Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගපශ්චාත් කොරොන ලෝකය: යුවල් ‌නොහ් හරාරි

පශ්චාත් කොරොන ලෝකය: යුවල් ‌නොහ් හරාරි

by

(Photo couresy of steemit.com.)

මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදයේදී අපට විශේෂයෙන් වැදගත් තේරීම් දෙකකට මුහුණ දීමට සිදුවේ. පළමුවැන්න ඒකාධිපති සෝදිසිකිරීම සහ පුරවැසි සවිබල ගැන්වීම අතර ය. දෙවැන්න ජාතිකවාදී හුදකලාව සහ ගෝලීය සහයෝගීතාව අතර ය.

සම යට සෝදිසිය

වසංගතය නැවැත්වීම සඳහා, සමස්ත ජනගහනයම යම් මාර්ගෝපදේශයන්ට අනුකූල විය යුතුය. මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් තිබේ. එක් ක්‍රමයක් නම් රජය විසින් මිනිසුන් අධීක්ෂණය කිරීම සහ නීති කඩ කරන අයට දඩුවම් කිරීමයි. අද, මානව ඉතිහාසයේ පළමු වතාවට තාක්‍ෂණය මඟින් සෑම කෙනෙකුම සෑම විටම නිරීක්ෂණය කිරීමට හැකි වේ. ඒ සඳහා දැන් රජයන්ට සර්වබලධාරී සංවේදක සහ ප්‍රබල ඇල්ගොරිතම මත විශ්වාසය තැබිය හැකිය.

කොරොන වෛරස් වසංගතයට එරෙහි සටනේදී ආණ්ඩු කිහිපයක් දැනටමත් නව නිරීක්ෂණ මෙවලම් යොදවා තිබේ. වඩාත්ම කැපී පෙනෙන්නේ චීනයයි. මිනිසුන්ගේ ස්මාර්ට්ෆෝන් සමීපව අධීක්ෂණය කිරීමෙන්, මිලියන සිය ගණනක් මුහුණු හඳුනාගැනීමේ කැමරා භාවිතා කිරීමෙන් සහ ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය සහ වෛද්‍ය තත්ත්වය පරීක්ෂා කර වාර්තා කිරීමට මිනිසුන් බල කිරීම මගින් චීන බලධාරීන්ට සැක සහිත කොරෝනා වයිරස් වාහකයන් ඉක්මනින් හඳුනා ගැනීමට පමණක් නොව, ඔවුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කිරීමත් ඔවුන් සම්බන්ධ වූ ඕනෑම අයෙකු හඳුනා ගැනීමේ හැකියාව ලැබුණි. ජංගම යෙදුම් mobile apps පරාසයක්ම පුරවැසියන්ට ඔවුන් සමීපයේ සිටින ආසාදිත රෝගීන්ට ගැන අනතුරු අඟවයි.

මේ දක්වා, ඔබගේ ඇඟිල්ල ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයේ තිරය ස්පර්ශ කර සබැඳියක් ක්ලික් කළ විට, ඔබේ ඇඟිල්ල ක්ලික් කරන්නේ කුමක් දැයි දැන ගැනීමට රජයට අවශ්‍ය විය. නමුත් කෙරොන වයිරසය සමඟ, අවධානය වෙනතකට යොමු විය. දැන් රජයට අවශ්‍ය වන්නේ ඔබේ ඇඟිල්ලේ උෂ්ණත්වය සහ එහි සමට යටින් ඇති රුධිර පීඩනයයි.

හදිසිය නම් පුඩිම

අප ගැන කොතරම් සෝදිසියක් පවතින්නේදැයි තීරණය කිරීමේ දී අප මුහුණ දෙන එක් ගැටළුවක් නම්, අප සෝදිසි කරන්නේ කෙසේද යන්න සහ ඉදිරි වසරවල ඇතිවිය හැකි දේ අප කිසිවෙකු හරියටම නොදැන සිටීමයි. සෝදිසි තාක්‍ෂණය කඩිනම් වේගයකින් සංවර්ධනය වෙමින් පවතින අතර මීට වසර 10 කට පෙර විද්‍යා ප්‍රබන්ධයක් ලෙස පෙනුණු දේ අද පැරණි ප්‍රවෘත්තියකි. චින්තන පර්යෝෂනයක් ලෙස, සෑම පුරවැසියෙකුම දවසේ පැය 24 පුරාම ශරීර උෂ්ණත්වය සහ හෘද ස්පන්දන වේගය නිරීක්ෂණය කරන ජෛවමිතික වළල්ලක් පැළඳිය යුතු යැයි සිතන උපකල්පිත රජයක් සැළකිල්ලට ගන්න. එහි ප්‍රතිපලයක් ලෙස ලැබෙන දත්ත රජයේ ඇල්ගොරිතම මගින් ගබඩා කර විශ්ලේෂණය කරනු ලැබේ. ඇල්ගොරිතම ඔබ දැන ගැනීමටත් පෙර ඔබ අසනීපයෙන් සිටින බව දැනගනු ඇති අතර ඔබ සිටි ස්ථානය සහ ඔබ මුණගැසුණේ කවුරුන්ද යන්න ඔවුන් දැන ගනු ඇත. ආසාදනයේ පුරුක් වහාම කෙටි කළ හැකි අතර එම පුරුක් සම්පූර්ණයෙන්ම කපා දැමීමට පවා හැකිය. තර්කාණුකූලව එවැනි ක්‍රමයක් මගින් වසංගතය දින කිහිපයක් ඇතුළත පැතිරීම නතර කළ හැකිය. පුදුමයි වගේ නේද?

අවාසිය නම්, මෙය භයානක නව සෝදිසි පද්ධතියකට නීත්‍යානුකූල භාවය ලබා දීමයි. උදාහරණයක් ලෙස, මම සීඑන්එන් සබැඳියකට වඩා ෆොක්ස් නිවුස් සබැඳියක් ක්ලික් කළ බව ඔබ දන්නේ නම්, එමඟින් මගේ දේශපාලන අදහස් සහ සමහර විට මා පෞරුෂය ගැන පවා ඔබට යමක් දැනගත හැකිය. නමුත් මම වීඩියෝ පටය නරඹන විට මගේ ශරීර උෂ්ණත්වය, රුධිර පීඩනය සහ හෘද ස්පන්දන වේගය කුමක් දැයි ඔබට නිරීක්ෂණය කළ හැකි නම්, මට සිනාසෙන්නේ කුමකට ද, මා අඩන්නේ කුමක් නිසාද, සහ මා සැබවින්ම කෝපයට පත් වන්නේ කුමන හේතු නිසාදැයි යන්න ඔබට දැන ගත හැකිය.

(Photo: .borrerexecutive.com)

අප නොදන්නා අප

කෝපය, ප්‍රීතිය, කම්මැලිකම සහ ආදරය යනු උණ සහ කැස්ස වැනි ජීව විද්‍යාත්මක සංසිද්ධීන් බව මතක තබා ගැනීම ඉතා වැදගත්ය. කැස්ස හදුනා ගන්නා තාක්‍ෂණයටම සිනහව හඳුනාගත හැකිය. සමාගම් සහ රජයන් අපගේ ජෛවමිතික දත්ත විශාල වශයෙන් රැස්කර ගැනීමට පටන් ගන්නේ නම්, අප අප දන්නා තරමට වඩා ඔවුන්ට අපව දැන හඳුනා ගත හැකිය. එවිට ඔවුන්ට අපගේ හැඟීම් පුරෝකථනය කිරීමට පමණක් නොව, අපගේ හැඟීම් හැසිරවීමට සහ ඔවුන්ට අවශ්‍ය ඕනෑම දෙයක් අපට විකුණා දැමිය හැකිය එය නිෂ්පාදනයක් වේවා නැත්නම් දේශපාලනඥයෙක් විය හැකිය. ජෛවමිතික අධීක්ෂණය මගින් කේම්බ්‍රිජ් ඇනලිටිකාහි දත්ත අනවසරයෙන් ලබාගැනීමේ උපක්‍රම ගල් යුගයේ දෙයක් බවට පත්කරයි. සෑම පුරවැසියෙකුටම දවසේ පැය 24 පුරාම ජෛවමිතික වළල්ලක් පැළඳිය යුතු යැයි නියම කරන 2030 උතුරු කොරියාව ගැන සිතන්න. ඔබ ශ්‍රේෂ්ඨ නායකයාගේ කතාවකට ඇහුම්කන් දෙනවිට වළල්ලට ලැබෙන්නේ කෝපයේ සංඥා නම්, ඒ ඔබේ අවසානය වනු ඇත.

කෙරොන වෛරස් ආසාදන බිංදුව දක්වා පහත වැටුණද, දත්ත පෙරේතකමින් පෙළෙන සමහර රජයන් දෙවන කොරෝනා වයිරස් රැල්ලකට බිය වන නිසා හෝ මධ්‍යම අප්‍රිකාවේ නව ඉබෝලා වික්‍රියා ඇති වන නිසා හෝ නිසා හෝ ජෛවමිතික නිරීක්ෂණ පද්ධති නිසි පරිදි දිගටම පවත්වා ගැනීමට අවශ්‍ය යැයි තර්ක කළ හැකිය. අපගේ පෞද්ගලිකත්වයට ඇති අයිතිය සම්බන්ධයෙන් මෑත වසරවල විශාල සටනක් ඇවිළෙමින් තිබේ. කෙරොන වෛරස් අර්බුදය එම සටනේ උච්චතම අවස්ථාව විය හැකිය. මක්නිසාද යත් පුද්ගලයන්ට පෞද්ගලිකත්වය සහ සෞඛ්‍යය අතර තෝරා ගැනීමට සිදු වූ විට කළ විට ඔවුන් බොහෝවිටම සෞඛ්‍යය තෝරා ගන්නවා ඇති නිසා ය.

ව්‍යාජ තේරීමක්

පුද්ගලිකත්වය සහ සෞඛ්‍යය අතරින් එකක් තෝරා ගැනීමට මිනිසුන්ගෙන් ඉල්ලා සිටීම ඇත්ත වශයෙන්ම ගැටලුවේ මුල වේ. මන්ද යත් මෙය ව්‍යාජ තේරීමක් නිසා ය. අපට පෞද්ගලිකත්වය සහ සෞඛ්‍යය යන දෙකම භුක්ති විඳිය හැකිය. එම අයිතිය තිබිය යුතුය. අපගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනිමින් සහ කෙරොන වෛරස් වසංගතය නැවැත්වීම පිනිස ඒකාධිපති සේදිසි තන්ත්‍රයන් ස්ථාපිත කිරීම වෙනුවට‍ පුරවැසියන් සවිබල ගැන්වීම අපට තෝරා ගත හැකිය. මෑත සතිවලදී, කොරොන වයිරස් වසංගතය පාලනය කිරීම සඳහා වඩාත් සාර්ථක උත්සාහයන් කිහිපයක් දකුණු කොරියාව, තායිවානය සහ සිංගප්පූරුව විසින් ක්‍රියාවට නංවන ලදී. මෙම රටවල් ලුහුබැඳීමේ/සෝදිසි යෙදුම් වලින් යම් ප්‍රයෝජනයක් ලබා ගත් නමුත්, පුළුල් රෝග පරීක්ෂාවන්, අවංක වාර්තාකරණය සහ හොඳින් දැනුවත්ව සිටින මහජනතාවගේ සහයෝගීතාවය මත බොහෝ සෙයින් විශ්වාසය තැබූහ.

ප්‍ර‍යෝජනවත් මාර්ගෝපදේශයන්ට අනුකූල වීමට මිනිසුන් පෙළඹවිය හැකි එකම ක්‍රමය මධ්‍යගත අධීක්ෂණය සහ දැඩි දඩුවම් නොවේ. මිනිසුන්ට විද්‍යාත්මක කරුණු පැවසූ විට සහ මහජනතාවට මෙම කරුණු පවසන ආණ්ඩුවේ බලධාරීන් ජනතාව විශ්වාස කරන විට, අධිපතියකු තම උරහිස් උඩින් බලා නොසිටිය ද පුරවැසියන්ට නිවැරදි දේ කළ හැකිය. ස්වයංඅභිප්‍රේරිත හා හොඳින් දැනුවත්ව සිටින ජනගහනයක් සාමාන්‍යයෙන් අණට යටත් කළ සහ නූගත් ජනගහනයකට වඩා බලවත් හා පලදායී වේ.

සබන් පොලීසිය

උදාහරණයක් ලෙස සබන් යොදා ඔබේ අත් සේදීම ගැන සලකා බලන්න. මෙය මානව සනීපාරක්ෂාවෙහි මෙතෙක් ලබා ඇති විශාලතම දියුණුවකි. මෙම සරල ක්‍රියාව සෑම වසරකම මිලියන ගණනක් ජීවිත බේරා ගනී. සබන් යොදා අත් සේදීමේ වැදගත්කම විද්‍යාඥයින් සොයාගත්තේ 19 වන සියවසේදී පමණය. එයට පෙර, වෛද්‍යවරුන් සහ හෙදියන් පවා අත් සේදීමකින් තොරව එක් ශල්‍යකර්මයකින් තවත් ශල්‍යකර්මයකට යොමු විය. අද දින බිලියන ගණනක් ජනයා අත් සෝදා ගන්නේ සබන් පොලිසියට බිය නිසා නොව, ඔවුන් කරුණු තේරුම් ගත් නිසා ය. වෛරස් හා බැක්ටීරියා ගැන අසා ඇති නිසා ත් මෙම ක්ශුද්‍ර ජීවීන් රෝග ඇති කරන බව මට වැටහී ඇති නිසාත් සබන් මගින් ඒවා ඉවත් කළ හැකි බව මම දන්නා නිසාත් මම සබන් සමඟ අත සෝදන්නෙමි,.

සාමාන්‍යයෙන්, වසර ගණනාවක් තිස්සේ ඛාදනය වී ඇති විශ්වාසය එක රැයකින් නැවත ගොඩනඟා ගත නොහැක. නමුත් මේ වනාහී සාමාන්‍ය කාලයක් නොවේ. අර්බුදකාරී මොහොතක, මනසද ඉක්මනින් වෙනස් විය හැකිය. ඔබට වසර ගණනාවක් තිස්සේ ඔබේ සහෝදර සහෝදරියන් සමඟ කටුක වාද විවාද තිබිය හැකි වුවත් යම් හදිසි අවස්ථාවක් සිදු වූ විට, ඔබ හදිසියේම විශ්වාසයේ හා මිත්‍රත්වයේ සැඟවුණු අවකාශයක් සොයා ගනිම්න ඔබ එකිනෙකාට උදව් කිරීමට ඉක්මන් වේ. සෝදිසි තන්ත්‍රයක් ගොඩනැගීම වෙනුවට විද්‍යාව, පොදු බලධාරීන් සහ මාධ්‍ය කෙරෙහි මිනිසුන්ගේ විශ්වාසය නැවත ගොඩනැංවීමට ප්‍රමාද නැත. අප අනිවාර්යයෙන්ම නව තාක්ෂණයන් ද භාවිතා කළ යුතුය, නමුත් මෙම තාක්ෂණයන් යොදා ගත යුත්තේ පුරවැසියන් සවිබල ගැන්වීමටය. මගේ ශරීර උෂ්ණත්වය සහ රුධිර පීඩනය අධීක්ෂණය කිරීමට මම එකහෙළා කැමැත්තෙමි. නමුත් එම දත්ත අධිකාරිවාදී රජයක් ඇති කිරීම සඳහා භාවිතා නොකළ යුතුය. ඒ වෙනුවට, එම දත්ත මගින් වඩාත් දැනුවත් පෞද්ගලික තේරීම් කිරීමටත්, රජය සිය තීරණ සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටීමටත් මට හැකි විය යුතුය.

පුරවැසි අභියෝගය

දවසේ පැය 24 පුරාම මගේ වෛද්‍ය තත්වය සොයා ගැනීමට මට හැකි නම්, මම අනෙක් පුද්ගලයින්ට සෞඛ්‍යයට තර්ජනයක් වී ඇත්ද යන්න පමණක් නොව, මගේ සෞඛ්‍යය පවත්වා ගැනීමට අවශ්‍ය කුමන පුරුදුද යන්නත් මට දැන ගැනීමට හැකිවනවා ඇත. කෙරොන වෛරසය පැතිරීම පිළිබඳ විශ්වාසදායක සංඛ්‍යාලේඛන වෙත ප්‍රවේශ වීමට සහ විශ්ලේෂණය කිරීමට මට හැකි නම්, ආණ්ඩුව මට සත්‍යය පවසනවාද යන්න මෙන්ම වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා නිවැරදි ප්‍රතිපත්ති අනුගමනය කරන්නේද යන්න විනිශ්චය කිරීමට මට හැකි වනු ඇත. පුද්ගලයන් සෝදිසි කිරීම් ගැන කතා කරන සෑම විටම, එකම සෝදිසි තාක්‍ෂණය බොහෝවිට පුද්ගලයන් අධීක්ෂණය කිරීම සඳහා ආණ්ඩුවලට පමණක් නොව, පුද්ගලයන්ට රජයන් අධීක්ෂණය කිරීමට ද භාවිතා කළ හැකි බව මතක තබා ගන්න.

මේ අනුව කොරෝනා වෛරස් වසංගතය පුරවැසිභාවය පිළිබඳ ප්‍රධාන පරීක්ෂණයකි. ඉදිරි දිනවලදී, අප සෑම කෙනෙකුම පදනම් විරහිත කුමන්ත්‍රණ න්‍යායන් සහ ස්වයං සේවයම කරගන්නා දේශපාලනඥයන් අභිබවා විද්‍යාත්මක දත්ත සහ සෞඛ්‍ය විශේෂඥයින් විශ්වාස කිරීම තෝරා ගත යුතුය. නිවැරදි තේරීමක් කිරීමට අප අපොහොසත් වුවහොත්, අපගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගත හැකි එකම ක්‍රමය මෙය යැයි සිතමින් අපගේ වටිනාම නිදහස අත්හිටුවා ගන්නවා ඇත.

(Photo:POLITICO MAGAZINE)

අපට ගෝලීය සැලැස්මක් අවශ්‍යයි

අප මුහුණ දෙන දෙවන වැදගත් තේරීම ජාතිකවාදී හුදකලාව සහ ගෝලීය සහයෝගීතාව අතර ය. වසංගතය මෙන්ම එහි ප්‍රතිලයක් ලෙස ඇති වන ආර්ථික අර්බුදය ද ගෝලීය ගැටලු ය. ඒවා ලදායී ලෙස විසඳිය හැක්කේ ගෝලීය සහයෝගීතාවයෙන් පමණි.

රටවල් විවෘතව තොරතුරු බෙදා ගැනීමට සූදානම් විය යුතු අතර නිහතමානීව උපදෙස් ලබා ගැනීමට කැමැති විය යුතුය. ඔවුන්ට ලැබෙන දත්ත සහ විශ්ලේශනයන් විශ්වාස කිරීමට හැකි විය යුතුය. වෛද්‍ය උපකරණ, විශේෂයෙන් පරීක්ෂණ කට්ටල සහ ශ්වසන යන්ත්‍ර, නිෂ්පාදනය කිරීම හා බෙදා හැරීම සඳහා ගෝලීය ප්‍රයත්නයක් ද අපට අවශ්‍යය. සෑම රටක්ම ඒවා දේශීයව කිරීමට උත්සාහ කිරීම සහ ලබා ගත හැකි තරම් ගබඩා කරගන්වා ‍ෙවනුව වෙනුවට, සම්බන්ධීකරණ ගෝලීය උත්සාහයක් මඟින් නිෂ්පාදනය වඩා වේගවත් කළ හැකි අතර ජීවිතාරක්ෂක උපකරණ වඩාත් සාධාරණ ලෙස බෙදා හැරීමට වගබලා ගත හැකිය. යුද්ධයකදී රටවල් ප්‍රධාන කර්මාන්ත ජනසතු කරනවා සේම, කොරොන වෛරසයට එරෙහි මානව යුද්ධය අපට තීරණාත්මක නිෂ්පාදන මාර්ග “මානවවීයකරණය” කිරීමට අවශ්‍ය විය හැකිය. පසුව තමරටට ආධාර අවශ්‍ය වුවහොත් වෙනත් රටවල් ඊට සහාය වනු ඇතැයි විශ්වායෙන් යුතුව කොරොන වෛරසය අසාදනය වූ රෝගීන් ස්වල්පයක් ඇති ධනවත් රටක් බොහෝ අවස්ථාවන්හි රෝගීන් බෙහෝ ප්‍රමාණයක් සිටින දිළිඳු රටකට අත්‍යවශය උපකරණ යැවීමට කැමැත්තෙන් සිටිය යුතු .

පළමුවෙන්ම හා ප්‍රධාන වශයෙන්, වෛරසය පරාජය කිරීම සඳහා අප ගෝලීය වශයෙන් තොරතුරු හුවමාරු කර ගත යුතුය. වෛරස් අභිබවා යන මිනිසුන් සතු විශාල වාසිය එයයි. චීනයේ කෙරොන වෛරසයකට සහ එක්සත් ජනපදයේ කෙරොන වෛරසයකට මිනිසුන්ට ආසාදනය කළ හැකි ආකාරය පිළිබඳ ඔත්තු හුවමාරු කර ගත නොහැක. නමුත් චීනයට කොරොන වෛරසය සහ එය සමඟ කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ වටිනා පාඩම් රාශියක් එක්සත් ජනපදයට ඉගැන්විය හැකිය. ඉතාලි වෛද්‍යවරයෙක් උදේ පාන්දර මිලාන්හිදී සොයාගත් දෙයින් සවස් වන විට ටෙහෙරානයේ ජීවිත බේරා ගත හැකිය. ප්‍රතිපත්ති කිහිපයක් අතර එක්සත් රාජධානියේ රජය කල්මරන විට, මීට මාසයකට පෙර එවැනිම උභතෝකෝටිකයකට මුහුණ දී ඇති කොරියානුවන්ගෙන් උපදෙස් ලබා ගත හැකිය. නමුත් මෙය සිදුවීමට නම් අපට ගෝලීය සහයෝගීතාවයේ සහ විශ්වාසයේ ස්වභාවයක් අවශ්‍ය වේ.

මනුෂ්‍යත්වය අභියස දැන් තේරීමක් තිබේ. අප අසමගි මඟෙහි ගමන් කරනවාද, නැතහොත් ගෝලීය සහයෝගීතාවයේ මාවත අනුගමනය කරමුද? අප අසමගිය තෝරා ගන්නේ නම්, එය විසින් අර්බුදය දීර්ඝ කරනවා පමණක් නොව, අනාගතයේ දී ඊටත් වඩා දරුණු ව්‍යසනයකට තුඩු දිය හැකි ය. අප ගෝලීය සහයෝගීතාවය තෝරා ගන්නේ නම්, එය කොරොන වෛරසයට එරෙහිව පමණක් නොව, 21 වන සියවසේදී මානව වර්ගයාට පහර දිය හැකි අනාගත වසංගත හා අර්බුදයන්ට එරෙහිව ජයග්‍රහණයක් වනවා ඇත.

https://www.ft.com/ හි පළ වූ Yuval Noah Harari: the world after coronavirus නම් ලිපියෙන් උපුටාගෙන පරිවර්ථනය කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි.

Yuval Noah Harari is author of ‘Sapiens’, ‘Homo Deus’ and ‘21 Lessons for the 21st Century’

Copyright © Yuval Noah Harari 2020

Back to Top