Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකොවිඩ් අසාදනය: මා කළ ලොකුම වරද සහ මාධ්‍ය නිදහස – සුනන්ද දේශප්‍රිය

කොවිඩ් අසාදනය: මා කළ ලොකුම වරද සහ මාධ්‍ය නිදහස – සුනන්ද දේශප්‍රිය

by

රාවය මුදුණ ආයතනය විසින් කළකර පෙර පලකල “බලය” නම් සඟරාවට මා පරිවර්ථනය කළ ලිපි පෙළක මැය වූයේ ජනමාධ්‍ය ප්‍රධානීන් ගණනාවක් විසින් ලියන ලද “ මා කළ ලොකුම වරද” ය. එහිලා එකී අත්දැකීම් සහිත ජනමාධ්‍යවේදීන් විසින් ජනමාධ්‍ය ආචාර ධර්ම සන්දර්භය තුළ තමන් විසින් කරන ලද ලොකුම ආචාර ධර්මීය වරද සාකච්ජා කර තිබුණි.

මෙම සතියේ මා ලිවීමට සිටියේ “මා ජනාධිපති නම්” කරන ජාතිය ඇමතීම යි. ඒ වෙනුවට ජාතික ආපාදවක දී දේශපාලන අගතීන් නිසා මාධ්‍යවේදියකු අතින් සිදුවිය හැකි වැරදි පිළිබඳව ආවර්ජනයක යෙදීමට කල්පනා කළේ ඉහත මැයෙන් ම මා දෙස හැරී බලා අපට බොහෝ ප්‍රයෝජනාවත් විය හැකි නිරීක්ෂණයන් කිහිපයක් කරා එළබීමට ය.

අප යනු කවර ආකාරයකින් හෝ තොරතුරු බෙදා හැරීමේ නියුතු සෑම දෙනා ය. විශේෂයෙන්ම මුහුණූ පොත ඇතුළු සමාජ ජාල මගින් තොරතුරු ලබා ගන්නා සහ ඒවා යළි බෙදා හැරීම දෛනික කාරියක් බවට පත්කර ගෙන සිටින අප සියලු දෙනා ය.

දේශපාලන වශයෙන් මා රාජපක්ෂවරුන්ගේ දේශපාලනය පිටු දකින බව රහසක් නොවේ. එමෙන්ම මම සමාජ ජාල මගින් තොරතුරු ලබා ගැනීම ද බෙදා හැරිම ද මගේ ජනමාධ්‍යවේදයේ කොටසක් ලෙස සළකමි. සමාජ මාධ්‍යය බොහෝ විට එසැණ පුවත් කෙරෙහි වැඩි අවධානයක් ඇද ගන්නා බැවින් ඉක්මන එහි වැදගත් සාධකයකි.

මේ දිනවල නව කොරොන වසංගතය සම්බන්ධයෙන් ලිපි ලිවීමටත් වැදගත් මඟපෙන්වීම් සිංහල බසින් පළ කිරීමටත් මම බොහෝ කාලයක් වැය කරමින් සිටිමි. මා ඒ සඳහා කාලය වැය කරන්නේ මෙම තීරණාත්මක අවස්ථාවෙහි අප විසින් කළ යුතු යුතුකමක් සේ සළකා ගෙන ය. මෙම ගෝලීය ව්‍යසනයෙන් අපට ගොඩ ආ හැක්කේ සාමූහිකව පමණි.

එම කාරියේම කොටසක් ලෙස විවිධ මූලාශ්‍රයන්ගෙන් රැස්කරගත් කොරෝන වසංගතය වර්තා කිරීම සඳහා ජනමාධ්‍ය මඟ පෙන්වීම් ගණනාවක් ද මවිසින් සිංහලට ලියමින් සිටියෙමි.

එම මඟපෙන්වීම් අතර ප්‍රධාන එකක් වන්නේ දුශ්තොරතුරු බෙදා හැරීම නොකළ යුත්තේ මන්ද යන්නත් යම් ජායාරූපයක් හෝ තොරතුරක් යළි බෙදා හැරීමට පෙර එය සත්‍ය බවට සනාථ කරගන්නේ කෙසේ ද යන්නත් ය.

මේ ඒ් පින්තූරය යි.

පසුගිය අඟහරුවාදා මුහුණු පොතෙහි මිතුරකු විසින් ඉතාලියේ කොවිඩ් 19 වැළදුණු වෛද්‍ය සේවක පෙම්වතකු සහ පෙම්වතියක අවසාන වතාවට සිපගැනීමට සුදානම්ව සිටින අයුරුත් ඉන් පැය දෙකකට දෙදෙනාම මිය ගිය බවටත් සටහනක් පළ කර තිබුණි.

එම කතාව පිළිගත නොහැකි බවට වෙනත් අයකු ලියූ සටහනකට ප්‍රතිචාර වශයෙන් මුලින් එය බෙදා ගත් මිතුරා කියා තිබුණේ තමා එය ගත්තේ විශ්වසනීය මූලාශ්‍රයක් සේ සැළකිය හැකි පියතුමකුගේ මුහුණු පොතෙන් බව ය. මම එම පින්තූරය ගූගල් සෙවුම් යන්ත්‍රයේ ජායාරූප මගින් සෙවීමේ දිගුවට ගොස් පරීක්ෂා කර බැලුවෙමි. එවිට එය වසංගතයට සම්බන්ධයක් නැති ග්‍රීසියේ ප්‍රේම ඡායාරූපයක් බව පෙනී ගියේ ය. මම එය මගේ ප්‍රතිචාරය ලෙස ලීවෙමි.

අද එනම් බදාදා උදෑසන මාධ්‍ය සහ කොවිඩ් 19 පිළිබද දුරස්ථ සාකච්ජාවකට සහභාගි වෙමින් සිටි අතරවාරයෙහි එයට සවන් දෙමින්ම මුහුණූ පොතට සහ ටිවීට වේදිකාවට එබී බලමින් සිටි මම අගමැති රාජපක්ෂගේ ජායාරූපය ඇතිව ඇදිරි නීති සමයේ භාණ්ඩ ප්‍රවාහණය කැරෙන බවට සඳහන් ලොරි ගණනවක ජායාරූප සංසරණය වෙනු දුටුවෙමි. එම ජායාරූප සම්බන්ධයෙන් ද ඒවා බෙදා ගැනීමට පෙර කවරකු හෝ විසින් ඇසිය යුතු ප්‍රශ්ණ කිහිපයක් තිබුණි.

1. මෙතරම් ඉක්මනට මෙවැනි විශාල ස්ටිකර් මුද්‍රණය කර ලොරිවල ඇලවීමට කාලයක් තිබුණි ද?

2. මෙම ලොරිවල ජායාරූප ගෙන ඇත්තේ කුමන ස්ථානයක දී කවරදාකද?

3. මෙම ජායාරූප මුලින්ම සමාජ ජාල වෙත මුදාහැර ඇත්තේ කවරකු විසින් ද?

එම ප්‍රශ්ණ තුනට නිවැරදි පිළිතුරක් නැත්නම් සිව්වැනිව ලෙහෙසියෙන් ම ගූගල් සෙවුම් යන්ත්‍රයේ ජායාරූප මගින් සෙවීමේ දිගුවට ගොස් එම ජායාරූප කවරදාක ගෙන ඇත්දැයි සොයා බැලිය හැකිව තිබුණි.

එසේ නමුත් මේ කිසිදු සැළකීමක් නොමැතිව මම එම ජායාරූප මගේ අදහස් ද ඇතුල් කොට සමාජ ජාල ඔස්සේ බෙදා හැරියෙමි. එම ජායාරූප 2014 කාලයට අයත් බව මා දැන ගත්තේ පසුව ය. එවිට මම ඒ බෙදා හැරිම් මකා දැමුවෙමි. එමෙන්ම ඒවා පළ කිරීම වරදක් බවත් එම වරද සම්බන්ධයෙන් මම කණගාටුවන බවත් සඳහන් කළෙමි.

මෙවැනි පැරණි ඡායාරූපයක් කවරකු විසින් හෝ අදට අදාළ සේ සකස් කර බෙදා හැරීම මගින් පෙන්වන්නේ දුශ්තොරතුරු නිශ්පාදනය දේශපාලනයේ කොටසක් වී ඇති සැටි ය. අප සමාජ ජාල මාධ්‍යකරණයෙහි දී අතිශය ප්‍රවේසම් විය යුත්තේ මෙවැනි උගුල් වලට හසු නොවීමට ය. තහවුරු කර නොගත් කිසිදු ජායාරූපයක් බෙදා නොගැනීමට මම මේ වරද නිසා තීරණය කළෙමි. එය පැරණි චීන කියමනක් වන “වලකට වැටීම මොළයට පාඩමකි” යන්න ඇත්තක් බවට පත්වීමකි.

ජනමාධ්‍යවේදීන් වන අප අතින් මෙවැනි වැරදි සිදුවීම අහම්බයක් නොවේ. යමකුට අපහාස වන පුවතක් පළ නොකළ ජනමාධ්‍යක් සොයා ගත නොහැකි තරම් ය. වැදගත්ම දේ වන්නේ වරද දුටු වහාම එය නිවැරදි කිරීම ය.

ප්‍රශ්ණය එය ම නොවේ. පුවතක් පළ කිරීමට පෙර එහි විශ්වසනීයත්වය තහවුරු කර ගත යුතු බව හොදාකාරවම දැන දැනත් මවිසින් එම ජායාරූප බෙදා හරින ලද්දේ ඇයි ද යන්නයි.

ඊට අඩුම වශයෙන් හේතු දෙකක් තිබේ. පළමුවැන්න නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටි කාලයේ දී රටපුරා ම ඔහුගේ දැවැන්ත කටවුට් ඉදිකර තිබූ බව අප කව්රුත් දන්නා නිසා ය. ඔහුගේ ජනාධිපතිධූර කාලය පුරා ම රාජපක්ෂ පුද්ගලාභිවාදනය මෙරට දේශපාලනයේ ප්‍රධාන සාධකයක්ව තිබුණි. අප්‍රේල් මාසයේ පැවැත්වෙන්නට තිබූ මහා මැතිවරණය සඳහා ද මහින්ද රාජපක්ෂගේ ජායාරූප සහිත පෝස්ටර රටපුරා ඇලවෙමින් ද තිබුණි. එබැවින් වත්මන් ඇදිරි නීති තත්වය තුල පවා භණ්ඩ ප්‍රවාහනය සඳහා ඔහුගේ ජායාරූප අංඩංඟු වාහන යොදා ගනු ඇතැයි යන සිතුවිල්ල, තර්කානුකූලව එම ජායාරූපය ගැන සොයා බැලීම අභිබවා ගියේ ය.

දෙවැන්න රාජපක්ෂ දේශපාලනය කෙරෙහි මා තුළ ඇති තදබල විරෝධය යි. දේශපාලන අගතිය, යළිත් වරක් තර්කාණුකූලව කල්පනා කිරීම අභිබවා ගියේ ය.

එම ජායාරූප යළි බෙදා හැරිමට මා පොළඹවන ලද කරුණූ ලෙස මට පෙනෙන්නේ ඒවා ය. සමහර විට අනවශ්‍ය හදිසිය ද ඊට බලපාන්නට ඇත.

මෙමගින් ජනමාධ්‍යවේදීන් වශයෙන් අප දැනටමත් දන්නා එක් නිරීක්ෂනයක් කරා යළි පැමිණිය හැක. එනම් තමන් මතවාදී හෝ දේශපාලනිකව හෝ එකඟ නොවන පුද්ගලයකු හෝ සංවිධානයක් ගැන හෝ වාර්තා කරන විට හෝ එවැනි පුවතක් බෙදා ගන්නා විට එය මූලාශ්‍ර කිහිපයකින් ම තහවුරු කර ගත යුතුය යන්නයි. මන්ද යත් අප හැම දෙනෙකු තුළ ම අගතීන් පවතින නිසා ය. අප ජනමාධ්‍යවේදයට එන්නේ එම අගතින් ද රැගෙනය. දේශපාලනිකව හෝ මතවාදීම හෝ නිශ්ක්‍රීය පුද්ගලයින් වත්මන් සමාජයේ නැත. මන්ද යත් අප හුදෙක් දේශපාලනික පමනක් නොව ආගමික සහ සමාජීය සත්වයන්ද වන නිසා ය. අප හැමට අපේම අදහස් තිබේ.

මේ වනාහී කීමට වඩා පිළිපැදීම දුෂ්කර මඟ පෙන්වීමකි. එබැවින් වැරදි දිගටම සිදුවනු ඇත. වරද නිවරද කිරීමේ පිළිවෙතක් ජනමාධ්‍ය සහ ජනමාධ්‍යවෙිදීන් සහ ජනමාධ්‍යවේදිනියන් විසින් අනුගමනය කළ යුත්තේ ඒ නිසා ය. ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍යවේදිනියන්, වර්තමාන තත්වය යටතේ සමාජ ජාල, විශේෂයෙන්ම මුහුණු පොත් මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේනියන් ද අතුළත්ව, අප සියලු දෙනා මෙවැනි වැරදි නොකිරීමට ප්‍රවේසම් විය යුතු අතර වරදක් වූ බව දැනගත් වහාම එය නිවැරදි කිරීම ඉතා වැදගත් වන්නේ ඒ නිසා ය.

කොරොන වෛරස් වසංගතය සම්බන්ධ මගේ සමාජ ජාල භාවිතය තුළ කරන ලද ලොකුම වරද වන්නේ මහින්ද රාජපක්ෂට සම්බන්ධ එකී ජායාරූප සොයා නොබලා බෙදා හැරීම යැයි මා කල්පනා කරන්නේ ඉන් ඉගෙන ගත යුතු ඉහත කී පාඩමෙහි වැදගත්කම සළකා ය.

වරදක් නිවරද කළ යුත්තේ එය රාජපක්ෂවරුන්ට සම්බන්ධ නම් පමණක් ම නොවේ. දවසට තේ කෝප්ප තුනක් බීමෙන් හෝ ඉඟුරු කොත්මල්ලි බීමෙන් හෝ ක්ලෝරක්වින් ගැනීමෙන් හෝ කොව්ඩ් 19 යෙන් වැළකිය හැකි යයි කීම සමහර විට ඊටත් වඩා බරපතල වරදකි. රෑපවාහිනී නාලිකා මගින් පවා ව්‍යාජ මූලාශ්‍ර සදහන් කරමින් මෙවැනි දුශ්තොරතුරු පළ කරති. නමුත් එවැනි භයානක බොරු තොරතුරු ‍ගෙඩිය පිටින්ම සමාජ ගතවෙයි.

මෙම අවස්ථාවෙහි අප අබිමුව ඇති ගෝලීය වසංගතය හමුවෙහි එයට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් කරන මැදිහත්වීම් සමහරක් දේශපාලනික බවට පත් වෙයි. ඇදිරි නීතිය පැණවීමත් ඉවත් කිරීමත් අතර කාලය කෙරෝන වෛරසය බෝ කැරෙන කාලයක් බවට පත් වීම දේශපාලන වරදකි. මෙම යුගයේ දේශපාලනික නොවන කිසිවක් නැත. අප කවර සමාජ, දේශපාලන, මතවාදී අදහස් දැරුව ද වසංගත වාර්තාකරණයේ දී අපේ දේශපාලන ලැදියාවන් තීරක සාධකය බවට පත්වීමට ඉඩ නොදීම කවර තොරතුරු මාධ්‍ය්‍යක යෙදී සිටිය ද අපේ වගකීම වේ.

මේ අතරම සමාජ මාධ්‍යන්හි පළවන අසත්‍ය තොරතුරු පදනම් කරගෙන වත්මන් තත්වය ගැන නිදහස් අදහස් ප්‍රකාශ කිරීම බිය වැද්දවීමට දරණ ප්‍රයත්නයන්ට ද අප එකහෙළාම විරුද්ධ විය යුතු ය.

ඕනෑම අර්බූදකාරී තත්වය දී මාධ්‍ය නිදහසෙහි වැදගත්කම පෙන්වා දෙන ඉතා සිත්ගන්නාසුළු උදාහරණයක් නම් චීනයෙහි ජනමාධ්‍ය නිදහස තිබුණේ නම් කොවිඩ් 19යෙන් චීනයෙහි මියගිය ප්‍රමාණය සියයට 68කින් තරම් අඩුකර ගැනීමටත් වසංගතය ගෝලීය පරිමාණයක් ගැනීම වළක්වන්නටත් තිබු බවට පර්යේෂකයින් විසින් නිරීක්ෂනය කර තිබීම යි. කොවිඩ් 19 මාසයක් තරම් කල් චීනය සඟවාගෙන සිටියේ ජනමාධ්‍ය නිදහසට අඟුලු ලෑමෙනි.

සමස්ථ සමාජයම වසංගත බියකින් පෙළන මෙවැනි අවස්ථා විිසින් වෛර සහ බිය ජනනය කරන පුවත්වලට තටු ලබා දෙයි. පසුගිය දින කිහිපය පුරා දේශපාලනඥයින් ගණනාවක් විසින් කොවිඩ් 19 රෝගය සඳහා ක්ලොරක්වීන් ඖෂධයක් ලෙස පාවිච්චි කළ හැකි බවට කරන ලද ව්‍යාජ ප්‍රචාරයන්ට මා කරන ලද විවේචනයකට ප්‍රතිචාරය ලෙස රාජපක්ෂවරුන්ගේ ප්‍රධානතම සන්නිවේදකයකු මෙසේ ලියා පළ කළේ ය. “එහෙම නම් අපට බැරිද ජේවීපී/ඒල්ටීටීඊ හිතවාදීන්ටයි එන්ජීඕ කාරයින්ටයි පොවලා මේක ටෙස්ටි කරන්න, රෑපවාහිනියෙන් සජිව විකාශනයකින් ලංකාවටම පේන්න.” මෙම පුද්ගලයාගේ ට්වීට අනුගාමික සංඛ්‍යාව 55,000කි. බොහෝ දුරට මෙම වෛර පිරි බිය ජනක ට්විටය ලක්ෂ ගණනාවක් කරා ගමන් කරන්නට ඇත. මෙම ප්‍රකාශයෙන් කියැවෙන්නේ සිය විරුද්ධවාදීන්ට බලයෙන් බෙහෙත් පොවා ඔවුනට කුමක් සිදුවන්නේදැයි රටට පෙන්විය යුතු බවයි. මෙම වෛර මේ ප්‍රකාශය දෙවැනි වන්නේ මෙරටට නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට උත්සාහ කරන පිරිස් ඝාතනය කොට ඔවුන්ගේ සිරුරු දණහිසට පහළින් ගෙන යා යෑමට පියවර ගතයුතු යැයි වත්මන් ආරක්ෂක ලේකම්වරයා කළ ප්‍රකාශට පමණි.

ජනමාධ්‍ය නිදහස යනු අන් සියලු නිදහස්හි පදනම යැයි කියනු ලැබේ. කොතරම් වැරදි අඩුපාඩු තිබුණ ද ජනමාධ්‍ය නිදහස සහ පාරදෟශය ආණ්ඩුකරණය මෙවැනි කාලයක අත්‍යවශ්‍ය වන්නේ එනිසා ය. ඇමෙරිකාවෙහි කොරොන වසංගතයේ කේනද්‍රස්ථානය බවට පත්ව තිබෙන නිව්යෝක්හි දින 21කින් එය උච්ච අවස්ථාවට පත් විය හැකි බවත්, නගරයට කොරොන රෝගය සදහා ම රෝහල් ඇඳන් 140,000ක් සහ ස්වශන ආධාරක 30,000ක් අවශ්‍ය බවත් එම හිඩැස් පිරවීමට දැරෙන ප්‍රයත්නයන් මොනවාද යනාදී වශයෙන් අප දන්නා නමුත් මෙරට සම්බන්ධයෙන් එවැනි සංඛ්‍යා ලේඛන කිසිවක් අප දන්නේ නැත.

මෙරට මාධ්‍ය නිදහසේ දුර්වලකම පෙන්වන කැපී පෙනෛන සාධකයක් නම් කොවිඩ් 19 වසංගතය මෙරටට බලපානු ඇත්තේ කෙසේද සම්බන්ධයෙන් ඇති දැවැන්ත තොරතුරු හිඩැස ය.

Back to Top