Sunday, October 25, 2020

ජාතිවාදය නිසඟයෙන්ම අධිපතිවාදීය. ඒකාධිපතිවාදීය. අපරාධකාරීය. අද සටන ඇත්තේ ඊට එරෙහිවයි- රංජිත් හේනායකආරච්චි

ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය අප රටේ ප්‍රධාන සමාජ හරයන් බව කියවෙන නමුත් ඇත්තෙන්ම මේ සමාජ ලක්ෂණයන් අද වන විට අප අතර තිබේද? නැත. රටෙහි සුළුතර ජන කණ්ඩායම් වලට පමණක් නොව රටෙන් පිට සිට මෙරටට පැමිණෙන සරණාගතයින් වැනි පුද්ගලයින්ට අප සලකන්නේ කෙසේද? අපේ ආගන්තුක සත්කාරය රසවිඳිය හැක්කේ අපට මුදල් රැගෙන පැමිණෙන මිනිසුන්ට පමණද? රොහින්ගියා සරණාගතයන් හෝ වෙනත් රටකින් පැමිණෙන අතමිට හිඟ මිනිස්සුන්ට අපේ සැලකීම කෙසේද? දේශපාලන සරනාගත පතන පකිස්තානුවනට අපේ සැලකීම කෙබඳුද? අපේ ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය ඇති හැකි අයට පමනද? අපේ ආගන්තුක සත්කාරය සහ මිත්‍රශීලී භාවය මැනිය හැක්කේ ආරක්ෂාවක් නැති මිනිසුන්ට අප දක්වන මිතුරු බව තුලින් මිස, ඔවුනට දෙන ආරක්ෂාවෙන් මිස, අපට මුදල් වාසි රැගෙන පැමිණෙන අපේ මඩිය තරකර ගැනීමට උපකාරකයක් වන පුද්ගලයින් වෙත අප දක්වන මිත්‍රශීලී බව තුලින් නොවේ. එසේ අපට වාසි ගෙනෙන අයට පමනක් සැලකීම ආගන්තුක සත්කාරයකට වඩා ව්‍යාපාර කමනාකරයකි.

අපේ සමාජයේ සැබෑ රූපය අප රට ඇතුලට මෙන්ම පිටරට වලට ද පෙන්නුම් කරන්නේ එදිනෙදා කෙරෙන මහා වංචාවල්, මුදල් යටි මඩි ගසා ගැනීම් අල්ලස් දූෂන වැනි ක්‍රියාවන්හි ඇති මජරබව තුලිනි. රටෙහි ප්‍රධාන පුරවැසියන් මෙන්ම නීතියේ ආධිපත්‍ය සඳහා ක්‍රියා කළ යුතු ආයතනයන් විසින් ද දවසින් දවස කරන වංචා සහ මගඩි ආදිය විසඳීමට ගන්නා පියවරයන්හි ස්වරූපය ඇත්ත වශයෙන්ම විහිළු සහගත බවක් පෙන්නුම් කරයි.

[title]ඊර්ෂ්‍යාව, කුහකත්වය සහ වෛරය[/title]

ඊර්ෂ්‍යාව, කුහකත්වය, වෛරය සමාජයේ එදිනෙදා ගාමක බලවේගය බවට පත්වී ඇති අතර අප අපවම රවටා ගැනීමේ මෝඩකම් වලින් සමාජය වැසී අවසානය. මේ සියල්ලෙහි මූලික හරය වී ඇත්තේ එසේ නැත්නම් මේ සියල්ලට මූලිකම හේතුව වන්නේ ජාතිවාදී අයුරකින් සමාජය ලෝකය දෙස බැලීමට හුරු කර ඇති බවයි. මෙය අද වනවිට පුළුල් ලෙස සමාජගත කර ඇති මානසික මට්ටමකි. දෑස් වසාගත් සමාජයක්, එකිනෙකා ගැන සැකයෙන් බලන සමාජයක්, තම අසල්වැසියා ගැන සැකකරන එකිනෙකාගෙන් වෙන්කර ඇති සමාජයක්, ඒ වගේම දිනෙන් දින පිරිසිදු ශුද්ධ වූ බවක් එසේ නැත්නම් ශුද්ධවූ වර්ගයක් සොයමින් යන සමාජයක් පැහැදිලිවම ජාතියක් වශයෙන් එකිනෙකා භේද භින්න වී සිටීම සාමාන්‍ය දෙයකි.

ඉතා හොඳින් සිතා බලා විදහා පෙන්වන සක්තිමත් පූර්ව නිගමනයන් රාසියක් අප එකිනෙකා මත පටවා ඇති හෙයින් අප අපවම අනෙකාගෙන් වෙන් කරගනු ලබයි.මේ සිතිවිලි විසින්ම අප අපට මවාගත් සතුරකුපෙන්වා ගනිමින් රටේ සියලු අයිතීන්, ප්‍රජාතන්ත්‍රවාදී හෝ මිනිස් අයිතීන් සියල්ල අපම වළලා ගනී. වෛරය සෑම විටම විෂ පිරුණු ආයුධයකි. මිනිස් සමාජයක් වශයෙන් අප තුළ තිබූ ආදරණීය හැඟීම් සහ සහයෝගීතාවය වාගේම එකිනෙකා කෙරෙහි ඇතිකරගන්නා දයාබර බව මෙම වෛරී හැඟීම් තුළින් විනාශ කර දමා ඇත.

සහයෝගීතාවය සහ අනෙකා පිළිබඳ කරුණාව මෙන්ම අනෙකා දෙස මානුෂිකව බැලීම යන කාරණා “දුර්වලකමක්” යයි ජනප්‍රියවාදීන් සහ ජාතිවාදීන් මතයක් ලෙස ප්‍රචලිත කරන අතර ජාතිවාදීන් විසින් අනාරක්ෂිතබව යන්න එතැනට ආදේශකර සමාජයෙන් අනෙකාට ගරු කිරීම සහ ඉවසීම ඉවතට ඇද දමා ඇත. අප සමාජය අපටත් නොදැනීම, අප හුවා දක්වන සමාජ හරයන්, එසේ නැත්නම් මිනිසුන් එකිනෙකා වෙත දක්වන සහයෝගීතාවය සහ දයාබර බව ආදි ගුණාංගයන්ගෙන් විශාල හිඩසක් ඇතිකර ඇති අතර ජාතිවාදීන් සහ ජනප්‍රිය වාදීන් විසින් සමාජගත කර ඇති බිය සහ අනාරක්ෂිත බව වැනි කාරණා තුළ තම ඔලුගෙඩි හිර කරගෙන සිටී.

එපමනක් නොව බියෙන් නිදහස් වීමට නම්, අපගේ ආරක්ෂාව සකස් කරගැනීමට නම්, අප මේ සමාජගත කර ඇති වෛරය, සැකය සහ සමාජ කුහකත්වය තුළ ස්ථිරව පැවතිය යුතු යැයි අපම අපට ශපථ කරගෙන ඇත. මෙසේ ආරක්ෂිත බව සොයන බියට පත් වී සිටින සියලු දෙනා ජාතිවාදී වෛරයෙන් පෙළෙනවුන් නොවනමුත් ඔවුන් ජාතිවාදී වෛරයේ විස පතුරු වන්නන්ගේ මතයන් සමග බැඳී ඇත්තේ මේ පිළිබඳ සිතා බැලීමකින් තොරවය.

[title]තනිව පැවතිය නොහැකි ය[/title]

මෙම ජනප්‍රියවාදී මත වපුරන්නන්ට අනුව මුළු ලෝකයම සැදී පැහැදී සිටින්නේ මේ අපේ පුංචි දිවයිනේ සිංහල බෞද්ධ රාජ්‍යය සහ සංස්කෘතිය විනාශ කර දැමීමට ය. එයින් නිදහස් වීමට ලෝකයට බැන අඬ ගැසීම මෙම ජනප්‍රිය වාදීන්ගේ ගති ස්වභාවය වන නමුත් ලෝකය අද පවතින තත්වය අනුව ලොව කිසිම රටකට තනිව පැවතිය නොහැකි බව ඔවුන් තේරුම් ගන්නේ නැත. එය අප වැනි පුංචි දූපතකට පමණක් නොව ඉතා විශාල රටකට වුවත් මේ වන විට පොදු ලක්ෂණයකි.

බොහෝවිට එක්කෝ අපි මුස්ලිම් විරෝධය, දෙමළ විරෝධය හෝ බටහිර විරෝධය වැනි සූත්‍ර සමාජගත කර ගෙන ඇත. එතුළින් සිදුවිය හැක්කේ අපේම දියුණුවට බාධාවක් මිස උපකාරයක් නම් නොවන බව සහතිකයි.

ජාතිවාදී සමාජ බලවේග හෝ ජාතිවාදී මිනිසුන් ඒ ඒ රටට අනුව ඒ ඒ කාරණාවන් තමන්ගේ ජාතිවාදය ජනප්‍රිය කිරීමට හේතු ලෙස ගෙන හැරපායි. ලංකාවේදී ඒ සඳහා සිංහල බෙෳද්ධ සුවිශේෂී බවත් මුස්ලිම් සහ දෙමළ විරෝධයත් වන විට, ඉන්දියාවේදී එය හින්දුන්ගේ ආදිපත්‍යබවට පත්වෙයි. ජර්මනියේදී ආර්ය ජර්මානු වර්ගයේ සුපිරිසිදුකම ැන කතාකරන අතර එංගලන්තයේදී සුදු මිනිසාගේ බල ආදිපත්‍යය ගැන නන්දොඩවති. මේ අයුරින් මෙම ජාතිවාදයේ වෛරී විෂ රටින් රටට වෙනස් වන අතරම එක හා සමානද වන්නේය. ඒ මේ සියල්ලන්ගේම න්‍යෂ්ඨිය ජාතිවාදය වීම නිසා ය.

ජාතිවාදය මූලික පදනම කරගත් දේශපාලන බලවේගයන් සෑමවිටම ඔවුන්ට සුවිශේෂ වූ හේතු ගෙන හැර පාන්නේ තම වර්ගයේ හෝ ආගමේ නැතිනම් තමන්ගේ හමේ පැහැය වැනි, එසේ නැත්නම් තවත් විශේෂිත හේතුවක් තම ජන කණ්ඩායමට ඇති බව හුවාදක්වමින් එය සුපිරි දෙයක් බව විදහා පාමින් එය ආරක්ෂා කරගැනීමේ යුතුකම තමන් සතු බවද පවසමිනි. ඒ වගේම මේ සෑම තැනකටම පොදු අනෙක් කාරණය වන්නේ ඒ ඒ සුවිශේෂී තත්ත්වය පෙන්වන අතරම එම සුවිශේෂී බලවේගය විනාශ කිරීමේ, විනාශ වී යෑමේ හෝ විනාශ කිරීමට මාන බලන බලවේගයන් සැදී පැහැදී සිටින්නේයයි කියමින් එයට එරෙහිව ඒකරාශී විය යුතු බව දේශනා කිරීමෙනි. එතුළින් ඔවුහු තම වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය හෝ වෙනත් කාරණයක් මුල් කරගත් ජාතිවාදයක් ජනප්‍රිය ආයුධයක් ලෙස මුවහත් කරනු ලබති.

මෙම කාරණය ඉතිහාසයේ සිටි ජාතිවාදීන්ට සහ වර්ගවාදීන්ට, වර්තමානයේ සිටින ජාතිවාදීන්ට හෝ වර්ගවාදීන්ට, අනාගතයේ ඇති වීමට යන ජාතිවාදීන්ට හෝ වර්ගවාදීන්ට පොදු නියාමයකි. එනිසා ජාතිවාදය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි බලවේගයක් ලෙස එදා පැවතුනා මෙන්ම අදත් හෙටත් පවතී. ඒ වාගේම ජාතිවාදය  නිසගයෙන්ම අධිපතිවාදීය, ඒකාධිපතිවාදීය. එකකු කොන්කිරීම, අනෙකා යටපත් කිරීම මූලික වශයෙන්ම අපරාධයකි. අපරාධයට එරෙහිව සටන්වැදීම මානුෂීය ය. අද සාධාරනත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැදීම යනු ඉහත කී ඒකාධිපතීත්වයට එරෙහිව සටන් වැදීම වේ.

 

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...