Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගදිනේශ් ගුණවර්ධන යළි ඉපදීම නොහොත් Born-again Dinesh Gunawardena – සුනන්ද දේශප්‍රිය

දිනේශ් ගුණවර්ධන යළි ඉපදීම නොහොත් Born-again Dinesh Gunawardena – සුනන්ද දේශප්‍රිය

by

ක්‍රිස්තියානි ආගම තුළම සිය ආගමික විශ්වාසයන් වෙනස්කර ගනිමින් ජේසුතුමා ගැලවුම්කරුවකු ලෙස පිළිගන්නා ලබ්දීන්ට බැදීම හැදින්වීම පිනිස, යළි ඉපදීම අරුතැති Born-again යන්න යොදා ගනු ලැබේ.

පසුගිය 27වනදා ජිනීවාහිදී ද එවැනි යළි ඉපදීමක් සිදු විය. ඒ ශ්‍රී ලංකාවේ විදේශ ඇමැති දිනේශ් ගුණවර්ධන මානව හිමිකම් ආරක්ෂකයකු ලෙස යළි ඉපදීම යි. ආගමික විශ්වාසයන් මත යළි ඉපදෙන පුද්ගලයින් මෙන් නොව දිනේශ් ගුණවර්ධන යළි ඉපදුනේ දේශපාලන රැවටිල්ලකට ය.

පළ නොකළ ප්‍රකාශය

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි දී පසුගිය පෙබරවාරි 26දින ගුණවර්ධන කළ කතාව අයකු හදුන්වා තිබුණේ ජිනීවා හෙල්ලීමක් ලෙස ය. ඔහු මානව හිමිකම් කවුන්සිලයට බඩ පිරෙන්නම දුන් බව එම ස්තෝත්‍ර ගායක ගායිකාවෝ රටට කීහ. 26දා ජිනීවා යෝජනාවන්ගෙන් ඉවත්වන බවට ඔහු කළ කතාව සිංහල බසින් ද විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කර තිබේ. එමෙන් ම ඔහු ඊට පසුදා එනම් 27දා මහ කොමාසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට ප්‍රතිචාර වශයෙන් ද කෙටි ප්‍රකාශයක් කළේ ය. කවුන්සිිලයට බාර දෙන ලද එම ප්‍රකාශයේ සම්පූර්ණ දීර්ඝ පිටපත හෝ සිංහල පරිවර්ථනයක් හෝ විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියේ නැත. දිනේශ් ගුණවර්ධනගේ යළි ඉපදීම තියෙන්නේ එම දීර්ඝ ප්‍රකාශයේ ය.

එම ප්‍රකාශයේ ඔහු මෙසේ කියයි:

පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කර ඇති ප්‍රතිසන්ධාන යාන්ත්‍රණ, එනම් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ හානි පූර්ණ කාර්යාලය රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව සුදුසු අනුවර්තනයන් සහිතව අඛණ්ඩව දිගටම පවත්වා ගෙන යනු ඇත.”

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිළිබඳ පනත පාර්ලිමේන්තුවෙහි සාකච්ජාවට ගැණුනේ 2016 වසරෙහි අගොස්තු 11 දාය. රාජපක්ෂවාදී විපක්ෂය එම විවාදයට ඉඩ දුන්නේ නැත. පාර්ලිමේන්තු සභා ගර්භය මැදට පැමිණ කෑ කොස්සන් ගැසූහ. කතානායක කරු ජයසූරිය පනත ගැන ජන්දයක් ඉල්ලා සිටි අවස්ථාවෙහි ද කළකට පෙර අතුරුදහන්වූවන් වෙනුවෙන් පෙළපාලි ගිය වාසුදේව නානායක්කාර සභාගර්භය මැද සිට දොා්හියෝ ද්‍රෝහියෝ යැයි කැ ගැසූවේ ය. ඔහුට අත්වැළ ඇලීමට පවිත්‍රා වන්නිආරච්චි ද මැදට පැමිණියා ය.

එම පනත සම්මත කරගන්නා ලද්දේ එම වියරු කෑ ගැසීම් සහ හූ හඩ මැදය. පනතට විරෝධය පළ කිරීමට කලු අත් පළදනා පැළද ඝෝෂාකරමින් සිටි රාජපක්ෂවාදී මංත්‍රීවරු ඡන්දයට සහභාගි නොවූහ.

ජිනීවා පැමිණ පාර්ලිමේන්තුවෙහි සම්මත වූ පනතකින් පිහිටුවන ලද බැවින් අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය දිගටම පවත්වා ගෙන යන බව කියන දිනේශ් ගුණවර්ධන පාර්ලිමේන්තුවෙහි දී කීවේ මෙසේ ය:

ඊයේ සම්මත වූ බවට ප්‍රකාශ කරන, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිළිබඳ පනත් ‍කෙටුම්පත .. වලංගු නැති නිසා, යළි එය පරීක්ෂණ කොට සලකා බැලීම සඳහා කටයුතු කළ යුතුය. මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්.

එම පාර්ශවය වෙනුවෙන් කතා කරමින් මංත්‍රී විමලවීර කීවේ මේ පනත් කෙටුම්පත ගෙන ඒමේ සැබෑ වුවමනාව ඉතිහාසයට යාම නොවෙයි. ජාත්‍යන්තර වුවමනාවටයි මේක කෙළේ.” (2016 අගෝ 12 හැන්සාඩ් වාර්තාව)

දැන් දිනේශ් ගුණවර්ධන ඉදිරියට ගෙන යාමට පොරොන්දු වූ අනෙක් ප්‍රතිසන්ධාන යාන්ත්‍රණය වන හානි පූර්ණ කාර්යාලය පිළිබඳ පනතට ඔහු ඇතුලු රාජපක්ෂවාදී කඳවුර දැක්වූ ප්‍රතිචාරය බලමු.

මෙම පනත පාර්ලිමේන්තුවෙහි සාකච්ජාවට ගැනුණේ 2018 ඔක්තා්ම්බර් 18වනදා ය. දිනේශ් ගුණවර්ධන ඇතුලු රාජපක්ෂවාදී විපක්ෂය එදා මෙම පනත හැදින්වූයේ රටට හානිකර දේශදෝහී පනතක් ලෙස ය. පනතට විරුද්ධව දිනේශ් ගුණවර්ධන ඇතුළු රාජපක්ෂවාදී විපක්ෂ මංත්‍රීවරු 49දෙනෙකු ඡන්දය දුන්හ. ඔවුන්ගේ අභිප්‍රාය වූයේ හානි පූර්ණ කාර්යාලය පිහිටුවීම සහමුලින්ම වැලැක්වීම ය.

එම විවාදයෙහි දී විපක්ෂය වෙනුවෙන් කතා කළ මංත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මෙසේ කීවේ ය: විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30/1 යෝජනාව අනුව තමයි මේ වැඩපිළිවෙල ඉදිරියට එන්නේ. හානි පුරණය කළ යුත්තේ සිවිල් ජනයාට පමණයි. ඔවුන් සිවිල් ජනයා යැ යි තීරණය කරන්නේ කෙසේ ද? මම බොහොම පැහැදිලිව කියන්නට ඕනෑ මේ රට විනාශ කරපු අයට වන්දි ගෙවන්න අත අස්සනවා නම් ඊට වඩා පාවාදීමක් කරන කණ්ඩායමක් සිටිනවාය කියා අපට සළකන්නට බැහැ.”

විපක්ෂය වෙනුවෙන් කතා කළ තවත් ජේෂ්ඨ මංත්‍රීවරයකු වූ අනුර ප්‍රියදර්ශන යාපා මෙසේ කීවේ ය: “මේ පනත ඇතුලේ හරිම ගුප්ත දෙයක් තියෙනවා කියලා මා අදහස් කරනවා. එක්තරා පුද්ගලයින් කන්ඩායමකට යි මේක කරන්න ඕනෑ. අනෙක් අය ඒ සම්න්බන්ධයෙන් විරෝධය පෑවොත් ඒ අය හිරේ දමා බලය රැක දෙන්න තමයි මේ පනත් කෙටුම්පත ගේන්නේ.” (2018ඔක්තෝබර් 10 හැන්සාඩ් වාර්තාව)

දැන් එදා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකව සිටිමින් හානිපූර්ණ කාර්යාලය පිහිටුවීම පිළිබඳ පනත් කෙටුම්පත පරාජය කිරීමට කටයුතු කළ දිනේශ් ගුණවර්ධන ජිනීවා පැමිණ පවසන්නේ තම ආණ්ඩුව එම කාර්යාල දිගටම පවත්වා ගන්නා බව ය. මෙම ප්‍රකාශය තනිකරම ඇස් බැන්දුමකි. මන්ද යත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මෙන්ම හානි පූර්ණ කාර්යාලය ද පවත්වා ගැනෙන්නේ “රජයේ ප්‍රතිපත්ති රාමුවට අනුකූලව සුදුසු අනුවර්තනයන් සහිතව” බවට ඊට අමුනා ඇති වගන්තිය නිසා ය. මෙම ප්‍රතිසන්ධාන කාර්යාල දෙකෙහි ම බලතල කප්පාදු කොට තමන්ගේ තනුවට නටන ආයතන බවට පත් කරගැනීම පමා වන්නේ මහා මැතිවරණය තෙක් පමණි.

අනුන්ගේ වැඩ තමන් නමට

විදේශ ඇමැතිවරයාගේ දිර්ඝ ප්‍රකාශයෙහි මානව හිමිකම් කවුන්සිලය කෙරෙහි ආන්ඩුව ගෙන ඇති සාධනීය ක්‍රියාමාර්ගයන් ලෙස දක්වන කරුණු මෙසේ ය:

“…. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ මෙම කවුන්සිලයේ නිත්‍ය ක්‍රියාදාමයන් සහ යාන්ත්‍රණයන් සමඟ අපි දිගටම පලදායී ආකාරයකින් කටයුතු කරන්නෙමු. මෙම කවුන්සිලය දන්නා පරිදි, පසුගිය වසර 6 තුළ පෙර නොවූ විරූ පරිදි විශේෂ ක්‍රියා පටිපාටි (Special Procedures, එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන්) සහ ගිවිසුම් ආයතන (Treaty Bodies) යාන්ත්‍රණයන් වාර 10 කට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට පැමිනියහමෙම කටයුත්ත අඛණ්ඩව කරගෙන යමින් අධ්‍යාපන අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු මේ වසරේ ජුනිජූලි මාසවලදී ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.”

මොන තරම් කපටිකමක්ද? 2015 රාජපක්ෂවරුන් බලයෙන් පහවන විට එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන් අට දෙනෙකු විසින් ශ්‍රී ලංකාවේ නිරීක්ෂනයන් පිනිස පැමිනීමට කරන ලද ඉල්ලීම් අත්හිටවා තිබුණි. මෙම විශේෂ වාර්තාකරුවන්ට ශ්‍රී ලංකාවේ නිරික්ෂනයන් පිනිස පැමිනිම පිනිස විවෘත ආරාධනයක් කර ලද්දේ 2015 බලයට පැමිනි යහපාලන ආන්ඩුව විසිනි. උජාරුවෙන් යුතුව දිනේශ් ගුණවර්ධන කතා කරන මෙම සියලූ දිනා ගැනීම් අයත් වන්නේ එම ආන්ඩුවට යි. එකළ රාජපක්ෂවාදී දේශපාලනයින් ද ජනමාධ්‍ය ද මෙම එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින්ගේ නිරීක්ෂන සංචාර හදුන්වන ලද්දේ රට පාවාදීමක් ලෙස ය. පූනි මාසයේ දී පැමිනීමට නියමිත අධ්‍යාපන අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරුට ආරාධනා කරන ලද්දේ ද පසුගිය ආන්ඩුව විසිනි.

තවත් අපූරු ප්‍රකාශයක්

දිනේශ් ගුණවර්ධන විසින් කරන ලද තවත් අපූරු ප්‍රකාශයක් මෙසේ ය:

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම වැනි වැදගත් ස්වාධීන ආයතන ශක්තිමත් කිරීමට කටයුතු කරනවා ඇත.” පුදුම නමුත් ඇත්තට ම ඔහුගේ ප්‍රකාශයේ එවැනි පොරොන්දුවක් තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජපක්ෂ සමයෙහි පැවැතියේ රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියක් ලෙස මිස ස්වාධීන මානව හිමිකම් ආයතනයක් ලෙස නොවේ. මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික ආයතනවල ජාත්‍යන්තර සම්බන්ධීකරණ කමිටුව විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ස්වාධීන එකක් යැයි පිළිගත්තේ නැත. එහි තත්වය පවා පහත හෙළා තිබුණි. ඊට එක් හේතුවක් වුයේ 2010 සැප්තැම්බරයේදී සම්මත කරන ලද 18වන සංසෝධනය මගින් එම කොමිසම පත්කිරීමේ සම්පුර්ණ බලය ජනාධිපති රාජපක්ෂ අතට ගෙන තිබූ නිසා ය.

2011 ජූනි 21 දින පාර්ලිමේන්තුවෙහි කතා කරමින් එවකට විපක්ෂ මංත්‍රීවරයකු වූ ලක්ෂ්මන් කිරිඇල්ල පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙහි තීරණවලින් සියයට 99ක් ම ක්‍රියාත්මක කර නොතිබූ බවයි. මෙරට මානව හිමිකම් කොමිසම ස්වාධීන ආයතනයක් බවට පත් කැරුනේ යහපාලන ආන්ඩුවේ 19වන සංසෝධනය නිසා ය. එයට අන්තර් ජාතික පිළිගැනීම ලැබුණේ ඉන් පසුව ය.

18වන සංසෝධනය මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඇතුලු අනෙක් ස්වාධීන ආයතන ජනාධිපතිගේ තනි කැමැත්ත යටතට ගත් සහ දැන් යලිත් වතාවක් 19වන සංසෝධනය අහෝසිකර එම තත්වයම ඇති කිරීමට දතකට හපාගෙන සිටින ආන්ඩුවක ප්‍රධානියකු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවෙහි එම ආයතන ශක්තිමත් කරන බවට පොරොන්දු වීම අප බාරගත යුත්තේ අපරාධකාරී කපටිකමක් ලෙස නොවේ ද?

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ කොමිසම ද ශක්තිමත් කරන බවට ගුණවර්ධන මහතා පොරොන්දු විය. ඇත්තටම නම් ඔහුට ඔහුගේම අතීතය අමතක වී තිබේ.

එවකට විපක්ෂයේ සිටි මංත්‍රීවරයකු වූ කරු ජයසූරිය 2011 ජූනි 21වන දා තොරතුරු දැනගැනීම පිළිබඳ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුට ඉදිරිපත් කළේ ය. දිනේශ් ගුණවර්ධන එවකට ප්‍රධාන පෙළේ ඇමැතිවරයකු විය. කරු ජයසූරිය විසින් ඉදිරිපත් කළ පනතට උග්‍ර විරෝධයක් දැක්වූ දිනේශ් ගුණවර්ධන එය කිසිසේත්ම සාකච්ජාවට ගැනීමට ඉඩ දුන්නේ නැත. දිනේශ් ගුණවර්ධන කියා සිටියේ ඔවුන් පනතක් ගෙන එන බැවින් කරු ජයසූරියගේ පනත ඉල්ලා අස්කරගත යුතු බවය. එම අවස්ථාවෙහි ආන්ඩුවේ ප්‍රධාන ඇමැතිවරයකු “මෙම පනත අනවශ්‍ය එකක් බැවින් ද ආන්ඩුව යනු අප බැවින් ද එය පාර්ලිමේන්තුව අසළට ගෙන ඒමටවත් තමා ඉඩ නොතබන” බවට අපහාසාත්මකව කතා කළ බව කරු ජයසූරිය පුවත්පතකට ප්‍රකාශ කර තිබුණි. නමුත් රාජපක්ෂ ආන්ඩුව 2015 දී පරාජය වන තුරුම එවැනි පනතක් ඉදිරිපත් කළේ නැත. කරු ජයසූරිය දෙවැනි වරට එම පනතම ඉදිරිපත් කළ විට ද එය කෑ කොස්සන් ගසා යටපත් කළෝ ය.

දැන් දිනේශ් ගුණවර්ධනට තොරතුරු දැන ගැනීමේ පනතට තමා දැක් වූ විරෝධය අමතක වී ඇත්ද? නැත්නම් කරන්නේ හොර ගල් ඇහිලීමක් ද?

ජිනීවාහි දී දිනේශ් ගුණවර්ධන දුන් තවත් පොරොන්දුවක් වූයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට යෝග්‍ය සංසෝධන ගෙන එන බවයි. පසුගිය ආන්ඩුව ගෙන ඒමට උත්සාහ කළ ප්‍රතිත්‍රස්ත පනතට රාජපක්ෂවරුන් දැක් වූ විරෝධය දෙස බලන විට දැන් ගෙන එනු ඇත්තේ කුමන සංසෝධන දැයි සිතා ගත හැකි ය.

තමන් විසින් ම මෙන්ම තම දේශපාලන නායකයින් විසින් ප්‍රසිද්ධියේ විරෝධය පෑ, පසුගිය ආන්ඩුවේ තරමක හෝ සාධනීය පියවර ඉදිරියට ගෙන යන බවට වංචාකාරී ලෙස හෝ අන්තර් ජාතික ප්‍රජාව හමුවෙහි ප්‍රකාශ කිරීමට අයකු යළි ඉපදිය යුතු නොවේ ද?

මෙම පොරොන්දු කිසිවක් තඹ සතයකටවත් විශ්වාස නොකළ යුතු බවට ඇති හොදම සාක්ෂිය ඉහත කෙටියෙන් දැක් වූ දිනේශ් ගුණවර්ධනලාගේ ම අතීත හැසිරීමයි.

Back to Top