Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගසිවිල් සමාජ ඒකාබද්ධ ප්‍රකාශණය: මිරුසුවිල් සංහාරය – චූදිතයාට සමාව; වින්දිත පවුල්වලට කිසිදු වන්දි ගෙවීමක් නැත.

සිවිල් සමාජ ඒකාබද්ධ ප්‍රකාශණය: මිරුසුවිල් සංහාරය – චූදිතයාට සමාව; වින්දිත පවුල්වලට කිසිදු වන්දි ගෙවීමක් නැත.

by

ඡායාරූපය ක්ෂමා ජාත්‍යන්තරයෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 මාර්තු 26 වන දින ජනාධිපති සමාවක් ලබා දී මරණ දඬුවම  නියම වූ සිරකරුවෙකු සහ සමූහ ඝාතකයෙකු වන හිටපු යුද හමුදා මාණ්ඩලික සැරයන් ආර්. එම්. සුනිල් රත්නායක නිදහස් කරන ලදී. COVID-19 හේතුවෙන් රට අගුළු දමා ඇති විටක, ජනාධිපතිවරයා මෙම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන ඇත්තේ සාහසික අපරාධවලට වගකිව යුතු  මිලිටරි අපරාධකරුවන් හට අපේ රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු ද නොතකා හරිමින්, ඉහළම මට්ටමින් ආවරණයක් ලබා දෙන බව පෙන්වීම සඳහා, නීතියේ ආධිපත්‍යයට මෙසේ මාරාන්තික පහරක් එල්ල කිරීමට යි.රත්නායකට සමාව දීමේ දී, පස් හැවිරිදි දරුවෙකු සහ තවත් අහිංසක සිවිල් වැසියන් හත් දෙනෙකු ඝාතනය කළ හැඟීම් විරහිත ඝාතකයෙකුට ජනාධිපතිවරයා සිය ආශිර්වාදය ලබා දී තිබේ.

ඝාතනයේ ඉතිහාසය

මිරුසුවිල් හි සිවිල් ඝාතන පිළිබඳ කතාව වසර විස්සක් අතීතයට දිව යයි – 2000 දෙසැම්බර් 19 වන දින, යෞවනයන් තිදෙනෙක් සහ පස් හැවිරිදි දරුවෙක් ද ඇතුළුව දෙමළ සිවිල් වැසියෝ 9 දෙනෙක්  උඩිපිඩ්ඩි සිට ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය නගරයේ සිට සැතපුම් 16 ක් දුරින් පිහිටි මිරුසුවිල් නම් ගම්මානය වෙත ගමන් කළහ. සිවිල් යුද්ධය හේතුවෙන් උඩිපිඩ්ඩි කඳවුරක නැවත පදිංචි කරන ලැබූ මෙම පුද්ගලයින්ගේ අවතැන් වීමට පෙර සිටියේ මිරුසුවිල් ගම්මානයේ ය. අවතැන් වූ පවුල්වල සාමාජිකයෝ තම නිවෙස් බැලීමට යාමේ දී ශ්‍රී ලංකා හමුදාවෙන් අවසර ලබා ගෙන සිය නිවෙස් බලා ගොස් නැවත පැමිණීමට පුරුදුව සිටියහ. නමුත් මේ දිනයේදී  ගමට ගිය අය නැවත පැමිණියේ නැත. නව දෙනාගෙන් අට දෙනෙකු ශ්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කරන ලද බව ඉතා ඉක්මනින් දැන ගැනීමට ලැබුනි.

2000 දෙසැම්බර් 24 වන දින අතුරුදහන් වූවන්ගෙන් එක් අයෙක් සිද්ධිය විස්තර කර ඉතිරි අට දෙනා සිටින ස්ථානය පිළිබඳ තොරතුරු ලබා දුන්නේ ය. ඔහුගේ සාක්ෂි මත පොලිසිය සහ මහේස්ත්‍රාත්වරයා එම ස්ථානයට ගිය විට වැසිකිළි වළේ සත්ව ඇටසැකිල්ලක් හැර වෙනත් සිරුරු නොතිබුණි. ඉන්පසු හමුදාපොලිසිය විසින් ප්‍රදේශයේ රාජකාරියේ යෙදී සිටි පුද්ගලයින් අත්අඩංගුවට ගත් විට මළ සිරුරු වැසිකිළි වළෙන් ඉවත් කර වෙනත් තැනක වළලනු ලැබූ බව සඳහන් කරමින් සාජන් ආර්.එම්. සුනිල් රත්නායක හමුදා පොලිසියට ප්‍රකාශයක් ලබා දුන්නේ ය. ඉන්පසුව පොලිසිය සහ මහේස්ත්‍රාත්වරයා විසින් වල දමන ලද ස්ථානයට ගොස් මළ සිරුරු ගොඩට ගනු ලැබීය. දෑස් ගැටගසා උගුරු දණ්ඩ කපා දමා තිබූ පිරිමි සිව්දෙනෙකු සහ දරුවන් හතර දෙනෙකු එහි දී දක්නට ලැබිණි. සමහර මළ සිරුරුවල අත් සහ කකුල් කපා දමා තිබුණි.

එකම පවුලක සිව්දෙනෙක්

මියගිය අය පවුල් හතරකට අයත් වූවන් විය. එක් පවුලකට වයස අවුරුදු 13 සහ 5 අතර දරුවන් ද ඇතුළුව සාමාජිකයින් සිව් දෙනෙකු අහිමි වී තිබුණි. තවත් පවුල් දෙකකට පවුලට ජීවිකාව උපයා දෙන්නන් අහිමි වී තිබිණ.

යුක්තිය පසිඳ ලීමට දශකයකට වැඩි කාලයක් ගත වූ නමුත්, සියලු අභියෝගයන් ජයගෙන අවසානයේ දී විනිශ්චය ලබා දෙන ලදී. 2015 ජුනි 24 වන දින, නඩුවේ තීරණය ලැබෙන තුරු ඇප මත සිටි හිටපු හමුදා සැරයන් ආර්. එම්. සුනිල් රත්නායක සිවිල් වැසියන් අට දෙනා ඝාතනය කිරීමේ චෝදනාවට වැරදිකරු වූ අතර කොළඹ දී පැවති මහාධිකරණ විනිසුරුවන් තිදෙනෙකුගෙන් සමන්විත නඩු විභාගයක දී මරණ දඬුවමට නියම විය. එම තීන්දුවට එරෙහිව ගෙන ආ අභියාචනයක දී පස් දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් 2019 අප්‍රේල් 25 වන දින ඒකමතිකව වරදකාරීත්වය තහවුරු කර දඬුවම් නියම කිරීම කරන ලදී. සාජන් ආර්.එම්. සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබාදීමෙන්, බලය අයුතු ලෙස භාවිතා කර ඇති අතර යුක්තිය අත්හැර දමා තිබේ. වාර්ගික අවිශ්වාසය යුද්ධයක් දක්වා දුර දිග යාමට ඉඩ දෙමින්, මිලිටරි අපරාධකරුවන් පිළිබඳව කලාතුරකින් පමණක් වග වීමට ලක් කර ඇති මෙවැනි රටක දී, අපේ ජාතියේ ඉහළම අධිකරණය විසින් වැරදිකරු බව තීරණය කළ, සැබවින්ම වරදකරුවන් වී ඇති පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකුට, ජනාධිපතිවරයා විසින් මෙසේ සමාව ලබා දී තිබේ. එකී සමාව අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු අභියෝගයක් වන අතර මේ නිසා යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන් අතර ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය කෙරෙහි විශ්වාසය නැතිවීම සහ විශ්වාසය තවදුරටත් සෝදා පාළුවට ලක් වීම සිදු වනු ඇත.

දුප්පත්කමින් හා මැනිය නොහැකි පුද්ගලික අහිමිවීම්වලින් සෘජුවම පීඩාවට පත් වූ පවුල් හතරකට යුක්තිය ගැන තිබූ කුඩා අස්වැසිල්ල ද සොරකම් කර උදුරාගෙන තිබේ. ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව දිවි ගලවා ගත් එකම සාක්ෂිකරු වෙත රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් පැමිණි අවස්ථාවේ දී, චූදිතයා නිදහස් කරනු ලැබුවහොත් තමන්ට කිසිදු ආරක්ෂාවක් නැති බවට ඔහු සිය බය පළ කොට තිබුණි. දැන් එම තර්ජනය සැබෑවක්ව පවතින අතර අපගේ නීති සහ ව්‍යුහයන් ඔහුව ආරක්ෂා කිරීමට කිසිසේත්ම සන්නද්ධ නැත. තම දිවි පෙවත සළසන්නන් අහිමි කරවා දිවි ඇති තෙක් දිළිඳුභාවට හෙලා ඇති මෙවැනි මියගිය අයගේ පවුල්වලට වන්දි ගෙවීමක් හෝ හානිපූරණ ගෙවීමක් වසර ගණනාවක් තිස්සේ රජය හෝ රජයේ බලධාරීන් විසින් නොකිරීම කනගාටුවට කාරණයක් මෙන්ම ජාතික ඛේදවාචකයක් ද වේ.

ගිනි අවුලවන මැතිවරණ ‌පොරෙන්දුව

ජනාධිපතිවරණයෙන් ඉක්බිතිව ප්‍රවෘත්ති මාධ්‍ය විසින් අනුමාන කළේ මිරුසුවිල් ඝාතකයාට ජනාධිපති සමාවක් ලබා දී නිදහස් කරනු ඇති බවයි. එවිට පීඩාවට පත් පවුල් දැඩි ලෙස කලබලයට පත් වී යාපනයේ මානව හිමිකම් කොමිසම වෙත සහ මාධ්‍ය වෙත පැමිණිලි කරන ලදී. මේ වන විට, රට අගුලු දමා ඇති හෙයින්, ඔවුන්ගේ අප්‍රසාදය හා පීඩාව ප්‍රදර්ශනය කිරීමට වින්දිතයන්ගේ පවුල්වලට හැකියාවක් නැත. COVID-19 වෙතින් රට බේරා ගන්නා බව මවා පාමින් සිටින ජනාධිපතිවරයා ඇත්ත වශයෙන්ම “රණවිරුවන්” සිරෙන් නිදහස් කිරීම පිළිබඳ ඔහුගේ ගිනි අවුලුවන මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට සිය ව්‍යවස්ථාමය බලතල භාවිතා කරමින් සිටියි.

මෙය සන්දර්භගත කිරීමේ දී, ශ්‍රී ලංකාව මේ මාසයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ බැඳීම් වලින් ඉවත් වීම, අතුරුදහන් වූවන් නොමැති බව සහ අතුරුදහන් වූවන් සියල්ලන්ම මියගොස් ඇතැයි විශ්වාස කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම, සහ ඔහුගේ රජය විසින් සැකයට ලක් වූ යුද අපරාධකරුවන් හමුදා අංශවල මෙහෙයුම් ප්‍රධානීන් ලෙස උසස් කිරීම මෙන්ම ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා COVID 19 ට එරෙහිව ගැළවුම්කරුවෙකු ලෙස හඳුන්වනු ලැබීම සැළකිල්ලට ගත යුතුය. එසේම හමුදාව වැඩි වැඩියෙන් සියලුම සිවිල් කටයුතුවලට සම්බන්ධ වී සිටිති. උතුරු පළාතේ පමණක් නව මාර්ග බාධක සහ මුරපොලවල් හඳුන්වා දී තිබේ. වැරදිකරු වූ සමූහ ඝාතකයෙකුට සමාව දී ජනාධිපතිවරයා විසින් නිදහස් කරනු ලැබ තිබේ.

බියජනක පණිවිඩය

මේ දෘෂ්ටි කෝණය අනුව, වැරදිකරුවකු වූ අපරාධකරුවෙකුට ජනාධිපති සමාව ලබා දීමේ ක්‍රියාව මගින් මහජනයාට ලබාදෙන  බියජනක ප්‍රබල පණිවුඩය වන්නේ, වරදෙහි බරපතලකම කුමක් වුවත්, අධිකරණය විසින් ඔවුන් වරදකරුවන් ලෙස නියම කළත්,  ආරක්ෂක හමුදාවන්හි වැරදිකරුවන්ට දඬුවම් නොලැබෙන බවත් හා ඔවුන්ට ඕනෑම අපරාධයක් කළ හැකි බවත් මෙන්ම, වාර්ගික ප්‍රජාවන්ට එරෙහිව සිදුකළ ඕනෑම අපරාධයකට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවකට ද දඬුවම් නොලැබෙනු ඇති බවත් ය. මේ වන විටත් දඬුවම් නොලබන ඉහළ බලයක් හිමිව සිටින පොලිසිය ඇතුළු ආරක්ෂක අංශවලට, අවසනාවන්ත සහ අවදානමට ලක්විය හැකි ජනතාවට එරෙහිව තවදුරටත් අපරාධ සිදුකිරීමට රජය විසින් ලබාදෙන රහසිගත දිරිගැන්වීම මෙයින් තවදුරටත් ධෛර්යමත් වනු ඇත. නීතියේ ආධිපත්‍යයට සහ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින සංවිධාන සහ පුද්ගලයින් වශයෙන්, සාජන් ආර්.එම්. සුනිල් රත්නායක වෙත ලබා දී ඇති ජනාධිපති සමාව අපි දැඩි ලෙස හා ඍජුවම හෙළා දකින අතර, මෙම ක්‍රියාව නිසැකවම සමාජය තවදුරටත් හමුදාකරණයට ලක් කිරීමට ද රටේ ප්‍රජාවන් අතර අසමගිය හා අවිශ්වාසයට ඇති කිරීමට ද හේතු වනු ඇති බව ප්‍රකාශ කරමු.

1. Centre for human Rights and Development (CHRD)

2. Women’s Action Network (WAN)

3. International Centre for Ethnic Studies (ICES)

4. Centre for Policy Alternatives (CPA)

5. Human Rights Office – Kandy

6. Human Elevation Organization (HEO)- Ampara

7. Law and Society Trust (LST)

8. Eastern Social Development Foundation (ESDF)

9. Mannar Women’s Development Federation (MWDF)

10. National Fisheries Solidarity Movement (NAFSO)

11. Affected Women’s Forum (AWF)- Ampara

12. Rural Development Foundation (RDF)

13. Institute of Social Development (ISD)- Kandy

14. Committee for the Protection of the Rights of Prisoners (CPRP)

15. INFORM Human Rights Documentation Centre

16. Federation of Media Employees’ Trade Unions

17. Centre for Justice and Change, Trincomalee

18. Rights Now – Collective for Democracy

19. Right to Life Human Rights Centre

20. Sri Lanka Working Journalists Association

21. Movement for Land and Agriculture Reform (MONLAR)

22. Families of the Disappeared

Back to Top