Sri Lanka Brief
පුවත්ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (4) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමය සහ ශ්‍රී ලංකාව (4) – මහාචාර්ය නවරත්න බණ්ඩාර

by

1972 ව්‍යවස්ථාව අගමැති ඒකතන්ත්‍රයක් (Prime Ministerial Autocracy) මුල් කරගෙන ආණ්ඩු බලය මධ්‍යගත කළ බවත් ඒ මගින් සීමිත ආන්ඩුව (Limited Government) පිළිබඳ අදහස බැහැර කළ බවත් පසුගිය ලිපියේ සඳහන් කළෙමි.

ඇරිස්ටෝටල් හඳුන්වාදුන් “ව්‍යවස්ථානුකූල පාලනය” (Polity) යටතේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සිදුකළේ පාලකයාගේ බලය සීමා කිරීම ය. එහෙත් 1972 ව්‍යවස්ථාව පාලකයාගේ බලය සීමා කරන ව්‍යවස්ථාවක් නොවීය. ඒ වෙනුවට එය පාලකයාට ජනතාවගේ ඡන්ද බලය යොදා ගෙන සීමා කළ නොහැකි බලයක් ගොඩ නගා ගැනීමට අවස්ථාව සැලසුවේය.

සිරිමා -බලතල සංකේන්ද්‍රණය පාලන ක්‍රමයක්

එදා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළ විට ජාතික රාජ්‍ය සභාව පැණවූ නීති ද ඉක්මවා යමින් හදිසි අවස්ථා රෙගුලාසි මගින් රට පාලනය කිරීමට විධායකයට අවස්ථාව සැලසුනි. එපමණක් නොව ජාතික රාජ්‍ය සභාවේ 2/3 ක සහය තිබෙන්නේ නම් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය නොකර ව්‍යවස්ථාවට පටහැනි නීති පැනවීමට පවා එයට බලය ලැබුනි. මෙම ව්‍යවස්ථාව බලතල බෙදීමේ මූල ධර්මය නොව  මූල ලක්ෂණය බවට පත් කරන ලදි.

ආන්ඩුවේ ත්‍රිවිධ බලතල ජාතික රාජ්‍ය සභාවට හිමි කරදීම නිසා අධිකරණය ආන්ඩුවේ දුර්වලම ආයතනය බවට පත්විය. නීති ප්‍රතිනිරීක්ෂණය පිළිබඳ අධිකරණ බලය (Judicial Review of Legislation) වෙනුවට නීති පිළිබඳ අධිකරණ පූර්ව නිරීක්ෂනය (Judicial Pre Review of Legislation) හඳුන්වා දුන් අතර ඒ සඳහා (අධිකරණ බලයක් නැති) ව්‍යවස්ථා අධිකරණයක් පිහිටුවන ලදි. 1970 සිට 1977 දක්වා මේ බලය ප්‍රායෝගිකව භුක්ති වින්ඳේ අමාත්‍ය මන්ඩලයේ නායකයා වූ අගමැතිය. 1971 දී පැනවූ හදිසි නීතිය 1977 දී පාර්ලිමේන්තුව විසුරුවා හැරීම දක්වා පවත්වා ගෙන ගිය බැවින් අගමැතිගේ ඒකතන්ත්‍රය දේශපාලන ක්‍රමය නව ගමන් මගකට යොමු කරන ලදි. එම පාලන සමයේ අවසාන කාලයේ දී ලද අත් දැකීමක් වූයේ එක් ඇමතිවරයකු අතට රාජ්‍ය පරිපාලනය, ස්වදේශ කටයුතු, පළාත් පාලනය, අධිකරණ සහ මුදල් යන සියලු අමාත්‍යාංශ පවරා දෙන්නට හැකි බලයක් අගමැතිට තිබුන බව ය. විධායක බල මධ්‍යගතකරණය ඇරඹී තිබුන බව එමගින් පැහැදිලි විය.

ජේ.ආර්.- ජනාධිපති ඒකතන්ත්‍රය

එම ව්‍යවස්ථාව රට ඒකතන්ත්‍ර පාලනයකට හුරු කරන ලද බැවින් 1977 දී ව්‍යවස්ථා සංශෝධනයකින් අගමැතිගේ ඒක තන්ත්‍රය ජනාධිපති ඒකතන්ත්‍රයක් බවට පෙරලීමට ජයවර්ධන මහතාට පහසු විය. එම අවස්ථාවේ දී පෙනී ගියේ වාමාංශික ගමනක් යාමට යයි සෑදු පාලන තන්ත්‍රය ඉතා පහසුවෙන් දක්ෂිණාංශික රාජ්‍ය ප්‍රතිපත්ති දැක්මක් ඉදිරියට ගෙන යාමට පහසු කරන පාලන රාමුවක් ජේ ආර් ජයවර්ධන මහතාට සපයාදී තිබුන බවය.

1978 සැප්තැම්බර් මාසයේ දී නව ව්‍යවස්ථාව පැනවූ විට ඡන්දදායකයන්ගේ නියත බහූතරයක් ලබා ගෙන පත්වන බලගතු විධායකයක් වශයෙන් එම ජනාධිපතිට ඉදිරියට ඒමට අවස්ථාව සැලසුනි. 1978 ව්‍යවස්ථාව විසින් අගමැති සහ අමාත්‍යවරු ජනාධිපතිගේ වැඩ සටහන ක්‍රියාත්මක කරන ඔහුට යටත්ව සිටින පිරිසක් බවට පත් කරන ලදි.

ව්‍යවස්ථාදායකයට විශ්වාස භංග යෝජනාවකින් ජනාධිපති ඉවත් කළ නොහැකි විය. එයට ජනාධිපති පහ කළ හැකි වූයේ දෝශාභියෝගයක් සම්මත කිරීමෙන් පමණි. එය කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයා ගන්නවා වැනි දුෂ්කර වැඩකි. ඒ සඳහා පළමුව ව්‍යවස්ථාවේ සඳහන් නිශ්චිත වැරදිවලින් එකක් හෝ කිහිපයක් හෝ සියල්ල හෝ ඔහු විසින් සිදුකළ බවවට චෝදනා කරන යෝජනාවක් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන හරි අඩක් විසින් අත්සන් කර ඉදිරිපත් කළ යුතුය. එය විවාද කර මන්ත්‍රීවරුන්ගෙන් 2/3ක් විසින් අනුමත කළහොත් අධිකරණය විසින් නඩු විභාගයකින් එම චෝදනා පරීක්ෂා කළ යුතුය. ජනාධිපතිව ධූරයෙන් පහ කළ හැක්කේ එම චෝදනාවන් එකක් හෝ ඔප්පුවන බව අධිකරණය තිරණය කළහොත් එම යෝජනාව නැවත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් 2/3 ක් විසින් ඡන්දයකින් අනුමත කිරීමෙනි.

මහා මැතිවරණයකින් බලයට පත්වූ පාර්ලිමේන්තුවක් වසරකට පසුව ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමට ජනාධිපතිට හැකි විය. පාර්ලිමේන්තුවේ දී ආන්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය හෝ වාර්ෂික අයවැය පණත ප්‍රතිකේෂප වුව හොත් එම වර්ෂයක සීමාව නොතකා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය ලැබුනි. එබඳු අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා නොහැර අගමැති සහ ඇමති මංඩලය අලුතින් පත් කර ඉදිරියට යාමට ද ඔහුට හැකි විය. මහා මැතිවරණයක දී පැහැදිලි තීරණයක් නොලැබුන හොත් හෝ යම් අවස්ථාවක එම තනතුරේ පුරප්පාඩුවක් ඇති වුවහොත් අගමැතිවරයා පත් කිරීමේ දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගෙන් උපරිමයක විශ්වාසය ඇතැයි තමන්ට හැඟෙන මන්ත්‍රීවරයා නම් කිරීමේ අභිමාතානුසාරය ජනාධිපතිට හිමිවිය. ඒ අතරම පාර්ලිමේන්තු මැතිවරණයකින් ජනාධිපති අයත් නැති දේශපාලන පක්ෂයකට බලය හිමිවී ජනාධිපති සහ අගමැති පක්ෂ දෙකකින් පත්වන සහහැසිරීමේ ආන්ඩුවක් (Cohabitation Government) පිහිටුවීමේ දී යමි ආකාරයකට ජනාධිපතිගේ බලයට සීමා පැණවීමක් ඇතිවුවහොත් වසරක කාලයක් ඉකුත්ව ගිය පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැර එම තත්වය වෙනස් කිරීමට ද ජනාධිපතිට බලය තිබුනේය.

ජනපතිට මුක්තිය

එම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුව සම්මත කළ හෝ නොකළ නීතියක් හෝ ජාතික වැදගත් කමක් ඇතැයි තමන් තීරණය කරන කාරණයක් ගැන ජනමත විචාරණයක් කැඳවීමට ද ජනාධිපතිට බලය ලැබුනේය. ජනාධිපති විසින් සිදුකළ කිසිම ක්‍රියාවක් හෝ කිසියම් දෙයක් නොකර හැරීමක් හෝ සම්බන්ධයෙන් කිසිදු අධිකරණයක දී ප්‍රශ්ණ කළ නොහැකි බව ව්‍යවස්ථාවේ සඳහන් විය.

උපාරිමාධිකරණ විනිශ්චයකාරවරු, ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කරන ප්‍රධාන රාජ්‍ය තනතුරුවන විගණාකාධිපති, නීතිපති, මැතිවරණ කොමසාරිස්, යනා දී තනතුරු ද රාජ්‍ය සේවා සහ අධිකරණ සේවා කොමිසන් සභාවල සාමාජිකයන් ද ඒවායේ සභාපතිවරුන් ද පත් කිරීමේ දී ජනාධිපතිට සිය තනි කැමැත්ත අනුව තීරණ ගැනීමට අවස්ථාව සලසන ලදි.

මේ අන්දමට නීතියට ඉහළින් සිටින, පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවකින් බලයෙන් පහ කළ නොහැකි, අගමැති සහ අමාත්‍ය මණ්ඩලය තම හමුදා බල ඇණියේ ලුතිනන්වරු බවට පත් කර ගත හැකි, රාජ්‍යයේ සියලු ප්‍රධාන අංශයන් සඳහා ප්‍රධානීන් සිය සිතැඟි අනුව පත් කරන, රාජ්‍ය පරිපාලනය තම අණසකට ගත හැකි විධායක ජනාධිපති ධූරයක් 1978 ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලදි.

ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයන්ගේ නියත බහූතරයක් ලබා ගැනීමට අවස්ථාව සැලසූ බැවින් ජනාධිපතිවරයාට ඉතා බලගතු විධායකයකු වීමට අවශ්‍ය ජනතා සහයෝගය ගොනු කර ගැනීමට අවස්ථාව දුන්නේය. ඒකීය රාජ්‍යය සහ ජනතාවගේ පරමාධිපත්‍යය යන මූලධර්ම යොදාගෙන බලවත්වූ ජනාධිපති විධායක තනතුර පසුකාලයේ දිවයිනේ දකුණේ සහ උතුරේ ඇතිවූ රාජ්‍ය විරෝධි ප්‍රචණ්ඩ කැරලි ගැසීම් වලට මුහුණ දීම තුළ උත්කෘෂ්ඨත්වයට නැංවීමට බලයේ සිටි පාලකයන් විසින් පියවර ගන්නා ලදි. එමගින් ජනාධිපති තනතුරට අපේ දේශපාලන ක්‍රමය තුළ ශක්තිමත් තත්වයක් හිමි කර ගැනීමට පදනම වැටුනි.

එහෙත් සමහර ජනාධිපතිවරු සිය පුද්ගලික අවශ්‍යතා සහ පක්ෂයේ බලය සඳහා එම තනතුර යොදා ගැනීමට සිදුකළ ක්‍රියාවන් නිසාත් විශේෂ ආර්ථික බලයක් ඇති පංතියක් බවට පත්වූ දේශපාලකයන් රාජ්‍ය සම්පත් සූරාකෑම සඳහා එය රැකවරණයක් වශයෙන් එම තනතුර යොදා ගැනීමට ගනු ලැබූ පියවරයන් නිසා එම තනතුර සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාශයන් සමග අනිවාර්ය ප්‍රතිවිරෝධයක් ඇති කර ගත්තේය.

1978 සිට බලයේ සිටි සමහර ජනාධිපති පාලන සමයන්වලදී ලැබුනු අත්දැකීම් නිසා එම තනතුර මර්දනය, භීෂණය සහ දූෂණය යන පාඨයන් සමග සම්බන්ධ කිරිම 1994 වන විට සිදුවිය. ජනාධිපති විධායකය අහෝසි කිරීම 1982 ජනාධිපතිවරණයේ දී ඉදිරියට පැමිණි අතර 1994 සිට එය ස්ථාවර සටන් පාඨයක් බවට පත්විය.

ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වය

1978 ව්‍යවස්ථාව මේ අන්දමට හොඳ පාලන ක්‍රමය යයි ඇරිස්ටෝටල් විසින් හඳුන්වාදුන් ව්‍යවස්ථානුකූල පාලනය (Polity) නොව ඔහු විසින් ප්‍රතිකේෂප කළ ‘ශුද්ධ ප්‍රජාතන්ත්‍රවාදය’ යොදා ගෙන ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයකට ගමන් කිරීම පහසු කරන පාලන ක්‍රමයක් සඳහා පාර කැපුවේය.

2015 දී සම්මත කළ 19වන සංශෝධනය ගැන මෙතැන දී සටහනක් තැබිය යුතුය. එම සංශෝධනය විධායක විනිශ්චයනකාරවරු, ප්‍රධාන රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය කොමිසන් සභා පත් කිරීමට ජනාධිපති සතුව පැවති ස්වාධිකාරය සීමා කළේය. එය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පැවති ‘වසරක කාලයක’ සීමාව වසර හතරහමාරක් දක්වා දික් කළේය. මූලික අයිතිවාසිකමක් කඩ කිරීම මුල් කරගෙන නීතිපති මුල් කරගෙන ජනාධිපති විසින් සිදුකළ ක්‍රියාවක් අධිකරණ විමර්ශණයකට ලක් කිරීමට අවස්ථාව සැලසීය. පසුගිය ඔක්තෝබර්-නොවැම්බර් වකවානුවේ දී විධායක ජනාධිපිති ධූරයට අයත් පැරණි බලතල වලට ආපසු යාමට දැරූ උත්සාහය අසාර්ථක කිරීමට අධිකරණය විසින් කරන දෙන ලද නඩු තීන්දුවලට හැකිවූයේ මේ නිසාය. මෙම සතියේ දී ශ්‍රේෂ්ඨිධිකරණ විනිශ්චයකාරවරු පත් කිරීමේ දී ආන්ඩුක්‍රම ව්‍ය ස්ථාසභාව විසින් ගනු ලැබූ තීරණ වලදී ද පෙන්වා තිබෙන්නේ මෙයයි.

මේ මගින් රනිල් වික්‍රමසිංහ ආන්ඩුව සිය බලය රැක ගැනීමට සමත්වූ බව පෙනුනත් එය පිටුපසින් ආරක්ෂාවූ මූලධර්මය අප විසින් වටහා ගත යුතුය. එය නම් හිතුවක්කාරි ලෙස ව්‍යවස්ථාව ඉක්මවා යාමට විධායක සහ ව්‍යවස්ථාදායක බලය දරන අය – ජනාධිපති විධායකය පමණක් නොව කැබිනට් විධායකය ද – ක්‍රියාකළහොත් ව්‍යවස්ථාව විසින් එය පාලනය කිරීමට අධිකරණයට අවස්ථාව සලසා දී තිබෙන බවය.

අධිකරණ විනිශ්චයකාරවරු ස්වාධීනව තීරණ ගත හැකි ශක්තිමත් ස්වීයත්යක් ඇති අයවීම පමණක් නොව අධිකරණයේ එම ශක්තිය ආරක්ෂා කර දීමට ජනතා මැදිහත්වීම ද අවශ්‍යවන බව පසු ගිය කාලයේ අත් දැකීම් පෙන්වා දී ඇත.

(මෙම ලිපි ‌පෙළ උපුටා ගැනුණේ මහාචාර්ය නවරත්න බන්ඩාරගේ මුහුණු ‌ ‌පොතිනි.)

Back to Top