Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගකොරෝනා අගමැති සහ අප – සුනන්ද දේශප්‍රිය

කොරෝනා අගමැති සහ අප – සුනන්ද දේශප්‍රිය

by

වසරකට පෙර බක්මහ ලෙයින් නැහැවූ පාස්කු ප්‍රහාරයන්හි උණුසුම නීවී යන්නටත් මත්තෙන් තමා ජනධිපතිවරණයට ඉදිරිපත්වන බව අපට කීවේ ගෝඨාභය රාජපක්ෂ ය. දැන් කොතරම් දරුණු වේ දැයි නොපෙනෙන අනතුරකට රට මුහුණ දී සිටිය දී ඒ ගෝඨාභය රාජපක්ෂ ම ජනාධිපති වශයෙන් ජාතිය අමතා කියා සිටින්නේ සිය වැඩිමහල් සොහොයුරා වන මහින්ද රාජපක්ෂ අගමැති කරවන්නට ඡන්දය දෙන ලෙසයි.

රට විපතකට මුහුණ දි ජනයා වික්ෂිතව සිටින මොහොත පක්ෂ දේශපාලන ආයාචනා සඳහා හොදම වේලාවන් යැයි ගෝඨාභය රාජපක්ෂ කල්පනා කරන්නේ ද?

කණගාටුවකට මෙන් ගෝඨාභය රාජපක්ෂ ගේ කතාවෙහි නව කොරෝනා වයිරසයෙන් ආරක්ෂාවීමට ගත යුතු තීරණාත්මක පියවරයන් කිසිවක් තිබුණේ නැත. ඒ වෙනුවට තිබුණේ මේ තාක් ඔහු විසින් නව කොරෝනා වසංගතය පාලනය කිරීමට ගන්නා ලද පියවරයන්හි ලැයිස්තුවකි. ඉන් පෙනෙන්නේ මෙම වසංගතය පාලනය කිරීමට ඔහු ප්‍රමාණවත් පියවර නොගත් බවට ඇති විවේචනය සැරටම වැදී ඇති බවයි.

විපක්ෂයට බැට දීම

රාජපක්ෂ ජාතිය අමතා කීවේ විපක්ෂය නිසා ආණ්ඩුවට මුදල් නැති බවත් ඒ නිසා ගත යුතු පියවර ගැනීමට බැරි වූ බවත් ය. විපතකට මුහුණ දී සිටින විට දේශපාලන රාජ්‍ය තාන්ත්‍රිකත්වය යනු ආඩපාළි කීම නොවේ. රටවැසියනට ආත්ම විශ්වසය ඇති කරවීමත් විපතින් ගැළවීමට ගතයුතු පියවර නිරවුල්ව සිත් කාවදින ලෙස ප්‍රකාශ කිරීමත් ය. ආණ්ඩුව මෙන්ම රටවැසියන් විසින් ගත යුතු පියවර දැක්වීම ය. තව ද මේ අවස්ථාවෙහි ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 ය කොතරම් දුරට පැතිරී යාමේ හැකියාවක් ද ඇත් ද යන්න පැහැදිලි කරමින් රෝග නිවාරණ පිළිවෙත් අවධාරණය කිරීම ය.

සිය රටෙහි තත්වය ගැන කතා කරමින් යුරෝපයේ ප්‍රබලතම රාජ්‍ය වන ජර්මනියේ චාන්සරල්ර්වරිය වන ඇන්ජේලා මර්කල්, ගෝඨාභය ජාතිය ඇමතූ දිනට පසු දා එනම් 18වන බදාදා ජාතිය අමතමින් කියා සිටියේ ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය මුහුණ දෙන දරුණුතම අභියෝගය නව කොරෝනා වසංගතය බව යි. එයට පෙර ඇය කියා සිටියේ තත්වය නරක් වුවහොත් ජර්මන් ජනයාගෙන් සියයට 70කට කොවිඩ් 19 වැළදිය හැකි බවයි.

අනෙක් රටවල් දෙස

ගෝඨාභය ජාතිය ඇමැතූ දිනයේම ජාතිය ඇමතූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් ප්‍රථමයෙන්ම කළේ කොරෝනා වයිරසය සමඟ සටනෙහි පෙරමුණු බළ ඇනිය වන සුව සේවක සේවිකාවන්ට සිය ගෞරවය සහ කෟතවේදීබව ප්‍රකාශ කිරීමයි. ඊට පසුදා වයිරසය සමග සටන් කරන සුවසේවක සේවිකාවන් හමුවට ගිය ප්‍රංශ අගමැති එම්මානුවල් මැක්රෝන් කීයේ “ ඔබ ගන්නා අවදානම අප දන්නවා. ඔබ වෙනුවෙන් අවශ්‍ය ඕනෑම පියවරක් අප ගන්නවා” කියාය.

පසුගිය සතියෙහි ඉතාලියෙහි, ස්පාඥයෙහි, ස්විස්ටර්ලන්තයෙහි සහ තවත් රටවල ජනයා සිය රටවල එකම අවස්ථාවක දී සිය සඳළුතල වලට හෝ ජනේල අසළට පැමිණ විනාඩියක් දෙකක් අත්පුඩි ගසමින් කොරෝනා වයිරසය සමඟ පෙරමුණෙහි සටන් කරන සුව සේවක වෘත්තිකයන් සහ සනීපාරක්ෂක සේවකයින් කෙරෙහි සිය අගැයීම ප්‍රකාශ කළෝ ය. එය කිසිදු ආණ්ඩුවක ඉල්ලීමක් නිසා නොව සිවිල් ජනයාගේ මූලිකත්වයෙන් සිදු කැරුණූ ආශ්වාද ජනක මොහොතක් විය. ස්විස්ටර්ලන්තයෙහි එය දැන් දෛනිකව සිදුවෙයි.

අද සිකුරාදා රාත්‍රි අටට සෑම අයකුම “සතුට උදෙසා කවිය” නම් යුරෝපීය මාහාද්වීපිික ගීයෙහි (බීතෝවන්)  තනුව සිය සංගීත භාන්ඩ මගින් වාදනය කරනු ඇත. ඉන් කියැවෙන්නේ අප සියල්ලන්ම සොයුරු සොයුරියන් බවයි.එහි මෙසේ කියැවේ.

“මිලියන ගණනක්, මම ඔබව වැලඳ ගමීමෙම හාදුව මුළු ලෝකයටම වේ!”  (මෙහි ඊට සවන් දිය හැක.)

දැන් යළි ගෝඨාභය රාජපක්ෂගේ ජාතිය ඇමැතීම දෙසට යමු. ඔහුගේ කතාවෙහි වෛද්‍ය වෘත්තිකයින් සනීපාරක්ෂක පිරිස්, යුදහමුදා පිරිස් ඇගැයීමක් තිබුණේ ද නැත. වසංගතය කොතරම් දුරට වර්ධනය වියහැකි ද යන්න ගැන කිසිදු ඇඟවීමක් තිබුණේ ද නැත. ඔහුගේ කතාවෙන් විශාලම කොටස ඔහු ගත් පියවර වර්ණනා කරගැනීමට ත් ඊළඟ කොටස විපක්ෂය විවේචනය කිරිමටත් අනතුරුව සිය සහෝදරයා අගමැති කරන ලෙස ඉල්ලීමටත් වෙන්ව තිබුණි.

ජනාධිපති රාජපක්ෂ විසින් ටින්මාලු සහ පරිප්පු මිල පහත දැමීම අගැයිය යුතු ය. එසේ නමුත්, කොව්ඩ්19 වැළදීම වළක්වා ගත හැකි කාරණ දෙකෙන් එකක් වන සමාජ හෝ භෙෘතික දුරස්ථභාවය පවත්වා ගැනීමේ වැදගත්කම සිය කතාවට ඇතුළත් කර තිබුණේ නම් හෝ ඒ පිළිබඳ අදහසක් හෝ තිබුණි නම් මිල අඩු කර නිසා ජනයාට පසුදාම පෝලිම් ගස්වා (කෙරෝනා) පරිප්පු කවන්නේ නැත.

ටින්මාලු සමඟ කොරෝනා

ඕනෑම දෙයකට පොදි කෑම‍ මෙරට ජනයාගේ සහජ ළකුණකි. පරිප්පු සහ ටින්මාලු සමඟ සමාජ දුරස්ථබාවය ගැන ද කල්පනා කළ යුතු වූයේ ඒ නිසා ය. ඥනාන්විතව ජනයා ඇමැතුවේ නම් ගෝඨාභය කිව යුතුව තිබුණේ මෙවැන්නකි: “ අප වෙනත් පහසුකම් අතර ටින්මාලු සහ පරිප්පු මිල පහත හෙළිමට තීරණය කර තිබෙනවා. නමුත් පෝලිම් ගැසී තදබද වී එළෙස මිල අඩු කරන ද්‍රව්‍ය ගැනීම ගිය හොත් ඒ නිසාම කොරෝනා වයිරසය ඔබටත් බෝ වීමට ඉඩ තිබෙනවා. එබැවින් පහසුවෙන් ප්‍රමාණවත් තරම් එම ද්‍රව්‍ය බෙදා හැරීමට අද හෙටම බලාපොරොත්තු වෙනවා”. ඉන් පසු දැන් ජනාධිපති රාජපක්ෂගේ කෝකටත් තෛලය වී තිබෙන හමුදාවට ම එය බාර දෙන්නට ද තිබුණි.

නමුත් සිදුවූයේ කිසිසේතම සිදු නොවිය යුතුව තිබූ දෙයකි. ජනයා ටින්මාලු සහ පරිප්පු කෑමට එක ගොඩේ පොදි කෑහ. ඒ අතර එක් වයිරස් වාහකයකු හෝ සිටියේ නම් දුසිම් ගණනක් ජනයා ආපසු යන්නට ඇත්තේ ටින්මාලු, පරිපුපු සහ නොමිලයේ ලැබුණු කොරෝනා ද සමඟ ය. ආර්ථික පාඩු නොසළකා ලොව පුරා නගර වසා දැමීමේ අරමුණ වන්නේ ද සමාජ දුරස්ථ බව ඇති කිරීම යි. මන්ද යත් රෝගය පැතිරීම අවම කළ හැකි හොදම ක්‍රමය එය නිසා ය. නමුත් ජන්ද ගරා ගැනීම මෙරට දී ඊට ලොකු විය.

මිල සියයට 50ක් අඩු කර තිබූ බැවින් පාවහන් යුගලක් ගැනීමට පසුගිය සතියෙහි මම ජිනීවාහි විශාල සුපිරි වෙළද සැළකට ගියෙමි. එය තට්ටු තුනකින් යුතු පාවහන් පමණක් අලෙවි කරන වෙළද සැළකි. නගරය වසා නොතිබුණ ද එම සුපිරි වෙළද සැළෙහි ප්‍රමාණය අනුව වරකට එහි සිටිය යුතු පාරිභෝගිකයින් ගණන 50ක් පමණක් බව සෞඛ්‍ය බලධාරීන් නියෝග කර තිබුණි. දොරටුවෙහි සිටි ආරක්ෂක නිලධාරියා වැඩිපුර එක් අයකු හෝ ඇතුල් කළේ නැත. මන් ද යත් වයිරසය සමඟ සටන් කිරිමට සමාජ දුරස්ථභාවය අත්‍යවශ්‍ය නිසා ය.

මෙරට දී ඒ් වෙනුවට අපට අසන්න ලැබෙන්නේ “ අපි දිනනවනේ. ඒ් නිසා ඡන්ද කල්දාන්න ඕන නෑ” වැනි පවිත්‍රාගේ අපවිත්‍ර වචන  ය.

මා සිතා සිටියේ ගෝඨාභය රාජපක්ෂ යනු හොඳට හෝ නරකට මිලිටරි විනයකින් සහ මිලිටරි බලයකින් වැඩ කළ හැකි අයෙක් ලෙස ය. නමුත් කොරෝනා වයිරසය හමුවේ එම අදහස් වියැකී යන්නට පටන් ගෙන තිබේ. නිකමට කල්පනා කර බලන්න පසුගිය දා ඔහු රාජ්‍ය නිලධාරීන් සමඟ කළ කතාව දෙස. එහිදී ඔහුගේ ශරීරමය භාෂාවෙහි කිසිදු බරපතලකමක් නැත. අරමුණක් නැතිව සිනහසෙන ඔහු වරෙක මෙසේ කියයි. “ මං [අහවලාට] එන්න කියන්න කතා කරා. එතකොට මෙන්න කියනවා එයාගේ රියදුරා නඩයක් අරං සිරීපාදේ ගිහිං නිසා එන්න විදියක් නැහැයි කියළා.” මේ ප්‍රකාශය කරන ඔහුගේ ස්වරයෙන් ඇගවෙන්නේ මේ අවස්ථාවේ සිරීපාදේ නඩ වශයෙන් යෑම නුසුදුසු බවයි. නමුත් දහස් ගණන් ජනයා එළෙස සිරිපාද වන්දනාවට යෑම මගින් කෝවිඩ් 19 පැතිරීම නතර කිරීමට පියවරක් ගැනීමට මේ හිටපු යුද නිලධාරියා අසමත් විය. ඊළගට ඔහු මෙසේ කියයි: “මං රෝයල් තොමියන් බිග් මැච් එක ගහන්න එපැයි කිව්වා. ඒත් ගැහුවා.”

අහෝ! මේ වසංගතයක් මුවවිට ඇතිවිට එය පැතිර යෑම නතර කරනු වෙනුවට ආඩපාළි කීමක් නොවේ ද? එම හැසිරීමෙහි නම් මිලිටරිකමක් හෝ රාජ්‍ය නායකත්වයක් ගෑවිලාවත් නැත. එහි ඇත්තටම නම් තියෙන්නේ රංජන් විජේරත්න බිම් බොම්බයකින් මිය ගිය ගැස්මට බියේ ඇමෙරිකාවට පලා ගිය හැසිරීම යි.

සමහර විට රාජපක්ෂ මහතා මේ තාක් ඇමෙරිකාවෙහි ම සිටියේ නම් ඔහු එරට ගොඩ නැගෙමින් ඇති කෙරෝනා වයිරස් විරෝධී දැවැන්ත යන්ත්‍රයෙහි දැති රෝදයක්ව සාධනීය වැඩ කොටසක් කරමින් ඉන්නට තිබුණි. දැන් එරට ඔක්සිජ්න් ලබා දෙන වෛද්‍ය උපකරණ 10,000ක් ද ශල්‍යකර්ම අත්වැසුම් යනාදිය මහා පරිමානයෙන් නිමැවීමට කර්මාන්තයන්ට නියෝග කර තිබේ. ඒ වෛද්‍ය විද්‍යාව සහ විශාල බෝවීමක් ඇතිවන බවට වන තර්කණය මත පදනම්ව ය.

ඒ වෙනුවට මෙරට දී දැන් රාජපක්ෂගේ “වියත්හු” කුමක් කරත්දැයි බලන්න. ඉන් එක් අයකු පුරාජේවරුවට කියා තිබුණේ සංඝයා රැස්කර රතන සූත්‍රය දේශනා කළ නොහැකි බැවින් එම දේශණා වාදනය කැරෙන වාහන ගණනාවක්ම කොවිඩ් 19 මර්දනය සදහා රට පුරා යැවූ බවයි. තවත් එවැනි අපූරු වියතකු වන සහ අනුරාධපුරයට ගෝඨා වෙනුවෙන් තරඟ වදින චන්න ජයසුමන කියන්නේ ආයුර්වේද ඖෂධ මගින් නියතවම කොරෝනා වයිරසය පැරද විය හැකි බවයි. (ආයුර්වේද වෛද්‍ය සභාව කියන්නේ මෙවැනි බොරු විශ්වාස නොකරන ලෙස යි.)

ඇත්ත කියන්න!

අඩුම වශයෙන් මෙම වසංගතය මෙරට කොතරම් දුරට පැතිරී යෑමට ඉඩ ඇත්දැයි කියා හෝ රටවැසියනට දැනුම් දීමට බැරි නම් එය ආණ්ඩුවක් නොව පාණ්ඩුවකි. ලොව පුරා බලන්න. ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මෙම ගෝලීය වසංගතය කොතරම් දුරට සහ කොතරම් කළක් පැවැතීමට ඉඩ ඇත්දැයි ප්‍රසිද්ධියේ සාකච්ජා කරමින් ගතයුතු සමාජ ආර්ථික පිළිවෙත් සංවාද කරති.දේශපාලනඥයින් පෙන්විය යුතු වගවීම එය යි.

ඒ වෙනුවට මෙරට කැරෙන්නේ කරුනු රහසිගතව තබා ගනිමින් සියළු තනතුරු හමුදාවට දෙමින්, අදාළ ආයතන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගනිමින් කොරෝනා කාලයේ මිලිටරිකරණය යි. යුද හමුදාව කොරෝනා මර්දනයෙහි කරන කාරිය අගැයිය යුතු ය. නමුත් අප තේරුම් ගත යුත්තේ සිවිල් පරිපාලනය වෙනුවට යුද හමුදාව සහ එහි ප්‍රධානීන් ආදේශ කිරීම ප්‍රශ්ණයට විසදුමක් නොව තවත් ප්‍රශ්ණයක මුල විය හැකි බවයි. මුල් තැන තිබිය යුත්තේ සිව්ල් යාන්ත්‍රණයන්ට යි. මිලිටරිය වැඩ කළ යුත්තේ ඊට යටත්ව ය. මන්ද මෙය සන්නද්ධ යුද්ධයක් නොවන නිසා ය. නමුත් දැන් සිදුවන්නේ එහි අනෙක් පැත්ත ය. ලොක්කා ශවේන්ද්‍ර ය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති 20ක් එක්ව නිකුත් කරන ලද නිවේදනය එම කරුණ අවධාරණය කරන්නේ මෙසේ ය:

2005 අංක 13 දරන කළමනාකරණ පනත යටතේ පිහිටුවා ඇති ආපදා කළමනාකරණ පනත යටතේ ස්ථාපිත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය යටතේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය බවත් ඒ යටතේ සියළු රාජ්‍ය ආයතන පෙළ ගැස්විය යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කරමු.”

කොරෝනා කාලේ මිලිටරිකරණයට එරෙහිව වගකිව යුතු සහ පාරදෟශ්‍ය, මිත්‍යාව නොව විද්‍යාව මත පදනම් වූ, ජන්දය දිනීමේ කෙටිකාලීන අරමුණු වෙනුවට වසංගත විරෝධී දිගු කාලීන අරමුණු ඇති, ගැඹුරින් ද පුළුලින් ද යුතු විශමසැළකීම් නැති දීප ව්‍යාප්ත වැඩ සටහනක අවශ්‍යතාවය අවධාරණය කිරීම අප හැම ඇතුළත් සියලු සිවිල් බලවේගයන්ගේ දවසේ වගකීම ය.

Back to Top