Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකොවිඩ් 19: අප සූදානම් ද? – සුනන්ද දේශප්‍රිය

කොවිඩ් 19: අප සූදානම් ද? – සුනන්ද දේශප්‍රිය

by

ජීවිතයෙහි ඇති කවර දෙයකට හෝ බිය විය යුතු නැත. කළ යුත්තේ ඒවා තේරුම් ගැනීම ය. ඒ බව හොඳින් වටහාග් කළ අපේ බිය බැසයනු ඇති” මාරී කියුරි.

වීර සිංහලේ වීර දූ පුතුන් පසුගිය දිනවල කෙරෝනා රෝගය සදහා යෝජිත නිරෝධායන මධ්‍යස්ථානවලට දැක්වූ විරෝධය අප තේරුම් ගන්නේ කෙසේ ද? වීර සිංහල දූ පුතුන් පමනක් නොව වීර දෙමළ සහ මුස්ලිම් දූ පුතුන් ද එම විරෝධයේ කොටස්කරුවන් බවට පත් වූහ. නිරෝධායන මධ්‍යස්ථාන යනු කොවිඩ් 19 රෝගය වැළදුණු පිරිස් ප්‍රතිකාර ලබන ස්ථානයක් නොවේ. එතෙර සි පැමිණෙන අපේම සහෝදර සහෝදරියන් තාවකාලිකව රඳවා තැබෙන ආරක්ෂිත ස්ථානයන් ය. ඔවුන්ට කෙලින් ම සිය නිවෙස්වලට යෑමටත් නිවෙස් තුල නිරෝධායනය කරගැනීමටත් ආණ්ඩුව ඉඩ හැරියේ නම් කුමණ තත්වයක් ඇති වන්නට තිබුණි ද?

මා මේ සටහන ලියන අවස්ථාවෙහි (එනම් ජිනීවා වේලාවෙන් 11වන බදාදා රැයෙහි) බිබීසී ගුවන්විදුලි සේවයේ කොවිඩ් 19 වත්මන් තත්වය ගැන වැඩ සටහනක් ප්‍රචාරය විය. එහි අදහස් දැක් වූ ස්පාඤ ජාතික වෛද්‍යවරයකු කීවේ තමාට රෝගය වෛද්‍ය සගයකුගෙන් ම අසාදනය වූ බව ය. නිරෝධායන පිළිවෙතක් අනුගමනය කරමින් ඔහු රැදි සිටින්නේ සිය නිවසෙහි ය. ඔහුගේ දරුවන් දෙදෙනා ද බිරිඳ ද සමඟ ය. ඔවුන්ට රෝගය බෝ නොවනු පිනිස තමන්ට ඇති එකම වැසිකිළිය පවා පාවිච්චි කරන බව ඔහු කියා සිටියේ සිනහ සෙමිනි.

වීරයා බියගුල්ලකු වීම

තමන් විවිධාකාර වීරයින් ලෙස හදුන්වා ගන්නා අපේ සමාජය දක්වන ප්‍රතිචාරය කොතරම් නපුරුදැයි පෙන්වන්නේ එවැනි මානුෂික කතා ඇසෙන විට ය.

අනෙකාට බිය වීම අපේ සමාජයේ ගැඹුරටම මුල්බැස ගෙන ඇති බව පෙන්නුම් කරන ලද මෑත කණගාටුදායක උදාහරණය නම් එතෙර සිට පැමිණෙන ශ්‍රී ලංකිකයින් සඳහා යෝජනා වූ නිරෝධායන මධ්‍යස්ථානයන්ට එරෙහිව නැගී ආ මෙකී මහජන විරෝධතාවයන් ය.

මෙම විරෝධතාවයන්ගෙන් පෙන්නුම් කැරුණේ අනෙකා කෙරෙහි දක්වන බිය අපේ සමාජය තුළ වයස, ආගම, ජාතිය, ලිංගිකත්වය යනාදී කිසිදු වෙනසකින් තොරව පැතිර ඇති අන්දමයි. මෙම නිරෝධායන මධ්‍යස්ථාන කරා යැවීමට නියමිත වූ අති බහුතරය නව කොරෝනා වෛසරය ව්‍යාප්තව ඇති රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ය. සමහර විට මෙම මධ්‍යස්ථාන කරා යැවෙන් පුද්ගලයින් අතර, එසේ විරෝ්ධය දැක් වූ පුද්ගලයින්ගේ ඥතීන් මෙන්ම අසල්වැසියන් ද සිටීමට ඉඩ තිබේ.

හැඳල ලාදුරු රෝහල නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කිරීමට ප්‍රදේශවාසීන් විරෝධය දැක් වූ අතර ඊට බෞද්ධ සහ කතෝලික පූජ්‍ය පිරිස් ද සහභාගි වූහ. ඊට විරෝධය පළකරමින් ඔවුන් පසුගිය05දා හැඳලහේකිත්ත මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත විය.

ළමා මනසට විෂබීජ

කොරෝනා පරීක්ෂණය මඩකලවේදී නොකරනුන්න තේමාව කරගත් පෙළපාලියක් පවත්වන ලද්දේ මඩකළපුව පුද්ගලික සරසවිය නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස භාවිත කිරීමටත් මඩකලපුව ශීක්ෂණ රෝහලෙහි එම රෝගය වැළදී ඇත්දැයි පරීක්ෂණ කිරීමටත් විරුද්ධව ය. මෙම විරෝධතාවයන්ට දෙමළ මුස්ලිම් පිරිස් ද පාසල් දරුවන් ද සහභාගි විය.

මඩකළපුවෙහි නීතිඥයෝ ද තමන් ‌කොතරම් ආත්මාර්ථකාමී අඥාණයින්දැයි ‌‌පෙන්නුම් කරමින් උද්ඝෝෂණයක් පැවැත් වූහ.

මයින් සහ පාසල් ආරක්ෂණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, අන්තර් ජාතික රතුකුරුස සංවිධානය සහ යුනිසෙප් එක්ව පසුගිය 10 දා නව කොරෝනා වෛරසය අසාදනයවීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලදී. එහි එක් මාර්ගෝපදේශයක් මෙසේ ය: “ එකිනෙකාට කරුණාවන්ත වීමට සහ වෛරසය ගැන කතා කිරීමේදී ඒකාකෘති වලින් වැළකී සිටීමට ශිෂ්‍ය ශිෂ්‍යාවන් දිරිමත් කිරීම මගින් අපහාසය සහ වෙනස් කොට සැලකීම වැළැක්වීමට සහාය විය හැකි ය.”

ඒ වෙනුවට මෙරට දේශපාලනඥයින් කරන්නේ පාසැල් දරුවන් ද නිරෝධායන මධ්‍යස්ථාන විරෝධී පෙළපාලිවලට එක් කරගෙන ඔවුන්ගේ මනසට විශම සැලීකීමේ විශබීජ ඇතුල් කිරීම යි.

මෙම රෝගයට තමන්ගේ ම ඥතීන් ගොදුරුවුව හොත් මෙම විරෝධතාකරුවන් කුමක් කරනු ඇත්ද? ඔවුන් හුදකලා කොට අදුරු කාමරවල බැඳ දමනු ඇත් ද? නැත්නම් පලවා හරිනු ඇත් ද?

බියෙහි පදනම

අපේ සමාජයේ ප්‍රධාන ධාරාවෙහි මැත කාලීන සමාජ දේශපාලන වර්ධයන්හි එක් ප්‍රමුඛ ලක්ෂණයක් වන්නේ අනෙකා කෙරෙහි බිය ඇති කර තමාගේ ගොඩ වැඩි කර ගැනීම ය. දෙමළා ද මුසල්මානුවා ද සිංහලයා ද විවිධ තත්වයන් යටතේ මෙම අනෙකා බවට පත් වෙයි. අනෙකා කෙරෙහි බිය ඇති කිරීමේ ප්‍රධාන පදනම මිථ්‍යා විශ්වාස, ව්‍යාජ ප්‍රචාර සහ අනවබෝධය යි.

මෙම නිරෝධයන මධ්‍යස්ථානවලට එල්ල වන විරෝධයන්ට පදනම සපයන්නේ ද පෙති මගින් හෝ ආලේපිත ජෙල් මගින් හෝ සිංහල ස්ත්‍රීන් ගැබ් ගැනීම වැළැක්විය හැකි යැයි නැත්නම් දරු උපත් අවස්ථාවන්හි රහසිගතව සිංහල ස්ත්‍රීන් මදසරු කළ හැකි ය යන මතවාදයට පදනම වූ ඉහත කී ද සාධකම ය.

දැන් මේ සියලු දෙනාගේ අනෙකා බවට නව කොරෝනා වෛරසය (SARS-CoV-2) සහ ඉන් හටගන්නා විඩ් 19 (Covid 19) රෝගය පැමිණ තිබේ. මෙම වෛරසය අසාදනය විය හැක්කේ කෙසේද යන්න ගැන අබමල් රේණුවක හෝ අවබෝධයක් තිබුණි නම් මෙැවැනි විරෝධයක් ජනප්‍රිය නොවන්නට තිබුණි. නව කෙරෝනා වෛරමූලික වශයෙන්ම අසාදනය වන්නේ රෝගියකුගේ කෙල බිදිති හෝ නාසයෙන් ගලන දියරයන්ගෙනි. නිරෝධායන මධ්‍යස්ථානයකිින් මෙම වෛරස සුළගේ පාවී පැමිණ අසල්වාසීන්ට කෝවිඩ් 19 බෝ කරන්නේ නැත.

මේ ප්‍රචන්ඩත්වයේ පදනම බිය යි.

අඥාණකම ප්‍රති-නිශ්පාදනය

මෙම සරළ සත්‍යය තේරුම් ගත නොහැකි තරමට මෙරට ජනයා අඥාන ද? ප්‍රශ්ණය ඇත්තේ අඥාණකමෙහි නොව අඥාණකම ප්‍රති නිශ්පාදනය  කරන සමස්ත සමාජ දේශපාලන සංස්කෘතික පිළිගැනීම් රටාව තුළ ය.

ඇඟළි පුරවා ගත් වශී බෝල ඇතිව රාජපක්ෂවරු නාම යෝජනා අත්සන් කරන විට ඔහු වටකරගත් අවශේෂ දේශපාලන වහල්ලු වැඳගෙන සිටිති. පුවත්පත් ද ගුවන් විදිලිය ද රෑපවාහිනිය ද සාස්තරකාරයන්ගේ රජදහනවල් බවට පත්ව තිබේ. යථාර්තවාදී තාර්කික බුද්ධිය වෙනුවට අද්භූත බලවේග මත පිහිට පැතීම ශ්‍රී ලාංකික දේශපාලනයේ මුඛ්‍ය ළකුණ බවට පත් තිබේ. මහින්ද රාජපක්ෂ ද, මෛත්‍රීපාල සිරිසේන ද, රනිල් වික්‍රමසිංහ ද ඉන්දියාවෙහි තිරුමලර් කොවිලේ දේවරූපයක් අබිසය මරණ බියෙන් යාඥා කරන ඡායාරූප අපට පෙන්වන්නේ ද එම ළකුණ ය.

සුගිය කාලයෙහි එච්අයිවී අසාදිත දුගී පුද්ගලයින්ට අප සමාජය කෲර ලෙස සැළකුවේ ද මෙම බිය මුල්කර ගනිමිනි. එම කෘෘරත්වයට මෙරට ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය ද හවුල් විය. අද කොරෝනා වෛරසය සම්බන්යෙන් සිදුවන්නේ ද එයම යි. මෙම අහේතුක බිය විකුණගෙන කනවා වෙනුවට එලඹිය හැකි වසංගත තත්වයකට මුහුණ දීමට ඊටත් වඩා රෝගය පැතිර යාම වැළැක්වීමට ගතයුතු පියවර ජනගත කිරීමට මෙරට ජනමාධ්‍ය ප්‍රමාවත් තරම් ඉඩකඩ වෙන් කරන්නේ නැත.

කෙසේ වෙතත් මෙම සර්වදේශීය වසංගතයෙන් (pandemic) සම්පූර්නයෙන්ම බේරී සිටීමට ශ්‍රී ලංකාවට නොහැකිවනු ඇත. කොවිඩ් 19ය දරුණු ලෙස පැතිර යමින් ඇති දකුණු කොරියාවෙහි සහ ඉතාලියෙහි ද රෝගය පැතිර යමින් ඇති මැද පෙරදිග රටවලද ශ්‍රී ලංකිකයින් දස දහස් ගණනින් සේවය කරති. එම රටවල සිට පැමිණෙන පිරිස් දැනට නිරෝධායන කැරෙන්නේ දින 14කට පමණි. එසේ නමුත් විශේෂඥයින් නිගමනය කර ඇත්තේ සමහර විට රෝගය අසාදනය වී රෝග ලක්ෂන මතුවීමට දින 20ක් තරම් ගත විය හැකි බවයි. තව ද මෙරටට පැමිණෙන චීන ජාතිකයින් නිරෝධායනය කැරෙන්නේ ද නැත. තවත් රටවල් ගණනාවකින්ම පැමිණෙන සංචාරකයින් නිරෝධායන කැරෙන්නේ ද නැත. අප සූදානම් විය යුත්තේ කෝවිඩ් 19 ය පුපුරා යාමක් අප රටෙහි ද ඇතිවිය හැකිය යන උපකල්පනට ය.

අසල්වැසි ඉන්දියාව දැනටමත් කිසිදු රටකින් හෝ එරටට ඇතුලු වීම තහනම් කර තිබේ. නව කොරෝනා වෛරසය සමහර විට වසරක් තරම් කාලයක් ව්‍යාප්ත වෙමින් පැවතිය හැකි යැයි ද වාර්තා පළ වී තිබේ. ජර්මන් ජනගහනයෙන් සියයට 70කට තරම් කෝව්ඩ් 19 අසාදනය විය හැකි යැයි එරට රාජ්‍ය නායිකාව වන ඇන්ජේලා මර්කල් ප්‍රකාශ කළේ පසුගිය 11 දා ය. ඉතාලිය මුළු රටම නිරෝධායන තත්වයට පත් කළ අතර 11දා සිට දෙසතියක් වන තුරු ආහාර සහ ඖෂධ වෙළදසැල් අන් සියලු වෙළද ආයතන සහ හෝටල වසා දමන ලදී. ඩෙන්මාර්කය එරට පාසල් වසාදමන ලදී. ඇමෙරිකා එක්සත් ජනපදය මුහුණ දී සිටින්නේ ද නරක තත්වයකට ය.

වසංගතයට මුහුණ දීම

මෙම වසංගතයට මුහුණ දීම සඳහා කළ යුතු ප්‍රධානතම දෙය නම් නව කොරෝනා වෛරසය සහ කොව්ඩ් 19 රෝගය ගැන යතාර්තවාදී කථිකාවක් ඇති කිරීමයි. අද අවශ්‍ය බිය නොව සාධනීය චින්තනයකි. බැහැර ගොස් පැමිණෙන සෑම අවස්ථාවකදී ම තප්පර 20ක් සබන් ගා අත් සේදීම සහ කැස්ස ඇති පුද්ගලයින්ගෙන් මීටර දෙකක පරතරයක් පවත්වා ගැනීම යනාදී මුලික රෝග නිවාරණ ක්‍රම ප්‍රචලිත කිරීමයි. ඒ සමඟම කිසිවකු කෙරෙහි විශම සැලකීමක් නොදැක්වීම සමාජ ගත කිරීමයි.

ඉහත කරුණු සළකා බලන විට ශ්‍රී ලංකාව වෛරසයේ දරුණූ පැතිරීමක් වැළැක්වීමට නම් ගත යුතු පියවර තවම ගෙන නැති බව පෙනේ. චීනයෙහි වෛරසය කුණාටුවක් බවට පත්ව තිබිය දී නියමිත කාලයට කලින් මෙරට පාර්ලිමේන්තුව විසුරුවා හැර අප්‍රේල් 29 දින මහා මැතිවරණය පැවැත්වීමට තීරණය කිරීම කිසිසේත්ම කාලෝචිත තීරණයක් නොවේ. ලෝකය ම මහජන ඒකරාශිවීම් තහනම් කිරීමට පියවර ගන්නා අවස්ථාවක මහා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරන දේශපාලනඥයින් වියතුන් නොව විපත් කැදවන්නන් ය. අද පවා මහා මැතිවරණ රැස්වීම් පවත්වමින් රට වටා යන දේශපාලනඥයින් කොවිඩ් 19 පුපුරා යෑමක් ඇතිවුව හොත් සමාන වනු ඇත්තේ හැලියේ දිය නටන තුරු දිය කෙළෙන කකුළුවන්ට නොවේ ද?

ලෝ්කය සමාජ, ආර්ථික, දේශපාලන යන සෑම ක්ෂේත්‍රයකම සර්වදේශීය වසංගතයකට මුහුණ දීමට සූදානම් වෙයි. අප සූදානම් වන්නේ මැතිවරණයකට ය.

පසුව ලියමි.

මෙම සටහන ලියන ලද බදාදා රැයෙහි සිය ගත වූ පැය 24 ශ්‍රී ලංකාවට තීරණාත්මක විය. දෙවැනි කොවිඩ් 19 රෝගියා හමුවීමෙන් පසු රටම භයංකාරත්වයක ගිලුනාක් වැන්න. පාසල් ඉදිරිපිට මා පියෝ උද්ඝෝෂන කරන්නට වූහ. පාරිභෝගිකයෝ කැට කඩා හෝ බඩු මලු පිටින් මිලදී ගන්නට පටන් ගත්හ. ආන්ඩුව පාසල් වැසුවේ ය. විවිධ ජනමාධ්‍ය රට ගිනි තිබ්බෝ ය. ජනාධිපති ගෝඨාභයට හෝ ඔහුගේම මිනිස්සු පවා සවන් නොදුන් හ.

හුදෙක් රොගීන් දෙදෙනෙකු පමණක් හමුව ඇති මේ අවස්ථාවෙහි මෙතරම් කුලප්පු වූ ජනයා වසංගත තත්වයක් ඇති වුවහොත් අනෙකා සමාජීය වශයෙන් මරාගෙන කන තත්වයක් ඇති විය හැකි ය. එවැනි අපාලිත තත්වයක විපාකය වනු ඇත්තේ රට පාලනය කිරීම යුද්ධ නීතිය යටතට ගැනීම විය හැකි ය.

සමාජයේ හැටියට නායකයින් බිහිවනු ඇතැයි කියන්නේ මෙන්න මෙවැනි තත්වයන්ට ය.

ළඟම ළඟම එන හමුදා පාලනයක්?

 

 

 

 

 

 

 

 

 

 

 

Back to Top