීමකි. එමගින් ශ්‍රී ලංකාවේ සාමය සහ ප්‍රතිසංධානය ගොඩනැගීමේ ක්‍රියාවලියට සිදු කරන බලපෑම සුලුපටු නොවේ.

අසංක අබේරත්න,මානව අයිතිවාසිකම් අධ්‍යයන කේන්ද්‍රය,පේරාදෙණිය විශ්ව විද්‍යාලය.

Back to Top